Sunday, October 13, 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ


රුවන් වැකි

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාවෙන් උපුටා ගත් අගනා
රුවන් වැකි පහත ලින්ක් එක ඔස්සේ බාගත කරගන්න.
මුද්‍රණය කර ප්‍රදර්ශනය කරන්න.
දුර්ලභ වූ උතුම් ධර්ම දානයක කොටස්කරුවන් වන්න.
ඒ හැම පාඨයක්ම ඔබ හැමගේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි!

http://www.mediafire.com/.../RUWAN+WEKI+%28UPDATED%29.rar

Sunday, June 2, 2013

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 5- යහපත් රාත්‍රියක්

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
අතහැරීම-5
යහපත් රාත්‍රියක්
ඉදිරිපත් කිරීම- සුදත් චන්ද්‍රසේකර

 
පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.
YahapathRathriyak - download

පහත ලින්ක් එකෙන් online කියවන්න.
YahapathRathriyak - view

Friday, April 26, 2013

මීලග ධර්ම දේශනා



පූජනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පැවැත්වීමට නියමිත වූ විට

 ඔබව ඒ පිලිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.


පහත ලින්ක් එකෙන් අප ෆේස්බුක් පිටුවටද එක් වීම තොරතුරු දැනගැනීමට පහසුවක් වනු ඇත.
----> මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - facebook page

---->http://maharahathunwadimaga.com/DhammaDeshana

    Tuesday, April 9, 2013

    ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි?

     ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණයක් ඇසුරිනි.
    මෙතනින් අහන්නhttp://www.youtube.com/watch?v=hHDkUzsCM8I


    "බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.
    ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට.
    සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේ‍රෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා.
    මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන.නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ.
    පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා.බණත් ඇහුවා.ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන‍්නෙ නැහැ.අනුන්‍ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.එහෙම වුණාම
    තමන්ට ධර්මය වැ‍ටහෙන්නෙ නැහැ.කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීමත්ව හි‍ටියෙ හොඳටම.රජු ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීමතින් ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින්
    ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා "මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වීමට පෙර රහත් වෙනවා " කියලා.දැන්  එතකොට සංඝයා‍ට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීමත් කෙනෙක් කොහොමද හෙට උදේ  වෙද්දි රහත‍් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත්
     අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි ‍මේ බීමත් කෙනෙක් කොහොමද  හෙට උදේ  වෙද්දි රහත් ‍වෙන්නෙ කියලා.ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතු‍ටු වෙවී ඉද්දි ඇය එක පාර‍ටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහු‍ට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු ර‍ජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා.
    එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැ‍ටිය‍ටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්.කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා
    මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන‍්නෙ සාමාන්‍යයෙන් රහතන් වහන‍්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි‍ මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා ‍"ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු
    අරිහත්භාවය‍‍‍ට පත් වෙලයි පිරිනිවන් පෑවෙ"කියලා.දැන්  එතකොට හාමුදුරුව‍න‍්‍ට මේක ප්‍රශ්නයක්,කොහොමද මේ බීල හිට‍පු කෙනෙක් අරිහත්භාවය‍‍‍ට පත් වුණේ කියලා.ඊයෙ හොඳ‍ටම බීල වෙරිමතින්නෙ හි‍ටියෙ.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙකාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදු රජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්.ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක්
    විතර ජීවත් වෙනවා.)ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ ‍කඩයක් දාගෙන.කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම  ස්ථානයක.ඉතින් ඔහු එහෙ‍ට ගිහිල්ලා කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා.නමුත් සෝවාන් වෙන්නෙ නැහැ.
    පැහැදෙනවා .ආ‍යෙමත් බණ අහන්නවත් ‍සිල් ගන්නවත් මොකක‍ටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතන‍ට එනහැම කෙනෙකු‍ටම කියනවා "අන්න බුදු රජාණන්  වහන්සේ අතන වැඩ ඉන්නවා  .ගිහිල්ල බණ අහන්න"කියලා.ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි
    කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ.අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා.සමහරු‍ සෝවාන් වුණා.සමහරු‍ අනාගාමී වුණා.දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා.නමුත් අර මනුස්සය‍ට මුකුත් වු‍ණේ නැහැ.

    බුදු ර‍ජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහු‍ට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කා‍ට අර දස දහස් ලක්ෂ ගණනක‍ට ශීලය රකින්න කළ උපකාරය ඔහු‍ට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන‍්සේ දේශනා කරනවා.


     සංසාරයේදි අන්න ඒ විදියේ  දේ නොකළ අය‍ට කොච්චර ධර්මය කිව්වත් ඔවුන‍්ට ඒවා වටින්නෙ නැහැ.ඒනිසා ලෝකයේ ‍‍ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න.ඒකෙන්මයි අප‍ට මාර්ගය පාදල දෙන්නෙ.කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි.දැන් ඔබ කියනවනෙ
    මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා.නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න.ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අය‍ටත් කියන්න.මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය.ගිලන්පස ආහාර දාන වගේ නෙවේ.ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි.ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකු‍ට කියන්න.තව කෙනෙකු‍ට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න.
    ධර්ම මාර්ගයේ යන්නනම් ප්‍රඥාවයි වැඩෙන්න ඕන.ප්‍රඥාව තමයි අප‍ට මේ මාර්ගය පෙන්වන්නෙ.
    සමහරු හොඳ ව‍ටිනා බණ අහල යනවා.නමුත් අනෙක් අය‍ට ඒ ගැන කියන්නෙ නැහැ.අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ.එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනව‍ට.
    එනිසා කවදාකවත් එයා‍ට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ නැහැ.ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ අනුන්‍ට ධර්මය දෙන තරම‍ට.
    අතහැරීමක් එතනදි වෙන්නෙ.ඒනිසා තමයි බුදු රජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.සමහරුන්‍ට බණ ඇහුව‍‍ට දැනෙන්නෙ නැහැ.තේ‍‍රෙන්නෙ නැහැ.එතනින් ඉවරයි.අමතක වෙනවා.සමහර වි‍ට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා.එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා."


    මෙතනින් අහන්නhttp://www.youtube.com/watch?v=hHDkUzsCM8I




    Tuesday, March 19, 2013

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 4 -යාගය

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
    අතහැරීම-4
    ගය
    ඉදිරිපත් කිරීම- සුදත් චන්ද්‍රසේකර

     පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.
    Yagaya - download

    පහලින්ක් එකෙන් online  කියවන්න.
    Yagaya - view

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ග්‍රන්ථ/ලිපි pdf සංස්කරණ




    (2014 ‍-10-05 තෙක් ලිපි )




    අතහැරීම-1

    බාගත කරන්න
    Athaherima1 - download

    online කියවන්න
    Athaherima1 - view










    අතහැරීම-2 

    බාගත කරන්න
    Athaherima2 - download

    online කියවන්න
    Athaherima2 - view











    අතහැරීම-3

    සතර අපායෙන් මිදෙමු-1

    බාගත කරන්න
    Athaherima3 part1 - download

    online කියවන්න
    Athaherima3 part1 - view







    අතහැරීම-4
    යාගය

    බාගත කරන්න
    Yagaya - download

    online කියවන්න
    yagaya-view










    අතහැරීම-5
    යහපත් රාත්‍රියක්

    බාගත කරන්න
    YahapathRathriyak - download

    online කියවන්න
    YahapathRathriyak - view







    අතහැරීම-6

    බාගත කරන්න
    Athaherima 6 - Download

    online කියවන්න
    Athaherima6 - View










    අතහැරීම-7

    බාගත කරන්න
    Athaherima 7 - Download

    online කියවන්න
    Athaherima7 - View
    අතහැරීම-8

    බාගත කරන්න
    Athaherima 8 - Download









    අතහැරීම7 කොටසින් පසු ලිපි
    (දැනට 2014 ‍-03-23 සිට 2014 ‍-10-05 තෙක් ලිපි පමණි.දිවයින පුවත්පතෙහි තවම පල නුවූ නව ලිපි කිහිපයක්ද අඩංගු‍ වේ)

    බාගත කරන්න
    newarticles - download

    online කියවන්න
    newarticles - view













    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ  ඉංග්‍රීසි පරිවර්තන
    (English translations of  Maha Rahathun Wedi Maga Osse )

    On The Trail Of Arahath-Giving Up part 1

    read online
    GivingUp - View
    download
    GivingUp1 - download






















    ඉහත ලින්ක්ස් සම්බන්‍ධ ගැටලු ඇත්නම් කරුණාකර එ පිලිබඳව  දැනුම් දෙන්න :) 

    Friday, February 15, 2013

    සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්...

    සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින්
    දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි.ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි.අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි..සම්‍යක් දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි.මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි.
    මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා  වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.

    එදුසිල්වත් බව නිසා  ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්,යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි.මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි.කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි.කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි.තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති.මාරයා,නිරයන්,දිව්‍ය ලෝක,ප්‍රේත ලෝක,අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති.හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය,ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති.මිත‍්‍යක් දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්,විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා  ලබා  ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා  ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යෑම බව සිතති.පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.
    කෙසේ ‍හෝ...
    තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත.
    තවමත් ධර්මය සන්දිට්ඨිකය..බුද්ධ ශාසනය තවමත් පරිහානියට පත්ව නැත...
    තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක..
    තවමත් ධර්ම මාර්ගය විවෘතය..
    නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි.
    එබැවින් අප අප්‍රමාදි විය යුතුය.හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.
    අප  පුණ්‍යවන්තය.දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති....
    ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද  ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි.

    බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා..!
    ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා!!
    ධර්ම දානය උදෙසා හැකිතාක්  ශෙයාර් කරන්න.
    තෙරුවන් සරණයි!

    'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ
    පුබ්බකොට න පඤ්ඤෝයති
    අවිජ්ජා නනීවරනානං
    තන්හා සංයෝජනං
    සන්දාවතං සංසරතං
    මමඤ්චෙව තුම්හාකඤ්ච

    අවිද්‍යා නීවරණයෙන් වැහිලා
    තණ්හා සංයෝජනයෙන් බැඳිලා
    පින්වත් මහණෙනි නුඹලාත් මමත්
    බොහෝ කාලයක්
    මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා.
    මේ සංසාරය අති දීර්ඝයි.
    මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ'

    සියල්ලෝ සංසාර බිය දකිත්වා!අප්‍රමාදී වෙත්වා!!!

    ජනක වීරක්කොඩි මහතාගේ මෙම යූ ටියුබ් චැනලයේ වීඩියෝවන්ගේත්
     www.youtube.com/user/rwjdkjanakahr

    අසේල හේමන්ත මහතාගේ මෙම යූ ටියුබ් චැනලයේ වීඩියෝවන්ගේත්
    http://www.youtube.com/user/asemantha

    චානක ලියනගේ මහතාගේ මෙම යූ ටියුබ් චැනලයේ වීඩියෝවන්ගේත්
    http://www.youtube.com/user/chanakalee123/videos

    ගයාන් රාජපක්ෂ මහතා‍ගේ මෙම යූ ටියුබ් චැනලයේ වීඩියෝවන්ගේත්
    https://www.youtube.com/channel/UCu65zRhirnoDfKxrzNngITg/videos

    පහත චැනලවලත්/වී‍ඩියෝවන්ගේත්
    https://www.youtube.com/user/MahaRahathunWadiMaga

    http://www.youtube.com/user/nirodha1988/videos


    පහත ‍වෙබ් අඩවිවලත්   උන් වහන්සේගේ ධර්ම දේශණාවන් ඇත.
    www.maharahathunwadimaga.com
    www.rahathunwedimaga.lk
    www.maharahathunwadimagaosse.org



    "සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්‌. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක්‌ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්, ලෝකය කෙරෙහි, නාමරූපධර්මයන් කෙරෙහි දැඩි කලකිරීම් සකස්‌ කරගෙන තම ජීවිත අත්දැකීම් තුළින්ම, ස්‌වෝත්සාහයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් නිවීමේ මාර්ගයේ සිටින කෙනෙක්‌. ලෝකය කෙරෙහි ඔහුගේ කලකිරීම කොතරම්ද කියනවානම් මොහු ජීවිතය අතහරිනවා චතුරාර්යසත්‍යය අවබෝධය උදෙසා. මොහුගේ අරමුණ ඉලක්‌කය නිවීම, අවබෝධය පමණක්‌මයි. ජීවිතය කෙරෙහි ඇල්මක්‌ නැහැ. ධර්මය කෙරෙහි විශ්වාසය තියුණුයි. මොහු අවංකවම සූදානම් ජීවිතය මරණයට දමා, මැරෙන මොහොතේ හෝ ලබන අවබෝධය තුළ ලෝකයෙන් නිවීයන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මොහු තුළ මේ විශ්වාසය සකස්‌වෙලයි තියෙන්නේ. එයත් ධර්මතාවයක්‌. ජීවිතයට ආශාවකුත් නැහැ. මරණයට කැමත්තකුත් නැහැ. ජීවිතයත් මරණයත් දෙකම අතහැරුණු තැන නිවීම කියන අවබෝධය සකස්‌ වෙනවාය කියන දැඩි විශ්වාසය තිබෙනවා. ජීවිතය අතහැරල තිබෙන්නේ මරණයට. ජීවිතය බැසගෙන තිබෙන්නේ මරණයට. නිවීමේ අරමුණ එතරම් ප්‍රබලයි. ශුෂ්ක විදර්ශකට අවසාන මොහොතේදී මරණය පෙනෙනවා. නමුත් අබමල් රේණුවක තරම්වත් මරණයට බියක්‌ නැහැ. මෙතැනදි ද්වන්ධ සටනක්‌ පවතින්නේ ලෝකය සහ අවබෝධය අතර. ඒ කියන්නේ මාරයා සහ නිවීම අතර. මාරයා ලෝකය දෙසට අදිනවා. ශුෂ්ක විදර්ශක, නිවීම දෙසට හඹාගෙන යනවා. මේ නිහඬ ද්වන්ධ සටනින් මරණය අතහැරී ඔහු අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. චක්‌කුපාල මහරහතන්වහන්සේ තමාගේ දෑස්‌ දෙක අන්ධවෙන බව හොඳටම දැන දැන නිවීම උදෙසා දෑස්‌ දෙකම අතහරිනවා. වීර්ය සකස්‌ වෙනවා. අධිෂ්ඨාණය තීව්‍රරකරමින් .... නාමරූප ධර්ම විනිවිද දකිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නිවන් අවබෝධය උදෙසා ජීවිතය අතහැරියත්, මරණය පෙනි පෙනී නිවීම දෙසටම යනවා. අවසන් මොහොතේ උන්වහන්සේ තුළ පුද්ගල සංඥාව හීනමවෙලා සියුම් නූල්පටක්‌ වන් දෙයකිනුයි ලෝකයට බැඳිලා තිබෙන්නේ. ඒ මෝහය නැමති නූල්පටින්.... උන්වහන්සේ තුළ මෝදුවූ ඡන්දය, වීර්යය, චිත්තය විනිවිද දැකීම නිසාම චතුරාර්යසත්‍ය අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. ඒ අවබෝධය ලබන මොහොතේම ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ බලාපොරොත්තු රහිතවම නැවත ජීවිතයට ගොඩවෙනවා. අවබෝධයයි ජීවිතයයි දෙකම ලැබිලා.

    මරණයට අතහැරපු ජීවිතය ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේට නැවත ලැබෙන්නේ සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසා. මාරයා මෙතැනදී දැඩි වෙහෙසක්‌ ගන්නවා 'ශුෂ්ක විදර්ශක' ධර්මාවබෝධය ලබනවාත් සමගම මරණයට තල්ලු කර දමන්න. මොකද මාරයා දන්නවා මොහු ජීවත් වුණොත් තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරයි කියලා. එය මාරයාට දැඩි තර්ජනයක්‌. නමුත් මාරයාගේ අභියෝගය එතනදිත් පරාජය වෙන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේගේ අතීත සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසා. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ බලවත්භාවයට මාරයා එතැනදී නැවත පරාජය වෙනවා. කොන්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී ඇතිකරගත් උපාදානයක්‌ තිබුණා. 'ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම මහරහත් වහන්සේ මම වෙනවා'ය කියලා. අනෙකුත් සෑම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිසම එවැනි අතීත උපාදානයන් සකස්‌ කරගෙන ඊට අදාළ කුසල්ධර්මයන් වඩවාගෙන තමයි ගෞතම සම්මාසම්බුද්ධ ශාසනයට බැසගත්තේ. ඒ වගේම ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියන්නෙත් අතීත ශාසනයක ඉපදිලා, එම ශාසනය අතුරුදන්වීමට ආසන්න කාලයක දැඩි ලෙස වීර්ය වඩා ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌ බවට පත්වූ රහතන් වහන්සේ නමක්‌ එහිදී දැක 'මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌ වෙනවා'ය කියන උපාදානය ඇති කරගෙන ඊට අදාළ කුසල් පරිපූර්ණ කරගෙන පැමිණි අයෙක්‌. එම නිසා තමාගේම දැඩි වීර්යයෙන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේනමක්‌ බවට පත්වුවද, උන්වහන්සේලා තුළ අතීත ශක්‌තිමත් කුසල් සහ අකුසල් සංස්‌කාර සැඟවී තිබෙනවා. චක්‌ඛුපාල මහරහතන්වහන්සේ විසින් මරණයට දැමූ එතුමන්ගේ ජීවිතය, අවබෝධයට පත්වීමත් සමගින්ම මරණයට යා නොදී නැවත ලබාදෙන්නේ කුසල් සංස්‌කාර විසිනුයි. නමුත් උන්වහන්සේගේ දෑස්‌ දෙක අන්ධභාවයට පත්කරගන්නේ අකුසල් සංස්‌කාර විසින්. දෙයාකාරයක්‌ වන සංස්‌කාර උන්වහන්සේට විපාකයන් සලස්‌වලා දුන්නේ එහෙමයි.

    සංස්‌කාරයන්ගේ විපාකයන්ට එරෙහිව යන්න මාරයාටත් නොහැකි බව ඉහත කාරණයෙන් පැහැදිළි වෙනවා. නමුත් සංස්‌කාර රැස්‌කර ගැනීමට ඔබට උපකාරී වෙන්නේත් මාරයාම බව ඔබ සිහිතබා ගත යුතුයි. මාරයා අකමැත්තෙන් හෝ කුසල් සංස්‌කාර රැස්‌කරගැනීමට ඔබට උපකාර කරන්නේ ඔබව ලෝකය තුළ සිරකර තබාගැනීමට මිස, භවයෙන් එතෙරවීමට අවස්‌ථාව ලබාදීමට නොවේ. රහතන්වහන්සේ යනු මාරයාට අභියෝග කළ උත්තමයෙක්‌ වන්නේ මාර ධර්මය, මාර සැඩපහර විනාශකර දමා, මුලාකර දමා සම්මාසම්බුද්ධ විෂයට අවතීර්ණ වන හෙයිනි. මාරයාගේ සැපය නැමති මුලාව උපයෝගී කරගෙන පෙරලා මාරයාවම පරාජය කිරීමයි. දුකත්, සැපත් නැමති මාරයා විසින්ම පෝෂණය කළ ධර්මතාවයන් දෙක, මුලාවෙන් තොරව නිවරැදිව හඳුනාගෙන දුකත්, සැපත් උපයෝගී කරගෙන දුකෙන්, සැපෙන්, උපේක්‍ෂාවෙන් මිදී නිවීම සාක්‍ෂාත් කරගැනීම දක්‍ෂයාගේ දක්‍ෂභාවයමයි..."



    අවසාන මෙහෙයුම

    නිවන් අවබෝධය ලබාගැනීම සඳහා සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින්, තුන් සිව්රත්- පාත්‍රයත් දරමින් හුදෙකලාව නිවන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව ලෝකයේ ස්‌වභාවය අවබෝධකර ගැනීම, එසේ නොමැතිනම් නිවීම, එක ක්‍ෂණයකින් ලබන අත්දැකීමක්‌ නොවේ.

    එය මෙහෙයුමක අවසාන ප්‍රතිඵලයයි.

    මෙම මෙහෙයුමට යන කාලය ඔබගේ දක්‍ෂතාව මත, ඔබගේ අතහැරීම මත තීරණය වන්නකි. ඔබ අවසාන නිවන් මෙහෙයුමට අවතීර්ණ වන්නේ අවසාන තීරණයක්‌ අරගෙනය. එම තීරණය "එක්‌කෝ නිවීම, නැතිනම් මරණය" යන්නයි. මෙම අධිෂ්ඨානය ඔබ ගතයුතු වන්නේ අවංකවමය. එම බලාපොරොත්තු දෙකෙන් තොර වෙන බලාපොරොත්තුවක්‌ භික්‍ෂුවට නොමැත. තම අරමුණ සහ සටන ලෝකයාට සඟවමින් ක්‍රියාත්මක විය යුතුය. තුන් සිව්රත්, පිණ්‌ඩපාතයෙන් ලබාගන්නා ආහාර වේලත් හැර, පැරසිටමෝල් පෙත්තක්‌වත් කුටිය සමීපයේ නොමැත. "එක්‌කෝ නිවීම, එක්‌කෝ මරණය" නැමැති අධිෂ්ඨානය පැහැදිලිය. අවසන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව යුද බිමේ සටන් කරන සෙන්පතියෙක්‌ වැනිය. ඔහු සෙන්පතියෙක්‌ වුවද පසුපස සැඟවී සටන මෙහෙයවන්නෙක්‌ නොව, මහා සංග්‍රාමයක, සටන් පෙරමුණේම සිටින්නෙකි.

    ඔබ මෙසේ සිතන්න. උතුරු - නැගෙනහිර යුද මෙහෙයුම් ඔබට මතකයි නේද? විවිධ නම් වලින් මෙම මෙහෙයුම් පටන් ගැනීමට පෙර, සේනාවිධායකයා කරන්නේ අවශ්‍ය යුද ආම්පන්න සියල්ල රැස්‌කරගන්නා එකයි. ආයුධ, ගුවන් යානා, බෝම්බ, කාලතුවක්‌කු, පාබල හමුදා, මිසයිල, යුද නැව්....

    මේ සියල්ල යුද්ධය පටන්ගත් සැනින්, සුදුසු තැන්වල සුදුසු ආකාරයෙන් යොදවලා සතුරු බලමුළු බිඳ දැමීමයි කළේ. යුද ගුවන්යානයෙන් ගහන්න අවශ්‍ය තැන්වලට, යුද ගුවන් යානයෙන් ගහනවා. මිසයිලයෙන් ගහන්න අවශ්‍ය තැනට මිසයිලයෙන් ගහනවා. බෝම්බ අවශ්‍ය තැනට බෝම්බ දමනවා....

    මේ වගේම තමයි මෙහෙයුමත්. අවසන් නිවන් මෙහෙයුමට අවතීර්ණවූවාට පසු ඔබ හරියටම සෙන්පතියෙක්‌ වගෙයි. පරම සතුරා වන ඔබව සසරට බැඳ දමන සිත ගැන අවධානයෙන්මයි සිටින්නේ. සිතට එන සෑම සිතිවිල්ලක්‌ම ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා. ඇතිවන සෑම සිතකටම ඔබ පහරදෙනවා. මොන ආයුධයෙන් ද ඔබ පහරදෙන්නේ. "අනිත්‍යය" කියන ආයුධයෙන්. අනිත්‍යයෙන් පහරදෙන විට ඔබ තුළ වැඩෙන්නේ හා අවබෝධවන්නේ සතර සතිපට්‌ඨානයයි. පටිච්ජසමුප්පාදයයි. චතුරාර්ය සත්‍යයයි. පංච උපාදානස්‌කන්ධයමයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. මේ ආයුධ ඔබ අමුතුවෙන් රැස්‌කළ යුතු නැහැ. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ මෙම ආයුධ ඔබ තුළ රැස්‌වෙනවා. ඔබ සමාධියේ ඉහළම තලයකදී, ප්‍රඥාව විසින් ලබාදෙන ඥාන දර්ශනයන් නුවණින් යුතුව දකිමින් අවබෝධය ලබනවා. සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකිනවා. විවෘත කොට බලනවා. අවබෝධය ලබනවා. ප්‍රඥාවෙන් මුවහත් වෙමින් ඉදිරියට යනවා. මේ වන විට ආහාර, නින්ද, කයේ පහසුව ආදී මේ අවශ්‍යතා ඔබගෙන් ගිලිහිලා. ඔබ "එක්‌කෝ නිවීම. නැතිනම් මරණය" කියන අධිෂ්ඨානය කරාම යනවා. නිවන් මෙහෙයුම දැඩිව ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී, උදය කාලයට. නින්ද එන්නේ නැහැ. නින්දත්, නොනින්දත් අතර ස්‌වභාවයක්‌ තිබෙන්නේ. ඇවිදිමින්, හිඳගනිමින්, සැතපෙමින්... මේ ආදී සෑම ඉරියව්වකදීම සිත තම පාලනයෙන් ඉවතට යන්න දෙන්නේ නැහැ.

    මේ වන විට මාරයා විවිධ උපක්‍රම යොදනවා. තමා ගිහි ජීවිතයේදී ආශා කළ රූප,රස,හැඩ රුව මවලා පෙන්නනවා. සුරුපී රූප කාය වල්, බ්‍රහ්ම සංඥා.. මහා රාත්‍රියේ සිතට ගේනවා. ඒත් දැන් ඔබ දක්‍ෂයි මාරයා හඳුනාගන්න. ඔබ මෙහිදී මාරයා රැගෙන එන රූප "අසුභය" නැමැති ආයුධයෙන් සුනුවිසුණු කර දමනවා.

    අවසාන මෙහෙයුමේදී මාරයා ඔබට ඔබ ආසා කළ කාන්තා රුවක්‌ සිහිගන්වනවා යෑයි සිතන්න. සමහරවිට ඇය සුරූපී නිළියක්‌ විය හැකියි. එවිට ඔබ එම රූපයට මෙහෙම කරනවා. මනසින් ඇයව නිරුවත් කරනවා. ඇයගේ ශරීරය කපාගෙන, විනිවිදයමින් මනසින් එය විවෘත කරනවා. ඇගේ ශරීරය තුළ තිබෙන සම්, මස්‌, බොකු, බඩවැල්, අසුචි, මුත්‍ර, රුධිරය, සෙම්, සොටු, වමනය, මනසින් පොලිතින් උරයක දමා ඇගේ ඇටසැකිල්ල මත එල්ලනවා. මෙසේ එල්ලා ඇයව මනසින් ඇවිද්දවනවා. පෘථග්ජන සිත කාමයට ගාල්කරන සුරුපී රූපයක යථාර්ථය හොඳින් දකිමින් ඇටසැකිල්ල තව තවත් මනසින් ඇවිද්දවනවා. මාරයාව කම්පා කරවනවා. මේ වන විට ඔබට අට්‌ඨික සංඥාව හොඳින් අවබෝධයෙන් වැටහෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඕනෑම රූපයක්‌ අට්‌ඨික සංඥාවෙන් දකින්න. එනිසා ලෝකයේ සුරුපීම රූපය සිතට අවාද, එය අත හරින ස්‌වභාවයේ ඔබ සිටිනවා. මේ වන විට මාරයා දන්නවා ඔහුට ඔබව අතහැරෙන්නයි යන්නේ කියලා.

    ඔබ ගිහි ජීවිතය තුළ සිටියදී ඔබ ප්‍රිය කළ මනුෂ්‍ය ලෝකයේ ස්‌වභාවයන් පිළිබඳ රූප දැන් ඔබේ සිතට එනවා. ඔබ මේ සිතිවිලි විවෘතකර අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට මෙහෙම සිතක්‌ ඇතිවන්න පුළුවන්. මේ රටේ පාලකයා වුණොත් මහා සැපයක්‌ බව. ඔබ එසේ නොවන බව අනිත්‍ය වශයෙන් දකිනවා. හිටපු පාලකයන් මියගිය අසරණ ස්‌වභාවය, අවසාන කාලයේදී ඔවුන් පත්වූ රෝගී ස්‌වභාවය, බලය පිරීහී ගිය පසු ඔවුන් අත්විඳි මානසික වේදනාවන්, බලය අහිමිවූ පසු ජනතාව ඔවුන්ගෙන් ඈත්වූ අයුරු. බෝම්බවලට අසුවී විනාශවී ගිය පාලකයන්....

    අනාගතයේ පාලකයන්ටද ඉහත ස්‌වභාවයන් පොදුය යන්න ප්‍රඥාවෙන් දකිනවා. ලෝකයේ බලවත්ම පාලකයා දක්‌වාද, ලෝකයේ විශාලම ධනපතියා දක්‌වාද, ලොව සුරූපීම කාන්තාව, පිරිමියා දක්‌වාද, අතීත-අනාගත-වර්තමාන වශයෙන් දකිමින් අවබෝධය ලබනවා. ඔබට වැඩෙන ප්‍රඥාව විසින් ඔබට මේ අනිත්‍යාවබෝධය ලබාදෙමින් නිවන් මෙහෙයුමේ පෙරට යවනවා. මෙහෙම ඔබ අවබෝධය ලබනකොට මනුෂ්‍ය ලෝකයට ඇති කැමැත්ත පිළිබඳ සංඥා ඔබෙන් බැහැර වෙනවා. ඔබ තුළ මේ අවබෝධාත්මකව වැඩුණේ ධම්මානුපස්‌සනාවයි. සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් වැඩීමෙන් මුවහත්වන ඔබේ ප්‍රඥාව විසින් ඔබට පෙනෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අනිත්‍ය වශයෙන් විනිවිද දකිනවා. මේ වන විට ඔහුට දෙවියෝද, බ්‍රහ්මයෝද වඳිනා බව ඔහු සමාධිය තුළින් දකිනවා. දෙවියන්ද, බ්‍රහ්මයන්ද ඔහුට වඳින්නේ ඔහු දෙවියන්ද බ්‍රහ්මයන්ද ඉක්‌මවා ගිය කෙනෙක්‌ නිසා බව ඔහු දැනගන්නවා. ඔහු එහිදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මනසින් පීරමින් එහි නිත්‍යවූ සැපයක්‌ ඇතැයිද යන්න සොයනවා. ඔහු පැහැදිළිවම දකිනවා දිව්‍ය, බ්‍රහ්ම සැපද අනිත්‍ය බව. ඔහු බොහොම සියුම්ව දිව්‍ය ලෝක නිරීක්‍ෂණය කරනවා. මනසින් ඔහු දකිනවා, කාම සම්පත් විඳින දෙවියන්, දිව්‍යාංගනාවන්. සැප පිරිහී, පිං පිරිහී අපාගාමී වන දෙවියන්, දිව්‍ය ලෝකයේ දිව්‍ය තලවල කළ පිං වල ස්‌වභාවය නිසා ඇති පංති පරතරය. දිව්‍ය සැපයට ගිජුවී, දිව්‍ය ලෝකවලින් චුතවීමට සිදුවූ විට දෙවියන් ශෝකවන, හඬා වැටෙන ස්‌වභාවය. සක්‌දෙව් රජුද පිරිහී නැවතත් සතර අපායට වැටෙන ස්‌වභාවය ප්‍රඥාව තුළින් ඔහු දකිනවා. එවිට දිව්‍ය ලෝකයට ඇති කැමැත්ත, ආශාව පිළිබඳ සංඥා ඔහුගෙන් බැහැරවෙනවා.

    ඊළඟට ඔහු බ්‍රහ්ම ලෝකයට සිත මෙහෙයවමින් බලනවා. ඔහු දකිනවා ප්‍රභාශ්වර සුදු සිල් ඇඳුමෙන් සැරසුණ, උතුරු සළුවක්‌ පොරවාගත් බ්‍රහ්මයන් එකලාව සක්‌මනේ යෙදෙමින් එරමිනියා ගොතාගෙන සමාධිය වඩන ස්‌වභාවය. ඒ අයත් දුක තුළ සිටිමින් සැප සොයනවා. බ්‍රහ්මයින්ද සැපයි කියමින් විඳින්නේ අනිත්‍යභාවයට පත්වන සමාධි සැපය බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. බ්‍රහ්ම ලෝකයේ ඉහළම තලයක්‌ තිබෙනවා, එහි බ්‍රහ්මයින් කල්ප ගණන් එකම ස්‌වභාවයෙන්, එකම ඉරියව්වෙන් එරමිණිය ගොතාගෙන සමාධිය වඩනවා. ගල් රූප වගෙයි. ඉඳිකටු තුඩක්‌වත් ගැසීමට තරම් ඉඩක්‌ නොතබා බ්‍රහ්ම ලෝකය පීරා බලනවා එහි නිත්‍ය වූ කිනම් හෝ සැපයක්‌ පවතිනවාද කියා. බ්‍රහ්ම ලෝකයේ අනිත්‍ය ස්‌වභාවයද දැකීම නිසා එයට ඇති කැමැත්ත සහ සංඥා ඔහුගෙන් ඉවත් වෙනවා.

    මේ සියල්ලම රූපවාහිනී තිරයක රූප ඇතිවෙමින් දිවෙන ආකාරයට පෙනි පෙනී ඔහුට අවබෝධය ලබාදෙනවා. දැන් ඔබ ආයාසයක්‌, වෙහෙසක්‌ ගතයුතු නැහැ. ප්‍රඥාඟෙ ත්‍රීව්රභාවය නිසා මේ සියල්ල සිද්ධවෙනවා. මෙය අත්විඳීමෙන්ම ඔබ දැකීම ආශ්චර්යයක්‌.මේ සියල්ලම ඔබට පහලවෙන ඥානයන් විය යුතුය. මෙම ඥානයන් විසින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ස්‌වභාවය ඔබට අවබෝධකොට දෙනු ඇත. නිවන් මෙහෙයුමේ ඔබ දැන් සිටින්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ලෝකවලට ඇති කැමැත්ත. ඒවායේ බැසගැනීමට ඇති තෘෂ්ණාව සහමුලින්ම ඔබෙන් ඉවත්වෙලාය. රූපවාහිනී තිරයක රූප පහලවන්නා සේ ඔහුට ඔහුගේ අතීත ජීවිතවල ස්‌වභාවයන් සතර අපායට වැටී විඳි දුක්‌ පීඩාවන්, තිරිසන් සතුන් ලෙස ඉපිද විඳි අනන්ත අප්‍රමාන දුක්‌, අතීත ජීවිතවලදී ලැබූ රාජරාජ මහාමාත්‍ය අනුභව කළ සැප සම්පත්, දිව්‍ය සැප.... මේවා ඔහුට ද+ර්ශනය වනු ඇත. මේ ඔහු දකිමින් සිටින්නේ අවසාන දර්ශනපෙළයි. දැන් ඔබට මෙතෙක්‌ ජීවිතයේ නොලද දෙයක්‌ දැනෙනු ඇත. මහා වෙනසක ඉවක්‌ දැනෙනවාය. මේ හැම අදියරකදීම ඔබට සප්ත බොඡ්ජංග ධර්ම වැඩෙනවාය. ඉහත ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ඔබ තව තවත් ජව සම්පන්න වන්නේය. වීර්යයෙන් පෙරට යන්නේය. මෙලොව ජීවත්වන සතවයෙක්‌ ඉලක්‌කය කරා හඹා යැමේ වීර්යය, වේගය, උපරිමයෙන් ක්‍රියාත්මකවන අවස්‌ථාව තමයි නිවන් මෙහෙයුමේදී නිවීම උදෙසා හඹා යැමේ ස්‌වභාවය. මරණයටවත් ඔහුව නවත්වන්න බැහැ. මොකද ඔහු මේ වන විට දන්නවා තමන් මේ මෙහෙයුමේදී මැරුණහොත් තමා මැරෙන්නේ ධර්මය අවබෝධ කරගත් අරිහත් උත්තමයෙක්‌ වශයෙන් බව. ඔහුට මේ සංඥාව නිවනේ අවසාන මෙහෙයුමට අවතීර්ණවීමේදීම දැනෙනවා. ඒකයි ඔහු "එක්‌කෝ නිවීම, නැති නම් මරණය" කියන අධිෂ්ඨානයට දැඩිව එන්නේ. ඔහු දන්නවා මේ දෙකෙන් කොයික සිදු වුණත් ඔහු සසර දුක නිවාගන්නා බව. එය ඔහු දකින්නේ ප්‍රඥාඟෙ ත්‍රිවුරභාවය නිසාය. හැබැයි ඔහු දෙස බලා බාහිර කිසිවෙකුටවත් ඒ ගැන සිතාගන්න බැහැ. හොඳයි, එම භික්‍ෂුව නිවන් මෙහෙයුමේදී හුදෙකලා කුටිය තුළදීම අපවත්වුවහොත් මිනිසුන් කියාවී එම භික්‍ෂුව මානසික රෝගියෙක්‌, ගුරුවරයෙක්‌-පන්සලක්‌-ආරණ්‍යයක්‌ නොමැති අනාථයෙක්‌, අහිගුණ්‌ඨකයෙක්‌....... කියලා. ලෝකයේ ස්‌වභාවය මෙහෙමයි. ලෝකයා එහෙම කිව්වත් උන්වහන්සේ අපවත්වූයේ නැත. පිරිනිවන්පෑවාමය. පිරිනිවීගියාමය. එය දන්නේ පිරිනිවී ගිය උන්වහන්සේ පමණක්‌මය. ලෝකයා කුමන අදහසක්‌ දැරුවද උන්වහන්සේට ඉන් ඵලයක්‌ නොමැත. ලෝකයාගේ ස්‌වභාවය අදහස්‌ ප්‍රකාශ කිරීමයි. උන්වහන්සේ මරණය වන විට මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥා අනිත්‍ය වශයෙන් අවබෝධකර එම ලෝකවලට බැසීමට ඇති තෘෂ්ණාව නිරුද්ධ කරදමා තිබුණ නිසා නැවත උපාදානයක්‌ කරගැනීමට තෘෂ්ණාවක්‌ නොමැත. අවසාන සිතට අල්ලාගැනීමට, බැසගැනීමට තැනක්‌, කැමැත්තක්‌ නොමැති නම් එම සිත නිවී යැම ස්‌වභාවයයි. ආශ්චර්යමත් ධර්මයක අවසාන ඵලය ලෝකය අතහැරීමය. ලෝකයෙන් මිදීමය. ලෝකයෙන් එතෙරවීමය. ඔබට ලොව දරුණුතම යුධ බිමේ නිරායුධ සෙන්පතියෙක්‌ ලෙස ලෝකය ජයගන්න. ඔබ දිග්විජය කළ ලෝකය, ගෙල එතුන සර්පකුණක්‌ සේ විසිකර දමන්න. ලෝකය බදාගත් ලෝකයාට ඔබ පරමාදර්ශයක්‌ වන්න. බදාගත් තැන, රැස්‌ කළ තැන, ගොඩ ගසාගත් තැන ඇත්තේ සැපක්‌ නොව දුකක්‌ම බව දකින්න. එම දුකේ නිර්මාණකරු අනිකෙකු නොව, තමාගේ සිතම බව දකින්න. නිර්මාණකරු ඔබ නම් එහි ප්‍රදර්ශකයාද, ප්‍රතිචාර ලබන්නාද, ප්‍රතිලාභ ලබන්නාද ඔබම විය යුතුය. දුක නිර්වානය කරන සිත අවබෝධයෙන් හඳුනාගෙන තන්හාව නිරුද්ධකර දුකෙන් ඔබ අත්මිදෙන්න. නිවීමේ මෙහෙයුමේ යෙදෙන විට ඔබට දැනේවී මේ අතහැරීම නිසා ඔබව රෝගියෙක්‌ වන බව, ආහාර මද බව, ලේ අඩුවීම, ක්‌ලාන්තය, ඇස්‌ පෙනීම දුර්වල වීම, වළඳන කිවුල් ජලයේ හුණු මිශ්‍රවීම නිසා ඇති වන වකුගඩු මුත්‍රා රෝග, දත් මුල් දියවීම, සන්ධි වේදනා...... ඔබ මේ හැම සිතක්‌ම අතහරින්න. මේවායින් තොරව ඔබට කවදාකවත් නිවීම ලබන්න බැහැ. කුණුවෙන, මැරෙන, ගඳගහන කය මරාදමා ඔබ නිවීයන්න. මැරෙන කය අයිති සතරමහා ධාතුර්න්ට නිසා එය කුණුවෙමින්, ගඳගසමින්, සතුන්ට අහරක්‌ වෙමින් සතරමහා ධාතූන්ටම එකතුවේවි.



    ඇලහැර සංඝ සාකච්ඡාව:- http://www.youtube.com/watch?v=ngtwZk_Yw54

    නිවීම :-    http://www.youtube.com/watch?v=Ei4DeS-rc3c