Monday, March 30, 2026

හොඳ තැන් සොයමින් යනවා වෙනුවට

 2012/03/11 ලිපිය

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්‌, දඩයක්‌කරුවෙක්‌, සතෙක්‌ මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ තුළට ගන්නේ නැහැ. ඔබ නිවන් මඟවඩන විට මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ හෝ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයන්න යන්න එපා. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරයෙන් කැලය තුළ සිටියාට වැඩක්‌ ප්‍රතිඵලයක්‌ නැහැ. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයයි නම් ඒ සොයන්නේ ඔබගේ ආරක්‍ෂාවට. ඒ කියන්නේ ඔබ තුළ ආරක්‍ෂා කරගන්න සත්වයෙක්‌ ඉන්නවා කියන එකයි.

සිත ඔබව මුලාකරන මෙවැනි සියුම් තැන් ඔබ පරාජය කරන්න. කොතරම් සතා සර්පයා සිටියද, මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ තනියම කැලයට ඇතුළු වෙන්න. කුටිය සොයාගෙන අඩිපාරේ ඔබම යන්න. බියක්‌ තැතිගැනීමක්‌ දැනුණහොත් ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට බිය ඉවත්වෙලා යාවී. කය, සිත අතහැරදා ඔබ යන මේ ගමනේ ඔබට බාධා කරන්න කාටවත්ම බැහැ. එය අතහැරීම තුළ ඔබ ලබන ප්‍රතිලාභයක්‌.

භික්‍ෂුවක්‌ කැලෑ මඟක්‌ ඔස්‌සේ කුටියක්‌ සොයාගෙන තනිවම වඩින විට එම කුඩා කුටියේ මාස තුනකින් පමණ භික්‍ෂුවක්‌ වැඩ සිටලා නැහැ. දුෂ්කර කුටියක්‌. මෙහි භික්‍ෂුව ගත කළේ දින හතක්‌ පමණයි. විදේශීය භික්‍ෂූන්වහන්සේ නමක්‌ වැඩිය නිසා ඉවත්ව ගියා. භික්‍ෂුව කුටියට වැඩිවිට කුටියේ ඇතුළත හතරෙන් පංගුවක්‌ පමණ කොටසක්‌ අඩියක්‌ පමණ උසට තුඹස්‌ බැඳලා. එහි ලෑලි ඇඳක්‌ තිබුණා. ඒ ඇඳේ කකුල් දෙකකුත් තුඹසට බැඳිලයි තිබුණේ. තුඹස තිබියදීම භික්‍ෂුව සුවසේ රැය පහන් කළා. පසුව දා ගමේ ගිහි දරුවන් තිදෙනෙක්‌ ඇවිත් තුඹස ඉවත් කළා.

මෙවැනි අභියෝග වලට කියන්නේ නිවන් මඟ කලමනා කියලයි. කය අතහැරීමේ ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මේවා හුඟාක්‌ ප්‍රයෝජනවත්. හැබැයි ඔබ තුඹස දැකලා ගැටුනානම්, නයයි බයයි දෙකම සිත ඔබේ ළඟට ගේනවා. තුඹස දුටු සිත භික්‍ෂුව අතහැරිය නිසා නයයි බයයි දෙකම ඔබට අතහැරුණා. ඔබ තුඹස දුටු සිට නිත්‍ය වශයෙන් ගත්තා නම් නැති සර්පයිනුත් සිටිනවා ඔබට පේනවා.

ඔබ නිවීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන විට සැලසුම් ඔස්‌සේ, පෙර සූදානම් වීම් ඔස්‌සේ පෙරට යන්න එපා. ඒ ඔබ රවටන මාර බලයක්‌. සැලැස්‌මක්‌ හදන්නේ යමක්‌ ගොඩනගන්නයි. ඔබ මේ යන්නේ ලෝකයේ හිස්‌ බව දකින්නයි. සැලසුම් අතහරින්න. ඉදිරියට හමුවන තත්ත්වයට, ස්‌වභාවයට මුහුණ දෙන්න.

භික්‍ෂුවකට දුෂ්කර ආරණ්‍යයකදී වයස අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ, ඉතා ගුණයහපත්, සත්පුරුෂ භික්‍ෂුවක්‌ මුණගැසුණා. උන්වහන්සේ භික්‍ෂු ජීවිතයෙන් වසර 40 ක්‌ ම ගතකරලා තිබෙන්නේ චාරිකාවේ වඩිමින්. වස්‌ කාලයේ පමණයි එක තැනක වැඩ ඉඳලා තිබෙන්නේ. උන්වහන්සේ ගතකර තිබූ ප්‍රතිපදාව නිසා භික්‍ෂුව සිතුවා උන්වහන්සේ හොඳ අවබෝධාත්මක භික්‍ෂුවක්‌ වෙන්න ඇතිය කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඇයි ඔබ වහන්සේ එක ස්‌ථානයක්‌ අල්ලාගෙන නොයිඳ මේ ආකාරයෙන් චාරිකාවේ හැසිරුණේ කියලා. එවිට උන්වහන්සේ කියනවා, මට අවශ්‍ය වුණා මම ආසා කළා මම ඉපදුන රට දැක බලාගන්න. ඒකයි මම චාරිකාවේ හැසිරුනේ කියලා. එම වචන ටික උන්වහන්සේගේ මුවින් පිටවෙනකොට භික්‍ෂුව උන්වහන්සේ තුළ දැක්‌කේ පුංචි සාමනේර හිමිනමක්‌. බලන්න... මොන අපරාධයක්‌ද කරගෙන තිබෙන්නේ, සංචාරකයෙක්‌ බවට පත්වෙලා.

අපේ සිත අපව නිරතුරුවම රවට්‌ටනවා. ඔබ අධිෂ්ඨානයක ඉන්න ඕනේ සිත වැඩෙන සුදුසුම හුදෙකලා ස්‌ථානයක්‌ අරමුණ ජයගන්නා තෙක්‌ ඇසුරු කරන්න. සිත ඔබව සංචාරකයෙක්‌ කරන්න උපදෙස්‌ දේවී. ඔබව ආරණ්‍යයෙන් ආරණ්‍යයට ඇවිද්දවාවී. ඔබ ප්‍රවේශම්වන්න. ඔබ යා යුතු ඊළඟ තැන සැලසුම් කරන්න යන්න එපා. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට තිබෙන්නේ හොඳින් නිවන් මඟ වැඩීමට සිත වැඩෙන ස්‌ථානයක රැඳෙන්නයි. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. කලබල වෙන්න, ආයාසයක්‌ ගන්න එපා. ඊට වඩා සුදුසු ඔබට යායුතු තැනක්‌ වේ නම්, සංඥා මඟින් නොසිතූ ආකාරයට ඔබට ඒවා දැනේවී. ඔබට තිබෙන්නේ අතහැරීම පමණයි. නිවීම දක්‌වා මඟ ඔබට ප්‍රඥාව විසින් මුණගස්‌වාවී. ඔබව රැගෙනයාවී. එසේ නොවුණ හොත් තෘෂ්ණාව විසින් ඔබව සංචාරකයෙක්‌ කරාවී.

ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න. ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න. ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස හොඳ පමණක්‌ ඔබට සොයාගත නොහැකි බව දකින්න. ඔබ හොඳ පමණක්‌ සොයන්නේ නම්, ඔබට සොයමින් සිටිනවා හැර ජීවිතයේ වෙන කාර්යයක්‌ නොමැති වනු ඇත. මන්ද ඔබ සොයන්නේ නොමැති දෙයක්‌ හෙයිනි. ඔබ අතහැරීමේ උපරිමය තුළ නිවන් මඟ වඩන්නෙක්‌ නම් ඔබ කොතැනකට ගියද ආරණ්‍යයක්‌ වේවා, පන්සලක්‌ වේවා එතැන කැළඹුන තැනක්‌ විය හැක. ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මාර බලවේග බියය. ඒ නිසා තම බලකොටුවට පැමිණි ධර්මයේ බලය පලවාහැරීමට පරිසරය ඇති කරයි. ලෝකය තුළ අධර්ම බලවේග වල ශක්‌තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කරගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, පරීක්‍ෂා කිරීම්, නොසලකා හැරීම්, පීඩන, බාධා වලින් පිරුණු ගමනකි. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක්‌ කරගත යුතුය. මන්ද මේ සියල්ලම ලෝකයේ පවතින ධර්මතාවයන් වීමය. ඕනෑම පරිසරයකදී ඔබ "හොඳින් ඉන්න" දක්‍ෂ වෙන්න....!!!


Friday, March 20, 2026

යක්‍ෂයා නොව ධර්මය දකින්න

 2012/03/04 ලිපිය

භව ගමනේ නවාතැන් පළවල ස්‌වභාවය විවිධත්වයෙන් පිරී පවතී. මේ විවිධත්වය ගොඩනැගී ඇත්තේ සත්වයා කරන ලද කුසල් අකුසල් මතය. දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත ලෝකයන් මෙන්ම, යක්‍ෂයන්ගේ ලෝකයද අපූරුය.

යක්‍ෂයන්ද මේ මනුෂ්‍ය ලෝකය තුළම ජීවත්වන පිරිසකි. යක්‌කු, යක්‍ෂණියන් වශයෙන් දෙකොටසක්‌ ඇති බව අසා ඇතත් භික්‍ෂුව දැක ඇත්තේ යකුන් පමණක්‌ය. යක්‍ෂණියන් දර්ශනය වී නොමැත.

යකුන්ගේ ලෝකය පැහැදිලිව කොටස්‌ දෙකකි. සම්‍යදෘෂ්ටික යකුන් සහ මිත්‍යාදෘෂ්ටික යකුන් වශයෙනි. සම්‍යදෘෂ්ටික යකුන් වැඩි වශයෙන් පන්සල්, ආරණ්‍ය, පැරණි පුදබිම්, කැලයේ හුදෙකලා භික්‍ෂූන් වසන ප්‍රදේශ අසලද, මිත්‍යාදෘෂ්ටික යකුන් සොහොන්, අඳුරු ගුහා, ගල්ලෙන්, කැලයේ අඳුරු ප්‍රදේශ, දිය අගල්, නාන තොටවල් ආදිය ආශ්‍රයේද ජීවත් වෙයි.

යකුන් අඳුරට ප්‍රියය. ඒ ඔවුන්ගේ පෙර කර්මය නිසාය. ඔවුන්ද ඕලාරික කයක්‌ සහිත, එම කය ඇසුරුකොට ආයතන හය පිහිටි සත්වයෙකි. යක්‍ෂයාද සතර මහා ධාතූන්ගෙන් සැදුන ඕලාරික කයක්‌ සහිත, නිරතුරුවම ඇතිවන නැතිවන සිතක්‌ සහිත සත්වයෙකි.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැලෑබද ආරණ්‍යයක කුටියක වැඩ සිටියදී රාත්‍රී දහයට පමණ සමාධිය තුළ පසුවන විට එකවරම එම භික්‍ෂුව ඉදිරියට අඩි 6ක්‌ පමණ උසැති සද්ධන්ත ශරීරයක්‌ සහිත මනුෂ්‍ය ශරීරයේ ස්‌වභාවයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. යකාගේ ස්‌වභාවය, හැඩය හරියටම කළු ජාතික බොක්‌සිං ශූරයකු වැනිය. තද කළු පැහැති ශරීරයකි. ශරීරයේ උඩ කොටස නිරාවරණය වී ඇත. යට කොටස දනහිස දක්‌වා ඇඳුමකින් වැසී ඇත. අත්වල ලොකු වළලු තිබිණි. කොණ්‌ඩය හිස පිරෙන්නට ගෙල තෙක්‌ වැඩී තිබුණේය. හැබැයි කටේ දළ එහෙම තිබුණේ නැත. භික්‍ෂුව එයට පෙර යකෙක්‌ දැක තිබුණේ නැත. යකා පිටුපස තව පිරිවරක්‌ද ඉන්නවා පෙනෙයි. සෙවනැලි වශයෙනුයි පිරිවර පෙනෙන්නේ. ඕලාරිකව. මහයකා හොඳට ප්‍රතාපවත් මනුෂ්‍යයෙක්‌ වගේ භික්‍ෂුව ඉදිරියේ සිටිනවා. විනාඩි 5ක්‌ පමණ භික්‍ෂුව යකා දෙස බලා සිටියේය. යකා සෙලවෙන්නේ නැහැ. එකම ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලා සිටිනවා. භික්‍ෂුවට වඳින්නෙත් නැහැ. භික්‍ෂුව බියට පත්කිරීමේ වුවමනාවකුත් නැහැ. භික්‍ෂුවට අගෞරවයක්‌ කරන්නෙත් නැහැ. යකා භික්‍ෂුව දෙස අනිමිස ලෝචනයෙන් වගේ බලා සිටිනවා. භික්‍ෂුව එවිට යකාට පිං දුන්නේය. යක්‍ෂ රූපය දර්ශනයෙන් නොපෙනී ගියේය. ඒ යක්‍ෂ රූපය නැවත භික්‍ෂුවට දර්ශනය නොවිණි. ඔහු සම්‍යදෘෂ්ටික යකෙකි. ඔහුගේ ජීවිතය යකෙක්‌ වුවද එය අඳුරු නැත. දුකක්‌ද නැත. බොහොම තේජස්‌, ප්‍රතාපවත්, පෞරුෂවත් ස්‌වභාවයකුයි තිබෙන්නේ. ඒවා ලැබී තිබෙන්නේ පෙර ජාතියේ කරන ලද පිංකම් නිසාය. නමුත් පෙර මිනිස්‌ ආත්මයක ඉපිද මැරෙන මොහොතේ අවසන් චුති සිත වෛරයක්‌, ක්‍රොධයක්‌, යමක්‌ ආරක්‍ෂා කිරීමේ කැමැත්තක්‌ සමඟ ඇතිවූ නිසා යක්‍ෂ ආත්මයක ඉපැදිලා. ඒත් ඔහු දුකක්‌ නොවෙයි විඳින්නේ. ඔහු තේජස්‌ සහිතව යමක්‌ ආරක්‍ෂා කරන සම්‍යදෘෂ්ටික යකෙක්‌.

භික්‍ෂුවට පසුව දැනගන්න ලැබුණා මෙම ආරණ්‍යයේ වසර 40 කට පමණ පෙර අපවත් වූ නායක හිමිනම මෙම ආරණ්‍යයට ඉතාමත් ආදරය කළ, එය ආරක්‍ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බවක්‌. එම නායක හිමිගේ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක්‌ නිසා තමා විසින්ම ආරණ්‍යයේ තම කුටියේදී ගෙල වැලලාගෙන අපවත් වූ බවක්‌. මෙන්න මේ නායක හිsමිනම තමයි මහා යක්‍ෂයෙක්‌ වෙලා මෙම ආරණ්‍ය කුටියේදී රාත්‍රියේ භික්‍ෂුවට දර්ශනය වූයේ. හැබැයි එම භික්‍ෂුව අපවත් වීමට පෙරාතුව හොඳින් සීලය ආරක්‍ෂා කර ගත් නිසා, අපවත්වීමෙන් පසු සම්‍යාදෘෂ්ටික ප්‍රතාපවත් යක්‍ෂ ආත්මයක්‌ ලැබුවේය. අපවත් වන මොහොතේ තමාගේ කැමැත්ත වූයේ ආරණ්‍යය ආරක්‍ෂා කර ගැනීමය. ඒ කැමැත්තට අනුරූපීවම ඊළඟ ප්‍රතිසන්ධිය නිර්මාණය විය. තමාගේ කැමැත්ත තමාට ලැබිණි. භික්‍ෂුව සමාධිය තුළින් එම යක්‍ෂයා දර්ශනය කර ගැනීමට උත්සාහ කළද මෙම යක්‍ෂයා එදායින් පසුව භික්‍ෂුවට දර්ශනය වීමට නොලැබුණේය. ඔහු නියත වශයෙන්ම භික්‍ෂුවගේ පින් අනුමෝදන්ව ඒ ක්‍ෂණයෙන්ම යක්‍ෂ ආත්මයෙන් මිදුන බව පසුව භික්‍ෂුව සාධක සහිතව ස්‌ථිරව දැනගත්තේය. එය භික්‍ෂුව විසින් කෙසේ දැනගත්තේ දැයි මේ මොහොතේ සටහන් නොකරමි. සැබැවින්ම මොහුට යක්‍ෂයෙක්‌ යෑයි කීම වැරදිය. මොහු යක්‍ෂ සේනාධිපතියෙකි. මොහු භික්‍ෂුව ඉදිරියට පැමිණ ඇත්තේ හේතු දෙකක්‌ සහිතවය. ගෞරව කිරීමට සහ පින් ගැනීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදී ඉතාමත් ලෙන්ගතුව ගෞරවනීය ලෙස භික්‍ෂුවට ගෞරව කළ සත්වයා මෙම යක්‍ෂ සේනාධිපතියාය. මෙම දර්ශනය වීම සහ එහිදී භික්‍ෂුව අත්දුටු දේ සම්බන්ධයෙන් නැවත මෙසේ කියමි.

ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ඉහතින් සදහන් කළේ සම්‍යදෘෂ්ටික යක්‌ෂ සේනාධිපතියෙක්‌ ගැනය. මේ මොහොතේ ඔහු යක්‍ෂ ආත්මයෙන් මිදී මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක හෝ එසේත් නැතිනම් සියදිවි නසාගැනීමට පෙර දුෂ්කර ආරණ්‍යක භික්‍ෂුවක්‌ ලෙස ප්‍රජාව යම් ප්‍රමාණයකට වඩා තිබීම හේතුවෙන්, භික්‍ෂුවගේ අතහැරීමේ ස්‌වභාවයද දුටු නිසා ප්‍රඥාව මතුවී බ්‍රහ්මලෝකයට ගියා වීමටද පුළුවන. මේ ගැන භික්‍ෂුව ස්‌ථිරවම නොදනී, අනුමාන කළා පමණි. කෙසේ හෝ ඔහු සුගතිගාමී විය.

මිථ්‍යාදෘෂ්ටික යකුන්ගේ ස්‌වභාවය ඉහත යක්‍ෂ සේනාධිපතියාගේ ශරීර ස්‌වභාවයට වඩා වෙනස්‌ය. එකම එක අවස්‌ථාවක මිත්‍යාදෘෂ්ටික යකෙක්‌ වෙනත් ආරණ්‍ය භූමියකදී දර්ශනය විය. එම යකා ඉහත යක්‍ෂ සේනාධිපතියාට වඩා උසය. ශරීරය කළු පැහැතිය. ඇස්‌ දෙක දොඩම් ගෙඩි දෙකක්‌ සේ විශාලය. ඇස්‌ රතුය. කොණ්‌ඩය අවුල්ව කැරළි ලෙස ගෙල දක්‌වා වැඩී ඇත. මහා රෞද්‍ර පෙනුමකින් යුක්‌තය. මෙම යකා තනිපංගලමේ භික්‍ෂුව ඉදිරියේ දර්ශනය විය. හේ තැතිගත් විලාසයෙන් නිසොල්මනේ භික්‍ෂුව දෙස බලා සිට අතුරුදන් විණි. ඔහුගේ රෞද්‍ර පෙනුම නිසා ඔහු මිත්‍යාදෘශ්ටික යක්‍ෂයෙක්‌ බව අනුමාන කරමි. මොහුද උඩුකය නිරාවරණය කරගෙන සිටියේය. දණහිස දක්‌වා රෙදිකඩකින් වැසී තිබිණි. මෙම යක්‍ෂයන් කළු පැහැයෙන් යුක්‌ත වන්නේ පෙර සසර ක්‍රෝධය, වෛරය වැඩූ නිසාමය. තමා වැඩූ දෙය, තමා කැමති කළ දෙය තමාටම ලැබේ. ලෝක ධර්මය එයයි.

ඉහත ආරණ්‍යයේදීම භික්‍ෂුවකට පැහැපත් වර්ණයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. එම යකාට පැහැපත් සිරුරක්‌ තිබුණත් එය එල්ලාවැටෙන තරබාරු සිරුරකි. විශාල බඩගෙඩියක්‌ සහිත ශරීරයේ උඩකය නිරාවරණව තිබුණු අතර දණහිස දක්‌වා රෙදි කඩක්‌ තිබිණි. හිසකේ අවුල්ව වැඩී තිබුණු අතර අසරණ ස්‌වරූපයක්‌ ඔහුගෙන් පළවිය. ඔහු යක්‍ෂ ආත්මයක ඉපැදුනද පැහැපත් ශරීරයක්‌ ලැබුවේ කෙසේදැයි භික්‍ෂුව නොදනී. සමහර ආමිස පින්කම් කිරීම නිසා ප්‍රසන්න ශරීර පැහැයත්, අවසාන චුති සිත ක්‍රෝධය, වෛරය ඇතිවීම නිසා යක්‍ෂ ආත්මයත් ලැබුණා විය හැකිය.

යක්‍ෂයනුත් කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය පිරිසකි. ඒවායේ නායකයන් ඇත. මිත්‍යාදෘෂ්ටික යකුන්, ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂූන්ට දැඩි ලෙස පීඩා කිරීමට උත්සාහ කරයි. භික්‍ෂුව දක්‍ෂ වෙන්න ඕනේ අතහැරීමේ ශක්‌තිය තුළින් මේ පාපකාරී බලවේග පරාජය කරන්න. අදක්‍ෂ වුණොත් කුටිය අතහැර යන්න වෙන්නේය. භික්‍ෂුව බලවත් අවස්‌ථාවල, භික්‍ෂුවට සිව්පසය සපයන දායකයන් මෙම මිත්‍යාදෘෂ්ටික යකුන් ග්‍රහණයට ගන්නේය. ඔවුන්ව ලෙඩ කරන්නේය. බිය ගන්වන්නේය. මේ හැම දෙයටම නොවරදින ඖෂධය ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කර තිබේ. ඒ තමයි ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ යක්‍ෂයා නොව, ධර්මයයි.

භික්‍ෂුව මොනම අවස්‌ථාවකදීවත් දෙවියන්, බඹුන්, ප්‍රේතයන්, යක්‍ෂයන් දකින්නට ආස කළේ නැත. මෙම සියල්ලම අහම්බයෙන් දර්ශනය වූ දේවල්ය. මේ කිසිවක්‌ කෙරෙහි භික්‍ෂුව ඇලුනේද, ගැටුනේද නැත. මේ සටහන් කියවා ඔබ දෙවියන් ප්‍රේතයන් යක්‍ෂයන් දැකීමට ආසා නොකරන්න. මන්ද දැකීමට සත්වයෙක්‌ ලෝකයේ නොමැති නිසාය. ඉහත සියලුම සත්වයන්ට තිබුණේ සතර මහා ධාතූන්ගෙන් සැදුණු අනිත්‍යභාවයට පත්වන ඕලාරික කයක්‌ සහ අනිත්‍යභාවයට පත්වන සිතක්‌ පමණි. එහි ස්‌ථිර සත්වයෙක්‌ නොසිටියේය. මෙහි තිබුණේ පස්‌සය නිසා හටගන්නා වේදනාව පමණක්‌මය. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ හමු නොවේ. එනිසා ඔබ දිව්‍ය, බඹුන්, ප්‍රේත, යක්‍ෂයන් සොයා නොයන්න. එම රූප දකින්න ඇති ආශාව, දකින්න යෑයි කියන සිත අනිත්‍ය වශයෙන් දැක අතහරින්න. එවිට ඔබ සොයාගෙන ඔබ නොසිතූ අයුරින් ඒ අය ඔබ ඉදිරියට එනු ඇත.

ඔබ මේ සටහන තැබූ භික්‍ෂුව කවුරුන්ද යන්න සෙවීමට වෙහෙස නොවන්න. ඔබ ඔබ ගැන සොයන්න. මේ භික්‍ෂුවද කිසිදා අනුන් සොයා ගිය කෙනකු නොවන බව තරයේ සිහි තබාගන්න. භික්‍ෂුව සෙව්වේ තමාගේම ස්‌වභාවය බවත් තමාගේ ස්‌වභාවය ගැන සෙවීමේදී භික්‍ෂුවට අවබෝධ වූයේ ලෝකයේම ස්‌වභාවය බවත් ඔබද දකින්න. තමාත්, ලෝකයත් දෙකම නිර්මාණය කර දුන්නේ ඇතිවෙමින් නැතිවෙන සිත බවත්, සිත අනිත්‍ය වශයෙන් අවබෝධ කර නිරුද්ධ කළ මොහොතේ ලෝකයෙන් තමා නිවී යන බවත් දකින්න. මෙනෙහි කරන්න. අප්‍රමාදීව සුන්දර දහමක හිමිකරුවෙක්‌ වන්න.

නැවත නැවතත් කියමි. ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. ඔබට සියල්ලම ලැබෙන විට ඒ කිsසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. 

මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

 2012/02/26 ලිපිය


සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්ම වල ඉපැදෙනවාමය. මීට අමතරව, තන්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමකි.

දේපළ, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්‌හාව, ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ පිං කළද ප්‍රේත ආත්ම වලට වැටීමට අතිශයින්ම හේතුවේ. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥාවන් දැකිය හැක්‌කේ ප්‍රභාශ්වර ආලෝක සහිතවය. ඒ අය ආලෝකමත්ය. එහෙත් ප්‍රේත ලෝකයේ සංඥා නිරතුරුවම අඳුරුය. විකෘතිය. ගුප්තය. තැතිගත් ස්‌වභාවයෙන් යුක්‌තය. කිසිදු ප්‍රේතයකුගේ ස්‌වරූපයේ සතුටු ස්‌වභායක්‌ දැකිය නොහැකිය. මහා ප්‍රශ්නාර්ථයකට මැදිවී සිටින්නා සේ වික්‍ෂිප්ත ගුප්ත ස්‌වරූපයක්‌ දර්ශනය වේ. එකිනෙකාට වෙනස්‌වූ විකෘති ස්‌වභාවයන්ගේ මුහුණු ප්‍රේතයන්ට ඇත. මුහුණේ සෑම දශමයක්‌ම විකෘතිය. සමහර මුහුණු පැතැලිය. දිගය. රවුම්ය. ඇස, කණ, නාසය, නළල, හිස ඇත්තේ විකෘති ස්‌වභාවයන්ගෙන් යුතුවය. ප්‍රේතයා යනු විකෘති නිර්මාණයකි. ප්‍රේතයාට තිබෙන්නේ ඕලාරික කයකි. සමාධිය වඩන්නාට එම ඕලාරික කය සියුම් ඝණ ස්‌වභාවයෙන් දැකිය හැකිය. ප්‍රේතයාගේ ඕලාරික කය තුළ මනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට සේම ආයතන හය පිහිටා ඇත.

එහෙයින් ප්‍රේතයාටද සිත් ඇතිවේ. ප්‍රේතයා අනිත්‍යභාවයට පත්වෙන සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, ඕලාරික කයක්‌ද, ඇතිවෙමින් නැතිවෙන සිතක්‌ද ඇති සත්වයෙකි. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ දෙකොට්‌ඨාසයම සිටිති. මේ අය නිරතුරුවම අඳුර සහ ගුප්ත භාවය තුළ ජීවත්වන නිසා ඒ අයට නිතරම බය සහ ගැටීම තුළ ජීවත්වීමට සිදුවේ. එය අතීත කර්මයේ ප්‍රතිඵලයකි. බය සහ ගැටීම තුළ නිරතුරුවම ජීවත්වීම නිසා, ප්‍රේතයාගේ සිත වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වැනි අකුසල් ධර්මයෙන්ගන් පිරී පවතී. ප්‍රේත ලෝකයේ ජීවත්වන සෑම තත්පරයකදීම ඔහු රැස්‌කරන්නේ අකුසල්ය. කුසල් අකුසල් ගැන ප්‍රේතයාට හැඟීමක්‌ නොමැත. එය ඔහුගේ කර්මයයි. දිව්‍ය, මිනිsස්‌ ආත්මවල ඉපිද, කරගත් කර්මයන් හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගන්නා ප්‍රේතයෝ විවිධ ස්‌වභාවයන්ගෙන් යුක්‌තය.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය.

තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු ආලෝක දෙකක්‌ නිකුත් වේ. බල්බ දෙකක්‌ සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක්‌ සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක්‌ සහිත, සිවුරක්‌ දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක්‌ ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක්‌ විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක්‌ ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක්‌ හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක්‌ නොමැති ශරීරයක්‌ ඇති ප්‍රේතයෙක්‌ වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක්‌ හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක්‌ වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක්‌ ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.

ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක්‌ සේ දර්ශනය වේ.

ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක්‌ ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක්‌ දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක්‌ නොමැතිය. සාමාන්‍ය මීහරක්‌ ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක්‌ තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස්‌ සඳහා හොර හරක්‌ සහ මී හරක්‌ මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක්‌ මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක්‌ ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක්‌ එම භූත මීහරක්‌ නිරාහාරව දුක්‌ විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස්‌ ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්‌, මී හරක්‌, කුකුළන්, මුවන් මරා මස්‌ කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක්‌ උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.

ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක්‌ ප්‍රේතියක්‌ කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස්‌ ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක්‌ මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක්‌ ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක්‌ බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත. මිනිස්‌ ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යෑද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස්‌ ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක්‌ වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක්‌ නොව ඔබගේද කථාව විය හැකිය.

මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.

නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න.

තවත් අපූරු ප්‍රේතියක්‌ ගැන සටහනක්‌ තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක්‌ වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක්‌ විය. ඇය සිටියේ ඇඳුමක්‌ ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස්‌ එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට්‌ කේස්‌ එකක්‌ සහ සුවඳ විලවුන් බෝතල් දෙකක්‌ අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක්‌ අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට්‌ කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ රැකියාවකට මැද පෙරදිග ගොස්‌ පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස්‌ ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක්‌ ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යෑයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක්‌ සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.

ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවාගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි.

ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න.

භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ. අවබෝධය සඳහාය. මේ ඝෝර, කටුක, භයානක සංසාරය සත්වයා දුක සොයාගෙන යන ගමනේ කැඩපතකි. දයාබර පිංවත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේම මුහුණ නම් ඔබ සතුටුවෙන්න. ඔබට පෙනුණේ පෙරේතයකුගේ පෙරේතියකගේ මුහුණ නම් ඔබ වහාම අප්‍රමාදීවන්න. ප්‍රමාදය දුකට හේතුවනු ඇත. භික්‍ෂුවට වරක්‌ දර්ශනය වූ කිසියම් ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ නැවත දර්ශනය වී නොමැත. සමහර විට පිං ගැනීමට හැකි ප්‍රේතයන් මෙසේ දර්ශනය වී පිං අනුමෝදන්ව ප්‍රේත ලෝකයෙන් චුතවනවාදැයි භික්‍ෂුව නොදනී.

ප්‍රේතයින්ගේ ආධ්‍යාත්මය තුළ යටපත්වී ගිය කුසල ශක්‌තියක්‌ ඇත. එම යටපත්වූ කුසල් ශක්‌තිය යම් අවස්‌ථා වලදී මතුකර ගැනීමට ප්‍රේතයාටද හැකිය. තණ්‌හාවෙන්, රැස්‌කරමින්, ගොඩගසාගනිමින්, දිවා රාත්‍රී නිදි නොලබා ඔබ වෙහෙසෙන්නේද ඉහත නුවරට නෑගම් යැම සඳහාමය. ඔබට පුළුවන් ඔබ ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරගන්න. සමාජයේ හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි පිනක්‌ කරගන්න තිබෙන අවිවේකය. විවේකය නැති නිසා සමහරු පොහොය දවසට පන්සලට යන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. පෝයට සිල් සමාදන් වන අම්මලා තාත්තලා ගෙදර දරුවන්ගේ ප්‍රශ්න ලෙඩරෝග ඇතිවුණොත්, මුණුබුරා අසනීප වුණොත්, බලාගන්න කෙනෙක්‌ නැති වුණොත් සිල්ගන්න එන්නේ නැහැ. රජකාරී, වගකීම්, ව්‍යාපාර නිසා හටගත් අවිවේකයෙන් තමන්ගේ ගෙදර තිබෙන පිංකමට නොයන අයත් ඉන්නවා. තණ්‌හාව බදාගැනීම හැර වෙන මොකුත් මෙහි නැහැ. පිංකමෙන් ලැබෙන පිනට වඩා සැපයක්‌ ඔවුන් සොයනවා. මේ අය හදිසියේ මියගියහොත් ඔබ හිතනවාද විවේකයෙන් පණ යාවි කියලා. පණ යන්නේ අවිවේකයෙන්මයි. ඒ කියන්නේ ගැටෙන සිතෙන්මයි. ප්‍රතිඵලය ප්‍රතිසන්ධිය සතර අපායයි. ඔබට බැරිනම් දින කීපයක්‌ ඔබේ දේපළ, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුර බැහැරක, වන්දනාවක, හුදෙකලාවේ යන්න මේවායින් මිදිලා. මේවා අතහැරලා දින කිහිපයක්‌ හුදකෙලාවේ සිටින්න. ඔබ ස්‌ථිර වශයෙන් දැනගන්න ඔබ මියයන මොහොතේත් ඔබට බැරිවෙනවා මේවා අතහැරගන්න. මැරෙන මොහොත අති වේගවත්ම සිත් ඇතිවෙන නැතිවෙන මොහොතක්‌. ඔබව කම්පනය වන මොහොතක්‌. ඔබ සූදානම් නොවී සිටියොත් ගැටෙන සිත ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලා ගන්නේ ප්‍රේත ලෝකයමය. පිං කළා කියා වැඩක්‌ නැත. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවන තණ්‌හා සිතිවිලි අතහැරීමට අවබෝධය තිබෙන්නට ඕනෑය. භික්‍ෂුව දුටු ප්‍රේත ලෝකයේ භික්‍ෂුව එවැනි චරිතයකි. පිං කිරීම නිසා විකෘති නොවූ ප්‍රේත ශරීරයත්, තණ්‌හාව නිසා ප්‍රේත ජීවිතයත් ඔහුට ලැබී ඇත. ප්‍රේත ලෝකයට තණ්‌හාව බැසගත්තද කළ පිංකම් නිසා ලස්‌සන ශරීරයක්‌ ලැබීය.

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවට තමන් ගැන මෙසේ ප්‍රකාශයක්‌ කළේය. “ස්‌වාමීන් වහන්ස මම දැන් ව්‍යාපාර වලින් නිදහස්‌ වෙලා ගොඩක්‌ විවේකයෙන් ඉන්නේ. හැම සතියකම වන්දනාවේ යනවා. දඹදිව වන්දනා කිරීමට කිහිප වතාවක්‌ම ගියා. බුරුමය, තායිලන්තය යන රටවලටත් වන්දනාවේ ගියා. තව රටවල් හුඟකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි බෞද්ධ සිද්ධස්‌ථාන වඳින්න ස්‌වාමින් වහන්සේ මට ආශිර්වාද කරන්න. “එම රටවලට යන්න ලැබෙවා” කියලා” භික්‍ෂුවට ඔහු ප්‍රකාශ කළා. බලන්නකෝ එම මහත්මයා පිංකම් කරගැනීම සඳහා ව්‍යාපාර අතහැරලා කරන පිංකම් වල ස්‌වරූපය. ඔහු ව්‍යාපාරිකයෙක්‌ කියලා තැනින් මිදිලා ඔහු සංචාරකයෙක්‌ වෙලා. අපූරු තෝරාගැනීමක්‌. මේකට තමයි මෝහය කියන්නේ. ඔහු භික්‍ෂුවගෙන් විමසුවා මෙවැනි පිංකම් කිරීමෙන් ලැබෙන විපාක මොනවාද කියලා. භික්‍ෂුව මෙහෙම කිව්වා “ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තව හුඟක්‌ බෞද්ධ රටවලට සංචාරයේ යන්න. පිං කරගැනීම සඳහා. ඔබ මියයන විට මෙම බලාපොරොත්තුව සිහිවුනොත් ඔබ නියත වශයෙන්ම සංචාරක පක්‍ෂියෙක්‌ වෙනවා. මොකද ඔබ කැමති සංචාරයට නිසා. ඔබේ කැමැත්ත පරලොවදී ස්‌ථිරවම ඔබට ලැබෙනවා. ඔබ මියයන මොහොතේ ඔබ ඔය වන්දනාවේ ගොස්‌ කරගත්ත මහා පිංකමක්‌ ඔබේ මතකයට ආවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම සශ්‍රීක මිනිස්‌ හෝ දිව්‍ය ආත්මයක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැම සිතිවිල්ලකම අනිත්‍ය වශයෙන් දැක්‌කොත් ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන් ඔබ මාර්ගඵල ලාභී දෙවියන් බඹුන් අතර උපතක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔය ගිය වන්දනා ගමන්, කළ පිංකම් මතක්‌ නොවී ඔබට පෙර අතහැරදැමූ ව්‍යාපාර දේපළ, වස්‌තුව මතක්‌වුවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම ප්‍රේත ලෝකයේ උපතක්‌ ලබනව. භික්‍ෂුව ඔහුට අනුශාසනා කළා, ඔබ දක්‍ෂවෙන්න ඔබ කැමැති දෙය තෝරාගන්න කියලා. භික්‍ෂුව දන්නේ නැහැ ඔහු මොන දෙයට කැමැති වුණාද කියලා. හැබැයි එක දෙයක්‌ නම් දන්නවා. එදායින් පස්‌සේ ඔහු භික්‍ෂුව සමග අමනාප බව. මේක තමයි ලෝකයේ ස්‌වභාවය. හුඟක්‌ අය කැමැති බොරු කියලා හරි ඔහුව ඔසවා තබනවාට. ඔවුන් යන ගමනට ලකුණු දෙනවාට.