Tuesday, September 18, 2012

මෙවැනි පවිටන්ට රැවටෙන්න නම් එපා!

අපි මේ සමාජය වෙනුවෙන් හැකි සෑම අයුරකින්ම යුතුකම් ඉටුකරන්නෙමු. ඒ 'දිවයින' ජන්ම පුරුද්දයි. අපි ජනතාවගේ හෘද සාක්‍ෂිය බවට පත්වුනෙමු. ඒ හෘද සාක්‍ෂියේ හඬ බවට පත්වුනෙමු. මෝහයද මුලාවද කැටිවූ බොලඳ දෑ වැලඳගන්නා මිනිසුන් වෙනුවෙන් ඉල්ලුමට සැපයුමක්‌ දීමේ 'මාකටිං' පත්තර කලාව වෙනුවට අපි ඒ අහිංසකයන් වෙත ප්‍රඥාවේ ආලෝකය එල්ල කළෙමු. කවදත් යථාර්ථය සෙවීම උදෙසා 'දිවයින' විශ්වාස කළ ප්‍රඥාවන්තයන්ව උතුම් ආධ්‍යාත්මික අවබෝධයක්‌ කරා රැගෙන ගියෙමු. ඒ කාර්යය ඉටුකිරීමෙහිලා 'මහරහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාව කෙතරම් දායකත්වයක්‌ සැපයුවේද යන්න අප විසින් වචන වලින් කිවයුතු නැති නමුත් පාඨක ඔබ එය හොඳාකාරවම දන්නවා ඇතැයි සිතමු. අද මේ පුණ්‍ය භූමියේ පමණක්‌ නොව සමස්‌ත සංඝ ශාසනයේම සිටින සරළම දිවි පෙවෙතකින් යුත් සබෑම බුද්ධ පුත්‍රයකු විසින් ලෝකය පිළිබඳව සැබෑම අනුකම්පාවෙන් තැබූ සටහන් පෙළක්‌ 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලෙසින් ඉරිදා දිවයින 'නිම්නය 2' අතිරේකය හරහා ඔබට ගෙනඒමට අපට හැකිවිය.

හසුවීම‍ට පෙර කුරුණෑගලදී
හසුවීමෙන් පසු
එම ලිපි මාලාව ඇරඹීමේදී දැඩි විවේචන ඉවසාගන්නට අපට සිදුවේ යෑයි අපි සිතුවෙමු. එහෙත් එවැන්නක්‌ සිදු වූයේ නැතිම තරම්ය. කිසිදු සාධනීය විවේචනයක්‌ එල්ල නොවීය. ඒ වෙනුවට පැසසුම්, දිරිදීම්, පිං දීම් නොතිත්ව ලැබිණි. ඒවාද අටලෝ දහමෙහි කොටසක්‌ ලෙසින් සිතා අපි 'අඬබෙර' වලින් තොරව ධර්ම දානය පමණක්‌ අරමුණුකර ඒ ලිපි මාලාව ඉදිරියට රැගෙන ගියෙමු. මෙය මෑත යුගයේ වැඩිම පිරිසක්‌ වැළඳගත් ධර්ම ලිපි සංග්‍රහය බවට පත්වූ අතර ඒ සමගම මේ සා ප්‍රායෝගිකව, මේ සා සරළව ධර්මයේ සියලුතැන් පිළිබඳ කථාකරනා ඒ ස්‌වාමීන්වහන්සේ කව්රුන්දැයි බොහෝ දෙනා විමසන්නට වූහ. එහෙත් ඉතාම සාධාරණ උත්තරීතර අරමුණක්‌ හේතුකරගනිමින් මේ ලිපි මාලාව සපයන ස්‌වාමීන්වහන්සේ කව්රුන්ද යන්න අපි කිසිවිටෙකත් හෙළි නොකළෙමු (එයට හේතුව මේ ලිපිය අවසානයේ දක්‌වන්නෙමු)

මේ අතර 'මහරහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාවේ පළමු ලිපි එකතුව පොතක්‌ ලෙස 'අතහැරීම 1' නමින් සමාජයට මුදාහැරියෙමු. එහි පිටපත් 15,000 ක්‌ මාස 4 කටද අඩු කලකදී මේ දහමින් පෝෂණය වූ මිනිස්‌න්ට දායාද විය. අප එම පොත ලබාදුන්නේ ඉතා අවම මිලකට,අවම ලාභයකට වුවද ඉන් ලද ආදායමෙන් (කළුතර සදහම් විජය පදනම හරහා) කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට කුටියක්‌ ඉදිවිය. දැන් එහි තවත් කුටියක්‌ ඉදිවීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල සූදානම්ය. තවත් ආරණ්‍යයකට රුපියල් ලක්‍ෂයකට වැඩි වියදමක්‌ දරා විදුලි බලය ලබාදුන්නෙමු. අම්පාරේ පිහිටි තවත් එක්‌ ඓතිහාසික ආරණ්‍යයක කුටියක්‌ මේ වන විට 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ - අතහැරීම 1' පොත මිලට ගත් ඔබ දුන් වියදමෙන් ඉදිවෙමින් පවතී. තවත් පුණ්‍ය කටයුතු කිහිපයක්‌ද සිදුවිය. සියල්ල මේ අයුරින් අපූරුවට සිදුවෙමින් පැවතුනි. මේ අතර මා හට එක්‌තරා ආරණ්‍යවාසී ස්‌වාමීන් වහන්සේ නමක්‌ හමුවී මෙසේ පැවසීය.

'මහත්තයෝ, 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාව ලියන හාමුදුරුදුවෝ මමය කියලා, චීවරයක්‌ දරාගත්තු කෙනෙක්‌ තැන් තැන්වල සල්ලි එකතුකරලා තියෙනවා. දඹදිව යන්න කියලයි මේ මනුස්‌සයා සල්ලි එකතුකරලා තියෙන්නේ. සමහර කෙනෙක්‌ 'අනේ ඔබ වහන්සේ මේ වෙනුවෙන් තැනින් තැනට යන්න එපා' කියලා සම්පූර්ණ මුදලම දුන්නා කියලත් ආරංචියි. මෙහෙම සල්ලි එකතුකරපු කෙනාගේ අතේ ඇඟිලිවල සුදුපාට ලප වගේ තියෙනවා කියලයි කියපු කෙනා මට කීවේ'

කුමක්‌ හෝ අවැඩක්‌ සිදුවෙමින් පවතින බව මට හැඟී ගියේය. කිසි විටෙකත් මුදල් පාවිච්චි නොකරන, කිසි විටෙකත් තැන් තැන් වල යමින් 'ඉරිදා දිවයින මහ රහතුන් වැඩි මග ඔස්‌සේ ලිපි මාලාව සපයන හාමුදුරුවෝ තමයි මම' කියා නොකියන උන්වහන්සේ පිළිබඳව සමාජය තුළ ගොඩනැගී ඇති වටිනාකම, මුදල් ජාවාරමක්‌ බවට පත්කරගත් වංචනිකයෙකු සිටින බව දැනෙන්නට විය.

'ඒත් මේ ලිපිමාලාව අවබෝධයෙන් කියවපු කෙනෙක්‌ නම් ස්‌වාමීන්වහන්සේගේ ප්‍රතිපදාව අවබෝධකරගන්නවා. එහෙම කෙනෙක්‌ නම් මේ වගේ වංචනිකයෙකුට හසුවෙන්නේ නැහැ' යෑයි මම ඒ පණිවුඩය මට දුන් ස්‌වාමීන්වහන්සේට පැවසීය.

මේ අතරවාරයේ පසුගිය දිනෙක අපට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ' මම කථාකරන්නේ රාජගිරියේ වික්‌ටොරියා නිවාසෙන්. මහත්තයා පත්තරේට ලියන 'මහරහතුන් වැඩි මග ඔසසේ' ලිපි මාලාවට කරුණු දෙන හාමුදුරුවො අද මෙහේ වැඩියා'

මම වැඩි විස්‌තර විමසීමි. දැන් කාරණාව පැහැදිලිය. වැඩේ 'ජයටම' යයි.

'ඔය කියන විස්‌තර වලට අනුව කීයටවත් ඔය ඇත්ත හාමුදුරුවො වෙන්න බැහැ. අනිවර්යයෙන්ම හොරෙක්‌. ආයෙ ආවොත් මට දැනුම් දෙන්න'

මේ සිදුවන්නේ මොන අවැඩක්‌ද? ඔබේ පුණ්‍ය මහිමයෙන් ලෙසින් මේ ලිපි මාලාව සතිපතා ඉතා පහසුවෙන් ඔබ අතට පත්වේ. එහෙත් මේ ලිපි මාලාව ලැබීම පිණිස අප කළ කැපකීරීම්, අප විඳි වෙහෙස දන්නේ අපම පමණි.

එදා මාගේ ඉංග්‍රීසි භාෂා ගුරුතුමන්වූ කළුතර පදිංචි වසන්ත කුමාරගේ මහතා සහ මා ඇතුළු ගෝල පිරිස එකතුව 'සදහම් විජය පදනම' නම් සංවිධානය පිහිටුවාගත්තේ එතෙක්‌ අප ගුරුතුමන් තනිව කරගෙන ආ ශාසනික සහ සමාජීය සත්කාරයට අපේද, රටේද දායකත්වය වඩාත් සංවිධානශීලීව සහ ශක්‌තිමත්ව ලබාදීමේ අරමුණ ඇතිවය. සංඝරත්නය උදෙසා සිව්පසය සැපයීම අප ප්‍රධාන කාර්යය විය. එදවස ගෝලයන් වන අපට හිතේ සවිය තිබුණද ආර්ථික සවියක්‌ නොවීය. වසන්ත ගුරුතුමා උගුර ලේ රහවනතුරු කෑගසා උපකාරක පංති පවත්වා උපයාගත් මුදලින් බහුතරය මේ කාර්යයන් වෙනුවෙන් යෙදූ අතර අපි අපට හැකි අයුරින් ශ්‍රමයෙන් දායක වීමු. මෙසේ අඛණ්‌ඩව සිදුවූ ශාසනික සත්කාරයන් අතර එකක්‌ ලෙස අපි දකුණුලක පිහිටි එදා රහතුන් වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක දානශාලාවක්‌ ඉදිකරදීමේ කාර්යයට අතගැසුවෙමු. ඒ වෙනුවෙන් මුදලක්‌ සැපයීමට හැකියාවක්‌ නොවූ මා එහි ගියේ බාසුන්නැහේට අත්වැඩ දීම පිණිසය. එදා ගිනිගහන අව්වේ, බොන්නට හරිහැටි වතුරපොදක්‌වත් නොමැතිව අපි දිනගණක්‌ වෙහෙසෙමින් එහි රැඳී සිටියෙමු. උන්වහන්සේ මට පළමුවෙන් හමුවන්නේ එහිදීය. උන්වහන්සේද, එහි වැඩසිටි උන්වහන්සේගේ සහෝදර ස්‌වාමීන්වහන්සේලා කිහිපනමක්‌ද දුටු මා තුළ මේ පැවිදි උතුමන්ගේ හැසිරීම, වදාළ දහම්කරුණු සහ අවබෝධය සම්බන්ධයෙන් මහත් පැහැදීමක්‌ ඇතිවිය. එතැන් පටන් උන්වහන්සේලා අතනොහැර උන්වහන්සේලා වැඩසිටි සෑමතැනකම පාහේ පිටුපසින් වැටී සිටියෙමි. 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපිමාලාවට අදාළ සටහන් රැගත් අතින් ලියූ මොනිටර් එක්‌සයිස්‌ පොත් කිහිපය මා අතට පත්වනුයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසය.

ඒ හේතුවෙන් මා ද, සදහම් විජය පදනමේ අප ද, 'දිවයින' ද මහත්වූ ධර්මදානමය පිනක්‌ සඳහා අවස්‌ථාව සලසාගත්තේය. එහෙත් ඒ උදෙසා සදහම් විජය පදනමේ අප සාමාජිකයන් හෙළු  දහඩිය ගැලුම් ගණනකි. මේ කාර්යන්හිදී තුවාල ලබා ගලාගිය රුධිර ධාරා බොහෝය. අව්වැස්‌සෙන් වැස්‌සෙන් විඳි පීඩාව අපමණකි. අලි, කොටි, වලසුන්, සර්පයන්ගෙන් විඳි අවදානම අපමණකි. අදටද ඒවා එසේය. ඔබ මෙය කියවන මොහොත වන විටද අප සාමාජිකයෝ ලෙහෙසියෙන් කෙනෙකු ළඟා නොවන ඈත දුෂ්කර ආරණ්‍යයන්හි උතුම් සංඝ ප්‍රතිපදාවට සිව්පසය සැපයීම උදෙසා වෙහෙසෙති. අප එසේ නොකරන්නට ඔබට මේ සා පහසුවෙන් මෙවැනි වටිනා ධර්මයක්‌ කියවීමට අවස්‌ථාව නොලැබේ. එහෙත් එවන් වූ කැපවීමක්‌ කර ඔබ වෙනුවෙන්, අප ලබාගත් ඒ දෙය මැදට වංචනිකයෙක්‌ පැන මුදල් ගරමින් සිටියි.

'මේ කෙනා 'රක්‌වානේ ධම්මවංශ' කියලයි නම කියන්නේ. ශ්‍රීපාදේ වර්ණගල වැඩ ඉන්නවා කියලා කියනවා' යෑයි වික්‌ටොරියා නිවාසයෙන් මා ඇමතූ තැනැත්තිය වැඩි විස්‌තර ලබාදුන්නාය.

ශ්‍රීපාද අඩවියේ අතිදුෂ්කර පෙදෙස්‌හි වැඩ වසන ස්‌වාමීන්වහන්සේලාට දාන සම්බන්ධීකරණයක්‌ද 'සදහම් විජය පදනමේ' අප හරහා සිදුවෙයි. එබැවින් ඒ පෙදෙසිහි තොරතුරු අපි දනිමු. එම සම්බන්ධතා හරහා සැණින් ක්‍රියාත්මකවූ අප එවැනි නමින් ස්‌වාමීන්වහන්සේනමක්‌ එහි වැඩ සිටිනවාදැයි සොයාබැලුවෙමු. එහෙත් එවැන්නෙක්‌ එහි නොවන බව අපට ප්‍රත්‍යක්‍ෂ විය.

දැන් අපට කාරණාව හොඳින් වැටහේ. මේ පුද්ගලයා තමන් ශ්‍රී පාද අඩවියේ වැඩවසන ස්‌වාමීන්වහන්සේ නමක්‌ ලෙසින් හඳුන්වාගනුයේ වැඩි ගෞරවයක්‌ ලබාගනු පිණිසය. කරන්නේ අමූලිකම බොරුවකි. මම වහාම වික්‌ටෝරියා නිවාසයෙන් අපට තොරතුර දුන් ඇය අමතා මේ නොම්මර එකේ වංචනිකයෙක්‌ බව කරුණු කාරණා සහිතව වටහා දුන්නෙමි. එය අසා ඇය කියූ දේ මා හද කම්පා කළේය.

'මහත්තයො. අපි ආබාධිත අය. අපි එකතැන්වෙලා හිටියත් මැහුමක්‌, ගෙතුමක්‌ කරගෙන හම්බකරගන්න කීය හරි මේ විදිහට බොරු කරලා එකතුකරගෙන යන එක මොන පවක්‌ද. අපට මේ කෙනාගේ හැසිරීමෙන් සැක හිතුනා මහත්තයෝ. ඒ ලියන හාමුදුරුවෝ අපි දැකලා නැතිවුණත් ඒ ගුණය අපට දැනිලා තිබුණා. මේ නම් ඒ හාමුදුරුවෝ නෙවෙයි කියලා හිතුනු නිසයි අපිට කථා කරලා කියන්න හිතුනේ '

අප අවංකවම කරගෙන යන මේ කාර්යය යොදාගනිමින් යමෙක්‌ වංක ලෙස ජීවත්වේ නම් ධර්මයේ ආශ්චර්යය පෙන්වමින්ම එය අනිවාර්යෙන්ම අපට හෙළිවනු ඇතැයි මට සිතුනි. මේ අයුරින් තවත් සතියක්‌ දෙකක්‌ ගෙවී ගියේය.

මට තවත් දුරකථන ඇමතුමක්‌ ලැබුණි. ඉන් කියවුනේ මහරගම ප්‍රදේශයේ නිවසකට ගිය මේ චීවරධාරියා මහ රහතුන් වැඩි මග ඔස්‌සේ ලිපියට කරුණු දෙන්නේ තමන් බවත් මේ වන විට එහි පළමු ලිපි මාලාව එකතුකර නිකුත් කරන ලද 'අතහැරීම 1' පොත ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමේ අයිතිය ලබාදීමට එම නිවසේ සිටින අයෙකුට ලබාදීමට හැකි බවත් පවසා ඇතැයි කියාය.

මේ චෞරයා අපගේ ධර්ම දානයේ සියලු ඵල විකුණාගෙන කෑමට අරඅඳින සෙයකි.

මොහු මාර්ගඵල ලාභියෙකු ලෙසින් තමන්ව හඳුන්වාගන්නා බවද මේ අතර අපට සැලවිය. මේ සා සොරකමක යෙදෙන මේ පුද්ගලයා කිසිසේත් මාර්ගඵල ලාභියකුවන්නේ කෙසේද? මොහු කිසිවිටෙකත් භික්‍ෂුවක්‌ විය නොහැක්‌කේය. භික්‍ෂුවක්‌ වුවද නැති මාර්ගඵලයක්‌ ගැන ප්‍රකාශකළ සැණින් ඔහු පාරාජිකාවන්නේය.

මේ අතර අපට කුරුණෑගල ප්‍රදේශයෙන් ඇමතුමක්‌ ලැබිණි. එහි කියවුණේද 'රක්‌වානේ ධම්මවංශ' නමින් සිටින අයෙකු මේ ලිපි මාලාවේ අයිතිකරු බව කියමින් තැනින් තැනට ගොස්‌ මුදල් ගරන බවයි. දැන් පියවරක්‌ ගැනීමට කාලය පැමිණ තිබේ. අපි උපක්‍රමශීලී වීමු.

මම මහා ධනකුවේරයකු ලෙස පෙනී සිටිමින්, මුදලින් අන්ධවූ මේ වංචනිකයා හමුවීමි. ඔහුගේ අතේ ඇඟිලි වල සුදු පුල්ලි වැනි ලප විය. මේ නම් දඹදිව යැමට කියා මුදල් වංචාකළ ඒ චෞරයාම වන්නේ යෑයි මට තහවුරු විය. තුන්පැත්තකින් කැමරා ඔහු වෙත එල්ලව ඇති බව ඔහු නොදත්තේය. හඬ පටිගතකරන යන්ත්‍රයකින් ඔහු දෙසාබානා 'කෙබර' හෙවත් වංචාවේ වචන පටිගතවන බව ඔහු නොදත්තේය. තවත් අයෙකු මුලාකර සල්ලි කුට්‌ටියක්‌ ගැනීමේ අරමුණ පමණි ඔහුට ඇත්තේ.

'මම අවුරුදු 17ක්‌ ............... පැත්තේ ඇමරිකන් ජාතික.............. හාමුදුරුවොත් එක්‌ක එකට වැඩ සිටියා (මොහු පවසන්නේ මෙරට උතුම්ම බුදුපුතුන් වහන්සේලා පිරිසක්‌ වැඩසිටින ප්‍රදේශයක, මේ වන විට අපවත්ව සිටින විදේශික භික්‍ෂුවක්‌ සමග එකට සිටියාය කියායි) එතැනදි තමයි මට ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්තයව හම්බවෙලා මම අවුරුදු 17ක භික්‍ෂු ජීවතයේ ලැබූ අත්දැකීම් ඇසුරින් සටහන් කරපු පොත් ටික ඒ මහත්තයට දුන්නේ'

මේ චෞරයා මා ඉදිරියේ සිටිමින් මා ගැන මටම පවසයි. එපමණක්‌ නොව ඉන්ද්‍රජිත් සුබසිංහ යනු මා යෑයි කිසිසේත් නොසිතූ ඔහු මා ද මාර්ගඵල ලාභියෙකු, ධ්‍යාන ලාභියකු ලෙසින්ද හඳුන්වයි. මේ පව්කාරයා අර උතුම් ස්‌වාමීන්වහන්සේව, 'ඉරිදා දිවයින' පමණක්‌ නොව මේ මාවද විකුණාගෙන කන අයුරු දැන් මට මගේ ඇස්‌පනාපිටම පෙනෙයි. ඇසෙයි.

හැරත් ඔහු සිටියායෑයි පවසන එම පෙදෙස සහ එහි වැඩ සිටි ස්‌වාමීන්වහන්සේලා ගැන අපි හොඳින්ම දනිමු. ඒ පිංවත් විදේශික භික්‍ෂුව සිටි මොහු පවසන එම ස්‌ථානයේ පැවැති කුටිය ගරාවැටී තිබූ බැවින්, 'සදහම් විජය පදනමේ' අපි එකතු වී එතැන නව කුටියක්‌ද තනා ඇත්තෙමු. එහෙත් එම ස්‌ථානය ගැන හාංකවිස්‌සියක්‌ නොදන්නා අන්දමින් ඒ පෙදෙස ගැන තව තවත් විස්‌තර විමසීමි. එවිට මොහු ඇදබාන්නේ ගජබින්නයක්‌ බව මට මැනවින් සනාථ විය.

ඔහු පවසන සියල්ල 'රෙකෝඩරයේ' සටහන් කරගැනීම සහ මොහුගේ ජායාරූප ලබාගැනීමද, මොහු කරන වංචාව පිළිබඳ ඇසින් දුටු 'සාක්‍ෂි' පිණිස කිහිපදෙනෙකු යෙදවීමද අවසානයේ මම නැවතත් මොහුව කොළඹට කැඳවීමට අපූරු උපක්‍රමයක්‌ යොදා ආපසු හැරී පැමිණියෙමි.

මා ධන කුවේරයකු ලෙසින්ද, එම ධනකුවේරයාගේ පියා සිය මරණයට ප්‍රථම ශිල්වත් භික්‍ෂුවක්‌ උදෙසා පිරිනැමීමට යෑයි රැස්‌කළ විශාල මුදලක්‌ පිළිගැනීමට සුදුස්‌සා බවට තමා පත්ව ඇතැයි යන ගිජුකමින්ද අන්ධ වූ මෙම චෞරයා ඉකුත් දිනක කොළඹට පැමිණියේය.

දෛවෝපගත ලෙසින් ඔහු එම හමුවට යොදාගත්තේද රාජගිරිය වික්‌ටෝරියා නිවාසයයි. තමන්ගේ ජීවිකාව බවට පත්ව ඇති 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ' ලිපි මාලාව සහ 'අතහැරීම 1' පොත පාඨකයා වෙනුවෙන් ඉදිරිපත් කළ තැනැත්තා මා යෑයි මොහු හාන්කවිස්‌සියක්‌ නොදන්නේය. සැබැවින්ම එදා ඒ ලිපි මාලාව 'ඉරිදා දිවයින'ට ගෙන ඒමේදී මේ සඳහා 'ඉදිරිපත් කරන්නා' ලෙස හෝ මගේ නම යෙදීම මොන තරම් සුදුසුදැයි මම දහස්‌වරක්‌ කල්පනා කළෙමි. එහෙත් අවසානයේ හේතු දෙකක්‌ මත ඒ සඳහා මගේ නම යෙදීමට තීරණය කළෙමි. පළමුවැන්න නම් ඒ පිළිබඳ වගකීම ගැනීමය. දෙවැන්න නම් අනාගතයේ දිනක මේ ධර්ම කරුණු ගැලපුම තමාගේ එකකැයි වංචනික අවස්‌ථාවදියකු ඉදිරිපත්වීමට ඉඩ ඇති බව හැඟී යැමය. එවැන්නක්‌ සිදුවීම වැලැක්‌වීමට නම් මේ ලිපි සම්බන්ධයෙන් වගකිවයුත්තෙක්‌ සිටිය යුතුමය. එදා එලෙස අනාගත අවදානමක්‌ දැක ගැනීමට හැකිවීමේ වටිනාකම දැන් මට හොඳින් දැනෙයි.

දිනය එළඹුණි. මට ඇමැතුමක්‌ ලැබිණි.

'නාලක මහත්තයද මේ කථා කරන්නේ' (නාලක යනු මේ චෞරයාව අල්ලා ගැනීමේ ප්‍රයෝගයේදී මා භාවිත කළ නමයි)

එම දුරකථන ඇමතුමට අනුව මොහු යළිත් වරක්‌ අප පළකරන ලිපි මාලාව විකුණා අහිංසක පිංවතුන් යුවළක්‌ සිටින නිවසක රැය පහන්කිරීමට අවස්‌ථාව සලසාගෙන ඇති සෙයකි. ඔවුනට මේ වංචනිකයා මගේ දුරකථන අංකය දී ඇත්තේ තමන් පැමිණෙන බව ස්‌ථිර කීරීමටය.

මම කල්තියා ක්‍රියාත්මක වීමි. මේ මුදල් වංචාකරු පිළිබඳව පොලිසි වෙත දැනුම්දුන්නෙමි. රටේ නීතියට අනුව මා ක්‍රියා කළ යුතුය. එය එසේ කිරීම ධර්මයට මොන තරම් ගැළපේ දැයි එයට ප්‍රථම මහා සංඝරත්නයෙන් උපදෙස්‌ ලබාගත්තෙමි. මොහු කිසිසේත් පැවිද්දකු ලෙසින් නොසිතන ලෙසත්, ධර්මයට මුවාවී අහිංසක පිංවතුන්ගේ මුදල් ගරගන්නා වංචනකිකයෙකු, අපරාධකරුවකු ලෙසින් පමණක්‌ සිතා ඉදිරි පියවර ගන්නා මෙන් එහිදී මට උපදෙස්‌ ලැබිණි. ඒ අනුවය මා නීතිය වෙත යොමුවූයේ.

කියූ වේලාවට මොහු රාජගිරිය වික්‌ටෝරියා නිවාසයට පැමිණෙන විට මොහුව හසුකරගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු වටපිටාව සැකසී තිබුණි. එහෙත් එකවර එසේ නොකර මා තවදුරටත් ප්‍රයෝගයක්‌ යොදමින් (පොලිසියේද සහය සහිතව) මේ චීවරධාරියාව වික්‌ටෝරියා නිවාසය අසළ පිහිටි රාජගිරිය-/ වැලිකඩ පොලිසියට රැගෙන ගියෙමි. තමන් මේ යන්නේ දැල තුළට බව හාංකවිස්‌සියක්‌ නොදැනෙන පරිදි එය සිදුකිරීමට මම වගබලාගතිමි.

අවසන රාජගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් ඉදිරියේද 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාව සඳහා ඉන්ද්‍රජිත් සුබසිංහට කරුණු සපයන ස්‌වාමීන්වහන්සේ තමන් යෑයි කීමට මොහු පෙළඹුනි.

තවත් මොන සාක්‍ෂිද? මුදල් කුට්‌ටියක්‌ අත ගාව ගැවසෙන්නේ යෑයි හැඟීමෙන් තමන් අවට වන කිසිවක්‌ හඳුනාගත නොහැකි තරමට මුලාවී ඇති මේ චෞරයා අප උපායට සහමුළින්ම හසුවිය.

එහෙත් පසුව එම පොලිස්‌ ස්‌ථානාධිපතිරයා සහ මම දීර්ඝ සාකච්ජාවක යෙදී තීරණයක්‌ ගත්තෙමු. ඒ ධර්මයේ නාමයෙන් පළමු වතාවට (පමණක්‌) මොහුට සමාව දෙමුය යන්නය. නමුත් එයට ප්‍රථම මේ පාපතරයාගේ වංචාවේ සළුව සමාජය ඉදිරියේ නිරුවත් කර නැවත චීවරයට මුවාවී මෙවැනි පව්කාරකම් නොකරන තැනට පත්කළ යුතුය යන තීරණයට අපි පැමිණියෙමු.

ඒ වන විට ස්‌ථානාධිපතිවරයාගේ කාමාරයෙන් පිටත සිට මේ චෞරයා කාමරය ඇතුළත අපේ කථාව පිළිබඳ කිසිවක්‌ නොදත් බැවින් තමන්ගේ සොරකමට කිසිදු අවදානමක්‌ නැතිය යන හැඟීමෙන්මය පසුවූයේ.

පසුව අප නැවතත් මොහුව උපක්‍රමශීලීව වික්‌ටොරියා නිවාසයට කැඳවූයෙමු. එහි සිටි පිරිස අප සිටි තැනට රැස්‌වූයේ මොහුගේ නාටකයේ ඉදිරි ජවනිකා පෙළ කුමක්‌වේද යන හැඟීමෙන් විය යුතුය. එහෙත් තමන් හසුව ඇති බවට කිසිදු හැඟීමක්‌ නොවූ මේ චීවරය දරාගත් වංචනිකයා ඒ වන විටද සිතුවේ අප සියලුදෙනා ඔහුට හසුව ඇති බවය. ඔහු නැවතත් 'ඉරිදා දිවයින' පුවත්පතේ ඉන්ද්‍රජිත් සුබසිංහට අදාළ ලිපිය සඳහා කරුණු දෙන්නේ තමන් බවට බේගල් ඇදබාන්නට විය.

මම ක්‍රියාත්මක වීමි.

'ඔබවහන්සේට සිංහල කියවන්න පුළුවන්ද?' මම මොහුගේ වංචාවේ සළුව සමාජය ඉදිරියේ ගලවා දැමීමේ අවසන් පියවර ක්‍රියාත්මක කරන්නට සැරසෙන වග ඔහුට කිසිසේත් නොහැඟුණි.

'පුළුවන් මහත්තයෝ. ඇයි...?'

'එහෙනම් මේක කියවන්නකො'

මම මගේ හැඳුණුම්පත ඔහු අතට දුන්නෙමි.

චෞරයා 'හොල්මන්' විය. තමන් බෙල්ල මුළටම හසුව ඇති බව ඔහුට වැටහුණි. මොහොතකට පෙර පොලිස්‌ නිලධාරීන් ඉදිරියේද තමන් වංචා කළ බැවින් දැන් කිසිදු ගැලවීමක්‌ නැතැයි ඔහු සිතුවේය.

'අනේ මහත්තයෝ මම වඳින්නම්. මට ගහන්වත්, මාව පොලිසියට අල්ලලා දෙන්නවත් එපා. මම සේරම කියන්නම්'

ඔහුට පහරදීමේ කිසිදු අවශ්‍යතාවක්‌ මට නොතිබුණි. පොලිසියට අල්ලා දෙනු වෙනුවට පළමු වරට සමාව දීමටද මා ඒ වන විට තීරණය කර තිබුණි. එහෙත් චීවරයක්‌ දරමින් සිටින මොහු මට වඳින්නට සැරසීම මොන නින්දිත වැඩක්‌ද?

තමාගේ පැවැත්ම උදෙසා ඕනෑම වංචාවක්‌ හෝ ඕනෑම හැසිරීමකට මේ පව්කාරයා සූදානම් බව මට මැනවින් වැටහුණි.

වෙනත් හිංසාවක්‌ හෝ නීතිය ඉදිරියට පැමිණවීමක්‌ නොකරන බවට වූ මා සහතිකයෙන් පැවසූ විට මොහු කළ පව් වමාරන්නට ගත්තේ සැවොම ඉදිරියේය.

ඒ ප්‍රකාශිත දෙයට අනුව මේ කිසිසේත් පැවිද්දක්‌ නොදරන ලද අමුම අමු ගිහි පවිටෙකි. එබැවින් භික්‍ෂු හැඳුනුම්පතක්‌ වෙනුවට ගිහි හැඳුනුම්පතක්‌ හංගාගෙන සිටින මේ පාපතරයා තම ජීවිකාව බවට තුන් සිව්ර සහ පාත්‍රයද, වෘත්තියේ පැවැත්ම සහ ලාභය පිණිස 'මහරහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාවද යොදාගෙන තිබේ. කර්මය සහ කර්මඵලය පිළිබඳ කිසිදු හැඟීමක්‌ නැතිද, (එම ලිපි මාලාවෙන්ද උපුටාගෙන) ධර්ම කරුණු ගලපා කීමට හැකියාවක්‌ තිබූ බැවින් මොහු එතෙක්‌ රැකුණි.

මේ වංචාකාරයා සිය පාපොච්ජාරණය කරන අතරේ එහි සිටි අයෙක්‌ මොහුගේ ගමන් මල්ල රැගෙන එය පිරික්‌සන්නට සූදානම් විය. මේ චෞරයා බෑගය ලබාදීම ප්‍රතික්‍ෂේප කළද ඒ තරුණ මහතා බලෙන් මෙන් එය රැගෙන පිරික්‌සුවේය. එහිදී පළමුව හමුවූයේ ජීව දත්ත (බයෝ ඩේටා) කිහිපයකි. ඒවා දුම්රියේ තිබී අහුලාගත් බව මේ පවිටා පැවසුවද ඒ ජීවදත්ත පතේ අඩංගුව තිබූ අංක වලට කථාකර විමසූ විට ඒ පිරිස්‌ පැවසුවේ පැවැදි වේශයෙන් පැමිණි මේ පුදගලයා තමන් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ හිතවතෙකු බව පවසා රැකියා ලබාදීමට හැකියාව ඇතැයි ඉතා දුප්පත් මිනිසුන්ගෙන්ද මුදල් කඩාගෙන ඇති බවය.

හද කකියවන දර්ශනය දුටුවේ ඉන් ඉක්‌බිතිවය. ඒ චීවරයක්‌ දරාගෙන සිටි මේ පුද්ගලයාගේ බෑගයේ හොර සාක්‌කුවක දමා තිබූ මත්පන් 'කාලේ බොතලයක්‌' එළියට ඒමයි. එහි සිටි සියල්ලන්ටම 'අනේ අපොයි'

කව්රුන් මෙතෙක්‌ ඉවසුවද මේ මත්පැන් බෝතලය හමුවූ සැනින් සියල්ලන්ගේ ඉවසීමේ සීමා පනිනු ඇතැයි සිතූ මේ පව්කාරයා නැවත වැඳවැටෙන්නට හැදුවේ අසරණ කමට නොව ගුටිමුරයකින් බේරීමේ ප්‍රයෝගයක්‌ හැටියට විය යුතුය. එහෙත් එහි සිටි සියල්ලෝ පමණද ඉක්‌මවා සමාවදෙන්නෝ වූහ.

'මම මහත්තයෝ සිව්ර ගලවලා, ගමට ගිහින් පුරුදු විදිහට ජීවත්වෙනනම්. ආයෙ නම් කොහොමටවත් මේ වැරැද්ද කරන්නේ නැහැ. අනේ මහත්තයෝ පොලිසියට අල්ලලා දෙන්නේ නැතිව මට යන්න දෙන්න' යෑයි ඔහු බැගෑපත් විය.

'හොඳයි, මේ වතාවට සමාව දෙන්නම්. ඒත් හොඳට මතක තියාගන්න. මේ විදිහේ වංචාවක්‌ කරලා තමන් ඕනිනම් තව අවුරුදු 40 ක්‌ උපරිමය ජීවත්වෙන්න දේවල් හොයාගනීවී.ඒත් මේ පව ගෙවන්න තව කල්ප කීයක්‌ අපායේ ගෙවන්න වෙයිද? බොරුව කරලා දවසක්‌ ජීවත්වෙන එක නෙමෙයි, ආත්ම ගණනක්‌ ඒ වෙනුවෙන් විඳවන්න වෙන එක ගැන හිතන්න. දැන්වත් මේ පව් වැඩ නතර කරන්න. හැබැයි ආයෙත් මේ වැඩ කරල අහුවුනොත් මෙලොව වශයෙනුත් සෑහෙන විඳවන්න වෙයි'

දැන් මොහුගේ ගිහි නම සහ ලිපිනය අප සතුව තිබෙන්නේ වුවද මේ පව්කාරකම් වලින් මිදී ගිහියෙක්‌ ලෙස 'පාඩුවේ' ජීවත්වීමට අවස්‌ථාව සලසාදෙමින් ඒ කිසිවක්‌ මේ මොහොතේ හෙළි නොකරමු. (නමුත් තවදුරටත් ඔහු මේ වංචනික රංගනයේ යෙදේනම් නම් ගම් පිටින් සියල්ල හෙළිකිරීමට අප සූදානම්ය) එහෙත් චීවරයක්‌ දරාගත් මෙම ගිහියාට තවදුරටත් භික්‍ෂුවක්‌ ලෙස පෙනීසිටීමට අවස්‌ථාව නොදෙනු පිණිස මොහුගේ ජායාරූප පමණක්‌ (දැනට) පළකරමු.

මේ ලෝකය මොනතරම් වංචනිකයන්ගේ ග්‍රහණයට හසුව ඇත්ද? එසේ තිබියදී මාරයාගේ වංචාවෙන් මිදෙන්නට හෙවත් මේ වංචනික ලෝකයෙන් සදහටම මිදීයැමේ මග හෙළිකරන්නට අපේ පමණින් අප උපරිමය කළෙමු.

'මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ' ලිපි මාලාවට ජීවය දෙන ඒ උතුම් ස්‌වාමීන්වහන්සේ සිය අනන්‍යතාව හෙළි නොකරනුයේ මේ දහම් ගැලපුමේ ගෞරවය සමස්‌ත සංඝ ශාසනයටම ලැබිය යුතුය යන අදහසිනි. භාග්‍යවතුන්වහන්සේ හෙළිකරගත් දහමෙන් යම් ගෞරවයක්‌ උපදීද එය සියලු බුද්ධපුත්‍රයන් වහනසේලාට ලැබිය යුතුයෑයි උන්වහන්සේ සිතති. උන්වහන්සේගේ නෙක්‌කම්ය (අතහැරීම) තුළ කීර්ති, ප්‍රසංශා විඳීමේ මානසිකත්වය නැති බව අනෙකකි. එහෙත් උන්වහන්සේ 'අහකදමන' ඒ දෑ අහුලාගනිමින් වංචනිකයෝ අහිංසක පිංවතුන් රවටති. අයෙක්‌ මේ තමාගේ දහම් ගැලපුමක්‌ ලෙසින් නොකියා කියති. තවත් අයෙක්‌ එය එසේ හැඟෙන පරිදි තමන්ගේ වෙබ් අඩවි හෝ ෙµaස්‌ බුක්‌ ගිණුම් තුළ මේවා එලෙසින්ම උපුටාදක්‌වමින් ඉතා නිර්ලජ්ජී ලෙස ඒ අවසානයේ 'උපුටා ගැනීම තහනම්' යෑයිද සඳහන් කර තිබේ. කුමන ක්‍රමයකින් හෝ විකෘතියකින් තොරව මේ ධර්ම කරුණු සමාජය තුළට එන්නත් වේ නම් එයට අප කැමති නමුත්, මුදල් ඉපැයීම සහ ප්‍රතිරූපයක්‌ ගොඩනගාගැනීම ආදී 'අමු' ලෞකික ඉලක්‌කයන් උදෙසා, අප සත්භාවයෙන්ම ඉදිරිපත්කරනු ලබන මේ දහම් ගැලපුම යොදාගැනීම පාපයක්‌ බවද සඳහන් කළ යුත්තේමය.

නැවතත් අපි වගකීමෙන් මෙසේ පවසන්නෙමු. මෙම ලිපියට මුල්වූ ඒ බුද්ධපුත්‍රයාණන් වහන්සේ කිසිවිටෙකත්, කිසිමතැනක 'මේ ලිපිය ලියන්නේ මම' යෑයි පෙනී නොසිටිති. උන්වහන්සේ ලෙසින් පෙනී සිටිමින් යමෙක්‌ යම් වංචාවක යෙදේ නම්, ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වන්නේ රැවටෙන පිරිස්‌ සහ රවටන අය පමණක්‌ බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. මේ වන විට කිසිවෙකු විසින් එලෙස ඔබව රවට මුදල් ගරා ඇතිනම් ඒ තැනැත්තාට විරුද්ධව රටේ නීතියට අනුව ක්‍රියාකිරීම ඔබට බාරය.

එහෙත් මේ උතුම් සද්ධර්මයේ සුරක්‍ෂිතතාව, පිරිසිඳුබව සහ එය හෑල්ලුවට ලක්‌වීමෙන් වලක්‌වාගැනීම උදෙසා එක්‌ ඉල්ලීමක්‌ කරන්නෙමු. ඒ යමෙක්‌ මේ 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාව යොදාගනිමින් යම් රැවටීමක යෙදේනම් වහාම අප දැනුවත් කරන ලෙසිනි. එවැනි යමක්‌ වේ නම් දුරකථන අංක 0716-564564ට දැනුම් දෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ (2012/09/09 දිවයින)

No comments:

Post a Comment