Sunday, May 10, 2026

සයන‍යේ ‍‍ප්‍රේතිය

2012/04/08 ලිපිය 

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක්‌ සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්‍ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා. නිදන කාමරයේ සයනය කළුපාට ඇඳ ඇතිරිල්ලක්‌ එලා කොට්‌ටයක්‌ සහිතව පිළිවෙළට තිබුණා. කිසිවෙක්‌ කාමරයේ නැහැ. හරිම නිශ්චලයි.


නමුත් එකපාරටම අර සයනයේ එලලා තිබූ ඇඳ ඇතිරිල්ල මෑත් කරගෙන තම ස්‌වරූපය ඝන භාවයට පත්කරගනිමින් තරුණ ප්‍රේතිය ඇඳෙන් නැඟිට කාමරයෙන් එළියට ගියා. ක්‍ෂණයකින් නැවත කාමරයට ආවා. ඇඳ ඇතිරිල්ල පොරවාගෙන ඇය නැවත නිදාගත්තා. එහෙත් දැන් ඇඳේ කිසිවෙක්‌ නැහැ. ඇඳ ඇතිරිල්ලත් හොඳට පිළිවෙළට නැවත තිබෙනවා. ඒ කියන්නේ ප්‍රේතිය ඇඳ ඇතිරිල්ල යට සිටිනවා. කිසිවකුට පෙනෙන්නේ නැහැ. දකින්න බැහැ. කවුරුවත් හිතන්නේ නැහැ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌ ඉන්නවා කියලා. බලන්න ඇය උපාදානය කරගත් ස්‌ථානය. ඔබට හිතන්න පුළුවන්ද? ඔබ නිවසේ කාමරයේ සයනයේ ඇඳ ඇතිරිල්ල යට ප්‍රේතියක්‌, ප්‍රේතයෙක්‌ සැතපී ඉන්නවා කියලා. ඉහත භික්‍ෂුවට ඇය ඝන ස්‌වභාවයෙන් දර්ශනය වූ නිසා මේ ප්‍රේතිය දැකගැනීමට හැකිවුණා. ගවුමක්‌ ඇඳගෙනයි සිටියේ. තරුණියක්‌ වුණත් ඇය මලානික, රෝගී ස්‌වභාවයෙන් යුත් ප්‍රේතියක්‌. භික්‍ෂුව ඇය දැක ඇත්තේ මලානික, මලමිනියක්‌ ඇවිදින ස්‌වරූපයෙන්. මුහුණේ බිය මුසු හැඟීමක්‌ තිබුණා. මගේ තැන, මගේ ස්‌ථානය අහිමිවේය කියන හැඟීමකින් වගේ මහත් තන්හා සහගත සිතකින් ඇය කාමරයෙන් එළියට ගිය සැනින්ම නැවත කාමරයට පැමිණ, සයනයේ ඇඳ ඇතිරිල්ල ඇතුළට ගොස්‌ ඇයගේ ඝන කයේ ස්‌වරූපය නැතිකරගත්තා. ඇය මනුෂ්‍ය ජීවිතයේ එම නිවසේ ජීවත් වූ තරුණියක්‌. ඇය රෝගීව මියයන මොහොතේ තමන් අල්ලාගත් තැන ප්‍රේතියක්‌ ලෙස නැවතත් ප්‍රතිසන්ධිය ලබන්නට ඇතැයි සිතන්නට පුළුවන්. බලන්නකෝ වාසනාවන්ත මනුෂ්‍ය දියණියකගේ අවාසනාවන්ත නැවත උපත මොන දුකක්‌ද කියලා. කවදා සැනසිල්ලක්‌, ගැලවීමක්‌ ලබයිද කියලා. මේ ප්‍රේතිය ඇඳට නැඟ ඇඳ ඇතිරිල්ල යටට යන්නේ ඉඩෝරය දැඩි කාලයක වතුර වලක්‌ දැක මී හරකෙක්‌ යම් සේ තෘෂ්ණාවකින් එම වතුර වළට බසීද එම ස්‌වරූපයේ කැමැත්තකිනුයි. එලෙස ඇය ඇඳ ඇතිරිල්ල යටට ගොස්‌ නිදා ගනී. එය ඇය ගත් උපාදානයේ බලවත්කමයි. මේවා පාඩමට ගෙන ඔබත් ස්‌ත්‍රී පුරුෂ වයස්‌ භේදකින් තොරව කුසල් දහම් වඩා ජීවිතයෙන් අතහැරීම පුරුදුකර මෙවැනි දුක්‌ දෙන සතර අපායෙන් මිදෙන්නට අවශ්‍ය කරුණු කාරණා ජීවිතයට එකතුකර ගන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්ඛිත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක්‌ ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය පවා මගේ කර නොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්‌ති විඳින්න. ඔබේ සැප උදෙසාද, අන්‍යයන්ගේ සැප සතුට උදෙසාද, ශාසනය උදෙසාද යොදවන්න. ඔබද සතුටුවෙන ගමන් ඒවා අනිත්‍ය බවත් මගේ අච්චී සීයා, මගේ අම්මා තාත්තා මේ සියල්ල දමලයි, තියලයි මියගියේ. කිසිවක්‌ රැගෙන ගියේ නැහැ. මම ද මේ කිසිවක්‌ අරගෙන යන්නේ නැහැ කියලා, ඉහත දේවල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්‌ති විඳීමට පුරුදුවෙන්න. ඔබ ඒවා මගේ කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාවෙන් බැඳුනා යනු, අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක්‌ නැවත ඔබ ඔබේ කරගැනීමකි.

පිනට ලද රූපය පවට යෙද වූ සාපය

2012/04/15 ලිපිය 

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය,

අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.


තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.


මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.


ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.


සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....


එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත. 

ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය

2012/04/01 ලිපිය

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති - සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි.

මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන් ඉදිරි පෙළ ආසනවල නොසිටියේය. ප්‍රේත භික්‍ෂූන් සිටියේ ප්‍රේතයන් සමඟ කලවමේ අසුන් ගෙනය. සමහර ප්‍රේත භික්‍ෂූන් පසුපසම පේලියේද අසුන්ගෙන සිටියේය. ප්‍රේත ලෝකයේ තෙරුවන් ගැන හැඟීමක්‌ නැති නිසා, ප්‍රේත ලෝකයේදී භික්‍ෂු ප්‍රේතයා ද සමාන්‍ය ප්‍රේතයෙක්‌මය.

මේ අය එකට රැස්‌වී ප්‍රේත රැස්‌වීම පවත්වයි. මේ රැස්‌වීම එකම ගාලගෝට්‌ටියකි. හැමෝම නායකයන් වීමට, හැමෝම දේශන පැවැත්වීමට, තම මතය දිනවීමට උත්සාහ ගනී. අයෙකුට නිදහසේ කතා කිරීමට අනෙකා ඉඩ නොදේ. කිසිවකු තෘප්තියට පත් නොවේ. කිසිවකුත් සතුටට පත්නොවී, සැවොම දුක වේදනාව, බලාපොරොත්තු කඩවීම් උරුම කරගනිමින් රැස්‌වීම කඩාකප්පල් වේ. එකිනෙකාට බැණ වදිමින් විසිර යති.

පෙර ආත්මවල අනුනට අවස්‌ථාව නොදී බලකාමයෙන් නිලතල දැරූ, නිලතලවලට ලෝභ කළ ගිහි පැවිදි පිංවතුන් කරගන්නා ලද කර්ම වල විපාකයන් විඳගන්නා අයුරු අපූරුයි නේද? මෙම කර්මය විඳින ප්‍රේතයන් තම ප්‍රේත ජීවිතය පුරාවට කරන්නේ රැස්‌වීම් තැබීම සහ රැස්‌වීම් කඩාපල්වීම නිසා දුකට පත්වීමය. පෙර අකුසල් ශක්‌තිය නිසා මේ අයට කිසිදාක ප්‍රේත රැස්‌වීම් සාර්ථක කර ගත නොහැක. රැස්‌වීම් කඩාකප්පල් වූ විට ප්‍රේතයන් එකිනෙකාට වෛරයෙන්, ක්‍රෝධයෙන් බැණ වදිමින්, ඇනකොටා ගනිමින්, දත්මිටිකමින් සීසීකඩව විසිර යයි. තමන් නායකයා වීමට ඇති ආශාව නිසාම ප්‍රේත ලෝකයේදී ද මේ අය මහා අකුසල් රැස්‌කරගෙන තව තවත් දුකට ඇදී යයි. ප්‍රේත ලෝකයේ ගත කරන සෑම නිමේෂයකදීම ඔවුන් රැස්‌කරන්නේ අකුසලයකි. එහෙයින් ඔවුනට සසර කල්ප ගණනාවකින් සුගතියක උපත ලැබීමට නොහැකිය.

ඔබ ගත කරන ඔය වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබගේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණොත් ඔබේ අනාගතයද අඳුරින් අඳුරටමය. ඔබ භුක්‌තිවිඳින මොන දෙයවත් තන්හාවෙන් තොරව භුක්‌ති විඳින්න. අනුන්ගේ අකමැත්තෙන් භුක්‌ති නොවිඳින්න. බලහත්කාරයෙන්, බොරුවෙන්, නැති ගුණ පෙන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කරගැනීමට නොයන්න. ඔබ අසීමිත තන්හාවෙන් මේවා අයිති කරගැනීමට ගියහොත් ප්‍රේත ලෝකයේ ප්‍රේත රැස්‌වීම් අංශයේ ඉපිද, නිතිපතා ඉහත ප්‍රේතයන් විඳින දුක විඳිය හැකිය. ප්‍රේත රැස්‌වීම් කඩාකප්පල් වී ගිය විට ප්‍රේතයන් හැසිරෙන්නේ හිස ගිනිගත් පුද්ගලයන්, වියරුවෙන් දඟලන්නා සේය. එය ඔවුනගේ තන්හාවේ ස්‌වභාවයයි. ආශාවේ වියරුවයි. කැමැත්තේ මරලතෝනියයි.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දේවල් මොනතරම් පැහැදිලිව දේශනා කර තිබෙනවාද. මේ සියල්ල අත්දැකීමෙන් අත්දකිද්දී ලෝක ස්‌වභාවයන් පිළිබඳ ඥාන දර්ශනයන් පහළවන කොට ඔබටත් දැනේවි ඔබ සැබෑ බුදු පුතෙක්‌ය කියලා.

Saturday, May 9, 2026

අපායේ උපතක්‌

 2012/03/25 ලිපිය

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.


මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.


විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.


නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.


සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.


ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.

Tuesday, May 5, 2026

සිහියෙන් බලන්න… දහම ඔබ අසලමය…

 2012/03/18 ලිපිය

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌….
ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කරගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනින. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය. එතෙක්‌ කුමරා ගතකළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළිලොල් ජීවිතයක්‌ය. ධර්මය සොයාගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අතහැරීමය. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අතහැරියේය. ප්‍රථම අදියර එය විය. සියල්ල අතහැරලා කැලයටයි ගියේ. පරිසරයට, ස්‌වභාවධර්මයට ගිහින් මොකද කළේ?
කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා…. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.
මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද? ඔබ නිවීසැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාවධර්මය දෙස. ඇතිවෙන නැතිවෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැසයනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදුවනවා. ගස්‌වල දලුලනවා, කොළ බවට පත්වෙනවා, වියැළෙනවා, වැටෙනවා, නැවැත නැවැත ඒ දේම සිද්ධවෙනවා. මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළවෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුසගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදුවෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය භාවයේ නොපැවතී අනිත්‍යභාවයට පත්වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අතහැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇත. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කරගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාවධර්මය, පරිසරය තුළින්මය.
ස්‌වභාවධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත්හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන්වහන්සේ දකින්නට ඇත. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේ නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාලවලදී පහලවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කරගන්නේ ඉහත බුදුමඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන සැප, කෙටි, දුර, කල්මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අතහරින්න. සැබෑ බදුමඟ ඔබ ගමන් කරන්න. කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදුමඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රතිඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.
ඔබ දක්‍ෂවෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍යය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයයි. ස්‌වභාවධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතූන්ගෙන් සැදි නිර්මානයන්ය. ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍යභාවයට පත්වන ඉහත ධාතූන්, අනිත්‍යතාවයට පත්වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇතිකරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇතිවන නැතිවන මොහොතක්‌ පාසාම අනිත්‍යභාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවාගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාවධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.
ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී. එහෙයින් ඔබ ස්‌වභාවධර්මයත් කයත් එකගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මකභාවයට පත්වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.
බාහිර රූපත් අභ්‍යන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.
ඔබ කළයුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සතිපට්‌ඨානය නිවන් මඟේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.
ඔබ සියල්ල අතහරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍යවූ සිතෙන් බලාසිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.