Sunday, February 15, 2026

මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි

  2011/12/04 ලිපිය

තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා "තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා" යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ පිහිටෙන් ජීවත්වන ලෝකයා පත්වන්නේ මහා අර්බුදයකටය. තාක්‍ෂණය යනු අවිද්‍යාවයි. තාක්‍ෂණය යනු අස්‌වාභාවිකත්වයයි. එවන්වූ තාක්‍ෂණයෙන් පරිපූර්ණවන ලෝකය, ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම ලෝක ස්‌වාභාවයයි. තාක්‍ෂණයේ දියුණුව යනු අවිද්‍යාවේ දියුණුවයි. වර්තමානයේ ලෝකය දෙස බැලීමේදී අපි දකින්නේ අවිද්‍යාවෙන් ඉතිරීයන තාක්‍ෂණයෙන් දියුණු ලෝකයකි. ලෝකයේ ගුණාත්මක බව, දියුණුව මනින මිනුම් දණ්‌ඩ තාක්‍ෂණයයි. බලශක්‌තිය නැතිවුණු දවසක ඇනහිටින තාක්‍ෂණයක්‌, ස්‌වාභාවික කාලගුණික දේශගුණික තත්ත්වයකදී ඇනහිටින තාක්‍ෂණයක්‌, දේවත්වයෙන් සලකන ඊනියා දියුණුවකින් මුලාවූ ලෝකයාට, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර දේශනාකොට වදාළ ධර්මය විසින් අන්ධභාවයේ වෙලීසිටින ඔවුන්ගේ ළදරු බව හෙළිකරවනු ලබයි. ලෝකය තාක්‍ෂණයෙන් පිරීයාම යනු සතර අපායද පිරීයාමයි. තාක්‍ෂණ අවිද්‍යාවෙන් මුලාවන සත්වයා ගාල් කරන වෙබ් අඩවිය සතර අපායයි. 

ලෝකයේ සැබෑ තාක්‌ෂණය දකින්නනම්, ස්‌පර්ශ කරන්නනම් ඔබ දැකිය යුත්තේ ලොව්තුරා ධර්මයයි. එය බලශක්‌තිය නැතිවුණ දිනයක අතරමංවන, අක්‍රියවන තාක්‌ෂණයක්‌ නොවේ. පොඩ්ඩ වැරදුණු විට මහා විනාශයන් වන තාක්‍ෂණයක්‌ නොවේ. අතුරු ආබාධ ඇතිවන තාක්‍ෂණයක්‌ නොවේ. එය ඉතාම පිරිසිදු තාක්‍ෂණයයි.

ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණුම ආයතනය මොකද්ද කියා ඇසුවොත් ඔබ කියාවී ඇමරිකාවේ නාසා ආයතනය කියලා. නමුත් ඔබ වැරදියි. ලෝකයේ අවිද්‍යාවෙන් තොර, ස්‌වාභාවිකත්වයෙන් පිරිපුන්, දියුණුම තාක්‍ෂණය තිබෙන්නේ නිවන් මඟ වඩන භික්‍ෂුව තුළය. අරිහත් උතුමන් තුළය. එම භික්‍ෂුව එම තාක්‍ෂණයේ උපරිම ඵලය, උපරිම සීමාව දකින්නේ නිවන් අවසාන මෙහෙයුමේදීය. ඒ තාක්‍ෂණ පාරාදීසයකි. සැබෑම විශ්ව ගම්මානය ඔබ දකින්නේ මෙහිදීය. මෙම තාක්‍ෂණය බලශක්‌තියෙන් ක්‍රියාත්මක වන "රූකඩ තාක්‍ෂණයක්‌" නොවේ. එය ක්‍රියාත්මකවන්නේ ඔබගේ නිර්වාණ ප්‍රඥාව මගිනි. මෙහිදී ඔබ දකින ලෝකය ඇමරිකාවේ නාසා ආයතනයට කල්ප ගණනාවක්‌ සිය තාක්‍ෂණය දියුණු කරමින් ගියද දැකිය නොහැකිය. ඔවුන්ගේ ලෝකය ප්‍රාථමික ළදරු පන්තියකි. ඔබ නොදැනුවත්කම නිසා එහි සිරකරුවන්ව සිටියි. 

නිවන් මඟ වඩන භික්‍ෂුව අවසන් නිවීමේ මෙහෙයුමේදී සඳ, අඟහරු හෝ වෙනත් ග්‍රහලෝක නොව, දිව්‍යලෝකයද, බ්‍රහ්ම ලෝකයද ඇතුළුව මුළු තුන් ලෝකයම දකිමින් අවබෝධය ලබයි. මේවාට බලශක්‌තිය අවශ්‍ය නොවේ. නිවන් මඟ වඩනා භික්‍ෂුවට තම සමාධිය උපරිම මට්‌ටමකදී කිසිදු බලශක්‌තියකින් තොරව මහා ඝණ අන්ධකාර රාත්‍රියකදී තම කුටිය ආලෝකමත්කර දැකිය හැකිය. නිවන් මඟ අවසාන මෙහෙයුමේදී ඔබට ඔබගේම ප්‍රඥාව විසින්, ඔබ පැමිණි සංසාර ගමනේ ඈත දුරක්‌ දක්‌වා පෙන්වනු ඇත. මෙය හරියටම රූපවාහිනිය ඉදිරිපිට රූප දකිනවා සේය. එකක්‌ පසුපස එකක්‌ පැමිණේ. ඔබට ඇත්තේ දකින රූප ඔස්‌සේ සංසාරයේ භය දැකීම පමණකි. සංසාරයේ ස්‌වභාවය දැකීම පමණකි. එතැනදී දිව්‍ය ලෝකවල ඉපිද ඔබ විඳින ලද සැප සම්පත් ඔබ දකිනු ඇත. ප්‍රේත ලෝකවල ඉපිද සෙම් සොටු රස කර කර කමින් ගතකළ ස්‌වභාවයන් ඔබ දකිනු ඇත. මනුෂ්‍ය ලෝකයේ ඉපිද ඔබ විඳි කාම සම්පත්ද, දුක්‌ වේදනාවන්ද ඔබ දකිනු ඇත. ඔබ යුද්ධයෙන්, සතුරන්ගෙන් මැරුම්කනවා, වේදනා විඳිනවා, අබ්බගාතයන් වනවා, අන්ධයෙක්‌ බිහිරි පුද්ගලයෙක්‌ මෙන්ම අංගවිකලව ගතකළ ජීවිත පෙනෙනු ඇත. තිරිසන් ලෝකවල ඉපිද හරකුන්, ඌරන්, කුකුළන්, එළුවන්, මත්‍යසයින් ලෙස අනුන්ගේ අහරකට ඔබව මරාගෙන කනවා ඔබ දකිනු ඇත. මරණ වේදනාවෙන් ඔබ ළතෝනි දෙනවා ඔබට පෙනෙනු ඇත. මෙලෙස සංසාරයේ භය, සංසාරයේ දුර, සංසාරයේ ගැඹුර සිනමාපටයක්‌ ඔස්‌සේ මෙන් ඔබට දර්ශනය වනු ඇත.

මේවා ඔබට පහළවන ඥානයන්ය. ඔබට මේ ඥානයන් පහළවන්නේ, අවබෝධවන්නේ ජීවිතයේ එක්‌ අවස්‌ථාවක පමණකි. ඉන් පසුව ඔබට එම ඥානය ආවර්ජනය කළ හැක. එනම් නැවත නැවත මෙනෙහි කළ හැක. මන්ද ඔබ එම සසර ස්‌වභාවය අවබෝධකර ඇති නිසාය. බලන්න, ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ තාක්‍ෂණය. එකම එක බලශක්‌තියක්‌වත් නොමැතිව, එකම එක බොත්තමක්‌වත් තද නොකොට, කැමරාශිල්පීන් ශබ්දාගාර නොමැතිව, කල්ප ගණනක්‌ ඈත සසර ඔබට දකින්න පුළුවන්. ඒත් බලන්න අපි මොනතරම් දුර්වලද කියලා. මෙවැනි උතුම් ධර්මයක්‌ තියාගෙන අපි ධර්මය ඉගෙනගන්න වෙබ් අඩවියේ පිටු පෙරළනවා. ධර්මය සුරකින්න තාක්‍ෂණයේ පිහිට සොයනවා. ලොකුම අවාසනාව, ධර්මය පිළිගන්න තාක්‍ෂණය සමඟ ගලපා එමගින් ධර්මය සනාථ කිරීමට යැමයි. අවිද්‍යාවක මහත......

නවීන තාක්‍ෂණය මිනිසාගේ ආයුකාලය දීර්ඝකරගැනීමට, සෞඛ්‍ය තත්ත්වය නැංවීමට, අධ්‍යපනය ගුණාත්මකභාවයට පත්කිරීමට උපකාරවී ඇති බව ඔබට සිතෙන්න පුළුවන්. මෙම භික්‍ෂුවද එය අනුමත කරනවා. එහෙත් ඔබ තාක්‍ෂණික ලෝකයේ වැඩිපුර පැයක්‌ ජීවත්වෙනවා කියන්නේ, වැඩිපුර පැයක්‌ දුක්‌ විඳිනවා කියන එකයි. ඔබ වැඩිදුර යමක්‌ ඉගෙනගන්නවා කියන්නේ, වැඩිපුර අවිද්‍යාව ඉගෙනගන්නවා කියන එකයි. ඔබ මොන ආගමකට අයත්වුවද හිතට එකඟව දකින්න. ඔබව ලෙඩකරන රෝග කාරකයත්, ඔබේ ලෙඩේ සුවකරන ඖෂධයත්, ඔබව මරාදමන මරුවාත් යන තුන්දෙනාම නවීන තාක්‍ෂණයයි. ඔබ සැබෑ තාක්‍ෂණය හඳුනාගෙන රෝගයත්, රෝගකාරකයත්, මරුවාත් යන තිදෙනාම පරාජයකර ලොව්තුරා තාක්‍ෂණයේ සැබෑ හිමිකරුවෙක්‌ වන්න. බලශක්‌තියෙන් තොරව ලෝකය දිනන්න. දකින්න.

ලෝකය තාක්‍ෂණික අතින් දියුණුවෙන්න දියුණුවෙන්න ලෝකය ආධ්‍යාත්මික අතින් පිරිහෙනවා. ආධ්‍යාත්මික අතින් පිරිහෙන ලෝකය විසින් ලොව ස්‌වභාවය, ස්‌වභාවධර්මය තමන් යටතට, තමන්ගේ පාලනය යටතට ගන්න හදනවා. මේ තරගයෙන් කවදාහරි දවසක ලෝකයා අන්ත පරාජයකට පත්වෙනවා. එම පරාජය ලෝකයා ලබන්නේ මහා විනාශයකුත් සමඟමයි. එම මහා විනාශය වනතෙක්‌ නිරතුරුවම අතුරු විනාශයන් ලෝකයේ සිදුවනවා. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌ කළහැකි ජගතෙක්‌ මෙතෙක්‌ තුන්ලෝකයේම පහළවී නැහැ. අනාගතයේදීත් එය එසේමයි. අවිද්‍යාවෙන් පෙළෙන සත්වයා සිතනවා ලෝකයේ ස්‌වභාවය තමන්ට වෙනස්‌ කළ හැකිය, පාලනය කළ හැකිය කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටවත් බැහැ ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කරන්න. උන්වහන්සේලාට පුළුවන් ලෝකයේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් එතෙරවන්න, පාලනය නොකළහැකි ලෝකයේ ස්‌වභාවය පාලනය කළ හැකි තම සිතෙන් අවබෝධ කරගන්නයි. කුමක්‌ද උන්වහන්සේලා අවබෝධ කරගත්තේ ? 

ආයාසයක්‌ ගෙන ලෝකයේ වෙනස්‌කළ යුතු කිසිම දෙයක්‌ නොමැති බවයි. මන්ද නිරන්තරයෙන්ම, ආයාසයකින් තොරවම ලෝකය වෙනස්‌වන හෙයිනි. මහපොළොවද, අවකාශයද, අභ්‍යාවකාශයද ඔබට ජයගතහැක්‌කේ ඒවා වෙනස්‌කිරීමෙන් නොව, නිරතුරුවම ඒවා වෙනස්‌වන බව අවබෝධ කරගැනීමෙන්ය. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කිරීමට යන්නාට හමුවනුයේ අවිද්‍යාවය. ලෝකය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තබව අවබෝධයෙන් දකින්නාට හමුවනුයේ විද්‍යාවය.
ලෝකයේ සැබෑම විද්‍යාඥයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ සැබෑ ශ්‍රාවක පුතුනුවන්ය. උන්වහන්සේලා මොනතරම් තාක්‍ෂණයෙන් දියුණුද කියනවානම්, උන්වහන්සේලාට ඇස්‌ පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධකොට දැකිය හැකිය. විශ්වය යනු මහා වේගයකට හසුවුණ හිස්‌ අවකාශයක්‌ පමණක්‌ බව උන්වහන්සේලා දනියි. මෙම වේගය මොනතරම් ප්‍රවේගකාරීද කියනවානම්, එම වේගය තුළ දකින්නේ හිස්‌බව පමණක්‌මය. ඒ හිස්‌බව තුළ අයිතිකරගැනීමට, වෙනස්‌කිරීමට, දියුණුකිරීමට, සංවර්ධයන කිරීමට, අලුතින් සොයාගැනීමට කිසිවක්‌ම නැත. තාක්‍ෂණයෙන් ලෝකය ජයගන්නට වෙරදරන ලෝකයාද, එම වේගයේ රූකඩ පමණක්‌මය. ලොව ප්‍රවේගකාරීම වේගය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. එය අවිද්‍යාව සොයා යන විද්‍යාඥයින්ට දැකිය නොහැක්‌කකි. එහි දැකිය හැක්‌කේ විද්‍යාව සොයාගිය බුදු පුතුන්ට පමණක්‌මය. විද්‍යාඥයන්ද බුදු පුතකු වීමට දක්‍ෂ වුවහොත් ඔහුටද මේ සැබෑ විද්‍යාවේ හිමිකරුවෙක්‌ විය හැකිය. මෙය කාගේවත් බූදලයක්‌ නොවේ. මේ ලෝකයේ ස්‌වභාවයයි. ඔබටද මටද එහි හිමිකරුවන් විය හැකිය. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මේ මඟ හෙළිකළ ශාස්‌තෲන් වහන්සේය. තුන් සිව්රත්, පාත්‍රයත් දරමින්, කැලයේ හුදෙකලා කුටියක, ආරණ්‍යයක වැඩසිටින බුදුපුතුන් ලෝකය විනිවිද දකින, ලෝකය කම්පාකරවන, ලෝකයට නොගැටෙන ලෝකය ඉක්‌මවාගිය සැබෑම විද්‍යාඥයන්ය. බලශක්‌තියෙන් තොරව ලෝකය දකින උතුමන්ය. උන්වහන්සේලා සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස ප්‍රඥාවේ ඇසින් බලමින් ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගනිමින් අවබෝධය ලබන උතුමන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. සතිය සිහිය හේතුවෙන් විනය නැමැති ඵලයද, ස්‌වභාවධර්මයේ යථාස්‌වභාවය මෙන්ම එහි අනිත්‍යබවද දැකීමෙන් ධර්මය නැමැති ඵලයද ඔබට අවබෝධවනු ඇත. සතිය සිහිය නැතිවීමෙන් අවිචාරයද, ස්‌වභාවධර්මය නිත්‍යභාවයෙන් ගතහොත් අධර්මයද යන ඵලයන් ඔබට ලැබෙනු ඇත. ඔබේ දක්‍ෂතාවයන් මත කැමති මාවතක්‌ තෝරාගැනීමට ඔබට නිදහස ඇත.

Tuesday, December 23, 2025

කය දුවවා වැඩක්‌ වේද සිත නතර කරනු බැරිනම්

 2011/09/25 ලිපිය

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම…..

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත, උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්…

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් ‘ජොල් වීමට’ පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යැපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර…. මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා ‘මගේ දරුවාය’ යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්තිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැඟීම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.

2025 පලවූ ලිපි


  1. වැරදි තේරුම් ගෙන ඇත්තට විවෘත වෙන්න
  2. සැබෑ සතුරා ඔබ තුලින්ම හඳුනාගන්න

සැබෑ සතුරා ඔබ තුලින්ම හඳුනාගන්න

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව  - December 21, 2025

පින්වත, මහ දවාලේ දැක්ක පාට, පාට සිහින, රාත්‍රියේ මහා වැස්සට සේදී ගිය හැටි සිහිනුවණින් දකිද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන අර්ථය හැර, වෙන කිනම් අර්ථයක් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නිත්‍ය වෙන්න ද? පින්වත, මනුෂ්‍යත්වයේ දෑතකින් ඔබට දිගු කරන ආහාර පාර්සලයක, වතුර බෝතලයක, වියළි සලාකයක, කරුණාව, මෛත්‍රිය සැඟවී තිබුණත්, සාගින්නෙන්, පිපාසයෙන්, අහිමි වීමෙන් රිදුම් දෙන සිතින් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධර්මානුකූල සිත, මෙම විනාශය තුළින් මතු කොට ගන්න ඔබ දක්‍ෂ නම් එම සිතුවිල්ල අයිති වෙන්නේ, සියලුම ලෞකික රසයෝ පරද්දවන සද්ධර්මයේ රසය වන අමෘතයටයි. පින්වත, අතීතයට අමිහිරි මතකයන් නිදන්ගත කළ දිට්වා කුණාටුව, ජීවමාන ධර්ම විනය යැයි කියන අපේ ජීවමාන ශාස්තෘන් වහන්සේ අපිට කියලා දෙන, දුක්ඛ සත්‍යය පිළිබඳ ලස්සන ධර්ම දේශනාවක්. පින්වත, එම ධර්ම දේශනය පුරාවට අපි දකින්නේ දුක්ඛ සත්‍යයෝ සක් සුදක් සේ විවෘත කොට පෙන්වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම් සහ පංච උපාදානස්කන්ධ දුකේ ස්වාක්ඛාත ගුණය ම නේද? පින්වත, අවිද්‍යාවේ ලෝකය සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ගෙන්, කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් සහ සංස්කාරයන්ගේ ම පිහිටෙන් යළි ගොඩනැගෙමින්, තෘෂ්ණාවට ප්‍රිය ලෝකයාට සැප සහ දුකේ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ලෝකයේ සත්‍යය ස්වභාවයට ඔබ අලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ ඇත්ත, සිහිනුවණින් අවබෝධ කොට ගන්න.

 පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාවයි. පින්වත, දිට්වා කුණාටුව හේතුවෙන් සමස්ත ජාතිය ම වෙළා ගත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, පින්වත් ඔබත් හොඳ හැටි අත්දැක්කා නේද? පින්වත, ස්වභාව ධර්මය අහිංසකයි. පින්වත, වැස්සට, සුළඟට, ගංගාවට, වැවට, කඳු යායට බණින්න එපා. පින්වත, දුකට හේතුව වැස්ස හෝ සුළඟ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. පින්වත, දිට්වා කුණාටුවට එකම ධර්මානුකූල හේතුව, පින්වත් මනුෂ්‍ය අපේ අසීමිත කෙළ හැලෙන ‘තෘෂ්ණාව’ මයි. පින්වත, අපේ ම තෘෂ්ණාව හේතුවෙන් පරිසරය විනාශ කරලා, කැලෑ එළිපෙහෙළි කරලා, මහා ගල් කඳු විනාශ කරලා, පස් කඳු, වැලි කඳු විනාශ කරලා, මහ පොළොව කොන්ක්‍රීට් ගොඩක් බවට පත් කරලා, මුදල් පස්සේ දිවීමයි, බාහිර සතර මහා ධාතුවේ අසීමිත කිපීමට ධර්මානුකූල හේතුව වෙන්නේ. පින්වත් බලධාරීන් සිදු වූ විනාශයෙන් යළි නැගී සිටීමට රුපියල් කෝටි ගණනින් ආධාර, පින්වත් අසරණ ජනතාවට බෙදා දෙනවා සේ ම, යළි පාරවල්, පාලම්, බෝක්කු, නිවාස ගොඩනගනවා සේ ම, මෙම වියදම් කරන මහා ධනස්කන්ධයෙන් සමස්ත ජාතියට පෙරළා ප්‍රයෝජනයක් ලැබෙන්න නම්, කරුණාකර ජාතිය ම තෘෂ්ණාව අවම කොට ගැනීමේ ක්‍රියාන්විතයකට යොමු කිරීමට දක්‍ෂ විය යුතුව තිබෙනවා. පින්වත, එය කළ හැක්කේ සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් ජාතික තීන්දු ගැනීමෙන් මිස, අසමගියෙන් බෙදී වෙන් වෙලා නම් නොවේ. පින්වත, දිට්වා කුණාටුවෙන් පසුව අපි මේ යන්නේත් ඒක පාක්‍ෂිකව, දුකට හේතු වන තෘෂ්ණාව දිශාවට ම නේද? පින්වත, පරිසරය අහිංසකයි. එම අහිංසකයාට චෝදනා කරන්න නම් එපා. විනාශයේ මුල තෘෂ්ණාව හඳුනා ගන්න.

 පින්වත, හරිම නිහඬ රාත්‍රියක්. ඔරලෝසුවේ තත්පර කටුව දුවන ශබ්දය වේගවත්ව ඇසෙනවා. පින්වත, ලෝකය ඉදිරියේ භික්ෂුවගේ ජීවිතය තාවකාලිකව නැවතිලා. පින්වත, නාසයට දැනෙන සියුම් ආශ්වාස ප්‍රශ්වාසය හොඳට පැහැදිලියි. පින්වත, ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති වීම සහ නැති වීම, කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ගැන කමටහන් කියලා දෙනවා. පින්වත, මේ විවේකී රාත්‍රියේ භික්ෂුවගේ ජීවිතය පවතින්නේ, “ධර්මයෝ, ධර්මයන් ම වඩත්” ය කියන නිසල අර්ථයෝ තුළයි. පින්වත, අකුසල් සංස්කාරයෝ පාරිසරික විපත් තුළිනුත්, මහ මඟ අනතුරු තුළිනුත්, හරි හරියට විපාක දෙන වටපිටාවකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, අපි ආරක්‍ෂා නොවී කෙසේ නම් අපි අනුන්ව ආරක්‍ෂා කරන්න ද? පින්වත, අපේ කටේ පිහිටි කෙටේරියෙන් මොනතරම් ආකර්ෂණීය වචන කඩා හැලුණත්, අපේ චේතනාවෝ පාරිශුද්ධ නම් පමණක් මයි, චේතනාවෝ හේතුවෙන් සකස් වන දැනීම් පාරිශුද්ධ වෙන්නේ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත් වෙන්නා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විසින් ම ආරක්‍ෂා කරනවා. මෛත්‍රිය තුළ ජීවත් වෙන්නා, මෛත්‍රියේ ආනිශංසයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. ශීලය තුළ ජීවත් වෙන්නා, ශීලයේ ආනිශංසයෝ සහ ත්‍යාගය තුළ ජීවත් වෙන්නා, ත්‍යාගයේ ආනිශංසයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. පින්වත, සතිමත්, සමාධිමත් ජීවිතයක් ගත කරන්නා, උතුම් සප්ත බොජ්ඣංගයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. පින්වත, ඥාන දර්ශන සහ විමුක්තිය තුළ ජීවත් වෙන්නා, උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ විසින් ම ආරක්‍ෂා කොට දෙනවා. පින්වත, අනාරක්‍ෂිත සංස්කාර ලෝකය තුළ මේ කිසිවක් ම නොමැති පින්වතා, සකලවිධ අනතුරුවලට විවෘතවයි ජීවත් වෙන්නේ. පින්වත, තමන් අනාරක්‍ෂිත නම්, අනුන්ව කෙසේ ආරක්‍ෂා කරන්න ද? පින්වත, අපි මිරිඟුවක් පසුපස්සේ තවමත් අකුසල් පිපාසයට දිය සොයනවා.

 පින්වත, ඔබේ ජීවිතය යැයි කියන්නේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ලෝකය යැයි පනවන්නේ ඔබේ ජීවිතයටයි. පින්වත, ඔබේ ජීවිතය නමැති ලෝකය තුළ අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා ම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. පින්වත, ඔබේ ජීවිතය නමැති ලෝකය තුළ, ඔබේ සළායතනයෝ මුල්කොට ගෙන ඵස්සයේ පටන් විඤ්ඤාණයෝ දක්වා ම සක්‍රියව පංච උපාදානස්කන්ධ ධර්මයෝ පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මකයි. පින්වත, මිථ්‍යා දෘෂ්ටිකභාවය වගේ ම උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ ම, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ජීවිතවලට පොදු ධර්මතාවයෝ වෙනවා. පින්වත, අවිද්‍යාවේ කාර්යභාරය වන්නේ ජීවිතයත්, ධර්මයත් දෙකක් කොට පෙන්වීමයි. පින්වත, ජීවිතයත්, ධර්මයත් දෙකක් කොට පෙන්වීම උදෙසා පංච නීවරණයෝ අවිද්‍යාවට අත දිග හැර වියදම් කරනවා. පින්වත, තම ජීවිතය තුළින් ධර්මය නොදකින්නා, තම ජීවිතය භාර දෙන්නේ මමත්වයේ දැඩිභාවයට. ඔහු ජීවිතය ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි දකිනවා. පින්වත, ඔහු තම ජීවිතය නමැති ධර්මය, අනුවණභාවයෙන් අධර්මයට විවෘත කොට දෙනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් සළායතනයන්ගේ ඵස්සයෙන් පණ ලබන ඔබේ ජීවිතය අධර්මයට විවෘත කොට දෙන්න එපා. පින්වත, අපේ ජීවිතවල ක්‍රියාත්මක වන දුර්වල පංචශීලය අපේ ම සතුටු කඳුළු, ඛේදවාචකයන් බවට පෙරළනවා. පින්වත, මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය හිංසනය සිදු කරන්න එපා. තිරිසන් සත්ත්ව ඝාතනය, සත්ත්ව හිංසනය ඔබ සිදු කරන්න එපා. පින්වත් ඔබට පෙනෙනවා නේද මහා කළු ගල් පෙරළිලා, පස් කඳු නාය ගිහිල්ලා, අහිංසක ජීවිත මහ පොළොවේ මිහිදන් වන වියරු අකුසල් සංස්කාර මායාවේ තරම. පින්වත, මේවා පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල සිදු කළ ප්‍රාණඝාත අකුසල් විපාකයෝ වෙන්න පුළුවන්. පින්වත, ඔබේ ජීවිතය තුළින් ධර්මය දකින්න, එවිටයි ඔබ, ඔබේ ජීවිතය තුළින් ධර්මයෝ, ධර්මයන් ම වඩත් යන ධර්මතාවය, විවෘත කොට ගත්තා වෙන්නේ.

 පින්වත, උදේ පටන් රාත්‍රී වෙනකම් කාර්යාලයේ, ව්‍යාපාරයේ, වෙහෙස මහන්සි වෙලා ගෙදර එනවා යැයි කියන්නේ, ගොඩාක් ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ තම අකුසල් සංස්කාර ගිණුමට රැස්කොට ගෙන එනවාය කියන කාරණයයි. පින්වත, මහ පාරේ මාර්ග තදබදයක දී, පොදු ප්‍රවාහන සේවයේ දී සිදු වන කාලය කා දැමීමේ දී අපි තුළ මොනතරම් නම් අකුසල් මූලයෝ ඇති වෙනවා ද? පින්වත, සංස්කාර ලෝකයේ ස්වභාවය කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත, තෘෂ්ණාවේ ස්වභාවය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ ස්වභාවයයි. පින්වත, අකුසල් මූලයන් ජයග්‍රාහීව ක්‍රියාත්මක වන ලෝකය, හරි තැන හරියට ම ස්ථානගත වී තිබෙනවා. පින්වත, අවිද්‍යාවේ ජවයෙන් තෘෂ්ණාවේ විපරිතයෙන් මොනවට පෝෂණය වන ලෝකය තුළ, ඔබ සතිමත් වෙන්න. පින්වත, මහ පාර, ව්‍යාපාරය, කාර්යාලය ඔබට අකුසලයේ වෙහෙසක් වුවත්, එම අකුසලයේ වෙහෙසට කුසලයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට ඔබ අදක්‍ෂයෙක් නම්, කරුණාකර ඔබේ පාලනය යටතේ පවතින ඔබේ නිවස, ඔබේ පවුල් ජීවිතය පින වැඩෙන පන්සලක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, රාජකාරී ජීවිතයේ දී ඔබ ලබන අකුසලයේ පීඩනය සවසට ගෙදර අරගෙන එන්න එපා. පින්වත, අඹුදරුවන් සමග නිවසේ ගත කරන කාලය ප්‍රිය වචන, මෛත්‍රිය, ඉවසීම පුහුණු කරන කාලයක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ඉවසීම පුහුණු කරන උපේක්‍ෂාසහගත ජීවිතය ගොඩාක් වටිනවා. එක්තරා බිරිඳක් භික්ෂුවට කියනවා, තේ කෝප්පය ප්‍රමාද වුණොත්, තම මහත්මයා ආවේගශීලීභාවයෙන් අතට දුන්න තේ කෝප්පය පොළොවේ ගසනවාය කියලා. මහත්මයාගේ කේන්තිය සංසිඳුන ම, “ඔයා මාත් එක්ක තරහ ද?” කියලා බිරිඳගෙන් අහනව ලු. පින්වත, අහිංසක අපගේ නොඉවසීම අපිට යක්‍ෂ ගතිගුණ ලබලා දෙනවා.

 පින්වත, ඉවසීම පුහුණු කිරීම තුළින් අපි ලබන ලොකුම ප්‍රතිලාභය තමයි නීරෝගීභාවය. පින්වත, ඇලීම් සහ ගැටීම් අවම උපේක්‍ෂාසහගත ජීවිතයක් නීරෝගීභාවයට සහ දීර්ඝායුෂ ලබන්න අදාළ යහපත් සංස්කාරයෝ අවදි කොට දෙනවා. පින්වත, රාහුල මහෝත්තමයන් වහන්සේටත් අවුරුදු පහස්පහේ සීමාව ඉක්වමා යන්න නීරෝගීභාවය සහ ආයුෂ නොතිබූ බව ධර්මයේ සඳහන් වෙනවා. ඒවා මේ ජීවිතයේ දී නොව අතීත සාංසාරික අකුසල් සංස්කාරයන්ගේ විපාකයෝයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට අවුරුදු අසූවේ සීමාව ඉක්මවා යන්න අතීත සංස්කාරයෝ අවස්ථාව ලබලා දුන්නේ නැහැ. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ අපිට පූර්වාදර්ශීව කියලා දෙන්නේ, වර්තමානයේ අපි ඇති කොට ගන්නා ඉවසීමේ ගුණය මෙලොව පමණක් නොව, අනාගත පටිච්චසමුප්පන්න ජීවිතවල ද නීරෝගීභාවය සහ ආයුෂය උදෙසා උපකාරක ධර්මයන් සකස් කොට දෙනවාය කියන කාරණයයි. පින්වත, ඉවසීමෙන් තොර, ඇලීම් සහ ගැටීම් බහුල ජීවිත නිරතුරුව ම ආවේගශීලීභාවයට පත් වෙනවා ඔබ දැක තිබෙනවා ද? පින්වත, ඔබ ආවේගශීලීභාවයට පත් වෙද්දී, ශරීරයේ රුධිර ධාතුවේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා, රුධිර ධාතුව අපිරිසිදු වෙනවා, හෘදවස්තුවේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා. පින්වත, නොඉවසීමෙන් හට ගන්නා ආවේගශීලීභාවය අපේ ස්වාභාවික ශරීර ක්‍රියාවලිය අස්වාභාවිකභාවයට පත් කරනවා. පින්වත, කේන්තිය, පළිගැනීම, පරුෂ වචන, ප්‍රියයන්ගෙන් වෙන් වීම ආවේගශීලීභාවයේ ඥාති පිරිවර වෙනවා. පින්වත, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, රුධිරය විෂ වීමෙන් හටගන්නා පිළිකා වැනි රෝග ආවේගශීලීභාවයේ ප්‍රිය මිතුරන් වෙනවා. පින්වත, ඔබේ සැපය අහිමි කොට දමන සැබෑම සතුරා ඔබ තුළින් ම හඳුනා ගන්න දක්‍ෂ වෙන්න. ඔහු වෙන කවුරුවත් ම නොව, ඔබේ ම නොඉවසීම හේතුවෙන් හටගන්නා ආවේගශීලීභාවයයි.

Monday, December 22, 2025

අතහැරීම - 2 කොටස

  1.  බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න
  2. රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය
  3. ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න
  4. බ්‍රොයිලර් ජීවිතය
  5. සෑම තරාතිරමකම පාලකයන් වෙත කරුණාවෙනි(බ්‍රොයිලර් ජීවිතය-2)
  6.  සයුරු සැපෙහි වේ මේ සා දෝසා
  7.  ප්‍රේත ලෝකයේ මනාලිය(ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)
  8.  දැවෙන සමක්‌-නිවෙන මගක්‌
  9.  නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි
  10.  කුලියට ගත් එළිය කුමට........?
  11.  අවසාන මෙහෙයුම
  12. මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි
  13.  අනේ ඔබ එවන් පාලකයකු වේ නම්...
  14.  මෙන්න ලොව සුන්දරම වචන පෙළ
  15.  ඇත් සවිය පරදන අතහැරීමේ අවිය
  16.   හිංසාවේ රාත්‍රිය
  17.  බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න
  18.  දෙවියන්ද වඳින පින් බිමයි මේ.....
  19. දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ?
  20.  අභියෝගය අවබෝධයක්‌ කරගන්න
  21.  ගමන ඉවරත් නොමැති යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති ඔබත් ඔරලෝසු කටුවක්‌ද?
  22.  නාලාගිරි අදත් වඩියි
  23.  දිව්‍ය ලෝකෙ සැපයි... ඒත්?
  24.   මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න
  25.  යක්‍ෂයා නොව ධර්මය දකින්න
  26.  හොඳ තැන් සොයමින් යනවා වෙනුවට...  
  27.  සිහියෙන් බලන්න... දහම ඔබ අසලමය
  28. අපායේ උපතක්‌
  29.  ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය
  30. සයන‍යේ ‍‍ප්‍රේතිය 
  31. පිනට ලද රූපය පවට යෙද වූ සාපය
  32. සංසාරයක්‌ පුරා වැරැදුණු තැන...
  33. කොහොමද...? ක්‍රෝධයේ අස්‌වැන්න 
  34. වෙසක්‌ තොරණින් එහා දෙයක්‌ දකිමු!
  35. නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න.....
  36. ගීයක්‌ කවියක්‌ මුමුණනු වෙනුවට... 
  37. මේ උතුම්ම බුද්ධ පූජාවයි 
  38. මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?එහෙමනම් කියවන්න...

රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය

2011/09/18 ලිපිය 

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ.

ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න......


බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.


මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි. 


වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය.


යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.


සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ, 


රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න...


බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා. 


මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.


මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.


ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව. 


ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ. 


රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.


ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි. 


ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.


එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.


ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා.... මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න. 


ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට "හාමුදුරුවෝ" කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.


මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.


ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.


ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය.... කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ. 


ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි. 

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.




බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න

අතහැරීම 02 - ලිපි අංක 01

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.

පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක්‌ ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි.

සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක්‌ දැනෙන දෙයක්‌ විය නොහැක. එය ඔබව බරෙන් නිදහස්‌ කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව, ශාසනයේ සැහැල්ලුව දැරීමටය. ශාසන ප්‍රතිපදාවේ යෙදෙන විට ඔබට වෙහෙසක්‌ බරක්‌ දැනේ නම් ඔබ, ඔබ ඉදිරියේම ප්‍රශ්නාර්ථයක්‌ තබාගත යුතුය. මග නොමග ගැන සිතීමට ඔබ නිහතමානී විය යුතුය. එහෙත් ඔබ සොයන්නේ ඔබේ ජීවිතයට සැපයක්‌ නම්, සතුටක්‌ නම්, ඔබට වෙහෙස මෙන්ම බර දැනෙනු ඇත. මන්ද ඔබ නැති යමක්‌ සොයන නිසාය. අපි බෞද්ධයන් විය යුත්තේද, පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය. ශාසන ප්‍රතිපදාවේ යෙදීමේදී අපට බරක්‌, වෙහෙසක්‌ දැනේනම් එය අපට අවශ්‍ය නොමැත.


ගිහි පැවිදි අප නිවැරැදි ලෙස ආමිස ප්‍රතිපදාවේ යෙදෙන විට, ලොව්තුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජා පවත්වන විට, එහි ආනිසංශ වශයෙන් පූජා පවත්වන්නාට සිව්පසය ගලාගෙන එන්නේය. එය ආශ්චර්යයක්‌ නොවේ. බුදු බලය, සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ශ්‍රද්ධාව ඔබට ලැබෙන දිට්‌ඨධම්මවේදනීය කුසල විපාකයකි. මෙම සෞභාග්‍යය සමාජයේ අපට නිතර දකින්න පුළුවන්. නමුත් කුසල විපාකයක්‌ වශයෙන් සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා. ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ, ලොව්තුරා බුදු සමිඳුන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන උන්වහන්සේ දේශනා කළ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් වඩින්න. සෞභාග්‍යය තුළින් ඔබට විශ්වාසයක්‌ ලබාදෙන්නේ මේ දෙය කළොත් මේ දෙය ලැබෙනවා කීම පිණිසයි. එවිට ඔබ දක්‍ෂ විය යුතුයි. ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න. නමුත් අප සෞභාග්‍යය බදාගැනීමට ආමිසය තුළ සිරවෙනවා. එවිට තව තවත් සිව්පසය ගලාගෙන එනවා. අවසානයේ එම සිව්පසය විසින් අපව ග්‍රහනයකට ගන්නවා. එවිට ඔබ ශීල, සමාධි, ප්‍රඥා නිවන් මගේ ඉදිරියට නොයා, ඔබ සැපයි කියා සිතූ තැන නවාතැන් ගන්නවා. පදිංචි වෙනවා. මෙහි වැරැද්දක්‌ ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ දැන් සෞභාග්‍යය ලැබීමෙන් මත්වෙලා. ඔබට දුර පෙනෙන්නේ නැහැ. ඔබ දකින්නේ ළඟ පමණයි. ඈත තිබෙන ප්‍රඥා මාර්ගය ඔබට පෙනෙන්නේ නැහැ. මොකද ඔබ පසුපසටයි ගමන් කරන්නේ. අලෝකයට පිටුපාමින්, අඳුරේ අතපතගාමින් අපි මොනවද මේ සොයන්නේ. නැති සතුටක්‌, සෞභාග්‍යයක්‌ සොයනවා. ඔබ සොයමින් යන සතුට, සෞභාග්‍යයේ මිම්ම, සීමාව, සෑහීම, නොසැහීම තිබෙන්නේ ඔබ ළඟමය. මේවායේ තීරකයා, විනිශ්චයකරුවා ඔබේ ඇති වෙමින් නැතිවන සිතමය. එහෙත් ඔබ ලෝකය තුළ කිසිදා හමුනොවන සතුට සොයනවා. සැප සොයනවා.


ඔබට ලැබීමටත්, අතහැරීමටත් දෙකටම මඟ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි. ඔබ මෙහිදී දක්‍ෂ වෙන්න අවශ්‍යයි. කුමකටද? ලැබීම අතහැර ඔබට සිව්පසය ලාභසත්කාර ලබාදීමට මඟ පෙන්වූ ලොව්තුරා බුදු සමිඳුන් දැකීමට. ලොව්තුරා බුදුසමිඳුන් උන්වහන්සේව දකින්නට, ඔබට අවස්‌ථාව සලසාදී තිබියදී, ඔබ නැති සතුටක්‌ සොයමින්, නිදිමරා වෙහෙසෙනවා. විඩාවෙන් අවිවේකයෙන් සිටින ඔබ ඔබෙන් අසන්න, මේ මොහොතේ ඔබ සොයන්නේ එම නැති සතුටම නේද? කියලා.


සියලුම මනුෂ්‍යයන් විසි හතර පැයේම වෙහෙසෙන්නේ කුමක්‌ සඳහාද? ඔවුන් ඒ වෙහෙසෙන්නේ අයිති කරගැනීම සඳහාය. වැඩිකර ගැනීම සඳහාය. මොනවා අයිතිකර ගැනීම සඳහාද?


සැප, සතුට, වගකීම්, නායකත්වය වැඩිකර ගැනීමටය. අයිතිකර ගැනීමටය. මිනිසා පමණක්‌ නොව, තිරිසන් සතාද අරගල කරන්නේ, වෙහෙසෙන්නේ, සැරිසරන්නේ සැප සෙවීම සඳහාය. දෙවියෝද දිව්‍ය ලෝකවල බැසගෙන දිව්‍ය සැප, දිව්‍ය ඕජාව විඳින්නේ සැපයට ඇති කැමැත්ත නිසාය. සැපය නිත්‍ය යෑයි ගෙන සැප පසුපසම හඹායැම නිසා ඔවුන් නිරතුරුවම රැස්‌කරන්නේද තන්හාවමය. තන්හාව තුළින් ජනිතවන්නේද අකුසලයක්‌මය. සත්වයින්ට සැප සෙවීම සඳහා යන මේ අසාර්ථක ගමනේදී තමන් නොදැනුවත්වම සතර අපායට වැටී අනන්ත දුක්‌ විඳිමින් සැරි සැරීමට සිදුවනු ඇත. බ්‍රහ්ම ලෝකවල ජීවත්වන මිත්‍ය දෘශ්ඨික, තෙරුවන් සරණ නොගිය බ්‍රහ්මයෝද නැවත සතර අපායට වැටී දුක්‌විඳීමේ ස්‌වභාවය ඇත. බ්‍රහ්මලෝක වල සිටින සම්‍යක්‌දෘෂ්ඨික බ්‍රහ්මයන් හැර අන් සියලු සත්වයන්ට සැපය සොයායන ගමනේදී අත්වනුයේ එකම ඉරණමකි.


දිව්‍ය සැප කෙටිය. සතර අපායේ දුක ඉතා දීර්ඝය. දිව්‍ය ලෝකයේ දෙවියන් නිරතුරුවම අනන්ත කාම සම්පත් විඳිමින්, එම කාම සම්පත් වලට තව තවත් ලොල් වෙමින්, අධික ආශාවෙන් කාමය පසුපස හඹායැම නිසාත්, නිරතුරුව තන්හාව වැඩීම නිසාත් අකුසල රැස්‌කර ගනී. මේ හේතුවෙන් දිව්‍ය සැප ඉක්‌මනින් පිරිහී යයි. දෙවියන් නැවත සතර අපායට වැටීමේ ඉඩකට ඉතාම වැඩිය. එහෙයින් දිව්‍ය සැප කෙටිය. සතර අපායේ ජීවත්වන සත්ත්වයා, ඔහු විඳින දුක නිසාම නිරතුරුව වෛරය, ක්‍රෝධය සහිතව ජීවත් වේ. එතුළින් සෑම මොහොතකම එම සත්වයන් රැස්‌කරන්නේ අකුසලයක්‌මය. මේ හේතුවෙන් අකුසල් වැඩිවී, මේ සත්වයා දුකෙන් දුකටම පත්වේ. සතර අපායේ කොටස්‌කරුවන් බවටම පත්වේ. බ්‍රහ්ම ලෝකයේ ජීවත්වන බ්‍රහ්මයාද තමා විඳින සමාධි සැපය අනිත්‍ය යෑයි දකින මොහොතේම අරිහත්වයට පත්වීමට හැකියාව තිබියදී, සමාධි සැපය අනිත්‍ය යෑයි දකිමින් එහි සතුට සොයන නිසා, අරිහත්වයට තමා විසින්ම දොරගුළු දමාගනී.


බ්‍රහ්ම ලෝකයේ, බ්‍රහ්ම තලවල මිත්‍යදෘෂ්ඨික බ්‍රහ්මයන්ද ඇත. ඒ මිනිස්‌ ජීවිත වලදී ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීම නිසා බ්‍රහ්ම සැප ලබයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ නොගිය පිරිසකි. බෞද්ධයින් නොවේ. මේ බ්‍රහ්මයන් ප්‍රඥාව වඩවාගෙන නොමැත. ඔවුන් සිටින්නේ අවිද්‍යාව තුළය. එවැනි බ්‍රහ්මයන් නැවත සතර අපායට වැටේ. එහෙත් ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීමේ ආනිසංස නිසා ඒ අයට කල්ප ගණන් බ්‍රහ්ම සැප ලැබිය හැකිය. කවදාහෝ දවසක තෙරුවන් මුණගැසී, තෙරුවන් සරණ ගොස්‌, ප්‍රඥාව වැඩී, සෝවාන් ඵලයට පත්ව, බ්‍රහ්ම ලෝකය තුළම නිවීමේ මඟට පත්වීමට මේ අයට හැකියාව ඇත. එතෙක්‌ ඔවුනද නැති සතුටක්‌ ලෝකය තුළ සොයන පිරිසක්‌මය. ඒ අය මිනිස්‌ ජීවිතවලදී අතහැරීම පුරුදුකොට ඇත. එහෙත් ඔවුන් අතහැරීම පුරුදුකොට ඇත්තේ ප්‍රඥාව නිසා නොව සමාධි සැපයට ඇති ලොල්වීම, තෘෂ්ණාව නිසාය. සියලුම සැප අතහැරියත් සමාධි සැපය නිත්‍ය බවට ඇති විශ්වාසය නිසාය.


සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකය. ඔබේ කුටිය දෙස බලන්න. එහි සුවපහසු පුටු,මේස, ඇඳ, ඇතිරිලි, පාපිස්‌නා, පලස්‌, රේඩියෝ, ආහාර පාන, කිරිපිටි, බෙහෙත් තිබෙනවාද? මේ සියල්ල තිබෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, සැප සඳහාය.ඒ කියන්නේ නිරතුරුවම ඔබ සිටින්නේ දෙවැනියෙක්‌ සමඟමයි. හුදෙකලාව නම් නොවේ. ඔබම සිතන්න, තුන් සිවුරත් පාත්‍රයත් කියන සීමාවෙන් කොච්චර දුරස්‌වද ඔබ ඉන්නේ. එපමණටම තන්හාව ඔබේ හුදෙකලාව මකන හිතවතා වෙලා.


සක්‌විති රජ පදවියද, රාජ රාජ මහාමාත්‍ය පදවිද සංසාරයේ ලබා ඇති අපි , එම රජශ්‍රීය තළුමරමින් රසවිඳ ඇති අපි. වර්තමානයේදී අනවබෝධය නිසා නොවිඳපු රස, සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්‌විති රජ පදවිය ලද මොහොතේදීද එම සක්‌විති රජ පදවියෙන් චුතවන මොහොතේදීද, ඔබ එම සැපයෙන් සෑහීමකට පත්නොවුණි. ඒ නිසාම තන්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනටම වැටුණි. මේ ඔබ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතමය. මේ කෑදරකම නිසාම ඔබව රැගෙන පැමිණි දුර තව රැගෙන යැමට නියමිත දුර, ඉලක්‌කම් වලින් ප්‍රකාශ කළ නොහැක. ඔබ කව්රුන් වුවද ඔබ මේ වෙහෙසෙන්නේ සැප සෙවීම සඳහා නොවේද? ඔබ මේ පුවත්පත අතට ගත්තේද ඔය සිත ඔබට අණ කළ නිසා නේද? ඒ සිත දැන් තිබෙනවාද? එය අනිත්‍ය වී ගොසිනි. ඒ සිත ඔබට අයිති දෙයක්‌ නොවෙයි නේද? ඔබට ආගන්තුකයෙක්‌ නේද? එහෙත් අතීතයේ යම් මොහොතක එම සිත නිත්‍ය යෑයි සිතා, ඔබේ යෑයි සිතා, සිත ක්‍රියාත්මක කළා නේද? ඒ තුළින් ඔබ කුසලයක්‌ හෝ අකුසලයක්‌ රැස්‌ කළා නේද? මේ දෙකම ඔබට රැගෙන යන්නේ බවයට නේද? එසේ නම් අනිත්‍ය වශයෙන් නොදකින සෑම සිතක්‌ම ඔබව සංසාරයට රැගෙන යනවා නේද?


ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම් සන්ධිස්‌ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්‌ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මඟේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක්‌ දෙනවා. එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. ශාස්‌තෘන් වහන්සේ දෙන කමටහනක්‌ නිසා එය දැඩි ලෙස ඔබට දැනෙනවා. අවබෝධ වෙනවා. ඒ මොහොතේම ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකපු සිත අනිත්‍ය වශයෙන් දකිනවා. උන්වහන්සේගේ රූපකාය, උන්වහන්සේගේ කමටහන, මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ එය එසේ වනවාමයි. මෙහිදී ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ ඔබ තුළ වැඩෙන ප්‍රඥාවයි. ප්‍රඥාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් කියන්නේ දෙකක්‌ නොව එකක්‌ය යන්න ඔබට මෙහිදී හොඳින් අවබෝධ වනවා. අපි හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාවත් කියන්නේ එකක්‌ බව. එහෙත් ඔබ නිවීමේ මෙහෙයුමේ ක්‍රියාත්මක භාවයට පත්වීමේදී ඔබට මේ යථාර්ථය අවබෝධ වනවා. අද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවානම් ඔබට දෙන කමටහනත් ඔය කමටහනම විය යුතුය. zඇතිවුණ සිත අනිත්‍ය වශයෙන් දකින්නZ එය තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙතෙක්‌ කළේද, කරමින් සිටින්නේද ඇතිවන සිත තන්හාවෙන් තෙත්කර ක්‍රියාත්මකභාවයට පත්කිරීමය.


බලන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දෙදහස්‌ හයසියයක්‌ ඉක්‌මගියද, ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් කමටහන් ලබාගන්න. උන්වහන්සේව දකින්න. උන්වහන්සේගෙන් ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න.


අසූහාරදහසක්‌ පහන්ද, මල්ද, හඳුන්කූරුද, පිරිකරද පූජාකර ඔබ දකින්නේ දිව්‍ය, මනුෂ්‍ය සශ්‍රීක සංඥාවන්මය.


එම සංඥා භවගාමීය. එහෙත් ඔබ එම සිත අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඔබ දකින්නේ ධර්මයයි. ඔබ දකින්නේ ලෝකයේ සැබෑ ස්‌වභාවයයි. හැබැයි ඔබ තුළ තවම එම ශක්‌තිය මෝදුවී නැති නම්, ඔබ කළ යුත්තේ ඉහත පිංකම්වල යෙදෙමින්, ඔබ තුළ ඉහත ශක්‌තිය වර්ධනය කර ගැනීමය. එහෙත් ඔබ එකතැන පල්වෙන, එකතැන පදිංචිවෙන බෞද්ධයෙක්‌ නොවිය යුතුය. අත්විඳිමින්, අත්දකිමින්, අවබෝධය කරා යන බෞද්ධයෙක්‌ විය යුතුය. පෘථග්ජන සත්වයා කල්මැරීමට ඉතාමත් ප්‍රියය. අතීතය පුරාවට කළේද කල් මැරීමය. බහුතරයක්‌ බෞද්ධයෝ වර්තමානයේදීද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා, නිවන් දැකීමට බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. ඔබ ගිහි හෝ පැවිදි වුවද මෙසේ ප්‍රාර්ථනා කිරීමේදී ඔබ දකින්නේ මෛත්‍රී බුදුන් නොව, අවිද්‍යාවයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවයි. නමුත් මෛත්‍රී බුදුන්ගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා නිවන් දකින්න යෑයි ඔබට අණකරන ඔබේ සිත අනිත්‍ය බව දැකීමෙන් ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයමයි. බලන්න ධර්මයේ ආශ්චර්යය. අද මේ මොහොතේදී ඔබට පුළුවන් මෛත්‍රී බුදුසමිඳුන් විසින් දේශනා කරන ධර්මය දකින්න. අත්විඳින්න. එහෙත් ඔබ තුළ ඇති අවිද්‍යාව නිසා, ඔබ දුක්‌ විඳිමින් කල්ප ගණනක්‌ සසර ඈතට යන්න යනවා. අවිද්‍යාව විසින් සත්වයාව මොනතරම් මුලාකරනවාද බලන්න. මෛත්‍රී බුදුසමිඳුන්වත්, උන්වහන්සේ දේශනාකරන ධර්මයත් මේ මොහොතේ දකින්න අවස්‌ථාව තිබියදී, භවයට කෑදර අපේ සිත, අපිව දුකටම ඇදගෙන යනවා. මෛත්‍රී බුදුසමිඳුන්ව පෙන්වනම් කියා අපිට අවිද්‍යාව පෙන්වනවා.


ඔබ දක්‍ෂවෙන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. ඔබට ආගන්තුකයෙක්‌ බව දකින්න. සිත ඔබේ දුක්‌ දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානයයි. ඔබ අවබෝධ කරන්නේ පංචඋපාදානස්‌කන්ධයයි. පටිච්චසමුප්පාදයයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. ඔබ මේ කිසිවක්‌ සොයා යා යුතු නැත. හැදෑරිය යුතුද නැත. ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දැකීමේදී ඉහත ධර්මතාවන් ඔබ තුළ අයාසයෙන් තොරව වැඩෙනු ඇත. ඔබට අවබෝධවනු ඇත. සිතේ අනිත්‍යභාවය නොදකින්නා, මේ ධර්මථාවන් සොයාගෙන කමටහන් පංති දේශනා පසුපස යා යුතුය. ඔහු මේ සොයන්නේ තමා තුළ තිබෙන දෙයකි. සියල්ල සෙවීම අතහැර ඔබ මේ සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, දෙතිස්‌ කුණපය ක්‍රියාත්මකභාවයට පත්කරන, ඇතිවී නැතිවී යන සිත ගැන පමණක්‌ සොයන්න. දකින්න. ඒ ඔබ සොයන්නේද, දකින්නේද ධර්මයයි.


ඔබට කතරගමට යැමට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ බස්‌ නැවතුමට ගොස්‌ කතරගම බසයකට ගොඩවී, ටිකට්‌පතක්‌ ලබාගැනීමය. එවිට බසය ඔබව කතරගමට රැගෙනයනු ඇත. කතරගමට යන ගමනේදී ඔබ වටපිටාව හොඳින් නිරීක්‍ෂණය කරමින් ගියහොත් ඔබට කළුතර බෝ සමිඳුන්ද, ගාල්ල වරායද, හම්බන්තොට ලුණු ලේවායද, තිස්‌ස මහසෑ සමිඳුන්ද දැකිය හැකිය. ඔබ බස්‌ රථයට ගොඩ නොවී බස්‌ නැවතුමේ සිටින අයගෙන්, එහෙත් නැතිනම් මාර්ග සිතියමකින් කළුතර බෝ සමිඳුන් ගැන, ලුණු ලේවාය, වරාය, මුහුද ගැන විස්‌තර තොරතුරු ඒවායේ ස්‌වභාවය ඇසීමට ගියහොත්, සෙවීමට ගියහොත් ඔබට බසය වැරදී අතරමං වීමට සිදුවනු ඇත. මෙපරිද්දෙන් ඔබ සිත දෙස බලාසිටින්න. එවිට සතර සතිපට්‌ඨානයද පටිච්චසමුප්පාය, පංචඋපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජංග ධර්මයන් පෙණෙනු ඇත. දකිනු ඇත. අවබෝධය ලබනු ඇත.


මේවා සොයා ටියුෂන් නොයා යුතුය.


සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. ලෝකයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. මෛත්‍රයයි.ක්‍රෝධයයි.භවයයි. නිවීමයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි.


සිත යනු දුක්‌ ගොඩකි.එහෙත් ඔහු ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලිබස්‌ තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. එනිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලණ මිතුරා කරගන්න. එය කළ හැක්‌කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මඟහැරෙනු ඇත.


සැප අනිත්‍ය වන බව දුක දන්නා නිසා, සැප අසලම දුක ගැවසෙමින් සිටියි. සැපය දන්නා දෙයත්, දුක දන්නා දෙයත් ඔබ නොදන්නේ සැපත් දුකත් දෙකම ඇති කළේ ඔබට ආගන්තුක, ඔබට අයිති නැති සිතක්‌ නිසාය. ඔබ සිත ගැන දන්නේ නැහැ. සිත ගැන බලන්නේ නැහැ. දිනපතා කණ්‌ණාඩි මේසය ළඟට ගිහින් හිස, රැව්ල, ඇස, කන, දිව, දත්, මුහුණ, කුරුළෑ, සම බලනවා. අඩුපාඩු තිබුණොත් විටමින් බොනවා. ක්‍රීම් ගානවා. මා තුළ මා බලනවා. ලස්‌සන කරනවා. නමුත් සිත ගැන බලන්නේ නැහැ. ඔබ, සැප සෙයාන සිත, ලස්‌සන සොයන සිතදෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න. ඔබ දකින්නේ ඔබව නොව, මහා වේගයක්‌ පමණක්‌ය.


ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com