Monday, September 21, 2026

දුක සිත් සේ විකුණන ලෝකයක්

 පින්වත, විනෝදාස්වාදය උදෙසා කඳු ශිඛර තරණය කරන විනෝදකාමී පින්වතුන්ලා මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කඳු මුදුනට නැගගත්තට පස්සේ, වටාපිටාවේ තිබෙන අනෙක් සෑම කන්දක් ම, තමන් නැගගත් කන්දට වඩා ගොඩාක් ලස්සනටයි පෙනෙන්නේ. පින්වත, අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන ‘චක්ඛු විඤ්ඤාණයේ මායාව’, කන්දෙන් කන්දට නොසෑහීම සොයා යන සංචාරකයන් බවට අපිව පත් කරවනවා. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව තිබෙන තාක් කල්, අපේ ම විඳීම්වල අනිත්‍යභාවය, පාරිසරික චමත්කාරය පෙන්වා, සංස්කාරයෝ ප්‍රවර්ධනය කොට ගන්නවා. පින්වත, සිහිනුවණින් කඳු මුදුනකට නැගගත් පින්වතාට කන්ද පාමුල යස අගේට පෙනෙනවා වගේ ම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට තම ජීවිතය පූජා කොට ගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට වශී වී අහිංසක මනුෂ්‍ය ජීවිත ලබන පුංචි සතුටත්, එම පුංචි සතුට කෙළවර ලබන දීර්ඝ ආදීනවයෝත් නේපාලයේ පසුගියදා සිදු වූ විනාශයෙන් සක් සුදක් සේ පෙනෙනවා. පින්වත, ඉහත දීර්ඝ ආදීනවයෝ දැක ඕපනයිකව මතු වෙන සද්ධර්මයේ උල්පත් තුළින් මයි පින්වත් මනුෂ්‍ය සමාජය කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් මහා සංඝ රත්නයේ ජීවිතවලට උනන්නේ. පින්වත, හේතුඵල ධර්මයන්ට අදාළව සමාජගත වෙන කාමයේ සහ රූපයේ කෙටි ආදීනවයෝ දැක මහා සංඝ රත්නය තුළ උපදින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් පෙරළා කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ ගොදුරක් බවට මහා සංඝ රත්නය පත් කොට ගන්නේ නැහැ. පින්වත, මහා සංඝ රත්නය මනුෂ්‍ය සමාජය තුළින් දකින දීර්ඝ ආදීනවයෝ සංසාර බිය, සංසාර දුක, සංසාර ගැඹුර විනිවිද දකින උතුම් සම්මා ඥානයෝ උදෙසා මයි කැප කරන්නේ.

 පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් අතර තිබෙන වෙනස සහ පරතරය, සතර අපායත්, උතුම් සම්මා ඥාන සහ සම්මා විමුක්තිය අතර පරතරයයි. පින්වත, මෙම පරතරය තුළ අපේ මෝහය සහ අමෝහය යස අගේට දෝලනය වෙනවා. පින්වත, ඔබ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන පින්වතෙක් ද? මහා සංඝ රත්නයට දන් පූජා කරන පින්වතෙක් ද? පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය කර්මඵල විශ්වාසය සහ සියතින් සකසා, ප්‍රණීතව දන්පැන් පූජා කරන ඔබ, ඔබට අවස්ථාවක් ලැබුණ විට දී, ඔබේ “කුසගින්න” තෙරුවන් උදෙසා දන් දෙන්න පුහුණු වෙන්න. පින්වත, ඔබේ කුසගින්න මාරයාට ප්‍රණීත ආහාරයක් කොට දෙන්න එපා. පින්වත, පින්කමකට පෙර සූදානම් වෙද්දී සහ පින්කමක් අවසානයේ දී අදාළ පූජා භූමිය පිරිසිදු කිරීමේ දී, ඒවාට සම්බන්ධ වෙන පින්වතුන්ලාට කුසගින්න දැනෙනවා. පින්වත, එවැනි අවස්ථාවක පින්කමේ දායක මහත්මයාගෙන් බුරියානි, කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, ඔබ පින්කමේ දායක මහත්මයාට ලොකු බිලකින් සංග්‍රහ කළොත්, ඔබේ කුසගින්න ඔබ පංච නීවරණ මාරයාට ප්‍රණීත ආහාරයක් කොට දන් දුන්නා වෙනවා. පින්වත, පින්කමක් සිදු කරන අවස්ථාවක ඔබේ කුසගින්න උදෙසා මධ්‍යස්ථ ආහාරයකින් සතුටු වී, පින්කමේ දායක මහත්මයාට පොඩි බිලකින් සංග්‍රහ කරන්න දක්‍ෂ වෙන්න. පින්වත, එවිට ඔබ, ඔබේ කුසගින්න පංච නීවරණ මාරයාට නොව, උතුම් තෙරුවන්ට දන් දුන්නා වෙනවා. පින්වත, අනාගත භව ගමනේ කවදාහරි දවසක් ඒවි, ඔබගේ මුළු පංච උපාදානස්කන්ධ ලෝකය ම උතුම් තෙරුවන්ට දන් දෙන්න සිද්ධ වෙන. පින්වත, වර්තමානයේ පින්කමකදීත් ප්‍රණීත ආහාර සොයමින්, ඔබේ කුසගින්න මාරයාට දන් දෙන්න පුහුණු වුණොත්, ඔබ අනාගතයේ දී කෙසේ නම් ඔබේ තෘෂ්ණාව, සම්මා විමුක්තිය උදෙසා දන් දෙන්න ද?

 පින්වත, වචනයෙන් සිදු වන වැරදිවලින් මිදීම උදෙසා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා නමින් මාර්ග අංගයක් පනවා තිබෙනවා. පින්වත, සම්මා වාචාවන්ගෙන් තොරව සම්මා සමාධිය සිහිනයක් ම වෙනවා. පින්වත, මිච්ඡා වාචාවෝ අපේ මෙලොව සහ පරලොව යන දෙකම පිරිහීමට පත් කොට දමනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ “බොරු කියන්නා, දෙපා සෝදද්දී ඉවතට ගලා යන වතුර වගේ” ය කියලා. පින්වත, දෙපා සෝදද්දී, ඉවතට යන වතුරට පුංචි හෝ වටිනාකමක් නැහැ. පින්වත, එම වතුරේ තැවරිලා තිබෙන්නේත් දැලි සහ කුණු දූවිලි පමණක් මයි. පින්වත, බොරු කියන්නාගේ වචනවලට මෙලොව සහ පරලොව යන දෙකේ දී ම, කාගෙන්වත් ආකර්ශණයක් හෝ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. පින්වත, ඔහු කතා පෙට්ටියක් වුවත්, එම කතා පෙට්ටිය අනුනට හරිම නීරසයි. පින්වත, ජීවිතවලින් සම්මා දිට්ඨිය දුර්වල වෙද්දී, බොරුව රජ වෙනවා. පින්වත, බොරුව රජ වෙද්දී, සමස්ත ජාතියේ ම සතිය, සමාධිය අතුරුදන් වෙලා යනවා. පින්වත, යමෙක් බොරු කියලා පටිච්චසමුප්පන්නව ප්‍රේත ලෝකයේ ඉපදුණොත් කට සහ දිව වණ වෙලා, කුණු වෙලා තමයි උපදින්නේ. පින්වත, තෘෂ්ණාව වැඩිවෙද්දී, අකුසල් විපාකයෝ කෙරෙහි බිය පහව යනවා. පින්වත, එවිට අකුසල් සමග අපි සෙල්ලම් කරනවා. පින්වත, අද උදෑසන හරියට බොරු කියන කාන්තාවක් පිණ්ඩපාත මඩුවට පැමිණියා. පින්වත, භික්ෂුව ඇයව දැකපු දවසේ පටන් ම ඇය බොරුවෙන් ජීවත් වෙන්නේ. පින්වත, දුරබැහැර පිණ්ඩපාත මඩුවලට ඇය ඇවිල්ලා ස්වාමීන් වහන්සේව හොඳින් හඳුනන බව අනුනට කියලා, දානය බෙදන ඡායාරූප තම මුහුණු පොතේ දමලා, පින්වතුන්ලාගේ දුරකථන අංක ඉල්ලාගෙන, පින්කම්වලට යැයි කියලා පින්වතුන්ලාගෙන් මුදල් ගන්නවා. පින්වත, පිණ්ඩපාත මඩුවල දී, “ස්වාමීන් වහන්සේ හොඳින් හඳුනනවා” යැයි කියන මෙම කාන්තාව ගැන අවධානයෙන් සිටින්න.

 පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අද කරන්න පුළුවන් දෙය හෙටට කල් දමන්න එපා. පින්වත, අද කරන්න පුළුවන් දෙය හෙටට කල් දැම්මොත්, ඔබ තුළ සකස් වෙන හීන වීර්යය ඔබේ භව නිරෝධයත් කල් දමනවා. පින්වත, බාහිය දාරුචීරිය කියන ගිහි පින්වතා බුදුරජාණන් වහන්සේව දකින්න විනාඩි පහක්වත් ප්‍රමාදී වෙන්න කැමති වුණේ නැහැ. පින්වත, එම වීර්යවන්ත පින්වතා දැක්කේ ප්‍රමාදී වෙන පුංචි නිමේෂයේ දී තමා මිය ගියොත්, බුදුරජාණන් වහන්සේ නොදැක මයි තමන්ට මිය යන්න සිද්ධ වෙන්නේ කියලා. පින්වත, කරුණාකර බුදුරජාණන් වහන්සේ නොදැක ඔබ මිය යන්න එපා, වහ වහා අප්‍රමාදී වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ නිමේෂයේදීත් ජීවමාන ශාස්තෘන් වහන්සේව දකිනවා. පින්වත, භික්ෂුව ජීවමාන ශාස්තෘන් වහන්සේව දකින්නේ, භික්ෂුවගේ අප්‍රමාදීභාවය තුළින් මයි. පින්වත, අප්‍රමාදී ජීවිත ජීවත් වෙන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ උදෙසා මයි. පින්වත, තෘෂ්ණාව නිරෝධය කිරීමට නම්, තෘෂ්ණාවෙන් ගත යුතු සැබෑ ධර්මානුකූල ප්‍රයෝජනයෝ ලබා ගන්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, තෘෂ්ණාව දුකට හේතුව බව ඇත්ත, නමුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උත්තමයන් තුළත් අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, ඉන් අදහස් වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධය උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕජාවෙන් පෝෂණය වූ, උතුම් සප්ත බොජ්ඣංගයන්ගේ හැඩරුව සහිත, තෘෂ්ණාවේ සහයෝගය අවශ්‍යයි කියන කාරණයයි. පින්වත, කරුණාකර ඔබේ බල ධර්මයන් වැඩීමට පෙරාතුව, සප්ත බොජ්ඣංගයන් තුළින් පෝෂණය වන තෘෂ්ණාවට තිත තබන්න යන්න එපා.

 පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සිහිපත් වෙද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ දසපාරමී පුණ්‍ය ශක්තියයි. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තියෙන් තොරව කෙසේ නම් ගුරු උපදේශයන් රහිතව උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධ කොට ගන්න ද? පින්වත, එවන් දුර්ලභ චතුරාර්ය සත්‍යය ධර්මයෝ කවදාහරි ලෝකයෙන් ඈත්කොට දමන්නේ ගිහි සහ පැවිදි අපේ තෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවේ විපාකයෝ මයි, අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් උදා කොට දෙන්නේ. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තියෙන් උපන් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, සද්ධර්මයේ ගුණයන්ගෙන් මොනවට ප්‍රණීත වෙලයි තිබෙන්නේ. පින්වත, මෙම ප්‍රණීතභාවය තේරුම් ගන්න නම්, කාමච්ඡන්දයන්ගේ අප්‍රණීතභාවය වටහා ගන්න ම ඕනේ. පින්වත, ඇලීම් සහ ගැටීම්වලින් මොහොතක් සංසිඳුණ සිත, ප්‍රණීත චතුරාර්ය සත්‍යය ධර්මයෝ ශ්‍රවණය කරන්න හරිම කැමතියි. පින්වත, අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාත මඩුවේ දී චතුරාර්ය සත්‍යය ධර්මයෝ දේශනා කළා. පින්වත, ලෝකයේ නිරවුල් ම හේතුඵල දහම චතුරාර්ය සත්‍යය ධර්මයෝ මයි. පින්වත, අපි ඉදිරියේ දිග හැරෙන්නේ දුක අවබෝධ කොට ගන්නා ලෝකයක් නොව, දුක සිත් සේ විකුණන ලෝකයක්. පින්වත, දුක විකුණද්දී, ලාභය බවට පත් වෙන්නේ තෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවේ ලාභය පෙරළා දුක උදෙසා මයි ආයෝජනය වෙන්නේ. පින්වත, අපි තවමත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නික්ලේශී රසය ලබලා නැහැ. පින්වත, අපි කැමති ඇලීම් සහ ගැටීම්වලින් උනන පංච නීවරණ කුණු රසයට මයි. පින්වත, පංච නීවරණයෝ ඉදිරියේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ තහනම් වචනයක්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ උපදින්නේ සති සම්බොජ්ඣංගයේ තිඹිරි ගෙය තුළ මයි. පින්වත, බෝධිසත්ත්වයන් වහන්සේ තෘෂ්ණාව දන් දෙමින්, සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට ගන්නා චතුරාර්ය සත්‍යය ධර්මයෝ, මනුෂ්‍ය අපි තෘෂ්ණාව ප්‍රවර්ධනය කරමින්, අනාගතයේ දී තාවකාලිකව අතුරුදන් කොට දමනවා.

Sunday, September 20, 2026

පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න

2012/07/29

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා 'මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම් සුළු ප්‍රමාණයක්‌ද ලෝකයාට දේශනාකර ඇත්තේ. පිංවත් ඔබට නිවීමේ මාර්ගයට පමණක්‌ අදාළ පුංචි ධර්මයක්‌ මේ තරම් සරළව දේශනා කරලත්, එම ධර්මය නාසා අපේ ඇත්තෝ මේ සා දෘෂ්ඨි මතවාද ශීලවෘතවල පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ ධර්මයෙන් අඩක්‌ හෝ අපට දේශනා කළා නම් අපි සියල්ලන් මොන විනාශයක්‌ සිදුකරගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහාකරුණා ඥානය නිසාමයි ලෝකයාට භවනිරෝධයට අවශ්‍ය කරුණු කාරණා පමණක්‌ දේශනා කරන්නේ. ඉකුත් (සතියේ) සටහනේ පෙර සඳහන් කළ "පව් නොකරනවා නම් පිංකරන්න අවශ්‍ය නැහැ" දෘෂ්ඨිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්‌වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක්‌ කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක්‌ තිබෙනවාද? මේ සා විනාශයක්‌ තමා තමාටම කරගන්නේ "මම" කියලා ගොඩනගාගන්නා සක්‌කාය දිට්‌ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි අප්‍රමාණ ගහනයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර ජීවිතයේ අප්‍රමාණ පිංකම් කළ පිංවතුනේ... මොහොතක්‌ විවේකීව සිතන්න. පිංවත් ඔබ ගිය ජීවිතයේදී නතර කළ තැනක්‌ තිබෙනවා. ඒ නතර කළ තැන බොහෝම පාරිශුද්ධ තැනක්‌. පාරිශුද්ධයි කීවේ දානයෙන්, ශීලයෙන්, සද්ධාවෙන් පාරිශූද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව, පිංවත් ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මනුෂ්‍යයෙක්‌ය කියලා. සිංහල බෞද්ධයෙක්‌මය කියලා. පිංවත් ඔබ මනසින් සිහිපත් කරන්න සුදු වත් දරාගෙන වයස අවුරුදු අසුපහක්‌, අනුවක්‌ වෙනතුරු ශිල් සමාදන්ව සමාදන් වූ ශීලය ආරක්‍ෂාකරගත් හැටි.

පිංවත් ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ලබපු හැටි. දන් පුජාකළ හැටි. මේ කුසල් සංස්‌කාරයන් සිදුකරමින් ඔබ කුමක්‌ද ප්‍රර්ථනා කරන්න ඇත්තේ. මේ ධර්මද්වීපයේම උපත ලබන්න කියලයි. මේ ධර්මද්වීපයේම උපාසක උපාසිකාවක්‌ වේවා කියන පැතුමයි. පිංවත් ඔබ දක්‍ෂවෙන්න, තරුණ මහලු සැවොම ඒ යටගියා වූ මතකය නැවත මතුකොටගන්න. එවිට පිංවත් ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එසේ නොවුනහොත් පිංවත් ඔබලා උත්සාහගන්නේ මුල ඉඳන් නැවත අලුතින් පටන් ගන්න. තරුණයෙක්‌ තරුණියෙක්‌ නම් ඔහු හෝ ඇය සිතනවා වයසට යන්න ඕනේ සිල් සමාදන් වෙන්න, දන්දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට ඉඩදෙන්න එපා. තරුණ කාලයේදීම සුදු වත් දරාගත් උපාසක උපාසිකාවක්‌ වෙන්න. එහෙම වුණොත් පමණයි ඔබ මේ ජීවිතයේදී ප්‍රමාදී නොවුණා වෙන්නේ. පිංවත් ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ඨි මතවාදයන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධයෙක්‌ නොවන බව. එසේ වුවානම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි උපත ලබන්නේ. එම නිසා පිංවත් ඔබ තුළින්ම ඔබ සහතිකයක්‌ ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්‌මය කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය අකීකරුභාවය නිසා දෘෂ්ඨිමතවාදවල, අන්‍යශීලවෘතවල සිරකොට දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගා ගත් දෙය ඔබ විසින්ම විනාශ කර දැමුවා වෙනවා.

ඉහත සටහන අර්ථවත් වෙන්න පහත සටහන ඔබට උපකාරවේවි.

මේ රටේ ජීවත්වන ප්‍රභු කාන්තාවක්‌ සිටිනවා. ඇය ධනයෙන් බලයෙන් අනූනයි. ඇය මහේශාඛ්‍ය කාන්තාවක්‌. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා ඇයගේ පෙර ජීවිතය ගැන. එවිට භික්‍ෂුවට දර්ශනය වෙන්නේ ඇය ගිය ජීවිතයේදී මනුෂ්‍ය ලෝකයේම කාන්තාවක්‌ බවයි. භික්‍ෂුවට ඇයව දර්ශනය වී ඇත්තේ ඇය ගිය ජීවිතයේදී මහලු වයසේදී ද, තරුණ වයසේදී ද සුදු වත් දරාගත් කාන්තාවක්‌ බවයි. ඒ  කියන්නේ ඇය තරුණියක්‌ව සිටි අවධියේ පටන් මියයන තුරාවට ශීලයම ජීවිතය කරගත් කාන්තාවක්‌ බවයි. දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව ඇයගේ මේ ජීවිතය දකින්න. මේ ජීවිතයේදී ඇයට මහේශාඛ්‍ය භාවය ලැබුණේ අන් කවුරුත් දුන් නිසා නොව පෙර ජීවිතයේ ශීලයේ ආනිසංස ධර්මයන් නිසාමයි. දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ එසේත් නැතිනම් ඇයගේ ස්‌වාමිපුරුෂයා ඇයට දුන් මහේශාඛ්‍ය භාවයක්‌ නොවේ. ඇයම කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්‍ෂා කළා වූ ශිලයේ බලයයි. ගිය ජීවිතයේදී ඇය විසින්ම රැස්‌කළ කුසල් සංස්‌කාර සුවසේ මේ ජීවිතයේ අත්විඳින මහේශාඛ්‍ය ඇය මේ ජීවිතයේ හරි අඩක්‌ පමණ මේ දක්‌වා පැමිණියද ගිය ජීවිතයේ නතර කළ තැනින් මේ දක්‌වා තම ජීවිතය පටන්ගත් බවක්‌ දකින්නට නැත. ඇයගේ මහේශාඛ්‍ය භාවය නිසාම ගිය ජීවිතයේදී ශීලයේ ආනුභාවයෙන් ලැබූ කුසල් සංස්‌කාර විඳිනවා පමණක්‌මය. ගිය ජීවිතයේදී දිවි පරදුවට තබා රැකි ශීලය නෙක්‌කම්මය උදෙසා නොව භවයේ සැප උදෙසා ෙච්තනා සකස්‌කර ගෙන එහි ඵලයක්‌ මේ ජීවිතයේදී ලැබ ප්‍රමාදීභාවයට පත්ව භවයේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. කුසල් සංස්‌කාරයන්ගේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. නැවතත් සටහන් කරමි සංස්‌කාරයෝ අනතුරුදායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මඟ නොමඟ නිවැරදිව හඳුනාගන්න. හේතුඵල ධර්මයන් නොදකිමින් පිංවත් ඔබ කුසල් සංස්‌කාරයන් පරිහරණය කළොත් එම කුසල් සංස්‌කාරයන්ම ඔබව සතර අපායට වැටීමටත් පාර පෙන්නාවි. ඉහත කාරණය නුවණින් මෙනෙහි කර පිංවත් ඔබ ඔබේ පිංවත් ජීවිතයේ ධනය, බලය, රූපය හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලන්න. ඒවා සකස්‌වීමට බලපෑ හේතූන් ධර්මානුකූලව හඳුනාගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළ තැනින් මේ ජීවිතය පටන් ගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළේ සුදුවත් දරාගෙනමයි. එසේ නම් මේ ජීවිතයේදී තරුණ වියේදීවත් පිංවත් ඔබ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක්‌ වෙන්න. ඔබට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාදීමට උපකාරී වු ධර්මයට ගරුකරන්න. පිංවත් ඔබ හිතන්නේ ඔබේ පරම්පරාවෙන්, දෙමාපියන්ගෙන්, දේපල නිසා, අධ්‍යාපනය නිසා, ලබාගත් නිලතල නිසයි මේ සශ්‍රික භාවය ලැබුණේ කියලා. ඔය සමහරු කියන්නේ කවුරුත් නිසා නොවෙයි මමයි දහදුක්‌ විඳගෙන අධ්‍යාපනය හදාරල මේ තැනට පැමිණියේ කියලා. පිංවත් ඔබ දුක්‌විඳල තමයි ඔය තැනට ආවේ. එය සම්පූර්ණ සත්‍යයක්‌. නමුත් මේ සියල්ලටම ඔබට, මට නොපෙනෙන ධර්මතාවයක්‌ තිබෙනවා. හේතුඵල ධර්මයක්‌. ඒ පෙර ජීවිතයේදී ඔබ විසින් සකස්‌කොටගත් කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියයි. එම නිසා පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි කෘතගුණ දක්‌වන්න. ශීලය, දානය කෙරෙහි කෘතගුණ දක්‌වන්න. කෘතවේදී මනුෂ්‍යයෙක්‌ වෙන්න. මිථ්‍යදෘෂ්ඨියට, දුෂ්ශීලභාවයට, මසුරු බවට ඔබේ ජීවිතය තුළින් ඉඩකඩ සලසා ඔබේ ජීවිතයට ඔබ ද්‍රෝහි වෙන්න එපා. ගුණමකු වෙන්න එපා. ධර්ම මාර්ගය අර්ථවත්ව වඩමින් අතීතයේ ඔබ රැස්‌කළාවු කුසල් සංස්‌කාරයන්ගේ උපරිම ඵලය නෙලාගත් ඥානවන්ත උත්තමයෙක්‌ වෙන්න. මේ භව ගමනේ සතර අපායන්හි කවදාකවත් අතරමං නොවන්න. මෙන්න මේ උතුම් අරමුණ උදෙසාමයි මේ ජීවිතය පිංවතුන්ලාට ලැබුණේ. එම නිසා අතීත මතකය මතක්‌ කරගෙන ප්‍රමාදී නොවී අප්‍රමාදී වෙන්න. කුසල් අකුසල් සියලුම සංස්‌කාරයෝ අනිත්‍ය බවම සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධයෙන් සැනසීම සඳහා, සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබ කාරණා හතරකින් සම්පූර්ණ විය යුතුය කියලා. එම කාරණා හතර තමයි සද්ධාව, වීර්යය, හිරි ඔතප් කියන්නේ. හිරි ඔතප් කියන්නේ ශීලය. පිංවත් ඔබ ලැඡ්ජා බය දෙක සකස්‌කොට ගන්න ඕනේ. නැවත තිරිසන්, ප්‍රේත, අසුර, නිරයට නොවැටෙන්න. මෙතනදී තමයි ඔබ තුළ අයෝමය වීර්යය සකස්‌කරගත යුත්තේ. එසේ නොමැතිව පිංවත් ඔබ කාමච්ඡන්දයට යටවී 'මට පාරමී මදි', එසේත් නොමැතිනම් 'ලෝභ, ද්වේශ, මෝහ අඩු වූ ත්‍රිහේතුක ප්‍රතිසංධියක්‌ ලබා ගන්න තව ගොඩාක්‌ සසර යන්න තිබෙනවා' මෙවැනි කථා සද්ධාව වීර්යය මඳබවේ ප්‍රතිඵලයක්‌ මිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්‌වීම නම් නොවේ. නමුත් බුද්ධකාලීන සමහර සිදුවීම් තිබෙනවා පෙර අදහස්‌ සනාථ කර දක්‌වන්න. මෙහිදී අප නිහතමානීව දකින්න ඕනේ අප තුළ සද්ධාව, වීර්යය, හිරි ඔතප් හීන නිසාමයි ඉහත නිදහසට කාරණා සොයන්නේ කියලා. අප විසින් නිදහස උදෙසා පෙළගස්‌වන ඉහත කාරණා අපේ කෙලෙස්‌වල දිග පළල මිස ධර්මයේ සන්දිඨික ගුණයේ වරදක්‌ නම් නොවේ. හිස ගිනිගත්තෙක්‌ එම ගින්න නිවන්න වෙහෙස ගන්නේ යම්සේද මේ භවගින්නෙන් මිදීමට එපමණටම වෙහෙස ගන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, භවයේ තව දුරටත් සැරිසැරීම අනතුරුදායක බව කියාදීමටය. එම සිතුවිල්ල තුළ ඇති දුක්‌ ගින්දර කෙරෙහි බිය ඇති කරගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. ඔබ තුළ නැති වීර්යය එවිට ඇති වේවි සිත නැමති මාරධර්මය විනිවිද දැකීමට.

සංස්‌කාරයන්ට අනුව ජීවිතය නොදැක්‌කොත්

2012/07/22

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා. සංස්‌කාරයෝ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නාවූ කාය, වචී, මනෝ සංස්‌කාර. කයින්, වචනයෙන්, මනසින් සිදුවෙන්නාවු කුසල් සහ අකුසල්. ඒ කියන්නේ පිංවතුන් සිදුකළා වුද සිදුකරගන්නාවූද සියළුම කුසල් සහ අකුසල් සංස්‌කාර විපාකදී අවසන් වන බවයි. අති බහුතරයක්‌ මිත්‍යදෘෂ්ඨික මිනිසුන් ජීවත්වන ලොවක පිංවත් ඔබට මේ අර්ථවත් බෞද්ධයෙක්‌ ලෙස ජීවිතයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. ඇස්‌ අන්ධ, කන් බිහිරි, දිව ගොළු, අංග විකල මිනිසුන්ගෙන් ගහන ලොවක අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. විරූපී මිනිසුන් ජීවත් වන ලොවක පිංවත් ඔබට අනුන්ගේ සිත් වසඟ කරන රූපයක්‌ ලැබුණේ, රෝගී මිනිසුන් බහුල ලෝකයක පිංවත් ඔබට නිරෝගී ජීවිතයක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබට යහපත් සමාජ තත්වයක්‌, යහපත් දෙමාපියන්, ඥාතීන්, බිරිදක්‌, සැමියෙක්‌, දරුවෙක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබ මගේ කොටගෙන සතුටු වෙන සියල්ල ඔබට අතීතයේ රැස්‌කළාවූ සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයි. මේ ඇස ඔබට ලැබුණේ කුසල් සංස්‌කාරයක්‌ නිසා. දැන් ක්‍රමක්‍රමයෙන් ඔය ඇස ගෙවී යනවා. මේ මුළු ශරීරයේම ස්‌වභාවය එයයි. මේ අංගසම්පූර්ණ ශරීරය ඔබට ලැබුනේ කුසල් සංස්‌කාරයන් නිසා. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍යයයි. එම නිසා ගිහි පිංවත් ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. පිංවත් ඔබට යහපත් බිරිඳක්‌ ලැබිලා තිබෙනවා. ඇය ඔබට බොහෝම කීකරුයි. දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. මේ බිරිඳ ඔබට ලැබුණේ කුසල් සංස්‌කාරයක්‌ නිසා. හොඳයි ඔබට නිරතුරුවම පීඩාදෙන වධක භාර්යාවක්‌ ලැබුණේනම් බිරිඳගෙන් ලැබෙන සතුට තිබෙනවාද? නැහැ. එහෙනම් ඔබට රණ්‌ඩුවෙන්න, පොලීසි යන්න, දික්‌කසාද වෙන්න… ප්‍රශ්ණ ගොඩක්‌ මුණගැසෙනවා. එය අකුසල් සංස්‌කාර නිසා සිදුවන්නක්‌. මේ දුක සහ සැප දෙකටම හේතුව අතීත කුසල් සහ අකුසල් සංස්‌කාරයන්මයි. එසේ නැතිව හඳහනේ වරදවත්, කපු මහතාගේ වරදවත් නොවේ. ඔබම අතීතයේ රැස්‌කළාවූ කුසල් අකුසල් වල ප්‍රතිඵලයි.

ඔබට සැප ලබාදෙන කුසල් සංස්‌කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්‌කාරයන්ද විපාක දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්‌කරපු දෙය ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්‌කාරයන්) ක්‍ෂයවී යනවා. ක්‍ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. එසේ නැතිවුවහොත් නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් “අපි පව් කරන්නේ නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ” ය කියන මුසාවාදය, මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්‌සම් වන්න. නැවත නැවත පිංකම් සිදුකරමින් ගෙවී යන කුසල් සංස්‌කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ අත්විඳින්නා වූ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම් සිදුකරමින් රැස්‌කරන්නාවූ කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් යටපත් කර නැගී සිටින්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ පිංවත් ඔබගේ දෑසින් කඳුලක්‌ ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ ජීවිතයකට කඳුලක්‌ දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක්‌ දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත් ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්‌කාරයෙන්ගේ ඵලයයි. මෙසේ විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි, ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්‌කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක්‌ නැති මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා. ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක්‌ නැති නිසා, දානය කෙරෙහි ඇති උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක්‌ සකස්‌කරගත් මනුෂ්‍යයෙක්‌ ගැනයි පහත සටහන.

මොහු මධ්‍යම පංතික ජීවිතයක්‌ ගතකළ මහත්මයෙක්‌. විවාහවෙලා දරු මුණුබුරන් සිටියා. මොහු කවදාවත් සිල් සමාදන්වුණේ නැහැ. දන් දෙන්න ගියේ නැහැ. මොහුගේ දර්ශණය වුනේ “මම වැරදි කරන්නේ නැහැ. එම නිසා මට පිං කිරීමට අවශ්‍යතාවයක්‌ නැහැ” කියන එකයි. මේ කෙනා මනුෂ්‍යයන්ට උපකාර කළා. ඒත් කර්මය කර්මඵල ගැන විශ්වාසයෙන් නොවෙයි. එම නිසා ඔහු කළ යහපත් දේවල් හුදු ඒ මොහොතේ සතුට ලැබූ ක්‍රියාවන් පමණක්‌ වුණා. මේ මනුෂ්‍යයා අවුරුදු 65 ක්‌ පමණ ජීවත්වී මියයනවා. මොහුගේ මරණින් පසුව භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා මොහු කිනම් තැනක නැවත උපත සකස්‌කරගත්තාද කියලා. එවිට භික්‍ෂුවට දර්ශනය වන්නේ දුප්පත් පැල්පතක උපත ලබා සිටින කළු පැහැති දරුවෙක්‌. පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ ඒ ද්‍රවිඩ දරුවෙක්‌ බවයි. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා තමන් අකීකරුභාවයෙන් ගත් දෘෂ්ඨිය නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකරගත් බවයි. දැන් මොහු මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වී අවසන්. මේ විනාශයෙන් මොහු කවදා ගොඩ එන්නද? එය දැන් සිහිනයක්‌ පමණයි. මේ සා අර්ථවත් වටිනා දහමක හිමිකරුවෙක්‌ව ඉපදිලා, තම තමන්ට ඕනෑ ආකාරයට ධර්මය ගලපාගැනීමට යාම නිසා මොහු සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකර ගත්තා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනාකර වදාළ ධර්මය පිංවත් ඔබ විසින් ඔබේ දෘෂ්ඨීන්ට අනුව අර්ථ දක්‌වන්න යන්න එපා. එහෙම වුණොත් එහි විපාකය ඔබට ශාසනය අහිමිවී මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වීමයි.

පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන “දුක” වෙනුවට “සැප” කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක්‌ සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්‌ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක්‌ හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්‌ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්‌කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක්‌ වීමට පුළුවන්.

ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක්‌ වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බෞද්ධ, ක්‍රිස්‌තියානි සෑම මව්කුසක්‌ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්‌සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස්‌ හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යැයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක්‌ වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්‌කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක්‌ නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් භේදයක්‌ නොමැත. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක්‌ ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.

මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.

ලෝකය විසින් දකින ලෝකය හුඟාක්‌ සංකීර්ණයි. එම ලෝකය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්…. පිං, පව්, හොඳ, නරක, සාමය, යුද්ධය….. මේ සියල්ලම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය මීට වඩා හුඟාක්‌ සරළයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත්, පටිච්ජසමුප්පාද ධර්මය ගත්තත් අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කර ඇති ලෝකය බොහෝම සරළ තැනකට ගෙනෙනවා. තෘෂ්ණාව කියන එකම කාරණය නිසා ලෝකය අල්ලාගන්නා ස්‌වභාවයත්, තෘෂ්ණාව කියන එකම කාරණය ප්‍රහානය කිරීමෙන් ලෝකයෙන් මිදෙන ස්‌වභාවයත් බොහෝම අර්ථවත්ව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ තෘෂ්ණාව කියන කාරණයෙන් මුළු ලෝකයටම බැඳී සිටියත්, එම ලෝකය කියන සංකීර්ණ කාරණය බුදුරජාණන් වහන්සේ ඔබ තුළින්ම සකස්‌වෙන රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනා කරුණු පහ තුළට ගේනවා. මුළු ලෝකයේම ක්‍රියාකාරීත්වය පංචඋපාදානස්‌කන්ධය තුළට ගේනවා.

දුක මරන්න නැතිනම් ඔබ මැරුණත් දුක නොමැරෙයි

2012/07/15

භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්‌. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්‌, පත්තෑයෙක්‌, ගෝනුස්‌සෙක්‌ ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක්‌ ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක්‌ සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා. කුමක්‌ නිසාද මේ ප්‍රමාදභාවය සකස්‌වුණේ. පෙර ජීවිතයේ ශීලයේ දුර්වලතාවය නිසාමයි. මේ සතාට කර්මය කරමඵල විශ්වාසය නැහැ. නමුත් මරණීය ෙච්තනාව සකස්‌ වෙනවා. තලගොයා ගිල දමන සෑම සතෙක්‌ පාසාම තලගොයාට ප්‍රාණඝාත අකුසලය සිද්ධවෙනවා. ඒ වගේමයි තලගොයාට ගොදුරුවී මියයන සෑම සතෙක්‌ටම එම සතා කළාවූ අකුසලයක්‌ විපාක දෙනවා. කෙනෙක්‌ අකුසල් සංස්‌කාරයන් උපද්දවා ගන්නකොට තව කෙනෙක්‌ අකුසල් සංස්‌කාර ගෙවනවා. මේකට තමයි ලෝකය කියන්නේ. කෙනෙක්‌ උපද්දවනවා තව කෙනෙක්‌ ගෙවනවා. කඳුළ සිනහව දෝලනය වන ලොවක අපි සැපම සොයනවා.


මේ තලගොයාම පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් ඉපදිලා සිටියදී තේරුම් නොගත් දෙය තලගොයෙක්‌ වෙලා කෙසේනම් තේරුම් ගන්නද? මේ තලගොයා තව කල්ප ගණනාවක්‌ම අකුසල් කරමින්ද කළාවූ අකුසල්වලට විපාක විඳිමින්ද භවයේ ගමන් කරනු ඇත. මේ තලගොයාගේ ජීවිතය තුළ සැඟවී ඇති භවගමනේ අන්තරාකාරී බව ඔබ නුවණින් මෙනෙහි කිරීමට දක්‌ෂ වුවහොත් එය ඔබට මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීමට අවබෝධය සකස්‌ කරනු ඇත.


පිංවතුන්ලා මුලින්ම කරන්නට යන්නේ භාවනා කිරීම. ඔතනදී තමයි අපි වරද්දගන්නේ. මුල්ම කාරණය ලෙසින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. දෙවැනිව ශීලයක්‌ ආරක්‌ෂා කරගන්න. මේ කාරණා දෙක පරිපූර්ණ නැතිව විදර්ශණා භාවනාවක්‌, සමථ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. නිසියාකාරව තෙරුවන් කෙරෙහි සද්ධාව තූළින්, ශීලය තුළින් පිංවත් ඔබ පිරිසිදුභාවයට පත්වෙලා ඕනේ භාවනාවකට යොමුවෙන්න. ඔබ තුළ ඒ පිරිසිදුභාවය සකස්‌වෙලා නැතිනම් භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. භාවනාව නාමයෙන් සක්‌කායදිට්‌ඨියමයි, මාන්නයමයි වැඩෙන්නේ.


මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවේ පිහිටීම කියන කාරණය නිවැරුදි අර්ථය තේරුම් අරගෙන නැහැ. භික්‍ෂුව දන්න භාවනා උපදේශක මහත්මයෙක්‌ සිටියා. ඔහු විශාල පිරිසකට භාවනා පංති පවත්වන භාවනා ගුරුවරයෙක්‌. මේ භාවනා ගුරුවරයා බාහිරට නොපෙනෙන්න උදරය හරහා සුදු නූලක්‌ (ආරක්‌ෂාවක්‌) දමාගෙනයි සිටින්නේ. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ ඔය ශරීරයට සුදු නූලක්‌ දමාගෙන ඉන්නේ කියලා. මේ භාවනා ගුරුවරයා කියනවා ‘මට හරියට සතුරු කරදර තිබෙනවා. ඒකට ආරක්‍ෂාවක්‌ කරලයි මේ නූල දැම්මේ’ කියලා. බලන්න මේ භාවනා ගුරුවරයා අඩුම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇතිකෙනෙක්‌ නොවේ. මොහු රැවටීම තුළයි ජීවත්වෙන්නේ. අවංකවම මොහු දන්නේ නැහැ මොහු තුළ සද්ධාව පිහිටල නැහැ කියන එකවත්. එය හරිම අවාසනාවක්‌. ඔහුත් රැවටිලා තම ගෝලයනුත් රවට්‌ටලා. සසර මෙතුවක්‌ කලක්‌ අපට වැරදුන ලොකුම තැන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ සැබෑම අර්ථය හඳුනා නොගත් කාරණය. යමෙක්‌ අන්‍යශීලවෘත වලට ගරුකරනවා නම්, මිථ්‍යාදෘෂ්ටික මාර්ගය ඔස්‌සේ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවානම්, තෙරුවන්ගේ ගුණයන් කෙරෙහි විචිකිච්චාව ඇතිකරගෙන තිබෙනවා නම්,ඔවුන් ගිහිපැවිදි කවුරුන් වුවද තවමත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණ නැති බව, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාම පිළිගත යුතුය. ඔබ තුළ ඇත්තේ අමූලිකාසද්ධාවකි. මෝහය මුසු, නිරතුරුවම අභියෝග හමුවේ වෙනස්‌වන සද්ධාවකි. සමාජය පුරා යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම්, කේන්ද්‍ර, ගුරුකම් ව්‍යාපාරයක්‌ කරගනිමින් ජීවත්වෙන, ඒවායේ ප්‍රතිලාභයක්‌ ලබන ලක්‍ෂ කීයක්‌ ඉන්නවාද? ඒ සෑම දෙනෙක්‌ම ඉහත අභියෝගය තුළ ජීවත්වන බව සද්ධර්මයේ නාමයෙන් සටහන් කළ යුතුව ඇත.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සුත්‍රදේශනා කියවීමෙන් ඉහත කාරණය ගැන නිවරැදි වැටහීමක්‌ ලබාගත හැකිය. නමුත් මේ නිවරැදි භාවයට පත්වීම ලෝකයේ ඇති දුර්ලභම දෙයක්‌ වනු ඇත. මේ උතුම් ශාසනයක්‌ මුණගැසුණ මොහොතේ එවන් දුර්ලභ මනුෂ්‍යයෙක්‌ වීමට පිංවත් ඔබත් උත්සහ ගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණීමට පිංවත් ඔබ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේදය කෙරෙහි ඇති බැඳීම් වලින් වහා වහා මිදෙන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, ශිල්වත් භාවයෙන්, මෛත්‍රීයෙන්, දානය තුළින්ම, සතුරු කරදර මඟහරවා ගන්න. ජීවිතය ඉදිරියට පැමිණෙන ප්‍රශ්න කම්කටොළු සංස්‌කාරයන්ගේම ස්‌වභාවයක්‌ හැටියට දැකීමටත්, ඒවාම කමටහන් කොටගෙන ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමටත් උත්සහගන්න. මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී විඳීමට සිදුවුණ ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, දුක්‌ කම්කටොළුවල ජයග්‍රාහී ඵලය මේ භික්‍ෂූත්වය බව ඔබට සිහිපත් කරමි. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ එම ප්‍රශ්න අපේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නමයි. එම නිසා ප්‍රශ්ණ තුළින් ධර්මයේ යථාර්ථය දකින්න. ජීවිතය කියන්නේ පිළිතුරු සොයා නොගත් ප්‍රශ්නයක්‌. එහෙමනම් ප්‍රශ්නවලින් මිදෙන්න ඔබට බැහැ. ජාතිය කෙටිකරගන්න දිශාවටයි ඔබ ගමන් කරන්නේ. ජීවිතය ඉදිරියට පැමිsණි ප්‍රශ්න නිසා මේ භික්‍ෂුව ගිහි ජීවිතයේදී කොච්චරනම් ලෝකයට හොරෙන් තනිවම හඬලා ඇතිද? පැය ගණන්, දවස්‌ ගණන් හිස කකියන තුරාවට කල්පනා කරලා ඇතිද? දේවාල කෝවිල් වලට කොච්චර යන්න ඇතිද? මේවා සටහන් තබන්න භික්‍ෂූවට ලැඡ්ජාවක්‌ නැහැ. නමුත් මේ කිසිවකින් ප්‍රශ්නයට පිළිතුරක්‌ නොලැබෙනකොට මම අවසානයේ ගියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට. උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මරත්නය හමුවට. එතැනදියි මම අවබෝධකර ගත්තේ දුක කියන්නේත්, සැප කියන්නෙත් මට අයිති දෙයක්‌ නොවන බව. මගේ වසඟයේ තබාගත හැකි දෙයක්‌ නොවන බව. හේතුවක්‌ නිසා සකස්‌ වෙන දෙයක්‌ බව. තෘෂ්ණාවමයි හේතුවුණේ දුකට. රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. දුක එතකොට මැරිල යාවි. තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි. දුක ඇති තැන තෘෂ්ණාවයි ඔබ අවබෝධ කරගත යුත්තේ. දුක කියන්නේ අවබෝධ කිරීමෙන් පමණක්‌ නැති කළ හැකි දෙයක්‌මයි.

ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට

2012/07/08

මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස්‌ කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක්‌ මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක්‌ නිතරම වැලි මළුවට එනවා. හරක්‌ කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර වෙලා. දැන් වෙලාව උදෑසන හයට විතර ඇති. භික්‍ෂුව කුටියේ බිම අතුගාන කොට හරක්‌ කීපදෙනෙක්‌ම වැලිමළුවේ පළුගෙඩි කනවා. වැලි මළුව හොඳටම අපවිත්‍ර වෙලා. හරක්‌ ටික දැක්‌ක ගමන් භික්‍ෂුවට එක පාරටම කියවුණේ ‘පුතේ කරදර නොකර ඉක්‌මනට කාලා යන්න’ කියලා. කාටද මේ ‘පුතේ’ කියලා කියවුණේ? මිදුලේ සිටි හරකුන්ට. මේ හරක්‌ සංසාරයේ කොච්චර නම් මා සමඟ එකම අම්මාගේ, තාත්තාගේ දරුවෝ වෙලා ඉන්න ඇතිද? සංසාරයේ හේතුඵල ධර්මයක්‌ නිසාම ඉපදිලා එක පිඟානේ බත් කන්නට ඇතිද? එකට ගුලිවෙලා කොච්චර නම් දුකට හඬන්නට ඇතිද? සතුටට සිනාවෙන්න ඇතිද? ඔබත් මමත් අතර තිබෙන වෙනස පුතේ, සංස්‌කාරයන්ගේ වෙනස පමණයි. මේ දැක්‌ම තුළ ඉඳගෙන තමයි මහා සංඝරත්නයේ කරුණාව, මෛත්‍රිය ලෝකයට පැතිරෙන්නේ. සෑම සත්වයෙක්‌ කෙරෙහිම ‘මම ලෝකය හඳුනාගත්තාය, ඔබ ලෝකය හඳුනා නොගත්තාය’ කියන අනුකම්පාව මත සිටිමිනුයි මහා සංඝරත්නය ලෝකය දකින්නේ. මේ අනුකම්පාව සකස්‌වෙන්නේ සසර දිග, සසර ගැඹුර, සසර දුක ගැන අවබෝධය තුළිනුයි.

මේ සටහන් තබන වේලාවේ භික්‍ෂුවට මතකයට එනවා එක්‌තරා ආරණ්‍යයකදී තරුණ සාමණේර හිමිනමකට ‘පුතේ’ කියන වචනයෙන් ඇමතුවාය කියලා එක්‌ ගුණවන්ත වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ අවවාද කළ කාරණය. මේ සියල්ලම තුළ අපි දකින්නේ ලෝකයයි. ලෝකය වසාගෙන පැතිරෙන විවිධත්වයයි. සංඝ සමාජයේ පැවැත්ම උදෙසාම තමාට වඩා පැවිද්දෙන් අඩු ස්‌වාමීන්වහන්සේ නමකට ‘ආයුෂ්මතුන්’ නමින් හැඳින්වීම නිවැරදි බව භික්‍ෂුවත් පිළිගන්නවා. පසුව එම වරද භික්‍ෂුව නිවැරදි කරගත්තා. එහෙත් මොකක්‌දෝ හේතුවක්‌ නිසාම ඉන් ඔබ්බට ගිය කරුණාවක්‌, මෛත්‍රියක්‌ මහා සංඝරත්නයේ ජීවිතය තුළ තිබෙනවා. තමන්ගේ කුටියේ වැලිමළුව අපවිත්‍ර කරන එළදෙනත් දරුවෙක්‌ හැටියට දකින්න වෙන දවසක්‌ අපට ඉදිරියට එනවා. අන්න එතැනට යන්නයි පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට යන්නේ. නමුත් පිංවත් ඔබම සිතන්න, අවංකවම ඔබට පුළුවන්ද යාබද නිවසේ සිටින අසල්වැසියාව මිතුරෙක්‌ හැටියට දකින්න? ඔබට එය එහෙම දකින්න බැරිනම් මුලින්ම ඔබ එතැනින් පටන්ගන්න. අසල්වැසියාව මිතුරෙක්‌ බවට පත්කරගන්න. අසල්වැසියා මොනතරම් අකීකරු වුවද ඒ අකීකරු බවේ තරමටම ඔබ උපේක්‍ෂාව තුළට එන්න. පිංවත් ඔබ මේ වෙහෙසෙන්නේ ඔබ උදෙසා මිස අනුන් උදෙසා නොවේ. අනුන්ගේ අකීකරුභාවය ඔබ, ඔබේ ජයග්‍රහණය සඳහා උපයෝගී කරගන්න.

අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා ‘දුකක්‌’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.

සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්‍ෂේප වෙනවා. යමෙක්‌ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක්‌ ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්‌ම සුබ දවසක්‌, සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්‌. හැම දවසක්‌ම ඔබට සුබ දවසක්‌ බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්‌සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්‍ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, ‘මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්‍රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා ‘ඇයි ඔබ හිරුව ග්‍රහණයෙන් මුදවා පළා පැමිණියේ’ කියලා. ඒ වෙලාවේ රාහු කියනවා ‘එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි’ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද?

මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌, සෑම දවසක්‌ම සුබ දවසක්‌. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක්‌ පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌ වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්‌, හූනියමක්‌, එහෙම නැතිනම් කොඩිවිනයක්‌. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක්‌ තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක්‌ කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. ‘නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි’ කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. ‘ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා….. මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක්‌ බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න…. ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. ‘අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක්‌ වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි’

මෙතැනදී ‘දෙවියන්ගේම පිහිටය’ කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක්‌ ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක්‌ නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත 

සම්බුදු සරණ විකුණනවද මාරයට?

2012/07/01

දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා "හාමුදුරුවනේ මම නිතරම දන් දෙන අයෙක්‌. මමත් අවිද්‍යාව තුළද සිටින්නේ" කියලා. පිංවත් ඔබ දන් දුන් පමණින් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නෙ චතුරාර්යසත්‍යය නොදැනීම. ඒ කියන්නෙ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන කාරණා හතර නොදැනීමයි අවිද්‍යාව. ඔබ ලෝකය දුකයි කියන කාරණය නොදන්නා නිසයි ඇසත්, ඇසට පෙනෙන රූපත් තුළින් සැප සොයන්නේ. කනත් කනට ඇසෙන ශබ්දත් තුළින් සැප සොයන්නේ.....අනෙක්‌ ආයතනත් එසේමයි. ඔබ මේවා දුකක්‌ හැටියට නොවේ දකින්නේ. සැපයක්‌ හැටියටයි. එහෙම නම් පිංවත් ඔබ පුජා කරන දානයන් දුක්‌ බවට පත්වෙන සැප අයිති කරගන්න දෙන දානයන් බවටයි පත්වෙන්නේ. සැප බලාපොරොත්තුවෙන් දෙන දානයන් අවිද්‍යාව තුළටමයි අයිති වෙන්නේ. ලෝකය දුකයි කියල දැකලා, දුකට ඔබව බැඳ තබන තෘෂ්ණාව අඩු කර ගැනීම සඳහා දෙන දානයමයි අවිද්‍යාවෙන් බැහැරට ඔබව තල්ලු කරන්නේ. මිල මුදල්, ආහාරපාන පමණක්‌ නොවේ ඔබ දන් දිය යුතුව ඇත්තේ. ඒවා තුළින් දුක උපද්දවන තෘෂ්ණාවයි ඔබ තුළින් දන්දිය යුත්තේ.

තෘෂ්ණාව දන් දෙන කෙනාමයි දානයේ සැබෑම අර්ථය ජීවිතයට එකතු කර ගන්නේ. එම නිසා දන් දීමේදී ගිහි පිංවතුන්ලා ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න තෘෂ්ණාවෙන් මිදීම උදෙසාමයි දන් දෙන්නේ කියලා. 

භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා "හාමුදුරුවනේ කුටියට වෙලා තනිවම මොකද කරන්නේ" කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා කුටියට වෙලා විවේකයෙන් වැඩ සිටිනවා කියලා. ඒ වෙලාවේ ඔහු කියනවා "ඔහොම සිටියම ජීවිතේ කිසිම තේරුමක්‌ නැහැනේ හාමුදුරුවනේ" කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා ජීවිතේ කොහෙත්ම තේරුමක්‌ නැති හින්දයි මහත්තයෝ මෙහෙට වෙලා විවේකයෙන් වැඩ ඉන්නේ කියලා. මේ මහත්මයාට විවේකය කියන එක ප්‍රශ්ණයක්‌. මොහු භික්‍ෂුව තුළින් දකින්ට කැමති අවිවේකී, කාර්ය බහුල, ක්‍රියාශීලී චරිතයක්‌. අනුනගේ විවේකය දැකලා තමන්ගේ සිතේ විවේකය නැති කරගන්නවා. අනවශ්‍ය ගොඩාක්‌ සිතුවිලි සිතලා අකුසලුත් රුස්‌කර ගන්නවා. ඇසත් මට අයිති නැත්නම්, ඇසට බැඳෙන රූපත් මට අයිති නැත්නම් දිව, කන, නාසය, මනස, කය මට අයිති නැත්නම්, ඒවාට බැඳෙන භාහිර රූපත් මට අයිති නැතිනම් කුමක්‌ සඳහා අවිවේකී වෙන්නද? වෙහෙස වෙලා කුමක්‌ අයිතිකොට ගන්නද? මම කියා සටහන් කළ නාමරූප ධර්මයන්ගේ හේතුවෙන් හටගත් ඵලය සලායතන නම් එතැන ද හේතුඵල ධර්මතාවක්‌ මිස සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතිනම්, මේ අවිවේකය කවුරුන් උදෙසා කුමක්‌ සොයන්නද? යමෙක්‌ එසේ සොයන්නේ නම් ඒ ඔහු සොයන්නේ රැවටීමමය. ඇසෙත් තේරුමක්‌ නැත්නම්, කනෙත් තේරුමක්‌ නැතිනම් ජීවිතයෙත් තේරුමක්‌ තියෙන්න බැහැනේ. තේරුමක්‌ නැති ජීවිතය ඔබට තේරුම් කොට දෙන්නේ සද්ධර්මයයි. විවේකීව නාම රූප ධර්මයන් දෙස බලන්න. එවිට ඔබට වැටහේවි අවිවේකයෙන් අයිති කරගන්න දෙයක්‌ මෙතැන නැහැයි කියලා. එම නිසා පිංවත් ඔබ ස්‌වාමීන් වහන්සේ නමක්‌ මුණගැසුනහම සැමවිටම ධර්ම කාරණයක්‌මයි කථාබහ කරන්නෙ කියල චිත්තයක්‌ ඇති කරගන්න. 

සිත විවේකීභාවයට පත්වෙනකොට අවිවේකීභාවය සකස්‌ කරන හේතු ඔබට වැටහෙන්න පටන් ගන්නවා. සිත අවිවේකී වෙන්නේ රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. අනිත්‍ය දෙය නිත්‍යභාවයෙන් ගත්තාහම ඔබව පටලවනවා. ඔබ නැති දෙයක්‌ තිබෙනවාය කියල ගන්නවා. දැන් ඔබ අවිවේකියි. ඔබට කරන්න, සොයන්න, බලන්න, කියන්න ගොඩාක්‌ දේවල් තිබෙනවා. ලෝකය නැවතිලා තිබෙන්නේ. ඒත් පිංවත් ඔබ දුවනවා. වේගයට හොඳ වටිනාකමක්‌ තිබෙනවා අවිද්‍යාවේදී. "අවිද්‍යා පච්ජයා සංඛාරා" අවිද්‍යාවයි සංස්‌කාර සකස්‌කොට දෙන්නේ. ඔබ වේගවත්ය කියන්නේ වේගයෙන් සංස්‌කාර රැස්‌කරනවාය කියන කාරණයයි. නමුත් ඔබ විවේකීව සිතන්න ගත්තොත් රූපයේ, වේදනාවේ...........අනිත්‍යභාවය සංස්‌කාර නිරෝධය දෙසටයි ඔබ ගමන් කරන්නේ. බලන්න අවිවේකයත් විවේකයත් අතර තිබෙන පරතරය. රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසා නැති දෙයක්‌ සෙවීම නිසා අවිවේකයත්, රූපය වේදනාව........අනිත්‍යභාවයෙන් ගැනීම නිසා සෙවීමට දෙයක්‌ නැති නිසා විවේකයත් ලැබිය හැකිය. විවේකීභාවය ඔබෙන් දුරස්‌වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දුරස්‌වීම නිසයි. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා ජීවිතය අවිවේකී වීමට ඇති හේතු සොයනවා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය තුළින්මයි සද්ධාව සකස්‌වෙන්නේ. මේ උතුම් සද්ධාව ගැන සටහන් තබන කොට භික්‍ෂුවට අතීතයේ සිදුවීම් පෙළක්‌ මතකයට එනවා. භික්‍ෂුවගේ තාත්තා දෙවියන් කෙරෙහි බොහෝම ලැදි කෙනෙක්‌. භික්‍ෂුවට මතකයි ළමා කාලයේ තාත්තා සෑම වසරකම දෙවොල් මඩුවක්‌ කරලා දේව දානයක්‌ දෙනවා. ඒ වගේම සෑම මසකම කඩවර පුජාවක්‌ තියනවා නිවසේ පිටුපස්‌සේ. ඒ කාලයේ ළමයෙකු හැටියට සද්ධාව කියන්නේ කුමක්‌ද කියලා මම හඳුනාගෙන තිබුණේ නැහැ. මගේ තාත්තා හඳුනාගෙන තිබුණෙත් නැහැ. ඒ නිසාම මට මතකයි මේ දෑත්වලින් මම අනන්තවත් හාල්මැස්‌සෝ පුච්චලා, හරක්‌ සම් පුච්චලා තිබෙනවා පුජාවන්ට. නමුත් මේ මොහොතේ භික්‍ෂුවට ඒ අතීතය මතකයට එනකොට භික්‍ෂුව පැහැදිලිව දන්නවා එදා ගිහියෙක්‌ හැටියට මම තුළ සහ තාත්තා තුළ තිබුණේ අමූලිකා සද්ධාවයි කියලා. අමූලිකා සද්ධාව තිබුණ නිසයි තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව දේව විශ්වාසයන්ට බැහැගත්තේ. අමුලිකා සද්ධාව නිසාමයි හාල්මැස්‌සො පිච්චුවේ, හරක්‌ සම් කැබලි පිච්චුවේ, පුජාවන්ට බුලත් තටු හදලා, ගණන් කරලා මල් තැබුවේ. ඉහත සටහන තැබුවේ පිංවත් ඔබට සද්ධාවේ සහ අමූලිකා සද්ධාවේ වෙනස හඳුනාගන්නයි.

පිංවත් ඔබ තෙරුවන් වඳින, දන් දෙන, සිල් රකින කෙනෙක්‌ වෙන්න පුළුවන්. නමුත් ඔබ ජීවිතය ඉදිරියට රැකියාවේ, ව්‍යාපාරයේ, රෝගීභාවයන් වැනි අභියෝගයන් එනකොට තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව හාල්මැස්‌සෝ පුච්චන්න, හරක්‌ සම් පුච්චන්න, පලතුරු වට්‌ටි තබන්න දේව අමනුෂ්‍ය ඇදහිලි ඔස්‌සේ ඒවාට විසඳුම් බලාපොරොත්තු වෙනවා නම් පිංවත් ඔබ නියත වශයෙන්ම දැනගත යුතුයි ඔබ තුළ තවම තිබෙන්නේ අමූලිකා සද්ධාව කියලා (මෝහය මුසු සද්ධාව) නමුත් භික්‍ෂුවට තරුණ කාලයේදීම යම් හේතුවක්‌ නිසාම මේ අමූලිකා සද්ධාව තමා තුළින් හඳුනාගන්න හැකිවුණා. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මශ්‍රවණය නිසාම, ඇසුවා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම නිසාම.... 

පිංවත් ඔබ ධර්මය ඇසීමෙන් පමණක්‌ ඵලක්‌ නැහැ. එම ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අපගේ ආයුෂය බොහෝම වේගයෙන් ගෙවී යනවා. මරණය බොහෝම ඉක්‌මනට ළඟාවෙන්න පුළුවන්. එම නිසා රැකියාව, ව්‍යාපාරය, විවාහය නොවේ වන්දනීය මරණයකට හිමිකරුවෙක්‌ වෙන්න. මුළාවට එක වචනයකින්වත්, හැඟීමකින්වත්, සිතුවිල්ලකින්වත් බැඳෙන්න එපා. ආදරය කරන්න එපා. බිය ඇතිකරගන්න. අමූලිකා සද්ධාවමයි සංසාරයේ ඔබට මිථ්‍යාදෘෂ්ඨිකභාවය ඇතිකොට දෙන්නේ. මෙය බියකරු ලෝකයක්‌. චපල ලෝකයක්‌. මිනීමරු ලෝකයක්‌. මනුෂ්‍යයා තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය ඒ තරමටම බියකරුයි, විෂමයි. භික්‍ෂුවට මුණගැසුණ එක්‌ කට්‌ටඩි මහත්මයෙක්‌ භික්‍ෂූවට ප්‍රකාශ කළා තමා දන්නා මන්ත්‍ර ගුරුකම් ශාස්‌ත්‍රය තුළින් තමාට මිනිසෙක්‌ මරන්න, විනාශ කරන්න පුළුවන් කියලා. ඔහු සපථ කළා තමා එවැනි ගුරුකම් කරලා තිබෙනවා කියලා. ඔහු උදම් ඇනුවා. ධර්මයේ අර්ථය නොදත් මුළාවූ ලෝකයාට මනුෂ්‍යයෙක්‌ මැරීම මදුරුවෙක්‌ මැරීම වගේ සරල දෙයක්‌. ධර්මයෙන් බැහැර වුණ සිතකට ජීවිතයක වටිනාකම තබා තමාගේ ජීවිතයේ වටිනාකමවත් තේරෙන්නෙ නැහැ. තමාගේ ජීවිතයට ලබාදී ඇති නොවටිනා ලංසුවමයි අනුන්ගේ ජීවිතවලටත් ලබා දෙන්නේ. පිංවත් ඔබලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවතුන්ලා වශයෙන් සෑම මොහොතකම සමාජය තුළ තිබෙන අන්තරායකාරී ධර්මයන් හඳුනාගන්න. සද්ධර්මය කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා දක්‍ෂවෙනවා තමාගේ රැකියාව අහිමිවුණත්, තමාගේ ව්‍යාපාරය පාඩු වුණත්, තමාට රෝගයක්‌ හැදුනත් මගේම හොඳටයි කියලා හඳුනාගන්න. මේ බිඳවැටීම් තුළින් මම අත්දැක්‌කේ ලෝක ස්‌වභාවයයි. අනිත්‍යධර්මයේ අර්ථයයි කියලා. අනිත්‍ය වෙන දේවල් කෙරෙහි, බිඳෙන වැටෙන දේවල් කෙරෙහි බැඳීමෙන් මිදිලා තව තවත් ධර්මාවබෝධය දෙසට එනවා. එහෙම කෙනා තව තවත් උත්සාහයෙන්, වීර්යෙන් යුතුව වැටුණ දෙය ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නවා වගේම ධර්මය තුළින්මයි සැනසීම සොයන්නේ.

වර්තමාන සමාජයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන අංශයක්‌ තමයි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ක්‌ෂේත්‍රය. මේ අංශයේ දියුණුව, භාවිතය වැඩිවෙන්න වැඩිවෙන්න ධර්මයේ භාවිතය හීනවෙනවා. එය ධර්මතාවයක්‌. සද්ධර්මයේ සැබෑ ආයුකාලය බොහෝම කෙටියි කියලා හඟවන අනතුරු හැඟවීමක්‌. කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව ලෝකය ගමන් කරනවිට මිථ්‍යාදෘෂ්ඨිකභාවයේ ගොදුරක්‌ බවටයි ඔබව පත්වෙන්නේ. නමුත් අවාසනාවේ මහත කියන්නේ මෝහය නිසාම මේ මනුෂ්‍යයා මුදල් වියදම් කරලයි මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙන්නේ. උතුම් සද්ධර්මය ප්‍රතික්‌ෂේප කරලා, සල්ලිවලට මිථ්‍යාදෘෂ්ඨීකභාවය ගන්නවා. බලන්න මාර ධර්ම මොනතරම් සියුම්ද කියලා. ඔබේ ඇස්‌ වහලා ඔබේ මුදල්වලින් ඔබටම මිථ්‍යාදෘෂ්ඨීකභාවය විකුණනවා. ප්‍රේතයන්ගේ ලෝකය, යක්‍ෂයන්ගේ ලෝකය, නීච අමනුqෂ්‍යයන්ගේ ලෝකය හරිම බියකරුයි, හරිම පුළුල්. බොහෝම සංකීර්ණයි. ඔවුන්ගේ ධර්මය අධර්මයයි, විනාශයයි, ද්වේෂයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ සරණ අහිමිකොට ගෙන තාවකාලික දියුණුවක්‌ උදෙසා සිහින දකිමින් අමනුෂ්‍යයන් සරණ යාම පිංවත් මිනිසුනේ ඔබේ ජීවිතය ඔබම මාරයාට විකිණීමකි. 

මේ ලෝකයේ ඇති මෝහය, ලෝකය තුළ සැඟව ඇති ඇත්ත මෙන්ම මේ මස්‌ ඇසට නොපෙනෙනා ලෝකය ආදියද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ සත්‍යතාවය අත්දැකීමෙන්ම උතුම් සමාධිය තුළින්මයි දැකිය හැක්‌කේ. මස්‌ ඇසෙන් දකින ලෝකයේ චිත්‍රය නොව, පිනෙන් සහ පවෙන් පිරුණු සත්වයන්ගේ ලෝකයේ අපූරු චමත්කාරජනක මෙන්ම දුක්‌මුසු භව ගමනේ නවාතැන්පළවල් සමාධිය තුළින් යම් භික්‍ෂුවක්‌ අත්දකිනකොට මිනිසුන් වශයෙන් අපි මොනතරම් බොළඳ වැරදි ඔස්‌සේ ලෝකය ග්‍රහණයකොට තිබෙනවාද කියලා පැහැදිලිවෙනවා. දෙවියන්ගේ පුද පුජා තියෙනකොට කපු මහත්වරු කන්නලව් කරනවා ඔබ අසා ඇති. ඒ අය මෙහෙම කන්නලව් කරනවා. "හරක්‌ රැලට, මොනර රැලට, මැණික්‌ඟගට දිවැස්‌ හෙළන දෙවියන්" කියලා. අපි එතකොට සිතන්නේ මේ දෙවියන් හරක්‌ රැලට දිවැස්‌ හෙළනවා කිsයලා. පිංවත් ඔබම සිතන්නකෝ ගොම ගොඩේ, මුත්‍රා ගොඩේ, මඩ නාගෙන ගාල්කරල තිබෙන හරක්‌ගාලට, එම සතුන්ට පින් කරල ඉපදුන දෙවියෙක්‌ දිවැස්‌ හෙලයිද? ගොපලු දරුවෙක්‌ වගේ. මේ ගොම ගොඩේ, හරක්‌ මුත්‍රාගොඩේ දෙවියන් වැඩ සිටියිද? නමුත් මේ කථාවේ සැඟවුණ ඇත්තක්‌ තිබෙනවා. ඒ ඇත්ත පිංවත් ඔබට දකින්න පුළුවන් සමාධිය තුළින් පමණයි. දිනක්‌ භික්‍ෂුවක්‌ සමාධියෙන් වැඩසිටිනකොට භික්‍ෂුවට දිව්‍ය මීගවයන් 12 ක්‌ පමණ සමන්විත දිව්‍ය හරක්‌ රංචුවක්‌ දර්ශනය වුණා. මෙතන ලොකු දෙනුන් 6 ක්‌ සහ පැටවුන් වශයෙන් තමයි ඉතිරි අය සිටියේ. මේ දිව්‍ය මී දෙනුන් රංචුව මනුෂ්‍යලෝකය ඇසුරුකොට ජීවත්වෙන දිව්‍ය හරක්‌ රංචුවක්‌. මේ මී දෙනුන් ආයුෂ, වර්ණ, සැපයෙන් හුඟක්‌ පිරිලා. මේ සතුන් බොහෝම පිරිසිදු, ශරීරය පුෂ්ඨීමත්, තෙල් පැහැයෙන් දිලිසෙන, රෝම ගහන ශරීරයක්‌ තිබෙන්නේ. කිරිබුරුල්ල බොහෝම ලොකුයි, තන පුඩු ලොකුම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්‌ වගේ, කිරිවලින් තන බුරුල පිරිලා. එම දිව්‍ය මීහරක්‌ රංචුව දකිනකොට එය සෞභාග්‍යයේ සංකේතයක්‌ වගේ. මේ දිව්‍ය හරක්‌ රංචුව පාරක්‌ දිගේ ගමන් කරන ස්‌වභාවයෙනුයි භික්‍ෂුවට දර්ශනය වෙලා තිබෙන්නේ. ඔබගේ මස්‌ ඇසට නොපෙනෙන ඇත්තක්‌ මෙතන තිබෙනවා. හරක්‌ රංචුවට දිවෙස්‌ හෙළන දෙවියෙක්‌ සිටිනවා. ඒ ගමේ සිටින ගොම, මුත්‍රා ගොඩේ දඟලන හරක්‌ නොවේ. ඉහත සඳහන් කළ පිනෙන් වැඩි එහෙත් දිව්‍ය හරක්‌ බවට භවයේ උපත සකස්‌කොට ගත් ඉහත හරක්‌ රැල්වලටය. බලන්න අන්ධ විශ්වාසයත් සත්‍යයත් අතර තිබෙන වෙනස කොපමණද කියලා. ඉහත දිව්‍ය මීගව රංචුව භවයේ තවත් එක්‌ නවාතැන් පලක්‌. මෙවැනි අනතුරුදායක භව ගමනක්‌ ඉදිරියේ පිංවත් ඔබ දෙවියන්ගේ මුහුණ දෙස නොවේ බැලිය යුත්තේ තෙරුවන්ගේ ගුණ දෙසයි. 

පිංවත් ඔබ ඔබේ ජීවිතය සෑම විටම පර්යේෂණාගාරයක්‌ කරගන්න. මොන පර්යේෂණාගාරයක්‌ද? ධර්ම පර්යේෂණාගාරයක්‌. පිංවත් ඔබ ඇසෙන, දකින, සිතෙන සෑම දෙයක්‌ම නුවණින් පර්යේෂණය කරන්න. ධර්මය අධර්මය තෝරාබේරා ගන්න. සසර අවධානමට එරෙහිව සැමවිටම විමසිලිමත් වන්න. සැපයට එරෙහිව අන්තරාකාරී ධර්මයන්ගෙන් මිදීමට පෙරාතුව එම අන්තරාකාරී ධර්මයන් තමා තුළ තිබෙනවාය කියන කාරණය ඔබ පිළිගන්න අවශ්‍යයි. බොහෝ වේලාවට අපිට වරදින තැන ඔතැනමයි. සියලුම අකුසල් මූලයන් අප තුළ වැඩෙනවා. නමුත් අපි දක්‍ෂ නැහැ ඒ බව හඳුනාගන්න. හඳුනාගන්න අයත් ඒවා වසන් කරගෙනයි ධර්ම මාර්ගයේ පෙරට යන්න උත්සාහගන්නේ. මෙසේ වන්නේ ඔබ තුළින් ඔබ ධර්ම පර්යේෂණයක්‌ නොකරන නිසා. භික්‍ෂුව ගිහි කාලයේ හොඳින්ම හඳුනාගත්තා තමා තුළ ඇති රාග, ද්වේෂ, මෝහ අකුසලයන්. ඒ ගැන කියන්න භික්‍ෂුවට

ලැඡ්ජාවක්‌ නැහැ. මොකද එම හඳුනාගැනීමමයි භික්‍ෂුවට මේ තැනට එන්න පාර එළිපෙහෙළි කර දුන්නේ. ගිහි කාලයේ තමා තුළ තිබූ රාගය තුළින්මයි, රාගයේ තුච්ජ බව හඳුනාගත්තේ. තමා තුළ තිබූ ද්වේෂයේ තුච්ජ බව තුළින් තමයි ද්වේෂය හඳුනාගත්තේ. තමා තුළ තිබූ මෝහය තුළින්මයි මෝහයේ අඳුර හඳුනාගත්තේ. ලෝකයා දෙස බලලා ඉගෙනගන්න දෙයක්‌ තමාට තිබුණේ නැහැ. සියලුම අන්තරාකාරී ධර්මයන් තමා තුළම අඩු වැඩි වශයෙන් තිබුණා. තමා තුළින් තමාට එදා ඒ අකුසල මූලයන් හඳුනාගත හැකි වූයේ තමාගේ ජීවිතය පර්යේෂණාගාරයක්‌ කරගත්තා නිසා. අනුන් උදෙසා පර්යේෂණ කරන්න නොවේ. අවංකවම තමාගේ නිවැරදිභාව උදෙසා තමා මෙවැනි පර්යේෂණයක්‌ කිරීමට යොමුවූයේ මුළින්ම තමා තුළ ඉහත අකුසල මූලයන් ඇති බව හඳුනාගත් නිසයි. භික්‍ෂුව එදා ලෝකයාට අවංකවෙන්න නොවේ ගියේ. තමා තමාට අවංකවීමටයි. ඒ අවංකභාවය තුළ සිට තමා දෙස නුවනින් බලනවිටයි ජීවිතය තුළ තිබූ අකුසල මූලයන් හඳුනාගත්තේ. මේ හඳුනාගැනීම භික්‍ෂුවට එදා ලොකු වටිනාකමක්‌ වුණා. ඒ නිසාමයි තමා තුළ අකුසල මූළයන් තිබෙන බව දැනගත්තේ. දෙවැනිව, ඒවායේ අන්තරාකාරී බව දැක්‌කේ. තෙවැනිව, ඒවා උපක්‍රමශීලීව නැතිකරගැනීමේ මාර්ගයට අවතීර්ණ වූයේ. භික්‍ෂුව ගිහි ජීවිතයේදී තමා තුළ රාගය, ද්වේෂය, මෝහය තිබෙන බව ලෝකයාට පෙන්වන්න ලැඡ්ජා වුණේ නැහැ. තමා ලෝකයාට විවෘත වුණා. ඒ විවෘතභාවය තුළින්ම තමා තමාව ලැඡ්ජාවට පත්කරගත්තා. පිංවත් ඔබත් ඔබගේ ජීවිතය හැකිතාක්‌ ලෝකයාට විවෘත කරන්න. ලෝකයාට සැඟවීම තුළ වැඩෙන්නේ සක්‌කාය දිට්‌ඨීයම බව හඳුනාගන්න. මේ සක්‌කාය දිට්‌ඨීයමයි ඔබ තුළ ඇති රාග, ද්වේෂ මෝහ අකුසල ධර්මයන් ලෝකයාගෙන් වසන්කොට තබාගන්න උපකාරීවන්නේ. මගේ ආරක්‍ෂාව උදෙසා, මගේ පැවැත්ම උදෙසා, මම කව්ද කියලා ලෝකයාට පෙන්වීම උදෙසා......

කාවද මේ පුම්බා තබන්න හදන්නේ? 

දුක ඔබට අයිති දෙයක් නොවේ

 පින්වත, සිනාසෙන්න, විනෝද වෙන්න සුදුසු ලෝකයක් නොවේ, මේක. පින්වත, ඒත් අපි තළු මර මරා සිනාසෙනවා, විනෝද වෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ දී සිනාසෙනවා, විනෝද වෙනවා යැයි කියන්නේත් පෙර පිනක් මයි. පින්වත, එම පිනට භික්ෂුව සාදු! සාදු! යැයි කියලා පෙරළා පින් අනුමෝදන් කරනවා. පින්වත, ලෝකය දෙස සිනහවෙන් හෝ විනෝදයෙන් නොව සිහිනුවණින් බලන්න. පින්වත, කල්ප විනාශයක් ආරම්භයේ දී අවුරුදු සියයක්, දහසක් වැස්ස නැතිව යනවා. පින්වත, එදාට මනුෂ්‍ය ලෝකයේ ජීවත් වුණ සමස්ත මනුෂ්‍ය ප්‍රජාව ම කුසගින්නෙන්, හාමතෙන්, පිපාසයෙන්, ද්වේශයෙන්, වෛරයෙන්, එකිනෙකා මරාගෙන සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ලෝකයෙන් තාවකාලිකව අතුරුදන් වෙලා යනවා. පින්වත, මහාමේරු පර්වතය යැයි කියන්නේ බුද්ධ විෂයක්. පින්වත, මහාමේරු පර්වතය අපේ දෑස්වලට පෙනෙන්නට නැහැ. පින්වත, අවුරුදු සියයක්, දහසක්, වැස්ස නැති වෙද්දී, පාරිසරික උෂ්ණත්වය නිසා ම, හිම දිය වෙලා පොළොවෙන් යොදුන් අසූහතර දහසක් උසැති මහාමේරු පර්වතය පෙනෙන්න පටන් ගන්නවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මහාමේරු පර්වතය දකින්න එදාට මනුෂ්‍ය ප්‍රජාවක් නැහැ. පින්වත, මේ මහාමේරු පර්වතය කල්ප විනාශයේ උච්චම අවස්ථාවේ දී ගිනි ගෙන දැවී, ගිනි ඇවිළෙන මහා පස් කුට්ටි මහ පොළොවට වැටී මුළු මහ පොළොව ම අළු, දූවිලි බවට පත් වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර සත්‍ය දහම මේ මොහොතේදීත් අපි ඒහිපස්සිකව දකිනවා. පින්වත, මීට සති දෙකකට පෙරාතුව නේපාලයේ දී කඩා වැටුණ හිම කන්ද සහ මිය ගිය ජීවිත දෙස බලද්දී, මහ පොළොවෙන් උඩට උසින් සහ පළලින් යොදුන් අසූහතර දහසක් වූ මහාමේරුව කල්ප විනාශයක දී සිදු කරන ලෝක විනාශය ගැන බිය ඇති කොට ගෙන, අප්‍රමාදීව ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමට, මේ සිදු වන වියරු විනාශයෝ කමටහනක් කොට ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.


පින්වත, දුක ඔබට අයිති දෙයක් නොවේ, පින්වත, දුක අනුන් ඔබට දුන්න දෙයකුත් නොවේ. පින්වත, තරුණ අම්මා කෙනෙක් තම සිඟිති පුතු අනතුරකින් මිය ගිය වෙලාවේ, පුතාගේ දේහය බදාගෙන හඬනවා, “ඇයි පුතේ, මට මෙහෙම දුකක් දුන්නේ” කියලා. පින්වත, එම අසරණ අම්මාගේ දුක මිය ගිය පුතා දුන්න දුකක් නොවේ. පින්වත, දරුවා නමැති බාහිර රූපය කෙරෙහි අදාළ අම්මා ඇති කොට ගත් තෘෂ්ණාවේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, දරුවා හේතුවෙන් ඵස්සයේ තැවරුණ ‘තෘෂ්ණාව’, විඳීමේ කඳුළුවලට දුකේ රසය ලබා දෙනවා. පින්වත, අවිද්‍යාව නිරෝධයෙන් තෘෂ්ණාව නිරෝධය වූ තැන, අපිට ලෝකය මැකිලා යනවා. පින්වත, එදාට අපේ සළායතනයන්ට බාහිර රූපයෝ ඵස්සය වුවත්, ඒ සෑම රූපයක් ම සතර මහා ධාතුවේ රූකඩයක් පමණක් මයි. පින්වත, සතර මහා ධාතුවේ රූකඩයෝ තෘෂ්ණාවේ රිද්මයට නටවන ‘විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයෝ’ සම්මා ඥානයන්ගේ විදර්ශනා ඇසෙන් හිරු දුටු පිණි සේ මැකිලා යනවා. පින්වත, මේ රාත්‍රිය, කැලෑ පරිසරයේ සුළඟ ගොඩාක් වැඩි රාත්‍රියක්. පින්වත, කුටියේ ආලින්දයේ දැල්වෙන විදුලි බුබුළේ ආලෝකයෙන් ඔබ්බට පෙනෙන ඝනාන්ධකාර කළුවර රාත්‍රියේ සෞම්‍යභාවය තවත් වැඩි කරනවා. පින්වත, වේගවත් සුළඟේ රිද්මයට නර්තනයේ යෙදෙන ගස් කොළන්වල හඬ ‘ඇසුණා’ යැයි කියන ධර්මතාවයට යළි යළිත් කමටහනක් ම වෙනවා. පින්වත, අපගේ ඵස්සයේ තෘෂ්ණාව සිඳුණ තැන දුක, සැප සහ උපේක්ෂාවන්ට පවතින්න බැහැ. පින්වත, අපේ සෑහීමක් නොමැති, ‘අසීමාන්තික තෘෂ්ණාව’ පටිච්චසමුප්පන්න කාම, රූපී, අරූපී භව ගෙවල් උදෙසා උපාදානයෝ කාම, දිට්ඨි, අන්‍යශීලවෘත බැඳීයාම්වලින් අත්තිවාරම් බඳිනවා.


පින්වත, ජනප්‍රියභාවය අපි හැමෝට ම ලබන්නට බැහැ. පින්වත, ලැබුව ජනප්‍රියභාවයත් අපි හැමෝට ම ආරක්ෂා කොට ගන්නත් බැහැ. පින්වත, ජනප්‍රියභාවය යැයි කියන්නේ මෛත්‍රිය, ශීලය සහ හැමෝම එකතු කොට ගෙන පින්කම් සහ දන් පූජා කිරීමේ සුන්දර හේතුඵල ධර්මයක් යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ශීලයේ පළමුවැනි ආනිශංසය ජනප්‍රියභාවයයි. පින්වත, මෛත්‍රියේ ආනිශංසයෝ දෙවියන්, මනුෂ්‍යයන් අතර ජනප්‍රියභාවයට පත් කරනවා. පින්වත, මේ සියල්ල දානයේ වර්ණය, සැපය, බලය සමග සන්ධානගත වෙද්දී, පිරිවර සම්පත් සහිත ජනප්‍රියභාවයට සංස්කාරයෝ දැනීම් සකස් කොට දෙනවා. පින්වත, ඔබේ ජීවිතය තුළින් ජනප්‍රියභාවය ලැබීමට අවශ්‍ය අතීත සංස්කාරයෝ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ වීර්යය දුර්වලභාවය නිසා ම යටපත් වී තිබෙන්නට පුළුවන්. පින්වත, ඔබට ජනප්‍රියභාවයට පත් වෙන්න අවශ්‍ය නම් බෞද්ධ ඔබේ ජනප්‍රියභාවයට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම් ඔබ තුළ සකස් වන ජනප්‍රියභාවයට අදාළ ‘තෘෂ්ණාධික සිතුවිලි අනිත්‍ය’ වශයෙන් දැක, චිත්තානුපස්සනාවේ අයෝමය විදර්ශනා කුසලය මුලින් ම ජීවිතයට ගන්න දක්ෂ වෙන්න. පින්වත, ජනප්‍රියභාවය කෙරෙහි තෘෂ්ණාධික සිතුවිලි ඔබ ප්‍රවර්ධනය කළොත්, ‘මමත්වයේ දැඩිභාවය’ ඔබේ ජනප්‍රියභාවයේ සිහින බොඳ කොට දමාවි. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම්, ඔබව තෘෂ්ණාවෙන් උපාදානය කොට ගත් පින්වතුන්ලාට පමණක් බැඳී යන්න එපා, පින්වත, එවිට අනෙක් සියල්ලෝ ම ඔබට අහිමි වේවි. පින්වත, ඔබට ජනප්‍රියභාවය අවශ්‍ය නම් “සියලු සත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිතින් ම සමාජය දෙස දකින්න. පින්වත, එවිට ඔබව පක්ෂ සහ විපක්ෂ හැමෝම සතුටින් පිළිගනීවි. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ ඔබේ ම නිහතමානීභාවයයි; සම මෛත්‍රී සිත මයි.


පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන ලාභ සහ අලාභයන් දෙකක් තිබෙනවා. පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන ලාභය තමයි, ඔබ ලබන ජනප්‍රියභාවය සත්පුරුෂ ආශ්‍රයෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් හොඳින් පෝෂණය කොට ගෙන, ඔබ මෙලොව ජනප්‍රියභාවය ලැබුවා සේ ම පටිච්චසමුප්පන්න ඊළඟ ජීවිතයේ දී, ජනප්‍රිය දෙවියෙක් වෙලා ඕපපාතිකව දිව්‍ය තලයක ඉපදීම. පින්වත, ජනප්‍රියභාවයෙන් ඔබ ලබන අලාභය තමයි, ඔබ ජනප්‍රියභාවයෙන් ‘මාන්නයට’ පත් වෙලා, පාපමිත්‍ර ආශ්‍රයෙන් ජනප්‍රියභාවය කෙලෙසා ගෙන, සිහි මුළා වූ මරණයකින් පටිච්චසමුප්පන්නව සතර අපායේ ඉපදීම. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන, කල්‍යාණ ධර්මයෝ ශ්‍රවණය කරන සැබෑ දක්ෂයා, ලෝකයට අයිති ලාභ සහ අලාභ යන අන්තයන් දෙකෙන් ම මිදී, තම ජනප්‍රියභාවය උතුම් විදර්ශනා නුවණ උදෙසා ම උපයෝගී කොට ගන්නවා. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය විදර්ශනා නුවණ උදෙසා ආයෝජනය කරද්දී, ඔබ ලබන කල්‍යාණමිත්‍ර ප්‍රතිලාභය වෙන්නේ ‘වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ’ යැයි දකින නිවී ගිය දහම පමණක් ම ය. පින්වත, ඔබත් සමාජයේ ජීවත් වන ජනප්‍රිය පින්වතෙක් නම්, ඔබේ ජනප්‍රියභාවය ඔබ ආයෝජනය කොට ඇත්තේ ඉහත සඳහන් කිනම් අර්ථය උදෙසා දැයි ඔබ ම තීරණය කරන්න. පින්වත, අවීචි මහා නිරයට වැටුණත් දේවදත්ත හාමුදුරුවෝ, අජාසත්ත රජතුමා යැයි කියන්නේත් එදා සමාජයේ ගොඩාක් ජනප්‍රිය චරිත. පින්වත, ජනප්‍රියභාවයට පත් වූ රූපය අනිත්‍ය වී යද්දී, ජනප්‍රියභාවය හේතුවෙන් සකස් වූ සෑම සිතුවිල්ලක් ම අනිත්‍ය වී යද්දී, ජනප්‍රියභාවය හේතුවෙන් සකස් වූ සෑම විඳීමක් ම අනිත්‍ය වෙද්දී, පින්වත, ජනප්‍රියභාවය තුළින් “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි උතුම් ධම්මානුපස්සනාව මයි අවදි කොට ගත යුත්තේ.


පින්වත, යම් රටක ආර්ථිකය පිරිහීමට පත් වෙද්දී, අදාළ රටේ ජනතාවගේ මෙලොව ජීවිතය පමණක් නොවේ, පරලොව ජීවිතය ද පිරිහීමට පත් වෙනවා. පින්වත, ආර්ථික පීඩාවන්ගෙන් කරවටක් ගිලුණ අහිංසක පීඩිත ජනතාව, ලෝකයාට හොරා හදවතින් දුක් විඳලා, තම කුසගින්න, නැතිබැරිකම් ලෝකයාට සඟවාගෙන ජීවත් වෙලා, සියල්ල අවසානයේ දී සිහි මුළාවට පත් වෙලා මිය ගිහින් සතර අපායේ උපදිනවා. පින්වත, රටේ දේශපාලනය කරන පින්වතුන්, තම හෘද සාක්ෂියට තට්ටු කොට අහන්න, දුකෙන් පීඩිත අසරණ මනුෂ්‍යයන්ගේ මෙලොව පමණක් නොවේ, අපේ පියවි ඇසට නොපෙනෙන පරලොව පිරිහීමටත් වගකිව යුත්තේ කවුරුන් ද කියලා. පින්වත, සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදින බව ඇත්ත, ඒත් දැන උගත් අවංක නායකයෝ යැයි කියන්නේ, ජනතාවගේ දුකට අදාළ කර්මයෝ යටපත් කොට දමා, සැපයට අදාළ කර්මයෝ විවෘත කොට දෙන්නාටයි. පින්වත, පාලනයකින් තොරව වෙළඳ පොළේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යද්දී, ව්‍යාපාරික ලෝකය එක පැත්තකින් බලවත් ආකාරයට මනුෂ්‍ය හිංසනයට අදාළ සිල් පදය දුර්වල කොට ගන්නවා. පින්වත, තවත් පැත්තකින් පංචශීලය, ‘නාමික දහමක්’ බවට පත් වෙලා සුරාව, මත් වීම, ශරීරය විකිණීම, සොරකම පීඩිත පාරිභෝගික ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත් වෙනවා. පින්වත, සත්පුරුෂ දේශපාලන නායකයෝ යැයි කියන්නේ ජනතාවගේ මෙලොව සහ පරලොව දෙකම ආරක්ෂා කොට දෙන්නාටයි. පින්වත, දුකට බර ලෝකය තුළ ඔබ පරාර්ථකාමී වෙන්න. පින්වත, භික්ෂුව මේ නිහඬ රාත්‍රියේ දී, මෙනෙහි කරන්නේ “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන දහමයි. පින්වත, එම දහම පමණක් මයි, ආත්මාර්ථකාමී ලෝකය තුළ අපේ එකම සැනසිල්ලට තිබෙන්නේ. පින්වත, දුකෙන් පරාජිත ලෝකය තුළ අපරාජිතව තිබෙන්නේ ඉහත දහම පමණක් මයි. පින්වත, ආත්මාර්ථකාමී කෙලෙස් සහිත දේශපාලනය පරාජිත වුණාට, උතුම් බුදු දහම අපරාජිතයි.

තෘෂ්ණාවේ ලැව් ගිනි සමග අසිහියෙන් සෙල්ලම් කරන්න එපා

පින්වත, ලෝකය යැයි ධර්මයේ සඳහන් වෙන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩිලා, බිඳිලා, විසිරිලා යන අපූරුව සමාජය තුළින් ඔබ දකිනවා නේද? පින්වත, මෙම සටහන ලියන මොහොතේ භික්ෂුව සිහිනුවණින් දකිනවා, අනාගතයේ යම් දිනක භික්ෂුවගේ රූපයත් කැඩිලා, බිඳිලා, විසිරිලා කොහේ හෝ සුසාන භූමියක බාහිර සතර මහා ධාතුවට මුහුවෙලා යන අපූරුව. පින්වත, ලෝකය ආස්වාදය උදෙසා ගන්න එපා. පින්වත, ලෝකය, ‘ලෝකයේ නිරෝධය’ උදෙසා උපයෝගී කොට ගන්න. පින්වත, ජීවිතය යැයි කියන්නේ ආස්වාදයේ රඟමඬලක් නොවේ. පින්වත, දුක්ඛ සත්‍යයේ සැබෑම හැඩරුව වෙන ප්‍රියයන්ගෙන් වෙන් වීම සහ අප්‍රියයන් හා එක් වීම අපේ ජීවිතවල කොටසක් වෙලා. පින්වත, රටම ආදරය කරපු ගෞරවනීය, ආදරණීය ප්‍රියයන් කාටවත් නොකියාම කැඩිලා, බිඳිලා, විසිරිලා යනවා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, අපේ ලෝකය අපිට නොදී ඒකපාක්‍ෂිකව පාලනය කරනවා. පින්වත, සියල්ල අවසානයේ දී අපි, අපේ ප්‍රියයන්ගේ ආයුෂය මළ රූපය, පාළු කනත්තට භාර දීලා, පංච නීවරණයන්ගෙන් විඳීම් පුරවා ගෙන ආපසු ගෙදර එනවා. පින්වත, අපේ ආදරණීය ප්‍රියයන් අහිමි කොට ගෙන පංච නීවරණයන් සහිතව ගෙදර ඇවිත් අපි ආයෙත් කරන්නේ, කන්න හිතුණා ම කබරයාත්, තලගොයා කර ගන්නා සේ ම, දුකේ ම රජ කිරුළ වන රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය යළි යළිත් ‘මගේ’ ම කොට ගෙන රස බැලීම මයි. පින්වත, ඔබේ ආදරණීය ප්‍රියයන් ඔබේ ලෝකයට අහිමි වෙද්දී, කරුණාකර ඔබ ප්‍රිය මනුෂ්‍ය ධර්මයන්ගෙන් ශක්තිමත් වෙන්න. පින්වත, එසේ නොවුණොත් අප්‍රිය ධර්මයන්ගේ නීරස ම අනාගතයේ අපිට රස බලන්න සිද්ධ වේවි.


පින්වත, මනුෂ්‍ය ජීවිතවල අවිද්‍යාව බලවත් වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම්, නොසැලෙන කළු ගල් වෙන්න බලනවා. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින පුංචි පාඩම, අපි හැමෝම දන්නවා වුවත්, කියවා, ශ්‍රවණය කොට තිබුණත් ප්‍රායෝගික ජීවිතයේ දී මේ පාඩම් ‘තෘෂ්ණාවේ රස්නයට’ අපේ ජීවිතවලින් වාෂ්ප වෙලා යනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයෙන් උපදින, පින්වත, ඒ කියන්නේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සතියේ ඉඩෝරයෙන් ඇවිළෙන තෘෂ්ණාවේ ළැව් ගිනි සමග අසිහියෙන් සෙල්ලම් කරන්න හොඳ නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය නොදන්නාභාවයෙන් උපදින තෘෂ්ණාවේ ළැව් ගිනි සියලු යහපත් ධර්මයෝ දවා අළු කොට දමන්න පුළුවන්. පින්වත, මනුෂ්‍යයා වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ බලවත් වෙද්දී, සමාජය දේවත්වයෙන් දැකපු පින්වත් මනුෂ්‍යයෝ අන්ත ප්‍රේතයන්, යක්‍ෂයන් වෙනවා. පින්වත, ජීවමාන බුදුරජාණන් වහන්සේ උතුම් සංඝ සමාජයේ අසූමහා ශ්‍රාවක තනතුරු පැවරුවේ කෙලෙස් ප්‍රහීණය කළ උතුම් රහතන් වහන්සේලාට පමණක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පින්වත් ගිහි උපාසක, උපාසිකාවන්ට ශාසනික තනතුරු පැවරුවේ අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපාසක, උපාසිකාවන්ට පමණක් මයි. පින්වත, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යය දැක්ක පින්වතා, පින්වතිය මයි, තෘෂ්ණාවේ සංස්කාර කුණු කන්දට යට නොවී, තම ජීවිතය සහ තනතුරු නමැති ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කුණු කන්ද පරිහරණය කරන්නේ. පින්වත, අචල ශ්‍රද්ධාව තබා අමූලිකා ශ්‍රද්ධාවවත් නැති පින්වත් මනුෂ්‍යයන්ගෙන් අපි කෙසේ නම් තෘෂ්ණාවේ මධ්‍යස්ථභාවයෙන් උපදින ප්‍රිය මනුෂ්‍ය ධර්මයෝ බලාපොරොත්තු වෙන්න ද?


පින්වත, මෛත්‍රියට ආනිශංස ධර්මයෝ එකොළහක් තිබෙනවා. පින්වත, ඔබේ ශීලයට සහ දානයට පිනේ ජවය දෙන්නේ මෛත්‍රිය විසින් මයි. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩද්දී, ජාති, ආගම්, කුල භේදයෝ වාෂ්ප වෙලා යනවා. පින්වත් ඔබ මේ නිසල රාත්‍රියේ “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩන්න. පින්වත, කාම, රූපී සහ අරූපී භවාත්‍රය ම, ඔබේ මෙත් සිත දිගේ, දිගේලි කරන්න. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩද්දී, ඔබ ළඟ ඉතිරි වෙන්නේ භවාත්‍රය යටපත් වී ගිය සමාධිමත් සිතක් පමණක් මයි. පින්වත, එම සමාධිමත් සිත ලෞකික ඥාන සහ විදර්ශනා ඥාන යන දෙදිශාවට ම නවා ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, මෛත්‍රිය අපිට මෙවන් උත්තරීතර ආනිශංසයෝ ලබා දෙද්දී, වෛරය, පළිගැනීම සමාජය තුළ ජනප්‍රිය වෙන්නේ කාගෙ කාගේත් ‘මෛත්‍රියේ නිරුවත’ පංච නීවරණ සළුපිළිවලින් වසාගෙන මයි. පින්වත, පංච නීවරණයන්ගේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, එම කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවය සතර අපාය තරමට ම දීර්ඝයි. පින්වත, වර්තමාන සමාජයේ වැඩිම තරගකාරීත්වය තිබෙන්නේ විභාග සමත් වන්න හෝ විදේශගත වන්න නොවේ, සතර අපායට යාමටයි. පින්වත, කරුමෙක මහත යැයි කියන්නේ, මේ තරගකරුවන් කවුරුවත් ම සතර අපායක් ගැන සිතන්නේ ම නැහැ. පින්වත, තමන් මැරෙනවා යැයි නොසිතන පින්වතා, කෙසේ නම් සතර අපායක් ගැන දැන ගන්න ද? පින්වත, ජනතාවගේ කාමයන් අවුස්සලා, රූපය දේවත්වයෙන් දකින, රූපයට වඳින පුදන සමාජයක සෙනෙහසේ මෛත්‍රිය මරාගෙන මේ උපදින්නේ ආත්මීය දෘෂ්ටියේ දුර්ගන්ධය හමන ‘සක්කාය දිට්ඨියේ කුණු හැවයි.’ පින්වත, කරුණාකර ඉවසීම පුහුණු කරන්න, එසේ නොවුණොත් අනාගතයේ දී, සමාජගත වන පංච නීවරණ විකෘතීන් ඔබට දරාගන්නට බැරි වේවි.


පින්වත, ඔබේ ඇස අයිති ලෝකයට. පින්වත, ඔබේ ඇසේ ඵස්සය අයිතිත් ලෝකයට. පින්වත, ලෝකය යැයි කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට. පින්වත, ඇස ඇතුළු සළායතනයෝ අයිති ලෝකයට නිසා ම, සළායතනයන්ගේ ඵස්සය ලෝකය දිශාවට මයි සංස්කාර ගොදුරු සොයන්නේ. පින්වත, සළායතනයන්ගේ “ඵස්සය” ලෝකයෙන් ගලවා ගන්න. පින්වත, මේ ලෝක ධාතුවේ ජයග්‍රහණය දුර්ලභ ම යුද්ධය, සළායතනයන්ගේ ඵස්සය ලෝකයෙන් ගලවා ගැනීමේ යුද්ධයයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය ලෝකයේ ජයග්‍රහණය උදෙසා යුද්ධ කරන්නේ, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාව යැයි කියන තෘෂ්ණාවේ ආයුධවලින් සන්නද්ධවයි. පින්වත, ඇමෙරිකා ඉරාන යුද්ධය වේවා, වෙනත් කිනම් යුද බිමක වේවා මෙම යුද්ධයන්ගේ ආරම්භය, පැවැත්ම සහ අවසානය තීන්දු කරන්නේ, අදාළ යුද නායකයන්ගේ ‘ඵස්ස පච්චයා වේදනා’ යැයි කියන පංච උපාදානස්කන්ධ යුද බිමේදී මයි. පින්වත, යුද උමතුවෙන් පෙළෙන ලෝක නායකයන්ගේ ඵස්සයේ තෘෂ්ණාවට පුළුවන්, අනාගතයේ දී තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති කරන්න. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන ආයුධ සන්නද්ධ යුද්ධවලින්, ධනයෙන්, තාක්‍ෂණයෙන් සහ ආයුධවලින් බලවත් කණ්ඩායම ජයග්‍රහණය කළත්, ඵස්සයේ තෘෂ්ණාව නිරෝධය කිරීමේ දුර්ලභ මහා යුද්ධයෙන් ජය ගැනීමට නම් ඔබට අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිතින් මතු කොට ගන්නා සම්මා ඥාන නමැති අවබෝධයෙන් අතහැරීමේ විදර්ශනා නුවණ පමණක් මයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය, තෘෂ්ණාවෙන් ගලවා ගත්ත පින්වතාට සමරන්න ජයග්‍රහණයක් නැහැ. පින්වත, එම පින්වතා ජයග්‍රහණය සහ පරාජය යන දෙකම තම ජීවිතයෙන් උදුරා දැමුව, අප්‍රමාදීභාවයට පූර්වාදර්ශී, පටිච්චසමුප්පාද දහමේ නිරෝධයක් ම වෙනවා. පින්වත, ඔහුට මංමුළා වෙන්න තවදුරටත් ලෝකයක් නැහැ, හැබැයි ඔහුට ජීවිතයක් තිබෙනවා.


පින්වත, ඔබ ‘අන්තිමයා’ වෙන්න කැමති ද? පින්වත, ඔබේ නිහඬ විවේකී හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්නකෝ, ඔබ ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්න කැමති ද කියලා. පින්වත, ඔබේ හෘද සාක්‍ෂිය කෑ ගසා කියාවි, “මට නම් අවශ්‍ය පළවෙනියා ම වෙන්න” ය කියලා. පින්වත, තරගකාරීත්වය වර්තමාන සමාජයේ අංක එකේ මිතුරා වුණත්, තරගකාරීත්වය යැයි කියන්නේ තෘෂ්ණාවේ ඇස්බැන්දුමක් මයි. පින්වත, සම්මා ඥානයන්ගෙන් අන්ධ අවිද්‍යාව මෙම ඇස්බැන්දුමේ ‘මහ මොළකරු’ වෙනවා. පින්වත, මේ දවස්වල තරගකාරීත්වයෙන් මිදී පහේ ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි පින්වත් දරුවෝ තාවකාලික පුංචි නිදහසක් භුක්ති විඳිනවා. පින්වත, තෘෂ්ණාවට කොහේ ද, නැවතීමක්? පින්වත, තෘෂ්ණාව හති දමාගෙන අනාගත වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ පසුපස පටිච්චසමුප්පන්නව දුවනවා. පින්වත, තෘෂ්ණාව උපක්‍රමශීලීව නැවතුණා වගේ සිටින්නේ, ඉදිරි පිම්මට අඩි කිහිපයක ජවයක් අරගෙන මයි. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් හැඩරුව උතුම් සම්මා ඥානයෝ තුළින් විනිවිද දකින බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ තරගකාරීත්වය නමැති තෘෂ්ණාවේ ජවයෙන් උපදින මාර ධර්මයන්ට ගොදුරු වෙන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ තරගකාරීත්වයෙන් මිදී, ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය ඉදිරියේ අන්තිමයාටයි වැඩසිටින්නේ. පින්වත, අන්තිමයා වෙන්න කැමති ආර්ය ශ්‍රාවකයෝ තුළ තෘෂ්ණාව හිඟ වුවත්, ඥාන දර්ශනයෝ එළිපිටම තිබෙනවා. පින්වත, යම් ආර්ය ශ්‍රාවකයෙක් ලෝකය ඉදිරියේ අන්තිමයා වුණොත්, එම ආර්ය ශ්‍රාවකයා තමන්ට ඉදිරියෙන් හෝ පසුපසින් වෙන කවුරුවත් ම දකින්නේ නැහැ. පින්වත, එම ආර්ය ශ්‍රාවකයාට තරගයක් හෝ තරගකරුවෙක් නැහැ. පින්වත, ‘තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ’, පින්වත, හේතුව සහ ඵලය නිවී ගිය තැන, කෙසේ නම් ලෝකයක් හෝ තෘෂ්ණාවේ මුලක්, මැදක් හෝ අගක් පවතින්න ද?

Sunday, September 6, 2026

ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්‌කාරවලට බව දැනගන්න

2013/05/12

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි ගමන් කරන්නේ.

මේ ලෝකයේ එක සුන්දර කාන්තාවක්‌ ජීවත්වෙනවා, ඇයගේ ශරීරයේ සුන්දරත්වය, ලාලිත්‍යය, රිද්මය, හැඩය, වර්ණය මේ මොහොතේ අතිශය චමත්කාරජනකයි. ඒ රූපය නිසාම ඇය ලෝකයේ ජනප්‍රිය කාන්තාවක්‌. ඇය මේ රූපයෙන් ලෝකයාව හැඟීම්වලින් අන්දමන්ද කරනවා. ඇය අන්‍යාගමික කාන්තාවක්‌. ඇයගේ මේ අසිරිමත් රූපය නිසාම ඇයට ඊර්ෂ්‍යා කරන අය අප්‍රමාණව ඇති.

ඒ අසිරිමත් රූපය නිසාම වර්තමානයේ ඇය සතර අපාය දෙසටමයි මාර්ගය සකස්‌කරගන්නේ. එක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේදී අරමුණුකර බලනවා, ඉහත රූමත් කාන්තාව පෙර ජීවිතයෙදි කුමන අයුරේ ජීවිතයක්‌ ගතකරපු කෙනෙක්‌ද කියලා.

එවිට එම භික්‍ෂුවට අරමුණුවෙලා තියෙන්නේ වයස අවුරුදු 40ක පමණ පැහැපැත් කාන්තාවක්‌. ඇය තැඹිලි පැහැති රෙදි පටියකින් බැඳගත් තනපටයක්‌ සහ ඉනේ සිට පහතට අඳිනලද තැඹිලි පැහැති රෙදිකඩකින් සැරසී ඉඳලා තිබෙන්නේ. ඇයගේ ස්‌වරූපයෙන් භික්‍ෂුව ඇයව හඳුනාගෙන තිබෙන්නේ දේවදාසියක්‌ ලෙසිනුයි.

ඉන්දියානු සමාජයේ දෙවියන් උදෙසාම කැපවූ, ජීවිතය පූජා කළ කාන්තාවන් සිටියා. ඒ අයගේ මුළු ජීවිතයම ගෙවුණේ තමන් අදහන දෙවියන් වෙනුවෙන්, එම දෙවියන්ට පූජෝපහාර පැවැත්වීම උදෙසායි. ඇය මුළු ජීවිතය තුළදීම කරන්නේ දෙවියන්ව මලින් සැරසීමට මල් මාලා ගොතන එක. දේව මන්දිර පිරිසිදු කරන කාර්යය. සුවඳහමන මුරුතැන්බත් පිසින කාර්යය. සුවඳ දුමෙන් දේවමන්දිර සුවඳවත් කරන කාර්යය. දෙවියන් උදෙසාම ජීවිතය පූජා කරන්නී… ඇය දේවදාසියක්‌. තමා අදහන ආගමට අනුව දෙවියන්ට මලින් ජූජා පැවැත්වීම නිසාම එහි විපාකයක්‌ හැටියට මේ ජීවිතයේදී අබෞද්ධ පවුලක වුණත්, සුරූපී උපතක්‌ සකස්‌කොටගත්තා. මේ ජීවිතයේදී ඇයට නිල් මහනෙල් මලක්‌ වැනි ශරීරයක්‌, ඇස්‌ දෙකක්‌ ලැබුණේ ඇය ගිය ජීවිතයේදී දෙවියන්ට පූජා කළ මල්වල අසිරියෙන්මයි. එහෙමනම් ඇයගේ රූපයට අපි ඊර්ෂ්‍යා කරලා වැඩක්‌ නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. නමුත් එතැන තිබෙන්නේ මිත්‍යාදෘෂ්ඨික ජීවිතයක්‌.

ඇයගේ සුන්දර ජීවිතය දකිනකොට අපට පෙනෙන්නේ ඔබ දක්‍ෂනම් ඔබ පූජා කරන මලකින් මොන තරම් අසිරියක්‌ ලබන්න පුළුවන්ද කියලා. නමුත් මල් පූජා කරමින් දෙවියන්ට සුවඳින් ජූජෝපහාරයන් පැවැත්වීමෙන් ලබාගත් අසිරිමත් රූපය නිසාම, එම රූපයේ ආශ්වාදය නිසාම, ඇය දැන් අකුසල් වැඩෙන මාර්ගයකමයි ගමන්කරන්නේ. ඉහත කරුණ ඔබට සටහන් කළේ ඊර්ෂ්‍යාව කියන කාරණයේ ඇති අර්ථ විරහිතබව ඔබට දැන ගන්නයි. ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ කුසල් සංස්‌කාරධර්මයන්ටයි. අනුන් පොහොසත් වෙන්නේ, බලවත් වෙන්නේ, රූමත්, උගත් වෙන්නේ ඒ අය පෙර ජීවිතයේ රැස්‌කරගත් කුසල් සංස්‌කාරධර්මයන් අනුවමයි. යමෙක්‌ යමෙකුගේ සංස්‌කාරවලට ඊර්ෂ්‍යාකරනවා කියන්නේ ධර්මයට ඊර්ෂ්‍යා කරනවාය කියන කාරණයයි. ධර්මයට යමෙක්‌ ඊර්ෂ්‍යා කරනාවනම් ඔහු තමාගේම හිස කළුගලක ගසාගන්නා අඥාන පුද්ගලයෙක්‌ වෙනවා. පිංවත් ඔබ කළුගලක ඔලුව ගසාගත්තොත් මොකද වෙන්නේ? මුහුණ ලේ පැහැ වෙනවා, දත් එළියට පනිනවා. මුහුණ ඉදිමිලා විකෘති වෙනවා. මේ සියල්ල ඊර්ෂ්‍යාවේ ඵලයයි.

වරක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්‍ෂණියක්‌ දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්‍ෂණියක්‌. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්‌වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්‍ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක්‌ ඇයට තියෙන්නේ. හරියටම තමාගේ හිස තමාම කළුගලක ගසාගත්තා වැනි මුහුණක්‌. එම භියකරු යක්‍ෂණිය දකිනකොට, භික්‍ෂුව එම යක්‍ෂණිය තුළින් දැකලා තිබෙනනේ ද්වේෂය, ඊර්ෂ්‍යාව ජීවිතය කරගත් කාන්තාවක්‌. පිංවත් ඔබ සිතන්න ඔබ තුළින් ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා නම් ඔබ තුළින් ඔබ යක්‍ෂයෙක්‌, යක්‍ෂණියක්‌ දකින්න දක්‍ෂවෙන්න.මොකද මේ කාලකණ්‌ණි ධර්මයන්මයි මේ යක්‍ෂණියට ඒ දුක උරුමකරදුන්නේ. මේ යක්‍ෂණියගේ දළ දෙකෙන් කියන්නේ ඊර්ෂ්‍යාවේ තියුණුභාවය. යක්‍ෂණියගේ ජීවිතයේ අකුසල් බලවත්භාවය නිසාම ඇයගේ යක්‍ෂ ජීවිතයට ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිවෙලා. ඒ වැඩිවීම හේතුවෙන්නේ තව තවත් දුක වැඩිවීමටමයි. ඒ නිසා පිංවත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්‍ෂයෙක්‌ දකින්න.

සමහර ගම්මානවල පිඬුසිඟාවඩිනකොට මොන තරම් දුප්පත් මනුෂ්‍යයෝ ජීවත්වෙනවද කියලා පෙනෙනවා. ඉළුක්‌ සෙවිලි කළ කුඩා වරිච්චි බිත්ති හතර තුළ පාන්, විස්‌කෝතුවකින්, කැඳ උගුරකින්, වේල පිරිමහගන්න කුඩා කිරිදරුවන්, අම්මලා දකිනකොට ‘අනේ පුතේ, මේ ජීවිතයෙදී අනුනට ඊර්ෂ්‍යා කරන්න එපා’ය කියලා කියන්න භික්‍ෂුවට හිතෙනවා. ඒත් බියක්‌ දැනෙනවා, අනේ මේ දරුවන්ට එහෙම කීවොත්, භික්‍ෂුව කෙරෙහි ද්වේශයක්‌ ඇතිකරගෙන තව අකුසල් රැස්‌කරගනියි කියලා. අනුනට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ඔහු අල්පභෝගී සම්පත් ඇති, අල්පේශාඛ්‍ය දුර්වර්ණ ජීවිතයක්‌ ලබන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න ඊර්ෂ්‍යාව තුළ මොනතරම් අවදානමක්‌ ද සැඟවිලා තියෙන්නේ. යමෙක්‌ අනුනට ඊර්ෂ්‍යා කරන්නේ නම්, ඔහු ඊර්ෂ්‍යා කරන්නේ තමාගේම සැපයට බව හොඳින් සිතන්න. ඔබ අවබෝධයෙන්ම ඊර්ෂ්‍යාවෙන් මිදෙන්න. එවිට ඔබ උපේක්‍ෂාව තුළට පැමිණේවී. දැන් ඔබට පුළුවන් මෛත්‍රියට සිත යොමුකරන්න. ඊර්ෂ්‍යාවත්, මෛත්‍රියත් කියන්නේ එක සිතිවිල්ලක්‌ අතර ඇති පරතරය පමණයි. ඒ තරම් සරල තැනක්‌ ඔබ මගහරිනවා. මේ එක සිතිවිල්ලක පරතරය ඔබව සුගතියේ සිට දුගතියට ඇද දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇති තරගාකාරීත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂ්‍යාවේ බීජයන් ඇතිවෙනවා. ඒ අනාගත සමාජයේ ව්‍යාකූලබව කියන්නාවූ බොහොම අනතුරුදායක ප්‍රවනතාවයක්‌.

බුදුරජාණන් වහනසේ දේශනා කරනවා ගිය ජීවිතයේ මහණ බමුණන්ගෙන් කුසලය, අකුසලය ගැන, කළයුත්ත නොකළයුත්ත ගැන නොඇසීමේ හේතුව නිසාම මේ ජීවිතයේදී අකුරු ශාස්‌ත්‍රයේ අදක්‍ෂභාවයට පැමිණෙනවාය කියලා. පුද්ගලයකු අතින් ඉහත කාරණා සිදුනොවන්නේ මාන්නය නිසාමයි. එමනිසා නිහතමානීව උත්සහය තුළින් ඔබ අධ්‍යාපන කටයුතු කළහොත් ඔබට අනුනට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලැබිය යුත්ත ලැබේවි. තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවෙන් බැහැරවෙන මොහොත දක්‌වාම ඔබ තුළ ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා. මොකද ධර්මානුකූලව ලෝකය දකින්න තවම ඔබ ධර්මය කෙරෙහි සැකයෙන් බැහැරනොවී ඇති නිසා.

ඔබ සක්‌කාය දිට්‌ඨිය තුළිනුයි ලෝකය දකින්න උත්සහ ගන්නේ. මෙතැනදී ඔබට ලැබෙන ඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. සද්ධර්මයේ අසමර්ථයන්ගෙන් ලෝකය බැහැරවෙන්න, බැහැරවෙන්න මාරයාගේ අධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරි ගැහෙමින් මේ සකස්‌ වෙන්නේ.

පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජයකර ඔබ ලොව්තුරා බුදුරජාණන්ගේ මහා කරුණා ගුණයේ සෙවනට එන්න.

Saturday, September 5, 2026

ජීවිතය යනු ඉලක්‌කම් ගොඩක්‌ද?

2012/06/24

භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන.


මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය විසින් කමටහනක්‌ කරගන්න. පෙම්වතියගේ ජීවිතය පෙම්වතා කමටහනක්‌ කරගන්න. දෙදෙනා, දෙදෙනාට විවෘත වන්න. මේ ගඳගසන ජීවිතය රසගුලාවක්‌ නෙවෙයි. තුවාලයක්‌ ගඩුවක්‌ ලෙස දකින්න. ගිහි ජීවිතය තුළ සිටිමින් ඔබලාට පුළුවන් ධර්මයේ අර්ථය ජීවිතයට එකතුකරගන්න. පැවිදිවෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඒත් කොයිම අවස්‌ථාවකවත් ඉක්‌මන් පැවිද්ද (පැවිද්ද සඳහා කලබල වීම) භික්‍ෂුව අනුමත කරන්නේ නැහැ. දක්‍ෂයා අදක්‍ෂයෙක්‌ විය යුතු නැහැ. හරියාකාරව අනිත්‍ය සංඥාව වඩපු කෙනා ඉක්‌මන් වෙන්නේ නැහැ. ඔහු ගැන කව්රුවත් බිය වියයුතුත් නැහැ. මොකද ඔහු ධර්මයේ රැකවරණය තුළයි සිටින්නේ. වඩාත් ගුණාත්මක පැවිද්දක්‌ උදෙසා ඉවසීම අප තුළ තිබිය යුතුයි.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහොම ආදර්ශමත් පෙම්යුවලක්‌ හිටියා. ඒ තමයි පිප්ඵලී සහ භද්ධකාපිලානා. කෝටිපති බමුණු පවුල් දෙකක තරුණ දරුවෝ. දෙමාපියන් පිප්ඵලීට කොතෙක්‌ විවාහ යෝජනා ගෙනාවත් ඒවාට කැමති වුනේම නැහැ. කැමැත්ත තිබුණේ පැවිද්දට. දෙමාපියන් දැඩි තීරණයක්‌ ගන්නවා, පිප්ඵලී විවාහ නොවුනොත් අපි මැරෙනවා කියලා. පිප්ඵලීට සිද්ධ වෙනවා දෙමාපියන්ට අවනත වෙන්න. පිප්ඵලීගේ මනාලිය තමයි භද්ධකාපිලානා තරුණිය. ඇයත් පැවිදිවීමේ අරමුණින්ම විවාහය මඟහැරිය තරුණියක්‌. දෙදෙනා සම්මුතියකට එනවා, චිත්තයක්‌ ඇතිකරගන්නවා අපි විවාහ වෙමු. දෙමාපියන් මියගියාට පසු දෙදෙනාම පැවිදි වෙමුය කියලා. ලොකු උත්සවයක්‌ අරගෙන දෙදෙනාම විවාහ වෙනවා. ලෝකයා සිතාගෙන සිටින්නේ කම් සැප විඳිනවා කියලා. නමුත් මේ තරුණ පෙම්වතුන් ඇතිකරගත් චිත්තය බිඳෙන්න දුන්නේ නැහැ. දෙමාපියන් මියයනතුරුම බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කළා. දෙදෙනා දෙදෙනාව ස්‌පර්ශ කළේවත් නැහැ. මේ පිප්ඵලී තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. භද්ධකාපිලානා තමයි භද්දකාපිලානා රහත් තෙරණින් වහන්සේ. මේ චරිත පිංවත් තරුණ ඔබ ආදර්ශ කරගත යුත්තේ උපක්‍රමශීලීව, කම්සැප කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙන්න. ජීවිතය තුළින් ඔබ චිත්තයක්‌ ඇති කරගන්න. මේ සතිය මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා. මේ සතිය මම දන්දීමෙන් ජීවත් වෙනවා කියලා. මේ සතිය මම අධිසිල් ආරක්‍ෂාකරමින් ජීවත්වෙනවාය කියලා. මේ සතිය මම ශක්‌තිමත්ව තෙරුවන්ගේ ගුණයන් සිහිකරමින් ජීවත්වෙනවා කියලා. මේ හැම චර්යාවකින්ම ඔබ තුළින් සිදුවන්නේ නෙක්‌කම්මයක්‌මයි. මේ නෙක්‌කම්ම සිතමයි ඔබට උපකාරීවෙන්නේ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ‘නන්ද මම ඔබව මේ ජීවිතයේදී පමණක්‌ නෙවෙයි ඔබ ජනපද කල්‍යාණියගෙන් බේරාගත්තේ කියලා. පෙර ආත්මභවයක නන්ද ඔබ කොටළුවෙක්‌ වෙලා මම ඔබේ ස්‌වාමියා වෙලා මා ළඟ ඔබ සේවය කරමින්, මගේ ගැල අදිමින් සිටියදී කොටළු දෙනක්‌ වෙලා උපත ලබා සිටි ජනපදකල්‍යාණිය ඔබට බොරු කියලා පොළඹවලා කැලයට අරගෙන යන්න හැදුවා. එදත් මමයි ඔබව බේරාගත්තේ. තවත් ආත්ම භවයක නන්ද ඔබ ඌරෙක්‌ වෙලා ජනපදකල්‍යාණියගේ නිවසේ ඉපදිලා ඇය ඔබට හොඳට ආහාර දීලා, ලොකුමහත් කරලා ජනපද කල්‍යාණියගේ විවාහය දවසේ ඔබව මරාගෙන මසට ගත්තා ඔය ජනපදකල්‍යාණියම. සංසාරයක බැඳීම, උපාදානය.


උපාදානය නැමැති එළදෙනගේ තණ බුරුල්ලෙන් වැගිරෙන කිරි තමයි භවය. භවය නමැති කිරි ජාතිය නමැති පස්‌ගෝ රසයන් උපද්දනවා. නිමාවක්‌ නැහැ. නැවතීමක්‌ නැහැ. අතීතය ගොළුවෙලා. වර්තමානය කථාකරනවා. මේ ජීවිතයේදී අපි ආශ්චර්යමත් මනුෂ්‍යයෝ. ලකුණු ගොඩක්‌ දීලා තමන්ම ප්‍රගතිවාර්තාවක්‌ සකස්‌ කරගන්නවා. එහි බුද්ධාගමට ලකුණු නැහැ. ආර්ථික විද්‍යාවටයි ලකුණු වැඩිපුර දීලා තියෙන්නේ. දැන් ජීවිතය ඉලක්‌කම් ගොඩක්‌. ඔබ මෙතැන සිට සිතන්න නන්ද හාමුදුරුවෝ ගැන. ජනපද කල්‍යාණි ගැන. ඔබගේ නිවසේ සාලය තුළ, වීදුරු අල්මාරියේ දිළිසෙමින් තිබෙන ඔබගේ මංගල ජායාරූපයේ, ඔබ ළඟම සිටිනා යෙහෙළිය, මේ මොහොතේ සිනාසෙමින් ඔබට සමීප වී සිටියත් ඇය නිසා සංසාරයේ ඔබ කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? ඔබ නිසා ඇය කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? මේ ජීවිතයේ ඔබගේ යෙහෙළිය වූ ඇය, මේ ජීවිතයේ පමණක්‌ම ඔබගේ යෙහෙළිය නොවූ බවද ඉහත කරුණු වලින්ම වටහාගන්න.


ජීවිතය ඉදිරියේ ඇත්තේ මෙවැනි ‘නොවටිනා’ වටිනාකමක්‌ නම් ඔබ ජීවිතයේ අර්ථය මනින්නට ඉලක්‌කම්වලට ඉඩ නොදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය ජීවිතයේ වටිනාකම් කර ගන්න. ඔබ කැමැති, ජීවිතයේ අගට ඉලක්‌කම් එකතු කරගැනීමට නම් ඔබ ඒ ජීවිතයට එකතු කරගන්නේ දුකමය. ඔබට ලැබෙන දෙය, එකතු කරන දෙය දානය උදෙසා අතහරින්නේ නම් ඒ ඔබ අතහරින්නේද දුකමය.


ඊයේ පිංවත් තරුණයෙක්‌ පැමිණියා භික්‍ෂුව මුණගැසෙන්නට. ඔහු විවාහකයෙක්‌. ඔහු භික්‍ෂුවට කියනවා, ‘හාමුදුරුවනේ, මම අමාරුවෙන් හම්බ කරලා ඉතිරි කරගත් රුපියල් ලක්‍ෂ දෙකක්‌ මා ළඟ තිබෙනවා. ඒකෙන් ගෙදරට අල්මාරියක්‌ ගන්න ඕනේ. ඉතිරි මුදල සම්පූර්ණයෙන් ලබන මාසෙ පිංකමට වැයකරනවා’ කියලා. බලන්න, අමාරුවෙන් හම්බකරලා ඉතිරි කරපු දෙයට ඔහු සැබෑ වටිනාකමක්‌ දුන්නා. ඔබ දක්‍ෂ වෙන්න, වෙහෙස මහන්සි වෙලා හම්බ කළාවූ මුදලට ලෝකයේ ඇති සැබෑම වටිනාකම දෙන්න. දුක්‌ උපදින දේවල් කෙරෙහි වැය කරලා එම මුදල් අපතේ හරින්න එපා. ඔබ ළඟ තිබෙන මුදල සුරක්‍ෂිතව තැන්පත් කළා කියන්නේ දානය තුළට, පිංකම් තුළට බැංකුගත කිරීමයි. ඉහත තරුණ මහතාද තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිවසට අවශ්‍ය භාණ්‌ඩය සඳහා වැයකර ඉතිරිය සුරක්‍ෂිතව තැන්පත් කළා. දානය නැමැති බැංකුකරණය කෙරෙහි අවිශ්වාසයෙන්, බියෙන් තොරව තැන්පත් කරන්න. ගිහි පිංවතුන්ලාටයි මේ සටහන ලියන්නේ. පිංවතුන්ලා දානය කෙරෙහි, දන් දීම කෙරෙහි ප්‍රමාදයට පත්වන්නේ නම්, දන්දීමට ලෝභ නම් ඔහු හෝ ඇය නිරතුරුව තමන්ටත්, තම පවුලේ අයටත් රෝගීභාවයන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය.


මොකද දානය තුළින්මයි මනුෂ්‍යයාට ආයුශ, වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේදී දන්දීමට මැළි නම්, පෙර ජීවිතයේ දන්දීම හීනනම් තමයි නිරතුරුවම පිංවතුන්ලාට ලෙඩ රෝග වැළඳෙන්නේ. තමන් හම්බකරන දෙයින් යම් ප්‍රමාණයක්‌ තෘෂ්ණාවෙන් තොරව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමට යමෙක්‌ ලෝභ නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට දන්දීමට වැය නොකළ මුදලට වඩා ඉතා වැඩි මුදලක්‌ බෙහෙත් සඳහා, රෝහල් ගාස්‌තු සඳහා වැය කිරීමට සිදුවනු ඇත. දන්දීමට අකමැති කෙනාට බෙහෙත් වෛද්‍ය ගාස්‌තු සඳහා ඊට වඩා වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවීම හේතුඵල ධර්මයක්‌මය. ලෞකික සැපයේ රහස දානයයි. මේ සැපය ඔබ උපයෝගී කරගත යුත්තේ සතර අපායෙන් මිදීම උදෙසාම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ශීලයත් පරිපූර්ණ කරගැනීම සඳහාය. ඉන්ද්‍රීය ධර්මයන් දියුණු කරගැනීම සඳහාමය. එසේ නොවුනොත් පිංවත් ඔබ උපක්‍රමශීලීව ජීවිතය තුළට මතුකොටගත් සැපය තවත් හුදු සංස්‌කාරයක්‌ම වී විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී යනු ඇත. දන්දීම නිසා ඔබට නීරෝගීභාවයද, එම නිරෝගීභාවය නිසාම සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර දන් නොදීම නිසා රෝගීභාවයද, රෝගීභාවයන් නිසාම ධර්ම මාර්ගයෙන් දුරස්‌වීමද සිදු වේ.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණ අනාගාමී උපාසක උපාසිකා දෙපලක්‌ වන උග්ග ගෘහපතිත්, වේළුකන්ඨකී නන්දා මාතාවත් නිරතුරුවම මහා සංඝරත්නයට දන් පූජා කළා. වේළුකන්ඨකී නන්දා මාතාව පිරිනැමූ දානයන්ගේ එක්‌ ආශ්චර්යමත් කාරණයක්‌ තිබුණා. ඒ තමයි ඇය දන්දීමට පෙරාතුවත් සතුටුවෙනවා, දානයෙන් පසුවත් සතුටුවෙනවා. දානය පූජාකරන වේලාවෙත් සතුටුවෙනවා. මෙය ඇය සතු ආශ්චර්යමත් කාරණයක්‌. ගිහි අනාගාමී උවැසි උවැසියනුත් දානය උතුම්කොට සැලකුවා. පන්සලද, ආරණ්‍යයද කියන භේදයකින් තොරව, නිරතුරුවම මහාසංඝරත්නය අරමුණු කරගෙන, මහා සංඝරත්නයටම පූජා කරන දානයමයි මහත්ඵල මහානිසංස වෙන්නේ.


පිංවත් ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර නොගත්තොත් මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙනවා. ශිල්පද ආරක්‍ෂා කර නොගත්තොත් නැවත දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබෙන්නේ නැහැ. දන් නොදුන්නොත් ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් හීන ජීවිත ලැබෙනවා.


මෛත්‍රිය නොවැඩුවොත් ලස්‌සන, රූමත්, ප්‍රසන්න රූපයක්‌ නැවත නොලැබෙනවා. මේ සා බියකරු අභියෝගයක සෙවණැල්ල අපේ ජීවිතවලට වැටී තිබියදී අපි හිතන්නේ, මුල්තැන දෙන්නේ රැකියාවට. ව්‍යපාරයට නොගියොත් ආදායම නොලැබෙයි. මිල මුදල් නොමැතිවුනොත් සමාජ තත්ත්වයක්‌ නොලැබෙයි. විවාහයක්‌ නොවුනොත් පරම්පරාව නැතිවෙයි. මෙන්න මේ වගේ සරල, බොළඳ කෙටි අපේක්‍ෂාවන්ටයි අපි මුල්තැන දෙන්නේ. අපි ජීවත්වෙන්නේ අනතුරත් අනතුරින් ගැලවීමේ මාර්ගයත් අතර මොනතරම් පරතරයක්‌ද. ගිහි පිංවත් ඔබට මෙලොව පරලොව දෙකම යහපත් කොට ගන්න නම් හේතුඵල ධර්මයන් නිසා සකස්‌වෙන ඉහත කාරණා දෙකටම මුල්තැන දියයුතු වෙනවා. ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් මෙනෙහි කරල දුක නැමති ඉපදීමෙන් මිදීමේ මාර්ගයටම අවතීර්ණ වෙන්න. අපට සැඟවිලා තිබෙන ඉහත කාරණා ගැන ඔබ සිතන්න ගත්තොත් එය හොඳ ප්‍රවේශයක්‌ වේවි ශක්‌තිමත් චිත්තයක්‌ ඇතිකර ගන්න.

එක්‌කෝ මරණය නැති නම් සතර අපායෙන් මිදීම

2012/06/17

පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත් මේ එක එක කාලවලදී මතුවී එන ධර්මයේ ප්‍රබෝධය කාලයකදී දුර්වලවෙලා යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවත් ගිහි කාලයේදී එවැනි ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාගේ පිංකම් තුළින් ධර්ම මාර්ගය ශක්‌තිමත් කරගත් අයෙක්‌. භික්‌ෂුව මෙහි සටහන් තබන්න හදන්නේ ස්‌වාමින් වහන්සේලා හරහා ඇතිකරගන්නා ධර්ම ප්‍රබෝධය ජීවිතය තුළින් වැඩිදියුණු කරගෙන ජීවිතයේ කොටසක්‌ කරගන්න අප දක්‌ෂවෙන්න ඕන කියලා. රැල්ලක්‌ නැගෙනකොට රැල්ලත් සමග බොහෝම උද්යෝගයෙන් ගහගෙන යනවා. රැල්ල අහවරවෙනකොට නැවත සුපුරුදු තැනට එනවා. සතර එර්දිපාද ධර්මයන්ට අයත් ඡන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන කාරණාවලින් චිත්තය කියන ධර්මතාවය පිංවත් ඔබට මෙහිදී වැදගත් වෙනවා. මෙතනදී චිත්තය කියන්නෙ අධිෂ්ඨානයට. බෝධිසත්වයන් වහන්සේ ජයශ්‍රීමහා බෝධි මූලයේ වාඩිවෙලා මගේ සම්, මස්‌, ඇට, නහර, වියලේවා. සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීමෙන් තොරව නොනැගිටිමිය කියල චිත්තයක්‌ ඇතිකරගන්නවා. බලන්න අරමුණ නැතිනම් මරණය තමයි එම චිත්තයේ අර්ථය. මේ චිත්තය කියන කාරණය පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ජීවිතයට එකතුකොට ගන්න. ධර්ම මාර්ගයේ රැල්ලත් සමග පෙරට ගිහිල්ලා රැල්ල නැවතුන තැනදී ආපසු හිටපු තැනට එන්නෙ ඔබ තුළ චිත්තයක්‌ ඇතිකරනොගත් නිසාමයි.


ඔබ මේ ලිපි මාලාවම උදාහරණයට ගන්න කෝ. පුංචි හෝ ප්‍රබෝදයක්‌ ධර්මයට කැමති පිංවතුන්ලා තුළ මේ ලිපි කෙරෙහි ඇතිවෙලා ඇති. නමුත් පිංවත් ඔබ වටහාගන්න ඕනෙ මේ කෙටි ප්‍රබෝදය අනිත්‍ය දෙයක්‌ බව. හෙට අනිද්දා මේ ලිපි පෙළ අහවරවෙනකොට නැගුන ප්‍රබෝදය අහවරවෙනවා. නමුත් පිංවත් ඔබ නැවතිය යුතු නැහැ. ඔබ බලාපොරොත්තුවක්‌ නොවේ චිත්තයක්‌ ඇති කරගන්න. ඔබ මෙතෙක්‌ බලාපොරොත්තු පමණයි ඇති කරගෙන තිබෙන්නේ. බලාපොරොත්තු කියන්නේ වෙනස්‌ වෙන දෙයක්‌. තරුණ කාලයමයි ධර්මය සුවසේ වැඩීමට සුදුසු කාලය. ජීවිතය ආයුෂ, වර්ණය, සැපය, බලය කියන කාරණාවලින් ජවසම්පන්න වන කාලවකවානුව. මෙම කාලයේදී තමයි ‘පටිභානය’ කියන නුවනින් මෙනෙහි කිරීමේ ශක්‌තිය ජීවිතය තුළින් මෝදුවෙන්නේ. මේ කාලය දෘෂ්ඨීන් ගෙන් තොරව විවෘතව ලෝකය දකින කාලයක්‌. ඒ නිසා පිංවත් ඔබ අස්‌වැන්න ඇති වෙලාවේම උපක්‍රමශීලීව අස්‌වැන්න නෙලාගන්න දක්‌ෂවෙන්න ඕනේ. අස්‌වැන්න නැති වුණාට ගස කොතෙක්‌ සෙලවුවද වැටෙන්නේ අතු, කොළ, රිකිලිමය. අතු, කොළ, රිකිලි යනු ලෝභ, ද්වේෂ, මෝහයි.

වර්තමානයේ තරුණ කාලය වැඩියෙන්ම කැපවෙන්නේ අධ්‍යාපනය, රැකියාව, ආදරය වැනි කාරණයන්ටය. මේවායේ ප්‍රථිඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් ජීවිතය පිරීයාමයි. අධ්‍යාපනය ලබන්න. රැකියාව කරන්න. ආදරය කරන්න. මේවා කරන ගමන් ධර්ම මාර්ගයෙත් පෙරට නොකඩවා ගමන් කරන්න. වෙනස්‌වන බලාපොරොත්තු අභිබවා ගිය නොවෙනස්‌වන චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවලට වටිනාකමක්‌ දෙන්න එපා. බලාපොරොත්තුවලට බැහැ කවදාකවත් ධර්ම මාර්ගයේදී ඔබට ජයග්‍රහණයක්‌ ලබා දෙන්න.


බලාපොරොත්තු නිරතුරුවම ඔබව රවටනවා. කාමයේ ආශ්වාදය උදෙසා ඇතිවෙන තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම බලාපොරොත්තු පසුබසිනවා. පසුබසින තැනදිම ඔබ තවත් නැවුම් බලාපොරොත්තු ඇතිකරගන්නවා. එයත් හුදු බලාපොරොත්තුවක්‌මයි. ඔබ බලාපොරොත්තුවලින් ජීවිතය හිස්‌කරන්න. එවිට ජීවිතය එකතැනක නවතිනවා. ඒ නැවතුන තැන ඉඳලා චිත්තයක්‌ අධිෂ්ඨාණයක්‌ ඇති කරගන්න එක්‌කෝ මරණය නැතිනම් සතර අපායෙන් මිදීමය කියලා. එය බොහෝම ශක්‌තිමත් තැනක්‌. එවැනි ශක්‌තිමත් චිත්තයකදී ඔබ රැල්ල නැවතුන තැනදි, අසනීපයක්‌ වුණ තැනදි, ව්‍යාපාරය බිඳ වැටුණ තැනදි, රැකියාව අහිමිවුන තැනදී ආපසු හැරෙන්නෙ නැහැ. මොකද ඔබ දුක ගැන දැන ගෙනමයි දුකින් මිදීම දෙසට ගමන් කරන්නේ. මෙතනදි ඔබ තුළ ශ්‍රද්ධාව සකස්‌වෙලා තිබෙන්න අවශ්‍යයි. සද්ධර්මය සැකයකින් තොරව පිළිගැනීමට, ජීවිතයට එකතුකර ගැනීමට ශක්‌තිය ඔබ තුළ තිබිය යුතුයි.


බොහෝම සද්ධාවන්ත එක්‌ තරුණ මහත්මයෙක්‌ භික්‌ෂුවට ප්‍රකාශ කළා හාමුදුරුවනේ මා තුළ තරුණ කාලයේදීම බලාපොරොත්තුවක්‌ තිබුණා මම විවාහ වෙන්නෙ නැහැය කියලා. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා මට පෙම්වතියක්‌ මුණගැසුණා. එවිට අපි බලාපොරොත්තුවක්‌ ඇතිකරගත්තා විවාහ නොවී ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා. නමුත් හමුදුරුවනේ මොකක්‌දෝ හේතුවක්‌ නිසා අපි විවාහ වුණා. ඊට පස්‌සෙ අපි බලාපොරොත්තු වුණා දරුවන් හදන්නෙ නැහැ කියල. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා දරුවෙක්‌ හැදුවා. දැන් දරුවා පොඩියි. දැන් අපි බලාපොරොත්තු වෙන්නෙ දරුවා ලොකුවුනාම එයාවත් පැවිදි කරල අපිත් පැවිදි වෙන්න. අනේ හාමුදුරුවනේ අපේ මේ බලාපොරොත්තුව ඉටුකරගන්න පුලුන්වෙයිද කියල ඒ මහත්මය අහනවා. සත්‍යකින්ම එය ඉටුවෙන්නෙ නැහැ. මොකද එය හුදෙක්‌ බලාපොරොත්තුවක්‌ පමණක්‌මයි. ඔබ කළ යුත්තේ වෙනස්‌ වෙන බලාපොරොත්තුවලින් බැහැර වෙලා නොවෙනස්‌වන චිත්තයක්‌ සකස්‌කොට ගන්න. පිංවත් ඔබ ගිහි බැඳීම් වලට බැඳී ඇති නිසා පැවිදිවෙන්නටම අවශ්‍ය නැහැ. ගිහිජීවිතය තුළ සිටිමින්ම එක්‌කෝ මරණය එක්‌කෝ සතර අපායෙන් මිදීම කියන චිත්තය සකස්‌ කොට ගන්න. ඊට අදාළ ධර්මතාවයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න.


එසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කොට ගතහොත් ඔබ ලෝකයේ ලොකුම ධනවතෙක්‌, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ධනවතා, පොහොසතා තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌ කොටගත් පිංවතා. ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්‌ වෙන්න අවශ්‍යනම් ඔබ ඔය ධනවත් භාවයට තමයි පත්වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ ධනවතා පොහොසතා කියන මිථ්‍යා මිම්ම ඔබ බැහැර කරන්න. ඔබ මේ සැබෑ ධනවත්භාවය හදුනාගතහොත් සමාජයේ සැප ලබා ගැනීම උදෙසා පවතින තරඟකාරී මනුෂ්‍ය පොරයට ඔබ හවුල්වෙන්නෙ නැහැ. ඔබේ පොහොසත්භාවය කියන්නේ ඉලක්‌කම් වලින් මනින දෙයක්‌ නොවේ. ධර්මයේ අර්ථය තුළින් මනින දෙයක්‌ බව තේරුම් ගන්නවා. ඉලක්‌කමේ වටිනාකම් නොවටිනාබව ඔබ දකිනවා. ඔබට ලෝකය යන දිශාව වැඩක්‌ නැහැ. ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවයි වැදගත් වෙන්නේ. ඒ දිශාව වැටෙන්නෙ තමා තමාට හිරිහැරයක්‌ නැති, කාටවත්ම හිරිහැරයක්‌ නැති. ආර්යඅශ්ඨාංගික මාර්ගය දෙසටයි. දැන් ඔබට පුළුවන් ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න.


බලාපොරොත්තුවක්‌ නොවේ. බලාපොරොත්තුව තුළ සැකය විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. පිංවත් ඔබ දැන් සම්මාදිට්‌ඨිsය සකස්‌කොට ගෙන මාර්ගය තුළ සිටින්නේ. ආපස්‌සට යැමක්‌ නැහැ. මේ මොහොතේ ඇති කරගත්තා වූ එක්‌කෝ මරණය නැතිනම් සතරඅපායෙන් මිදීම කියන චිත්තය ඔබ පසුකොට පැමිණියා වූ භවගමනේ ඇතිකරගත් ශක්‌තිමත් චිත්තය වෙනවා. පිංවත් ඔබට මේ දේ කරන්න මෙවරත් ශක්‌තිය නොමැතිනම් ඔබ මෙවරත් පරාජය වේවි. එම නිසා සැබෑම සැපය උදෙසා ධර්මයේ සැබෑම පොහොසත් භාවය ජීවිතයට එකතු කර ගන්න.


භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවකට සහභාගිවීමට ධර්මාසනයට වඩිනවිට එහි පැමිණ සිටි සුදුවත් දැරූ සියලුම පිංවතුන්ලා එක මියුරු ස්‌වරයකින් සාදු….සාදු….සාදු යන හඬින් සංඝරත්නයට ගෞරව දැක්‌වුවා. ඒ හඬ බොහෝම ශ්‍රද්ධාවෙන් පිරුණු මිහිරි හඬක්‌. ගොඩාක්‌ නිවුනු හඬක්‌. ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‌ෂයෙන්ම ඇසෙනකොට එය දිව්‍යලෝකයේ දෙවියන්ගේ හඬක්‌ද කියල සිතෙනවා. කොටින්ම ඒ සෑම සැදැහැවතෙක්‌ම එම මොහොතේ සිටින්නේ මනුෂ්‍ය සංඥාවලින් මිදිලයි. දිව්‍ය සංඥා තමයි ඒ අයට සකස්‌ වෙන්නේ. එක්‌තරා භික්‍ෂුවක්‌ දවසක්‌ රාත්‍රී සමාධිමත් සිතින් පසුවෙනකොට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ භික්‍ෂුවට දිව්‍යතලයකින් සාදු….සාදු….සාදු කියන හඬ ඇසිල තිබෙනවා. ඒ දිව්‍ය හඬත් මේ මනුෂ්‍යය ස්‌වරයත් එකම ස්‌වභාවයමයි. නමුත් එක්‌තරා රැයකදි භික්‍ෂුවට තවත් අපූරු දිව්‍ය ශ්‍රොතයක්‌ ඇසුණා. දිව්‍ය තලයක තනි දෙවියෙක්‌ගේ හඬින්. එම දෙවියාගේ හඬ වුනේ අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියලා. බලන්න මුලින් සඳහන් කළ දෙවියාට වඩා කොච්චරනම් ඉදිරි දැක්‌මක්‌ද මේ දෙවැනි දෙවියාට තිබෙන්නේ.


සමහරවිට එම දෙවියා මාර්ගඵලලාභී දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒ නිසාම වෙන්ට ඇති සාදු….සාදු….සාදු කියන අර්ථය ඉක්‌මවා ගිහිල්ලා අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන හඬ බොහෝම ගැඹුරු සංහිදුන මනෝභාවයකින් සඡ්ජායනය කරන්නේ. භික්‍ෂුව පිංවත් ඔබට මතක්‌ කරන්නේ පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ අඩියක්‌ ඉදිරියට තබන්න. වර්තමානයේ හුඟක්‌ තරුණ පිරිස්‌, ගිහිපිංවතුන්ලා පිංකම්වලදි සඡ්ජායනය කරන සාදු….සාදු….සාදු කියන සඡ්ජායන අර්ථයෙන් අඩියක්‌ පෙරට තබලා අර්ථවත්ව අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන සඡ්ජායනයට පුරුදු වෙන්න. සාදු….සාදු කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පමණක්‌ ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තුළින් ධර්මයේ අර්ථය හෙවත් අනිත්‍යය දකින්න. එවිටයි සැබවින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කළා වෙන්නේ. අනිත්‍යය කියන වචනය පාවිච්චි කරන්න, සඡ්ජායනා කරන්න සමාජයේ හුඟක්‌ බයයි. ඔබ අනිත්‍යය කියන වචනය මෙනෙහි කරන්න සඡ්ජායනා කරන්න බයයි කියන්නේ ඔබ ධර්මයට බයයි කියන කාරණයයි. මේ දුර්වලතාවයන් දුරස්‌ කරමින් අර්ථවත් තැනට ජීවිතය ගන්න. ඔබ දකින ස්‌වාමීන් වහන්සේත් අනිත්‍ය නම්, කරන පිංකමද අනිත්‍යනම්, පිංකම නිසා සකස්‌වෙන වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයනුත් අනිත්‍ය නම් ඒ අර්ථයයි අපේ සිතේ මතුවෙන්න ඕනේ. මෙවැනි චිත්තයක්‌ ඔබ තුළින් සකස්‌ කොට ගතහොත් එයත් සතර අපායෙන් නිදහස්‌ වීමට හුඟක්‌ උපකාරී වේවි.


අනිත්‍යය ගැන කතාකරන්න හුඟදෙනෙක්‌ බියයි. අනිත්‍යය කියල හිතුවාම නැතිවෙනවාය කියන අදහස තමයි සමහර පිංවතුන් ඇතිකරගෙන තිබෙන්නේ. සත්තකින්ම අනිත්‍යය ගැන සිතුවොත් යමක්‌ නැතිවෙනවා. ඒ නැතිවෙන්නේ දුකයි, දුක ඇතිවීමට හේතුවයි. මේ සියල්ල ඇතිකරන මෝහයයි. ඒ තුළයි ඔබ මතුකරගන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගය. අනිත්‍යයයි කියන අර්ථය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් සැඟවී තිබෙනවා. අනිත්‍යය කියන ධර්මය ඔබේ ජීවිතයෙන් මතුකර නොගන්නා තාක්‌කල් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔබෙන් වසන් වෙලයි තිබෙන්නේ. ඔබට අනිත්‍යයේ අර්ථය දකින්න තිබෙන්නේ අනිත්‍යය තුළින්මයි. වෙනස්‌වෙන දෙයක්‌ තුළ සිටිමින්ම වෙනස්‌ වන බව දකින්නයි තිබෙන්නේ. සිටීමක්‌ වේගවත් වන තරමට අනිත්‍යය වේගවත්. ඒ වේගවත් භාවයයි ඔබව සංකීර්ණ කොට තිබෙන්නේ. එතනදියි පිංවත් ඔබට සමාධිය උපකාරීවෙන්නේ. අනිත්‍යයේ සැබෑම වේගය ඔබ සමාධිය තුළිනුයි හඳුනාගන්නේ. ඒ නිසාමයි පිංවත් ඔබට සමාධිය සකස්‌වීමට හේතුවන ශ්‍රද්ධාව, ශීලය ගැන මේ තරම් සටහන් තබන්නේ.


මේ සටහන් තබන භික්‍ෂුව පිළිබඳව පිංවත් ඔබලා යම් කටුසටහනක්‌ සිතේ ඇඳගෙන තිබෙනවානම් ඒ තැනට එන්නට භික්‍ෂුවට උපකාරීවූවේ ශීලයයි. එය උත්කෘෂ්ඨභාවයෙන් රැක්‌කා වූ ශීලයක්‌. අසනීපයකට පැරසිටමෝල් පෙත්තක්‌ ළඟ තබාගත්තේ නැහැ. පානය කලේ ස්‌වමුත්‍රා මාත්‍රා මාත්‍රාවක්‌. නමුත් වර්තමානයේ අවශ්‍ය ඖෂධ ළඟතබාගෙන පරිහරණය කරනවා අවශ්‍යතාවයන්ට අනුව. අදාළ නිවන් මාර්ගය වඩන කාලයේ සමහරදාට මුහුණ සෝදාගන්න සබන් කැබැල්ලක්‌ තිබුණේ නැහැ. ඒක ඉවරවෙලා. ඒත් දායකමහත්තයෙක්‌ සබන් කෑල්ලක්‌ පුජා කරන තෙක්‌ කටින් ඉල්ලුවේ නැහැ. සබන් පාවිච්චි නොකර හිටියා. නමුත් කුමන හේතුවක්‌ නිසාද දන්නෙ නැහැ වර්තමානයේ වැඩසිටින සෑම කුටියකම සබන්කැට පහ හයක්‌ තිබෙනවා භාජනයක දමලා. දැන් භික්‍ෂුවට හිතෙනවා අතීතයේ භික්‍ෂුවට එවැනි හිඟපාඩු කුටි ලැබුණේ භික්‍ෂුවට අදාල කාරණා පරිපූර්ණ කරගන්න කියලා. නොලැබීමත් ජයග්‍රහණයක්‌ කරගන්නට. නිවීමේ මෙහෙයුමේ යෙදෙන කාලයේදී භික්‍ෂුවට හොඳින් දැනුනා ශරීරය බොහෝ දුර්වලයි, කෘශ වෙලා, මරණය බොහෝම ළඟය කියල. එහෙත් භික්‍ෂුවට ආහාර ඖෂධ වල වටිනාකමක්‌ තිබුණේ නැහැ. ජීවිතය අතහැරුන විටද ආහාර ඖෂධ හුදෙක්‌ බාධාවක්‌ පමණක්‌මයි.

චතුරාර්ය සත්‍ය ධර්මයෝ දරාගත් මහා සංඝ රත්නය

පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ, තාරකා විකෘති වී අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ගිනි ගන්නා පරිසරයේ අව්කාෂ්ටකය තුළින් භික්ෂුව දකින්නේ සුන්දර දහමක්. පින්වත, ලෝක නායකයන් යුද උමතුවෙන් පරිසරයට මුදා හරින වෙඩිබෙහෙත් විෂ යම් සේ තියුණු ද, ඊටත් වඩා ඒවාට නියෝග දෙන නායකයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ බල කාමයන්ගේ “විෂ” තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, අපි අත්විඳින මේ ගිනියම් වූ අව්කාෂ්ටකයට වඩා, අපිව පාලනය කරන්නා වූ නායකයන්ගේ අකුසල් මූලයන්ගේ ගිනි රස්නය තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, විනාශයට මුල අව්කාෂ්ටකය නොව, අපේ ම අකුසලයෙන් ගිනියම් වූ චේතනාවෝ මයි. පින්වත, පරිසරය නිවැරදි කරන්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. පින්වත, අපි නිවැරදි වෙන බවක් පෙනෙන්නවත් නැහැ. පින්වත, අපි තවමත් බල කාමයේ සටන් බිමේ ‘තෘෂ්ණාවේ විරුවෝ’ වෙලා. පින්වත, හෙට දවසේ යළිත් වැස්ස ඒවි. ඒත් වැස්ස එන්නේ ඉඩෝරයට හේතු වූ එකම එක පාඩමක්වත් අපි ඉගෙන නොගෙන මයි. පින්වත, පාඩම් ඉගෙන ගන්න කොහෙන් ද, අපිට විවේකයක්? අපේ විවේකය ‘තෘෂ්ණාව’ විසින් මරා දමලා.


පින්වත, ස්වභාව ධර්මය සංස්කාරයෝ මුල්කොට ගෙන අපිට වටිනා පාඩම් කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය අපිට පාඩම් කියලා දෙන්නේ අපිත් ස්වභාව ධර්මයේ ම කොටසක් නිසා මයි. පින්වත, මාස දෙකක් අපේ රටට වැස්ස නැතුව අපි මෙවන් පීඩාවක් විඳිද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ අවුරුදු සියයක්, අවුරුදු දහසක් වැස්ස නැතුව අනාගතයේ දී ආරම්භ වන කල්ප විනාශයේ පළමු අදියරේ මතකයයි. පින්වත, ඉඩෝරයෙන් මහ පොළොව ඉරි තලා ගිය කළ, පිපාසයට බොන්න වතුර බිඳුවක් නැතුව, මනුෂ්‍යයාගේ ම රුධිරය මනුෂ්‍යයා ම බොන අනාගත මෘග සඤ්ඤා ලෝකය ගැන සාංසාරික බියයි, මේ ඉඩෝරය තුළින් භික්ෂුව මතු කොට දකින්නේ. පින්වත, ජලය වෙනුවට රුධිරය බොන අනාගත පංච උපාදානස්කන්ධ වියරු ලෝකය පිළිබඳව බියකරු මතක සටහන් ස්වභාව ධර්මය වර්තමානයේ අපිට සිහිපත් කොට දෙනවා. පින්වත, වර්තමානයේ ප්‍රඥාවෙන් අන්ධ නවීන විද්‍යාව මෙවන් වියරු ඉඩෝරයන්ට ‘එල්නිනෝ’ යැයි ඇස්බැන්දුම් මායාකාරී වචන භාවිතා කළ ද, මෙවන් විපරිත එල්නිනෝවන්ගේ මූල බීජය හටගන්නේ ලෝක සහ අපේ පින්වත් රාජ්‍ය නායකයන්ගේ නොසෑහෙන තෘෂ්ණාවේ විඳීම් තුළ බව සිහිනුවණින් තේරුම් ගැනීම, අපි අහිංසක ස්වභාව ධර්මයට කරන සාධාරණයක් වෙනවා. පින්වත, වර්තමානයේ ලෝක ජනතාවගේ පිනට, අපිට පෙනෙන්නට තිබෙන්නේ එක ඉරක් පමණක් මයි. පින්වත, ‘සප්ත සූර්යගමන සූත්‍රයේ’ දී, ඉරවල් හතක් පායන සත්ත්වයාගේ අකුසලය, සංස්කාර පාර්ලිමේන්තුවේ තුනෙන් තුනේ බලයක් ලබා ගන්නා දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, අපේම ලෝභ, ද්වේශ, මෝහයෝ තුළින් පරිසරගත වන ඉඩෝරය තුළින් ගැටෙන සිත් නොව අනාගත සංසාර බිය ම ඇති කොට ගන්න. ලෝකයට අයිති නියඟය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්න.


පින්වත, ඉපදීම දුකක්, පින්වත, මරණයත් දුකක්, පින්වත, ජීවත්වීමත් ඇත්තට ම දුකක්. පින්වත, මේ දුක් ගොඩ අපි සතුටින් ම නේද, ප්‍රාර්ථනා කරන්නේ? පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දුක සඟවන අපූරුව, ඔබ තුළින් ම ඔබ දකිනවා නේද? පින්වත, අවිද්‍යාවට හිරි ඔතප් දෙක නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයට කෙසේ නම් ලජ්ජාව සහ බිය ඇති වෙන්න ද? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය සංස්කාරයෝ කෙරෙහි නොසැලෙන තෘෂ්ණාව මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, භාවනාව උදෙසාත් තෘෂ්ණාව අවශ්‍යයි නේද?” කියලා. පින්වත, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා තෘෂ්ණාව ප්‍රයෝජනයට ගන්න වෙනවා. පින්වත, අනාගාමී උත්තමයා තුළත් කාම, රාග, පටිඝයෝ නිවුණ, අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, තෘෂ්ණාවේ ජවාධික ඇලීම් සහ ගැටීම් හේතුඵල ධර්මයෝ යටපත් කොට ගෙන මතු කොට ගන්නා වූ උපේක්‍ෂාව, තෘෂ්ණාවේ අණසක පංච නීවරණයන්ගෙන් ගලවා සප්ත බොජ්ඣංගයන්ට ලබා දෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක විකුණන පාතාල නායකයා තෘෂ්ණාව වුවද, සතර සතිපට්ඨාන ධර්මයෝ ඉදිරියේ තෘෂ්ණාව පැනලා දුවන්නේ අවිද්‍යාවත් අසරණ කරමින් මයි. පින්වත, අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාතාලය, අපිට භාවනාවේදීත් ඇලීම් සහ ගැටීම් මත්ද්‍රව්‍ය පොවන්නේ අවිද්‍යා ගිණුම්වලට සංස්කාර කළු සල්ලි ගොඩ ගසා ගැනීම උදෙසා මයි. පින්වත, අපේ භාවනාවේ ආස්වාදයෝ හරිම දක්‍ෂයි, භාවනාවෙන් උපදින සංස්කාර කළු සල්ලි, මිච්ඡා ඥාන දර්ශනයෝ සහ මිච්ඡා විමුක්තිය තුළින් සුදු කොට පෙන්වන්න. පින්වත, ඔබත් මිච්ඡා අධිගමයන් ලෝකයාට ප්‍රකාශ කොට, තෘෂ්ණාවේ පාතාලයට සංස්කාර කළු සල්ලි සුදු කොට දෙන, අවිද්‍යා පාතාලයේ සාමාජිකයෙක් දැයි සිහිනුවණින් සිතා බලන්න.


පින්වත, රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක වපුරන්න හෝ දුක විකුණන්න නොවේ. පින්වත, අපි පැවිදි වුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වෙන්නයි. පින්වත, පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් තුළින් දුකෙන් මිදෙන මාර්ගය අහිංසක ලෝකයාට කියලා දෙන්නයි. පින්වත, රජවරු යැයි කියන්නේ රටේ භාරකරුවෝයි. පින්වත, ජනතාව යැයි කියන්නේ රටේ අයිතිකරුවෝයි. පින්වත, මහා සංඝරත්නය යැයි කියන්නේ ඉහත දෙපාර්ශ්වයට ම ගුණයෙන් සහ ඥානයන්ගෙන් ඉදිරියෙන් සිට අනුශාසනා කරන්නෝයි. පින්වත, අධර්මයේ වැහි වලාවන්ගෙන් සමාජය මතට ඇද හැලෙන තෘෂ්ණාවේ අකල් වැසි ඉදිරියේ උතුම් සංඝ සමාජයේ නොසැලෙන ප්‍රතිපත්තිගරුකභාවය තෙමෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, සුපටිපන්න ආදි වූ ලෝකයේ උත්තම ගුණයන් හතරක් දරාගත්ත, ලෝකයේ උත්තම පුද්ගලයන් අටදෙනා ජීවත් වෙන්නේ උත්තරීතර සංඝ සමාජය තුළ පමණක් මයි. පින්වත, “මුදලට, බලයට සියල්ල යටත්” ය කියලා සමාජ මතයක් තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව එම මතය තරයේ ප්‍රතික්ෂේප කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ දරාගත්ත මහා සංඝ රත්නය ධනයට, බලයට සොලවන්නවත් බැහැ. පින්වත, එයයි මහා සංඝ රත්නයේ පරම්පරාගත ජාන හැඩරුව වෙන්නේ. එම උත්තරීතර ගුණයයි, සංඝ සමාජයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ.


පින්වත, මේ උදා වෙන්නේ පුණ්‍යවන්ත වස්සානයේ දෙවෙනි මාසයයි. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, උතුම් ධම්මානුපස්සනාව තව තවත් අර්ථවත් කරලා. පින්වත, වස්සානය අවිවේකයට ගොදුරක් කොට දෙන්න එපා. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකවල සංස්කාර කෙත්වතු ඵලබර වෙද්දී, ඇලීම් සහ ගැටීම් ආහාර සොයාගෙන අවිවේකී වෙන්න අපි හරිම කැමතියි. පින්වත, සුන්දර වස්සානයේ දී, කඨින චීවරයේ සිට කඨින පින්කම් දක්වා අවිවේකී කාලසටහනක් පැවිදි අපි ඉදිරියේ දිගහැරෙනවා නේද? පින්වත, ලෝකය යැයි කියන සඤ්ඤාව ගත්තොත්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෝ මේ සියල්ල ම තිබෙනවා. පින්වත, අපි කැමති, ලෝකය යැයි කියන සඤ්ඤාව ලෝකය හැටියට ම ගන්නයි. පින්වත, ඔබ කැමති ද, සුන්දර වස්සානය තුළින් කඨින චීවර, කඨින පින්කම් නොව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න? පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන ඵස්සය අසලින් ‘දැක්කා’, ‘ඇසුණා’, දැනුණා’ යැයි ඔබේ තෘෂ්ණාවේ ලෝකයට තාවකාලිකව සමුදෙන්න. පින්වත, තාවකාලිකව නිවුණ ඵස්සය තුළින් ඔබ දකින්නේ උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේව මයි. පින්වත, ලෝකය විනිවිද ධර්මය දකින්න. පින්වත, පුණ්‍යවන්ත වස්සානයකට මීට වඩා කිනම් වටිනාකමක් දෙන්න ද? පින්වත, මේ රාත්‍රිය වස්සානය යැයි කියන නමටත් ඔච්චම් කරන, හරිම උෂ්ණාධික රාත්‍රියක්. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකයේ හැඩරුව වෙනස් වෙනවා. පින්වත, එම වෙනස් වීම දකින්න පංච නීවරණයෝ යටපත් වෙන්න ම ඕනේ. පින්වත, සැබෑම වස්සානය වෙන්නේ, වස්සානය තුළින් වස්සානය දැකීම නොවේ, වස්සානය තුළින් ‘වස්සානයේ නිරෝධය’ දැකීමයි.