Saturday, August 15, 2026

බ්‍රොයිලර් ජීවිතය

2011/10/09 

අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරිත්වය. ක්‍රියාකාරිත්වය කියන්නේ පැවැත්ම, විකාශනය, විනාශය, ඉපැදීම කියන ගලායැම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවද මෙහි අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණමය. ලෝකයේ ක්‍රියාකාරිත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වෙනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවයි. අවිද්‍යාවේ දියුණුව මනින මිනුම්දණ්‌ඩ වනුයේ වත්පොහොසත්කම්, ලබාගත් දැනුම, උපාධි, දරන තනතුරු. කොටින්ම අයිතිකරගත් දේවල් වල ප්‍රගතිය, විශාලත්වය, ප්‍රමාණය අනුව දියුණුවේ ස්‌වභාවය තීරණය වෙයි. දේශපාලනඥයකු මනින මිනුම්දණ්‌ඩ ඔහු ලබාගන්නා මනාප ජන්ද සංඛ්‍යාවයි. වෛද්‍යවරයා මනින මිනුම් දණ්‌ඩ ඔහු වෙත ගලාඑන රෝගීන් සංඛ්‍යාවයි. පාතාල නායකයා මනින මිනුම් දණ්‌ඩ ඔහු සතු පිරිවර, ආයුධ ප්‍රමාණය සහ ඔහු කරන විනාශයේ ප්‍රමාණයයි. බුද්ධිමතා මනින මිනුම් දණ්‌ඩ ඔහු ලබාගත් උපාධි සහතික ප්‍රමාණයයි. තමා කැමැතිදෙය දැඩි තෘෂ්ණාවකින් අල්ලාගෙන අල්ලාගත් ක්‍ෂේත්‍රය තුළ ශක්‌තිමත්භාවයෙන් සියල්ල උපාදානය කරගන්නා පුද්ගලයා යනු දියුණු පුද්ගලයාය. මේ දියුණුව කියන තැනට පැමිණීමට තමයි හැමෝගේම උත්සාහය. වැඩි වැඩියෙන් අයිති කරගන්න. වැඩි වැඩියෙන් අයිති කරගැනීමට යන ගමනේදී හැමෝටම එකම ස්‌ථානයකට එන්න බැහැ. පුද්ගල ශක්‌තිමත්භාවය මත, පෙර සංසාරික කුසල් අකුසල් මත අයිති කරගැනීමේ විවිධත්වයන් පවතිනවා. සමාජය තුළ තිබෙන තරගකාරීත්වය වශයෙන් අප දකින්නේ තමා අයිතිකරගත් දෙය තව වැඩි කරගැනීමට දරන ප්‍රයත්නයයි. අයිති නොකරගත් දෙය අයිති කරගැනීමට යැමයි. මේ තරගය සඳහා ඔබ අවතීර්ණ වූ විට ඔබට ගොඩාක්‌ අකුසල් සිද්ධ වෙනවා. සමහරවිට ඔබ කර්මාන්තශාලාවක්‌, ව්‍යාපාරයක්‌, ගොවිපළක්‌ කරන පිංවතෙක්‌ වෙන්න පුළුවන්. ඔබ වැඩි ලාභයක්‌ ලබන්න අවශ්‍ය නම්, තව කෙනෙක්‌ව ඔබ සීමා කරන්න ඕනේ. ඔබ තව කෙනකුගේ දෙයක්‌ ලැබීමක්‌ සීමාකිරීමෙනුයි, කප්පාදු කිරීමෙනුයි ඔබට වැඩි දෙයක්‌ ලබාගත හැක්‌කේ. ඒ තුළිනුයි ඔබට අවිද්‍යාවේ මිනුම් දඬු වලින් දියුණුයි කියන ජය කණුවට එන්න පුළුවන්. භික්‍ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ ඔබේ දියුණුව සඳහා අනික්‌ පුද්ගලයාගේ අයිතිය සීමාකිරීමට යාම තුළ ඔබ අයිතිකරගන්නා අකුසල්වල ප්‍රමාණය ගැන ඔබගේ අවධානය යොමුකිරීමය. එසේ නොමැතිව ඔබට ආර්ථික විද්‍යාව ගැන කියාදීමට නොවේ. භික්‍ෂුව දන්නා එකම ආර්ථික විද්‍යාව අඩුකිරීමය. අඩුකිරීම තුළින් නැති කිරීමය.

එකතු කිරීම තුළින් රැස්‌කිරීමත්, රැස්‌කිරීම තුළින් විනාශයත් ධර්මයේ අර්ථය නොවේ. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙන අර්ථයක්‌ ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුක? තම වසඟයේ පවත්වාගතහැකි කිසිවක්‌ ලෝකය තුළ නොමැති නිසා.

අවිද්‍යාව විසින් ඔබට පෙන්වන ලෝකයේ දියුණුව යන මිනුම් දඬු අත්කරගැනීම සඳහා ඔබ යන ගමනේදී සේවකයාගේ, පාක්‍ෂිකයාගේ නිදහස, වැටුප, අයිතීන් සීමා කිරීමට යැම නිසා ඔබ නොදැනුවත්වම අයිsති කරගන්නා අකුසල් ලෝකය දියුණුවෙන්න දියුණුවෙන්න ප්‍රමාණාත්මකව ඉහළ යයි. ඒවායේ කර්ම විපාකයන් ගෙවීමේ අවසAථාවද එයට සාපේක්‍ෂව ඉහළ යයි. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතකු, පක්‍ෂියකු, මාළුවකු මුළු රැය පුරා සුවසේ නිදාගැනීමක්‌ නැත. ඔබ නිවසේ රාත්‍රියට සුවසේ නිදාගෙන අලුයම අවදි වේ. මෙවැනි නින්දක්‌ ලබාගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නොමැත. එම සතුන් ගසක කොළයක්‌, අත්තක්‌ වැටුණද වෙනත් සතකුගේ ශබ්දයක්‌ ඇසුණද තිගැස්‌සී බියෙන් ඇහැරේ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්‌කේ කර්ම විපාකයක්‌ නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සිSමාකිරීමයි. අනුන්ව බියගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩපවත්වා තැබීමයි. කොටින්ම නිදහස පැහැරගැනීමයි. එහි විපාකයන් ලෙස මිනිස්‌ ජීවිතයෙන් චුතව තිරිසන් ආත්මයේ ඉපිද එම කර්ම විපාකයන් ගෙවයි. ලෝකයේ ජීවත්වන සත්වයා අකුසල් දෙසටමය. තමාට රැස්‌කරගැනීම සඳහා අනුන්ගෙන් උදුරාගැනීමටය. මේ උදුරාගැනීම කරන්නේ බොහෝම නම්බුකාර ක්‍රමයටය. ලාභය, ගුණාත්මකභාවය, අතිකාල, ආයතනයේ දියුණුව වැනි ලස්‌සන වදන්, ලේබල මෙයට අලවා ඇත. සමාජයේ වෙළෙඳපොළේ පැවැත්ම උදෙසා ඉහත දේවල් අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තර්කයක්‌ නොමැත. මේවා නැති කළ නොහැකි ලෝක ස්‌වභාවයන්ය. එහෙත් මෙහි කථාකරන්නේ අවිචාරයෙන් මේවා අයිති කරගැනීම සම්බන්ධවය. මේවා අවිචාරවත්ව අයිති කරගැනීමට යැම නිසා මනුෂ්‍යයා අතින් රැස්‌වන අකුසල් ප්‍රමාණයත්, අකුසල් රැස්‌කිරීම වැඩිවන්න, වැඩිවන්න අකුසල් විපාකදීමේ ස්‌වභාවයද වැඩිවනවා. මේ සත්ව ප්‍රජාවගේ අකුසල් විපාකදීමේ ස්‌වභාවයේ තියුණුබව ඔබට ලෝකය දෙස බලා වටහාගන්න. අතීතයේ කුකුළෙක්‌ අවුරුද්දක්‌ ජීවත්වුණාට පස්‌සේ තමයි එම සතාව මසට මැරුවේ. එයා අවුරුද්දක්‌ ජීවිතය වින්දා. ඊට පස්‌සේ මේ කුකුළාගේ ජීවත්වීමේ අයිතිය ක්‍රමානුකූලව කුකුළාට අහිමිවුණා. මාසෙන් මාසය ජීවත්වීමේ අයිතිය බ්‍රොයිලර් කුකුළාට අයිතිවෙමින් දැන් බ්‍රොයිලර් කුකුළෙක්‌ව මාස දෙකකටත් අඩු කලකින් මසට මරණවා. මාස දෙකකටත් අඩු කාලයයි ජීවත්වීමට අයිතිය ලැබෙන්නේ. ඇයි මේ? සත්වයාගේ කර්මය විපාකදීමේ වේගය එන්න එන්න වැඩිවෙනවා.

අතීතයේ වසරකට එක වතාවක්‌ බෙල්ල කපාගෙන මැරුණු කුකුළෙක්‌ වර්තමානයේ වසරකට හය වතාවක්‌ බෙල්ල කපාගෙන මැරෙනවා. ඒ කියන්නේ කර්ම විපාක විඳිනවා. ලෝකය අවිද්‍යාවෙන් දියුණුවට යනකොට මේ බ්‍රොයිලර් කකුලා සති දෙකකින් මරා මසට ගන්න තාක්‍ෂණයක්‌ ඇතිවේවී. ලෝකය එය තාක්‍ෂණයේ, සත්ව නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ දියුණුවක්‌ ආශ්චර්යයක්‌ ලෙස දකීවී. මෙම තාක්‍ෂණය සොයාගත් විද්‍යාඥයන්ට උපාධි සහතික පිරිනමාවී. හැබැයි ඉතින් කකුළන්ගේ පැත්තෙන් කර්ම විපාක දීමේ වේගයයි පෙනෙන්නේ. කුකුළා වැඩි වාරගණනක්‌ මැරම් කන වාරයක්‌ පාසාම කුකුළාව මැරීමට හවුල්වන මිනිසාද රැස්‌කරන ප්‍රාණඝාත අකුසල් ප්‍රමාණය වේගවත් වෙනවා. ඔන්න දැන් ඔබ බලන්න මෙතන දියුණුභාවයට පත්වුනේ කුමක්‌ද? අවිද්‍යාවයි. සත්වයාගේ දුකයි. කුකුළා මරණ වාර ගණන වැඩි වෙනවා. මිනිසාගේ ප්‍රාණඝාත අකු=සල් ප්‍රමාණයත් වැඩිවෙනවා.

සත්ව ලෝකයේ බ්‍රොයිලර් කුකුලෙක්‌ වෙලා ඉපදෙන්නේත්, මසට හදන සතකු ලෙස ඉපදෙන්නේත් කර්ම විපාකයක්‌ නිසාමයි. අපි මොනතරම් අනුකම්පා කරලා මෛත්‍රිය නිසා කුකුල් මස්‌ නොකෑවත් බ්‍රොයිලර් කකුලාගේ අකුසල් විඳීමේ ස්‌වභාවය නවත්වන්න අපට බැහැ. මස්‌ කඩේ මස්‌ සඳහා කූඩුකරලා තිබෙන බ්‍රොයිලර් කුකුලෙක්‌ 'අනේ මේ සතා මරන්න දෙන්න හොඳ නෑ' කියලා සත්ව කරුණාව ඇතිකරගෙන මුදල් ගෙවා එම සතා ගෙදර ගෙනවිත් හැදුවොත් සතා ටික දවසක්‌ ජීවත්වෙලා මැරිලා යනවා. මැරිලා ගිහින් නැවතත් බිත්තරයක්‌ තුළම උපත ලබාවී, බ්‍රොයිලර් කෙනෙක්‌ වෙලාම. ඔබ ඒ සතාව මරණයෙන් බේරුවා කියලා ඒ සතාගේ කර්ම විපාකයෙන් බේරාගන්න බැහැ. සතර අපායේම ඉපදෙමින්, ජීවත්වීමේ කාලය සීමාකරගනිමින්, මැරුම්කමින් විපාකයන් ගෙවනවා.

ඔබ හිතන්න ඔය කුකුළු ගොවිපළවල, කුකුල්මස්‌ තොගයට මරණ කඩවල, බ්‍රොයිලර් සතුන් මරන මිනිස්‌සු ඉන්නවා. මේ එක මනුස්‌සයෙක්‌ දවසකට සතුන් 500 ක්‌ විතර බෙල්ල කපා මරාදමනවා. මෙහෙම බලනකොට ඒ මනුස්‌සයා ජීවිතකාලය තුළ මොනතරම් නම් සතුන් මරන්න ඇතිද? සමහර අන්‍ය ආගම් වල මිනිසුන් සිටිනවා, ඒ අය දිනපතා ආහාර සඳහා කුකුල්ලු මරණවා. අනුන් මරන මස ඒ අය පාවිච්චිකරන්නේ නැහැ. මේ විදිහට බලනකොට දිනකට බ්‍රොයිලර් 25,000ක්‌ මරණවා කියලා හිතමුකෝ. ඒ හැම සතෙක්‌ම මරන්නෙ මනුෂ්‍යයෙක්‌. එහෙම නම් මේ කර්ම විපාකය නිසා මේ මනුෂ්‍යයෙක්‌ මැරිලා ගිහින් දිව්‍යලෝකේ උපදිනවාද? නැහැ. බිත්තරයක්‌ ඇතුළේමයි උපදින්නේ. ඇයි? කුකුල් සංඥාව කැමති නිසා. කර්මය විපාක දීමට අවශ්‍ය නිසා. ගෙවන්නට තිබෙන අකුසල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, විපාක දීමේ අවස්‌ථාවත් වැඩිකරනවා. මේ විපාක දීමේ වැඩිභාවය තමයි වර්තමානයේ මේ සත්ව ලෝකයේ අඩු ආයුෂින් මස්‌ පිණිස සකස්‌වීමේ තාක්‍ෂණය ඉදිරියට යන්නේ. හැකි තරම් රසායනිකයන්, ආහාර, බෙහෙත් පොවලා ඉක්‌මනට ලොකුකරලා ඉක්‌මනට මරනවා. නැවත උපදින්න. අතීතයේ කරපු මහා අකුසල් කඳු ගෙවීමට අවස්‌ථාව උදාකරගන්න. ඔබ බ්‍රොයිලර් කුකුලෙක්‌ කියන්නේ අතීතයේ කුකුල් මරන්නෙක්‌මයි. ඔය පෘෂ්ඨිමත් එළුවෙක්‌, ඌරෙක්‌ හරක්‌ නාම්බෙක්‌ කියන්නේ පෙර ආත්මභාව වල හරක්‌ මරන්නෙක්‌මයි. ඔවුන් එම මිනිස්‌ ජීවිත වලදීa එළුවන්, ඌරන්, හරකුන් දහස්‌ ගණනින් මැරූ අය. ඔබ මරණයට කැපවූ සතෙක්‌ නිදහස්‌ කළා කියලා එම සතා මරණයෙන් මුදවන්න, එම අකුසල් කන්දෙන් මුදවන්න බෑ. ඔවුන් ඒවා ගෙවිය යුතුමයි. ඔබ කළ යුත්තේ සතුන් මරණයෙන් මුදවාගැනීමට යැම නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ විෂම ලෝක ස්‌වභාවය හඳුනාගෙන නැවත ඔබ කුකුලෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌, හරකෙක්‌ නොවන්නටය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක්‌ බවට පත්වීමට උත්සහකිරීමය.

දිනකට බ්‍රොයිලර් විසිපන්දහස්‌ ගණනින් මරපු මිනිසුන්මයි එය නැවත බ්‍රොයිලර් කුකුළන් වෙලා උපදින්නේ. ඒ උපදින්නේ මැරුම්කන්නමයි. නිදහසේ මියයන්න නොවේ. නිදහසේ ගේ මිදුලක ඇහිඳගෙන කන්න නොවේ. නිදහසේ හිරු එළියේ, සුළඟේ පහස විඳින්න නොවේ. නිදහසේ තම වර්ගයා සමග සතුටුවෙන්න නොවේ. මේ සත්වයන් කළ කර්මයන් ඔය ගෙවන්නේ. අපේ මෛත්‍රියට කරුණාවට ඒ කර්මයෙන් ඒ අයව මුදවන්න. ආහාර තාක්‍ෂණයේ දියුණුවෙන් නිපදවන සෑම සොසේජස්‌ එකක්‌ පාසාම මීට්‌ බෝල් එකක්‌ පාසාම සකස්‌කළ, සකස්‌ නොකළ මස්‌ කැබැල්ලක්‌ පාසාම එම සතුන් මරාදරමූ මිනිසුන්ට නැවත කල්ප ගණන් තිරිසන් ලෝකයේ ඉපද සොසේජස්‌, මීට්‌බෝල්ස්‌ වෙන්න සිදුවෙනවා.

ඔය මසට ඇතිකරන සතුන් ගැන ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න. ඒ සතුන් මරුම්කන තුරුම සීමිත ඉඩ ප්‍රමාණයකයි ජීවත්වෙන්නේ. ඒ සතුන්ට ඇවිදීමේ ඉඩකට සීමාකරලයි තිබෙන්නේ. ශක්‌තිය කැලරි වැයවන නිසා මස්‌ බර අඩුවේය කියලා. දැන් අලුත්ම බ්‍රොයිලර් කුකුළන් ඇතිකීරීමේ තාක්‍ෂණය තමයි විශාල කූඩුවල රාක්‌ක පෙට්‌ටි තනා, එම කුඩා පෙට්‌ටියේ කුකුලා ඇති කිරීම. කුකුලාගේ ප්‍රමාණයට තැනූ එම පෙට්‌ටියේ එම සතාගේ හිස එළියට දැමීමට ප්‍රමාණවත් කවුළුවක්‌ තිබෙනවා. මසට ගන්නාතුරු ඒ කුකුළා ජීවත්වෙන්නේ එම පෙට්‌ටිය ඇතුළේ. පෙට්‌ටියේ ඇති කුඩා කවුළුව ඉදිරියේ ජලය සහ ආහාර පටියක්‌ තිබෙනවා. පෙට්‌ටියේ කුඩා කවුළුවෙන් හොට එළියට දමලා, ජලය සහ ආහාර අරගෙන පෙට්‌ටිය සැපය කරගෙන එයා එහි ජීවත්වෙනවා. මේ ක්‍රමයෙන් මස්‌ බර වැඩිවෙනවලු. මෙම සතා කූඩුවේ සිටියත්, මෙම පෙට්‌ටියේ සිටියත් මාස එකහමාරෙන් මරා මස්‌ කරනවා. එහෙත් මේ ක්‍රමය යටතේ මේ සතාට එම කෙටි කාලය තුළ ඇවිදීමේ නිදහසත් නැතිවෙලයි මැරුම්කන්න වෙන්නේ. ලෝකයා මේවා හඳුන්වන්නේ තාක්‍ෂණයේ නව සොයාගැනීම් දියුණු වශයෙන්. මිනිසාට සත්තු මරන්න කියලා යොමුකරන්නෙත් අවිද්‍යාසහගත සිතමයි. එම අකුසල් නිසා මරණින් මතු තිරිසන් ලෝකයේ ඉපදුනහම එම තිරිසන් සතාව ඉක්‌මනටම ශරීර බර වැඩි කරලා මසට ගන්න ක්‍රමය කියලා දෙන්නෙත් අවිද්‍යා සහගත සිතමයි. ලෝකය දියුණුවෙනකොට සත්වයාගේ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. ආයුෂ අඩු වෙනවා. මියයැමේ වේගය, ඉපදීමේ වේගය වැඩිවෙනවා. තිරිසන් සත්වයකුගේ ඉපදීමේ වාර ගණන වැඩිවෙනවා කියන්නේ එම සතුන් හිස කපාගන්නා වාර ගණන වැඩි වෙනවාය කියන එකයි.

එක්‌තරා ඌරු ගොවිපලක මස්‌ පිණිස විශාල චීන ඌරන් ඇතිකරන්නේ අඩි හතරේ දිග පළල, භාග බිත්ති බැඳපු කුඩා කුටිවලයි. එම සතුන්ගේ ලෝකය තමයි අර කුඩා කුටිය. ඒ සතුන්ට ඇවිදින්න දෙන්නේ නැහැ. මස්‌ බර අඩුවෙනවාය කියලා. ආහාර ජලය ඖෂධ දෙනවා පමණයි. සමහර ඌරන් ශරීර බර වැඩි නිසා පැත්ත වැටිලයි ඉන්නේ. මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න කුකුළෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, හරකෙක්‌ දැක්‌කහම එම සතාගේ අයිතිකරු මොනතරම් සතුටක්‌ ලබනවද. මොකක්‌ද මේ ලබන සතුට, මතු ආත්ම දහස්‌ ගණනක තමාත් තිරිසන් සතකුව ඉපිද මේ දුක සහතික කරගැනීමේ අවිද්‍යාවේ සතුටයි. මෙ මෝඩ සල්ලිකාර මනුෂ්‍යයාගේ ඇස්‌ අවිද්‍යාවෙන් වහලයි තියෙන්නේ. එයා දකින්නේ වැඩි යමක්‌ අයිතිකරගැනීමේ අවිද්‍යාවේ සිහිනය පමණයි. ඒ සිහින සුන්දර තරමටම, එම සිහිනයෙන් බැංකු ගිණුමේ ඉලක්‌කම් ගණන වැඩිවන තරමටම, එහි විපාකයන් භයානයකය. අවිද්‍යාවෙන් දෑස්‌ අන්ධ වුණු මේ සල්ලිකාර මහත්තයා මොහොතක්‌වත් සිතන්නේ නැහැ මේ මස්‌ බර වැඩි නිසා පැත්ත වැටිලා ඉන්න තිsරිසන් සතා අතීතයේදී ඔහුටත් වඩා සල්ලිකාර මහත්තයෙක්‌ය කියලා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

Monday, August 10, 2026

වස් දහනවයක ගුණාත්මකභාවය

2026 අගෝස්තු 09

පින්වත, මනුෂ්‍ය අපේ පෘථග්ජන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් අපිව සතර අපා, මනුෂ්‍ය, දිව්‍ය සහ බ්‍රහ්ම භව නවාතැන් පොළවල භව සංචාරකයන් බවට පත් කරනවා වගේ ම, උතුම් බල ධර්මයෝ අපිට භව නිරෝධයේ නිදහස් වීම උදෙසා ද උපකාරක ධර්මයෝ සකස් කොට දෙනවා. පින්වත, සංස්කාරයන්ගේ විවිධත්වය දෙස, අපි අවිද්‍යාවේ ඇසෙන් බලන නිසා ම, අපි තුළ ඇති වන ඇලීම් සහ ගැටීම් පෘථග්ජන ධර්මයන් සහ ඉන්ද්‍රිය ධර්මයන්ගේ “ආයුෂයට”, වර්ණය, සැපය, බලය ලබා දෙනවා. පින්වත, පෘථග්ජන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන්ට අදාළව මනුෂ්‍ය සමාජය දකින පින්වතා, බාහිර ලෝකයා සමග ගැටෙන්නේ නැහැ. පින්වත, මනුෂ්‍ය දුර්වලතාවයෝ සහ මනුෂ්‍ය යහපත් ධර්මයෝ ඔහු දකින්නේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ සහ බල ධර්මයන්ගේ දියුණු සහ නොදියුණුභාවයේ හේතුඵල ධර්මයෝ හැටියට මයි. පින්වත, වස් හතළිහකට වැඩි ගෞරවනීය අනුනායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට මුණගැසුණ අවස්ථාවේ දී උන්වහන්සේ වැඩසිටි අසුනෙන් නැගිට දෑත් එකතු කොට ගනිමින් භික්ෂුවගෙන් ඇසුවේ, “ඔබවහන්සේට වස් කීයද?” කියලා. පින්වත, එම අවස්ථාවේ දී භික්ෂුව ප්‍රකාශ කළේ, “ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස, මම වස් දහඅටක පුංචි හාමුදුරුවෝ කෙනෙක්. මට සමා වෙලා ඔබවහන්සේ ආසනයේ වැඩසිටින්න. මට ඔබවහන්සේට වන්දනා කරන්න අවශ්‍යයි” කියලා. පින්වත, අපි හැමෝගේ ම දියුණු ඉන්ද්‍රිය ධර්මයෝ සහ බල ධර්මයෝ ලෝකය නිහතමානීකමින් බබළවනවා. පින්වත, අපේ නොදියුණු ඉන්ද්‍රිය ධර්මයෝ අපිට වැඩිහිටි උපාධ්‍යායන් වහන්සේ නමකටවත් වන්දනා කරන්න වීර්යය ඇති කොට දෙන්නේ නැහැ. පින්වත, අපේ වැඩිහිටි වන්දනාවෝ, අපිට, අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිහිටිභාවය පෝෂණය කොට දෙනවා.

 පින්වත, තවත් සුන්දර වස්සානයක් උදා වුණා. පින්වත, මේ උදා වුණේ භික්ෂුවගේ දහනවවැනි වස්සානය. පින්වත, ගෙවී ගිය වස්සානය භික්ෂුව ගත කළේ ගිනිගත්හේන ප්‍රදේශයේ. පින්වත, මෙවර භික්ෂුව වස්සානය ගත කරන්නේ කොළඹින් කිලෝමීටර් එකසිය පනහකට එහා පිහිටි කැලෑබද ගම්මානයක. පින්වත, භික්ෂුවගේ දහනවවැනි වස්සානය උදා වෙන මේ මොහොතේ, භික්ෂුව, භික්ෂුවගේ වස් දහනවයක භික්ෂු ජීවිතය දෙස ස්වයංපරීක්‍ෂණයක යෙදෙනවා. පින්වත, භික්ෂුව, භික්ෂුව තුළින් දකින්නේ වස් දහනවයක “ගුණාත්මකභාවය” භික්ෂුව තුළ තිබෙනවා ද කියලයි. පින්වත, වස් ප්‍රමාණයේ ගුණාත්මකභාවය මනින මිනුම් දණ්ඩ, උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න ගුණයෝයි. පින්වත, ඉහත මිනුම් දණ්ඩ තුළින් භික්ෂුවගේ වස් දහනවය දෙස දකිද්දී, භික්ෂුවට සතුටක් නොවේ දැනෙන්නේ. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින උතුම් ධම්මානුපස්සනාවේ පහස මයි. පින්වත, මහා ගාම්භීරභාවයෙන් මට වස් මෙච්චර යැයි කීම නොවේ, භික්ෂුවට අර්ථවත් වෙන්නේ. පින්වත, භික්ෂුවගේ “වස් වැඩිහිටිභාවයට” අදාළව භික්ෂුවගේ ගුණාත්මකභාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ උපසම්පදා පැවිදි ශ්‍රාවකයන් හැටියට අපිට පුළුවන් නම් අපේ වස් සංඛ්‍යාව සිහිපත් වෙද්දී, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ’ යැයි දකින්න, පින්වත, එතැනයි වස් වැඩිහිටිභාවයේ සැබෑ ම ඉලක්කය වන සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තියේ හැඩරුව තිබෙන්නේ.

 පින්වත, බුදුරජාණන් වහන්සේට කීකරු උපසම්පදා භික්ෂුවකගේ ජීවිතය යැයි කියන්නේ මොනතරම් නම් නිදහස් ජීවිතයක් ද? පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රියෙන්, ශීලයෙන්, සතියෙන් සහ සමාධියෙන් පණ ලබන පැවිදි ජීවිතයක කෙලෙස් බර සැහැල්ලු වෙද්දී, පැවිදි ජීවිතයකට දැනෙන්නේ පියාපත් බර පමණක් මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත් පියාපත් දෙකේ බර යාන්තමට දැනෙනවා. පින්වත, භික්ෂුවගේ පියාපත් දෙකේ බර යැයි සටහන් තැබුවේ, භික්ෂුවගේ උරහිසේ එල්ලා ගෙන වඩින පාත්‍රය සහ කුඩා අත්බෑගයේ බරයි. පින්වත, එම පියාපත් දෙකේ බරත්, ඵස්සයේ අනිත්‍යභාවය දැකීම ඉදිරියේ භික්ෂුවට නම් සැහැල්ලුවක් මයි. පින්වත, භික්ෂුවට තම උරහිසේ එල්ලාගෙන යන පාත්‍රය බරක් නොවුණත්, භික්ෂුව උරහිසේ එල්ලාගෙන වඩින පාත්‍රයත් “බරක්” කොට ගත් පින්වතුන්ලා භික්ෂුවට මුණගැසී තිබෙනවා. පින්වත, වරක් සවස ධර්ම දේශනාවකට භික්ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන වඩිද්දී, තරුණ ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවගෙන් ඇසුවා, “ඔබ වහන්සේ රාත්‍රී දානයකට ද වඩින්නේ?” කියලා. පින්වත, භික්ෂුව සිනහ වෙලා වැඩියා. පින්වත, යම් ගිහි හෝ පැවිදි පින්වතෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය දකිද්දී, ඉන් භික්ෂුවට ලැබුණ ප්‍රතිලාභය වූයේ උතුම් ධම්මානුපස්සනාවේ කුසල් ශක්තිය මයි. පින්වත, අනුනගේ ඇලීම් සහ ගැටීම් තුළින් ඔබේ ධම්මානුපස්සනාවේ දොරටු විවෘත කොට ගන්න දක්‍ෂ වෙන්න.

 පින්වත, පියාපත් බර පමණක් දරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඥාතිවරයෙක්ගේ, හිතවතෙක්ගේ, දායකයෙක්ගේ හෝ නිත්‍ය කැපකරුවෙක්ගේ බර කෙසේ නම් දැනෙන්න ද? පින්වත, ලෝකය මැද, ලෝකයෙන් නිදහස් වී ජීවත් වෙන්නායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අරටුව බවට පත් වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අරටුව බවට පත් වූ පැවිදි ශ්‍රාවකයෝ ලෝකය පරිහරණය කරන්නේ ‘තෘෂ්ණාවට විරේක බෙහෙත්’ දීලයි. පින්වත, තෘෂ්ණාවට විරේක බෙහෙත් දෙද්දී, උපාදානයෝ “බල ධර්මයෝ” උදෙසා මයි බල ගැන්වෙන්නේ. පින්වත, උදා වුණ සුන්දර පිනැති වස්සානයේ දී, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසේ සාමකාමී සටන් පාඨය විය යුත්තේ අප්‍රමාදීභාවය මයි. පින්වත, මෙවර වස්සානයේදීත් පිනේ කෙටි ආස්වාදය හෙවත් වර්ණය, සැපය, බලයට යට වෙලා ඉබි ගමනින් භව ගමනේ යන, පිනේ පුංචි කෝච්චියට නම් නගින්න එපා. පින්වත, අපි හරිම ආසයි, පිනේ පුංචි කෝච්චියේ නැගලා, කාම, රූපී, අරූපී ලෝකවල විනෝද භව චාරිකාවේ යන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් පටිච්චසමුප්පන්නව පිනේ පුංචි කෝච්චියට නැගලා ඉබි ගමනින් කාම ලෝකයේ විනෝද චාරිකාවක යෙදී සිටින ගමන්මයි ඔබට මේ සටහන තබන්නේ. පින්වත, භික්ෂුව අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ සිය ගණනක පටිච්චසමුප්පන්නව ඉපදිලා, උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා “කාලය කා දමා ඇති වස් සංඛ්‍යාව”, වස් ලක්‍ෂ සිය ගණනක් වෙනවා. පින්වත, පටිච්චසමුප්පන්නව වස් ලක්‍ෂ සිය ගණනක ගොරහැඩි භික්ෂුවක් ඔබට මේ සටහන් තබන්නේ. පින්වත, ගෙවාගෙන පැමිණි දීර්ඝ පටිච්චසමුප්පන්න ලෝකය, ඔබේ වර්තමාන ලෝකයෙන් හිස් කොට දමන්න. පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’ යැයි දකිමින් තෘෂ්ණාවෙන් දුවන ලෝකය ඉදිරියේ, අවිද්‍යාවේ ඝනාන්ධකාරයට ධම්මානුපස්සනාවේ ආලෝකය ලබා දෙන්න.

 පින්වත, ‘කෘතවේදීභාවය’ මේ ලෝක ධාතුවේ හතරවැනි දුර්ලභ අර්ථය යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, කෘතවේදීභාවය ලෝකයෙන් අතුරුදන් වූ තැන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වෙලාම යනවා. පින්වත, පිනට පෙරළා පින් දෙන්න ඕනේ, එවිටයි පින සශ්‍රීකභාවයෙන් තව තවත් ඵලබර වෙන්නේ. පින්වත, හැබැයි ඉතින් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ටකය හෙවත් සීනුව පිනෙන් ඵලබර ජීවිතය තුළ එල්ලා තබා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, එසේ නොවුණොත්, අකුසල් මූලයෝ නමැති නිශාචර පක්‍ෂීහු ඔබේ පිනේ ඵලබර අකාලයේ “කා” දමන්න පුළුවන්. පින්වත, වස්සානයට පෙරාතුව භික්ෂුවගේ අවසාන ධර්ම දේශනාව පැවතියේ මාතර කුඩාවැල්ල ප්‍රදේශයේ. පින්වත, ධර්ම දේශනාව අවසානයේ දී භික්ෂුව හැමෝටම ගෞරවයෙන් පින් අනුමෝදන් කළා. පින්වත, ගෙවී ගිය වසර තුළ සෑම සතියක ම එක් සමථ විදර්ශනා ධර්ම දේශනාවක් පැවැත්වූවා. ඊට අමතරව මාස දෙකකට වරක් සමථ විදර්ශනා එක්දින ශීල ව්‍යාපාරයන් පැවැත්වූවා. පින්වත, එම සෑම පින්කමකට ම කාලය, ශ්‍රමය, ධනය කැප කළ සියලුම සත්පුරුෂ පින්වතුන්ලාටත්, පින්වතියන්ලාටත්, පින්වත් ගම්වාසී, රටවාසී සහ විදේශගත සියලුම පින්වතුන්ලාටත්, සමථ විදර්ශනා ශීල ව්‍යාපාරයන් උදෙසා කල්‍යාණමිත්‍රභාවයෙන් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් ‘දිවයින’ පුවත්පත් ආයතනයේ පින්වත් සභාපතිතුමන් ඇතුළු කර්තෘ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත්, කල්‍යාණමිත්‍රභාවයෙන් සහයෝගය ලබා දුන් උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මේ උතුම් සමථ විදර්ශනා කුසල් ධර්මයෝ නිදුක්, නීරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ පිණිසම හේතු වේවා! යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වත, ලැබුවා වූ සුන්දර වස්සානය ගිහි, පැවිදි අපි හැමෝටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අර්ථවත් වෙන, දසකුසල් ධර්මයෝ සහ මඟඵල, නිවන් මඟ කෙරෙහි ඡන්දය ඇති වෙන අර්ථවත් වස්සානයක් වේවා!

පූජ්‍ය රාජගිරියේ  අරියඥාන ස්වාමින්වහන්සේ

Sunday, August 9, 2026

මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?එහෙමනම් කියවන්න

2012/06/03 ලිපිය

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ නිසයි ඊට ආශාවෙන් කැමැත්තෙන් ගෙදරට ප්‍රේතයෙක්‌ ලෙස උපාදානය ලැබුවා. හැබැයි ඔහු ජීවත්ව සිටියදී කුසල් දහම්ද වැඩූ අයෙක්‌. ඒත් මියයන මොහොතේ එම පිංකමක්‌ සිහිකළා නම්, සිහිවුණා නම් නියත වශයෙන්ම ඔහුට සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න තිබුණා. ඔහුට බිරිඳ, දරුවන්, ගේදොර කෙරෙහි ඇති වූ උපාදානය නිසා බැඳීම් නිසා කුසල් සිත් යටපත්ව තණ්‌හාවෙන් තෙත්වුණ සිතක්‌ සකස්‌ වුණ නිසා තමා කැමති වූ, ආශා කළ පරිදිම බිරිඳ දරුවන් සිටින නිවසේම ප්‍රේතයෙක්‌ ලෙස ප්‍රතිසංධිය ලැබුවා. ඔහු කැමති වූ ස්‌වභාවය ඔහුට ලැබුණා. ඔබ හිතනවා ද මේ ප්‍රේත ජීවිතය ඔහුට දුකක්‌ කියලා. නැහැ. ඔහුට දුකක්‌ නැහැ. ඔහු සැපයක්‌ කියලාමයි මේ ප්‍රේත ජීවිතය විඳින්නේ. ඔහු කැමති වූ ප්‍රාර්ථනා කළ දෙයයි ඔහුට ලැබුණේ. ඔහුට අවශ්‍ය නම් ඔහු පුහුණුකොට තිබුණා නම් ඔහු කළ කුසල කර්මයක්‌ සිහියට නගාගෙන මෙනෙහි කොට සුගතියක්‌ ලබන්න අවස්‌ථාව තිබුණා. නමුත් ඔහු කැමති තැන ඔහුට ලැබුණා.

දැන් ගෙදර ප්‍රේතයෙක්‌ වෙලා ඉන්න ස්‌වාමි පුරුෂයාට පිං දෙන්න සත්දවසේ හෝ තුන්මාසේ පිංකම කරනවා. නමුත් ඥාතීන් කිසිවෙක්‌ දන්නෙ නැහැ මළගිය තැනැත්තා කොහේ ඉපදුනාද කියලා. නමුත් ඔහු ඉපදිලා ඉන්නෙ ගෙදරමයි. දැන් ගෙදර ධර්ම දේශනා පිංකමට සූදානම්. පිංකමට මහා පිරිසකට ආරාධනා කරලා. ගෙදර ඇතුලෙ, වත්තෙ පිටියෙ හැම තැනම ඥාතීන්, හිතවතුන්. මේ අයට සංග්‍රහ කරන්න මුළුතැන්ගෙයි කෑම බීම හැදෙනවා, කට්‌ලට්‌ බදිනවා, මාළු මස්‌ උයනවා. කෑම මේසය පිළිවෙල වෙනවා. සමහරු කාඩ් සෙල්ලමේ, තවත් සමහරු ආගිය තොරතුරු කථා කරනවා. තව සමහරුන්ගේ දුරකථන නාද වෙනවා. පුංචි දරුවො හඬනවා. දැන් ස්‌වාමින් වහන්සේ වැඩම කරල ධර්ම දේශනය පවත්වනවා. ගෙදර මුළුතැන්ගෙයි, කාමරවල, වත්තෙ පිටියේ කලබල. දැන් ඔබ හොඳින් හිතන්න. පිංදෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයා ගෙදරම සිටිනවා. ඉහත ස්‌වභාවයෙන් ඔබ පිංකම් කළොත් මේ ප්‍රේතයා බණ දවසෙ සවස පටන්ම දැඩිලෙස කලබලවෙලයි, ගැටෙන සිතෙනුයි සිටින්නෙ. මගේ ගෙදරට මිනිස්‌සු එනවා. මගේ බිරිඳ සමග මිනිස්‌සු කතා කරනවා, හිනහෙනවා. මගේ වත්තේ මිනිස්‌සු. ගෙදර කාමරවල මිනිස්‌සු. මගේ බිරිඳ මට අහිමිවෙයිද? කවුරුහරි උදුරාගනීද? මගේ බිරිඳ මේ මොකද කරන්නේ. මම මහන්සිවෙලා හරිහම්බ කළ මුදල් වියදම් කරනවා, මිනිස්‌සුන්ට කන්න දෙනවා. මෙහෙම සිතමින් තන්හාවෙන් චංචල ස්‌වභාවයෙන් ගේ පුරා දුවනවා. ඇවිත් ඉන්න මිනිස්‌සු සල්ලි, රන්රිදී ගනිවී කියල එයා අල්මාරිය මුරකරනවා. මිනිස්‌සු ගෙනා තෑගි පාර්සල් මුරකරනවා. එයා මහා බියකින් පසුවෙන්නෙ. තමාගේ යැයි උපාදානය කොට ගත් දෙය අනුන් පරිහරණය කරනකොට එයාට ධර්මදේශනයට සවන්දීල පිංගන්න සිතක්‌, චිත්ත විවේකයක්‌ නැහැ. ප්‍රේතයා තන්හාවෙන් බියෙන් අන්ධවෙලයි මේ මොහොත ගත කරන්නේ. ධර්ම දේශනය ස්‌වාමින්වහන්සේ හමාර කරල පිංදුන්නත් ප්‍රේතයා ඒ වගක්‌වත් දන්නෙ නැහැ. ඔහු ප්‍රේත ස්‌වභාවයෙන් තමා උපාදානය කරගත් දෙය රැකගැනීම උදෙසායි මුළු කාලයම වැය කළේ. ඔහු තුළින් තවතවත් අකුසල් රැස්‌කර ගැනීමක්‌ පමණමයි සිදු වුණේ.

ඔබ මෙහෙම සිතන්න. ඔබේ ගෙදර සාදයක්‌ තිබෙනවා. කෑම මේසය ආහාරවලින් පිරිලා. ඔබේ ගෙදර සිටින කුඩා දරුවා මෙවැනි අවස්‌ථාවක මොකද කරන්නේ. සමවයසේ දරුවන් සමග සෙල්ලම් කරනවා, හැමෝම අතේ සුරතල් වෙනවා. එයා ආහාර ගැන සිතන්නේ නැහැ. මෙහෙම දඟලලා ආහාර නොගෙනෙම නිදාගන්නවා. රසවත් කෑම මේසයක්‌ තිබුණත් දරුවා නිදාගන්නෙ බඩගින්නේ. ඔබ උපායශීලී නොවුනහොත්, ප්‍රේත ආත්මයක්‌ ලැබූ පිං ගන්න පුළුවන් අයෙකුටත් අර දරුවා කෑම නොගෙන බඩගින්නේ නිදාගන්නා පරිද්දෙන්ම පිං ගැනීම අහිමිවෙනවා. මෙහිදී ඔබ දක්‌ෂ වෙන්න ඕනේ ප්‍රේතයාගේ සිත කලබල නොවන නොගැටෙන ස්‌වභාවයක්‌ පරිසරය තුළ නිර්මාණය කරන්න. සාදයක්‌ කියන්නෙ එකක්‌. පිංකමක්‌ කියන්නෙ තව එකක්‌. මේ දෙකේ අරමුණු දෙකක්‌ තිබෙන්නේ. සාදයකින් වැඩෙන්නෙ කාමය. පිංකමකින් වැඩෙන්නෙ කුසලයක්‌. වර්තමානයේ ධර්මදේශනයයි පාටියයි දෙකම එකටයි ගන්නේ. ධර්මශ්‍රවණය කරන පිංවතුන්ට ධර්මය ඇසෙන්නෙත් ආහාරවල සංඥාව සමගමයි. මේ දෙක ඔබ පටලවා ගන්න එපා. පිංකමක්‌ සිදුකිරීමට අවශ්‍යනම් සද්ධර්මයට ගරුකරන අවශ්‍යම පිංවත් ඥාතීන්, හිතවතුන් කිහිපදෙනාට පමණක්‌ ආරාධනා කරන්න. වත්ත පිරෙන්න නොවේ. ගෙදර සාලය පිරෙන්න. ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය ආහාරපාන සවස හය වෙනකොට සූදානම්කොට අවසන් කරන්න. කුසල් වැඩෙන සංඥාවන් මිස, අනිත්‍ය ධර්මයන් වැඩෙන සංඥාවන් මිස කාම සංඥාවලින් ඔබ මිදෙන්න. නිවස වත්ත හොඳින් පිරිසිදු කොට සම්බුදු පහන දල්වා, මල්, සුවදඳුම් අල්වා නිවස වත්ත පිටිය බුදුමැදුරක්‌ කරගන්න. ස්‌වාමීන් වහන්සේගේ දෙපා දෝවනය කිරීමට ගොක්‌ අත්තක්‌ වියාගන්න. ගොක්‌ අත්තක්‌ භාවිතාකොට පහන් පැලක්‌ සාදා නැවුම් පහනක්‌ දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. මේ පහන් ආලෝකය මේ ඝන අන්දකාරය දුරුවී ආලෝකය පතුරුවන්නාසේ මගේ ඥාතීන් පිං මදව අඳුරේ සිටීනම් මේ පහන් ආලෝකය සේ පිනෙන් ආලෝකමවත් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මේ ආලෝකය යම් සේ අනිත්‍යභාවයට පත්වේද මෙලෙසින්ම මගේ මිය ගිය ඥාතීන්ට ද අනිත්‍ය සංඥාවක්‌ දැනේවා කියල ඔබ අනිත්‍ය වඩන්න. ඔබ සිතන්න යන්න එපා ගොක්‌ අත්තක්‌ කපනවා කියන්නේ පොල්වල්ලක්‌ විනාශ කිරීමක්‌ කියල. සමහරු එහෙම හිතලා මේ වටිනා සිරිත් සමාජයෙන් අහිමි කරනවා. පොල්වල්ලක්‌ අපිට මිල කරන්න පුළුවන් රුපියල් පන්සියයක්‌ කියලා. එහෙත් සමාජයට එකතුව තිබූ වටිනා සිරිත් මිල කරන්න බැහැ. අපි අදක්‌ෂවෙලා තිබෙනවා වර්තමානයේ රුපියල් පන්සියයකට වටිනා ගුණධර්ම මිල කරන්න. ගොක්‌ අත්තක්‌ තුළ පිවිතුරු බව, නැවුම් බව, සෞභාග්‍යය විතරක්‌ නෙමෙයි විශේෂයෙන්ම අද අපේ ගෙදර පිංකමක්‌ තිබෙනවාය කියන සංඥාව තිබෙනවා. මේවායෙන් අපේ සිත්ද ඥාතියාගේ සිත්ද නිසල වෙනවා. සමාධිමත් වෙනවා. ඔබ ගොක්‌ අත්තක්‌ කෙරෙහි පොල්වල්ලක්‌ය යන සංඥාව ඇති කරගත්තොත්, ලෝභ සිතක්‌ ඇති කරගත්තොත් එවැනි සිතකින් අනුන්ට දෙන්න පිනක්‌ රැස්‌වෙයිද කියලා හිතන්න බෑ. යමෙක්‌ තුළ ගොක්‌ අත්තක්‌, පොල්වල්ලක්‌, පොල් ගසක්‌ පමණක්‌ නොව පොල් වත්තම මගේ කොට ගැනීම නිසා ඒවා තුළ නිත්‍යවූ වටිනාකමක්‌ ඇතැයි දැකීම නිසා පොල්වත්තේම ප්‍රේතයෙක්‌ව ඉපදීම ලෝක ස්‌වභාවයම පවතිනවා.

ඉහත ආකාරයට ඔබේ නිවස වත්ත පිටිය ආගමික පරිසරයක්‌, චිත්ත සමාධිය වැඩෙන පරිසරයක්‌ ලෙස සකස්‌කොට ගෙන ඥාතියාට පිංදීමට ඔබ උපක්‍රමශීලී විය යුතුය. ගෙදර බාහිර ක්‍රියාකාරකම් අවම වන තරමට ඥාති ප්‍රේතයාගේ සිත පිංකම කෙරෙහි රඳවා තබාගත හැකිය. එසේ නොවුනහොත් කෑම මේසයක්‌ ගෙදරක තිබියදී කුසගින්නේ නිදාගත් දරුවා සේ පිංකම සිදුකළද ඥාතියා පිංනොගෙනම පිංකම අහවරවනු ඇත. එහෙයින් ඥාතියාගේ සිත ඇලෙන ගැටෙන ස්‌වභායෙන් තොරව පිං ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට ඥාති ප්‍රේතයාට ඔබ පරලොවින් උපකාර කරන්න.

වර්තමාන සමාජයේ අපි උත්සහ ගන්නේ ජීවත්ව සිටින විට සතර අපායෙන් මිදීමට අවශ්‍ය කුසල් දහම් වැඩීම නොව, අනුන්ගේ පිං අවශ්‍ය නොවන සුගතියක ඉපදීමට පුහුණු වීම නොව, මියගිය පසු අනුන්ගේ පිනෙන් යැපෙන අවාසනාවන්තයෙක්‌ වශයෙන් ජීවත්වීමටය, මිය යෑමටය. සමහරු මිය යන්නේ හත්දවසේ තුන්මාසේ පිංකම්වලට මුදල් වෙන්කොට තබාය. මෙසේ පිංවත් ඔබ ජීවත්ව සිටියදීම මගේ ඥාතියා මරණයෙන් මතු මාව අසරණ කරාවී යන සංඥාව ඇති කරගෙන හමාරය. වර්තමානයේ ඔබ තුළ “මිය ගිය පසු මගේ ඥාතියා මට පිංදෙයි, ඥාතීන්ගෙන් පිං ගනිමි” වැනි සංඥා තිබෙනවානම් ඒවායින් වාහාම ඉවත් වන්න, මිදෙන්න. එම සංඥා තුළින් ඉවත් වීම යනු ප්‍රේත ලෝකයෙන් ඔබ යම් ප්‍රමාණයට මිදුනා වන්නේය. සෑම මොහොතකම ඔබ ඔබ කෙරෙහි, ඔබ කරන ලද පිංකම් කෙරෙහි විශ්වාසය තබන්න. තමා රැකි ශීලයන් කෙරෙහි විශ්වාසය තබන්න. මේ උත්තම ධර්ම මාර්ගය ඔබට විවර කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය තබන්න, සිහිකරන්න, මෙනෙහි කරන්න. ඉනුත් ඔබ්බට ගොස්‌ මේ සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමට ඔබ උත්සහවන්ත වන්න. අනුන්ගෙන් නොයැපෙන, සතර අපායෙන් මිදුන, ධර්මයේ ආලෝකයේ හිමිකරුවෙක්‌ ලෙස මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබ අධිෂ්ඨානය ඇති කරගන්න

මේ උතුම්ම බුද්ධ පූජාවයි

2012/05/27 ලිපිය

පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක්‌ ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදීයන්නේ. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවන් උතුම් වෙසක්‌ දිනයක නිවාදැමූ භව ගමන, ආදර්ශයට ගනිමින් පිංවත් ඔබත් භව ගමන නිවා දැමීම සඳහා මූලික අඩිතාලම වන සක්‌කාය දිට්‌ටිය ජීවිතයෙන් පරාජය කර දැමීමට පෙර සටහන්වල දක්‌වා ඇති පරිදි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ ආර්යකාන්තභාවයත්, නෙක්‌කම්මය උදෙසා දන්දීමත්, පිංවත් ඔබ ඇසුරු කරන ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමටත් අද වන් උතුම් වෙසක්‌ දිනයක පිංවත් ඔබ අධිෂ්ඨානය ඇතිකර ගන්න.

මෙතෙක්‌ ගෙවාගෙන පැමිණි භව ගමන පුරාවට පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජාකරන ලද උතුම්ම බුද්ධ පුජාව එය වේවි. මෙය පිළුණු වී ඉවත ලන පුජාවක්‌ නොව අවබෝධය ලබා තමාම නිවී යන පූජාවකි. භව ගමන අවුලවා ගන්නා පුජාවන්ගෙන් මිදී භව ගමන නිවාගන්නා සැබෑම සම්බුද්ධ පුජාව සම්බුදු පියාණන් පිරිනිවන් මංචකයේ සැතපෙන මොහොතේත් ශ්‍රාවක ඔබෙන් බලාපොරොත්තු වූ මහා කරුණා ගුණයෙන් යුත් අවසාන අවවාදය බවද පිංවත් ඔබ සිහිපත් කොට ගත යුතුය. ඒ අසිරිමත් වු ශාස්‌තෘන් වහන්සේගේ පරිනිර්වානයද මංගල්‍යයක්‌ බවට පත්වෙන්නේ උන්වහන්සේගේ මහා කරුණාවෙන් යුතුව කළ අවසාන අවවාදයේ අර්ථය පිංවත් ඔබ ජීවිතය තුළින් හැකි තරමින් අවබෝධ කොට ගැනීමෙන්මය. අවම වශයෙන් මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස මීළඟ භවයේ උපත සකස්‌ කොට ගැනීමට පිංවත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරෙන් කරන ලද ඉහත සටහන් ඔබට මාර්ගයක්‌ම, ආලෝකයක්‌ම වේවා. මේ මාර්ගයද, ආලෝකයද විවර වන්නේ දුකෙන් මිදීම උදෙසා ඔබ තුළ සකස්‌වෙන වීර්යයේ තරමට බව සිහිපත් කොට ගත යුතුය. ඔබ තුළ වීර්යය ඇත. එහෙත් එම වීර්යය ක්‍රියාත්මක වන්නේ වැරදි දිශාවටය. මාරයා නැමති පාපමිත්‍රයාගේ ඇසුර නිසා වීර්යය ඔබව දුක දෙසට මෙහෙයවයි. රූපය කෙරෙහි ජන්දරාගයෙන් ඇලී භවයේ දුක දෙසට ඔබව මෙහෙයවීමට අයෝමය ශක්‌තියක්‌ සේ ඔබ තුළින් සකස්‌වෙන වීර්යය ක්‍රියාකරයි.

ඔබ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය වැඩීමත් සමඟම, රූපයේ යථා ස්‌වභාවය ගැන අවබෝධය ලබන තරමටම, වීර්යය කල්‍යාණ මිත්‍රයෙක්‌ ලෙසින් ඔබ තුළින් නැගී සිටිනු ඇත. පිංවත් ඔබේ කැමැත්ත කුමක්‌ද, එම කැමැත්ත උදෙසා වීර්යය උපකාරීවනු ඇත. එම නිසා ඉහත සඳහන් කළ පංචඋපාදානස්‌කන්ධයේ දුක කෙරෙහි ඇතිකර ගන්නා දැනුමෙන්, ඉන් ඔබ්බට ගොස්‌ අනුමාන අවබෝධයෙන් , සතර අපායෙන් මිදීම පිණිස සක්‌කායදිට්‌ටිය නැතිකරගැනීම සඳහාම කැමැත්ත ඇතිකර ගන්න. මෙතැනදී වීර්යය සකස්‌වන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටමයි. නමුත් ඒ උපාදානය භව නිරෝධයට මාර්ගය විවර කරගැනීම උදෙසා ඇතිකර ගන්නා විදීමක්‌මයි. මෙසේ ඔබ ඇතිකර ගන්නා වීර්යය තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය නිසා අපතේ යාමට ඉඩ නොදෙන්න. ලෝකයාගෙන් ලකුණු, ප්‍රසාදය, අනුකම්පාව ලබාගැනීමට නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ශ්‍රාවකයෙක්‌, සුදුවත් දරන උපාසක උපාසිකාවක්‌ වීමට වීර්යය උපකාරී කොටගන්න. ඉන්ද්‍රියයන් හයට අරමුණු වන සියල්ල ගැනම සිතීම මොහොතක්‌ නතරකොට සිතුණු අරමුණු සියල්ලේම අනිත්‍ය බව දකින්න. මෙවැනි අවස්‌ථාවක ඔබ තුළ ඇතිවන ක්‍ෂණික සංහිඳියාව නැවත නැවත විඳීමට කැමති වෙන්න. විවේකීව, රූපයේ විඳීමට කැමති සිතට රූපයේ අනිත්‍ය බව මෙනෙහි කරවන්න.

පිංවත් ගිහි ජීවිතයක්‌ ගත කරන ඔබ රාත්‍රී නිදි පැදුරට, සයනයට ගියාට පස්‌සේ රූපයන් කෙරෙහි විඳීම සකස්‌ කොට දෙන අකුසල් විතර්කයන්ට අවස්‌ථාව නොදී දිනයේ උදෑසන සිට රාත්‍රිය දක්‌වා ඔබගත් ආහාර ගැන සිතන්න. උදේ පාන්දරම තේ එකක්‌ බිව්වා, නැවත උදේට ඉඳිආප්ප, පාන් ආහාරයට ගත්තා. උදේ දහයට නැවත තේ එකක්‌ බිව්වා. දහවල් බත් ව්‍යංජන සමඟ ආහාර ගත්තා. සවස තේ බිව්වා. නැවත රාත්‍රියට ආහාර ගත්තා. ඔබ ගත්තාවු ආහාරයන් සිහිපත් කරලා ඒවායේ පිරිසිදුභාවය, ගුණාත්මකභාවය ගැන සිහිපත් කරල දැන් ඔබ සිතන්න උදේ සිට ගත් ඉහත ආහාරවලට දැන් මොකද වෙලා තිබෙන්නෙ කියල. රාත්‍රි නිදි පැදුරට යනකොට දිනය පුරාවට ගත්ත ආහාරවලට මොකද වෙලා තිබෙන්නේ. ආමාශයේ වමනය බවට පත්වෙලා, අසුචි, මුත්‍රා බවට පත්වෙලා. සෙම්, සොටු, මේදය බවට පත්වෙලා. රුධිරය බවට පත්වෙලා. 

අවසානයේදී ආයුෂ, වර්ණය, සැපය බලය බවට පත්වෙලා. ඔබ දිනය පුරාවට වෙහෙස මහන්සි වී රැකියා, ව්‍යාපාර, ගොවිතැන් කටයුතු මේ ආහාරය උදෙසා නේද..? පිංවත් ඔබ ශිල් පද බිඳගනිමින් මේ වෙහෙසෙන්නේ කුමක්‌ උදෙසාද..? වමනය, අසුචි, මුත්‍රා, සෙම්, සොටු, රුධිරය කියන කසළ ගොඩක්‌ නිපදවීම උදෙසා නොවේද...? මේ සියල්ලගේම අවසාන ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, කියන කාරණා සියල්ලමත් අනිත්‍ය භාවයට පත්වන තාවකාලික දේවල් නේද..? මේවා අනිත්‍යභාවයට පත්වන නිසා දුකම නේද සකස්‌ වෙන්නේ. යමක්‌ අනිත්‍ය නම්, යමක්‌ දුක නම් එතැන මගේ යෑයි ආත්මභාවයෙන් ගැනීමට දෙයක්‌ නැහැ නේද...? උදේ ඉඳන් කරන හපන්කම් රාත්‍රියට මෙනෙහි කරන්න, අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයටම.

ආහාරයත්, ආහාරයෙන් පෝෂණය වන කයත්, ඉහත කාරණා දෙකේම අතුරු ඵලයනුත් තම ජීවිතය තුළින්ම දකින්න. කටට, දිවට, රසම සොයන ඔබ මේ රාත්‍රියේ එම රසයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. දකිමින්ම නින්දට යන්න. එය ඔබට සුවදායී නින්දක්‌ වේ. හෙට උදාවන දිනයද සිහිනුවණින් යුතුව ආහාරය ගැන දකින දවසක්‌ වේවි. නිදි පැදුරේදීම ඔබ මියගියහොත් එය ඔබට සුවදායී මරණයක්‌ම වේවි. ඉහත ආකාරයට ඔබ සිතන්න පුරුදු වුනොත්, කොතැනකදීවත් ඔබට එය නරකක්‌ නම් වෙන්නේ නැහැ. මොකද ඔබ හිතන්නේ, මෙනෙහි කරන්නේ ධර්මයම නිසා. රූපයේ අනිත්‍යභාවයම නිසා. ආහාරය ඉහත ආකාරයට මොනතරම් පිළිකුල්භාවයට, අනිත්‍යභාවයට පත්වන දෙයක්‌ වුනත් පිංවත් ඔබට පුළුවන් ආහාරයටත් යම් වටිනාකමක්‌ දෙන්න. එය කරන්න පුළුවන් ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරය පරිහරණය කළොත් පමණයි. ඒ කියන්නේ අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණය, සැපය, බලය උදෙසා නොවෙයි මේ ආහාරය ගන්නේ, මේවා කෙරෙහි ජන්ද රාගය ඇතිකර ගෙන නොවෙයි ආහාර ගන්නේ, මේ බ්‍රහ්මචාරී ජීවිතය පවත්වාගැනිමට ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය වැය වුනාවූ ශක්‌තිය යළි ලබාගැනීමට, අලූතින් ශක්‌තිය උපදවා ගැනීමට…. අරමුණුකරගෙනයි ආහාර ගන්නේ’කියන කාරණය ජීවිතයට එකතු කර ගැනීමෙන් නොවටිනා ආහාරයක්‌ වටිනා අරමුණක්‌ උදෙසා ප්‍රයෝජනයට ගැනීමට පිංවත් ඔබට පුළුවන්.

ඉහත ආකාරයට පිංවත් ඔබ ආහාරය ගැන සෑම රාත්‍රියකම මෙනෙහි කළොත් ආහාරය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන දිශාවටම ඔබ ගමන් කරාවි. තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා පමණක්‌ කය පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි ආහාර ගන්නේ. තෘෂ්ණාව නිසා ආහාරයේ ඇතිවීමත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ආහාරයේ නිරෝධයත්, තෘෂ්ණාව ප්‍රහීන කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් පිංවත් ඔබ අවබෝධකොට ගතහොත් ඔබ ඒ කාරණයෙන්ම සම්මා දිට්‌ටියට පත්වෙනවා කියන සහතිකය, සම්මාදිට්‌ටි සූත්‍රයේදී සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පිංවත් ඔබට සහතිකයක්‌ දෙනවා. මෙම සහතිකය දෙස්‌ විදෙස්‌ සුපිරි සූපවේදීන්ගේ කටට කෙළ උනනා, මැරෙන ලෙඩවෙන වයසට යන කයක්‌ මොහොතක්‌ රසවත් කර වමනය, අසුචි, මුත්‍ර බවට පත්වෙන ආහාර වට්‌ටෝරු උදෙසා දෙන, දුකට හේතුවන සහතකියක්‌ නොව, දුකින් මිදීමේ සහතිකයයි. තළු මර මරා ඇස්‌ ලොකු කරමින් නළල රැළිගන්වමින්, තමා තුළ තිබෙන්නාවූ තෘෂ්ණාව යන කාරණය ආහාරයේ ඇති රසයක්‌ ලෙස මෝහ මූලිකව ගැනීම නිසා ඇතිකර ගන්නා ආහාර කෙරෙහි වන කෑදරභාවය ලබන ජීවිතයේදී ආමාශගත පණුවන්, නරක්‌ වූ ආහාර මත සෑදෙන පණුවන් ලෙස ආහරයේ බැසගෙනම ජීවත්වීමට අවශ්‍ය උපතක්‌ එවැනි අයට සාදා දීමට හැකිය.

පිංවත් ඔබ කය පෝෂණය කරනා ආහාරය, රූපයේ නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. අතීත භවයන් හීදී සශ්‍රික දිව්‍යතලවල ඉපිද සිතූ සිතූ රසයන්ගෙන් රසවත් වූ දිව්‍ය ඕජාව රිසි සේ විඳ ඇති පිංවත් ඔබ, එම රසයන්ගෙන් නොසෑහුනු ඔබ මේ වටිනා මොහොතේ ධර්මයේ රසය යොදාගනිමින් කෙලෙස්‌ රස හීනවන දිශාවට ක්‍රියාත්මක වන්න. එවිට පිංවත් ඔබට ආහාරය වටිනා දෙයක්‌, රසවත් දෙයක්‌ වශයෙන් නොව හේතූන් නිසා සකස්‌ වූ දෙයක්‌ බව වැටහෙනු ඇත.

පිංවත් ඔබ මෙවැනි ධර්මයන් තුළින් ජීවිතය සක්‌කාය දට්‌ටිය සිඳෙන දිශාවටම අවබෝධය කරා යැමට උත්සුක වෙන්න. නිරතුරුවම තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය කියන මාර ධර්මයන්ගෙන් පරිස්‌සම් වෙන්න. තමා කෙරෙහි, ‘මම කියන දැඩි සංඥාවක්‌ මතුවන සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න පුරුදුවෙන්න. පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමේදී ඔබ තුළින් ඔබට දැකිය හැකි උතුම් ලක්‍ෂණය නිහතමානීකම බව හොඳින් මතක තබාගන්න.

එම ලක්‍ෂණය ඔබ තුළින් විද්‍යමන නොවේ නම් පිංවත් ඔබ තණ්‌හා, මාන්න, දිට්‌ටි නැමැති මාර ධර්මයන්ගේ ග්‍රහණයට අසු වී ඇති බව ස්‌ථිරය. මහා කරුණා ගුණයෙන් ඔබව සොයා වැඩමකොට ඔබට නිවැරදිවීමට මාර්ගය කියාදීමට වර්තමානයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නොමැත. ඒ නිසා සතර අපායේ දුක ගැන දකිමින් ඔබ ඔබම නිවැරදි විය යුතුය. ශාසනයේ ප්‍රඥාව අතින් අගතැන්පත් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘භාග්‍යවතුන් වහන්ස. මම හරියට රොඩී රැහැක රොඩී දරුවෙක්‌ වගේ’ කියලා. මේ උතුම් නිහතමානීකම ධර්මයේ අස්‌වැන්නමයි.

අද වැනි උතුම් වෙසක්‌ දිනයක ලොව්තුරා බුදුරජාණන්වහන්සේව දකින්න, ධර්මාවබෝධයේ වටිනාකම හඳුනාගන්න. පිංවත් ඔබ අපි කෙරෙහි මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධකරගත් තැන් පටන් පරිනිර්වානය දක්‌වාම සත්වයාට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවම, ශීලයේ වටිනාකමම නෙක්‌කම්ම උදෙසා දන්දීමේ වටිනාකමම, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීමේ වටිනාකමම ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලාට දේශනා කරමින් සතර අපායෙන් එතෙරවීමේ මාර්ගයම, භව ගමනේ සනාථ වන මර්ගයම කියාදුන් එවන් තවත් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ තවත් වසර ලක්‍ෂ ගණනකට පහළ නොවන බව, ලෝකයාට මුණ නොගැසෙන බව අපි සිහිනුවණින් දැනගත යුතුය. එහෙයින් පිංවත් ඔබ ඉදිරියේ මේ මොහොතේ ඇති අභියෝගය ජය නොගතහොත් තෙරුවන් නොමැති ලොවක ඉබාගාතේ යන මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවද දුක්‌ විඳිනු ඇත. ශීලයෙන් මනුෂ්‍ය, ගිලිහුනු ලොවක, හිරි ඔතප් දෙක නැතිවුන ලොවක මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් දෙදෙනකු නොව එකම කුළයක්‌ වනු ඇත. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදිය හැකිවන්නේ මේ ජීවිතය තුළදීම සතර අපායෙන් මිදීම සඳහා ඔබ දක්‍ෂ වුවහොත් පමණක්‌ම වනු ඇත. ගිහි පිංවතුන් උදෙසා එම ගිහි බැඳීම් සමඟ කටයුතු කරමින් සතර අපායෙන් මිදීමට අවශ්‍ය කරුණු කාරණා භික්‍ෂුවට ලැබුණු විවේක කාලයන්හීදී මෙසේ සටහන් තබන ලදි.

සතර අපායෙන් මිදීම යනු සෝවාන් ඵලයයි. ඉහත සටහන් වල අඩුපාඩු තිබිය හැකිය. එවැනි අඩුපාඩු තිබුණහොත් ඒවා ගැන විතර්කයන් සකස්‌ කර ගන්නේ නැතිව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර ධර්මම පරිශීලනය කර අඩුපාඩු සකස්‌කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේමයි සියල්ලම දන්නේ. අපි අඩුපාඩු සහිතමයි. මේ ආකාරයෙන් සිතන්න පුරුදු වුණොත් පමණක්‌මයි පිංවත් ඔබ තව තවත් බුදුරජාණන් වහන්සේගේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ සොයන්නේ. එසේ නොවී මම සියලුම දන්නවායෑයි කියන මනෝභාවය ඔබව බුදුරජාණන් වහන්සේගෙන් තව තවත් දුරස්‌කරන දිශාවටමයි මෙහෙය වන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන්, ධර්මරත්නයෙන්, සංඝරත්නයෙන් දුරස්‌ වෙනවාය කියන්නේ මාරයාට ළංවෙනවාය කියන කාරණයයි. මෙම අභියෝගය පරාජය කළ හැක්‌කේ ඔබ තුළ ඇතිවන තණ්‌හාව, මාන්නය, දිට්‌ටිය කියන කාරණා මාර ධර්මයන් බව නිවැරදිව හැඳිනගෙන එම කසළ ධර්මයන් ඔබ තුළින් පරාජය කර දැමීමේ මාර්ගයට පැමිණීමෙන්ය. 

මේ මාර්ගයේදී පිංවත් ඔබ මුලින්ම මමත්වයේ දැඩිභාවය ඒ කියන්නේ සක්‌කාය දිට්‌ටිය සිඳදමා සතර අපායෙන් නිදහස්‌ වනු ඇත. මේ නිදහස සැබෑම භවගමනේ නිදහස්‌වීම නොවන අතර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවරට යන මේ මොහොතේ සෑබෑම නිදහස්‌වීම උදෙසා ඔබ ලබන නිදහස වනු ඇත. මින් ඉදිරියට පිංවත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ම ලෙස දිව්‍යතල වල සශ්‍රීක සැපයන් විඳ මතු දිනක සුවසේ ධර්මයේ ඉතිරි අවබෝධයන් ලබා, දිව්‍යතලයකදීම, බ්‍රහ්මතලයකදීම නිවී යනු ඇත....!!!

ගීයක්‌ කවියක්‌ මුමුණනු වෙනුවට...

 විශේෂ වෙසක්‌ ලිපිය - 03 (2012/05/20)

(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ 2011 වසරේ වෙසක්‌ දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක්‌ වේ. එය ඉතා දිගු සටහනකි. මේ එම සටහනේ තුන්වන කොටසයි.)

උතුම් වූ උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල් ශාසනය ජීවමානව පවතී. ශාසනය ජීවමානව පවතින තුරාවට ධර්මයේ සංදිට්ඨික වූද අකාලික වූද ගුණයන් පිංවත් ඔබට ඔබගේම ජීවිතය තුළින් අත්දකින්න උතුම් අවස්‌ථාවක්‌ තිබෙනවා. පිංවත් ඔබ උත්සහගත යුත්තේ එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ඔබේ ජීවිතයට ලබා ගැනීමටයි. පිංවත් ඔබ නිවසේදීද, කාර්යාලයේදීද විවේකීව සිටින සෑම මොහොතකම සතියෙන් සිහියෙන් යුතුව ඔබගේ ඇස දෙස බලන්න. ඇසට පෙනෙන රූප දෙස බලන්න. ඇසත් රූපත් අනිත්‍යයි නේද..? ඇසෙත්, ඇසින් දකින රූපවලත් නිත්‍යභාවයක්‌ නැහැ නේද..? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. ඇසටත් රූපයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න. 

පිංවත් ඔබ කන දෙස බලන්න. කනට ඇසෙන ශබ්දයන් හොඳින් අසන්න. මේ සෑම ශබ්දයක්‌ම හටගන්නේ රූපයකින් නේද..? කනත් ශබ්දයත් අනිත්‍යයි නේද..? කනත් කනට ඇසෙන ශබ්දයෙත් නිත්‍යභාවයක්‌ නැහැ නේද..? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. කනටත්, ශබ්දයටත් තිබෙන ජන්දරාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හොඳින් මෙනෙහි කරන්න. මේ සෑම ගඳ සුවඳක්‌ම ඇතිවන්නේ රූපයකින් නේද..? මේ සෑම ගඳ සුවඳක්‌ම අනිත්‍යයි නේද..? නාසයේත් ගඳසුවඳේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද..? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. නාසයටත් ගඳසුවඳටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පින්වත් ඔබ ඔබේ දිව දෙස බලන්න. දිවට දැනෙන රසයන් ගැන දකින්න. මේ සෑම රසයක්‌ම ඇතිවන්නේ රූපයක්‌ නිසාම නේද..? මේ සෑම රසයක්‌ම අනිත්‍යයි නේද..? දිවත්, දිවට දැනෙන රසයේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද..? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. දිවටත් රසයටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබාගන්න.

පිංවත් ඔබ මනස ගැන දකින්න. මනසේ ඇති වන සිතිවිලි දෙස බලන්න. මේ සෑම සිතිවිල්ලක්‌ම ඇතිවුනේ රූපයක්‌ නිසා නේද..? මේ ඇතිවුණා වූ සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍යයි නේද..? මනසත් මනසේ ඇතිවන සිතිවිලිත් නිත්‍යභාවයක්‌ නැහැ නේද..? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. මනසටත්, ධර්ම රූපයන්ටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

පිංවත් ඔබ කය ගැන දකින්න. කයට දැනෙන පහස දෙස බලන්න. කයට දැනුනා වූ සෑම පහසක්‌ම ඇති වුණේ රූපයක්‌ නිසා නේද..? මේ ඇති වුණා වූ සෑම පහසක්‌ම අනිත්‍යයි නේද..? කයත්, කයට දැනෙන පහසත් නිත්‍ය භාවයෙන් නැහැ නේද..? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. කයටත් කයට දැනෙන පහසටත් ඇති ජන්දරාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

මුළින්ම ඔබගේ ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන අනිත්‍යය දකිනවා වගේම ක්‍රමයෙන් ඔබ කැමති, අකමැති ස්‌ත්‍රී පුරුෂ රූපයන්ගේද ඉහත ආකාරයෙන්ම අනිත්‍ය ස්‌වභාවය දකින්න. පිංවත් ඔබගේ විවේක කාලය දුකට හේතුවන, ඔබ කැමැති අකමැති රූපයන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට නොව, පිංවත් ඔබගේ විවේකය නිවීමේ මඟට ශක්‌තියක්‌ වන තෘෂ්ණාව සිඳෙන දිශාවට යොමුකරන්න. පිංවත් ඔබ මුළින්ම රූපයන් කෙරෙහි ඇලීමේ ගැටීමේ ස්‌වභාවයෙන් මිදෙමින් උපේක්‍ෂාවෙන් රූපය දැකීමට පුහුණු වන්න. දැන්ම උපේක්‍ෂාව ද අතහැරීමට ඉක්‌මන් නොවන්න. කලබලකාරී බවද, වේගවත් බවද එම සිතිවිලි වල අනිත්‍යභාවය දකිමින් උපේක්‍ෂාව තුළට ගන්න. යෝගාවචරයෙක්‌ වීමට පෙර ඔබ මුළින්ම යහපත්, සුන්දර පෞරුෂයකින් යුත් මනුෂ්‍යයෙක්‌ වන්න. යුතුකම් දන්න, යුතුකම් ඉටුකරන ගිහි පිංවතෙක්‌ වන්න. පිංවත් ඔබේ ජීවිතය කුසල් ධර්මයන්ගෙන් පුරවාගන්න. මේ කුසල්, භව නිරෝධය සඳහාම යෑයි චේතනාවන් සකස්‌කර ගන්න. 

පිංවත් ඔබ ධර්මය අවබෝධකර ගනිමින් පෙරට යන්නේ පිංවත් ඔබ තුළම සකස්‌වන්නා වූ අධර්මය ‘කෙලෙස්‌’ පරාජය කරමින් බව හොඳින් මතකයේ තබාගන්න. ඒ නිසා පිංවත් ඔබ ඔබට අවංකවෙන්න. ඔබ ඔබට වංක වී ඔබ කොතෙක්‌ ලෝකයට අවංක වීමට ගියත් අර්ථයක්‌ නොමැති බව වටහාගන්න. මෝහයේ කෙටි සැපයත්, අවබෝධයේ නිදහසත් අතර ඇති අයෝමය වෙනස සතියෙන් සිහියෙන් යුතුව නිරතුරුවම මෙනෙහි කිරීමට පුරුදුවෙන්න. වසර 2600 සම්මාසම්බුද්ධ ජයන්තිය උත්සවශ්‍රීයෙන් අද වෙසක්‌ දිනයේ සමරණ ඔබ, වසර දෙදහස්‌ හයසිය වැනි සම්මා සම්බුද්ධ ජයන්තියක්‌ අනාගතයේදී නැවත සැමරන වාරයක්‌ පැමිණයදාට…. එදාට පිංවත් ඔබ කුමන ලෝකයක, කුමන සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටිය හැකිදැයි මෙනෙහි කරන්න. පෙර බුද්ධශාසනයේ 2600 වැනි සම්මා සම්බුද්ධ ජයන්තිය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ උදවිය වර්තමානයේ ලක්‍ෂ කීයක්‌ සතර අපායේ දුක්‌විඳිනවා ඇතිද..? ඒ නිසා පිංවත් ඔබ ධර්මය අර්ථය තුළට එන්න. 

අදවන් උතුම් වෙසක්‌ දිනයේ විදුලි බුබුලු, චිත්‍ර බකට්‌, වෙසක්‌ කූඩු බලනවා වගේම දුකට හේතුවන තෘෂ්ණාව දෙසත් බලන්න. එයමයි දුකේ අර්ථය. දුකින් මිදීමේ අර්ථය ධර්මයයි. ධර්මය යනු අනිත්‍යයි. මුළින් පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය ගැන බැලුවා වගේම රූපය ඇසුරින් සකස්‌ වෙන්නා වූ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දෙසත් බැලිය යුතුයි. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න...

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි...!

ඇස නිසා හටගත්තා වූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

ඇස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

ඇස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද,

එය අනිත්‍යයි...!

ඇස නිසා හටගත්තාවූ යම්චේතනාවක්‌ වේද, 

එය අනිත්‍යයි...!

ඇස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි....!!

ඇසත්, රූපයත්, විඥාණයත්, ඵස්‌සයෙන් හටගන්නා වූ

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි..!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි...!

කන නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කන නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කන නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද,

එය අනිත්‍යයි...!

කන නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කන නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි....!!

කනත්, ශබ්දයත්, විඥාණයත්, ඵස්‌සයෙන් හටගන්නා වූ 

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි..!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

නාසය අනිත්‍යයි, ගඳසුවඳ අනිත්‍යයි..!

නාසය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

නාසය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

නාසය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

නාසය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද,

එය අනිත්‍යයි...!

නාසය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද,

එය අනිත්‍යයි...!

නාසය අනිත්‍යයි, ගඳ සුවද අනිත්‍යයි....!!

නාසයත්, ගඳසුවඳත්, විඥාණයත්, ඵස්‌සයෙන් හටගන්නා වූ 

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි..!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි....!

දිව නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

දිව නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

දිව නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද,

එය අනිත්‍යයි...!

දිව නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද, 

එය අනිත්‍යයි...!

දිව නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි....!!

දිවත්, රසයත්, විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ 

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි..!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි...!

මනස නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

මනස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

මනස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද,

එය අනිත්‍යයි...!

මනස නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද,

එය අනිත්‍යයි...!

මනස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද,

එය අනිත්‍යයි...!

මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි...!!

මනසත්, සිතිවිලිත්, විඥාණයත්, ඵස්‌සයෙන් හටගන්නා වූ

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි..!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

කය අනිත්‍යයි, පහස අනිත්‍යයි...!

කය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද,

එය අනිත්‍යයි...!

කය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද, 

එය අනිත්‍යයි...!

කය අනිත්‍යයි, පහස අනිත්‍යයි...!!

කයත්, පහසත්, විඥාණයත්, ඵස්‌සයෙන් හටගන්නා වූ

පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි...!!

නාම රූප ධර්මයෝ අනිත්‍යයි....!!!

පංච උපාදානස්‌කන්ධයමයි ලෝකය කියන්නේ. අතීතයේ, වර්තමානයේ දැක්‌කාවූ රූපයන් ගලපමින් එම රූපයන් ඇසුරින් සකස්‌වුන නිරතුරුවම අනිත්‍යභාවයට පත්වුන ඉහත ධර්මතාවයන් මනසින් දකින්න, මෙනෙහි කරන්න, සඡ්ජායනා කරන්න, මුමුණන්න.

මේ කුමක්‌ කළත් පිංවත් ඔබ ධර්මරත්නය කෙරෙහි ගෞරවයෙන් නම් එය කරන්නේ එය ඔබේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවි. පිංවත් ඔබට භාවනාවක්‌ ලෙස මෙම ධර්මය වැඩීමට අවකාශය අඩුනම් ඔබ ගීයක්‌, කවියක්‌, මුමුණනවා වෙනුවට අර්ථය දකිමින් ගෞරවයෙන් ඉහත ධර්මය හඬනගා කීවද එය ඔබට යහපතක්‌ පිණිසමයි හේතුවෙන්නේ. මේ ලෝක ධාතුව තුළ ඇති පරම සත්‍යයයි, ඔබ හඬනගා කියන්නේ කියලා දෙවියන් ඔබට සාධුකාර දේවී....!!!


නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න.....

 විශේෂ වෙසක්‌ දින ලිපිය II - 2012/05/13

ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා 'හමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක්‌ බව ඔබටත් වැටහෙනවා ඇති. භික්‍ෂුව ඇයට දුන්න පිළිතුර තමයි 'දැන් ඔබ බැඳීම්වලට බැඳිලයි සිටින්නේ. ඒ නිසා බැඳුණු බැඳීම් ගැන දුක්‌ වෙන්න එපා. බැඳුණු බැඳීම් උදෙසා ඔබෙන් වියයුතු යුතුකම් කොටසක්‌ තිබෙනවා නම් ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. කරන්නා වූ හැම යුතුකමක්‌ම කුසලයක්‌ සේ දකින්න. බැඳුනා වූ හැම බැඳීමක්‌ කෙරෙහිම ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන්ම බලන්න. බැඳුනාවූ බැඳීම් වලින් ඔබ ලබන අත්දැකීම් අලුත් බැඳීම් ඇතිකර නොගැනීමට කමටහන් කොට ගන්න. කිරි දරුවෙක්‌ ඇති මවකට වුවද තමා දක්‌ෂනම් නිවසේ සිටිමින්ම ගිහි පිංවතුන්ලාට සමාදන් විය හැකි උපරිම ශීලයක්‌ සමාදන් විය හැකි හෙයින් ශීලයට උපරිම වටිනාකමක්‌ දෙමින් කටයුතු කරන්න. තණ්‌හා, මාන්න, දිට්‌ඨින්ගෙන් තොරව ඉහත කාරණා ඉටුකරන ගමන් ඔබට තාවකාලික සැපයක්‌ යෑයි දැණෙනා එකම සිතුවිල්ලක්‌ හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍යය දකිමින් අත්හැරීමට දිනපතා පුරුදුවන්න. මේ කරුණු කාරණා දිනපතා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතය තුළින් වැඩෙන විට තවත් නකුල මාතාවක්‌, විශාකාවක්‌ වීමට අවශ්‍ය ධර්මතාවයනුයි ඔබ තුළින් ක්‍රියාත්මක වෙන්නේ.

අද වැනි වෙසක්‌ පුරපසොලොස්‌වක දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක ඇතිවෙන හේතුව තමයි තෘෂ්ණාව. කුමක්‌ කෙරෙහිද තෘෂ්ණාව සකස්‌ වෙන්නෙ රූපය කෙරෙහි. රූපය කෙරෙහි ඇති කරගන්නා තෘෂ්ණාව නිසාමයි සත්වයා මේසා භවගමනේ දුකට පත්වෙන්නේ. තෘෂ්ණාවෙන් මිදීමේ මාර්ගයයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඉහත එක්‌දරු මවට දෙන ලද පිළිතුර තුළ එම චර්යාවන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ඒ තුළින් ආවරණය වෙනවා. ගිහි ජීවිතයකට මොනතරම් වටිනාකමක්‌ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබාදී තිබෙන්නේ.

රූපයන් කෙරෙහි චන්දරාගය ඔබ තුළ වැඩිවෙනකොට බිරිඳ, සැමියා, දරුවන්, සම්පත් කෙරෙහි දැඩි තෘෂ්ණාවක්‌ සකස්‌වෙනකොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පහත ධර්ම කාරණය සිහියට ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වඩින පාර හරහා දිවයන කඩිරැලක්‌ පෙන්වලා ආනන්ද ස්‌වාමින් වහන්සේට දේශනා කරනවා 'ආනන්ද මේ කඩිරැලේ සිටින සෑම කඩියෙක්‌ම අතීතයේ සක්‌විතිරජ වෙලා ඉඳල තිබෙනවා' කියලා. තිරිසන් ලෝකයේ කඩියාත් සක්‌විතිරජ වෙලා ඉඳලා තිබෙනවා නම් පිංවත් ඔබ සංසාරයේ කී වතාවක්‌ නම් සක්‌විති රජ වෙලා ඉන්න ඇතිද? ඒ සක්‌විති රාජශ්‍රිය අත්විඳින්න ඇතිද? සක්‌විති රජ කෙනෙකුට තම පින් බලයෙන්ම පහලවෙන පංචකල්‍යාණයෙන් යුතු ස්‌ත්‍රී රත්නය, අහසින් ගමන් කරන ඇත් රත්නය, අහසින් ගමන් කරන අජානීය අශ්ව රත්නය, මහපොළවේ ඇති ඕනෑම සම්පතක්‌ සෘද්ධියකින් දැකිය හැකි පුරෝහිත රත්නය. අන්තඃපුර බිසෝවරුන් හරහා ලැබෙන දහසක්‌ පුතුන්.....මේසා අසිරිමත් වූ සම්පත් පිංවත් ඔබ සංසාරයේදී ලබල තිබෙනවා. මෙලොව ජීවත්වන සෑම කාන්තාවක්‌ම අතීත සංසාරයේ සක්‌විති රජවරුන්ගේ පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නය ලෙස ඒ අසිරිය විඳලා තිබෙනවා. සක්‌විති රජවරුන්ට දාව අසිරිමත් පුතුන් ලැබූ මව්වරුන් වෙලා ඉඳලා තිබෙනවා. සෘද්ධිමත් ඇතුන්, අසුන් පිට ගමන් බිමන් ගිහින් තිබෙනවා. අතීතයේ පිංවත් ඔබ ලැබූ මේ අසිරිමත් සම්පත්, රාජශ්‍රිය සමග ගලපා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇත්තේ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද. අතීතයේ සක්‌විති රජකෙනෙක්‌ හැටියට පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නයක්‌ බිරිඳ කරගෙන සිටි ඔබ ඒ අසිරිමත් ස්‌ත්‍රීරත්නයත් වර්තමානයේ ඔබේ බිරිඳත් සංසන්දනය කොට බලන්න. අතීතයේ සක්‌විති රජවරුන්ගේ අසිරිමත් ස්‌ත්‍රීරත්නයක්‌ වූ පිංවත් ඔබ වර්තමානයේ ඔබ බැඳී ජීවත්වන ස්‌වාමිපුරුෂයා දෙස බලන්න. මොන නොවටිනා දෙයක්‌ කෙරෙහිද ඔබ මේ බැඳී සිටින්නේ. අතීත ජීවිතයේදී සෘද්ධිමත් ඇතුන් පිටින්, සෘද්ධිමත් අජානීය අසුන් පිටින් මහේශාක්‍ය ලීලාවෙන් අහසින් ගමන් ගිය ඔබ මේ ජීවිතයේදී යානාවක්‌ කොට ගත් ඔය යකඩ ගොඩ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද? අතීතයේ සක්‌විතිරජවරුන් එම රාජ්‍ය ඇමතිවරුන් ලෙස සිටි පිංවත් ඔබ මේ ජීවිතයේදී බලය යෑයි අත්විඳින්නේ බියම නේද? බිය සකස්‌ වෙන තැන සකස්‌වෙන්නේ අකුසලම නේද? අතීතයේ ඔබ ලැබූ රාජ්‍යයන් යටත් කරගැනීමට සමත් අසිරිමත් යෝධ බල, යෝධ ශක්‌තිය ඇති පුතුන් හා සසඳා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලැබූ දරුවන් කවුරුන්ද? අතීතයේ පිංවත් ඔබ ලැබූ සම්පත් සමග සස¹ බැලීමේදී මොන 'නොවටිනා වටිනාකමක්‌ද' මේ ජීවිතයේ ඔබ ලබා තිබෙන්නේ. පිංවත් ඔබ කැමති වුණත් අකමැති වුණත් මෙය තමයි ඔබේ ජීවිතයේ යථාර්තය. ඒ නිසා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ඇත්ත ගැන සිතන්න. එවිට ඔබට දැනේවි මේ ලෝකයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌ හැටියට විඳින්න යම් සැපයක්‌ සම්පතක්‌ තිබෙනවානම් ඒ සෑම සම්පතක්‌ම අතීතයේ ඔබ අත්විඳලා අත්දැකලා තිබෙනවාය කියලා. සියලු සැපයන් අත්වින්දත් පිංවත් ඔබට බැරිවුණා ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. සක්‌විති රජවරයා තිරිසන් ලෝකයේ කඩියෙක්‌ බවට පත්වුණෙත්, ඔබ නැවත සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ බවට පත්වුණෙත් මේ අසීමිත තෘෂ්ණාව නිසාමයි. පිංවත් ඔබ මේ තාක්‌ සංසාරයේ ලෝකය තුළ වින්දාවූ අසිරිය හොඳටම ප්‍රමාණවත්. දැන් ලෝකයෙන් මිදෙන මාවතට එන්න බලන්න. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න. පිංවත් ඔබ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි ප්‍රහීන කළ යුත්තේ මේ දුකෙන් මිදීමට. එම නිසා පිංවත් ඔබ ස්‌ත්‍රි, පුරුෂ භේදයකින් තොරව අතීතයේ ඔබ අත්වින්දා වූ අසිරිමත් සැපයන්, මහේශාක්‍ය ජීවිත ගැන සිහිපත් කොට මේ ජීවිතයේදී ඔබ බැඳී ඇති රූපයන් සමග අතීත රූපයන් සංසන්දනයකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇති අවම නොවටිනා සැපයන් සහ බැඳී ඇති රූප කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න. අවබෝධයෙන් කලකිරීම කියන්නේ ගැටීම නම් නොවේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ගැටීම සකස්‌වෙන තැනදීම ඇලීමත් තිබෙනවා. මොකද තමන් ගැටෙන්නේ යම් දෘෂ්ඨියක්‌ කෙරෙහි ඇලීම නිසාමයි. ගිහි ජීවිතය තුළ අවබෝධයෙන් කලකිරෙන තැනැත්තා තමා බැඳී ඇති බැඳීම් කෙරෙහි අවබෝධයෙන් කලකිරෙමින් එම බැඳීම් උදෙසා තමාගෙන් විය යුතු යුතුකම් ඉටුකරමින්, උපේක්‌ෂාව තුළයි ජීවත්වෙන්නේ. මේ උපේක්‌ෂාව තුළදී පිංවත් ඔබ තුළින් මෙතෙක්‌ නොකළාවූ කුසල් සිදුවෙනවා. ඔබ අවබෝධයෙන් කලකිරීමේ නාමයෙන් ගැටීම් සකස්‌කොට ගතහොත් නොකළාවූ අකුසල් ජීවිතය තුළින් සිදුවේවි. පෙනෙනවානේද බරපතළ වෙනස්‌කම් දෙක. නොදැනුවත්භාවය නිසාම සමාජය තුළ අප්‍රමාණ පිරිස්‌ අවබෝධයෙන් කලකිරීම, ගැටීමේ ස්‌වභාවයක්‌ ලෙසට පත්කොටගෙන අකුසල් සිදුකරගන්නවා. මෙවැනි අනුවනකම් නිසා පහසුවෙන් ලැබිය හැකි ධර්මයේ සැබෑ පිළිසරණ අප විසින්ම ඈත් කොට ගන්නවා. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදීමට අවකාශ ලැබෙන්නේ තණ්‌හා, මාන්න, දිට්‌ඨීන්ගෙන් තොරව ධර්මය ජීවිතයට ගලපා ගැනීමෙන්මයි.

කුමක්‌ නිසා පිංවත් ඔබ තණ්‌හාව ඇතිකරගන්නද? මාන්නය ඇතිකරගන්ත ද? දෘෂ්ඨින් ඇතිකරගන්නනද? මේ ඇස නිසා මාන්නය ඇතිකරගන්නද? මොකක්‌ද මේ ඇස කියල කියන්නේ. ලෙඩවෙන දෙයක්‌, නරක්‌වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, සුද එන, කබ, කඳුළු, සැරව එන දෙයක්‌. අන්ධ වන දෙයක්‌. ඔය ඇස මනසින් ගලවල අතට ගන්නකො. මස්‌ ගුලියක්‌ විතරමයි. නහරවල් එල්ලුන, රුධිරය තැවරුණ, දුගඳ, කුණුවෙන ඇසක්‌ මේක. මෙතැන තිබෙනවාද තණ්‌හාවක්‌ ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද මාන්නය ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද දෘෂ්ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පිංවත් ඔබගේ ඇස ගැන පමණක්‌ නොවේ අනෙක්‌ සෑම ලොකු, කුඩා, ලස්‌සන, අවලස්‌සන මනුෂ්‍යයින්ටත් මෙය ගලපා දකින්න. සතර අපායේ ජීවත්වන සත්වයාගේ ඇසත්, දෙවියාගේ, බ්‍රහ්මයාගේ ඇසත් ඉහත ස්‌වභාවයේම බව දකින්න. ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.

දැන් පිංවත් ඔබ කන දෙස බලන්න. මොකක්‌ද මේ කන කියල කියන්නේ ලෙඩවෙන දෙයක්‌, නරක්‌ වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, කලාදුරු බැඳෙනවා, සැරව පිරෙනවා, මස්‌දළු එනව, බිහිරි භාවයට පත්වෙනවා. ඔය කන ගලවල අතට ගන්නකො. මස්‌ ගොබයක්‌ විතරයි. රුධිරය, නහරවැල් තැවරුණ කුණුවෙන දෙයක්‌, කන තුළ තිබෙනවාද තණ්‌හාවක්‌, මාන්නයක්‌, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පුංචි කාලේ සුසිනිදු සුරතල්භාවයෙන් පැවති කන්පෙති වයෝවෘධ වෙනකොට ගොරෝසු කුල්ලක්‌ බවට පත්වෙලා. ජරා, ව්‍යාධි, මරණ කියන හිමිකරු මේවා අයිති කරගෙන.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසය ලෙඩවෙන දෙයක්‌, වයසට යන, මැරෙන දෙයක්‌, නාස්‌ කුහර දෙක තුළ රෝම කූප පිරිල, සොටු මස්‌ දළු, සෙම, ලේ පීනස, දිය පීනස නාසයේ කොටස්‌ කරුවන්. සෙම්ප්‍රතික්‌ෂාව හැදෙන කොට, පීනස හැදෙන කොට නාසය ප්‍රතික්‍රියා දක්‌වන්නෙ මොන තරම් කුරිරු ආකාරයටද? ඔය නාසය මනසින් ගලවල අතට ගන්නකෝ. සිදුරු දෙකක්‌ සහිත මස්‌ ගොබයක්‌ පමණමයි. මස අයිති කුණුවීමටයි. නිල මැස්‌සන්ටයි. දැන් ඔබ හිතන්න නාසය නිසා තන්හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌ තිබෙනවාද? නැහැ.

පිංවත් ඔබ දිව දෙස බලන්න. දිව ලෙඩවෙන, වයසට යන, මැරෙන දෙයක්‌. දිවේ මැලියම් බැඳෙනවා. කුණුකෙල බැඳෙනවා. ගෙඩි, බිබිලි එනවා, එක උදයක කට නොමැද්දොත් දිවේ දුගඳ ඔබට දැනිලා ඇති. මේ දිව මනසින් ගලවල අතට ගන්නකෝ. රුධිරය තැවරුණ, නහරවැල් තැවරුණ, මස්‌ ගොබයක්‌ පමණක්‌මයි. මේ කුණුවෙන මස්‌ ගොබයත් හරකෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌ගේ දිව නමැති මස්‌ ගොබයත් අතර වෙනසක්‌ තිබෙනවාද? නැහැ. එකම ස්‌වභාවයමයි. වයෝවෘධ භාවයට පත්වෙනකොට ඔය දිවට දැනෙන රසය නොදැනී යනවා. ඔබ ජීවත්ව සිටියදීම දිව මැරෙනවා. මෙවන් දිවක්‌ කෙරෙහි තන්හාව, මාන්නය, දිට්‌ඨිය කුමක්‌ සදහා ඇති කරගන්නද?

පිංවත් ඔබේ මනස දෙස බලන්න. වරෙක රාග, ද්වේෂ, මෝහ කියන සිතුවිලි වලින් පිරිලා. තවත් විටෙක අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලිවලින් පිරිලා. හරියටම සුළඟ වගේ. ඇතිවෙන ඇලීම් ගැටීම් හේතුවෙන් මොහොතින් මොහොත කුසල් අකුසල් සිත් වෙනස්‌ වෙනව. සුගතිගාමී කුසල්, අපායගාමී අකුසල් සකස්‌ කොට දෙනවා. වරෙක ඔබව සතුටු කරවනවා. තවත් වරෙක ඔබව හඬවනවා. දුක සැප මුසු සංඥාවන් වේදනාවන් නිරතුරුවම සකස්‌ කොට දෙනවා. ඔබ වයෝවෘධභාවයට පත්වෙනකොට මනසේ තැන්පත්ව ඇති ධර්ම රූප මැකීයනවා. ඒ කියන්නේ මතකය මැරෙනවා. මෙවන් මනසක්‌ නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇතිකරගෙන ඇත. ඵලය මොකක්‌ද?

දැන් පිංවත් ඔබ කය දෙස බලන්න. මේක ලෙඩවෙන, වයසට යන, මැරෙණ කයක්‌. ආහාරයෙන්, ජලයෙන්, ඖෂධවලින් යෑපෙන කයක්‌. ආශ්වාසයෙන්, ප්‍රාශ්වාසයෙන් රැකෙන කයක්‌. කබ, කදුළු, දහඩිය, සෙම්, සොටු, අසූචි, මුත්‍රා, නිරතුරුවම පිටකරන කයක්‌. පිරිසිඳු නොකළොත් ගඳ ගහන කුණුවෙන, පණුවො ගසන කයක්‌. මෙතන ආඩම්බර වෙන්න දෙයක්‌ තිබෙනවාද? මම කියල තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌ තිබෙනවාද? නැහැ.

දැන් පිංවත් ඔබ ආයතන හැටියට ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන බැලුවා. මේවායේ ගත යුතු කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. තිබුණේ ජරා, ව්‍යාධි, මරණමයි. මීළඟට ඔබ සතර මහා ධාතූන් හැටියට මේ ශරීරය අරගෙන බලන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී දේශනා කරනවා ගව ඝාතකයෙක්‌ එළදෙනෙක්‌ මස්‌ කරල හතරමං හංදියක එම එළදෙනව මස්‌, බොකු, කටු, සම් වශයෙන් වෙන් කොට තබා විකුණනවා වාගේ පිංවත් ඔබේ ශරීරයත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් වෙන් වෙන් වශයෙන් කොටස්‌ කර බලන්න කියල. ඔබේ ශරීරයේ තද ස්‌වභාවයෙන් තිබෙන මස්‌. බොකු බඩවැල් ආදිය වෙනමත්, ශරීරය තුළ දියර ස්‌වභාවයෙන් තිබෙන සෙම්, සොටු, රුධිරය, මුත්‍ර, මේදය ආදිය වෙනමත් ශරීරයේ පඨවි, ආපෝ, වායෝ ධාතුන් සමග මුසුවී පවතින තේජෝ ස්‌වභාවයත් ශරීර අභ්‍යන්තරය පුරා තිබෙන වායෝ ස්‌වභාවයත් වෙන් වශයෙන් අරගෙන බලන්න. පිංවත් ඔබ ඔබේ ශරීරය නිර්මාණය වී තිබෙන සතර මහාධාතූන් ගැන කොතෙක්‌ බැලුවත් එතන තියෙන්නේ මසට අයත්, මස විනිවිද ගිය, ගඳගහන, කුණුවෙන, පණුවො ගහන දෙයක්‌මයි. මේ සතර මහ ධාතූන් නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගැනීමේ තේරුමක්‌ තිබෙනවාද? නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන්කරල පෙන්වලා තිබෙනවා. දෙතිස්‌ කුණුපයන් හැටියට. කෙස්‌, ලොම්, නිය, දත්, සම්, මස්‌, නහර.......... ආදී වශයෙන්. මේ එකින් එක වෙන් වශයෙන් අරගෙන බලන්න. මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන් කරල අවයව හැටියට බලන්න. මේ කොටස්‌ තිස්‌දෙක තුළම තිබෙන්නේ ජරා, ව්‍යධි, මරණම නේද? ඒ කියන්නේ කුණුවීම, ගඳ ගැසීම, විනාශවීම පමණක්‌ම නේද? මේ එකකවත් තිබෙනවාද මම කියල. තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌. නැහැ.

ආයතන හැටියට බැලුවත්, සතර මහාධාතූන් හැටියට බැලුවත්, දෙතිස්‌ කුණුපයන් හැටියට බැලුවත් මෙතන තිබෙන්නේ පිංවත් ඔබ මගේ කරගෙන ජීවත්වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවයට අයත් දෙයක්‌ම නේද? යමක්‌ අනිත්‍යය නම්, යමක්‌ දුක නම්, යමක්‌ අනාත්ම නම් එම දෙය පිංවත් ඔබ නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ගතහොත් එතන සකස්‌ විය යුත්තේ දුකම නේද? ඇස සැපයි කියල ගතහොත්, ඇස නිත්‍යයි කියල ගතහොත්, ඇස තුළ ආත්මයක්‌ තිබේ කියල ගතහොත් ඔබ ලුහුබඳින්නේ නැති දෙයක්‌ පසුපස නේද? සතර මහා ධාතුවත්, දෙතිස්‌ කුණපයත් නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ඔබ ගතහොත් එය මුලාවක්‌ම නේද? අවිද්‍යාව නිසාම සකස්‌ වු සක්‌කායදිට්‌ඨිය නිසාම අනිත්‍යය, දුක්‌ඛ, අනාත්මභාවයට පත්වන මේ ඔබේ රූපය ඔබගේ ශරීරය නිත්‍ය, සැප, ආත්මභාවයෙන් ගැනීම නිසා නේද දුක සකස්‌ වෙන්නේ. ඒ නිසා පිංවතුනි, අදවන් උතුම් වෙසක්‌ පුර පසොළොස්‌වක පොහොය දිනක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාල චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්යය සත්‍යය වන දුක්‌ඛ සත්‍යය පිංවත් ඔබ තුළින්ම දකින්න පුළුවන් නේද? සතර මහ ධාතුවෙන් සැදුන, ආහාරයෙන් යෑපෙන, ආශ්වාස ප්‍රාශ්වාසයෙන් රැකෙන රූපය කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව නිසාම නේද මේ දුක සකස්‌ වෙන්නේ. රහතන් වහන්සේ නමකට දුක නැහැ නේද? නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌ තිබෙනවා. එම ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක්‌ තිබෙනවා. එම කනෙන් ශබ්ද ඇසෙනවා. අනෙක්‌ ආයතනත් එසේමයි. නමුත් රහතන් වහන්සේට දුකක්‌ සකස්‌ වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, පස්‌සය වන මොහොතේදීම රහතන් වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ දැකීමේ ශක්‌තිය රහතන් වහන්සේට තිබෙන්නේ රහතන් වහන්සේ භව නිරෝධය සාක්‌ෂාත් කරගන්නා මොහොතේ උතුම්වූ සමාධි තලයකදී රූපයේ අනිත්‍යභාවය ඥානදර්ශන තුළින් අවබෝධත්වයට පත්වී ඇති නිසා. රහතන්වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකින නිසා විඳීමක්‌ සකස්‌ වෙන්නෙ නැහැ. විඳීමක්‌ සකස්‌ නොවන තැනක හඳුනාගැනීමක්‌, ෙච්තනාවක්‌, බැසගැනීමට විඤ්ඤාණයක්‌ සකස්‌වෙන්නෙ නැහැ. හුදු දැක්‌කාය, ඇසුණාය කියන කාරණය පමණයි. නමුත් පිංවත් ඔබ පස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සකස්‌ කරගන්නවා. එහෙමනම් පිංවතුනි, දුකත්, දුකට හේතුව වන තෘෂ්ණාවත් ඔබ තුළින්ම නේද සකස්‌ වෙන්නේ. තෘෂ්ණාවත් දුකත් ඔබ තුළිsන්ම නම් සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නැති කරගත යුත්තේත් ඔබම නේද? තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුත්තේත් ඔබම නේද? එහෙමනම් පිංවතුනි, චතුරාර්ය සත්‍යයේ මේ ආර්ය සත්‍යයන් හතරම ඔබ තුළින්ම නේද අවබෝධ කරගත යුත්තේ. මේ භව නිරෝධය සාක්‌ෂාත්කොට දෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් සියල්ලම ඔබ තුළිsන්ම නේද දැකිය යුත්තේ? දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ දෙන දෙයක්‌ නොවේ නේද? මෛත්‍රි බෝධිසත්වයන් දෙන දෙයක්‌ නොවේ නේද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම ජීවිතයට සතියෙන් සිහියෙන් යුතුව එකතුකර ගතහොත් ඔබ ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා නේද? බලන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ධර්මය මොනතරම් සරලභාවයට පත්කර, තමා තුලින්ම ධර්මය දැකීමට ධර්මය අවබෝධකර ගැනීමට හැකි ආකාරයට දේශනාකොට තිබෙනවාද. ගිහි පිංවතුන්ට තමා තුළින්ම ධර්මය අවබෝධකර ගැනීමට. ඒ කියන්නෙ සතර අපායෙන් මිදීමට අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබියදී පිංවත් ඔබ මොනතරම් නම් තැන් තැන්වල රස්‌තියාදු වෙනවාද? ධර්මයේ වරද නොවේ, ධර්මය ගලපා ගැනීමේ වරදයි. සිඳිය යුතු සක්‌කාය දිට්‌ඨිය වැඩෙනවා නම්, එතැන වැඩෙන්නේ අධර්මයයි. දුක දැකීමෙන්, දුක හඳුනා ගැනීමෙන්, සැප සෙවීම නොවේ, ඔබ කළ යුත්තේ. දුක, සැප දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන් බව අවබෝධ කරගැනීමයි.

චන්දරාගයෙන් මගේ කරගත් රූපයන් නිසා මහමෙරක්‌ වන් දුකක්‌ ජීවිතය තුළින් දරාගෙන සිටින පිංවත් ඔබ එම බරෙන් නිදහස්‌වීමට පිංවත් ඔබ තුළින්ම ඇති කරගත යුත්තේ එකම එක කාරණයකි. ඒ රූපයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදීම පමණක්‌මය. මේ උතුම් ධර්මය පිංවත් ඔබ ජීවත්වන පිංබිමේ නිරතුරුවම මහා සංඝරත්නය වෙතින් ඔබට ඇසේ.

වෙසක්‌ තොරණින් එහා දෙයක්‌ දකිමු!

 මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  විශේෂ වෙසක්‌ ලිපිය - 01  (2012/05/06)

(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ ඉකුත් වසරේ වෙසක්‌ දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක්‌ වේ. එය ඉතා දිගු සටහනකි. මෙම වෙසක්‌ මාසය පුරා විශේෂ ලිපියක්‌ ලෙසින් කොටස්‌ වශයෙන් එය පළකිරීමට අප තීරණය කළෙමු. මේ එම සටහනේ පළමු කොටසයි)

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌ වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණ වූ චතුරාර්යය සත්‍යය ධර්මයයි අවබෝධ කොට වදාළේ. එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ. ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංචඋපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂ වෙන්නාවූ සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවන් තන්හා, දිට්‌ඨි, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධ වන දිශාවට ජීවත් වුණා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණ ගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළෙඳාම් ගනයටම බව කිව යුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ.


තමුනුත් සතුටු වෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ ශීලයක්‌ සමාදන් නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවා වූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වූ බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුලුවන්. නමුත් මේවා භවයේ ලබන්නා වූ සිල්ලර සැපයන්මයි. අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවයන්. ඒ නිසා අර්ථයෙන් විවිධ වූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවක්‌මයි. එම ධර්මතාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌a සමග උපමාකරලා "මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි" කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිතවලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සාහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.


ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න, වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ ස්වභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොදින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.


 භික්‌ෂුව වැඩ සිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සදහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සේ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදි වුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි.


මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුණේ. ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුqණු කොට බලද්දී භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළිඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘධ අම්මා. වයස අවුරුදු අසූපහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළා වූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌ වුණ විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුනසංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව් කුසක බිළිඳියක්‌ව බැසගත්තා.


දැන් මේ බිළිඳිය බැසගත් මව් කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇතිවුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්‌, සුරතල් දරුපැටියෙක්‌, ලස්‌සන දරුපැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබිසූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි, මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළ වූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරළොව ගිය අර වයෝවෘධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වුණ දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නළවන්න තොටිලි හදනවා. ප්‍රසුත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්ද රාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌ කරුවා තම මැජික්‌ යෂ්ඨියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌ කරුවා තම මැජික්‌ යෂ්ඨිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුළාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නමැති යෂ්ඨිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රෝහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්, රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයන්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?.... මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුළයේ ඉපදිලා, අලි කුලයේ ඉපදිලා, කුකුල් කුලයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ඡන්ද රාගයෙන් මිදීමට කැමැත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.


තොරණ, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු.... මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනක ද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.


මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ජන්ද රාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සාහයක්‌මයි. මේ උත්සාහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.


අපි මේ පුංචි බිළිඳු රූපයට මොන තරම් ඡන්ද රාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිඳෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත්වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුළ තෙරපෙමින් දුක්‌ විඳිනව නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත්වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමැත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය, රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්ද රාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.



2012 මැයි 06 ඉරිදා  දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි