Saturday, August 8, 2026

ඔබේ බලය තුලින් ධර්මය දකින්න

 පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, අපි හැමෝම කාම, රූපී සහ අරූපී භව සිර ගෙවල්වල රැඳවියන් බවට පත් කරලයි තිබෙන්නේ. පින්වත, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ යැයි කියන ධර්මතාවය හේතුවෙන් වර්තමානයේ කාම භවය නමැති සතර අපායේ සහ මනුෂ්‍ය ලෝකයේ සිර ගෙවල් පිරී ඉතිරී ගිහින් තිබෙන්නේ. පින්වත, අපේ පින්වත් පර පණ නොනසන රාජ්‍ය නායකතුමන්ලා මරණ දඬුවමට එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට හැමදාමත් බිය වුවත්, සිහිනුවණින් බලන්නකෝ, කාම භවයේ ළදරු සිර ගෙවල්වල හැමදාමත් මිනී මරා ගැනීම් සිද්ධ වෙන අපූරුව. පින්වත, එල්ලුම් ගසේ පවෙන් පින්වත් රාජ්‍ය නායකයෝ අත සෝදා ගත්තත්, තම යටත් වැසියෝ මිනී මරා ගනිද්දී, එම ප්‍රාණඝාත අකුසලයෙන් කොටසක් පින්වත් රාජ්‍ය නායකවරුන්ටත් අයිති වන බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, රටේ ජනතාවගේ ආරක්‍ෂකයා වෙන්නේ පින්වත් රාජ්‍ය නායකයෝයි. පින්වත, පින සහ පව විසින් කාම ලෝකයේ මහා පන්ති භේදයක් ඇති කොට තිබෙනවා. පින්වත, පින සහ පව විසින් ඇති කරන මෙම පන්ති භේදය දෙපාර්ශ්වයේ ම පින උදෙසා කළමනාකරණය කොට ගන්නයි, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය යැයි කියන සත්පුරුෂ ධර්මයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. පින්වත, ඇති සහ හැකි ඇත්තෝ, නැති සහ බැරි පින්වතුන්ලාව මනුෂ්‍යත්වයෙන් යුතුව පෝෂණය කිරීමට මෛත්‍රිය, ශීලය සහ ත්‍යාගය සත්පුරුෂභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා. පින්වත, රජවරුන් සහ ධනවතුන් මේවා මෙසේ නොකරද්දී, ද්වේශය, වෛරය, පළිගැනීම, ප්‍රචණ්ඩත්වය සමාජගත වීම අපි බලාපොරොත්තු විය යුතු හේතුඵල ධර්මයෝ ම වෙනවා.


පින්වත, දුකට හේතු දෙකක් නැහැ. පින්වත, දුකට එකම හේතුව ‘තෘෂ්ණාවයි.’ පින්වත තෘෂ්ණාව වැඩි වෙන්න, වැඩි වෙන්න සැප බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, තෘෂ්ණාව වැඩි වෙද්දී ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක මයි දෝරේ ගලා එන්නේ. පින්වත, මේවා සමාජය තුළ හැමදාමත් බබළන ඒහිපස්සික ධර්මයන් වෙනවා. පින්වත, බලය කෙරෙහි තෘෂ්ණාව සමාජය ම දුකෙන් ගිනියම් කරනවා. පින්වත, අපි කවුරුවත් ම ලැබුණ බලය අහිමි කොට ගන්න කැමති නැහැ. පින්වත, එම නිසා ම, බලවතුන් තම බලය ඉදිරියේ බියෙන් සහ සැකයෙන් මයි පසුවෙන්නේ. පින්වත, බලය අහිමි වේ යැයි ඇති කොට ගන්නා බිය සහ සැකය නිසා ම, විසඳාගත හැකිව තිබෙන ප්‍රශ්න අපි මහා යුද්ධ බවට පත් කොට ගන්නවා. පින්වත, බලය සහ තෘෂ්ණාව යැයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත නිසා ම, මේ දෙපැත්ත ම හේතුඵල ධර්මයෝ හඳුනන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය සහ බලය යැයි කියන්නේ මෛත්‍රියේ, ශීලයේ සහ ත්‍යාගයේ සුන්දර හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, ඔබේ බලය තුළින් ධර්මය දකින්න. පින්වත, ඔබ ලැබූ බලයෙන් මත් නොවී, ඔබේ බලය මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් පෙරළා මොනවට පෝෂණය කොට ගෙන “මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකිද්දී, ඔබට පුළුවන් ඔබේ බලය ආර්ය බලයක් බවට පත් කොට ගන්න. පින්වත, අනේපිඬු සිටුතුමා, විශාකා උපාසිකාව, බිම්බිසාර රජතුමා තම බලය ආර්ය බලයක් හෙවත් තෘෂ්ණාවෙන් උපන් බලය, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා උපකාරක ධර්මයන් සකස් කොට දෙන ආර්ය බලයක් උදෙසා ම යොමු කොට ගත්ත උත්තමයන් වෙනවා.


පින්වත් මහත්මියක් භික්ෂුවගෙන් විමසුවා, තමන් වාහනය පදවද්දී අකීකරු රියදුරු මහත්වරුන්ගේ නොමනා රිය පැදවීම් හේතුවෙන් නිතරම කේන්තිය ඇති වෙනවාය කියලා. පින්වත, තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලට පින් සිද්ධ වෙන්න, හැමදාමත් අකීකරුකම් ලෝකයේ තිබුණා. පින්වත, අනුනගේ අකීකරුකම්වලින් තොරව ලෝකයක් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ මහානාම ශාක්‍යයා වරක් බුදුරජාණන් වහන්සේට කියනවා, “භාග්‍යවතුන් වහන්ස, සවස රජගහ නුවරට යද්දී, නොසන්සුන් මනුෂ්‍යයෝ, වේගයෙන් එහා මෙහා යන අශ්ව කරත්ත, ගොන් කරත්ත දැකලා මගේ සිත චංචල වෙනවා” ය කියලා. පින්වත, සෝවාන්ඵල අවබෝධය ලැබූ මහානාම ශාක්‍යයාත් මහ පාරේ අනුනගේ අකීකරුභාවයන් හේතුවෙන් චංචල සිතුවිලි ඇති කොට ගත්තා. පින්වත, රිය පදවන හැමෝගේ ම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ. පින්වත, එම නිසා ම, මහ පාරේ දී ඔබේ විනයගරුකභාවය හැම රියදුරු මහත්මයෙක්ගෙන් ම බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයන්ගේ විවිධත්වය මුල්වී ඇති වන දැනීම් හරිම සංකීර්ණයි. පින්වත, මෙම සංකීර්ණ දැනීම්, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ ධර්මතාවයෙන් යළි පණ ලබද්දී, මහ පාර අවිද්‍යාවට ජරා, ව්‍යාධි, මරණ ගොදුරු සොයා දෙන මාර රඟමඬලක් ම වෙනවා. පින්වත, අපරික්‍ෂාකාරීව රිය පදවන අකීකරු රියදුරු මහතා තුළින් ඔහුගේ නීතිවිරෝධීභාවය නොව, ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නොදියුණුභාවය ම දකින්න. එවිට ඔබට පුළුවන් අකීකරු රියදුරු මහත්වරුන් තුළින් ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තව තව දියුණු කොට ගන්න. පින්වත, මහ පාර මාරයාගේ ගොදුරු බිමක් නිසා ම, මහ පාරේ රිය පදවන ඔබ සතිමත් වෙන්න.


පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය බොහෝම වේගයෙන් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යනු රූපය ඇසුරෙන් සකස් වන ඵස්ස, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයයි. පින්වත, ඔබේ ආධ්‍යාත්මික රූපයත්, ඊට අරමුණු වෙන සෑම බාහිර රූපයනුත් කැඩෙන, බිඳෙන, විසිරෙන අපූරුව පින්වත් ඔබට හොඳින් ම පෙනෙනවා නේද? පින්වත, පසුගිය සතියේ මීගමුව සිර ගෙදර දී මනුෂ්‍ය රූප විසිගණනක් කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. පින්වත, ඩෙංගු රෝගය නිසා මනුෂ්‍ය රූප තිස්ගණනක් ම කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. පින්වත, දිනකට ජරා, ව්‍යාධි, මරණ හේතුවෙන් කැඩී, බිඳී, විසිරී යන මනුෂ්‍ය ජීවිත මොනතරම් තිබෙනවා ද? පින්වත, ආධ්‍යාත්මික රූපයෝ කැඩී, බිඳී, විසිරී යද්දී සකස් වන ඵස්ස, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩී, බිඳී, විසිරී යාම සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයක් මයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය අපිට නොකැඩී, නොබිඳී, නොවිසිරී තබා ගන්න බැහැ. පින්වත, මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට ඔබ ඔරොත්තුදෙන්නෙක් වෙන්න. පින්වත, දෙවනුව ඔබ මේ ලෝකයෙන් නිදහස් වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මෙම සටහන තබන්නේත් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් මයි. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින සිතත් උතුම් ධම්මානුපස්සනාවෙන් ම, චිත්තානුපස්සනාවෙන් ම සෝදා හරිනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි අවබෝධාත්මක කලකිරීම හැර වෙන කිසිම කිලුටක් එවිට ඵස්සය තුළ ඉතිරි වෙන්නේ නැහැ.


පින්වත, ඔබේ ජීවිතය ‘භව නිරෝධය’ උදෙසා ඔබට ලැබුණ පෙර පටිච්චසමුප්පන්න පිනේ භව සම්පතක් හැටියට ම දකින්න. පින්වත, භවය යනු ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට රාජකීය තෝතැන්නයි. පින්වත, භවය දුකේ උල්පත වුව ද, භවයෙන් නිදහස් වීමට නම් භවයේ උපදින්න ම සිද්ධ වෙනවා. පින්වත, අපි සියල්ලෝ ම භවයෙන් නිදහස් වීමට අදාළ ධර්මානුකූල උපකාරක ධර්මයන් වන ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ ආශීර්වාදය ලබමිනුයි ජීවත් වෙන්නේ. පින්වත, අපි ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ ආශීර්වාදය ලැබුවත්, තාමත් අපි කාරණා තුනකින් ප්‍රමාදීවයි පසුවෙන්නේ. පින්වත, එම කාරණා තුන වෙන්නේ තෙරුවන් කෙරෙහි අවබෝධාත්මක ශ්‍රද්ධාව, වීර්යය සහ දසඅකුසල් ධර්මයෝ කෙරෙහි ලජ්ජාව සහ බිය ඇති කර නොගැනීමයි. පින්වත, ප්‍රමාදීභාවය අනුනගේ නොව, ඔබේ ම දුකට මුලයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට ආදරය කරන්න එපා; වෛර කරන්නත් එපා. පින්වත, ආදරයත්, වෛරයත් යන දෙකම අයිති දුකේ ලෝකයට මයි. පින්වත, මේ ජීවිතයේ දී ඔබට ලැබුණ සියල්ලෝ ම සහ සියල්ල ම අවිද්‍යාවෙන් උපදින සංස්කාරයන්ගේ ම හේතුඵල ධර්මයන් හැටියට දකිමින්, ලෝකය, ලෝකයේ නිරෝධය උදෙසා කමටහනක් කොට ගන්න. පින්වත, “නිවන උදෙසා ඔබේ ජීවිතය දන් දෙන්න.” පින්වත, එවිට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙරෙහි තෘෂ්ණාව මැරිලා යාවි. පින්වත, ඊට මාර්ගය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෝ මයි.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ 

2026 ජූලි 19  ලිපිය

ඔබ තුලින් ඔබ දකින්න එපා

 පින්වත, මෙම සටහන කියවන ඔබ සමාජයේ ජීවත් වන ජනප්‍රිය චරිතයක් ද? පින්වත, ඔබ සැබවින් ම ජනප්‍රිය චරිතයක් නම්, කරුණාකර ඔබේ ජනප්‍රියභාවය ‘මම’ ය, ‘මගේ’ ය යැයි දකින්න එපා. පින්වත, ඔබ, ඔබේ ජනප්‍රියභාවය මමය, මගේය යැයි දැක්කොත්, ජනප්‍රියභාවය කෙලෙසන මමත්වයේ දැඩිභාවය ප්‍රණීතභාවයෙන් ඔබ තුළින් හිස ඔසවනවා. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබ ප්‍රගුණ කළ මෛත්‍රියේ සහ ශීලයේ හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය මෛත්‍රියේ සහ ශීලයේ හේතුඵල ධර්මයෝ හැටියට දකිද්දී, පුද්ගල සඤ්ඤාවෝ නිරාහාර කළා වෙනවා. පින්වත, පුද්ගල සඤ්ඤාවෝ මිලින කොට දමා හේතුඵල ධර්මයෝ විකසිත කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ජනප්‍රියභාවය හේතුවෙන් ඔබ තුළ සකස් වන පුද්ගල සඤ්ඤාවෝ ‘අනිත්‍ය’ යැයි දකිමින්, ඔබේ ජනප්‍රියභාවය පෙරළා මෛත්‍රියේ සහ ශීලයේ ප්‍රවර්ධනය උදෙසා ම ආයෝජනය කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, එවිට ඔබේ ජනප්‍රියභාවය තව තවත් ශක්තිමත් වෙනවා. පින්වත, එවිට ඔබේ ජනප්‍රියභාවය දැකලා සතුටු වෙන සහ ‘සුවපත් වේවා!’ යැයි සිතන බාහිර පින්වතුන්ලාට ලැබෙන පිනට අදාළ ආනිශංසයෝ ගොඩාක් බලවත් වෙනවා. පින්වත, යම් පින්වතෙක් මෛත්‍රියෙන් සහ ශීලයේ ශක්තියෙන් ලබන ජනප්‍රියභාවය හේතුවෙන් තමන්ට පමණක් නොවේ, ඔහු සමාජයටත් පිනේ දන්සලක් ම වෙනවා. පින්වත, රටක රාජ්‍ය නායක පින්වතෙක් “දසදිශාවේ ම සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිත පුහුණු කළොත්, තම මෛත්‍රියේ ඵලයෙන් ම ශීලයේ ශක්තිය ජීවිතයට උනනවා. පින්වත, එවැනි සත්පුරුෂ නායකයෝ සමස්ත රටවාසී ජනතාවට ම, පිනේ දන්සලක් ම වෙනවා. පින්වත, එවන් සත්පුරුෂ නායකයෝ රටවාසී ජනතාවට ‘පිනේ ඉඩෝරයක්’ නම් වෙන්නේ නැහැ.


පින්වත, ගෞරවනීය නායක පින්වතුන්ලා පිනේ ඉඩෝරයට හසුවෙද්දී, සමස්ත රටේ ම වර්ණය, සැපය, බලය පිරිහීමේ දිශාවට ම ගමන් කරනවා. පින්වත, එවිට රටේ ආරක්‍ෂාව, ආර්ථිකය සහ නීරෝගීභාවය අභියෝගයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳව පාඩමක් නොවේ. භික්ෂුව මේ සටහන් තබන්නේ සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ගෞරවනීය පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන්ලා උතුම් පංචශීලයේ අර්ථය අවංකව ම තම ජීවිතවලට එකතු කොටගතහොත්, එම පරිත්‍යාගය තමන් උපන් රටට එම පින්වතුන්ලා දක්වන ශ්‍රේෂ්ඨ ම කල්‍යාණමිත්‍රභාවය වෙනවා. පින්වත, පංචශීලයේ ආනිශංස ධර්මයෝ තුළ ජනප්‍රියභාවය තිබෙනවා; ආරක්‍ෂක, ආර්ථික සහ නීරෝගීභාවයට අදාළ අභියෝගයෝ ජය ගැනීමේ ශක්තිය තිබෙනවා; ජාතියේ භව භෝග සම්පත් ආරක්‍ෂා කොට දීමේ ශක්තිය තිබෙනවා. පින්වත, රටක සෞභාග්‍යයට අවශ්‍ය සියලු ධර්මතාවයෝ පංචශීලයේ ශක්තිය තුළ සැඟවී තිබෙනවා. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ කෙරෙහි විශ්වාසය ඇති වෙන්න නම්, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්නට ඕනේ. පින්වත, සම්මා දිට්ඨියෙන් බංකොලොත් පින්වතා, ඉහත කාරණාවෝ හාස්‍යයෙන් මයි දකින්නේ. පින්වත, ඔබ තුළින් “ඔබ” දකින්න එපා. පින්වත, ඔබ තුළින් “ධර්මය” දකින්න. පින්වත, ඔබ තුළින් ඔබ දැක්කොත් ‘ඵස්ස පච්චයා වේදනාවෝ’ ඔබව ගිල ගනීවි. පින්වත, එවිට ඔබ එල්ලෙන්නේ උපාදානයන්ට පණ දෙන තෘෂ්ණාව නමැති ඉණිමඟේ මයි.


පින්වත, ඔබ, “ඔබ” උපන් මාතෘභූමියට කල්‍යාණමිත්‍රයෙක් වෙන්න කැමති ද? පින්වත, ඔබ උපන් රටට, ජාතියට, ආගමට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න අවශ්‍ය නම් කරුණාකර පංචශීලය දිවිහිමියෙන් සුරකින පින්වතෙක් වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා තමන් දිවිහිමියෙන් සුරකින උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශක්තියෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කල්‍යාණ මිත්‍රයෙක් මයි. පින්වත, අපි සම්මා සම්බුද්ධ ශාසනයට අර්ථවත්ව කල්‍යාණ මිත්‍රයෙක් වෙද්දී, පෙරළා සම්මා සම්බුද්ධ ශාසනයත් අපිට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා හිස නැවිය යුත්තේ, උතුම් තෙරුවන්ට පමණක් මයි. පින්වත, උතුම් තෙරුවන් යැයි කියද්දී සූත්‍ර, විනය, අභිධර්මය යැයි කියන සියලු ධර්මයෝ ඊට අයත් වෙනවා. පින්වත, උතුම් තෙරුවන්ට මෙහා වෙනත් කිසිදු කෙලෙස් බලයකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යටත් විය යුතු නැහැ. පින්වත, ඉහත අර්ථයයි සංඝ සමාජයේ පෞරුෂත්වයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ. පින්වත, උතුම් සංඝ සමාජයේ පෞරුෂත්වය කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලන්න යන්න එපා. පින්වත, එවිට අපි දකින්නේ ‘විඤ්ඤාණයේ මායාවක්’ පමණක් මයි. පින්වත, උතුම් පැවිදි අපේ ජීවිත දෙස පටිච්චසමුප්පාද කණ්ණාඩිය තුළින් බලන්න පුහුණු වෙමු. පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’, පින්වත, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ.’ පින්වත, සංඝ සමාජයේ පෞරුෂත්වයේ හැඩරුව විමුක්තියේ මංගල්‍යයට නිකෙලෙස් පාවඩයක් වෙන්නේ එවිටයි.


පින්වත, ජීවිත ඉදිරියට පැමිණෙන පළිබෝධයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. පින්වත, ජීවිතය කියන්නේ ම පළිබෝධයක්. පින්වත, උපත යම් තැනක ද, එතැන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව සහ පංච උපාදානස්කන්ධ දුකේ පළිබෝධයක් මයි. පින්වත, ජීවිතය වට කොට ගත් පළිබෝධයෝ සතුටෙන් හෝ දුකෙන් පිළිගන්න එපා. පින්වත, එවිට පළිබෝධයෝ තව තවත් පැටව් ගහනවා. පින්වත, ජීවිතය උරුම කොට ගත් ජරා, ව්‍යාධි, මරණ පළිබෝධයෝ, ‘ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ’ හැටියට ම දකින්න. පින්වත, ‘ජාති නිරෝධා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව නිරෝධෝ’ යැයි දකින්න. පින්වත, එවිට ජීවිතයට වද දෙන පළිබෝධයෝ තුළින් “මම” යැයි කියන සඤ්ඤාව නිරුද්ධ වෙලා යාවි. පින්වත, “මම” යැයි කියන සඤ්ඤාවෝ නිරුද්ධ කොට දැමූ ජරා, ව්‍යාධි, මරණ පළිබෝධයෝ අයිති වෙන්නේ අවිද්‍යාවේ කසළ බඳුනට මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව හොඳ ද, නරක ද යැයි සිතන්න යන්න එපා. පින්වත, මෙය මෙය සටහන් තබන භික්ෂුව සිල්වත් ද, දුසිල්වත් ද යැයි සිතන්න යන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ද, ශ්‍රද්ධානුසාරී ද, ධම්මානුසාරී ද යැයි සිතන්න යන්න එපා. පින්වත, මේ සෑම සිතුවිල්ලක් ම අයිති ලෝකයට, දුකට, ඇලීම් සහ ගැටීම්වලට පමණක් මයි. පින්වත, භික්ෂුව උපයෝගී කොට ගෙන ඔබේ ලෝකය ඔබ අවුළවා ගන්න එපා. පින්වත, භික්ෂුව උපයෝගී කොට ගෙන ඔබේ ලෝකය ඔබ නිවා ගන්න. පින්වත, භික්ෂුව සිහිපත් කොට ගෙන “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින්න. එවිට භික්ෂුව හේතුවෙන් ඔබේ ලෝකය නොඇවිළේවි.


පින්වත, පොසොන් සඳවතිය තවමත් කැලෑ පරිසරය අලෝකවත් කරනවා. පින්වත, සුදු පැහැ අහස් කුසේ, කහ පාටින් බැබළෙන අහිංසකාවිය දකිද්දී, ‘දැක්කා’ ය කියන තැන භික්ෂුවගේ සිත නවතිනවා. පින්වත, තම ප්‍රභාස්වර සඳ රැසින් දඟකාරකම් කරන දඟකාර සඳවතිය රූපයේ කෙටි ආස්වාදය පිළිබඳව ලස්සන ධර්මයක් අපිට කියලා දෙනවා. පින්වත, රූපයේ කෙටි අස්වාදයෝ අකුසල් මූලයන් උපද්දවමින් විඳින්න හොඳ නැහැ. පින්වත, අකුසල් මූලයන්ට පණ දෙමින් අපි රූපයේ කෙටි ආස්වාදයෝ භුක්ති වින්දොත්, එම අකුසල් විපාකයන්ගේ ඵලයෙන් ලස්සන රූපයන් ලෝකයෙන් අතුරුදන් වෙලා යාවි. පින්වත, ක්‍රමානුකූලව අකුසලයේ ඵලයෙන් මනුෂ්‍ය ජීවිතවල ආයුෂය අඩු වෙනවා. පින්වත, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු දහයට අඩු වන බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ක්‍රමානුකූලව මනුෂ්‍යයා උසෙන් අඩු අඟුටුමිටි මනුෂ්‍යයන් බවට පත් වෙනවා. පින්වත, ලස්සන ලෝකය, එදාට අකුසල් හේතුඵල ධර්මයෝ විසින් ම අවලස්සන කරනවා. පින්වත, අනාගතයේ දී පටිච්චසමුප්පන්නව අපි ලබන පරමායුෂ වසර දහයක් වූ අඟුටුමිටි රූපයත් එදාට අපි රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෙන් ම විඳිනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණයෝ, එදාට අඩු ආයුෂ ඇති අඟුටුමිටි රූපයටත් කඩවසම් පෞරුෂත්වයක් ලබා දෙනවා. පින්වත, රූප තෘෂ්ණාව නිරෝධය කොට දමන්න. එවිට පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට පටිච්චසමුප්පන්නව බැස ගැනීමට තිබෙන “ගෘහය” ඔබ කඩා බිඳ දැම්මා වේවි. පින්වත, එතෙක් පිනේ සක්විති රජ රූපයත් සහ පවේ අල්පායුෂ අඟුටුමිටි රූපයත් යන දෙකම අපි සතුටින් ම පිළිගනීවී.


පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී, විශාලා මහනුවර මහා නියඟයකින් ඇති වූ දුර්භික්ෂයකින් ජනතාව මරණීය දුක් ගොඩකට මුහුණ දුන් බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ වැඩසිටිය දී, කාලගුණික විපත්තීන්ගේ කර්කශභාවය ඒ තරම් කටුක වූවා නම්, අනාගතයේ දී ඇති විය හැකි කාලගුණික විපත්තීන් ගැන කිනම් කතාවක් ද? පින්වත, විශාලා මහනුවර ඇති වූ විනාශය තුළින් මහා නියඟය හෝ එහි ඵලයෙන් උපන් මහා දුර්භික්‍ෂය පමණක් දකින්න එපා. පින්වත, එවැනි විනාශකාරී නියඟයකට මුල්වූ විශාලාව “ගිනියම් කළ” හේතුඵල ධර්මයෝ නුවණින් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, යම් රටක ධනය බෙදී යාමේ දුර්වලභාවයන් හේතුවෙන්, ජනතාව මත පැටවෙන අධික බදු බර හේතුවෙන් සහ පින්වත් ජනතාව පීඩනයෙන් පලා යාම උදෙසා කාමයේ සහ රූපයේ ආස්වාදයට අසීමිත ආකාරයෙන් යොමු වීම හේතුවෙන් පින්වත් මනුෂ්‍ය ජීවිතවල ලෝභ, ද්වේශ, මෝහයෝ පදංග වශයෙන් මෝරා යද්දී, ශීලයේ උතුම් වටිනාකම් පංච නීවරණයෝ විසින් ග්‍රහණයට ගනිද්දී, මනුෂ්‍ය ජීවිතවල පිරිහීමට සාපේක්‍ෂව දෙවියෝත් පිරිහෙනවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, අකුසලයෙන් පිරිහී යන මනුෂ්‍යයෝත් ඊට සාපේක්‍ෂව දෙවියෝත් අකුසලයෙන් ගිනියම් වෙද්දී, පරිසරය ද ගිනියම් වෙනවා හැර වෙන කුමක් නම් සිද්ධ වෙන්න ද? පින්වත, අනාගතයේ ඇති වෙතැයි කියන කාලගුණික විපත්තීන් කෙරෙහි ඇලීම් සහ ගැටීම් ඇති කොට ගෙන, එවැනි විපත්තීන්ට මුල්වෙන හේතුඵල ධර්මයෝ නුවණින් දැක ධර්මයේ උපේක්‍ෂාව ඇති කොට ගන්න. පින්වත, එවිට ඔබේ සිතුවිලි මෛත්‍රියෙන්, ශීලයෙන් සිසිල් වෙනවා සේ ම, පාරිසරික ගිනියම්භාවය ද සිසිල් වෙලා යාවි.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 ජූලි 12 ලිපිය

මෛත්‍රීයට අදාල ආනිශංසයෝ ජීවිතයට එකතු කරගන්න

 පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි” කියලා. පින්වත, “සත්ත්වයා කර්මය මගේ කොට ගෙන, කර්මය ඥාතියා කොට ගෙන, කර්මය සෙවණැල්ල කොට ගෙන උපදියි” කියලා. පින්වත, අද සවස් යාමයේ භික්ෂුව අධිවේගී මාර්ගයේ බසයක වඩිද්දී, වේගයෙන් ගිය බස් රථයේ ඉදිරිපස වැදී පක්‍ෂියෙක් මැරී වැටුණා. පින්වත, පරිසරය පුරාවට මෙතරම් ඉඩකඩක් තිබිය දී, මෙම පක්‍ෂියාට බස් රථය ඉදිරියෙන් ම පියාඹන්න දැනීම් සකස් වූයේ අතීත පටිච්චසමුප්පන්න මරණීය අකුසලයක් විපාක දීම උදෙසා මයි. පින්වත, අදාළ කුරුල්ලා බස් රථයේ බඳේ ගැටෙද්දිම භික්ෂුවට සිතුණේ “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියලා මයි. පින්වත, අනුනගේ සංස්කාරයෝ පටිච්චසමුප්පන්නව විපාක දෙද්දී, එම විපාකයන්ට ඇලීමෙන් හෝ ගැටීමෙන් අපි සංස්කාරයෝ රැස්කොට ගන්න නරකයි. පින්වත, අතීතය පුරාවට ඔබේ වාහනයේ ගැටී අනපේක්‍ෂිත ආකාරයෙන් පක්‍ෂියෙක් හෝ යම් සතෙක් අනතුරට ලක්වී තිබෙනවා නම්, කරුණාකර එම මිය ගිය පක්‍ෂියාව සිහිපත් කොට ගෙන සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි උතුම් ධම්මානුපස්සනාව මතු කොට ගන්න. පින්වත, එවිට ඔබ මිය ගිය පක්‍ෂියා තුළින් උතුම් ධර්මයක් ම දැක්කා වෙනවා. පින්වත, මහා මොළකරුවෙක් සොයාගෙන යන ගමනේ දී, සමස්ත ජාතියේ ම මොළය නරක් වී තිබෙන මොහොතක, විපාකයට පැමිණි අකුසල් මුල්කොට ගෙන එම සිද්ධීන්වලට යළි යළිත් ඇලීමෙන් හෝ ගැටීමෙන් අකුසල් රැස්කොට ගැනීම, මහා විනාශයක් මුල්කොට ගෙන, ඊටත් වඩා විනාශයක් උදෙසා මාර්ගය විවෘත කොට ගත්තා වෙන්න පුළුවන්.


පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය හෙට දවසේ අවාසනාවන්ත ලෙස බෝම්බයක් පුපුරුවා අපවත් කළොත්, ඊට වගකිවයුතු මහ මොළකරුවා සොයන්න කොමිෂන් නම් පත් කරන්න එපා. පින්වත, භික්ෂුවගේ අවාසනාවන්ත මරණයට මුල්වූ සැබෑ ම “මහ මොළකරුවා” පටිච්චසමුප්පන්න භික්ෂුවගේ ම අතීත අකුසල් සංස්කාරයෝ මයි. පින්වත, එහෙම සිතද්දී ම, භික්ෂුවගේ සිත වර්තමානයේ දී තව තවත් සමාධිමත් වෙනවා. පින්වත, මුගලන් මහෝත්තමයන් වහන්සේට පහර දී, අතපය කුඩු කොට දමා උන්වහන්සේව අපවත් කරවනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “මුගලන් මහෝත්තමයන් වහන්සේ අවාසනාවන්ත ලෙස අපවත් කිරීමේ ‘මහ මොළකරුවා’ පටිච්චසමුප්පන්නව අතීත භවයක දෙමාපියන්ට පහර දීමෙන් රැස්කොට ගත් මුගලන් මහෝත්තමයන් වහන්සේගේ ම අකුසල් සංස්කාරයෝ” ය කියලා. පින්වත, උතුම් ධම්මානුපස්සනාව යැයි කියන්නේ ප්‍රශ්න විසඳා දමන දහමක් මිස, ප්‍රශ්න පැටව් ගසන දහමක් නම් නොවේ. පින්වත, උතුම් ධම්මානුපස්සනාව මේ ලෝක ධාතුවේ බොහෝම දුර්ලභ අර්ථයක් වෙනවා. පින්වත, සියලු සංස්කාරයෝ ‘නිත්‍යයි’, ‘සැපයි’, ‘සුභයි’ යැයි දවල් සිහින දකින පංච උපාදානස්කන්ධ ලෝකයක, චතුරාර්ය සත්‍යය ධර්මයෝ අරටුව කොට ගත්ත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය බවට පත් වෙන්නේ ‘නිවීම’ මුල්කොට ගත්, ඇවිළීම නිෂේධ කරන උත්තරීතර අර්ථය නිසා මයි. පින්වත, මොහොතක් සංසිඳුණ සිතින් ‘ඇස අනිත්‍ය’ යැයි දකින්න. පින්වත, කන, නාසය, දිව, කය, මනස යන සළායතනයෝ අනිත්‍ය යැයි දකින්න. පින්වත, සළායතනයන්ගේ ඵස්සය අනිත්‍ය යැයි දකින්න. පින්වත, එවිට ඇවිළීමට අදාළ තෘෂ්ණාවේ ඉන්ධන, විඳීමේ ටැංකිවලින් යම් පමණකට හෝ ක්‍ෂය වෙලා යාවි.


පින්වත, යම් රටක ආර්ථික ප්‍රශ්න වැඩි වෙන කොට, පින්වත් ජනතාවගේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ ගොඩාක් බලවත් වෙනවා. පින්වත, එවිට කාමච්ඡන්ද, ව්‍යාපාද ආදි වූ පංච නීවරණ ධර්මයෝ රජ වෙනවා. පින්වත, පංච නීවරණයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බවට පත් වෙන්නේ මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, පංච නීවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මිච්ඡා දෘෂ්ටියේ පටන් මිච්ඡා සමාධිය දක්වා ම යස අගේට විවෘතව බබළනවා. පින්වත, අද උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණි දෙපළක් ඩෙංගු රෝගය වැලඳී අසාධ්‍යව රෝහලේ සිටින තම හිතවතියකට ආශීර්වාද කරන්නය කියලා භික්ෂුවට මතක් කළා. පින්වත, භික්ෂුව එම රෝගී පින්වතියට බොහෝම මෙත් සිතින් ආශීර්වාද කරන ගමන් ම, නිහඬ සිතින් රටේ පින්වත් නායක පින්වතුන්ලාටත් පංච නීවරණ වල් පැළෑටි ගලවා දමා, සති සම්බොජ්ඣංගයන්ගේ සුවඳැති ධර්මයේ සිතුවිලි පහළ වේවා! යැයි කියලා ආශීර්වාද කළා. පින්වත, අපේ ගෞරවනීය නායක පින්වතුන්ලා පංච නීවරණ වල් පැළෑටි ප්‍රවර්ධනය කරන තාක් කල් අපිට ඩෙංගු, බරවා ආදි වූ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සහ ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදි වූ දුක්ඛ සත්‍යයෝ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. පින්වත, ඩෙංගු රෝගීන් සහ ඩෙංගු මරණ වැඩි වීම යනු පංච නීවරණ දේශපාලනයේ අවාසනාවන්ත හේතුඵල ධර්මයෝ ම වෙනවා. පින්වත, රජ මැදුරෙන් ගලාගෙන එන පංච නීවරණයෝ දුගී පැල්පත දක්වා ම ආසාදනය කරනවා. පින්වත, පංච නීවරණයෝ සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක ඉදිරියේ ආස්වාදයේ ම දවල් සිහින දකිනවා.


පින්වත, රටක බලවත් ඇත්තෝ තම වගකීම් සහ යුතුකම් අකුරට ඉටු කළොත් පමණක් මයි, ඊට අනුව යමින් රටේ ජනතාවත් තමාගෙන් රටට ඉටු විය යුතු වගකීම් සහ යුතුකම් අකුරට ඉටු කරන්න පෙළඹෙන්නේ. පින්වත, රටක බලවත් පින්වතුන්ලා තම වගකීම් සහ යුතුකම් පැහැර හැරියොත්, පින්වත් ජනතාව තමන්ගෙන් රටට ඉටු විය යුතු වගකීම් සහ යුතුකම් කෙරෙහි උදාසීනභාවයට පත් වීම හේතුඵල ධර්මයක් ම වෙනවා. පින්වත, මෙම උදාසීනභාවය යට සැඟවුණ නිහඬ පළිගැනීමේ චේතනාවෝ සමාජය තුළින් දකින්න පුළුවන්. පින්වත, මනුෂ්‍යයා පරිසරයට කැළි කසළ මුදා හරින්නේ, ප්ලාස්ටික් කෝප්ප, බෝතල්, පොලිතීන් ඇසුරුම්වලින් පරිසරය අසීමාන්තිකව දූෂණය කරන්නේ අපේකම මියදුණ, නිහඬ පළිගැනීමේ චේතනාවෝ නිසා මයි. පින්වත, සමාජය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ප්‍රකට වෙන්නේ බලවතුන්ගේ සහ ජනතාවගේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේ උදාසීනභාවයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, මේ මොහොතේ ඩෙංගු රෝගය වැලඳීමෙන් පීඩාවට පත් වී සිටින සියලුම පින්වත් රෝගී ජනතාව සිහිපත් කොට ගෙන, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෛත්‍රියට අදාළ ආනිශංසයෝ එකොළහක් ඔබේ ජීවිතයට එකතු කොට ගන්න. පින්වත, සියලු සත්ත්වයෝ සුවපත් වේවා යැයි දකින පින්වතා, කවදාකවත් මනුෂ්‍යයාට ඩෙංගු බෝ කරන්න, පරිසරය අපවිත්‍ර කරන්නේ නැහැ. පින්වත, මේ දිනවල පින්වත් ජනතාව තමන් සහ අනුන් කෙරෙහි මෙත් සිතින් පරිසරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන, ගම් සහ නගරවල දකින්නට ලැබීම සතුටක්. පින්වත, ජනතාවගේ ආත්මාරක්‍ෂාව උදෙසා ජනතාවගේ යුතුකම් අපි ඉටු කරමු. පින්වත, බලවතුන්ගේ ලෝකය සූදු පිටියක් වෙලා, පින්වත, එක පිරිසක් පාතාලයෙන් අල්ලස් ගනිද්දී, තවත් පිරිසක් පාතාලයෙන් තම බලය ශක්තිමත් කොට ගන්නවා. පින්වත, එකම කාසියේ දෙපැත්ත අපිට ‘විඤ්ඤාණයේ මැජික්’ පෙන්වනවා.


පින්වත, ලෝකය ඔබ තෘෂ්ණාවෙන් ගත්තොත්, ලෝකය ඔබට ලෝකය ම වෙනවා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයට ම නෑගම් යනවා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ ලෝකය හැටියට දකින්නේ, පංච නීවරණ සිතියම ඇතුළේ තිබෙන ලෝකයයි. පින්වත, පංච නීවරණ සිතියම ඇතුළේ තිබෙන ලෝකය තුළ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි, විචිකිච්ඡාව ආදි වූ නිවනට විපක්‍ෂ සියලුම ධර්මතාවයෝ තිබෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය දිනන්න බැහැ. පින්වත, ඔබට සිතෙනවා නම්, ඔබ ලෝකය දින්නාය කියලා, එතැන පෙරළා කැඩෙන, බිඳෙන, විසිරෙන පුද්ගල සඤ්ඤාවක් තිබෙනවා. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව නිවා දමන්න, එවිට වේදනාවෝ නිවී යාවි. පින්වත, තෘෂ්ණාවේ වේදනාවෝ නිවී යද්දී, එතැන උපදින්නේ සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය අවබෝධ ඥානයෙන් දකින ධම්මානුපස්සනාවයි. පින්වත, සියලුම ධර්මතාවයෝ යැයි කියන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවයෝයි. පින්වත, භික්ෂුව හෝ පින්වත් ඔබ අනාගතයේ යම් දවසක පංච උපාදානස්කන්ධයෝ පරිපූර්ණ වශයෙන් අනිත්‍ය යැයි අවබෝධ කොට, උතුම් රහත්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගත්තත්, එම රහතන් වහන්සේ පිරිනිවී යන තෙක් ම, අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන ආයුෂය, උණුසුම සහ තෘෂ්ණාව මළ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, අවිද්‍යාවේ තෙල් අහවර වීමෙන් නිවී ගිය පහන් වැටක් වී, විමුක්තියෙන් ආලෝකවත් වේවි. පින්වත, නිවන යනු දිනුමක් නොවේ. පින්වත, ‘අවිද්‍යා නිරෝධා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ.’ අවිද්‍යාවේ පටන් සියලුම ලෝකයට අයිති ධර්මතාවයන්ගේ නිරෝධයයි. පින්වත, සියලුම ලෝක ධර්මයෝ නිවා දමා උපදින විමුක්තියේ උපතයි.


පින්වත, ලෝකය අයිති මාරයාට. පින්වත, ලෝකය කියන අර්ථයට පංච උපාදානස්කන්ධයෝ යැයි කීවත්, ධර්මානුකූලව වැරදි නැහැ. පින්වත, උපාදානයන් පරිපූර්ණ වශයෙන් නිරෝධය කළ පංචස්කන්ධය අයිති අනිත්‍ය වූ සතර මහා ධාතුවට. පින්වත, උපාදානයන් නිරෝධය කළ පංචස්කන්ධය දරාගත් උත්තමයාටයි රහතන් වහන්සේ යැයි කියන්නේ. පින්වත, උතුම් රහතන් වහන්සේලාගේ සළායතනයන්ට පණ දෙන ආයුෂය, උණුසුම සහ තෘෂ්ණාව නිවී ගිය පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, විමුක්තියේ ආලෝකයට පිරිනිවී යන තෙක් ම ඥාන දර්ශනයන්ගේ විශුද්ධිය ලබා දෙනවා. පින්වත, උතුම් රහතන් වහන්සේලාගේ ඥාන දර්ශන විශුද්ධිය, ශීල විශුද්ධියෙන්, චිත්ත විශුද්ධියෙන්, දිට්ඨි විශුද්ධියෙන්, කංඛාවිතරණ විශුද්ධියෙන්, මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධියෙන් සහ ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියේ පෙරහන්කඩවලින් හොඳින් පෙරී, පෝෂණය වෙලයි තිබෙන්නේ. පින්වත, නිවනට පක්‍ෂ වෙන්නා වූ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයන්ගෙන් උපන්, තෘෂ්ණාව නිරෝධය වූ උතුම් රහතන් වහන්සේලාගේ ඥාන දර්ශන විශුද්ධිය, ලෝකයෙන් මිදුණ උත්තමයෙකු තවදුරටත් ලෝකය තුළ ජීවත් කරවන අතීත සංස්කාර ඇස්බැන්දුමක් පමණක් ම වෙනවා. පින්වත, උතුම් රහතන් වහන්සේලාගේ පිරිනිවන්පෑම, ඇස්බැන්දුම් සංස්කාරයන්ගේ අවසාන ගොදුරු බිම වෙනවා. පින්වත, සටහන කියවා අවසානයේ සමාධිමත් සිතින් උතුම් සෝවාන්ඵල, සකෘදාගාමීඵල, අනාගාමීඵල සහ උතුම් අරිහත් ඵලයන් සිහියට නගාගෙන, මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය යැයි, උතුම් ධම්මානුපස්සනාවේ “නිදහස” කෙරෙහි ඡන්දය අපි, අපේ ජීවිතවලට පුහුණු කොට ගනිමු.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 ජූලි 05 ලිපිය 

සිහි මුලා වූ මරණයක අවාසනාව

 පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින අපි තුළ දුර්වල නම්, අපි වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීම උදෙසා බොරු කියන්න පෙළඹෙනවා. පින්වත, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවය තුළ පටිච්චසමුප්පන්නව බැසගත්ත විඤ්ඤාණය, අතීත සංසාරයේ බොරු කීමට අදාළ අතීත දැනීම්, යස අගේට වර්තමානයේ මතු කොට දෙනවා. පින්වත, හඳෙන් හාල් ගෙනත් දෙන්නම්, ඇට රාත්තල් අටක් දෙන්නම් ආදි වූ සටන් පාඨ යනු ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවයේ සුන්දර හේතුඵල ධර්මයෝයි. පින්වත, වර්තමානයේ ඇත්ත කියලා දේශපාලන වර්ණය, සැපය, බලය ලබන්න බැරි තරමට සමාජය තුළ බොරුව පත්තියන් වෙලා තිබෙනවා. පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, බොරුව පත්තියන් වූ සමාජයක උපක්‍රමශීලීවයි සත්‍යය ප්‍රසූත කොට ගත යුත්තේ. පින්වත, එය කළ හැක්කේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් හඳුනන නායකයෙකුට පමණක් මයි. පින්වත, එතැනයි සමාජගත වියරු අධර්මයෝ පියවරෙන් පියවර ධර්මයෝ වැඩෙන දිශාවට මෙහෙයවිය හැක්කේ. පින්වත, ලෞකික සැප ලැබීමේ සුන්දර දහමක් ජීවමානව තිබිය දී, පරාජය භාර ගන්න අවශ්‍ය නැහැ. පින්වත, පරාජයෝ, ජයග්‍රහණයක් බවට පත් කොට ගන්න නම්, මුලින් ම තමන් ජීවිතය ධර්මයෙන් ජය ගත්ත නායකයෙක් වෙන්න ඕනේ.


පින්වත, ඔබත්, ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්න, “ඔබත් බොරු කියන පින්වතෙක් ද? එහෙමත් නැත්නම් සත්‍යවාදී පින්වතෙක් ද?” පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ බොරුව ජීවිතවලින් මරා දමලයි වැඩ සිටියේ. පින්වත, උපසම්පදා භික්ෂුවක් බොරුවක් කිව්වොත්, ඇවැත් දේශනා කර ගෙන යළි නිවැරදි වෙන්න අවස්ථාව ප්‍රාතිමෝක්‍ෂ ශීලය තුළ තිබෙනවා. පින්වත, එම ශීලයේ ප්‍රතිපාදනය අපේ භික්ෂු ජීවිතවලින් මකා දමමින්, සත්‍යවාදීව නැගී සිටීමට අපි දක්‍ෂ විය යුතුයි. පින්වත, ලෝකයේ පරම සත්‍යය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පින්වත, චතුරාර්ය සත්‍යය, පරම සත්‍යය කොට දකින්නා තුළින් බොරුව ස්වයංක්‍රීයව නිෂේධ වෙලා යනවා. පින්වත, සත්‍යවාදී ගිහි හෝ පැවිදි පින්වතාට මෙලොව දී ලැබෙන ආනිශංසයෝ හතරක් තිබෙනවා. පින්වත, සත්‍යවාදී පින්වතා සමාජය තුළ ජනප්‍රියභාවය ලබනවා. ඔහු කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර අභියෝගයන්ට ඔරොත්තු දෙන්නෙක් වෙනවා. ඔහු ලෞකික සහ ලෝකෝත්තර භවභෝග සම්පත් ආරක්‍ෂා කොට ගන්නෙක් වෙනවා වගේ ම, සිහි මුළා නොවූ මරණයක හෝ අපවත්වීමක උරුමය ලබනවා. පින්වත, ඔබ තුළින් ස්වයංපරීක්‍ෂණයක් සිදු කොට බලන්න, සම්මා වාචාවන්ගේ හේතුඵල ධර්මයෝ ඔබේ ජීවිතය තුළ තිබෙනවා ද කියලා. පින්වත, බොරු කීමේ විපාකයෝ ඔබ දන්නවා ද? පින්වත, බොරු කියන්නාගේ ජනප්‍රියභාවය දවසින් දවස පිරිහීමට පත් වෙනවා. ඔහු මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර අභියෝගයන් ඉදිරියේ පෙරළා බොරුව ම ප්‍රවර්ධනය කරනවා. පින්වත, බොරු කියන්නාගේ වර්ණය, සැපය, බලයට අදාළ භවභෝග සම්පත් සහ අලෝභ, අද්වේශ, අමෝහයෝ පිරිහිලා ම යනවා. පින්වත, මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පින්වත, මෙතෙක් බොරු කීවාට කමක් නැහැ. මේ මොහොතේ පටන් සත්‍යවාදී වෙන්න. පින්වත් ඔබ හෙට දවසේ දිනනවා මයි. පින්වත, අනිත්‍ය වී යන ලාමක සැප සම්පත් හෝ බලය උදෙසා බොරු කියලා ඔබේ ම සුන්දර මනුෂ්‍ය ජීවිතයට සියල්ල අවසානයේ දී, සිහි මුළා වූ මරණයක අවාසනාව උරුම කොට ගන්න එපා.


පින්වත, ඇත්ත කතා කරන්න බිය වෙන්න එපා. අපි බොරු කියන්නයි බිය විය යුත්තේ. පින්වත, සත්‍ය වචන හෙවත් සම්මා වාචාවන්ට පුදුමාකාර ආකර්ෂණයක් තිබෙනවා. පින්වත, සත්‍ය වචන කතා කරන්නාගේ මුහුණ ප්‍රසන්න වෙනවා. තොල් පෙති වර්ණවත් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “බොරු කියන්නා, දෙපා සෝදද්දී ඉවතට යන වතුර වගේ” ය කියලා. පින්වත, දෙපා සෝදා ඉවත යන වතුරට කිසිම වටිනාකමක් නැහැ. පින්වත, අපි බොරු කියලා දෙපා සෝදා ඉවතට ගලා යන නොවටිනා වතුරක් වෙන්න හොඳ නැහැ. පින්වත, අපි දක්‍ෂ වෙමු, ගෞරවයෙන්, මෙත් සිතින්, ලෙන්ගතුකමෙන් සේදුම් ලබන දෙපයක් වෙන්න. පින්වත, නගරයක් නගරයක් ගානේ උපකාරක පන්ති දමලා, “මිච්ඡා වාචාවෝ කියන්න එපා” යැයි පින්වත් මනුෂ්‍යයන්ට ඉගැන්නුවත්, මිච්ඡා වාචාවෝ නවතින්නේ නැහැ. පින්වත, මිච්ඡා වාචාවෝ අවම කරන්න නම් පින්වත් ජනතාවට සම්මා දිට්ඨියේ අර්ථයනුයි කියලා දිය යුත්තේ; මිච්ඡා වාචාවන්ගේ දීර්ඝ ආදීනවයෝයි තේරුම් කොට දිය යුත්තේ. පින්වත, ජරා, ව්‍යාධි, මරණ පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි කියන අර්ථය හිස මත තබා ගන්න. එවිට ඔබේ ජීවිතයට සැහැල්ලුවක් මිස, බරක් නම් දැනෙන්නේ නැහැ. පින්වත, එතෙක් අපේ ජීවිත, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් මුල්කොට ගෙන, මිච්ඡා වාචාවන්ට විවෘතවයි පවතින්නේ. පින්වත, මේවා පුද්ගල වැරදි හැටියට නොව, හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්න. එවිට සම්මා වාචාවෝ තව තවත් මුවහත් වේවි.


පින්වත, අවිද්‍යාවට, “දුක” බරක් නැහැ. පින්වත, “දුකට” අවිද්‍යාව බරත් නැහැ. පින්වත, හේතුඵල ධර්මයෝ කෙසේ නම් බරක් වෙන්න ද? පින්වත, සම්මා විමුක්තියට සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයෝ බරක් නැහැ. පින්වත, නිවුණ පටිච්චසමුප්පාද දහමක කෙසේ නම් බරක් තිබෙන්න ද? පින්වත, ඔබේ ජීවිතය ධර්මයේ තරාදියෙන් කිරා බලන්න. පින්වත, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ අන්‍යශීලවෘතයන්ගේ බර, කාම, රාග, පටිඝයන්ගේ බර කිරලා, මැනලා දැන ගන්න. පින්වත, ඔබ, ඔබේ ජීවිතයෙන් ධර්මයේ තරාදියක් හදාගෙන තිබෙනවා ද? පින්වත, ධර්මයේ තරාදියක් යනු, සම්මා සමාධිමත් සිතකින් මතු කොට ගන්නා, තියුණු සති සම්බොජ්ඣංගයයි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සවියෙන් බල ගැන්වෙන සති සම්බොජ්ඣංගයේ තියුණු ඇසෙන් තොරව, කෙසේ නම් පංච උපාදානස්කන්ධ ලෝකයේ බර කිරා මැන ගන්න ද? පින්වත, පටිච්චසමුප්පාද නූල් බෝලය පටලවා ගත්තොත් ජීවිතය අවුලක් වෙනවා. පින්වත, ඔබ කැමති කරන දෙයක් ඔබට ලැබුණා ද, එය ඔබේ කුසල් සංස්කාරයක්. පින්වත, ඔබ කැමති කරන දෙයක් ඔබට නොලැබුණා ද, එය ඔබේ අකුසල් සංස්කාරයක්. පින්වත, ලැබීම සහ නොලැබීම යන දෙකටම වගකිවයුත්තා ඔබේ ම සංස්කාරයෝයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ලැබුණ දෙයක් හෝ නොලැබුණ දෙයක් නැහැ. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාර, පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’ යැයි දකිමින් ඇලීම් සහ ගැටීම් විනිවිද ධර්මයේ උපේක්‍ෂාවට සිත පත් වෙද්දී, තෘෂ්ණාවට තවදුරටත් පාළු ගෙවල්වල වළං බිඳින්න බැහැ. එතෙක් අපි අනුනගේ පාළු ගෙවල්වලට පැන වළං බිඳිනවා.


පින්වත, ඔබ ජීවත් වන සමාජය තුළ හොඳ මිනිසුන් සොයන්න යන්න එපා. එවිට ඔබ නරක මිනිසුන් සමග ගැටෙන සිත් ඇති කොට ගනීවි. පින්වත, ඔබ සමාජය තුළ නරක මිනිසුන් සොයන්න යන්නත් එපා. එවිට ඔබ හොඳ මිනිසුන් කෙරෙහි ඇලෙන සිත් ඇති කොට ගනීවි. පින්වත, අනුනගේ හොඳ සහ නරක යන දෙකම, ඔබේ ම ඵස්සය හේතුවෙන් සකස් වන විඳීමේ හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්නෙක් බවට පත් වෙන්න. පින්වත, එවිට හොඳ සහ නරක යන කාරණා දෙකම ඔබට ධර්මාවබෝධය උදෙසා කමටහනක් වේවි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත් නරක, පළිබෝධ, පීඩාකාරී ස්ථානයන් මුණ ගැසෙනවා. පින්වත, හොඳ වේවා, නරක වේවා, පින්වත් දායක පින්වතුන්ලාගේ සිත් රිදවන්න පැවිදි අපිට විනයානුකූලව බැහැ. පින්වත, ශාසනයේ පැවැත්ම උදෙසා මල් නොතළා රොන් ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, හොඳ සහ නරකට අදාළ හේතුඵල ධර්මයෝ නුවණින් දැක, පළිබෝධ ස්ථානවල මෙත් සිතින් ටික දවසක් වැඩ ඉඳලා, කාරුණිකව මඟ හැර යන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, හොඳ තැන් හෝ නරක තැන් සොයන්න එපා. පින්වත, තැනක් සොයන්නාට, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ මේ සියල්ල ම ලැබෙනවා. පින්වත, සොයන්නාට අවසානයේ ලැබිලා තිබෙන්නේ පංච උපාදානස්කන්ධ දුක් ගොඩක් නේද? පින්වත, සොයන්නාට කුමක් හම්බ වුණත් එය කැඩෙන, බිඳෙන, විසිරෙන දෙයක් ම නේද? පින්වත, භික්ෂුව නම් දැන් මුකුත්ම සොයන්නේ නැහැ. පින්වත, මෙතෙක් කලක් සෙව්වා කියලා හම්බ වුණේ වෙනස් වෙලා යන දේවල් මයි. පින්වත, ඔබේ ඵස්සය ධම්මානුපස්සනාවට භාර දෙන්න. එවිට සොයන්න, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයක් ඉතිරි වෙන්නේ නැහැ.


පින්වත, බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. පින්වත, එම නිසා ම අපි සිතන්නේ, බලාපොරොත්තු යැයි කියන්නේ කල්‍යාණ මිත්‍රයෙකුටයි කියලා. පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන ‘විඤ්ඤාණයේ මායාව’ අපේ බලාපොරොත්තු තුළ සැඟවී තිබෙනවා. පින්වත, බලාපොරොත්තු බිඳ වැටෙද්දී, අපි දුකට, ශෝක, පරිදේවයන්ට පත් වෙනවා. පින්වත, බලාපොරොත්තු ඉටු වෙද්දී, කාමයේ කෙටි ආස්වාදයේ ගොදුරක් වී දීර්ඝ ආදීනවයකට පාර හදා ගන්නවා. පින්වත, බලාපොරොත්තු ඉටු නොවුණත් දුක මයි, බලාපොරොත්තු ඉටු වුණත් අවසානයේ දුක මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අනාගතය පිළිබඳව බලාපොරොත්තු නැහැ. පින්වත, අතීත, වර්තමාන, අනාගත තුන් කාලය ම උන්වහන්සේලා උතුම් ධම්මානුපස්සනාවට මයි භාර දෙන්නේ. පින්වත, අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කොට ගත්තොත්, අනිවාර්යයෙන් ම දුක තුරුලු කොට ගන්න වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවත් වෙන්නේ වර්තමානය තුළයි. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින ධම්මානුපස්සනාව උන්වහන්සේලාගේ වර්තමානය විදර්ශනාවෙන් ආලෝකවත් කරනවා. පින්වත, පින්වත් ගිහි ඔබ වර්තමානයේ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සිහිනුවණින් ජීවත් වෙන්න. පින්වත, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයට, රටට, ජාතියට, ආගමට ඔබෙන් වියයුතු යුතුකම් කොටස සත්පුරුෂභාවයෙන් ඉටු කරන්න. පින්වත, ඔබට ඉටු කළ නොහැකි යුතුකම්, වගකීම් ඉදිරියේ, ‘සුවපත් වේවා!’ යැයි මෙත් වඩන්න. පින්වත, එවිට හෙට දවසේ දිග හැරෙන්නේ, ඔබේ ම කුසල් සංස්කාරයන්ගේ කැඩපත මිස, දෙවියෙක්, බ්‍රහ්මයෙක් විසින් දෙන දෙයක් නොවේ. පින්වත, බලාපොරොත්තු සඵල කොට දෙන, සැප ලබන මාර්ගයට වර්තමානයේ ඔබ විවෘත වෙන්න.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 ජූනි 28 ලිපිය

සිරකරුවා තුලිනුුුත් ධර්මය දකිමු

පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් සිර ගෙවල්වලට වැඩම කරලා සිරගතව සිටින පින්වතුන්ලාට සද්ධර්මය දේශනා කරලා තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිරකරුවෙක්ව, මිනීමරුවෙක්, මංකොල්ලකරුවෙක්, සොරෙක් හැටියට දකින්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිරකරුවෙක්ව දකින්නේ අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මය ශ්‍රවණය, අනුවණින් මෙනෙහි කිරීමේ හේතුඵල ධර්මයෝ හැටියට මයි. පින්වත, එහෙම දකිද්දී, පුද්ගල සඤ්ඤාවෝ බැහැර වෙනවා. පින්වත, එවිට සිරකරුවා තුළිනුත් ධර්මයක් මයි ශ්‍රාවකයා දකින්නේ. පින්වත, පසුගිය දවසක යම් පින්වතියක් චෝදනාවක් කරලා තිබුණා, “මහා සංඝ රත්නය මිනීමරුවන්ට බෝධි පූජා තියනවා” ය කියලා. පින්වත, මෙවැනි චෝදනාවන් තුළින් ගම්‍ය වන්නේ චෝදනාවන් කරන පින්වතුන්ලාගේ ආත්මීය දෘෂ්ටියේ දැඩිභාවය මයි. පින්වත, මෙවැනි චෝදනාවන් තුළිනුත් අපි ධර්මයක් මයි දැකිය යුත්තේ. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “අපි කෙනෙක්ගේ වරදක් දැකිය යුත්තේ, ඔහුගෙන් පළිගැනීමට නොවේ, වරදකරුවා වරදින් මුදවා ගැනීම උදෙසා මයි” කියලා. පින්වත, පළිගැනීමේ චේතනාවෝ සමාජ අසමගියේ ගිනිපුපුරු වෙන්න පුළුවන්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදත් පින්වතා එක ප්‍රශ්නයක් විසඳන්නේ, ප්‍රශ්න ගණනාවකට මුල පුරමින් මයි.


පින්වත, සංස්කාර ලෝකය හරියට වීදුරු බඩුවක් වගේ මයි. පින්වත, කොයි මොහොතේ කැඩෙයි ද, බිඳෙයි ද, විසිරෙයි ද කියලා කියන්න බැහැ. පින්වත, මීට මාසයකට පෙරාතුව යතුරුපැදි අනතුරකින් මිය ගිය තම තරුණ පුතාට පින් අනුමෝදන් කරන්න අම්මා කෙනෙක් පිණ්ඩපාත මඩුවට පැමිණියා. පින්වත, ඇයගේ දෑස්වල කඳුළු පිරිලා. පින්වත, එම කඳුළුවලට වග කියන්න ඕනේ, ඇයගේ ම අකුසල් සංස්කාරයෝයි. පින්වත, තාරුණ්‍යයේ ආස්වාදය අහිංසක දෙමාපියන්ගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන් හඳුනන්නේ නැහැ. පින්වත, එම දුර්වලතාවය අතීතයට එක් වූ භික්ෂුවගේ තාරුණ්‍යයටත් පොදු ධර්මතාවයක් වෙනවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙද්දී, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ අපේ කල්‍යාණ මිත්‍රයන් වෙනවා. පින්වත, එවිට අපි හොඳ සහ නරක ගැන අහන්නේ, අපේ ම ආස්වාදනීය විඳීම්වලින් මයි. පින්වත, ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මනසින් සංස්කාර ගොදුරු සොයන ‘තෘෂ්ණාවේ මාර සේනාවෝ’ ඉදිරියේ කෙසේ නම් අපි, සැබෑ කල්‍යාණ මිත්‍රයන් සහ කල්‍යාණ ධර්මයන් හඳුනා ගන්න ද? පින්වත, තරුණ දරුවෙක් අකාලයේ මිය ගියාට පස්සේ මහා සංඝ රත්නය සොයාගෙන පැමිණීම නොවේ ඔබ කළ යුත්තේ. එම පින්වත් දරුවා ජීවතුන් අතර සිටිය දී උතුම් තෙරුවන්ගේ ඇසුරට යොමු කිරීමයි ඔබ කළ යුතුව තිබුණේ. පින්වත, ඉහත කාරණයේ දී ආදරණීය දෙමාපියන් තම දරුවන්ට සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. පින්වත, දෙමාපියන් බයයි දරුවා පැවිදි වෙයි කියලා. දරුවා පිනට යොමු වුණොත් අධ්‍යාපනය දුර්වල කොට ගනීවි කියලා. පින්වත් දෙමාපියනි, ඔබලාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන් කරුණාකර සැබෑ කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් සහ කල්‍යාණ ධර්මයන්ගෙන් පෝෂණය කොට ගන්න. පින්වත, මාර සේනාවෝ සංස්කාර ගොදුරු බිමේ ඇලීම් සහ ගැටීම්වලින් ආවේගශීලීවයි හැසිරෙන්නේ.


පින්වත, අපිට සිටින්නේ හරිම පුණ්‍යවන්ත ළමා සහ තරුණ දරු පිරිසක්. පින්වත, පසුගිය දවසක පාසල් දරුවන් උදෙසා දුරබැහැර ප්‍රදේශයක ශීල ව්‍යාපාරයක් පැවතියා. පින්වත, ලොකු කුඩා දරුවන් දෙදහසක් පමණ ඊට සම්බන්ධ වෙලා සිටියා. පින්වත, භික්ෂුව එම දරුවන්ට සමථ සහ විදර්ශනා භාවනාවෝ කියලා දෙද්දී, ඉතාමත් සන්සුන්ව භාවනාවේ යෙදී සිටියා. පින්වත, භාවනා කරන මොහොතේ පමණක් දරුවන්ගේ ඉන්ද්‍රිය සංවරය හරිම ප්‍රණීතයි. පින්වත, විභාග දහයක් සමත් වුණාට වඩා වැඩි වටිනාකමක් භික්ෂුව එම මොහොතේ දරුවන් තුළින් දකිනවා. පින්වත, පින්වත් දරුවන් භාවනාව තුළින් ලබා ගන්නා ඉන්ද්‍රිය සංවරභාවය අනාගත සියලු විභාග කඩඉම් ජය ගැනීමට අයෝමය ශක්තියක් වෙනවා. පින්වත, ළමා සහ තරුණ දරුවන් සමථ විදර්ශනා භාවනාවන්ට දිනකට පැය භාගයක්වත් යොමු කිරීම තුළින් දරුවන්ගේ ජීවිත තුළ පටිච්චසමුප්පන්නව යටපත් වී තිබෙන අධ්‍යාපනයට අදාළ කුසල් සංස්කාරයෝ මතු වෙලා එනවා. පින්වත, ධර්මයෝ ධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, කල්‍යාණ ධර්මයන් නුවණින් නොව අනුවණින් මෙනෙහි කරන වර්තමාන සමාජය, ළමා වයසේ පටන් දරුවා තුළින් සමථ විදර්ශනාවේ කුසල් ශක්තියෙන් අධ්‍යාපන දියුණුව මතු කොට ගන්න දක්‍ෂ නැහැ. පින්වත, එවැනි විශ්වාසයක් සමාජයට ඇත්තෙත් නැහැ. පින්වත, වර්තමාන සමාජය දක්‍ෂ වෙලා තිබෙන්නේ මුදල් වියදම් කරලා අධ්‍යාපනයේ දියුණුව ලබන්න. පින්වත, සමථ විදර්ශනාවෙන් මතු කොට ගන්නා කුසල් ශක්තියෙන් තම අධ්‍යාපනය දියුණු කොට ගන්නා දරුවා තුළ උතුම් තෙරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයට පමණක් නොව තමන්ටත් කීකරුභාවය ඇති වෙනවා. පින්වත, මුදල් පමණක් වියදම් කොට තම අධ්‍යාපනය දියුණු කොට ගන්නා පින්වත් දරුවන් තුළ ඉහත ගුණාංගයන් තිබුණොත්, එය එම දරුවාගේ පෙර පිනක් ම වෙනවා.


පින්වත, ජයග්‍රාහකයෝ තම ජයග්‍රහණයෝ භුක්ති විඳින්න ඕනේ බොහෝම නිහතමානීවයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂු ජීවිතයේ දී ලබන යම් ජයග්‍රහණයක් වෙයි ද, එම ජයග්‍රහණයෝ භුක්ති විඳින්නේ, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින, විදර්ශනාමය මෙත් සිතින් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “ජයග්‍රාහකයා සතුරන් ඇති කොට ගන්නවා” ය කියලා. පින්වත, “පරාජිතයා දුකට, පීඩාවට පත් වෙනවා” ය කියලා. පින්වත, දිනෙන් දින භේදභින්න වන සමාජය දෙස බලද්දී, ඉහත සම්බුදු ධර්මයෝ මොනතරම් නම් විවෘතව බබළනවා ද? පින්වත, ඉහත ධර්මයෝ විවෘතව බබළන්න, බබළන්න අපි තව තවත් ධර්මයෙන් ඈතට ම යනවා. පින්වත, අවුරුදු හැටක, හැත්තෑවක ජීවිතයක් කළමනාකරණය කොට ගන්න බැරිව, අපි කෙසේ නම් පරක්තෙරක් නොපෙනෙන අනාගත භවය කළමනාකරණය කොට ගන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටිය තරම් අවාසනාවක් සහ දුක් ගොඩක් නැහැ” ය කියලා. පින්වත, මිථ්‍යා දෘෂ්ටිය දුකට හේතුව ‘තෘෂ්ණාව’ යැයි කියලා දන්නේ නැහැ. පින්වත, දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දන්නේ නැහැ. පින්වත, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් අමතක කොට දමා බෞද්ධ කොඩියක් සෙවණේ අපි සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන්, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ ම සොයනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිම දුර්ලභයි. පින්වත, මිච්ඡා ධර්මයෝ හරිම සුලභයි. පින්වත, අප්‍රමාදීභාවය උදෙසා ඔබ ඇති කොට ගන්නා සම්මා වීර්යය, ඔබේ සම්මා පෞරුෂත්වය වෙනවා.


පින්වත, යුද්ධය යැයි කියන්නේ මහා විනාශයක් බව ඇත්ත. පින්වත, යුද්ධය යැයි කියන්නේ අවිද්‍යාවෙන් උපදින අධිතෘෂ්ණාවේ හේතුඵල ධර්මයක් වෙනවා. පින්වත, අවිද්‍යාවේ ප්‍රධාන ම ලක්‍ෂණයක් තමයි, කර්මය කර්මඵල විශ්වාසය නැති භංග වීම. පින්වත, මනුෂ්‍ය ජීවිත තුළ කර්මය කර්මඵල විශ්වාසය නැති වූ තැන, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ ම මනුෂ්‍යයා ධර්මය කොට දකිනවා. පින්වත, ආස්වාදය යැයි කිව්වත්, ඇලීම් සහ ගැටීම් යැයි කිව්වත්, ඡන්දරාගය යැයි කිව්වත් ඉහත සෑම අර්ථයක ම බැසගෙන තිබෙන්නේ අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ අධිපතිවාදය මයි. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ කර්මය කර්මඵල විශ්වාසය නොව ‘තෘෂ්ණාව’ රජ වෙද්දී, රාජ්‍ය ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍ය හිංසනය සහ ඝාතනය විනෝදාංශයක් වෙනවා. පින්වත, ලෝක බල කඳවුරුවල ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍ය හිංසනය සහ ඝාතනය විනෝදාංශයක් වෙනවා. පින්වත, තම ආගමික විරුද්ධවාදීන් මරා දමා රුධිරයෙන් දෙවියන් පුදන මිච්ඡා ආගම් මනුෂ්‍ය හිංසනයේ මරු වැලක් ම වෙනවා. පින්වත, මනුෂ්‍ය ඝාතනය සහ හිංසනය තෘෂ්ණාවේ විනෝදාංශයක් වෙද්දී, මස් උදෙසා සහ විනෝදය උදෙසා ලෝකය තුළ සිදු වන තිරිසන් සත්ත්ව ඝාතනවල ප්‍රමාණය ඉලක්කම් කීයකින් නම් සටහන් තබන්න ද? පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, ලෝක නායකයන්ට, ජාතික නායකයන්ට නිරවුල්භාවයට නොව, අවුල්භාවයට ම දැනීම් සකස් කොට දෙන්නේ ලෝකය විසින් සිදු කොට ගන්නා මනුෂ්‍ය හිංසනය, සත්ත්ව හිංසනය සහ ඝාතන අකුසල් විපාකයෝ උදෙසා මයි. පින්වත, යුද්ධයේ විනාශය යැයි කියන්නේ, අතීතයේ ලෝකයා ම වැපුරූ මනුෂ්‍ය හිංසනයේ, සත්ත්ව හිංසනයේ සහ ඝාතනයේ ධර්මානුකූල හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ඔබ අවිහිංසාවාදී වෙන්න. එවිට යුද්ධයේ විනාශයෝ ඔබට මඟහැරී යාවි. පින්වත, එහෙත් “සියලුම සංස්කාරයෝ අනිත්‍යයි.” අභියෝගයන්ට සිත පුහුණු කොට ගන්න.


පින්වත, අපි ජීවත් වන ලෝකය මොනතරම් නම් ලස්සන ලෝකයක් ද? පින්වත, එම ලස්සන ලෝකය තුළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඒහිපස්සිකව විවෘතව බබළනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට මහා වැසි වසින මේ නිහඬ රාත්‍රියේ, ලස්සන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ප්‍රණීත හැඩරුව භික්ෂුව නුවණින් දකිනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ප්‍රණීත හැඩරුව දකිද්දී, භික්ෂුව තුළ උපදින්නේ නික්ලේශී සප්ත බොජ්ඣංගයන්ගේ රසයක් මයි. පින්වත, පංච නීවරණයන්ගේ ලස්සන බැලීම මොහොතක් පැත්තකින් තියලා පින්වත් ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ලස්සන බලන්න. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක ලෝකය තුළ මොනතරම් නම් ප්‍රකට ද? පින්වත, පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව වන ‘තෘෂ්ණාව’ ලෝකය තුළ මොනතරම් නම් ප්‍රකට ද? පින්වත, තෘෂ්ණාවේ වියෝවෙන් දුක සංසිඳී යන හැටි මොහොතක් අත්දකිද්දී, ජීවිතය මොනතරම් නම් ප්‍රණීත ද? පින්වත, දුක නිවන, තෘෂ්ණාව නිවන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයේ ප්‍රණීත ම අප්‍රමාදී දහම නේද? පින්වත, ශ්‍රද්ධාවට හිතැති ඕනෑ ම මනුෂ්‍ය ජීවිතයක් තුළින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ විනිවිද දකින්න පුළුවන්. පින්වත, මනුෂ්‍ය ජීවිත චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් විනිවිද දකිද්දී, සෑම මනුෂ්‍ය ජීවිතයක් ම ධර්මයක් බවට ම පත් වෙනවා. පින්වත, දුකේ ප්‍රවර්ධනයත්, දුකේ නිරෝධයත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ හීන සහ ප්‍රණීත හේතුඵල ධර්මයෝ ම වෙනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් ලෝකය නිවා දමන්නේත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මයි. පින්වත, පංච උපාදානස්කන්ධ දුක් ගොඩක සිර වී තිබෙන අපේ ජීවිත තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මතු කොට දෙන නිදහස්, ප්‍රණීත, නික්ලේශී විමුක්තියේ නිදහස කෙරෙහි සම්මා වීර්යයක් ම ඇති කොට ගන්න. පින්වත, සම්මා වීර්යය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වීර්යයයි.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 ජූනි 21 ලිපිය

භවය යම් තැනකද ඔහුගෙ අත ගන්නා මනාලිය උපතමයි

 පින්වත, “ගෞරවනීය සංඝ සමාජයේ විනය ශක්තිමත් කිරීම උදෙසා ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි” කියලා, පිංවත් ගිහි සමාජයෙන් අදහස් ප්‍රකාශ වෙනවා නේද? පින්වත, පසුගිය දවස්වල පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන්ලාත් ඉහත අදහස ප්‍රකාශ කරලා තිබුණා. පින්වත් ගිහි පින්වතුන්ලා ගෞරවනීය සංඝ සමාජය කෙරෙහි අවදියෙන් සිටීම සතුටට කාරණයක්. පින්වත, ඔබලා දක්වන්නා වූ සංඝ සමාජය කෙරෙහි අවදිය සෑම මොහොතක දී ම පංච නීවරණයන්ගෙන් නොව, චතුරාර්ය සත්‍යය ධර්මයෝ මුල්කොට ගත් සප්ත බොජ්ඣංග ධර්මයන්ගෙන් පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, සති සම්බොජ්ඣංගය මුල්වුණොත් පමණයි, ධම්ම විචය බොජ්ඣංගය ඔබලා තුළ වැඩෙන්නේ. පින්වත, උතුම් ධම්ම විචය බොජ්ඣංගය ශාසනික ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමට අදාළව මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ‘අධම්මික සූත්‍රයට’ අදාළව, කිනම් රටක වේවා, පූජක පක්‍ෂය සහ ජනතාව පිරිහීමට පත් වෙන්නේ, අදාළ රාජ්‍යයේ දේශපාලන සංස්ථාවේ පිරිහීම මුල්කොට ගෙන මයි. පින්වත, භික්ෂුවගේ තරුණ වයසේ පටන් මේ දක්වා, පංචශීලය කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්‍ෂා කොට ගත්ත දේශපාලන නායක පින්වතුන්ලා භික්ෂුව දැක නැහැ. පින්වත, මෙතනයි රාජ්‍යයක පිරිහීමේ ආරම්භය වෙන්නේ. පින්වත, මෙතනයි පූජක පක්‍ෂය සහ ජනතාව පිරිහීමට පත් වීමේ ආරම්භය වෙන්නේ. පින්වත, වර්තමානයේ මුලින් ම ජාතියට අවශ්‍ය ගෞරවනීය සංඝ සමාජය විනයගරුක කිරීමේ ධර්ම සංගායනාවක් නොවේ. පින්වත, වර්තමානයේ ජාතියට මුලින් ම අවශ්‍ය පංචශීලය සුරකින, පංචශීලයට ගරු කරන, විනයගරුක, පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලනයක් උදෙසා, “දේශපාලන සංගායනාවක්” යැයි ධර්මානුකූලව සටහන් තබනවා. පින්වත, පංචශීලය සුරකින විනයගරුක දේශපාලනයක් උදෙසා ඇති කොට ගන්නා පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන අධිෂ්ඨානයකින් තොරව, ගෞරවනීය සංඝ සමාජය උදෙසා ධර්ම සංගායනාවක් පැවැත්වීම, “වක්කඩේ හකුරු හැංගුවා වගේ” ම වෙනවා.


පින්වත, ගෞරවනීය සංඝ සමාජය වේවා, පින්වත් දේශපාලන සමාජය වේවා, පිරිහීමට මුල් වෙන්නේ, ‘තෘෂ්ණාවයි.’ පින්වත, තෘෂ්ණාවේ නොසෑහීම විනාශයේ මුල වෙනවා. පින්වත, කාම, රූපී සහ අරූපී භවාත්‍රය ම තෘෂ්ණාවේ ඵලයෝ වෙනවා. පින්වත, වියරු තෘෂ්ණාව අවීචි මහා නිරයටත්, සම්මා ඥානයන්ගේ අණසකට යටත් වූ අනුශය තෘෂ්ණාව අනාගාමී බ්‍රහ්ම තලවලටත් පටිච්චසමුප්පන්නව පිරිස් බලය සපයනවා. පින්වත, තෘෂ්ණාවේ ආරම්භය වෙන්නේ අවිද්‍යාවෙන් උපදින ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවයයි. පින්වත, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ’ යැයි කියන ධර්මතාවය තෘෂ්ණාවේ නිරෝධය වෙනවා. පින්වත, දේශපාලන ලෝකයේ දී, ශීලයේ අණසකට යටත්ව, සක්විති රජකම දක්වා ම තෘෂ්ණාව ඔබට උපකාර කරනවා. පින්වත, තෘෂ්ණාව, ඇලීම් සහ ගැටීම් යැයි කියන විසකුරු සර්පයන් දෙදෙනෙක් පෝෂණය කරනවා. පින්වත, ශීලයෙන් දුර්වල ඉන්ද්‍රිය අසංවරභාවයෝ සහ ප්‍රත්‍යවේක්‍ෂාව දුර්වල අධිපාරිභෝජනයෝ, තෘෂ්ණාවේ විසකුරු සර්පයන් දෙදෙනාගේ ප්‍රණීත ගොදුරු බිම් වෙනවා. පින්වත, ශීලයෙන් හික්මෙන, ඉන්ද්‍රිය සංවරභාවයෙන් යුත් පින්වත් නායකයෝ දක්‍ෂයි, ඇලීම් සහ ගැටීම් නමැති තෘෂ්ණාවේ විසකුරු සර්පයන් දෙදෙනා බැහැර කොට, හේතුඵල ධර්මයෝ නුවණින් දකින ධර්මයේ උපේක්‍ෂාව මතු කොට ගන්න. පින්වත, ධර්මයේ උපේක්‍ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල්කොට ගෙන මයි උපදින්නේ. පින්වත, වැරදි කිරීම සහ නිවැරදි වීම යැයි කියන අර්ථයන් දෙක ම අයිති ලෝකයට. පින්වත, ලෝකය යැයි කියන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකටයි. පින්වත, මුලින් ම අපි වරදින් මිදී නිවැරදි වෙමු. පින්වත, දෙවනුව අපි වැරදි කිරීමත්, නිවැරදි වීමත් යනු අනිත්‍ය වී යන ධර්මතාවයන් යැයි අවබෝධ ඥානයෙන් දැක, මේ දෙකෙන් ම නිදහස් වෙමු.


පින්වත, අතීත රහතන් වහන්සේලා යැයි කියන්නේ, වරදින් මිදී නිවැරදි වූ පිරිසක් පමණක් ම නොවේ. පින්වත, අතීත රහතන් වහන්සේලා යනු වැරදි කිරීමත්, නිවැරදි වීමත් යන කාරණා දෙකම අනිත්‍ය වී යන ධර්මතාවයන් යැයි අවබෝධ ඥානයෙන් අවබෝධ කොට ගත් උත්තම පිරිසක් මයි. පින්වත, එවැනි උතුමන් ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යැයි කියන, උපාදානයන් හළ පංචස්කන්ධයක් දරාගෙනයි වැඩ සිටියේ. පින්වත, උපාදානයෝ හළ ජීවිතවල ධර්මානුකූල හැඩරුව වෙන්නේ, ආයුෂයත්, තෘෂ්ණාව මළ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ශරීර උණුසුමත් පමණක් මයි. පින්වත, කාම බැඳීයාම්, දිට්ඨි බැඳීයාම්, අන්‍යශීලවෘත බැඳීයාම් භවය නවයොවුන් කරනවා. පින්වත, භවය යම් තැනක ද ඔහුගේ අත ගන්නා මනාලිය උපත මයි. පින්වත, භවය කෙරෙහි කෙටි ආස්වාදය ජාති, ජරා, ව්‍යාධි, මරණ යුගදිවියේ දීර්ඝ ආදීනවයෝ වෙනවා. පින්වත, නිවැරදිභාවය තුළත් වරදක් තිබෙනවා. පින්වත, එම වරද තමයි, ‘නිවැරදිභාවය අනිත්‍ය’ යැයි අවබෝධ නොකිරීම. පින්වත, බොහෝ ම සිහිනුවණින් “මම” ලිහා බලන්න. එවිට උපාදානයන්ගේ නීරස වැටහේවි.


පින්වත, සංසාර දුර, සංසාර බිය, සංසාර ගැඹුර ගැන නොදන්න පින්වතා, තමන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්නේ නැහැ. පින්වත, ඔහු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හඳුනා ගන්නේ නැහැ. පින්වත, ඔහු කෙටි තාවකාලික ආස්වාදයක් උදෙසා තමන්ගේ වටිනා මනුෂ්‍ය ජීවිතය, අකල් මරණයක් බවට පත් කොට ගන්නවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය අකල් මරණ විනාශයේ හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වෙනස් වෙලා යන සංස්කාරයෝ සමග අනුවණින් කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ මිහිර ලබන්න යන්න එපා. පින්වත, ඔබ සතුටු වෙන්න. ඔබ විනෝද වෙන්න. පින්වත, එය කාම ලෝකයේ දී ඔබ ලැබූ අයිතියක්. පින්වත, සතුට, විනෝදය භුක්ති විඳිද්දී, හෙල, ගැඹුර, ප්‍රපාතය, වේගය මඟ හැර යන්න. පින්වත, තෘෂ්ණාව දුකට මුල බව වේගවත්භාවය ඉදිරියේ සිහිනුවණ ඇති කොට ගන්න. පින්වත, ලස්සන, වටිනා, පිනැති ජීවිතයක්, “තෘෂ්ණාවට” අකාලයේ බිලි දෙන්න එපා. පින්වත, අපි හැම දෙනා ම පසුපස විපාකයට එන්න ගොඩාක් අකුසල් සංස්කාරයෝ සැඟවී තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “තමන්ට වඩා දැනුමෙන්, ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් ඔබේ ඇසුරට තෝරා ගන්න” ය කියලා. පින්වත, විනාශය දිශාවට ‘හෝයියා’ නොව, විනාශයෙන් මිදෙන දිශාවට ඔබට අවවාද කරන මිතුරන් ඇසුරට ගන්න. පින්වත, පාපමිත්‍ර ආශ්‍රයකට, පාපමිත්‍ර අධිවේගී සිතුවිල්ලකට යට වී, ඔබේ පිනැති මනුෂ්‍ය ජීවිතය අකුසලයේ ගොදුරක් බවට පත් කොට දෙන්න එපා. පින්වත, “මම නිදුක්, නීරෝගී සුවපත් වේවා!” යැයි ඔබ, ඔබට මෙත් වඩන්න. එම මෛත්‍රියේ ආනිශංසයෝ ඔබව අකුසලයෙන් ආරක්‍ෂා කරාවි.


පින්වත, හිස ගිනිගත්තෙක් එම ගින්න නිවා ගන්න වෙහෙසෙන්නේ යම් සේ ද, පින්වත් ඔබ වහ වහා අප්‍රමාදී වෙන්න. පින්වත, සංස්කාර ලෝකය බොහෝම වේගයෙන් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, ගෙවී ගිය වෙසක් සතියේ වාහන අනතුරුවලින් සහ ගිනි විපත්වලින් සිදු වූ අවාසනාවන්ත මරණ ගොඩාක් වැඩියි නේද? පින්වත, මෙම විනාශයන් අහම්බයක් නොවේ. පින්වත් මනුෂ්‍ය ජීවිතවලින් තෘෂ්ණාව වේගවත් වෙද්දී, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ අධිවේගී වෙනවා. පින්වත, මෙවන් විනාශයන් ඉදිරියේ අදාළ විත්තිකරුවන් බන්ධනාගාරගත කළාය කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පින්වත, වර්තමානයේ නීති උපදේශනයන් උදෙසා වැය වෙන ගාස්තු දකිද්දී, විත්තිකරුවන්ගේ ඇලීම් සහ ගැටීම්, තෘෂ්ණාව තව තවත් ප්‍රවර්ධනය කරන සශ්‍රීක පොහොර බවට මයි පත් වෙන්නේ. පින්වත, නිමාවක් නොදකින සංස්කාර වියරුවක් දිශාවටයි සමාජය ගමන් කරන්නේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ මොහොතේ ආරක්‍ෂිතවයි ජීවත් වෙන්නේ. පින්වත, භික්ෂුව එම ආරක්‍ෂාව ලබන්නේ “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින දැක්මෙන්. පින්වත, මනුෂ්‍ය ජීවිතයක් අප්‍රමාදීභාවයට පත් කරන්න සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින දැක්මට පුළුවන්. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින පින්වතා, සෑම නිමේෂයක දී ම, ධම්මානුපස්සනාව තුළයි ජීවත් වෙන්නේ. පින්වත, උතුම් ධම්මානුපස්සනාව යම් ජීවිතයක උපදී ද, එතැන සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ම ශක්තිය තිබෙනවා. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උපදින ධම්මානුපස්සනාව තුළින් අප්‍රමාදී පින්වතා, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය ඉදිරියේ ගොදුරක් නොවී බලයක් බවටයි පත් වෙන්නේ.


පින්වත, සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය ඉදිරියේ, බලයක් නොවී, ගොදුරක් වෙන මනුෂ්‍ය ජීවිත ඔබට පෙනෙනවා නේද? පින්වත, පින්වත් නායකයන් අවිද්‍යාවෙන් අන්ධ වෙද්දී, අසරණ ජනතාව අවිද්‍යාවේ ගොදුරු බවට පත් වෙනවා. පින්වත, අවිද්‍යාවෙන් තවදුරටත් පාර අහන්න යන්න එපා. පින්වත, අවිද්‍යාවෙන් යහපත දිශාවට තවදුරටත් පූර්වාදර්ශයෝ බලාපොරොත්තු වෙන්නත් එපා. පින්වත, උතුම් දහමක් අපි ඉදිරියේ තිබිය දී ම, එම උතුම් දහමට අකීකරු වීමේ දිට්ඨධම්මවේදනීය විපාකයෝයි අපිව හඹාගෙන එන්නේ. පින්වත, සමාජය තුළ ක්‍රියාත්මක ඇලීම් සහ ගැටීම් බහුල තෘෂ්ණාවේ ක්‍රියාන්විතයන්ගෙන්, තවදුරටත් සැප නම් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, තෘෂ්ණාවට අමෘතය පොවමින් ජාතියක් හැටියට අපි මේ යන්නේ දුකේ පරතෙරට මයි. පින්වත, ගෙවී ගිය පූජනීය වෙසක් සතියේ දී ශීලයේ ආස්වාදය ලබමින්, වෙසක් සිරි නරඹමින්, දන්සැල් විඳිමින්, අපි, අපේ ජීවිතවලට පිනට බර වූ කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මොනතරම් නම් එකතු කොට ගත්තා ද? පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පණ දෙන කුසල් මූලයෝ වන අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන් මතු කොට දෙන, නෙක්ඛම්මය උපදින ප්‍රතිපත්ති පූජාවෝ අපේ ජීවිතවලින් අපි ඈත් කොට තැබුවා නේද? පින්වත, උතුම් තෙමඟුලේ අරුත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මිස, අනිත්‍ය වී යන පින මුල්කොට ගත් කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය නම් නොවේ. පින්වත, සමාජගත වන අධිතෘෂ්ණාව ඉදිරියේ ඔබ අප්‍රමාදී වෙන්න. පින්වත, ඔබේ සැබෑ ආරක්‍ෂකයා ධනය, බලය නොව චතුරාර්ය සත්‍යය ධර්මයෝ ම බව සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, ඔබේ ආරක්‍ෂකයා ඔබම වෙන්න.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ


උපුටා ගැනීම - 2026 ජුනි 14 ඉරිදා දිවයින පුවත්පතින්

අවිද්‍යාවට පැවතිය නොහැකි තැන විමුක්තිය උපදියි

පින්වත, කිනම් පක්‍ෂයක වේවා, අපේ රටේ පින්වත් රාජ්‍ය නායකතුමා හෙට හිමිදිරි උදෑසන අවදි වෙලා, සුවඳ පැනින් නා, පිරිසිදු වී, කර්මය කර්මඵල විශ්වාසය ඇති කොට ගෙන, ආජීව අට්ඨමක ශීලය සමාදන් වී, තමා සමාදන් වූ ආජීව අට්ඨමක ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්නා බවට, තමා තමාට ම පොරොන්දු වී, හෙට දවසේ පටන් රාජ්‍ය පාලනයේ අලුත උපන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘සිල්වත් රජ කෙනෙක්’ බවට පත් වුණොත්, මේ පුණ්‍යවන්ත දේශයට කිනම් සෞභාග්‍යයක් උදා වෙයි ද? පින්වත, රජතුමා පූර්වාදර්ශීව සිල්වත් වෙද්දී, තම ඇමති මණ්ඩලයත් සිල්වත් වෙනවා. පින්වත, ඇමති මණ්ඩලය සිල්වත් වෙද්දී, ඊට අනුව යමින් මන්ත්‍රී මණ්ඩලයත් සිල්වත් වෙනවා. පින්වත, ගෞරවනීය රාජ්‍ය නායකයෝ, පාලකයෝ සිල්වත් වෙද්දී, තම ලාමක බලය රැකගැනීම උදෙසා පැවිදි පක්‍ෂයට නොමනා ලාභ සත්කාරයෝ ලබා දෙන්නේ නැහැ. පින්වත, එම නිසා ම, පැවිදි පක්‍ෂයේ සිල්වත්භාවය තව තවත් ශක්තිමත් වෙනවා. පින්වත, ඉහත සියල්ලෝ ම ශීලයෙන් ශක්තිමත් වෙද්දී, එම පූර්වාදර්ශයෝ අනුව යමින්, පින්වත් ජනතාව ද සිල්වත්භාවයට වැඩි වටිනාකමක් දෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ශීලයේ ශක්තියට පුළුවන් වර්තමානයේ පරාජිත ජාතිය, ජයග්‍රහණයෙන් උඩුයටිකුරු කරන්න. පින්වත, අපේ පින්වත් රාජ්‍ය නායකයෝ තවම ඊට පුංචි හෝ සූදානමක් නැහැ. පින්වත, අපි අදත් ප්‍රවර්ධනය කරන්නේ බිඳුණ සිල් පද මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට තම ජීවිතය පූජා කරලා, තමන් උපන් රට විතරක් නොවේ, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකය ම, උතුම් සම්මා විමුක්තියක් බවට පත් කොට ගනිමින්, උතුම් ශීලයේ ආනිශංසයෝ සක් සුදක් සේ ලෝකයාට ඔප්පු කොට පෙන්වනවා.


පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය බවට පත් වෙන්නේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි. පින්වත, ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේලා තුළින් ප්‍රාතිමෝක්‍ෂ ශීලය, විශේෂයෙන් ම සතර පාරාජිකාවෝ පිරිහිලා ම ගිය දවසට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ලෝකයෙන් අතුරුදන් වෙලා යනවා. පින්වත, ගෞරවනීය පැවිදි අපිට පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න. පින්වත, වර්ණය, සැපය, බලයෙන් සම්මා සම්බුද්ධ ශාසනය අලෝකවත් කරන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන, බුදුරජාණන් වහන්සේ තබන පියවරට පසු පියවර තබමින්, වර්තමානයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටින උතුම් ධර්ම විනයට සෙවණැල්ලක් වී වැඩ සිටින්න, වර්තමානයේදීත් පැවිදි අපිට පුණ්‍ය ශක්තිය තිබෙනවා. පින්වත, ගෞරවනීය පැවිදි අපි හැමෝම, මහා කරුණා ගුණයෙන්, අපිට දුකෙන් මිදීමට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මතු කොට දුන්, බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවයෙන් උපන් දරුවෝ. පින්වත, අපේ පැවිදි ජානවල බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ රුව සහ ගුණ තිබෙන්න ම ඕනේ. පින්වත, අධර්මයෝ පෙරළා අධර්මයෝ ම වඩවා දෙන නිසා ම, පැවිදි අපි පුංචි වරදේදීත්, එම පුංචි වරදට ලජ්ජාව සහ බිය ඇති කොට ගන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උතුම් පැවිද්ද යැයි කියන්නේ ආශ්චර්යයක් නොවේ. පින්වත, තම උතුම් පැවිද්ද තුළින් දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගන්නා වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයයි, උතුම් පැවිදි ජීවිතයක ආශ්චර්යය බවට පත් වෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන දකිනවා, සංසාරයේ මම පැවිදි වෙලා, මගේ දුර්වල ශීලය, කල්ප කොතෙක් නම් මාව, පටිච්චසමුප්පන්නව සතර අපායන්ට දමන්න ඇති ද කියලා.


පින්වත, මනුෂ්‍ය ජීවිතවලින් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ දුර්වල වෙන කොට, ශීලයට කොන්ද කෙළින් තබාගෙන ඉන්න බැහැ. පින්වත, එවිට ශීලය, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දිශාවට නැවිලා යනවා. පින්වත, අපි උතුම් තෙරුවන්ට කීකරු වුණොත්, අපි උතුම් ධර්ම විනයට අකීකරුකම් කරන්නේ නැහැ. පින්වත, උතුම් පැවිද්ද යැයි කියන්නේ දඬුවමක් නොවේ. උතුම් පැවිද්ද යැයි කියන්නේ දඬුවමින් මිදීමක් නැතහොත් නිදහස්වීමක්. පින්වත, අවිද්‍යාව අපිට නිරතුරුව ම දඬුවම් කරනවා. පින්වත, කුසල් සංස්කාරයෝ අපිට සිනහ වෙලා දඬුවම් කරනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ අපිට සිනහව මකා දමා දඬුවම් කරනවා. පින්වත, වර්තමානයේ ඔබ උතුම් තෙරුවන්ට කීකරු වෙන්න, පින්වත, එවිට අතීතය හෝ අනාගතය පිළිබඳව ඔබට ප්‍රශ්නයක් නැහැ. පින්වත, ඔබ නිරතුරුව ම වර්තමානය තුළයි ජීවත් වෙන්නේ. පින්වත, ඉන්ද්‍රිය සංවර ශීලයෙන් ශක්තිමත් සම්මා සමාධිමත් සිත, ලෝකය සරල කොට දෙනවා. පින්වත, අපි කවදාක හරි “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින, සරල ම තැනට ලෝකය පත් කොට ගන්න ඕනේ. පින්වත, සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිද්දී, අවිද්‍යාවට පවතින්න බැහැ. පින්වත, අවිද්‍යාවට පවතින්න බැරි තැනයි, විමුක්තිය උපදින්නේ. පින්වත, උතුම් සම්මා පැවිද්ද හරිම නිදහස්. පින්වත, සැබෑ සම්මා පැවිද්ද උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය බරක් කොට ගන්නේ නැහැ. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි ඇලීම් සහ ගැටීම්වලට බර වෙලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නොව, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය ද මිච්ඡා ධර්මයන්ගෙන් ආත්මීය දෘෂ්ටියේ බර පොදියක් බවට පත් කොට දෙන්න.


පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, ලෝකය හරිම ලස්සනට විග්‍රහ කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ වැඩ සිටින්නේ, ලෝකය කිරි ගහට ඇන්නා වගේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් ලස්සනට විග්‍රහ කොට ගෙනයි. එම ආර්ය ජීවිතවල ඇලීමේ සහ ගැටීමේ අවලස්සන නැහැ. පින්වත, ප්‍රීතිය සහ පස්සද්ධියට විවෘත ධර්මයේ උපේක්‍ෂාවෙන්, එම ආර්ය ජීවිත සතිමත්වයි වැඩ සිටින්නේ. පින්වත, එම ආර්ය ජීවිතවල ඵස්සයේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන විඳීමේ අවුල් සංසිඳුණ තැන, එම ආර්ය ජීවිතවල බාහිර අවුල් සංසිඳී යනවා. පින්වත, අනාර්ය මනුෂ්‍ය ජීවිත ආර්ය ධර්මයන් හඳුනන්නේ නැහැ. පින්වත, එම ජීවිතවල ශ්‍රද්ධාව මැකිලා යනවා; මෛත්‍රිය සැඟවිලා යනවා; ශීලය අතුරුදන් වෙලා යනවා. පින්වත, එවිට ඇලීම් සහ ගැටීම් විතර්කයෝ, විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ සහ දැනීම් අවුල් කොට දමනවා. පින්වත, අනාර්ය මනුෂ්‍ය ජීවිතවල ඇතුළාන්තය විඳීම් හේතුවෙන් ගිනි ගනිද්දී, එම අනාර්ය සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම්, ලෝභ, ද්වේශ, මෝහයෝ සහ කාම, රාග, පටිඝයෝ හේතු කොට ගෙන, බාහිර සමාජයත් අවුල් කොට දමනවා. පින්වත, අපේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීමේ ගිනි, බාහිර සමාජයත් ගිනි තියනවා. පින්වත, සමාජය දෙස හොඳින් දෑස් හැර බලන්න. තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම්වලින් ගිනි ගන්නා මනුෂ්‍ය ජීවිත, පෙරළා මනුෂ්‍ය සමාජය ම ඇලීම් සහ ගැටීම්වලින් අවුල් කොට දමනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලයයි. පින්වත, අපි ජීවත් වෙන අවුල්වලින් පිරි සමාජයේ ජය හෝ පරාජයේ තීරකයා වන්නේ ද, මනුෂ්‍ය අපේ ඉන්ද්‍රිය සංවර ශීලය මයි.


පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවා දෙනවා. පින්වත, අපි ලියනවා, පින්වතුන්ලා කියවනවා. පින්වත, අපි දෙගොල්ලන්ගේ ලිවීමේ කෙටි ආස්වාදයත්, කියවීමේ කෙටි ආස්වාදයත් හැර, වෙනත් කිසිම ගුණාත්මක ඵලයක් සමාජය තුළ දකින්නට නැහැ. පින්වත, සමාජය දවසින් දවස අසමගියෙන් ලෙඩ වෙනවා. පින්වත, හැමෝම උත්සාහ ගන්නේ නායකයෝ වෙන්න. පින්වත, තමන් දෙවෙනි වී තමන් උපන් මාතෘභූමිය නායකත්වයට පත් කොට ගන්න කාටවත් ම උවමනාවක් නැහැ. පින්වත, තම තමන්ගේ දැනුම, බුද්ධිය සහ හැකියාවන් මෙලොව සහ පරලොව ජය ගැනීම උදෙසා උපයෝගී කොට ගැනීමට කල්‍යාණමිත්‍ර මාර්ගයෝ විවෘතව තිබියදීත්, තම දැනුම, බුද්ධිය සහ හැකියාවන් මෙහෙයවන්නේ අධිකරණ, බන්ධනාගාර, සිර ගෙවල් දිශාවට මයි. පින්වත, “උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම මනුෂ්‍යයෙක් ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා” යැයි කියන සම්බුදු වදන මොනතරම් නම් සත්‍යයක් ද? පින්වත, “ලෝකය තිබෙන්නේ මනුෂ්‍ය දුර්වලතාවයන් දැක, ඇලෙන්න හෝ ගැටෙන්න නොව, ලෝකය අවබෝධ කොට ගෙන නිදහස් වෙලා යන්න” යැයි කියන දහම, මොනතරම් නම් ප්‍රායෝගික ද? පින්වත, තමන් කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙනවා යැයි නොදකින, ‘මමත්වයේ දැඩිභාවය’ මොනතරම් අපේ ජීවිත ප්‍රමාදීභාවයට පත් කරනවා ද? පින්වත, ඔබට නිවැරදි වෙන්න අවශ්‍ය නම්, ඔබ, ඔබ තුළ තිබෙන වැරදි දකින්න ම ඕනේ. පින්වත, ඔබ, ඔබ තුළ තිබෙන වැරදි, වැරදි හැටියට නොදකිනවා නම්, ඔබ වරදේ සිරකරුවෙක් වෙනවා. පින්වත, අපි තවම ඉගෙනීම අවසන් කරලා නැහැ. අපි තවමත් ඉගෙන ගන්නවා. පින්වත, අපි තවමත් “මේ ඇස ඉපදුණේ අවිද්‍යාවෙන්” ය කියන පාඩමවත් ඉගෙන ගෙන නැහැ. පින්වත, එම නිසා ම ඇසෙන් දකින රූපයන්ට අපි රැවටිලා යනවා.


පින්වත, ජීවිතය තවම නැවතිලා නැහැ. ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ජීවිතයෙන් බැහැර නොයන තාක් කල් ජීවිතය, ජීවත් වෙනවා. පින්වත, ඇත්තට ම ජීවිතයෙන් කිසිම කරදරයක් නැහැ. පින්වත, ජීවිතය, ජීවිතයේ ස්වභාවයෙන් ම පවතිනවා. පින්වත, ජීවිතයේ ස්වභාවය තමයි, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ. පින්වත, ඉහත ධර්මයෝ අපි කාටත් පොදු ධර්මතාවයෝයි. පින්වත, බාහිර ස්වභාව ධර්මයේ ගහකොළ, අහස, පොළොවත් ඔබේ ආධ්‍යාත්මික රූපයත් අතර පුංචි හෝ වෙනසක් නැහැ. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර සියලු රූපයෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ අර්ථයෝ මයි. පින්වත, බාහිර සහ ආධ්‍යාත්මික රූප හැටියට ගත්තොත් අපි හැමෝම සතර මහා ධාතුවේ ඥාතීන් වෙනවා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, ‘සංඛාර පච්චයා විඤ්ඤාණ’, ‘නාමරූප පච්චයා සළායතන’, ‘සළායතන පච්චයා ඵස්සය’ කියන පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් මනුෂ්‍ය ජීවිතවලට ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ සජීවී පහස ලබා දෙනවා. පින්වත, කරදරයක් නැති ජීවිත, කරදරයක් බවට පත් කරන්නේ තෘෂ්ණාව විසින් මයි. පින්වත, ලෝකයේ ලොකුම කරදරකාරයා තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් මයි. පින්වත, ඇලීම්, ගැටීම් අවම ජීවිතය, දුවන සංස්කාර ලෝකය ඉදිරියේ මන්දගාමීවයි තිබෙන්නේ. පින්වත, ඇලීම් සහ ගැටීම්, පංච උපාදානස්කන්ධ ලෝකය අධිවේගී කොට දෙනවා. පින්වත, ලෝකයේ වේගවත් ම ධාවකයා විඳීම් සහ සඤ්ඤා හේතුවෙන් සකස් වන සංස්කාරයෝ යැයි කීවාට වරදක් නැහැ. පින්වත, මේ වේගවත් ම ධාවකයා දුවන්නේ රට වටේ පමණක් නොවේ, අවිද්‍යාවේ හති දමමින් පටිච්චසමුප්පන්නව භවාත්‍රය වටේ ම දුවනවා.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

 2026 ජූනි 07 ලිපිය

බිඳුණු සිල්පදවල වැරහැලිභාවය

 පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් මනුෂ්‍යයෝ ධාතු ධාතු හැටියට බැඳී යනවා” ය කියලා. පින්වත, සත්පුරුෂයෝ, සත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, අසත්පුරුෂයෝ, අසත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවය ඉහත බැඳීම්වලට අත දිග හැර උපකාර කරනවා. පින්වත, පින්වත් මනුෂ්‍යයා තමන් පුහුණු කරන සංස්කාරයන්ට අදාළව ධාතු ධාතු හැටියට බැඳී යනවා නම්, සමාජය තුළ සිදු වන හොඳ සහ නරක යන කාරණා දෙක ඉදිරියේ සුන්දර ධර්මයේ අර්ථයක් මයි අපි මතු කොට ගත යුත්තේ. පින්වත, වර්තමානයේ සමාජය තුළ ඇති වන අර්බුදයන් ඉදිරියේ, එම අර්බුදයන්ට හේතුව ධර්මානුකූලව විග්‍රහ කොට දෙන්න බැහැ. පින්වත, ප්‍රශ්නයට හේතුව ධර්මානුකූලව මතු කොට දෙද්දී, එම පිළිතුර තමන් දරන දේශපාලන මතය තුළින් මයි දකින්නේ. පින්වත, අශ්‍රද්ධාවැති ධාතු ස්වභාවයන් තමන්ගේ දේශපාලන මතයයි ධර්මය කොට දකින්නේ. පින්වත, දේශපාලනය තුළ පවතින විවිධ වූ දේශපාලන මතයන් සමග ඔබලා පැටලෙන්න, හැබැයි උතුම් සද්ධර්මයත් සමග දේශපාලන මතයන් පටලවා ගන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් පාලක පින්වතුන්ලා අධාර්මික වෙද්දී, අදාළ රටේ කාලගුණය විකෘති වෙනවා” ය කියලා. පින්වත, අපි ජීවත් වන සමාජයේ වසර පනහකට වැඩි කාලයක පටන් පංචශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කොට ගත්ත පාලක පින්වතුන්ලා අපි දැකලා නැහැ. පින්වත, ‘දේශපාලනයේ අධාර්මිකභාවය’ යැයි කියන කාරණය වර්තමානයට පමණක් අදාළ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවයකයන් හැටියට ඉහත ධර්මයන් සමාජගත කරන්නේ විවේචනය උදෙසා නොවේ, අවශ්‍ය පින්වතෙක් සිටිනවා නම් නිවැරදි වෙන්න මයි. පින්වත, අපේ රටේ වැස්ස සහ අව්ව දැන් දැන් මහා විකෘතියක් වෙලා. නායක පින්වතුනි, වහ වහා අප්‍රමාදී වෙන්න.


පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ සරණ අහිමි නම්, භික්ෂුවට බොරුවෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. පින්වත, එය අපි කාටත් පොදු ධර්මතාවයක්. පින්වත, බිම්බිසාර රජතුමා ධාර්මිකව මගධ රාජ්‍යයේ රජකම් කරලා, මරණින් පසු පටිච්චසමුප්පන්නව දිව්‍ය ජීවිතයක් ලැබුවා. පින්වත, අජාසත්ත රජතුමා අවීචි මහා නිරයේ ඉපදුණා. පින්වත, කොසොල් රජතුමා අනාථයෙක් හැටියට අම්බලමක මිය ගියා. පින්වත, කොසොල් රජතුමාගේ නැවත උපතත් අනාථ ම වෙන්න ඇති නේද? පින්වත, පුහුණු කරන ලද සංස්කාරයන්ට අදාළව අපි කාගෙ කාගෙත් මරණය සූදානම් වෙනවා. පින්වත, සද්ධර්මයේ අර්ථයන් හඳුනන පාලක පින්වතුන්ලාට පුළුවන්, තම රාජ්‍ය පාලනය තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්න. පින්වත, තම රාජ්‍ය පාලනය තුළින් සතර සතිපට්ඨාන ධර්මයෝ දකින්න. පින්වත, පුහුණු කරන සංස්කාරයන්ගේ නොමනාභාවය නිසා ම, හැමෝම දකින්න උත්සාහ කරන්නේ බිදුණ සිල් පදවල වැරහැලිභාවය මයි; ලෝභ, ද්වේශ, මෝහයන්ගේ නිරුවත්භාවය මයි. පින්වත, අපේ රටේ පංචශීලය දිවිහිමියෙන් රකින නායකයෝ පහළ වේවා! යැයි සිහින නම් දකින්න එපා. පින්වත, සිහින අයිති විඤ්ඤාණයේ මායාවට. පින්වත, විඤ්ඤාණයේ මායාවෝ ඔබේ සිහින මරා දමන හැටි, ඔබට සක් සුදක් සේ පැහැදිලියි නේද? පින්වත, අපේ සමස්ත දේශපාලනය ම පිළී ගඳෙන් පිරිලා. පින්වත, පිළී ගඳ යැයි ධර්මයේ සඳහන් වෙන්නේ මස් සහ මාළුවල පිළී ගඳ නොවේ. බුදුරජාණන් වහන්සේ පිළී ගඳ යැයි කියන්නේ දුශ්ශීලභාවයේ දුර්ගන්ධයටයි. පින්වත, ඔබ මස්, මාළු නොකෑවත්, මනුෂ්‍ය හිංසනය, සොරකම, බොරුව, කාමයේ වරදවා හැසිරීම කොළඹ මාළු කඩේ පිළී ගඳට වඩා මහා පිළී ගඳක් මයි. පින්වත, දේශපාලනය කරන පින්වත් හැමෝම කරුණාකර සැබෑ පිළී ගඳ තේරුම් ගන්න.


පින්වත, පසුගිය දිනවල පින්වත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පිරිසක් බලහත්කාරයෙන් මල්වානේ රජය සතු දේපළක දින කිහිපයක් පදිංචි වෙලා සිටියා නේද? පින්වත, එම සිද්ධියේ දී භික්ෂුව දැක්ක බොහෝම ගුණාත්මක දෙයක් තිබුණා. පින්වත, එම සිද්ධියට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන පැවිදි ස්වාමීන් වහන්සේලා කවුරුවත් ම සම්බන්ධ වෙලා සිටියේ නැහැ. උසස් අධ්‍යාපනය ලබන පින්වත් තරුණ ස්වාමීන් වහන්සේලා බොහෝම සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ, පින්වත් තරුණ ස්වාමින් වහන්සේලා උපයෝගී කොට ගෙන සමස්ත සංඝ සමාජයේ ම ආත්ම ගරුත්වය දුර්වල කොට දැමීමේ පාපකාරී ක්‍රියාවන් දේශීය සහ විදේශීය වශයෙන් උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙනවාය කියන කාරණය. පින්වත, බෝහෝම සිල්වත් නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, “කටුනායක දී අත්අඩංගුවට පත් තරුණ ස්වාමීන් වහන්සේලා අතර තමන් වහන්සේගේ ශිෂ්‍යයෙකුත් සිටිනවා, මම කොහොම ද සමාජයට මුහුණ දෙන්නේ?” කියලා. පින්වත, මෙවැනි වැඩිහිටි උපාධ්‍යායන් වහන්සේලාව, තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විසින් මෙවැනි සිද්ධීන් තුළින් මානසිකව හිංසනයට පත් කිරීම ලොකු අකුසලයක් වෙනවා. පින්වත, “අද දවසේ පැවිදිභාවය ලැබූ සාමණේර ස්වාමීන් වහන්සේ, අනාගාමී ගිහි උපාසක පින්වතෙකුට වඩා ශ්‍රේෂ්ඨයි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත් තරුණ ස්වාමීන් වහන්සේලා තමන් තුළින් තමන්ගේ ශ්‍රේෂ්ඨභාවය දකින්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට උසස් අධ්‍යාපනය ලබන තරුණ ස්වාමීන් වහන්සේලා නිතර මුණගැසෙනවා. එම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ හිස කෙස් වැවිලා තිබුණත්, රැවුල වැවිලා තිබුණත් භික්ෂුව එම තරුණ ස්වාමීන් වහන්සේලාව දකින්නේ ගිහි අනාගාමී පින්වතෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ සංඝ සමාජයේ සාමාජිකයෙක් හැටියට මයි.


පින්වත, ගෞරවනීය තරුණ ස්වාමීන් වහන්සේලා විනයගරුකව හැසිරෙද්දී, විනයගරුකව ඇවතුම් පැවතුම් පවත්වද්දී, සත්පුරුෂ මනුෂ්‍යයෝ විතරක් නොවේ, සත්පුරුෂ දෙවියෝත් ඔබලාව දැකලා සතුටු වෙනවා. ගෞරවනීය උපාධ්‍යායන් වහන්සේලා ඔබලාව දැකලා සතුටු වෙනවා. පින්වත, අසත්පුරුෂ නිරාගමිකභාවයන් සංඝ සමාජය සතු සමාජ ආධිපත්‍යය බිඳ දැමීමට උපක්‍රමශීලීව දැල එළද්දී, අපේ රටේ සත්පුරුෂ බෞද්ධ සහ අබෞද්ධ පින්වත් ජනතාව සමස්ත සංඝ සමාජය කෙරෙහි තිබෙන ගෞරවය පැවිදි අපි කෘතවේදීව තේරුම් ගන්න ඕනේ. පින්වත, සංඝ සමාජයේ අපි අසත්පුරුෂ ධර්මයන් සරණ ගොස්, සත්පුරුෂ ධර්මයන්ගේ සිත් රිදවන්න හොඳ නැහැ. පින්වත, සංඝ සමාජයේ අපි, “මම නිවැරදියි, අනුන් වැරදියි” යැයි සංඝ සමාජයේ අසමගියට පාර හදන්න හොඳ නැහැ. පින්වත, නිවැරදි භික්ෂුවගේ වගකීම, වැරදිකරුවා විවේචනය කිරීම නොවේ, පූර්වාදර්ශීව වැරදි නිවැරදි කොට ගැනීමට මාර්ගය විවර කිරීමයි. පින්වත, මේ ලිපිය සටහන් තබන මොහොතේත් අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ මුල්කොට ගෙන අසත්පුරුෂ විවේචනයෝ සමාජගත කරනවා. එම නායක ස්වාමීන් වහන්සේට මේ ලිපිය ලියන මොහොත දක්වා සංඝ සමාජය විසින් අධිකරණයන් පනවා නැහැ. රටේ අධිකරණය විසින් උන්වහන්සේව වැරදිකරුවෙක් කරලත් නැහැ. උන්වහන්සේ තවමත් නිර්දෝෂීවයි වැඩ සිටින්නේ.


පින්වත, සංස්කාර අධිකරණය මේ සියලු සිදුවීම්වලට ඉදිරියෙන්, සීරුවෙන් බලා සිටිනවා. පින්වත, සංස්කාර අධිකරණය රැස්වෙන්නේ තමන්ගේ ම හෘද සාක්‍ෂිය තුළයි. පින්වත, නිරාගමික මාර ධර්මයෝ මෙවැනි සිද්ධීන් ඉදිරියේ බොර දියේ මාළු බාන්න උත්සාහ කළාට, අපි කලබල විය යුතු නැහැ. පින්වත, ලක්‍ෂ සංඛ්‍යාත සත්පුරුෂ ජනතාවක් සතිපතා පින්කම් සිදු කොට ගන්නා මේ මහා පුණ්‍ය භූමි, මෙතෙක් ආරක්‍ෂා කොට ගෙන, නඩත්තු කොට ගෙන, පින්වත් ජනතාවගේ පුණ්‍ය සිතුවිලි වර්ධනය වන ආකාරයට මෙම පූජා භූමි පාලනය කොට ගෙන පැමිණියාට, අපි එම නායක ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. පින්වත, අධර්මවාදී කොටි ත්‍රස්තවාදය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස මනුෂ්‍ය ඝාතන සිදු කරද්දී, මෙම පුද බිම් අත්නොහැර ආරක්‍ෂා කොට ගත්තේ, ඔබවත්, භික්ෂුවවත් නොවේ, මෙම නායක ස්වාමීන් වහන්සේලා මයි. පින්වත, වැරදි කළා ද, වැරදි නොකළා ද කියන කාරණය තීරණය කිරීම රටේ අධිකරණයට භාර දී, සත්පුරුෂ පින්වත් අපි මෙම නායක ස්වාමීන් වහන්සේලා පූජනීය අටමස්ථානයේ ආරක්‍ෂාව, පැවැත්ම, නඩත්තුව උදෙසා සිදු කළ මෙහෙවරට කෘතවේදී වෙමු. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට, “මහා පුණ්‍ය භූමියක නායකත්වය භාර ගන්න” කියලා කිව්වොත්, භික්ෂුව දෙවරක් නොසිතා ප්‍රකාශ කරන්නේ, “අනේ! නායක හාමුදුරුවනේ, මට නම් අපායට යන්න බැහැ” කියලයි. පින්වත, භික්ෂුව ඉහත අදහස් සටහන් තැබුවේ, මෙවන් මහා පූජා භූමිවලට නායකත්වය දෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා තම වගකීම් ඉදිරියේ මොනතරම් අධිඅවදානමක් තුළ ද වැඩ සිටින්නේ කියන කාරණය පැහැදිලි කොට දෙන්නයි.


පින්වත, චෝදනා සහ විවේචන කරන්න ඕනෑම අනුවණ පින්වතෙකුට හරිම ලේසියි. පින්වත, මහා පූජා භූමි පාලනය කරන නායක ස්වාමීන් වහන්සේලාට පැවරී තිබෙන නායකත්ව වගකීම්, දසදහස් සංඛ්‍යාත බැතිමතුන්, දිනපතා පැවැත්වෙන මහා පින්කම්, දිනපතා ලැබෙන ද්‍රව්‍යමය සහ මුදල්මය ආධාර, අදාළ පූජා භූමියේ ආරක්‍ෂාව, පිරිසිදුභාවය, නඩත්තුව, පින්වත, ඉහත සියලු වගකීම් උතුම් පැවිදි ජීවිතයක් මතට ගනිද්දී, පින්වත, හේතුඵල ධර්මයන්ට අදාළව කෙසේ නම් එම නායක ස්වාමීන් වහන්සේලා තුළ සම්මා සමාධිමත් සිතක් ඇති වෙන්න ද? පින්වත, මෙම ලිපිය සටහන් තබන මොහොතේ වනවාසී කුටියක වැඩ සිටින මෙම භික්ෂුවගේ ශීලය සහ සමාධිය, එලෙසින් ම මෙවන් මහා පූජා භූමි පාලනය කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එය හේතුඵල ධර්මයන්ට අදාළව සිද්ධ වෙන්නේ නැහැ. පින්වත, නමුත් භික්ෂුව එක දෙයක් බොහෝම විවෘතව සටහන් තබනවා, “පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මෙම මොහොතේ සිටින තැනට පැමිණියේ, භික්ෂුව ගිහි ජීවිතයේ දී, ඉහත නායක ස්වාමීන් වහන්සේලා ආරක්‍ෂා කොට ගෙන පැමිණි මහා පුණ්‍ය භූමිවල පින්කම් කරලා, ගුණදහම් පුරලා” ය කියන කාරණය. පින්වත, එම කෘතවේදීභාවය භික්ෂුව අමතක කරන්නේ නැහැ. පින්වත් සත්පුරුෂ ඔබ අමතක කරන්නත් එපා.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ


උපුටා ගැනීම - 2026 මැයි 31 දිවයින ඉරිදා සංග්‍රහය

ඔබේ ලොකුම තරහකාරයා කවරෙක්ද

 පින්වත, වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් වෛරය, වෛරයෙන් ම ජය ගන්න උත්සාහ කරනවා. පින්වත, වෛරයේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, වෛරයේ කෙටි ආස්වාදයට ඔබේ හදවතින් අත්පොළසන් ලැබෙන බව ඇත්ත. එහෙත් වෛරයේ දීර්ඝ ආදීනවයෝ මෙලොව සහ පරලොව යන දෙකම දුකේ විකෘතියක් බවට ම පත් කොට දෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත් වන ප්‍රේතයන් දෙදෙනෙක් සිටිනවා. මෙම ප්‍රේතයන් දෙදෙනා එකට මුණගැසෙන වෙලාවේ ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ කියන ධර්මතාවය හේතුවෙන් පටිච්චසමුප්පන්න අතීත වෛරී දැනීම් මතු වෙලා එනවා. පින්වත, වෛරයෙන් වියරු වැටෙන මේ ප්‍රේතයන් දෙදෙනා එකිනෙකාගේ හිස වැරෙන් අල්ලාගෙන දෙදෙනාගේ හිස් දෙක කුඩු වෙන්නම එකට ගසාගෙන මැරිලා යනවා. පින්වත, අපේ ඇසට පෙනෙන තිරිසන් ලෝකයේ සතුන්, විශේෂයෙන් අලි, ඇතුන් එක සතෙක් මැරී වැටෙන තෙක් ම වෛරී චේතනාවෙන් සටන් කරනවා. පින්වත, දකුණු පළාතේ දී මරා දමන පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් කොට, හිස පමණක් අගනුවරට ගෙනත් ප්‍රදර්ශනයේ තබන සිද්ධීන් ඔබ අසා තිබෙනවා නේද? පින්වත, වෛරයට මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත කියලා වෙනසක් නැහැ. පින්වත, අපේ අදක්‍ෂභාවය ඉදිරියේ අපි දක්‍ෂයාට වෛර කරන්න හොඳ නැහැ. පින්වත, දක්‍ෂයා උපයෝගී කොට ගෙන ඔබේ අදක්‍ෂභාවය, දක්‍ෂභාවයට පෙරළා ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වයස් භේදයකින් තොරව දක්‍ෂ හැමෝගෙන් ම අදත් යමක් ඉගෙන ගන්නවා. පින්වත, දක්‍ෂ හැමෝගෙන් ම යමක් ඉගෙන ගන්නා පින්වතාට පුළුවන්, හැමෝටම වඩා දක්‍ෂයෙක් වෙන්න. පින්වත, දක්‍ෂයාට වෛර කරන්නාට හිමිවෙන්නේ පිරිහීමේ දොරටු පමණක් මයි.


පින්වත, ඔබට නරකක්, නපුරක් සිදු කරන ඔබේ ලොකුම තරහකාරයා කවුද? පින්වත, ඔබේ තරහකාරයන්ගේ නම් වැල ඔබට සිහිපත් වුණා ද? පින්වත, ඔබේ තේරීම වැරදියි. පින්වත, ඔබේ ලොකුම තරහකරුවා වෙන කවුරුවත් ම නොවේ, ඔබේ ම ‘සක්කාය දිට්ඨිය’ හෙවත් මමත්වයේ දැඩිභාවයයි. පින්වත, අපේ දැක්ම අපිරිසිදු වෙද්දී, ආත්මීය දෘෂ්ටිය අපේ වැරදි, අනුනට පටවනවා. පින්වත, අපි මමත්වයේ දැඩිභාවය පරිපූර්ණ වශයෙන් ම නිරෝධය කොට දමන්නේ, උතුම් සෝවාන්ඵල අවබෝධයේදීයි. පින්වත, වැරදිකරුවන් හුවා දක්වමින් සමාජ මාධ්‍ය හරහා නැගෙන ඝෝෂාව ඔබට ඇසෙනවා ද? පින්වත, මේ ඇසෙන්නේ සක්කාය දිට්ඨියේ ඝෝෂාවයි. පින්වත, මේ ඇසෙන්නේ “මම” නොහැදී, අනුන්ව හදන්න යන ආත්මීය දෘෂ්ටියේ දෝංකාරයයි. පින්වත, සක්කාය දිට්ඨිය ඔබ තුළින් පරිපූර්ණ වශයෙන් නිරෝධය වුණ තැන, ඔබ තුළ උපදින්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්මයි. පින්වත, එම අනිත්‍ය දැක්ම අපිට කියලා දෙන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත, ඔබේ ම ආධ්‍යාත්මික රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ඔබ, ඔබ තුළින් ම දකිද්දී, ඔබේ ජීවිතය තුළ සිදු වන දුක්ඛ දෝමනස්සයන්ට, කෙසේ නම් අනුනට දොස් පවරන්න ද? පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ දක්‍ෂයා, තම ආධ්‍යාත්මික සහ බාහිර ලෝකය උපයෝගී කොට ගන්නේ, තම කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය නිවන උදෙසා සවිමත් කොට දෙන විදර්ශනාමය සංස්කාරයෝ උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තම ඇසට, කනට, මනසට අරමුණු වෙන සෑම මනුෂ්‍යයෙක් ම, ඇලීම් සහ ගැටීම් උදෙසා නොව, අවබෝධ ඥානය උදෙසා විදර්ශනාමය කමටහනක් මයි.


පින්වත, ඔබ ජීවත් වන සමාජය දෙස දෑස් විවෘත කොට බලන්න; ඔබේ දෙකන් විවෘත කොට අහන්න. පින්වත, ලෝභ, ද්වේශ, මෝහයෝ විසින් සමාජය සියතට අරගෙන නේද? පින්වත, අකුසල් මූලයෝ ආධිපත්‍යය දරන සමාජය තුළ මිච්ඡා වාචාවෝ, මිච්ඡා කම්මන්තයෝ, මිච්ඡා ආජීවයෝ බොහෝම වේගයෙන් තිරිහන් වෙනවා. පින්වත, දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි කියන පරම සත්‍යය ඉදිරියේ, තෘෂ්ණාවෙන් මංමුළා වෙලා, අපි මේ නටන අවිද්‍යාවේ නාඩගම හෙවත් ඇලීම් සහ ගැටීම් සන්දර්ශනයන්ගේ අවසානය කොතන ද? පින්වත, තෘෂ්ණාවෙන් උපදින උපාදානයෝ අයිති කොට ගන්න, එකිනෙකා පරදා ලෝභ, ද්වේශ, මෝහයෝ ප්‍රවර්ධනය කරන අපි හැමෝගේ ම ගමනේ අවසානය, තම තමන්ගේ පවුලේ සුසාන භූමියේ ආදාහනාගාර ගෑස් කුටියේ, දැවී ඉතිරි වී, මැටි කළයකට සවලකින් එකතු කොට දෙන මිනී අළු ටික පමණක් ම නේද? පින්වත, ලෝභ, ද්වේශ, මෝහ මහ සයුරේ කිමිදි කිමිදී අනාගත සැප සොයන ‘තෘෂ්ණාවෙන් ධනවත්’ පින්වතුන්ලා, විවේකීව මොහොතක් දෑස් පියාගෙන, සියල්ල අවසානයේ ඉතිරිය වන මැටි කළයේ මිනී අළු සහිත ජයග්‍රහණයේ සංකේතය සිහිනුවණින් දකින්න. පින්වත, අපි මොන පුරාජේරු කිව්වත්, කෙරුවත් නම්බුනාම, පදවි, තනතුරු උදෙසා අකුසල් මූලයන් වැඩුවත්, සියල්ල අවසානයේ අපි සියල්ලෝ ම ලබන පදක්කම වෙන්නේ, සුසාන භූමියේ සොහොන්පල්ලා අතින් ලැබෙන මැටි කළයේ මිනී අළු පදක්කමයි. පින්වත, අපේ රූපය හෙවත් මළ සළායතනයෝ මැටි කළයේ අළු ගොඩක් වුවත්, තෘෂ්ණාව හේතුවෙන් මරණාසන්න මොහොතේ ඇති වූ පටිච්චසමුප්පන්න උපාදානයෝ සතර අපායට පාවඩ එලුවොත්, ලෝකය දිනන්න ගිහිල්ලා, දෝතින් ම දුගතිය දිනා ගත්තා වෙනවා.


පින්වත, කර්මය කර්මඵල විශ්වාසය හඳුනන ලෝකයේ, අකුසල් විපාකයෝ වැඩිම සොරකම බවට පත් වෙන්නේ සාංඝික දේපළ සොරකමයි. පින්වත, දෙවෙනි බලවත් ම විපාකයෝ සහිත සොරකම බවට පත් වෙන්නේ පින්වත් ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන ජාතික ධනය සොරකම් කිරීමයි. පින්වත, මහා භාණ්ඩාගාරයේ ධනය, සාංඝික දේපළක් හැටියට දැකීම, අපි හැමෝගේ ම භව සැපයට හේතු වෙනවා. පින්වත, ඔබලාගේ භව සැපයට හේතු වන මේ උතුම් ධර්මයෝ, හුදු දේශපාලන සටන් පාඨ බවට පමණක් පත් කොට ගන්න එපා. පින්වත, තමාගේ ජීවිතය තමා විසින් ම සිය දිවි නසා ගන්නවාය යැයි කියන්නේ, තමාගේ ම ජීවිතය තමාගේ ම අකුසල් විසින් සොරකම් කිරීමයි. පින්වත, මේ සොරකමේ සැබෑ ම විත්තිකරුවා ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ ධර්මතාවයයි. පින්වත, අතීත බලවත් අකුසල් සංස්කාරයෝ හේතුවෙන් තමාට දැනීම් සකස් වෙනවා, තමාගේ ම ජීවිතය උදුරා ගන්න. පින්වත, අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තාක් කල්, සිය දිවි නසා ගැනීමේ අනතුරින් මිදිලා නැහැ. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අද ජීවත් වීම උදෙසා සටන් කරන අපි, හෙට මරණය උදෙසා සටන් කරන්න පුළුවන්. පින්වත, සාංඝික දේපළ වගේ ම, පින්වත් ජනතාවගේ බදු මුදල් සොර සිතින් ගන්න යන්න එපා. පින්වත, මේවායේ බලවත් විපාකයෝ, විපාකයට පැමිණෙද්දී, ඔබේ ම ජීවිතය සොර සිතින් ගන්න ඔබට මෙලොව හෝ පරලොව දී දැනීම් සකස් වෙන්න පුළුවන්. පින්වත, සිය දිවි නසා ගැනීම අයිති කුසලයෙන් පරාජිතයාටයි. පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවා දෙද්දී, සිය දිවි නසා ගැනීම දුකේ අවසානයක් නොව, වියරු පටිච්චසමුප්පන්න භව දුකේ ආරම්භයක් මයි. පින්වත, ‘මම සුවපත් වෙම්වා!’ යැයි සිතන්න. ඔබේ සැබෑ ආරක්‍ෂකයා එම මෛත්‍රී චේතනාවෙන් සකස් වෙන කුසල් සංස්කාරයෝ මයි. පින්වත, මරණය ජය ගත යුත්තේ සිය දිවි නසා ගැනීමෙන් නොවේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මයි.


පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට රැවටෙන්න එපා. පින්වත, සංස්කාරයෝ වංචාවක්, සංස්කාරයෝ ප්‍රෝඩාවක්, සංස්කාරයෝ ඇස් බැන්දුමක් පමණක් මයි. පින්වත, අවිද්‍යාව තෘෂ්ණාවේ පාට පාට කණ්ණාඩි අපිට පලන්දවලා, සංස්කාර ලෝකය තුළ අපිව රවටනවා. පින්වත, ඔබේ කුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙන කොට මහේශාක්‍යභාවයන්, ධනවත්භාවයන්, සැප සම්පත්, දායක දායිකාවන්, යහළු යෙහෙළියන් පිරී ඉතිරී යනවා. පින්වත, ඔබේ කුසල් සංස්කාරයෝ විපාකයට පැමිණ ඔබ වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ආඪ්‍ය වෙද්දී, පිරිවර සම්පත් ලබද්දී, ඔබ අනුනගේ තෘෂ්ණාවට රැවටිලා යනවා. පින්වත, ඔබේ යසඉසුරු “පින” ඉදිරියේ, ඔබ අනුනගේ තෘෂ්ණාව ‘මම’ ය, ‘මගේ’ යැයි කොට දකිනවා. පින්වත් ඔබ එවිට සිතන්නේ “ඔබ ලෝකය දිනුවා” ය කියලයි. පින්වත, ඔබ ලෝකය දිනලා නැහැ. ඔබ, ඔබේ සහ අනුනගේ තෘෂ්ණාවට රැවටිලා පමණක් මයි. පින්වත, තෘෂ්ණාවට රැවටෙද්දී, ඔබ තුළ වැඩෙන්නේ පංච නීවරණ ධර්මයෝ මයි. පින්වත, ඔබ තුළ පංච නීවරණයෝ වැඩි වෙද්දී, ක්‍රමානුකූලව කුසල් සංස්කාරයෝ යටපත් වී, අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙද්දී, මහේශාක්‍යභාවයන් පිරිහී, සැප සම්පත් පිරිහී, චෝදනාවන්ට ලක්වී, යහළු යෙහෙළියන්, ඥාතීන් ඔබව මඟ හැර යනවා. පින්වත, මෙවැනි අවස්ථාවක ඔබට කල්‍යාණමිත්‍ර ආශ්‍රයක් මුණ නොගැසුණොත්, ඔබ සිය දිවි නසා ගන්නට පවා යොමු වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ඔබේ වර්ණය, සැපය, බලය ඉදිරියේ ඔබට ආකර්ෂණය වෙන පිරිවර සම්පත් යනු ඔබේ කුසල් ධර්මයන්ට ආකර්ෂණය වෙන, අනුනගේ තෘෂ්ණාවේ හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්න. පින්වත, ඔබේ සහ ඔබට ආකර්ෂණය වන අනුනගේ “තෘෂ්ණාව” ඉදිරියේ ඔබ මධ්‍යස්ථ වෙන්න. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින්න. පින්වත, සමාජගත වන සිය දිවි නසා ගැනීම් තුළින් ඉහත ධර්මය දකින්න උත්සාහ ගන්න.


පින්වත, මේ දවස්වල පරිසරයේ බාහිර සතර මහා ධාතුව හොඳටෝම කිපිලා. පින්වත, මහා අනෝරා වැසි, වේගවත් අකුණු හඬ සහ සුළඟේ වේගය ගොඩාක් වැඩි වෙලා. පින්වත, පිණ්ඩපාත මඩුවට පැමිණෙන පාරත් හොඳටෝම මඩ වෙලා. ඒත් පනහකට වැඩි පිරිසක් උදෑසන පිණ්ඩපාත දානය බෙදන්න පැමිණ සිටියා. පින්වත, බාහිර සතර මහා ධාතුවේ කිපීම් වැඩි වෙන කොට අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා. පින්වත, කාලයට වහින්නේ නැහැ, අකාලයට වහිනවා. පින්වත, දැන් දැන් හැමදාමත් වැස්ස මහා විකෘතියක්. පින්වත, වසරකට කී වතාවක් ගංවතුර, වැසි වතුර ගලලා ගෙවල් දොරවල්, ගම්බිම් යට වෙනවා ද? පින්වත, මොනතරම් නම් ධන හානි, ජීවිත හානි සිද්ධ වෙනවා ද? පින්වත, පියවි ඇසට නොපෙනුණාට පාරිසරික විකෘතීන් හේතුවෙන්, ගම්බිම් යට කර ගෙන වහින මහා වැසි මුල්කොට ගෙන, මේවාට ගැටී මනුෂ්‍ය ජීවිතවල ඇති කොට ගන්නා මහා “කෙලෙස් වැසි” මොනතරම් නම් අකුසල් කන්දරාවක් සමාජගත කරනවා ද? පින්වත, මහා වැසි හේතුවෙන් මනුෂ්‍ය ජීවිතවල කෙලෙස් වැසි ඇති වී, එම කෙලෙස් වැසිවලින් දෝරේ ගලන අකුසල් හේතුවෙන්, පෙරළා අනෝරා වැසි ඇති වීමේ හේතුඵල ධර්මයෝයි, අපි මේ අත්දකින්නේ. පින්වත, නායකයෝ අධර්මිෂ්ඨ වෙද්දී, ජනතාවත් අධර්මිෂ්ඨ වෙනවා. පින්වත, සමාජගත වන අධර්මිෂ්ඨභාවයන් වැඩි වෙද්දී, වහින වැසි වියරුවක් ම වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, පායන කොට මහ පොළොව ඉරි තලා යන්න ම පායනවා. පින්වත, හැමදාමත් ගංවතුර ආධාර දීලා, වගා විනාශයන්ට ආධාර දීලා මේ කාලගුණික විකෘතියට පිළියම් සොයන්න බැහැ. පින්වත, කරුණාකර පක්‍ෂ සහ විපක්‍ෂ සියලු නායකයෝ සිල් පද විකෘතියක් නොකොට, කරුණාකර ධාර්මික වෙන්න. පින්වත, තවදුරටත් අධාර්මිකභාවය තට්ටු මාරු ක්‍රමයට ජාතියට උරුම කොට දෙන්න එපා. පින්වත, ගංවතුරෙන් සිදු වන විනාශයන්ට ද්වේශ කරන්න එපා. පින්වත, “ධාර්මික පාලකයෝ ඇති වේවා!” යැයි සත්‍යක්‍රියා කරන්න.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 මැයි 24 ලිපිය

සිනහවත් කඳුලත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්

 පින්වත, අනාගතයේ යම් දවසක ප්‍රාතිමෝක්‍ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්‍ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නෙක් වෙනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය දේශපාලන ක්‍රියාකාරකම් තුළින් ආරක්‍ෂා කරන්න බැහැ. පින්වත, හැබැයි ඉතින් දේශපාලන බලයෙන් කොන්ක්‍රීට් ශාසනය නම් සංවර්ධනය කරන්න පුළුවන්. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළින් මුල් අදින, ආධ්‍යාත්මික ශාසනය ගැනයි. පින්වත, යම් භික්ෂුවක්, යම් භික්ෂු කණ්ඩායමක් උපසම්පදා ශීලය දුර්වල කොට ගත්තොත්, අධිකරණයන් නොසලකා හැරියොත් එහි ඵලය වෙන්නේ, උපසම්පදා ශීලය රැකගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාගේ ජනප්‍රියභාවය වැඩි වීමයි. පින්වත, සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ ජනප්‍රියභාවය වැඩි වෙද්දී, උන්වහන්සේලාට ලැබෙන ජනතා ප්‍රතිචාර, සිවුපසය සහ විදේශ ආරාධනා ගොඩාක් වැඩි වෙනවා. පින්වත, ඉහත හේතුව නිසා ම, සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ සිල් පද දුර්වල වෙන්න පුළුවන්. පින්වත, සංඝ සමාජය තුළ පුංචි හෝ ශීලයේ දුර්වලතාවයන් ඇති වෙන කොට, සිල්වත් ස්වාමීන් වහන්සේලා තුළ සිහිනුවණ ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ. පින්වත, සිල්වත් ස්වාමීන් වහන්සේලා තම ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ තුළින් මොනවට පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, සංස්කාරයෝ අශ්ව වේගයෙන් අනිත්‍ය වෙලා යනවා, අපිව සංස්කාර ලෝකයේ අතරමං කරලා.


පින්වත, අපි මේ ජීවත් වෙන්නේ කල්‍යාණමිත්‍රභාවය දුර්ලභ, අසත්පුරුෂභාවය සුලභ ලෝකයක. පින්වත, එය ලෝකයේ වරදක් නොවේ. පින්වත, වර්තමාන ලෝකයට ජවය ලබා දෙන දුර්ලභ කුසල් සංස්කාරයන්ගේ සහ සුලභ අකුසල් සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයෝයි. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ අසත්පුරුෂ ආශ්‍රයේ වෙනස, සුගතිය සහ දුගතිය අතර වෙනසයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදන්න අසත්පුරුෂ පින්වතා, සතර අපාය සහ සුගතිය හඳුනන්නේ නැහැ. පින්වත, එවැනි පින්වතුන්ලාගේ ශබ්ද කෝෂය හිස් වචන සහ හිස් අදහස් යෝජනාවලින් පිරිලා. පින්වත, මෙවැනි පින්වතෙක් පසුගිය දවසක කියලා තිබුණා, “යමෙක් උතුම් පැවිදිභාවයට පත් කරද්දී, පුරුෂ ලිංගය ඉවත් කරලා පැවිදි කරන්න” ය කියලා. පින්වත, කෙනෙකුගේ පුරුෂ ලිංගය යැයි කියන්නේ සතර මහා ධාතුවෙන් හැදුණ හුදු ශරීර අවයවයක් විතරයි. පින්වත, මෙම ශරීර අවයවයන් ක්‍රියාත්මකභාවයට පත් වෙන්නේ ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවය තුළින් පමණක් මයි. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ නිසා මයි, බුදුරජාණන් වහන්සේ ඵස්සයේ තෘෂ්ණාව සියුම් කිරීමට, පැවිදි අපිට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවා තිබෙන්නේ. පින්වත, මෝහයේ මස් කඳු, අසත්පුරුෂභාවයෙන් පුරුෂ ලිංගය ඉවත් කොට රාගය නැති කිරීමේ අබුද්ධෝත්පාද කාලයේ බණ දේශනා කරනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, එක් භික්ෂුවක් ලවා, තමන්ගේ ගෙල සිඳ දමාගෙන අපවත් වී, නිවන සොයා ගිය උතුම් ධර්ම විනයට අකීකරු වූ භික්ෂූන් කිහිප දෙනෙක් හේතුවෙනුයි, බුදුරජාණන් වහන්සේ සතර පාරාජිකාවන්ට අදාළව මනුෂ්‍ය ඝාතනය පනවන්නේ. පින්වත, මෙම දෘෂ්ටිගත භික්ෂූන් නිවන හැටියට දැක්කේ, අපවත්වීම කෙරෙහි තෘෂ්ණාවයි. පින්වත, අපවත්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එම කැමැත්ත තුළ සැඟවී තිබුණ, ඵස්ස පච්චයා වේදනා ධර්මතාවය දැක්කේ නැහැ.


පින්වත, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති පින්වතා සංස්කාර අධිකරණය ගැන දන්නේ නැහැ. පින්වත, සත්‍යකින්ම ඔහු සතර අපාය ගැන දන්නෙත් නැහැ. පින්වත, එහෙව් පින්වතා සූත්‍රගත ධර්මයේ සඳහන් වෙන නිරයන් එකසිය තිස්දෙක ගැන කෙසේ නම් දැන ගන්න ද? පින්වත, එම අශ්‍රද්ධාවැති පින්වතුන්ලා දන්න ඉහළම දඬුවම තමයි අත්අඩංගුවට ගැනීම, මඩ ගැසීම, බන්ධනාගාරගත කිරීම, සිර දඬුවම් ලබා දීම, එසේත් නැතිනම් මානසිකව සහ කායිකව මරා දැමීමයි. පින්වත, අශ්‍රද්ධාවැති පින්වතාගේ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලභාවය නිසා ම, එම පින්වතා දකින ලෝකයේ දිග සහ පළල පෝෂණය වෙලා තිබෙන්නේ ළිං මැඩියන්ගේ දැනුමෙන් මයි. පින්වත, මෙම පින්වතුන්ලාගේ අසරණකමට ළිඳ ඇතුළේ සිටින මැඩියන් සිත් සේ කෑ ගසන ආකාරයට, මිච්ඡා වචන, මිච්ඡා අදහස්, මිච්ඡා ඝෝෂාවෝ සිත් සේ සමාජගත කරනවා. පින්වත, මෙම පින්වතුන්ලාගේ සටන් බිම බවට පත් වෙන්නේ, සමාජ මාධ්‍ය ජාලාවෝයි. මෙම පින්වතුන්ලාගේ අවිආයුධ බවට පත් වෙලා තිබෙන්නේ, තම දිව නමැති දෙපැත්තම මුවහත් කෙටේරියෙන් පිට වෙන මිච්ඡා වචන, පරුෂ වචන සහ සම්පප්‍රලාපයෝයි. පින්වත, මෙවැනි මිච්ඡා වචනවලින් එම අහිංසක පින්වතුන්ලා සමාජයට ඔප්පු කොට පෙන්වන්නේ, තමන් සතු ධර්මානුකූල ලෝක දැනුමේ අල්පභාවයයි; තමන්ගේ ඉන්ද්‍රිය අසංවරභාවයේ ගොරහැඩිභාවයයි. පින්වත, තමන් තුළ පවට ඇති ලජ්ජාව සහ බිය කියන කාරණා දෙකේ නිරුවත්භාවයයි.


පින්වත, මැදපෙරදිග ඇවිළී ගිය යුද්ධය පුරාවට බාහිර ලෝකයේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ඔබ දැක්කා ද? පින්වත, යුද්ධය හේතුවෙන් මැදපෙරදිග කැඩී, බිඳී, විසිරී ගිය සෑම මනුෂ්‍ය සහ බාහිර රූපයක් ම නොකැඩී, නොබිඳී, නොවිසිරී තිබෙනවා යැයි ‘නිත්‍ය සඤ්ඤාවෙන්’, ‘සුභ සඤ්ඤාවෙන්’ ම ගත්ත රූපයන් නේද? පින්වත, එකම පාසලේ ඉගෙන ගනිමින් සිටි සිය ගණනක් පින්වත් දරුවෝ, පින්වත, එකම නෞකාවේ ගමන් ගත් සිය ගණනක් පින්වත් නාවිකයන් නිරායුධව අකාලයේ මරු තුරුලට ගියත්, මේ සෑම පින්වතෙක් ම, අනාගත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ නිත්‍ය, සුභ, ආත්මීය සඤ්ඤාවන්ගෙන් බලාපොරොත්තු තබා ගෙන සිටින්නට ඇති නේද? පින්වත, සංස්කාර ලෝකය හරිම මායාවක්; ඇස්බැන්දුමක්; මිරිඟුවක් සේ ම දකින්න. පින්වත, යම් මනුෂ්‍යයෙකුගේ ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ යැයි කියන ධර්මතාවය යමෙක්ව මරා දමලා, එම මරණයට පත් වෙන මනුෂ්‍යයා තුළ සකස් වෙන තෘෂ්ණා පච්චයා උපාදානං යැයි කියන ධර්මතාවය පෙරළා මිය ගිය තැනැත්තාට පටිච්චසමුප්පන්නව භවයේ නැවත උපතක් සකස් කොට දෙනවා. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය කියන එකම ධර්මතාවය, අපිව කුසල් සහ අකුසල් සංස්කාර ඇස්බැන්දුම උපයෝගී කොට ගෙන, භවාත්‍රයේ සෝද සෝදා යළි යළිත් මඩේ දමනවා. පින්වත, භික්ෂුව නම් මේ මොහොතේ ජීවත් වෙන්නේ කාම ලෝකයට අයිති සුගතිය යැයි කියන මඩ වළේ. පින්වත, මේ භික්ෂු ජීවිතයේ දී, භික්ෂුවට පුංචි හෝ ප්‍රමාදීභාවයක් සිදු වුණොත්, පටිච්චසමුප්පන්නව භික්ෂුවට උපදින්න වෙන්නේ කාම ලෝකයට ම අයිති සතර අපා මඩ වළේ මයි. පින්වත, සිනාසෙන්නවත්, හඬන්නවත් සුදුසු ලෝකයක් නොවේ මේක. පින්වත, “සිනහවත්, කඳුළත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්” යැයි අවබෝධ කොට ගත යුතු අප්‍රමාදී දහමක් මේක.


පින්වත, “හැමෝම වැරදියි, අපි විතරමයි නිවැරදි” යැයි සිතන්න යන්න එපා. පින්වත, එහෙම සිතුවොත් ඔබ තුළ මමත්වයේ දැඩිභාවය මයි ශක්තිමත් වෙන්නේ. පින්වත, මමත්වයේ දැඩිභාවය, ලෝභ, ද්වේශ, මෝහයන්ට ප්‍රණීත ආහාරයෝ ම වෙනවා. පින්වත, “හැමෝම වැරදි නම්, අපිටත් වරදින්න පුළුවන්” යැයි සිහිනුවණ ඇති කොට ගන්න. පින්වත, එවිටයි ඔබලා තුළ නිහතමානීභාවය හේතුවෙන් සකස් වන සමගිය සහ මිත්‍රශීලීභාවය ඇති වෙන්නේ. පින්වත, හැමෝම වැරදියි, අපි විතරමයි නිවැරදි යැයි දකින වැරදි දෘෂ්ටිය, අපිට සියල්ලෝ ම අහිමි කොට, සමාජයේ අසමගිය සහ අප්‍රසාදය දවසින් දවස ඔඩුදුවන්න පුළුවන්. පින්වත, අපි පසුපස විපාකයට පැමිණීමට තිබෙන අකුසල් සංස්කාරයෝ අසීමිත නිසා ම, අපි වගකීම් දරද්දී, අපේ හැකියාවන් සහ නොහැකියාවන් අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පින්වත, “මම සියල්ල දන්නවා” යැයි සිතා නිදහසේ කටයුතු කරන්න ගියොත්, එම අධිමාන්නයෙන් යුත් සිතුවිල්ලෙන් උනන තෘෂ්ණාව, ඔබව ගොදුරු කොට ගන්නා දුකේ පළිබෝධයක් වෙන්න පුළුවන්. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුංචි කැට කිරිල්ලිය තමන්ගේ ආරක්‍ෂාව සහතික කොට ගන්නා වූ සීමාව හඳුනන්නා සේ, සිහිනුවණ ඇති මනුෂ්‍ය ඔබ, අකුසලයෙන් ඔබව ආරක්‍ෂා කොට දෙන සීමාව දැන ගන්න” ය කියලා. පින්වත, ආරක්‍ෂිතව ඔබේ ජීවිතය සාර්ථක කරන ඔබේ සීමාව බවට පත් වෙන්නේ, රූපය කෙරෙහි, සිතුවිලි කෙරෙහි, විඳීම් කෙරෙහි, ධර්මතාවයෝ කෙරෙහි නොඇලෙන, නොගැටෙන මධ්‍යස්ථ ප්‍රතිපදාවයි.


පින්වත, ආදරයට සීමාවක් නැහැ. පින්වත, ආදරයට සීමාවක් පනවන්නත් බැහැ. පින්වත, බාහිර රූපයෝ කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න, වැඩි වෙන්න ආදරය දළු දමා ලියලනවා. පින්වත, රූපය කෙරෙහි තෘෂ්ණාව අඩු වෙද්දී, ආදරය දිය වෙලා යනවා. පින්වත, අපි යම් දවසක තෘෂ්ණාව නිරෝධය කළොත්, ආදරයට තෘෂ්ණාවේ ආහාර අහිමි වී, “ආදරය” තෘෂ්ණාව හේතුවෙන් සකස් වූ අනිත්‍ය දහමක් යැයි ධම්මානුපස්සනාව අපි තුළ උපදිනවා. පින්වත, එතෙක් අපි ආදරයේ නාමයෙන් තෘෂ්ණාවට රැවටෙනවා. පින්වත, ආදරය කියන අර්ථය ලෝකය තුළ ජීවත් කරවන්න අවශ්‍ය තෘෂ්ණාවේ ප්‍රවර්ධනය උදෙසා, මහා අවිද්‍යා වෙළඳපොළක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. පින්වත, රසායනික දියර, පොහොර යෙදූ රෝස මලේ පටන් රසායනික ක්‍රමවේදයන්ගෙන් දෙමුහුන් කළ වල්ලපට්ටා සුවඳ විලවුන් දක්වා ම, ආදරය උදෙසා තෘෂ්ණාව ප්‍රවර්ධනය කරනා අවිද්‍යා වෙළඳපොළේ සාමාජිකත්වය දරනවා. පින්වත, උතුම් සූත්‍රගත දහම පටිච්චසමුප්පන්නව භවයෙන් භවයට ඇදී යන ආදරයක් ගැන කතා කරනවා. පින්වත, එම ආදරය රෝස මලෙන්, සුවඳ විලවුන්වලින් උපන් තෘෂ්ණාවේ රසායනික ආදරයක් නම් නොවේ. පින්වත, සම ශ්‍රද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා තුළින් මතු කොට ගන්නා තෘෂ්ණාවට වැට බඳින, තෘෂ්ණාව විනිවිද දකින ප්‍රඥාවේ වැට කඩොලු විවෘත කරන ආදරයයි. පින්වත, ඔබගේ ආදරණීය ආදරය තුළින් තෘෂ්ණාව විනිවිද දකින, ප්‍රඥාවේ වැට කඩොලු විවෘත කොට තබන්න. පින්වත, එවිට ආදරයේ නාමයෙන් රූප වන්දනාව වෙනුවට, ඔබ ආදරණීය මනුෂ්‍ය ධර්මයන්ට වන්දනා කරාවි.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 මැයි 17 ලිපිය

මිච්ඡා පැවිද්ද සහ සම්මා පැවිද්ද

පින්වත, සියලු සංස්කාරයෝ ලෝභ, ද්වේශ, මෝහයන්ට බර වෙන කොට, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ හරිම සංකීර්ණ වෙනවා. පින්වත, ඔබ පසුගියදා මෙතෙක් නොදැක්ක නව මාදිලියේ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක්, මත්ද්‍රව්‍ය සහ පැවිදි පක්‍ෂය අතර දැක්කා නේද? පින්වත, දුශ්ශීලභාවයට පිළියම් නොකළොත් මීටත් වඩා හද කම්පා වෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ අනාගතයේ දී සමාජගත වේවි. පින්වත, මෙවැනි සිද්ධීන් තුළින් පුද්ගල සඤ්ඤාවෝ බැහැර කරලා හේතුඵල ධර්මයෝ නුවණින් දකින්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව උතුම් තෙරුවන්ට අකීකරු වී, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය නොවටිනා දෙයක් හැටියට දැක්කා නම්, භික්ෂුවත් ගුවන් තොටුපොළේ දී රේගුවට හසු වූ පැවිදි කණ්ඩායමේ ඉන්න තිබුණා. පින්වත, අපි හැමෝම අවිද්‍යාව ඉදිරියේ අසරණයි; තෘෂ්ණාව ඉදිරියේ අන්ධයි. පින්වත, මෙවැනි සිදුවීම්වල දී අපේ ඉලක්කය විය යුත්තේ අවිද්‍යාවේ වියරුභාවයයි; අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ නොසෑහීමයි. පින්වත, අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය සහ අනුවණින් මෙනෙහි කිරීම ඉහත වැරදිවල සැබෑම විත්තිකරුවායි. පින්වත, අපි මේ දකින්නේ දුර්වල ශීලය උපයෝගී කොට ගෙන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය විසින් නිරුවත් කළ අවිද්‍යාවේ සැබෑම දුකේ හැඩරුවයි. පින්වත, වැරදිකරුවනට ගල් ගැසීම පසෙක තබා, සිල්වත් සමාජයක් උදෙසා ජාතිය අවදි කරමු. පින්වත, කාලා, බීලා, කම්සැප විඳලා, විනෝද වෙලා, වයෝවෘද්ධ කාලයේ දී අසිහියෙන් නන්දොඩවලා මරණින් පසු සතර අපායට වැටෙන පව්කාර ජීවන චර්යාවන්ගෙන් අපි වහ වහා මිදෙමු.


පින්වත, භික්ෂු සමාජයේ දුශ්ශීලභාවය යැයි කියන්නේ අලුත උපන් දරුවෙක් නොවේ. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, විනය කාරණාවන් දෙසිය විස්සක් සහිත උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය පනවන්නේ භික්ෂු සමාජය තුළ චතුරාර්ය සත්‍යය කෙරෙහි සිහිනුවණ දුර්වල වී දුසිල්වත්භාවයන් උපන් නිසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීත් උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට ගරු නොකළ, අධිකරණයන් නොසලකා හැරිය භික්ෂූන් කොතෙක් නම් සිටියා ද? පින්වත, උතුම් ශීලයට ගරුත්වයක් ලබා දෙන්න නම්, අපි තුළ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ හොඳින් වැඩෙන්නට ඕනේ. පින්වත, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ අපි තුළ අර්ථවත්ව වැඩෙන්න නම්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීමේ ක්‍රියාන්විතයට අපේ ජීවිත අපි පූජා කරන්න ඕනේ. පින්වත, මේ සියල්ල දුර්වල වූ තැන බිහි වන්නේ මිච්ඡා පැවිද්දෙක්. පින්වත, අනාගතයේ දවසක් එනවා, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අතුරුදන් වෙලා, මහා සංඝ රත්නය කියන අර්ථය ලෝකයෙන් අතුරුදන් වෙලා යන. පින්වත, එදාට සම්මා පැවිද්ද ලෝකය තුළ නැහැ. එදාට තිබෙන්නේ උතුම් තෙරුවන් අතුරුදන් වූ මිච්ඡා පැවිද්දයි. පින්වත, ලෝකය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, මේ ලෝක ස්වභාවය නවත්වන්න පුළුවන් ජගතෙක් ලෝකය කියන අර්ථය තුළ නැහැ. පින්වත, ලෝකයාට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් ආදර්ශයක් වෙලා, පූර්වාදර්ශයක් වෙලා කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය කැමති කෙනෙකුට භුක්ති විඳින්න කියලා ඔබ ලෝකයෙන් නිවී යන්න.


පින්වත, ලෝකය යැයි කියන්නේ සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ රඟමඬලක්. පින්වත, අවිද්‍යාවේ මව්කුසෙන් කාලයෙන් කාලයට අලුත් අලුත් නළු නිළියන් රඟමඬලේ පහළ වෙනවා. පින්වත, වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, “උසස් අධ්‍යාපනය ලබන සමහර තරුණ හාමුදුරුවරු ගමේ ගිහි දායක පින්වතුන්ලාට අනුශාසනා කරනව ලු, බුද්ධ පූජාව තියන්න එපා. මල්, පහන්, ගිලන්පස පූජා කරන්න එපා. මේවා බොරු වැඩ” ය කියලා. පින්වත, මේ ඔබ දකින්නේ මිථ්‍යා දෘෂ්ටික දේශපාලන මතවාදී සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණ රඟමඬලේ අලුත් අලුත් නළු නිළියෝයි. පින්වත, භික්ෂුව බොහෝම විවෘතව සටහන් තබනවා, “රටක ජාතික, ආධ්‍යාත්මික වටිනාකම් සහ ජනතාවගේ කුසල් සිත් දුර්වල කොට දමන නායකයන් ජාතියට පළිබෝධයක්” ය කියලා. පින්වත, ජාතියේ කුසල් සිත් දුර්වල කොට දමා, රටක ආර්ථික සෞභාග්‍යයක් බලාපොරොත්තු වීම, දහවල් දකින සිහිනයක් ම වෙනවා. පින්වත, වැරදි කරන ගිහි සහ පැවිදි දෙපාර්ශ්වය තුළින් ම අපි තවමත් දකින්නේ කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයයි. පින්වත, අපි කවදා ද, වැරදි කරන ගිහි සහ පැවිදි දෙපාර්ශ්වය තුළින් ම චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්නේ? පින්වත, පසුගියදා කටුනායක ගුවන් තොටපොළේ දී අත්අඩංගුවට පත් පැවිදි පින්වතුන්ලාගේ සිද්ධිය දැකලා, අසලා, සිතලා මොනතරම් නම් කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයක් ඔබ ලැබුවා ද? පින්වත, එහි තිබුණේ ඇලීම් සහ ගැටීම් පමණක් ම නේද? පින්වත, අදාළ පැවිදි පින්වතුන්ලා වරදට යොමු කළ තෘෂ්ණාවේ වියරු මාර ධර්මයෝ, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට ප්‍රණීත ආහාරයක් වී, යළිත් අපිට අමතක වෙලා යාවි.


පින්වත, සමාජගත වන ගිහි සහ පැවිදි මිථ්‍යා දෘෂ්ටික විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන ඉදිරියේ, විඤ්ඤාණ රඟමඬලේ රඟන අලුත් අලුත් ගිහි සහ පැවිදි නළු නිළියන් දකිද්දී, පින්වත් කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන ඔබ, මේ කල එළි බහින ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට සහ ප්‍රියයන් අප්‍රියයන් බවට පත් වීමේ දුකට එකම ධර්මානුකූල හේතුව “තෘෂ්ණාව” යැයි ඔබ දැක්කා ද? පින්වත, වරදකරුවන් හිරේ දැම්මා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පින්වත, වැරදි මත සුදු හුණු තැවරුවාය කියලත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පින්වත, තව තවත් තෘෂ්ණාව ඔඩු දුවනවා පමණක් මයි. පින්වත, උපසම්පදා භික්ෂුවක් චේතනාන්විතව සොරකමක් සිදු කළොත් එම භික්ෂුව, භික්ෂූත්වයෙන් පාරාජිකා වෙනවා. පින්වත, කරටිය කැඩුණ පොල් ගසක් වගේ, දෙකට පැළුණ කළු ගලක් වගේ යළි සංඝ සමාජයට පෑහෙන්නේ නැහැ යැයි විනය ධර්මයන්ගේ සඳහන් වෙනවා. පින්වත, තෘෂ්ණාව මොනතරම් නම් මාර ධර්මයක් ද? උතුම් උපසම්පදාව අහිමි කරනවා. මෙය සටහන් තබන භික්ෂුව ආනන්තරිය පාප කර්මයන්ට මෙහා දකින බලවත් ම අකුසලය සතර පාරාජිකාවෝයි. පින්වත, එම නිසා ම භික්ෂුවගේ සතිය සිහිය සතර පාරාජිකාවෝ කෙරෙහි හරිම තියුණුයි. පින්වත, කල එළි බහින විඤ්ඤාණයේ ගිහි සහ පැවිදි මැජික් සන්දර්ශනයෝ ජාතියට හඬ නගා කියන්නේ, වර්තමානයේ ජාතියට අත්‍යවශ්‍ය, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරම පූජනීය ශක්තිය බවයි. පින්වත, පංච නීවරණයෝ අපේ විඳීම් තුළ බඩපිනුම් ගසද්දී, ආර්ය අෂ්ටාංගික මාර්ගය තැළී පොඩි වී යනවා.


පින්වත, සමාජය උතුම් ශීලයට වටිනාකමක් නොදෙනවා නම්, පින්වත, “අපි සිල්වත් වෙමු.” පින්වත, ශීලයෙන් ලැබෙන උතුම් ආනිශංසයෝ තුළින් අපි ශක්තිමත් වෙමු. පින්වත, එසේ නොවුණොත් දුශ්ශීලභාවයේ බර වැඩි වී සමාජය වැරදිකරුවන්ගේ තිප්පොළක් වේවි. පින්වත, මීට වසර පහළොවකට පෙරාතුව දුර බැහැර දිස්ත්‍රික්කයක ආරණ්‍යක නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, ආයුෂ්මතුන්, තායිලන්ත චාරිකාවලින් මේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලාගෙන් බේරුණේ තමන් වහන්සේ විතරයි කියලා. පින්වත, එම නායක ස්වාමීන් වහන්සේ සමහර නොමිලේ තායිලන්ත චාරිකාවල සිදු කරන අවැඩ ගැන කියූ කරුණු මෙහි සටහන් තබන්න බැහැ. පින්වත, යම් ශාසන විරෝධී කණ්ඩායම් නොමිලේ චාරිකා නාමයෙන් සිදු කරන සංඝ සමාජයේ, විශේෂයෙන් තරුණ ස්වාමීන් වහන්සේලාගේ ශීලය කිලිටි කරන අසත්පුරුෂ මෙහෙයුම්වලට දීර්ඝ අතීතයක් තිබෙනවා. මේවා අද ඊයේ වෙන දේවල් නොවේ. පින්වත, සංස්කාර අධිකරණය සර්ව සාධාරණයි. පින්වත, මේ සංස්කාර අධිකරණය තීන්දු තීරණ දෙන්නේ වැරදි කළ සහ වැරදි නොකළ සියල්ලන්ගේ හෘද සාක්‍ෂිය තුළින් මයි. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ හෘද සාක්‍ෂියේ විනිසුරු මඩුල්ලයි. පින්වත, “මේ උතුම් සම්මා සම්බුද්ධ චීවරය නිරාගමිකභාවය උදෙසා, මිථ්‍යා දෘෂ්ටිකභාවය ප්‍රවර්ධනය උදෙසා යමෙක් උපයෝගී කොට ගනී ද, ඔහු වද මල් මාලා පළන්දා, වධක බෙර හඬවා, රාජ අණින් හිස ගසා දමන්න රැගෙන යන යම් මනුෂ්‍යයෙක්, යම් තියුණු දුකක්, ශෝකයක් විඳී ද, ඊටත් වඩා වියරු දුකක් සතර අපායන්ට වැටී විඳිනවා” ය කියලා ධර්මයේ සඳහන් වෙනවා.


පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. පින්වත, දෙවෙනි සහ තෙවෙනි දුර්ලභ අර්ථයෝ වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සහ උතුම් ආර්ය මහා සංඝ රත්නයයි. පින්වත, මේ උතුම් අර්ථයෝ ලෝකයට බිහි වෙන්නේ උතුම් දසපාරමී පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන්. පින්වත, මේ උතුම් ශක්තියට දෙවෙනි වෙන්නේ පංචශීලයෙන් ලොව දිග්විජය කරන සහ උතුම් උපෝසථ ශීලයෙන් තම රාජකීය ජවය මතු කොට ගන්නා සක්විති රජ තනතුරයි. පින්වත, ලෞකික කාම සම්පත්වල රජු වන ඔහු, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය ඉදිරියේ ප්‍රමාදී චරිතයක් වෙනවා. පින්වත, සක්විති රජ පදවියත්, සම්මා ඥාන සහ සම්මා විමුක්තිය ඉදිරියේ ප්‍රමාදී චරිතයක් නම්, බලය ඉදිරියේ තම හෘද සාක්‍ෂිය විකෘතියක් කොට ගන්නා ලෝකයේ වර්තමාන “ඡන්ද” බලවතුන්ගෙන් කිනම් ප්‍රඥාවක් අපි බලාපොරොත්තු වෙන්න ද? පින්වත, බලය අයිති මාරයාට නිසා ම, බලය පසුපස කාමච්ඡන්ද ආදි වූ පංච නීවරණයෝ පිරිවර සහිතව ආධිපත්‍යය පතුරුවනවා. පින්වත, බලය පංච නීවරණයන්ගේ ග්‍රහණයෙන් මත් වන නිසා ම, උතුම් සප්ත බොජ්ඣංගයන්ගෙන් සැහැල්ලු වන සද්ධර්මයට, බලය ප්‍රියමනාප නැහැ. පින්වත, බලය නමැති පංච නීවරණ දාම් ලෑල්ලේ, තම උවමනා එපාකම් වෙනුවෙන් එහා මෙහා අදින ඉත්තෙක් බවට උතුම් ශාසන අර්ථයන් පත් කොට ගන්න හොඳ නැහැ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට ගරු නොකර උත්තරීතර තෙමඟුල පංච නීවරණ මැයි දිනයක් වෙනුවෙන් එහාට මෙහාට ඇදීම පුද්ගල සඤ්ඤාවන්ගෙන් නොව පංච නීවරණයන්ගේ ප්‍රණීත විසිතුරු චේතනාවෝ ම බව, සිහිනුවණින් තේරුම් ගන්න. පින්වත, අධර්මයෝ පෙරළා අධර්මයන්ට මයි පාර පෙන්වන්නේ.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 මැයි 10 ලිපිය 

සිහින දැකීම විඤ්ඤාණයේ මායාවක්

 පින්වත, මේ පුණ්‍යවන්ත රාත්‍රියේ වෙසක් සඳවතිය ආකාශයේ හරිම අපූරුවට පායලා. පින්වත, ආලෝකයෙන් ප්‍රභාස්වර සඳවතිය තවත් පින්බර වෙසක් සතියක උදාවයි අපිට කියන්නේ. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතිය දකිද්දී, භික්ෂුවට සිතෙන්නේ, භික්ෂුවගේ භව ගමනේ භික්ෂුව මොනතරම් නම් ප්‍රමාදී ද කියලා. පින්වත, “අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් පහළ වෙලා තිබෙනවා” යැයි සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සෑම අතීත සම්මා සම්බුද්ධ ශාසනයක දී ම මාස දොළහකට වරක් වෙසක් සඳවතිය පායන්න ඇති. පින්වත, මේ පුණ්‍යවන්ත වෙසක් සතියෙත් ඇය එදා වගේ ම ආයෙත් පායලා. පින්වත, ඇය පායනවා. ඇයගේ නවයොවුන් පිරිපුන් ප්‍රභාස්වරභාවය දැකලා අපි ඇයට ඇලෙනවා. පින්වත, තවත් සති දෙකකින් කළුවර සඳ දැකලා අපි ගැටෙනවා. පින්වත, සඳවතියත්, අපිත්, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ ප්‍රවර්ධකයෝ වෙනවා. පින්වත, කවදා ද සතර මහා ධාතුවක් වන ප්‍රභාස්වර සඳවතිය ලෝකය තුළ තියලා, අපි ලෝකයෙන් නිවිලා යන්නේ? පින්වත, අහස් කුස බැබළෙන වෙසක් සඳවතිය තුළින් ඇයගේ යෞවන ආලෝකවත් හැඩරුව නොව, ඇය තුළින් චතුරාර්ය සත්‍යයෝ දකින්න. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතියට “ඇලෙන” විඳීමත්, තවත් සති දෙකකින් කළුවර සඳට “ගැටෙන” විඳීමත්, තෘෂ්ණාවේ ම හේතුඵල ධර්මයෝ හැටියට දකින්න. පින්වත, වෙසක් සඳවතියත්, ඔබේ ආධ්‍යාත්මික රූපයත් වෙනස් වී යන සතර මහා ධාතුවක් යැයි කායානුපස්සනාවෙන් දකින්න. පින්වත, වෙසක් සඳවතිය, ඵස්සය හේතුවෙන් සකස් වන සිතුවිලි චිත්තානුපස්සනාවෙන් දකින්න. වෙසක් සඳවතිය මුල්කොට ගෙන ඇලෙන, ගැටෙන සහ උපේක්‍ෂාවේ විඳීම්, වේදනානුපස්සනාවට භාර දෙන්න. පින්වත, ඉහත සියලුම ධර්මතාවයෝ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. පින්වත, එවිටයි සඳවතිය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්නේ.


පින්වත, අතීතයේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලා, තමන් වහන්සේලා පැවිදි වෙන්න පෙරාතුව සිහින දකින්න ඇති, තමන් උතුම් පැවිදිභාවය ලබලා අනාගතයේ දී උතුම් රහතන් වහන්සේ නමක් වෙනවාය කියලා. පින්වත, ගිහි ජීවිතයේ දී උන්වහන්සේලා දැනගෙන නොසිටින්න ඇති, සිහින දැකීම යැයි කියන්නේ ‘විඤ්ඤාණයේ මායාවක්’ ය කියලා. පින්වත, භික්ෂුවත්, ඔබත් අතීතයේ මොනතරම් නම් සිහින දකින්න ඇති ද? පින්වත, වර්තමානයේ සිහින දකිමින් සිටිනවා ඇති ද? පින්වත, සිහින අයිති විඤ්ඤාණයේ මායාවට නිසා ම, “අවිද්‍යාව” ජාති, ජරා, ව්‍යාධි, මරණ උදෙසා සිහින ජීවත් කරවනවා. පින්වත, අපි අනාගතයේ යම් දිනයක, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත්, එදාට අපි සක් සුදක් සේ අවබෝධ ඥානයෙන් ම දැන ගන්නවා, අතීතයේ දැක්ක සෑම සිහිනයක් ම, සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණයේ මායාවක්ය කියලා. පින්වත, එදාට අතීතයේ දැක්කා වූ සෑම සිහිනයක් ම, අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ, අනිත්‍ය වී ගිය විඳීම් යැයි දකින, උතුම් ධම්මානුපස්සනාවෙන් අතීත සිහින සේදිලා ම යනවා. පින්වත, සිහින නොදැක, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්න. පින්වත, එවිට උතුම් හේතුඵල ධර්මයෝ, ධම්මානුපස්සනාව මයි විකසිත කොට දෙන්නේ. පින්වත, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ අන්‍යශීලවෘතයෝ සිහින දකින්න අපිව පුහුණු කරනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්ම, විඤ්ඤාණයේ මායාවෝ විනිවිද, දිට්ඨි විශුද්ධියේ කැඩපත දීප්තිමත් කොට දෙනවා, ඔබට සද්ධර්මයේ මුහුණ බලන්න.


පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ රැකවරණය නොලැබූ ජීවිත මොනතරම් නම් අසරණ ද? පින්වත, එම අසරණයන් සැප ලැබීමේ මාර්ගය හඳුනන්නේ නැහැ. පින්වත, සැපය සොයමින් තමන් ම අතීතයේ දොවා ගත් කිරි බඳුනට, අකුසලයේ ගොම මිශ්‍ර කොට ගන්නවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ වියෝව, මෙලොව බිඳුණ බලාපොරොත්තු සහ පරලොව සතර අපායටත් නිර්ලෝභීව පාර කියලා දෙනවා. පින්වත, අකුසලයෝ අඩු වෙහෙසකින් අකුසල් ම ප්‍රවර්ධනය කොට දෙනවා. පින්වත, බෝධිසම්භාර පුරණ බෝධිසත්ත්වවරයෙක් කවදාකවත් තම පාරමී ගමනේ දී සුනඛ කුලයක උපදින්නේ නැහැ. පින්වත, බෝධිසත්ත්වයන් වහන්සේලා තම පාරමී ගමනේ දී ඇත් කුලයේ උපදිනවා. පින්වත, උත්තම ශාසනික, සංස්කෘතික මංගල්‍යයක් වන දළඳා පෙරහැරේ අලි, ඇතුන් ගියාට, සුනඛයන් රැගෙන නොයන්නේ, එකම තිරිසන් ලෝකයේ වුවද, පෙර පුණ්‍ය ශක්තියේ උස් සහ මිටිකම් නිසා මයි. පින්වත, උපසම්පදා භික්ෂූන් උදෙසා බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා, තිරිසන් මාගමක්, දැන දැන ස්පර්ශ කිරීම සංඝාදිශේෂ අකුසලයක්ය කියලා. පින්වත, උතුම් ධර්ම විනය තිබෙන්නේ, අනුනගේ වැරදි සොයන්න නොවේ, සිදු වන වැරදිවල ගැඹුරුභාවයන් දැක ලජ්ජාව, බිය ඇති කොට ගෙන උතුම් තෙරුවන්ට කීකරු පින්වතුන්ලාට අප්‍රමාදී වීමටයි. පින්වත, අවිද්‍යාව අශ්ව වේගයෙන් තිරිහන් වෙන සමාජයක, නිරාගමිකභාවයන් ශාසන විකෘතීන් ප්‍රවර්ධනය කරන සමාජයක, හිස් අදහස්වලට පිළිතුරු දෙන්න නොයා, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි පූර්වාදර්ශයෝ මයි අපි සිහිනුවණින් සමාජගත කළ යුත්තේ. පින්වත, අවිද්‍යාවට කර්මය කර්මඵල විශ්වාසයෙන් සමාව දෙන්නාටයි, විද්‍යාවට මාර්ගය උපදින්නේ.


පින්වත, සත්‍යය කතා කළොත් එළව එළවා, විවේචනවලින් පහර දෙන සමාජයක් අපි ඉදිරියේ තිබෙන්නේ. පින්වත, එහි වරද සත්‍යයේ නොවේ, බොරුවේ බලවත්භාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “වතුර බින්දුව බින්දුව එකතු වෙලයි වතුර කළයක් පිරෙන්නේ” කියලා. පින්වත, විහිළුවටවත්, ගැලවීමටවත් පුංචි පුංචි බොරු කියන්න එපා. අවසානයේ අපි මහා බොරුකාරයෝ වෙනවා. පින්වත, බොරුව යම් තැනක ද, එතැන තෘෂ්ණාව රජ කරනවා. පින්වත, බොරුව යම් තැනක ද, එතැන ශෝක, පරිදේවයෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අප්‍රියයන් හා එක්වීම් එදිනෙදා දිනචරියාව වෙනවා. පින්වත, ලෝකයේ පරම සත්‍යය යම් තැනක ද එතැන චතුරාර්ය සත්‍යයෝ රජ කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ රජ කරද්දී, ‘තෘෂ්ණාව’ මළ දහමක් වෙනවා. පින්වත, තෘෂ්ණාව මළ දහමක් වෙද්දී, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයෝත් මළවුන් අතරට ම එකතු වෙනවා. පින්වත, තෘෂ්ණාවේ දැඩිභාවයෙන් තීව්‍ර වන වර්තමාන ලෝකය, අකුරට ම නිවැරදි ගමනක් යන්නේ. පින්වත, අවිද්‍යාවේ වර්ණය, සැපය, බලය වැඩි නම්, සමාජගත වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ හරිම සංකීර්ණ, හරිම සන්දර්ශනවාදී විසිතුරුභාවයන්ගෙන් පිරී ඉතිරී යනවා. පින්වත, වර්තමානයේ මෙය සටහන් තබන භික්ෂුව සත්ත්ව කරුණාවෙන් සහ ධර්ම විනයට අකරුණාවෙන් සුනඛයෙකුගේ දම්වැල අල්ලාගෙන මහ පාරේ වැඩියොත්, අනාගතයේ දී කාන්තාවකගේ අත අල්ලාගෙන මහ පාරේ වඩින තැනට අධර්මයෝ අධර්මයෝ ම භික්ෂුවට වඩවා දෙන්න පුළුවන්. පින්වත, බුදුරජාණන් වහන්සේ ‘එපා’ යැයි කියූ දෙයට, භික්ෂුව ඉණිමං තියන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයට ඉණිමං තිබ්බොත්, ඊටත් වඩා ඉහළ බරපතළ වැරදිවලට අපි පියවර තබනවා මයි.


පින්වත, හරිම නිදහස්, විවේකී රාත්‍රියක්. පින්වත, ඇලීම්, ගැටීම් සහ “හෙට දවස හොඳ වෙයි” යැයි දකින උපේක්‍ෂාවෝ, ස්වයංක්‍රීයව දඬුකඳේ ගහලා. පින්වත, මැරෙන බව නොසිතා, ලෝකයා නටන මේ ඇලීම් සහ ගැටීමේ විගඩම්, මොනතරම් නම් විහිළුවක් ද? පින්වත, බුදුරජාණන් වහන්සේ ‘අනාර්ය ඝෝෂාව’ ගැනත්, ‘ආර්ය නිහඬභාවය’ ගැනත් දේශනා කොට තිබෙනවා. පින්වත, සමාජය තුළින් නැගෙන අනාර්ය ඝෝෂාව මොනතරම් නම් අප්‍රණීත ද? පින්වත, හිස් දෘෂ්ටීන්, හිස් සංකප්පයෝ, හිස් වචන, හිස් සතිය, අනාර්ය ඝෝෂාවේ කැතම කැත හැඩරුවයි. පින්වත, අනාර්ය හිස් ඝෝෂාවන් ඉදිරියේ යම් භික්ෂුවක් ලබන මේ නිදහස්, විවේකී, ආර්යය සහ අනාර්යය සියලුම ධර්මතාවයෝ අනිත්‍ය යැයි දකින, නිහඬභාවයට කුමන වටිනාකමක් දෙන්න ද? පින්වත, සත්‍යකින් ම වටිනාකමක් දෙන්න, එතැන සත්ත්ව පුද්ගල සඤ්ඤාවක් තිබෙනවා ද? පින්වත, ඵස්සය අසල සමාදානයේ සැතපෙන තෘෂ්ණාව හේතුවෙන්, උපාදානයන්ගේ අඬු දඬු සිඳ දමලා ද? පින්වත, මේවා ගැන සිතීම ආර්ය නිහඬභාවයට අදාළ නැහැ. පින්වත, ආර්ය නිහඬභාවය අයිති සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවටයි. පින්වත, සමාජය සිසාරා නැගෙන ඇලීම් සහ ගැටීම් බහුල ආනාර්ය ඝෝෂාවට මෙත් සිතින් සාධුකාර දෙන්න. පින්වත, අනාර්ය ඝෝෂාව නොතිබෙන්නට, කෙසේ නම් අපි ආර්ය නිහඬභාවයේ උත්තරීතරභාවය හඳුනා ගන්න ද? පින්වත, දිව නමැති කෙටේරියෙන් නැගෙන මිච්චා වාචාවන්ගේ අප්‍රණීතභාවයන් ඉදිරියේ කෙසේ නම් ඒවා කෙරෙහි අවබෝධයෙන් ම කලකිරෙන්න ද?


පින්වත, ප්‍රකෝටිපති මහත්මයෙක්ගේ දෑතේ නැළවෙන මිල අධික බලු සුරතලෙක් දකිද්දී, දේශදේශාන්තරවලට ගුවනින් යන සැපවත් බලු සුරතලෙක් දකිද්දී, එම තිරිසන් සතා සමග ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. පින්වත, දැන් දැන් තිරිසන් ලෝකයේ උපදින තිරිසන් සතුන්ගේ පිනේ ආශ්චර්යය දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා ම, අපි ධර්මය, ධර්මයක් කොට දකින්නේ නැහැ. පින්වත, අපේ කැමැත්ත ධර්මය සුරතල් කිරීමයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ ජීවිතයේ දී ගොඩාක් දන් පින් කරලා, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගොඩාක් නරක විදියට දුර්වල කොට ගත්තොත්, භික්ෂුවගේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත ප්‍රකෝටිපති මැදුරක සැපවත් බලු සුරතලෙක් වෙන්න පුළුවන්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ ජීවිතයේ දී ගොඩාක් දන් පින් කරලා, දේශදේශාන්තරවල ධර්ම දේශනා කරලා, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගොඩාක් දුර්වල කොට ගත්තොත්, ඊළඟ පටිච්චසමුප්පන්න උපත දේශදේශාන්තරවල ගුවනින් සංචාරයේ යන සැපවත් බලු සුරතලෙක් වෙන්න පුළුවන්. පින්වත, සුන්දර හේතුඵල ධර්මයෝ වර්තමානයේ සැපවත් “බලු කුක්කෝ” ගැන ලස්සන බණ කතා අපිට කියලා දෙනවා. පින්වත් ඔබලා සැපවත් පුණ්‍යවන්ත බලු සුරතලෙක් දකිද්දී, එම සතාගේ හිස පිරිමැද බලු සුරතල් බැලුවත්, භික්ෂුව නම් එවැනි සැපවත් සුරතලෙක් දකිද්දී, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය කෙරෙහි සතිය සිහිය මයි ශක්තිමත් කොට ගන්නේ. පින්වත, වර්තමානයේ පින් කරන ගිහි සහ පැවිදි අපි, ශීලය ගොඩාක් දුර්වල කොට ගත්තොත් අනාගතයේ දී ගුවනින් සහ අතිසුඛෝපභෝගී වාහනවල ගමන් යන බලු සුරතලුන්ගේ ගහනය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්.


පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

2026 මැයි 03 ලිපිය