Monday, August 10, 2026

වස් දහනවයක ගුණාත්මකභාවය

2026 අගෝස්තු 09

පින්වත, මනුෂ්‍ය අපේ පෘථග්ජන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් අපිව සතර අපා, මනුෂ්‍ය, දිව්‍ය සහ බ්‍රහ්ම භව නවාතැන් පොළවල භව සංචාරකයන් බවට පත් කරනවා වගේ ම, උතුම් බල ධර්මයෝ අපිට භව නිරෝධයේ නිදහස් වීම උදෙසා ද උපකාරක ධර්මයෝ සකස් කොට දෙනවා. පින්වත, සංස්කාරයන්ගේ විවිධත්වය දෙස, අපි අවිද්‍යාවේ ඇසෙන් බලන නිසා ම, අපි තුළ ඇති වන ඇලීම් සහ ගැටීම් පෘථග්ජන ධර්මයන් සහ ඉන්ද්‍රිය ධර්මයන්ගේ “ආයුෂයට”, වර්ණය, සැපය, බලය ලබා දෙනවා. පින්වත, පෘථග්ජන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන්ට අදාළව මනුෂ්‍ය සමාජය දකින පින්වතා, බාහිර ලෝකයා සමග ගැටෙන්නේ නැහැ. පින්වත, මනුෂ්‍ය දුර්වලතාවයෝ සහ මනුෂ්‍ය යහපත් ධර්මයෝ ඔහු දකින්නේ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ සහ බල ධර්මයන්ගේ දියුණු සහ නොදියුණුභාවයේ හේතුඵල ධර්මයෝ හැටියට මයි. පින්වත, වස් හතළිහකට වැඩි ගෞරවනීය අනුනායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට මුණගැසුණ අවස්ථාවේ දී උන්වහන්සේ වැඩසිටි අසුනෙන් නැගිට දෑත් එකතු කොට ගනිමින් භික්ෂුවගෙන් ඇසුවේ, “ඔබවහන්සේට වස් කීයද?” කියලා. පින්වත, එම අවස්ථාවේ දී භික්ෂුව ප්‍රකාශ කළේ, “ගෞරවනීය නායක ස්වාමීන් වහන්ස, මම වස් දහඅටක පුංචි හාමුදුරුවෝ කෙනෙක්. මට සමා වෙලා ඔබවහන්සේ ආසනයේ වැඩසිටින්න. මට ඔබවහන්සේට වන්දනා කරන්න අවශ්‍යයි” කියලා. පින්වත, අපි හැමෝගේ ම දියුණු ඉන්ද්‍රිය ධර්මයෝ සහ බල ධර්මයෝ ලෝකය නිහතමානීකමින් බබළවනවා. පින්වත, අපේ නොදියුණු ඉන්ද්‍රිය ධර්මයෝ අපිට වැඩිහිටි උපාධ්‍යායන් වහන්සේ නමකටවත් වන්දනා කරන්න වීර්යය ඇති කොට දෙන්නේ නැහැ. පින්වත, අපේ වැඩිහිටි වන්දනාවෝ, අපිට, අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිහිටිභාවය පෝෂණය කොට දෙනවා.

 පින්වත, තවත් සුන්දර වස්සානයක් උදා වුණා. පින්වත, මේ උදා වුණේ භික්ෂුවගේ දහනවවැනි වස්සානය. පින්වත, ගෙවී ගිය වස්සානය භික්ෂුව ගත කළේ ගිනිගත්හේන ප්‍රදේශයේ. පින්වත, මෙවර භික්ෂුව වස්සානය ගත කරන්නේ කොළඹින් කිලෝමීටර් එකසිය පනහකට එහා පිහිටි කැලෑබද ගම්මානයක. පින්වත, භික්ෂුවගේ දහනවවැනි වස්සානය උදා වෙන මේ මොහොතේ, භික්ෂුව, භික්ෂුවගේ වස් දහනවයක භික්ෂු ජීවිතය දෙස ස්වයංපරීක්‍ෂණයක යෙදෙනවා. පින්වත, භික්ෂුව, භික්ෂුව තුළින් දකින්නේ වස් දහනවයක “ගුණාත්මකභාවය” භික්ෂුව තුළ තිබෙනවා ද කියලයි. පින්වත, වස් ප්‍රමාණයේ ගුණාත්මකභාවය මනින මිනුම් දණ්ඩ, උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න ගුණයෝයි. පින්වත, ඉහත මිනුම් දණ්ඩ තුළින් භික්ෂුවගේ වස් දහනවය දෙස දකිද්දී, භික්ෂුවට සතුටක් නොවේ දැනෙන්නේ. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින උතුම් ධම්මානුපස්සනාවේ පහස මයි. පින්වත, මහා ගාම්භීරභාවයෙන් මට වස් මෙච්චර යැයි කීම නොවේ, භික්ෂුවට අර්ථවත් වෙන්නේ. පින්වත, භික්ෂුවගේ “වස් වැඩිහිටිභාවයට” අදාළව භික්ෂුවගේ ගුණාත්මකභාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ උපසම්පදා පැවිදි ශ්‍රාවකයන් හැටියට අපිට පුළුවන් නම් අපේ වස් සංඛ්‍යාව සිහිපත් වෙද්දී, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ’ යැයි දකින්න, පින්වත, එතැනයි වස් වැඩිහිටිභාවයේ සැබෑ ම ඉලක්කය වන සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තියේ හැඩරුව තිබෙන්නේ.

 පින්වත, බුදුරජාණන් වහන්සේට කීකරු උපසම්පදා භික්ෂුවකගේ ජීවිතය යැයි කියන්නේ මොනතරම් නම් නිදහස් ජීවිතයක් ද? පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රියෙන්, ශීලයෙන්, සතියෙන් සහ සමාධියෙන් පණ ලබන පැවිදි ජීවිතයක කෙලෙස් බර සැහැල්ලු වෙද්දී, පැවිදි ජීවිතයකට දැනෙන්නේ පියාපත් බර පමණක් මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත් පියාපත් දෙකේ බර යාන්තමට දැනෙනවා. පින්වත, භික්ෂුවගේ පියාපත් දෙකේ බර යැයි සටහන් තැබුවේ, භික්ෂුවගේ උරහිසේ එල්ලා ගෙන වඩින පාත්‍රය සහ කුඩා අත්බෑගයේ බරයි. පින්වත, එම පියාපත් දෙකේ බරත්, ඵස්සයේ අනිත්‍යභාවය දැකීම ඉදිරියේ භික්ෂුවට නම් සැහැල්ලුවක් මයි. පින්වත, භික්ෂුවට තම උරහිසේ එල්ලාගෙන යන පාත්‍රය බරක් නොවුණත්, භික්ෂුව උරහිසේ එල්ලාගෙන වඩින පාත්‍රයත් “බරක්” කොට ගත් පින්වතුන්ලා භික්ෂුවට මුණගැසී තිබෙනවා. පින්වත, වරක් සවස ධර්ම දේශනාවකට භික්ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන වඩිද්දී, තරුණ ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවගෙන් ඇසුවා, “ඔබ වහන්සේ රාත්‍රී දානයකට ද වඩින්නේ?” කියලා. පින්වත, භික්ෂුව සිනහ වෙලා වැඩියා. පින්වත, යම් ගිහි හෝ පැවිදි පින්වතෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය දකිද්දී, ඉන් භික්ෂුවට ලැබුණ ප්‍රතිලාභය වූයේ උතුම් ධම්මානුපස්සනාවේ කුසල් ශක්තිය මයි. පින්වත, අනුනගේ ඇලීම් සහ ගැටීම් තුළින් ඔබේ ධම්මානුපස්සනාවේ දොරටු විවෘත කොට ගන්න දක්‍ෂ වෙන්න.

 පින්වත, පියාපත් බර පමණක් දරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඥාතිවරයෙක්ගේ, හිතවතෙක්ගේ, දායකයෙක්ගේ හෝ නිත්‍ය කැපකරුවෙක්ගේ බර කෙසේ නම් දැනෙන්න ද? පින්වත, ලෝකය මැද, ලෝකයෙන් නිදහස් වී ජීවත් වෙන්නායි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අරටුව බවට පත් වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ අරටුව බවට පත් වූ පැවිදි ශ්‍රාවකයෝ ලෝකය පරිහරණය කරන්නේ ‘තෘෂ්ණාවට විරේක බෙහෙත්’ දීලයි. පින්වත, තෘෂ්ණාවට විරේක බෙහෙත් දෙද්දී, උපාදානයෝ “බල ධර්මයෝ” උදෙසා මයි බල ගැන්වෙන්නේ. පින්වත, උදා වුණ සුන්දර පිනැති වස්සානයේ දී, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසේ සාමකාමී සටන් පාඨය විය යුත්තේ අප්‍රමාදීභාවය මයි. පින්වත, මෙවර වස්සානයේදීත් පිනේ කෙටි ආස්වාදය හෙවත් වර්ණය, සැපය, බලයට යට වෙලා ඉබි ගමනින් භව ගමනේ යන, පිනේ පුංචි කෝච්චියට නම් නගින්න එපා. පින්වත, අපි හරිම ආසයි, පිනේ පුංචි කෝච්චියේ නැගලා, කාම, රූපී, අරූපී ලෝකවල විනෝද භව චාරිකාවේ යන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් පටිච්චසමුප්පන්නව පිනේ පුංචි කෝච්චියට නැගලා ඉබි ගමනින් කාම ලෝකයේ විනෝද චාරිකාවක යෙදී සිටින ගමන්මයි ඔබට මේ සටහන තබන්නේ. පින්වත, භික්ෂුව අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ සිය ගණනක පටිච්චසමුප්පන්නව ඉපදිලා, උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා “කාලය කා දමා ඇති වස් සංඛ්‍යාව”, වස් ලක්‍ෂ සිය ගණනක් වෙනවා. පින්වත, පටිච්චසමුප්පන්නව වස් ලක්‍ෂ සිය ගණනක ගොරහැඩි භික්ෂුවක් ඔබට මේ සටහන් තබන්නේ. පින්වත, ගෙවාගෙන පැමිණි දීර්ඝ පටිච්චසමුප්පන්න ලෝකය, ඔබේ වර්තමාන ලෝකයෙන් හිස් කොට දමන්න. පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’ යැයි දකිමින් තෘෂ්ණාවෙන් දුවන ලෝකය ඉදිරියේ, අවිද්‍යාවේ ඝනාන්ධකාරයට ධම්මානුපස්සනාවේ ආලෝකය ලබා දෙන්න.

 පින්වත, ‘කෘතවේදීභාවය’ මේ ලෝක ධාතුවේ හතරවැනි දුර්ලභ අර්ථය යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, කෘතවේදීභාවය ලෝකයෙන් අතුරුදන් වූ තැන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වෙලාම යනවා. පින්වත, පිනට පෙරළා පින් දෙන්න ඕනේ, එවිටයි පින සශ්‍රීකභාවයෙන් තව තවත් ඵලබර වෙන්නේ. පින්වත, හැබැයි ඉතින් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ටකය හෙවත් සීනුව පිනෙන් ඵලබර ජීවිතය තුළ එල්ලා තබා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, එසේ නොවුණොත්, අකුසල් මූලයෝ නමැති නිශාචර පක්‍ෂීහු ඔබේ පිනේ ඵලබර අකාලයේ “කා” දමන්න පුළුවන්. පින්වත, වස්සානයට පෙරාතුව භික්ෂුවගේ අවසාන ධර්ම දේශනාව පැවතියේ මාතර කුඩාවැල්ල ප්‍රදේශයේ. පින්වත, ධර්ම දේශනාව අවසානයේ දී භික්ෂුව හැමෝටම ගෞරවයෙන් පින් අනුමෝදන් කළා. පින්වත, ගෙවී ගිය වසර තුළ සෑම සතියක ම එක් සමථ විදර්ශනා ධර්ම දේශනාවක් පැවැත්වූවා. ඊට අමතරව මාස දෙකකට වරක් සමථ විදර්ශනා එක්දින ශීල ව්‍යාපාරයන් පැවැත්වූවා. පින්වත, එම සෑම පින්කමකට ම කාලය, ශ්‍රමය, ධනය කැප කළ සියලුම සත්පුරුෂ පින්වතුන්ලාටත්, පින්වතියන්ලාටත්, පින්වත් ගම්වාසී, රටවාසී සහ විදේශගත සියලුම පින්වතුන්ලාටත්, සමථ විදර්ශනා ශීල ව්‍යාපාරයන් උදෙසා කල්‍යාණමිත්‍රභාවයෙන් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් ‘දිවයින’ පුවත්පත් ආයතනයේ පින්වත් සභාපතිතුමන් ඇතුළු කර්තෘ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත්, කල්‍යාණමිත්‍රභාවයෙන් සහයෝගය ලබා දුන් උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් මේ උතුම් සමථ විදර්ශනා කුසල් ධර්මයෝ නිදුක්, නීරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ පිණිසම හේතු වේවා! යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වත, ලැබුවා වූ සුන්දර වස්සානය ගිහි, පැවිදි අපි හැමෝටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අර්ථවත් වෙන, දසකුසල් ධර්මයෝ සහ මඟඵල, නිවන් මඟ කෙරෙහි ඡන්දය ඇති වෙන අර්ථවත් වස්සානයක් වේවා!

පූජ්‍ය රාජගිරියේ  අරියඥාන ස්වාමින්වහන්සේ

No comments:

Post a Comment