Saturday, September 5, 2026

ජීවිතය යනු ඉලක්‌කම් ගොඩක්‌ද?

2012/06/24

භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන.


මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය විසින් කමටහනක්‌ කරගන්න. පෙම්වතියගේ ජීවිතය පෙම්වතා කමටහනක්‌ කරගන්න. දෙදෙනා, දෙදෙනාට විවෘත වන්න. මේ ගඳගසන ජීවිතය රසගුලාවක්‌ නෙවෙයි. තුවාලයක්‌ ගඩුවක්‌ ලෙස දකින්න. ගිහි ජීවිතය තුළ සිටිමින් ඔබලාට පුළුවන් ධර්මයේ අර්ථය ජීවිතයට එකතුකරගන්න. පැවිදිවෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඒත් කොයිම අවස්‌ථාවකවත් ඉක්‌මන් පැවිද්ද (පැවිද්ද සඳහා කලබල වීම) භික්‍ෂුව අනුමත කරන්නේ නැහැ. දක්‍ෂයා අදක්‍ෂයෙක්‌ විය යුතු නැහැ. හරියාකාරව අනිත්‍ය සංඥාව වඩපු කෙනා ඉක්‌මන් වෙන්නේ නැහැ. ඔහු ගැන කව්රුවත් බිය වියයුතුත් නැහැ. මොකද ඔහු ධර්මයේ රැකවරණය තුළයි සිටින්නේ. වඩාත් ගුණාත්මක පැවිද්දක්‌ උදෙසා ඉවසීම අප තුළ තිබිය යුතුයි.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහොම ආදර්ශමත් පෙම්යුවලක්‌ හිටියා. ඒ තමයි පිප්ඵලී සහ භද්ධකාපිලානා. කෝටිපති බමුණු පවුල් දෙකක තරුණ දරුවෝ. දෙමාපියන් පිප්ඵලීට කොතෙක්‌ විවාහ යෝජනා ගෙනාවත් ඒවාට කැමති වුනේම නැහැ. කැමැත්ත තිබුණේ පැවිද්දට. දෙමාපියන් දැඩි තීරණයක්‌ ගන්නවා, පිප්ඵලී විවාහ නොවුනොත් අපි මැරෙනවා කියලා. පිප්ඵලීට සිද්ධ වෙනවා දෙමාපියන්ට අවනත වෙන්න. පිප්ඵලීගේ මනාලිය තමයි භද්ධකාපිලානා තරුණිය. ඇයත් පැවිදිවීමේ අරමුණින්ම විවාහය මඟහැරිය තරුණියක්‌. දෙදෙනා සම්මුතියකට එනවා, චිත්තයක්‌ ඇතිකරගන්නවා අපි විවාහ වෙමු. දෙමාපියන් මියගියාට පසු දෙදෙනාම පැවිදි වෙමුය කියලා. ලොකු උත්සවයක්‌ අරගෙන දෙදෙනාම විවාහ වෙනවා. ලෝකයා සිතාගෙන සිටින්නේ කම් සැප විඳිනවා කියලා. නමුත් මේ තරුණ පෙම්වතුන් ඇතිකරගත් චිත්තය බිඳෙන්න දුන්නේ නැහැ. දෙමාපියන් මියයනතුරුම බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කළා. දෙදෙනා දෙදෙනාව ස්‌පර්ශ කළේවත් නැහැ. මේ පිප්ඵලී තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. භද්ධකාපිලානා තමයි භද්දකාපිලානා රහත් තෙරණින් වහන්සේ. මේ චරිත පිංවත් තරුණ ඔබ ආදර්ශ කරගත යුත්තේ උපක්‍රමශීලීව, කම්සැප කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙන්න. ජීවිතය තුළින් ඔබ චිත්තයක්‌ ඇති කරගන්න. මේ සතිය මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා. මේ සතිය මම දන්දීමෙන් ජීවත් වෙනවා කියලා. මේ සතිය මම අධිසිල් ආරක්‍ෂාකරමින් ජීවත්වෙනවාය කියලා. මේ සතිය මම ශක්‌තිමත්ව තෙරුවන්ගේ ගුණයන් සිහිකරමින් ජීවත්වෙනවා කියලා. මේ හැම චර්යාවකින්ම ඔබ තුළින් සිදුවන්නේ නෙක්‌කම්මයක්‌මයි. මේ නෙක්‌කම්ම සිතමයි ඔබට උපකාරීවෙන්නේ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ‘නන්ද මම ඔබව මේ ජීවිතයේදී පමණක්‌ නෙවෙයි ඔබ ජනපද කල්‍යාණියගෙන් බේරාගත්තේ කියලා. පෙර ආත්මභවයක නන්ද ඔබ කොටළුවෙක්‌ වෙලා මම ඔබේ ස්‌වාමියා වෙලා මා ළඟ ඔබ සේවය කරමින්, මගේ ගැල අදිමින් සිටියදී කොටළු දෙනක්‌ වෙලා උපත ලබා සිටි ජනපදකල්‍යාණිය ඔබට බොරු කියලා පොළඹවලා කැලයට අරගෙන යන්න හැදුවා. එදත් මමයි ඔබව බේරාගත්තේ. තවත් ආත්ම භවයක නන්ද ඔබ ඌරෙක්‌ වෙලා ජනපදකල්‍යාණියගේ නිවසේ ඉපදිලා ඇය ඔබට හොඳට ආහාර දීලා, ලොකුමහත් කරලා ජනපද කල්‍යාණියගේ විවාහය දවසේ ඔබව මරාගෙන මසට ගත්තා ඔය ජනපදකල්‍යාණියම. සංසාරයක බැඳීම, උපාදානය.


උපාදානය නැමැති එළදෙනගේ තණ බුරුල්ලෙන් වැගිරෙන කිරි තමයි භවය. භවය නමැති කිරි ජාතිය නමැති පස්‌ගෝ රසයන් උපද්දනවා. නිමාවක්‌ නැහැ. නැවතීමක්‌ නැහැ. අතීතය ගොළුවෙලා. වර්තමානය කථාකරනවා. මේ ජීවිතයේදී අපි ආශ්චර්යමත් මනුෂ්‍යයෝ. ලකුණු ගොඩක්‌ දීලා තමන්ම ප්‍රගතිවාර්තාවක්‌ සකස්‌ කරගන්නවා. එහි බුද්ධාගමට ලකුණු නැහැ. ආර්ථික විද්‍යාවටයි ලකුණු වැඩිපුර දීලා තියෙන්නේ. දැන් ජීවිතය ඉලක්‌කම් ගොඩක්‌. ඔබ මෙතැන සිට සිතන්න නන්ද හාමුදුරුවෝ ගැන. ජනපද කල්‍යාණි ගැන. ඔබගේ නිවසේ සාලය තුළ, වීදුරු අල්මාරියේ දිළිසෙමින් තිබෙන ඔබගේ මංගල ජායාරූපයේ, ඔබ ළඟම සිටිනා යෙහෙළිය, මේ මොහොතේ සිනාසෙමින් ඔබට සමීප වී සිටියත් ඇය නිසා සංසාරයේ ඔබ කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? ඔබ නිසා ඇය කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? මේ ජීවිතයේ ඔබගේ යෙහෙළිය වූ ඇය, මේ ජීවිතයේ පමණක්‌ම ඔබගේ යෙහෙළිය නොවූ බවද ඉහත කරුණු වලින්ම වටහාගන්න.


ජීවිතය ඉදිරියේ ඇත්තේ මෙවැනි ‘නොවටිනා’ වටිනාකමක්‌ නම් ඔබ ජීවිතයේ අර්ථය මනින්නට ඉලක්‌කම්වලට ඉඩ නොදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය ජීවිතයේ වටිනාකම් කර ගන්න. ඔබ කැමැති, ජීවිතයේ අගට ඉලක්‌කම් එකතු කරගැනීමට නම් ඔබ ඒ ජීවිතයට එකතු කරගන්නේ දුකමය. ඔබට ලැබෙන දෙය, එකතු කරන දෙය දානය උදෙසා අතහරින්නේ නම් ඒ ඔබ අතහරින්නේද දුකමය.


ඊයේ පිංවත් තරුණයෙක්‌ පැමිණියා භික්‍ෂුව මුණගැසෙන්නට. ඔහු විවාහකයෙක්‌. ඔහු භික්‍ෂුවට කියනවා, ‘හාමුදුරුවනේ, මම අමාරුවෙන් හම්බ කරලා ඉතිරි කරගත් රුපියල් ලක්‍ෂ දෙකක්‌ මා ළඟ තිබෙනවා. ඒකෙන් ගෙදරට අල්මාරියක්‌ ගන්න ඕනේ. ඉතිරි මුදල සම්පූර්ණයෙන් ලබන මාසෙ පිංකමට වැයකරනවා’ කියලා. බලන්න, අමාරුවෙන් හම්බකරලා ඉතිරි කරපු දෙයට ඔහු සැබෑ වටිනාකමක්‌ දුන්නා. ඔබ දක්‍ෂ වෙන්න, වෙහෙස මහන්සි වෙලා හම්බ කළාවූ මුදලට ලෝකයේ ඇති සැබෑම වටිනාකම දෙන්න. දුක්‌ උපදින දේවල් කෙරෙහි වැය කරලා එම මුදල් අපතේ හරින්න එපා. ඔබ ළඟ තිබෙන මුදල සුරක්‍ෂිතව තැන්පත් කළා කියන්නේ දානය තුළට, පිංකම් තුළට බැංකුගත කිරීමයි. ඉහත තරුණ මහතාද තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිවසට අවශ්‍ය භාණ්‌ඩය සඳහා වැයකර ඉතිරිය සුරක්‍ෂිතව තැන්පත් කළා. දානය නැමැති බැංකුකරණය කෙරෙහි අවිශ්වාසයෙන්, බියෙන් තොරව තැන්පත් කරන්න. ගිහි පිංවතුන්ලාටයි මේ සටහන ලියන්නේ. පිංවතුන්ලා දානය කෙරෙහි, දන් දීම කෙරෙහි ප්‍රමාදයට පත්වන්නේ නම්, දන්දීමට ලෝභ නම් ඔහු හෝ ඇය නිරතුරුව තමන්ටත්, තම පවුලේ අයටත් රෝගීභාවයන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය.


මොකද දානය තුළින්මයි මනුෂ්‍යයාට ආයුශ, වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේදී දන්දීමට මැළි නම්, පෙර ජීවිතයේ දන්දීම හීනනම් තමයි නිරතුරුවම පිංවතුන්ලාට ලෙඩ රෝග වැළඳෙන්නේ. තමන් හම්බකරන දෙයින් යම් ප්‍රමාණයක්‌ තෘෂ්ණාවෙන් තොරව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමට යමෙක්‌ ලෝභ නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට දන්දීමට වැය නොකළ මුදලට වඩා ඉතා වැඩි මුදලක්‌ බෙහෙත් සඳහා, රෝහල් ගාස්‌තු සඳහා වැය කිරීමට සිදුවනු ඇත. දන්දීමට අකමැති කෙනාට බෙහෙත් වෛද්‍ය ගාස්‌තු සඳහා ඊට වඩා වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවීම හේතුඵල ධර්මයක්‌මය. ලෞකික සැපයේ රහස දානයයි. මේ සැපය ඔබ උපයෝගී කරගත යුත්තේ සතර අපායෙන් මිදීම උදෙසාම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ශීලයත් පරිපූර්ණ කරගැනීම සඳහාය. ඉන්ද්‍රීය ධර්මයන් දියුණු කරගැනීම සඳහාමය. එසේ නොවුනොත් පිංවත් ඔබ උපක්‍රමශීලීව ජීවිතය තුළට මතුකොටගත් සැපය තවත් හුදු සංස්‌කාරයක්‌ම වී විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී යනු ඇත. දන්දීම නිසා ඔබට නීරෝගීභාවයද, එම නිරෝගීභාවය නිසාම සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර දන් නොදීම නිසා රෝගීභාවයද, රෝගීභාවයන් නිසාම ධර්ම මාර්ගයෙන් දුරස්‌වීමද සිදු වේ.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණ අනාගාමී උපාසක උපාසිකා දෙපලක්‌ වන උග්ග ගෘහපතිත්, වේළුකන්ඨකී නන්දා මාතාවත් නිරතුරුවම මහා සංඝරත්නයට දන් පූජා කළා. වේළුකන්ඨකී නන්දා මාතාව පිරිනැමූ දානයන්ගේ එක්‌ ආශ්චර්යමත් කාරණයක්‌ තිබුණා. ඒ තමයි ඇය දන්දීමට පෙරාතුවත් සතුටුවෙනවා, දානයෙන් පසුවත් සතුටුවෙනවා. දානය පූජාකරන වේලාවෙත් සතුටුවෙනවා. මෙය ඇය සතු ආශ්චර්යමත් කාරණයක්‌. ගිහි අනාගාමී උවැසි උවැසියනුත් දානය උතුම්කොට සැලකුවා. පන්සලද, ආරණ්‍යයද කියන භේදයකින් තොරව, නිරතුරුවම මහාසංඝරත්නය අරමුණු කරගෙන, මහා සංඝරත්නයටම පූජා කරන දානයමයි මහත්ඵල මහානිසංස වෙන්නේ.


පිංවත් ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර නොගත්තොත් මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙනවා. ශිල්පද ආරක්‍ෂා කර නොගත්තොත් නැවත දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබෙන්නේ නැහැ. දන් නොදුන්නොත් ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් හීන ජීවිත ලැබෙනවා.


මෛත්‍රිය නොවැඩුවොත් ලස්‌සන, රූමත්, ප්‍රසන්න රූපයක්‌ නැවත නොලැබෙනවා. මේ සා බියකරු අභියෝගයක සෙවණැල්ල අපේ ජීවිතවලට වැටී තිබියදී අපි හිතන්නේ, මුල්තැන දෙන්නේ රැකියාවට. ව්‍යපාරයට නොගියොත් ආදායම නොලැබෙයි. මිල මුදල් නොමැතිවුනොත් සමාජ තත්ත්වයක්‌ නොලැබෙයි. විවාහයක්‌ නොවුනොත් පරම්පරාව නැතිවෙයි. මෙන්න මේ වගේ සරල, බොළඳ කෙටි අපේක්‍ෂාවන්ටයි අපි මුල්තැන දෙන්නේ. අපි ජීවත්වෙන්නේ අනතුරත් අනතුරින් ගැලවීමේ මාර්ගයත් අතර මොනතරම් පරතරයක්‌ද. ගිහි පිංවත් ඔබට මෙලොව පරලොව දෙකම යහපත් කොට ගන්න නම් හේතුඵල ධර්මයන් නිසා සකස්‌වෙන ඉහත කාරණා දෙකටම මුල්තැන දියයුතු වෙනවා. ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් මෙනෙහි කරල දුක නැමති ඉපදීමෙන් මිදීමේ මාර්ගයටම අවතීර්ණ වෙන්න. අපට සැඟවිලා තිබෙන ඉහත කාරණා ගැන ඔබ සිතන්න ගත්තොත් එය හොඳ ප්‍රවේශයක්‌ වේවි ශක්‌තිමත් චිත්තයක්‌ ඇතිකර ගන්න.

එක්‌කෝ මරණය නැති නම් සතර අපායෙන් මිදීම

2012/06/17

පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත් මේ එක එක කාලවලදී මතුවී එන ධර්මයේ ප්‍රබෝධය කාලයකදී දුර්වලවෙලා යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවත් ගිහි කාලයේදී එවැනි ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාගේ පිංකම් තුළින් ධර්ම මාර්ගය ශක්‌තිමත් කරගත් අයෙක්‌. භික්‌ෂුව මෙහි සටහන් තබන්න හදන්නේ ස්‌වාමින් වහන්සේලා හරහා ඇතිකරගන්නා ධර්ම ප්‍රබෝධය ජීවිතය තුළින් වැඩිදියුණු කරගෙන ජීවිතයේ කොටසක්‌ කරගන්න අප දක්‌ෂවෙන්න ඕන කියලා. රැල්ලක්‌ නැගෙනකොට රැල්ලත් සමග බොහෝම උද්යෝගයෙන් ගහගෙන යනවා. රැල්ල අහවරවෙනකොට නැවත සුපුරුදු තැනට එනවා. සතර එර්දිපාද ධර්මයන්ට අයත් ඡන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන කාරණාවලින් චිත්තය කියන ධර්මතාවය පිංවත් ඔබට මෙහිදී වැදගත් වෙනවා. මෙතනදී චිත්තය කියන්නෙ අධිෂ්ඨානයට. බෝධිසත්වයන් වහන්සේ ජයශ්‍රීමහා බෝධි මූලයේ වාඩිවෙලා මගේ සම්, මස්‌, ඇට, නහර, වියලේවා. සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීමෙන් තොරව නොනැගිටිමිය කියල චිත්තයක්‌ ඇතිකරගන්නවා. බලන්න අරමුණ නැතිනම් මරණය තමයි එම චිත්තයේ අර්ථය. මේ චිත්තය කියන කාරණය පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ජීවිතයට එකතුකොට ගන්න. ධර්ම මාර්ගයේ රැල්ලත් සමග පෙරට ගිහිල්ලා රැල්ල නැවතුන තැනදී ආපසු හිටපු තැනට එන්නෙ ඔබ තුළ චිත්තයක්‌ ඇතිකරනොගත් නිසාමයි.


ඔබ මේ ලිපි මාලාවම උදාහරණයට ගන්න කෝ. පුංචි හෝ ප්‍රබෝදයක්‌ ධර්මයට කැමති පිංවතුන්ලා තුළ මේ ලිපි කෙරෙහි ඇතිවෙලා ඇති. නමුත් පිංවත් ඔබ වටහාගන්න ඕනෙ මේ කෙටි ප්‍රබෝදය අනිත්‍ය දෙයක්‌ බව. හෙට අනිද්දා මේ ලිපි පෙළ අහවරවෙනකොට නැගුන ප්‍රබෝදය අහවරවෙනවා. නමුත් පිංවත් ඔබ නැවතිය යුතු නැහැ. ඔබ බලාපොරොත්තුවක්‌ නොවේ චිත්තයක්‌ ඇති කරගන්න. ඔබ මෙතෙක්‌ බලාපොරොත්තු පමණයි ඇති කරගෙන තිබෙන්නේ. බලාපොරොත්තු කියන්නේ වෙනස්‌ වෙන දෙයක්‌. තරුණ කාලයමයි ධර්මය සුවසේ වැඩීමට සුදුසු කාලය. ජීවිතය ආයුෂ, වර්ණය, සැපය, බලය කියන කාරණාවලින් ජවසම්පන්න වන කාලවකවානුව. මෙම කාලයේදී තමයි ‘පටිභානය’ කියන නුවනින් මෙනෙහි කිරීමේ ශක්‌තිය ජීවිතය තුළින් මෝදුවෙන්නේ. මේ කාලය දෘෂ්ඨීන් ගෙන් තොරව විවෘතව ලෝකය දකින කාලයක්‌. ඒ නිසා පිංවත් ඔබ අස්‌වැන්න ඇති වෙලාවේම උපක්‍රමශීලීව අස්‌වැන්න නෙලාගන්න දක්‌ෂවෙන්න ඕනේ. අස්‌වැන්න නැති වුණාට ගස කොතෙක්‌ සෙලවුවද වැටෙන්නේ අතු, කොළ, රිකිලිමය. අතු, කොළ, රිකිලි යනු ලෝභ, ද්වේෂ, මෝහයි.

වර්තමානයේ තරුණ කාලය වැඩියෙන්ම කැපවෙන්නේ අධ්‍යාපනය, රැකියාව, ආදරය වැනි කාරණයන්ටය. මේවායේ ප්‍රථිඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් ජීවිතය පිරීයාමයි. අධ්‍යාපනය ලබන්න. රැකියාව කරන්න. ආදරය කරන්න. මේවා කරන ගමන් ධර්ම මාර්ගයෙත් පෙරට නොකඩවා ගමන් කරන්න. වෙනස්‌වන බලාපොරොත්තු අභිබවා ගිය නොවෙනස්‌වන චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවලට වටිනාකමක්‌ දෙන්න එපා. බලාපොරොත්තුවලට බැහැ කවදාකවත් ධර්ම මාර්ගයේදී ඔබට ජයග්‍රහණයක්‌ ලබා දෙන්න.


බලාපොරොත්තු නිරතුරුවම ඔබව රවටනවා. කාමයේ ආශ්වාදය උදෙසා ඇතිවෙන තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම බලාපොරොත්තු පසුබසිනවා. පසුබසින තැනදිම ඔබ තවත් නැවුම් බලාපොරොත්තු ඇතිකරගන්නවා. එයත් හුදු බලාපොරොත්තුවක්‌මයි. ඔබ බලාපොරොත්තුවලින් ජීවිතය හිස්‌කරන්න. එවිට ජීවිතය එකතැනක නවතිනවා. ඒ නැවතුන තැන ඉඳලා චිත්තයක්‌ අධිෂ්ඨාණයක්‌ ඇති කරගන්න එක්‌කෝ මරණය නැතිනම් සතර අපායෙන් මිදීමය කියලා. එය බොහෝම ශක්‌තිමත් තැනක්‌. එවැනි ශක්‌තිමත් චිත්තයකදී ඔබ රැල්ල නැවතුන තැනදි, අසනීපයක්‌ වුණ තැනදි, ව්‍යාපාරය බිඳ වැටුණ තැනදි, රැකියාව අහිමිවුන තැනදී ආපසු හැරෙන්නෙ නැහැ. මොකද ඔබ දුක ගැන දැන ගෙනමයි දුකින් මිදීම දෙසට ගමන් කරන්නේ. මෙතනදි ඔබ තුළ ශ්‍රද්ධාව සකස්‌වෙලා තිබෙන්න අවශ්‍යයි. සද්ධර්මය සැකයකින් තොරව පිළිගැනීමට, ජීවිතයට එකතුකර ගැනීමට ශක්‌තිය ඔබ තුළ තිබිය යුතුයි.


බොහෝම සද්ධාවන්ත එක්‌ තරුණ මහත්මයෙක්‌ භික්‌ෂුවට ප්‍රකාශ කළා හාමුදුරුවනේ මා තුළ තරුණ කාලයේදීම බලාපොරොත්තුවක්‌ තිබුණා මම විවාහ වෙන්නෙ නැහැය කියලා. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා මට පෙම්වතියක්‌ මුණගැසුණා. එවිට අපි බලාපොරොත්තුවක්‌ ඇතිකරගත්තා විවාහ නොවී ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා. නමුත් හමුදුරුවනේ මොකක්‌දෝ හේතුවක්‌ නිසා අපි විවාහ වුණා. ඊට පස්‌සෙ අපි බලාපොරොත්තු වුණා දරුවන් හදන්නෙ නැහැ කියල. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා දරුවෙක්‌ හැදුවා. දැන් දරුවා පොඩියි. දැන් අපි බලාපොරොත්තු වෙන්නෙ දරුවා ලොකුවුනාම එයාවත් පැවිදි කරල අපිත් පැවිදි වෙන්න. අනේ හාමුදුරුවනේ අපේ මේ බලාපොරොත්තුව ඉටුකරගන්න පුලුන්වෙයිද කියල ඒ මහත්මය අහනවා. සත්‍යකින්ම එය ඉටුවෙන්නෙ නැහැ. මොකද එය හුදෙක්‌ බලාපොරොත්තුවක්‌ පමණක්‌මයි. ඔබ කළ යුත්තේ වෙනස්‌ වෙන බලාපොරොත්තුවලින් බැහැර වෙලා නොවෙනස්‌වන චිත්තයක්‌ සකස්‌කොට ගන්න. පිංවත් ඔබ ගිහි බැඳීම් වලට බැඳී ඇති නිසා පැවිදිවෙන්නටම අවශ්‍ය නැහැ. ගිහිජීවිතය තුළ සිටිමින්ම එක්‌කෝ මරණය එක්‌කෝ සතර අපායෙන් මිදීම කියන චිත්තය සකස්‌ කොට ගන්න. ඊට අදාළ ධර්මතාවයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න.


එසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කොට ගතහොත් ඔබ ලෝකයේ ලොකුම ධනවතෙක්‌, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ධනවතා, පොහොසතා තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌ කොටගත් පිංවතා. ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්‌ වෙන්න අවශ්‍යනම් ඔබ ඔය ධනවත් භාවයට තමයි පත්වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ ධනවතා පොහොසතා කියන මිථ්‍යා මිම්ම ඔබ බැහැර කරන්න. ඔබ මේ සැබෑ ධනවත්භාවය හදුනාගතහොත් සමාජයේ සැප ලබා ගැනීම උදෙසා පවතින තරඟකාරී මනුෂ්‍ය පොරයට ඔබ හවුල්වෙන්නෙ නැහැ. ඔබේ පොහොසත්භාවය කියන්නේ ඉලක්‌කම් වලින් මනින දෙයක්‌ නොවේ. ධර්මයේ අර්ථය තුළින් මනින දෙයක්‌ බව තේරුම් ගන්නවා. ඉලක්‌කමේ වටිනාකම් නොවටිනාබව ඔබ දකිනවා. ඔබට ලෝකය යන දිශාව වැඩක්‌ නැහැ. ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවයි වැදගත් වෙන්නේ. ඒ දිශාව වැටෙන්නෙ තමා තමාට හිරිහැරයක්‌ නැති, කාටවත්ම හිරිහැරයක්‌ නැති. ආර්යඅශ්ඨාංගික මාර්ගය දෙසටයි. දැන් ඔබට පුළුවන් ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න.


බලාපොරොත්තුවක්‌ නොවේ. බලාපොරොත්තුව තුළ සැකය විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. පිංවත් ඔබ දැන් සම්මාදිට්‌ඨිsය සකස්‌කොට ගෙන මාර්ගය තුළ සිටින්නේ. ආපස්‌සට යැමක්‌ නැහැ. මේ මොහොතේ ඇති කරගත්තා වූ එක්‌කෝ මරණය නැතිනම් සතරඅපායෙන් මිදීම කියන චිත්තය ඔබ පසුකොට පැමිණියා වූ භවගමනේ ඇතිකරගත් ශක්‌තිමත් චිත්තය වෙනවා. පිංවත් ඔබට මේ දේ කරන්න මෙවරත් ශක්‌තිය නොමැතිනම් ඔබ මෙවරත් පරාජය වේවි. එම නිසා සැබෑම සැපය උදෙසා ධර්මයේ සැබෑම පොහොසත් භාවය ජීවිතයට එකතු කර ගන්න.


භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවකට සහභාගිවීමට ධර්මාසනයට වඩිනවිට එහි පැමිණ සිටි සුදුවත් දැරූ සියලුම පිංවතුන්ලා එක මියුරු ස්‌වරයකින් සාදු….සාදු….සාදු යන හඬින් සංඝරත්නයට ගෞරව දැක්‌වුවා. ඒ හඬ බොහෝම ශ්‍රද්ධාවෙන් පිරුණු මිහිරි හඬක්‌. ගොඩාක්‌ නිවුනු හඬක්‌. ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‌ෂයෙන්ම ඇසෙනකොට එය දිව්‍යලෝකයේ දෙවියන්ගේ හඬක්‌ද කියල සිතෙනවා. කොටින්ම ඒ සෑම සැදැහැවතෙක්‌ම එම මොහොතේ සිටින්නේ මනුෂ්‍ය සංඥාවලින් මිදිලයි. දිව්‍ය සංඥා තමයි ඒ අයට සකස්‌ වෙන්නේ. එක්‌තරා භික්‍ෂුවක්‌ දවසක්‌ රාත්‍රී සමාධිමත් සිතින් පසුවෙනකොට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ භික්‍ෂුවට දිව්‍යතලයකින් සාදු….සාදු….සාදු කියන හඬ ඇසිල තිබෙනවා. ඒ දිව්‍ය හඬත් මේ මනුෂ්‍යය ස්‌වරයත් එකම ස්‌වභාවයමයි. නමුත් එක්‌තරා රැයකදි භික්‍ෂුවට තවත් අපූරු දිව්‍ය ශ්‍රොතයක්‌ ඇසුණා. දිව්‍ය තලයක තනි දෙවියෙක්‌ගේ හඬින්. එම දෙවියාගේ හඬ වුනේ අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියලා. බලන්න මුලින් සඳහන් කළ දෙවියාට වඩා කොච්චරනම් ඉදිරි දැක්‌මක්‌ද මේ දෙවැනි දෙවියාට තිබෙන්නේ.


සමහරවිට එම දෙවියා මාර්ගඵලලාභී දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒ නිසාම වෙන්ට ඇති සාදු….සාදු….සාදු කියන අර්ථය ඉක්‌මවා ගිහිල්ලා අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන හඬ බොහෝම ගැඹුරු සංහිදුන මනෝභාවයකින් සඡ්ජායනය කරන්නේ. භික්‍ෂුව පිංවත් ඔබට මතක්‌ කරන්නේ පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ අඩියක්‌ ඉදිරියට තබන්න. වර්තමානයේ හුඟක්‌ තරුණ පිරිස්‌, ගිහිපිංවතුන්ලා පිංකම්වලදි සඡ්ජායනය කරන සාදු….සාදු….සාදු කියන සඡ්ජායන අර්ථයෙන් අඩියක්‌ පෙරට තබලා අර්ථවත්ව අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන සඡ්ජායනයට පුරුදු වෙන්න. සාදු….සාදු කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පමණක්‌ ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තුළින් ධර්මයේ අර්ථය හෙවත් අනිත්‍යය දකින්න. එවිටයි සැබවින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කළා වෙන්නේ. අනිත්‍යය කියන වචනය පාවිච්චි කරන්න, සඡ්ජායනා කරන්න සමාජයේ හුඟක්‌ බයයි. ඔබ අනිත්‍යය කියන වචනය මෙනෙහි කරන්න සඡ්ජායනා කරන්න බයයි කියන්නේ ඔබ ධර්මයට බයයි කියන කාරණයයි. මේ දුර්වලතාවයන් දුරස්‌ කරමින් අර්ථවත් තැනට ජීවිතය ගන්න. ඔබ දකින ස්‌වාමීන් වහන්සේත් අනිත්‍ය නම්, කරන පිංකමද අනිත්‍යනම්, පිංකම නිසා සකස්‌වෙන වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයනුත් අනිත්‍ය නම් ඒ අර්ථයයි අපේ සිතේ මතුවෙන්න ඕනේ. මෙවැනි චිත්තයක්‌ ඔබ තුළින් සකස්‌ කොට ගතහොත් එයත් සතර අපායෙන් නිදහස්‌ වීමට හුඟක්‌ උපකාරී වේවි.


අනිත්‍යය ගැන කතාකරන්න හුඟදෙනෙක්‌ බියයි. අනිත්‍යය කියල හිතුවාම නැතිවෙනවාය කියන අදහස තමයි සමහර පිංවතුන් ඇතිකරගෙන තිබෙන්නේ. සත්තකින්ම අනිත්‍යය ගැන සිතුවොත් යමක්‌ නැතිවෙනවා. ඒ නැතිවෙන්නේ දුකයි, දුක ඇතිවීමට හේතුවයි. මේ සියල්ල ඇතිකරන මෝහයයි. ඒ තුළයි ඔබ මතුකරගන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගය. අනිත්‍යයයි කියන අර්ථය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් සැඟවී තිබෙනවා. අනිත්‍යය කියන ධර්මය ඔබේ ජීවිතයෙන් මතුකර නොගන්නා තාක්‌කල් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔබෙන් වසන් වෙලයි තිබෙන්නේ. ඔබට අනිත්‍යයේ අර්ථය දකින්න තිබෙන්නේ අනිත්‍යය තුළින්මයි. වෙනස්‌වෙන දෙයක්‌ තුළ සිටිමින්ම වෙනස්‌ වන බව දකින්නයි තිබෙන්නේ. සිටීමක්‌ වේගවත් වන තරමට අනිත්‍යය වේගවත්. ඒ වේගවත් භාවයයි ඔබව සංකීර්ණ කොට තිබෙන්නේ. එතනදියි පිංවත් ඔබට සමාධිය උපකාරීවෙන්නේ. අනිත්‍යයේ සැබෑම වේගය ඔබ සමාධිය තුළිනුයි හඳුනාගන්නේ. ඒ නිසාමයි පිංවත් ඔබට සමාධිය සකස්‌වීමට හේතුවන ශ්‍රද්ධාව, ශීලය ගැන මේ තරම් සටහන් තබන්නේ.


මේ සටහන් තබන භික්‍ෂුව පිළිබඳව පිංවත් ඔබලා යම් කටුසටහනක්‌ සිතේ ඇඳගෙන තිබෙනවානම් ඒ තැනට එන්නට භික්‍ෂුවට උපකාරීවූවේ ශීලයයි. එය උත්කෘෂ්ඨභාවයෙන් රැක්‌කා වූ ශීලයක්‌. අසනීපයකට පැරසිටමෝල් පෙත්තක්‌ ළඟ තබාගත්තේ නැහැ. පානය කලේ ස්‌වමුත්‍රා මාත්‍රා මාත්‍රාවක්‌. නමුත් වර්තමානයේ අවශ්‍ය ඖෂධ ළඟතබාගෙන පරිහරණය කරනවා අවශ්‍යතාවයන්ට අනුව. අදාළ නිවන් මාර්ගය වඩන කාලයේ සමහරදාට මුහුණ සෝදාගන්න සබන් කැබැල්ලක්‌ තිබුණේ නැහැ. ඒක ඉවරවෙලා. ඒත් දායකමහත්තයෙක්‌ සබන් කෑල්ලක්‌ පුජා කරන තෙක්‌ කටින් ඉල්ලුවේ නැහැ. සබන් පාවිච්චි නොකර හිටියා. නමුත් කුමන හේතුවක්‌ නිසාද දන්නෙ නැහැ වර්තමානයේ වැඩසිටින සෑම කුටියකම සබන්කැට පහ හයක්‌ තිබෙනවා භාජනයක දමලා. දැන් භික්‍ෂුවට හිතෙනවා අතීතයේ භික්‍ෂුවට එවැනි හිඟපාඩු කුටි ලැබුණේ භික්‍ෂුවට අදාල කාරණා පරිපූර්ණ කරගන්න කියලා. නොලැබීමත් ජයග්‍රහණයක්‌ කරගන්නට. නිවීමේ මෙහෙයුමේ යෙදෙන කාලයේදී භික්‍ෂුවට හොඳින් දැනුනා ශරීරය බොහෝ දුර්වලයි, කෘශ වෙලා, මරණය බොහෝම ළඟය කියල. එහෙත් භික්‍ෂුවට ආහාර ඖෂධ වල වටිනාකමක්‌ තිබුණේ නැහැ. ජීවිතය අතහැරුන විටද ආහාර ඖෂධ හුදෙක්‌ බාධාවක්‌ පමණක්‌මයි.

චතුරාර්ය සත්‍ය ධර්මයෝ දරාගත් මහා සංඝ රත්නය

පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ, තාරකා විකෘති වී අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ගිනි ගන්නා පරිසරයේ අව්කාෂ්ටකය තුළින් භික්ෂුව දකින්නේ සුන්දර දහමක්. පින්වත, ලෝක නායකයන් යුද උමතුවෙන් පරිසරයට මුදා හරින වෙඩිබෙහෙත් විෂ යම් සේ තියුණු ද, ඊටත් වඩා ඒවාට නියෝග දෙන නායකයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ බල කාමයන්ගේ “විෂ” තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, අපි අත්විඳින මේ ගිනියම් වූ අව්කාෂ්ටකයට වඩා, අපිව පාලනය කරන්නා වූ නායකයන්ගේ අකුසල් මූලයන්ගේ ගිනි රස්නය තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, විනාශයට මුල අව්කාෂ්ටකය නොව, අපේ ම අකුසලයෙන් ගිනියම් වූ චේතනාවෝ මයි. පින්වත, පරිසරය නිවැරදි කරන්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. පින්වත, අපි නිවැරදි වෙන බවක් පෙනෙන්නවත් නැහැ. පින්වත, අපි තවමත් බල කාමයේ සටන් බිමේ ‘තෘෂ්ණාවේ විරුවෝ’ වෙලා. පින්වත, හෙට දවසේ යළිත් වැස්ස ඒවි. ඒත් වැස්ස එන්නේ ඉඩෝරයට හේතු වූ එකම එක පාඩමක්වත් අපි ඉගෙන නොගෙන මයි. පින්වත, පාඩම් ඉගෙන ගන්න කොහෙන් ද, අපිට විවේකයක්? අපේ විවේකය ‘තෘෂ්ණාව’ විසින් මරා දමලා.


පින්වත, ස්වභාව ධර්මය සංස්කාරයෝ මුල්කොට ගෙන අපිට වටිනා පාඩම් කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය අපිට පාඩම් කියලා දෙන්නේ අපිත් ස්වභාව ධර්මයේ ම කොටසක් නිසා මයි. පින්වත, මාස දෙකක් අපේ රටට වැස්ස නැතුව අපි මෙවන් පීඩාවක් විඳිද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ අවුරුදු සියයක්, අවුරුදු දහසක් වැස්ස නැතුව අනාගතයේ දී ආරම්භ වන කල්ප විනාශයේ පළමු අදියරේ මතකයයි. පින්වත, ඉඩෝරයෙන් මහ පොළොව ඉරි තලා ගිය කළ, පිපාසයට බොන්න වතුර බිඳුවක් නැතුව, මනුෂ්‍යයාගේ ම රුධිරය මනුෂ්‍යයා ම බොන අනාගත මෘග සඤ්ඤා ලෝකය ගැන සාංසාරික බියයි, මේ ඉඩෝරය තුළින් භික්ෂුව මතු කොට දකින්නේ. පින්වත, ජලය වෙනුවට රුධිරය බොන අනාගත පංච උපාදානස්කන්ධ වියරු ලෝකය පිළිබඳව බියකරු මතක සටහන් ස්වභාව ධර්මය වර්තමානයේ අපිට සිහිපත් කොට දෙනවා. පින්වත, වර්තමානයේ ප්‍රඥාවෙන් අන්ධ නවීන විද්‍යාව මෙවන් වියරු ඉඩෝරයන්ට ‘එල්නිනෝ’ යැයි ඇස්බැන්දුම් මායාකාරී වචන භාවිතා කළ ද, මෙවන් විපරිත එල්නිනෝවන්ගේ මූල බීජය හටගන්නේ ලෝක සහ අපේ පින්වත් රාජ්‍ය නායකයන්ගේ නොසෑහෙන තෘෂ්ණාවේ විඳීම් තුළ බව සිහිනුවණින් තේරුම් ගැනීම, අපි අහිංසක ස්වභාව ධර්මයට කරන සාධාරණයක් වෙනවා. පින්වත, වර්තමානයේ ලෝක ජනතාවගේ පිනට, අපිට පෙනෙන්නට තිබෙන්නේ එක ඉරක් පමණක් මයි. පින්වත, ‘සප්ත සූර්යගමන සූත්‍රයේ’ දී, ඉරවල් හතක් පායන සත්ත්වයාගේ අකුසලය, සංස්කාර පාර්ලිමේන්තුවේ තුනෙන් තුනේ බලයක් ලබා ගන්නා දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, අපේම ලෝභ, ද්වේශ, මෝහයෝ තුළින් පරිසරගත වන ඉඩෝරය තුළින් ගැටෙන සිත් නොව අනාගත සංසාර බිය ම ඇති කොට ගන්න. ලෝකයට අයිති නියඟය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්න.


පින්වත, ඉපදීම දුකක්, පින්වත, මරණයත් දුකක්, පින්වත, ජීවත්වීමත් ඇත්තට ම දුකක්. පින්වත, මේ දුක් ගොඩ අපි සතුටින් ම නේද, ප්‍රාර්ථනා කරන්නේ? පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දුක සඟවන අපූරුව, ඔබ තුළින් ම ඔබ දකිනවා නේද? පින්වත, අවිද්‍යාවට හිරි ඔතප් දෙක නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයට කෙසේ නම් ලජ්ජාව සහ බිය ඇති වෙන්න ද? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය සංස්කාරයෝ කෙරෙහි නොසැලෙන තෘෂ්ණාව මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, භාවනාව උදෙසාත් තෘෂ්ණාව අවශ්‍යයි නේද?” කියලා. පින්වත, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා තෘෂ්ණාව ප්‍රයෝජනයට ගන්න වෙනවා. පින්වත, අනාගාමී උත්තමයා තුළත් කාම, රාග, පටිඝයෝ නිවුණ, අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, තෘෂ්ණාවේ ජවාධික ඇලීම් සහ ගැටීම් හේතුඵල ධර්මයෝ යටපත් කොට ගෙන මතු කොට ගන්නා වූ උපේක්‍ෂාව, තෘෂ්ණාවේ අණසක පංච නීවරණයන්ගෙන් ගලවා සප්ත බොජ්ඣංගයන්ට ලබා දෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක විකුණන පාතාල නායකයා තෘෂ්ණාව වුවද, සතර සතිපට්ඨාන ධර්මයෝ ඉදිරියේ තෘෂ්ණාව පැනලා දුවන්නේ අවිද්‍යාවත් අසරණ කරමින් මයි. පින්වත, අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාතාලය, අපිට භාවනාවේදීත් ඇලීම් සහ ගැටීම් මත්ද්‍රව්‍ය පොවන්නේ අවිද්‍යා ගිණුම්වලට සංස්කාර කළු සල්ලි ගොඩ ගසා ගැනීම උදෙසා මයි. පින්වත, අපේ භාවනාවේ ආස්වාදයෝ හරිම දක්‍ෂයි, භාවනාවෙන් උපදින සංස්කාර කළු සල්ලි, මිච්ඡා ඥාන දර්ශනයෝ සහ මිච්ඡා විමුක්තිය තුළින් සුදු කොට පෙන්වන්න. පින්වත, ඔබත් මිච්ඡා අධිගමයන් ලෝකයාට ප්‍රකාශ කොට, තෘෂ්ණාවේ පාතාලයට සංස්කාර කළු සල්ලි සුදු කොට දෙන, අවිද්‍යා පාතාලයේ සාමාජිකයෙක් දැයි සිහිනුවණින් සිතා බලන්න.


පින්වත, රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක වපුරන්න හෝ දුක විකුණන්න නොවේ. පින්වත, අපි පැවිදි වුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වෙන්නයි. පින්වත, පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් තුළින් දුකෙන් මිදෙන මාර්ගය අහිංසක ලෝකයාට කියලා දෙන්නයි. පින්වත, රජවරු යැයි කියන්නේ රටේ භාරකරුවෝයි. පින්වත, ජනතාව යැයි කියන්නේ රටේ අයිතිකරුවෝයි. පින්වත, මහා සංඝරත්නය යැයි කියන්නේ ඉහත දෙපාර්ශ්වයට ම ගුණයෙන් සහ ඥානයන්ගෙන් ඉදිරියෙන් සිට අනුශාසනා කරන්නෝයි. පින්වත, අධර්මයේ වැහි වලාවන්ගෙන් සමාජය මතට ඇද හැලෙන තෘෂ්ණාවේ අකල් වැසි ඉදිරියේ උතුම් සංඝ සමාජයේ නොසැලෙන ප්‍රතිපත්තිගරුකභාවය තෙමෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, සුපටිපන්න ආදි වූ ලෝකයේ උත්තම ගුණයන් හතරක් දරාගත්ත, ලෝකයේ උත්තම පුද්ගලයන් අටදෙනා ජීවත් වෙන්නේ උත්තරීතර සංඝ සමාජය තුළ පමණක් මයි. පින්වත, “මුදලට, බලයට සියල්ල යටත්” ය කියලා සමාජ මතයක් තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව එම මතය තරයේ ප්‍රතික්ෂේප කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ දරාගත්ත මහා සංඝ රත්නය ධනයට, බලයට සොලවන්නවත් බැහැ. පින්වත, එයයි මහා සංඝ රත්නයේ පරම්පරාගත ජාන හැඩරුව වෙන්නේ. එම උත්තරීතර ගුණයයි, සංඝ සමාජයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ.


පින්වත, මේ උදා වෙන්නේ පුණ්‍යවන්ත වස්සානයේ දෙවෙනි මාසයයි. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, උතුම් ධම්මානුපස්සනාව තව තවත් අර්ථවත් කරලා. පින්වත, වස්සානය අවිවේකයට ගොදුරක් කොට දෙන්න එපා. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකවල සංස්කාර කෙත්වතු ඵලබර වෙද්දී, ඇලීම් සහ ගැටීම් ආහාර සොයාගෙන අවිවේකී වෙන්න අපි හරිම කැමතියි. පින්වත, සුන්දර වස්සානයේ දී, කඨින චීවරයේ සිට කඨින පින්කම් දක්වා අවිවේකී කාලසටහනක් පැවිදි අපි ඉදිරියේ දිගහැරෙනවා නේද? පින්වත, ලෝකය යැයි කියන සඤ්ඤාව ගත්තොත්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෝ මේ සියල්ල ම තිබෙනවා. පින්වත, අපි කැමති, ලෝකය යැයි කියන සඤ්ඤාව ලෝකය හැටියට ම ගන්නයි. පින්වත, ඔබ කැමති ද, සුන්දර වස්සානය තුළින් කඨින චීවර, කඨින පින්කම් නොව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න? පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන ඵස්සය අසලින් ‘දැක්කා’, ‘ඇසුණා’, දැනුණා’ යැයි ඔබේ තෘෂ්ණාවේ ලෝකයට තාවකාලිකව සමුදෙන්න. පින්වත, තාවකාලිකව නිවුණ ඵස්සය තුළින් ඔබ දකින්නේ උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේව මයි. පින්වත, ලෝකය විනිවිද ධර්මය දකින්න. පින්වත, පුණ්‍යවන්ත වස්සානයකට මීට වඩා කිනම් වටිනාකමක් දෙන්න ද? පින්වත, මේ රාත්‍රිය වස්සානය යැයි කියන නමටත් ඔච්චම් කරන, හරිම උෂ්ණාධික රාත්‍රියක්. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකයේ හැඩරුව වෙනස් වෙනවා. පින්වත, එම වෙනස් වීම දකින්න පංච නීවරණයෝ යටපත් වෙන්න ම ඕනේ. පින්වත, සැබෑම වස්සානය වෙන්නේ, වස්සානය තුළින් වස්සානය දැකීම නොවේ, වස්සානය තුළින් ‘වස්සානයේ නිරෝධය’ දැකීමයි.

ශීලයට ඔබේ ජීවිතය තුලින් වටිනාකමක් දෙන්න

පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ සිව්වැනි සතිය. පින්වත, අදත් උදෑසන භික්ෂුව විසින් සමාදන් වූ වස් ශීලය යළි ආවර්ජනය කරමියි, භික්ෂුව පුණ්‍යවන්ත වස් ශීලය කෙරෙහි සිහිනුවණ නැවුම් කොට ගත්තා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් පෝෂණය වූ, චාරිකාවන් අවම කොට බුදුරජාණන් වහන්සේ පැනවූ වස් ශීලය මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයක් වෙනවා. පින්වත, මේ උතුම් ශීලයෝ අපිට මුණ ගැසෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක දී බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපසම්පදා භික්ෂු සමාජයක දී පමණක් මයි. පින්වත, මෙවන් දුර්ලභ ශීලයකින් හික්මෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා යැයි කියන්නේ මොනතරම් නම් දුර්ලභ පිරිසක් ද? පින්වත, මෙවන් දුර්ලභ අර්ථයෝ කාමච්ඡන්ද ආදි වූ සුලබ පංච නීවරණයෝ ඉදිරියේ පැවිදි අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, එම නිසාම උතුම් වස් ශීලය දිනපතා උදෑසන ආවර්ජනය කිරීම, දුර්ලභ ධර්මයන් කෙරෙහි පැවිදි අපේ සතිය සිහිය අවදි කොට ගත්තා වෙනවා. පින්වත, උතුම් වස් ශීලය පැවිදි අපිව ස්වයංසීමාවකට යටත් කොට තිබෙනවා. පින්වත, පුණ්‍යවන්ත වස්සානයේ දී පැවිදි අපිව ස්වයංව සීමා කොට තිබෙන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් මයි. පින්වත, පැවිදි අපිට ඇතෙක් බරට නිදහස තිබුණත්, අපි දක්‍ෂ නම් අපේ කෙලෙස් බරට සැහැල්ලුව දෙන්න වස් ශීලයට ඖෂධීය ගුණයක් තිබෙනවා. පින්වත, මෙලොව සහ පරලොව සැපයට ලොල් වූ ලෝකයට, දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සතිය සහ සිහිය ඇති කොට දීමේ මානසික විවේකය, වස්සානයේ ධර්මානුකූල හැඩරුව කොට ගන්න පැවිදි අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, උතුම් වස්සානය තවත් පිනේ ඝෝෂාවක් පමණක්ම නොව, පින යනු අනිත්‍ය වී යන සංස්කාරයක් යැයි දකින සම්මා ඥානයෝම අවදි කොට ගන්න දක්‍ෂ වෙන්න.


පින්වත, උතුම් ආජීව අට්ඨමක ශීලයට ඔබේ ජීවිතය තුළින් වටිනාකමක් දෙන්න. පින්වත, ශීලය ඔබට බල කරන්නේ නැහැ, ශීලයට ඔබේ ජීවිතය තුළින් වටිනාකමක් දෙන්නය කියලා. පින්වත, සමාජය තුළ දිගහැරෙන අනපේක්‍ෂිත විපත් මනුෂ්‍ය සමාජයට බල කරනවා, කරුණාකර ශීලයට වටිනාකමක් දෙන්නය කියලා. පින්වත, අනාගතයේ ඇති වන විපතකින් ඔබ අනතුරකට පත් වෙන තුරු ඔබ ප්‍රමාදී වෙන්න එපා. පින්වත, වර්තමානයේ ශීලයට තම ජීවිතයෙන් වටිනාකමක් දෙන්නා, අනාගතයේ දී ශීලයේ උතුම් ආනිශංස ධර්මයන්ගේ ප්‍රතිලාභයන් මයි ලබන්නේ. පින්වත, හෙට දවසේ ඔබේ ජීවිත ආරක්‍ෂාවේ තීරකයා වෙන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් නොවේ. පින්වත, හෙට දවසේ ඔබේ ජීවිත ආරක්‍ෂාවේ තීරකයා බවට පත් වෙන්නේ, ඔබ තුළින්ම සකස් වන ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවයයි. පින්වත, පටිච්චසමුප්පන්න අපේ දුර්වල සංස්කාරයෝ අනතුරු සහ විපත් කරා යන්න අපිට දැනීම් සකස් කොට දෙනවා. පින්වත, ඔබේ දුසිල්වත්භාවය අනාගත අනතුරු සහ විපත් දිශාවට ඔබේ ජීවිතය විවෘත කොට දෙනවා. පින්වත, දුසිල්වත්භාවයේ කෙටි සැපයන් උදෙසා සිල්වත්භාවයේ මහා සැපයන් සමාජයට අහිමි කොට ගන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේට, රුවන්වැලි මහා සෑ සමිඳුන්ට, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ඔබව ආරක්‍ෂා කොට දෙන්න බැහැ. පින්වත, සමාජය තුළ දිනපතා සිදු වන විපත්, අනතුරු අවම කොට ගැනීමට නම් තෙරුවන් කෙරෙහි කීකරුභාවයෙන් ශීලයේ සහ මෛත්‍රියේ කුසල් ශක්තිය ඔබ තුළින්ම ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව දඹදිව වැඩසිටිය දීම, විශාලා මහනුවර ජනතාව තමන්ගේ අකුසල් සංස්කාරයෝ විසින්ම විනාශයේ දොරටු විවෘත කොට ගත්තා. පින්වත, බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ මාර්ගය කියා දීම පමණක් මයි. පින්වත, මාර්ගයට කීකරු වීම හෝ අකීකරු වීම අපේ සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයක් මයි.

පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, තමන් සමාධි භාවනාවක යෙදී සිටිය දී දෙවියෙක් දර්ශනය වී, තම බිරිඳටත් තමන්ටත් මේ ජීවිතයේ දී ම සෝවාන්ඵලයට පත් වෙන්න පුළුවන්” ය කියලා කිව්වාය කියලා. පින්වත, මේ කතාව ඇත්තක් ද කියලයි ඔහු භික්ෂුවගෙන් විමසන්නේ. පින්වත, ඉහත කතාව දෙවියන්ගේ කතාවක් නොවේ. ඉහත දෙවියාගේ සිද්ධියට කියන්නේ සමථ විදර්ශනාවේ ආස්වාදය කියලයි. පින්වත, සමාධිමත් සිතේ විඳීම් තුළ බැස ගත්ත ‘විඤ්ඤාණයේ මායාව’, අපිට මෙවැනි මැජික් සන්දර්ශනයෝ පෙන්වන්න පුළුවන්. පින්වත, “ඔබ තුළ තෙරුවන් කෙරෙහි කීකරුභාවය, වීර්යය සහ අකුසලය කෙරෙහි ලජ්ජාව සහ බිය කියන කාරණා තුන තිබෙනවා නම්, ඔබට මේ ජීවිතයේ දී ම උතුම් සෝවාන්ඵල අවබෝධයෝ සාක්ෂාත් කොට ගන්න පුළුවන්” යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ඔබ දෙවියන්ගේ දර්ශනයන්ට බැඳුණොත් අවබෝධය දිශාවට නොව ආස්වාදයේම ගොදුරක් වෙන්නත් පුළුවන්. පින්වත, ඔබ උතුම් සමාධියේ දී දැක්කා යැයි කියන ඔය දෙවියාගේ රූපය මුලින් ම කායානුපස්සනාවෙන් දකින්න. පින්වත, දෙවියා, දෙවියෙක් නොව අට්ඨික සඤ්ඤාවක් කොට දකින්න. පින්වත, ඔය දිව්‍ය රූපය කෙරෙහි තෘෂ්ණාව පහවුණ තැන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්ට පවතින්න බැහැ. පින්වත, ඔය දෙවියාගේ රූපය ඔබ නිත්‍ය සඤ්ඤාවෙන් දැක්කොත්, දෙවියා දැක්ක ඔබේ ආධ්‍යාත්මික රූපයත් ඔබ නිත්‍ය සඤ්ඤාවෙන් ම දකිනවා. පින්වත, ඔය දෙවියාගේ රූපය විදර්ශනාවෙන් කඩා බිඳ දමන්න. පින්වත, එසේ නොවුණොත් දෙවියාගේ රූපය ඵස්සය වීමෙන් සකස් වන සෑම සිතුවිල්ලක්ම උතුම් සෝවාන්ඵල අවබෝධයට අදාළ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම උදෙසා නොව, පංච උපාදානස්කන්ධයේ ප්‍රවර්ධනය උදෙසා ම හේතු වෙනවා. පින්වත, දෙවියන්ගේ කතාවන්ට සවන් නොදී බුදුරජාණන් වහන්සේට සවන් දෙන්න. එවිට ඔබට ඇසේවි, “සෝවාන්ඵල අවබෝධයට එකම මාර්ගය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෙන් පෝෂණය වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය” යැයි කියලා.

පින්වත, සත්ත්වයාගේ පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල්වල හැඩරුවට අදාළව, රූපයේ ප්‍රකෘති සහ විකෘතීන් ඇති වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ජීවත් වූ බරට බරේ මහ පොළොවේ ඇතිල්ලෙන තරම් විශාල වෘෂණ කෝෂ දෙකක් සහිත ප්‍රේතයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මෙම ප්‍රේතයාගේ වෘෂණ කෝෂවල විශාලත්වය නිසා ම ප්‍රේතයාට නිදහසේ ඇවිදින්න බැහැ. පින්වත, ඔහු වරෙක තම විශාල වෘෂණ කෝෂය දකුණු කර මතට ගන්නවා. එවිට ප්‍රේතයා වෘෂණ කෝෂයේ බරට දකුණු පැත්තට බර වෙනවා. පින්වත, ප්‍රේතයා මහා පීඩාවකින් ටික දුරක් ඇවිදලා තම වෘෂණ කෝෂය වම් කරට ගන්නවා. පින්වත, එවිට ප්‍රේතයා වම් පැත්තට බර වෙලා යනවා. පින්වත, වෘෂණ කෝෂයේ අධික බර ප්‍රේතයාගේ සමබරතාවය සාහසික ලෙස උදුරා ගෙන තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මෙම අධිබර වෘෂණ කෝෂ සහිත ප්‍රේතයා, පෙර පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයේ දී නීතිය පක්‍ෂග්‍රාහීව කිරපු අධිකරණ විනිසුරුවරයෙක්” ය කියලා. පින්වත, වර්තමානයේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ අලුත් අලුත් මාතෘකාවෝ කල එළි බහිනවා නේද? පින්වත, පරිස්සමෙන්, ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්න ගිහිල්ලා පටිච්චසමුප්පන්නව ඔබලා “අන්ක්ලීන්” වෙන්න නම් එපා. පින්වත, මේ රාත්‍රියේ කැලෑ රොදේ ගස් කොළන් අතරින් මහා ගිනි මැලයක් භික්ෂුවට පෙනෙනවා. පින්වත, වගාවන්ට හානි කරන වන සතුන්ව පළවා හරින්න ගිනි මැලයක් ගහලා.

පින්වත, භික්ෂුව වැඩසිටින ගමට අලි වැටක් තිබුණත්, එම අලි වැට සුදු අලින් හේතුවෙන් අක්‍රීය වෙලා. පින්වත, ජීවත් වීම උදෙසා දිවා රාත්‍රී සතාසිවුපාවා සමග පොර බදමින් ජීවත් වෙන මෙවැනි අහිංසක මනුෂ්‍යයන් කෙසේ නම් “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩන්න ද? පින්වත, අපේම පටිච්චසමුප්පන්න සංස්කාරයෝ නියමිත සළායතනයන්ට අදාළව, අපිට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් දුක බෙදනවා. පින්වත, එහෙත් මේ රාත්‍රියේ ගිනි මැලයේ එළියෙන් පැල් රකින ඔබලාට මෛත්‍රිය හෝ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි නැහැ. පින්වත, මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කරපු අංගුලිමාලත් මේ උතුම් ශාසනයේ අග්‍රම ප්‍රතිලාභයෝ උරුම කොට ගත්තා. පින්වත, සුනීත, සෝපාකලාත් උතුම් ශාසනයේ අග්‍රම ප්‍රතිලාභයෝ උරුම කොට ගත්තා. පින්වත, හෙට උදෑසන මෙම අහිංසකයන් බතක්, ව්‍යංජනයක්, අතුරුපසක් හදාගෙන පිණ්ඩපාතය බෙදන්න පිණ්ඩපාත මඩුවට පැමිණේවි. පින්වත, භික්ෂුව එම ගම්වාසීන් උපයෝගී කොට ගෙන මෛත්‍රී සිතත්, විදර්ශනා සිතත් ශක්තිමත් කොට ගනීවි. පින්වත, කෙනෙකුගේ දුකට බර ජීවිතය, තවත් කෙනෙකුගේ දුකේ නිරෝධය උදෙසා හේතු වේවි. පින්වත, අවිද්‍යාවෙන් ගොරහැඩි ලෝකයට ආදරය කරන්න හෝ වෛර කරන්න යන්න එපා. පින්වත, ලෝකය විනිවිද දකින්න. පින්වත, එවිට අවිද්‍යාවෙන් ගොරහැඩි වූ, දුකෙන් පිරී ගිය ලෝකය, ඔබ තුළ වැඩෙන සම්මා ඥානයෝ අභියස දණ ගසාවි. පින්වත, දුක, පින්වත, දුකට හේතුව තෘෂ්ණාව. පින්වත, ලෝකයේ සැබෑ හැඩරුව ඔබේ රූපය තුළ නොවේ තිබෙන්නේ, ඉහත ධර්මතාවයෝ තුළ යැයි එවිට ඔබට පසක් වේවි. පින්වත, ඔබ හැඩවැඩ කරන ඔබේ ආධ්‍යාත්මික රූපය අවිද්‍යාවේ ඇස්බැන්දුම් රූපයක් පමණක්ම නේද කියලා ඔබට තේරුම් යාවි.