මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව - December 21, 2025
පින්වත, මහ දවාලේ දැක්ක පාට, පාට සිහින, රාත්‍රියේ මහා වැස්සට සේදී ගිය හැටි සිහිනුවණින් දකිද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන අර්ථය හැර, වෙන කිනම් අර්ථයක් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නිත්‍ය වෙන්න ද? පින්වත, මනුෂ්‍යත්වයේ දෑතකින් ඔබට දිගු කරන ආහාර පාර්සලයක, වතුර බෝතලයක, වියළි සලාකයක, කරුණාව, මෛත්‍රිය සැඟවී තිබුණත්, සාගින්නෙන්, පිපාසයෙන්, අහිමි වීමෙන් රිදුම් දෙන සිතින් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධර්මානුකූල සිත, මෙම විනාශය තුළින් මතු කොට ගන්න ඔබ දක්‍ෂ නම් එම සිතුවිල්ල අයිති වෙන්නේ, සියලුම ලෞකික රසයෝ පරද්දවන සද්ධර්මයේ රසය වන අමෘතයටයි. පින්වත, අතීතයට අමිහිරි මතකයන් නිදන්ගත කළ දිට්වා කුණාටුව, ජීවමාන ධර්ම විනය යැයි කියන අපේ ජීවමාන ශාස්තෘන් වහන්සේ අපිට කියලා දෙන, දුක්ඛ සත්‍යය පිළිබඳ ලස්සන ධර්ම දේශනාවක්. පින්වත, එම ධර්ම දේශනය පුරාවට අපි දකින්නේ දුක්ඛ සත්‍යයෝ සක් සුදක් සේ විවෘත කොට පෙන්වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම් සහ පංච උපාදානස්කන්ධ දුකේ ස්වාක්ඛාත ගුණය ම නේද? පින්වත, අවිද්‍යාවේ ලෝකය සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ගෙන්, කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් සහ සංස්කාරයන්ගේ ම පිහිටෙන් යළි ගොඩනැගෙමින්, තෘෂ්ණාවට ප්‍රිය ලෝකයාට සැප සහ දුකේ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ලෝකයේ සත්‍යය ස්වභාවයට ඔබ අලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ ඇත්ත, සිහිනුවණින් අවබෝධ කොට ගන්න.
පින්වත, දුකට එකම හේතුව තෘෂ්ණාවයි. පින්වත, දිට්වා කුණාටුව හේතුවෙන් සමස්ත ජාතිය ම වෙළා ගත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, පින්වත් ඔබත් හොඳ හැටි අත්දැක්කා නේද? පින්වත, ස්වභාව ධර්මය අහිංසකයි. පින්වත, වැස්සට, සුළඟට, ගංගාවට, වැවට, කඳු යායට බණින්න එපා. පින්වත, දුකට හේතුව වැස්ස හෝ සුළඟ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. පින්වත, දිට්වා කුණාටුවට එකම ධර්මානුකූල හේතුව, පින්වත් මනුෂ්‍ය අපේ අසීමිත කෙළ හැලෙන ‘තෘෂ්ණාව’ මයි. පින්වත, අපේ ම තෘෂ්ණාව හේතුවෙන් පරිසරය විනාශ කරලා, කැලෑ එළිපෙහෙළි කරලා, මහා ගල් කඳු විනාශ කරලා, පස් කඳු, වැලි කඳු විනාශ කරලා, මහ පොළොව කොන්ක්‍රීට් ගොඩක් බවට පත් කරලා, මුදල් පස්සේ දිවීමයි, බාහිර සතර මහා ධාතුවේ අසීමිත කිපීමට ධර්මානුකූල හේතුව වෙන්නේ. පින්වත් බලධාරීන් සිදු වූ විනාශයෙන් යළි නැගී සිටීමට රුපියල් කෝටි ගණනින් ආධාර, පින්වත් අසරණ ජනතාවට බෙදා දෙනවා සේ ම, යළි පාරවල්, පාලම්, බෝක්කු, නිවාස ගොඩනගනවා සේ ම, මෙම වියදම් කරන මහා ධනස්කන්ධයෙන් සමස්ත ජාතියට පෙරළා ප්‍රයෝජනයක් ලැබෙන්න නම්, කරුණාකර ජාතිය ම තෘෂ්ණාව අවම කොට ගැනීමේ ක්‍රියාන්විතයකට යොමු කිරීමට දක්‍ෂ විය යුතුව තිබෙනවා. පින්වත, එය කළ හැක්කේ සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් ජාතික තීන්දු ගැනීමෙන් මිස, අසමගියෙන් බෙදී වෙන් වෙලා නම් නොවේ. පින්වත, දිට්වා කුණාටුවෙන් පසුව අපි මේ යන්නේත් ඒක පාක්‍ෂිකව, දුකට හේතු වන තෘෂ්ණාව දිශාවට ම නේද? පින්වත, පරිසරය අහිංසකයි. එම අහිංසකයාට චෝදනා කරන්න නම් එපා. විනාශයේ මුල තෘෂ්ණාව හඳුනා ගන්න.
පින්වත, හරිම නිහඬ රාත්‍රියක්. ඔරලෝසුවේ තත්පර කටුව දුවන ශබ්දය වේගවත්ව ඇසෙනවා. පින්වත, ලෝකය ඉදිරියේ භික්ෂුවගේ ජීවිතය තාවකාලිකව නැවතිලා. පින්වත, නාසයට දැනෙන සියුම් ආශ්වාස ප්‍රශ්වාසය හොඳට පැහැදිලියි. පින්වත, ආශ්වාස ප්‍රශ්වාසයේ ඇති වීම සහ නැති වීම, කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ගැන කමටහන් කියලා දෙනවා. පින්වත, මේ විවේකී රාත්‍රියේ භික්ෂුවගේ ජීවිතය පවතින්නේ, “ධර්මයෝ, ධර්මයන් ම වඩත්” ය කියන නිසල අර්ථයෝ තුළයි. පින්වත, අකුසල් සංස්කාරයෝ පාරිසරික විපත් තුළිනුත්, මහ මඟ අනතුරු තුළිනුත්, හරි හරියට විපාක දෙන වටපිටාවකයි අපි ජීවත් වෙන්නේ. පින්වත, අපි ආරක්‍ෂා නොවී කෙසේ නම් අපි අනුන්ව ආරක්‍ෂා කරන්න ද? පින්වත, අපේ කටේ පිහිටි කෙටේරියෙන් මොනතරම් ආකර්ෂණීය වචන කඩා හැලුණත්, අපේ චේතනාවෝ පාරිශුද්ධ නම් පමණක් මයි, චේතනාවෝ හේතුවෙන් සකස් වන දැනීම් පාරිශුද්ධ වෙන්නේ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ජීවත් වෙන්නා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව විසින් ම ආරක්‍ෂා කරනවා. මෛත්‍රිය තුළ ජීවත් වෙන්නා, මෛත්‍රියේ ආනිශංසයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. ශීලය තුළ ජීවත් වෙන්නා, ශීලයේ ආනිශංසයෝ සහ ත්‍යාගය තුළ ජීවත් වෙන්නා, ත්‍යාගයේ ආනිශංසයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. පින්වත, සතිමත්, සමාධිමත් ජීවිතයක් ගත කරන්නා, උතුම් සප්ත බොජ්ඣංගයෝ විසින් ම ආරක්‍ෂා කරනවා. පින්වත, ඥාන දර්ශන සහ විමුක්තිය තුළ ජීවත් වෙන්නා, උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ විසින් ම ආරක්‍ෂා කොට දෙනවා. පින්වත, අනාරක්‍ෂිත සංස්කාර ලෝකය තුළ මේ කිසිවක් ම නොමැති පින්වතා, සකලවිධ අනතුරුවලට විවෘතවයි ජීවත් වෙන්නේ. පින්වත, තමන් අනාරක්‍ෂිත නම්, අනුන්ව කෙසේ ආරක්‍ෂා කරන්න ද? පින්වත, අපි මිරිඟුවක් පසුපස්සේ තවමත් අකුසල් පිපාසයට දිය සොයනවා.
පින්වත, ඔබේ ජීවිතය යැයි කියන්නේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ලෝකය යැයි පනවන්නේ ඔබේ ජීවිතයටයි. පින්වත, ඔබේ ජීවිතය නමැති ලෝකය තුළ අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා ම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. පින්වත, ඔබේ ජීවිතය නමැති ලෝකය තුළ, ඔබේ සළායතනයෝ මුල්කොට ගෙන ඵස්සයේ පටන් විඤ්ඤාණයෝ දක්වා ම සක්‍රියව පංච උපාදානස්කන්ධ ධර්මයෝ පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මකයි. පින්වත, මිථ්‍යා දෘෂ්ටිකභාවය වගේ ම උතුම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝ ම, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ජීවිතවලට පොදු ධර්මතාවයෝ වෙනවා. පින්වත, අවිද්‍යාවේ කාර්යභාරය වන්නේ ජීවිතයත්, ධර්මයත් දෙකක් කොට පෙන්වීමයි. පින්වත, ජීවිතයත්, ධර්මයත් දෙකක් කොට පෙන්වීම උදෙසා පංච නීවරණයෝ අවිද්‍යාවට අත දිග හැර වියදම් කරනවා. පින්වත, තම ජීවිතය තුළින් ධර්මය නොදකින්නා, තම ජීවිතය භාර දෙන්නේ මමත්වයේ දැඩිභාවයට. ඔහු ජීවිතය ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි දකිනවා. පින්වත, ඔහු තම ජීවිතය නමැති ධර්මය, අනුවණභාවයෙන් අධර්මයට විවෘත කොට දෙනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් සළායතනයන්ගේ ඵස්සයෙන් පණ ලබන ඔබේ ජීවිතය අධර්මයට විවෘත කොට දෙන්න එපා. පින්වත, අපේ ජීවිතවල ක්‍රියාත්මක වන දුර්වල පංචශීලය අපේ ම සතුටු කඳුළු, ඛේදවාචකයන් බවට පෙරළනවා. පින්වත, මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය හිංසනය සිදු කරන්න එපා. තිරිසන් සත්ත්ව ඝාතනය, සත්ත්ව හිංසනය ඔබ සිදු කරන්න එපා. පින්වත් ඔබට පෙනෙනවා නේද මහා කළු ගල් පෙරළිලා, පස් කඳු නාය ගිහිල්ලා, අහිංසක ජීවිත මහ පොළොවේ මිහිදන් වන වියරු අකුසල් සංස්කාර මායාවේ තරම. පින්වත, මේවා පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල සිදු කළ ප්‍රාණඝාත අකුසල් විපාකයෝ වෙන්න පුළුවන්. පින්වත, ඔබේ ජීවිතය තුළින් ධර්මය දකින්න, එවිටයි ඔබ, ඔබේ ජීවිතය තුළින් ධර්මයෝ, ධර්මයන් ම වඩත් යන ධර්මතාවය, විවෘත කොට ගත්තා වෙන්නේ.
පින්වත, උදේ පටන් රාත්‍රී වෙනකම් කාර්යාලයේ, ව්‍යාපාරයේ, වෙහෙස මහන්සි වෙලා ගෙදර එනවා යැයි කියන්නේ, ගොඩාක් ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ තම අකුසල් සංස්කාර ගිණුමට රැස්කොට ගෙන එනවාය කියන කාරණයයි. පින්වත, මහ පාරේ මාර්ග තදබදයක දී, පොදු ප්‍රවාහන සේවයේ දී සිදු වන කාලය කා දැමීමේ දී අපි තුළ මොනතරම් නම් අකුසල් මූලයෝ ඇති වෙනවා ද? පින්වත, සංස්කාර ලෝකයේ ස්වභාවය කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත, තෘෂ්ණාවේ ස්වභාවය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ ස්වභාවයයි. පින්වත, අකුසල් මූලයන් ජයග්‍රාහීව ක්‍රියාත්මක වන ලෝකය, හරි තැන හරියට ම ස්ථානගත වී තිබෙනවා. පින්වත, අවිද්‍යාවේ ජවයෙන් තෘෂ්ණාවේ විපරිතයෙන් මොනවට පෝෂණය වන ලෝකය තුළ, ඔබ සතිමත් වෙන්න. පින්වත, මහ පාර, ව්‍යාපාරය, කාර්යාලය ඔබට අකුසලයේ වෙහෙසක් වුවත්, එම අකුසලයේ වෙහෙසට කුසලයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට ඔබ අදක්‍ෂයෙක් නම්, කරුණාකර ඔබේ පාලනය යටතේ පවතින ඔබේ නිවස, ඔබේ පවුල් ජීවිතය පින වැඩෙන පන්සලක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, රාජකාරී ජීවිතයේ දී ඔබ ලබන අකුසලයේ පීඩනය සවසට ගෙදර අරගෙන එන්න එපා. පින්වත, අඹුදරුවන් සමග නිවසේ ගත කරන කාලය ප්‍රිය වචන, මෛත්‍රිය, ඉවසීම පුහුණු කරන කාලයක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ඉවසීම පුහුණු කරන උපේක්‍ෂාසහගත ජීවිතය ගොඩාක් වටිනවා. එක්තරා බිරිඳක් භික්ෂුවට කියනවා, තේ කෝප්පය ප්‍රමාද වුණොත්, තම මහත්මයා ආවේගශීලීභාවයෙන් අතට දුන්න තේ කෝප්පය පොළොවේ ගසනවාය කියලා. මහත්මයාගේ කේන්තිය සංසිඳුන ම, “ඔයා මාත් එක්ක තරහ ද?” කියලා බිරිඳගෙන් අහනව ලු. පින්වත, අහිංසක අපගේ නොඉවසීම අපිට යක්‍ෂ ගතිගුණ ලබලා දෙනවා.
පින්වත, ඉවසීම පුහුණු කිරීම තුළින් අපි ලබන ලොකුම ප්‍රතිලාභය තමයි නීරෝගීභාවය. පින්වත, ඇලීම් සහ ගැටීම් අවම උපේක්‍ෂාසහගත ජීවිතයක් නීරෝගීභාවයට සහ දීර්ඝායුෂ ලබන්න අදාළ යහපත් සංස්කාරයෝ අවදි කොට දෙනවා. පින්වත, රාහුල මහෝත්තමයන් වහන්සේටත් අවුරුදු පහස්පහේ සීමාව ඉක්වමා යන්න නීරෝගීභාවය සහ ආයුෂ නොතිබූ බව ධර්මයේ සඳහන් වෙනවා. ඒවා මේ ජීවිතයේ දී නොව අතීත සාංසාරික අකුසල් සංස්කාරයන්ගේ විපාකයෝයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේට අවුරුදු අසූවේ සීමාව ඉක්මවා යන්න අතීත සංස්කාරයෝ අවස්ථාව ලබලා දුන්නේ නැහැ. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ අපිට පූර්වාදර්ශීව කියලා දෙන්නේ, වර්තමානයේ අපි ඇති කොට ගන්නා ඉවසීමේ ගුණය මෙලොව පමණක් නොව, අනාගත පටිච්චසමුප්පන්න ජීවිතවල ද නීරෝගීභාවය සහ ආයුෂය උදෙසා උපකාරක ධර්මයන් සකස් කොට දෙනවාය කියන කාරණයයි. පින්වත, ඉවසීමෙන් තොර, ඇලීම් සහ ගැටීම් බහුල ජීවිත නිරතුරුව ම ආවේගශීලීභාවයට පත් වෙනවා ඔබ දැක තිබෙනවා ද? පින්වත, ඔබ ආවේගශීලීභාවයට පත් වෙද්දී, ශරීරයේ රුධිර ධාතුවේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා, රුධිර ධාතුව අපිරිසිදු වෙනවා, හෘදවස්තුවේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වෙනවා. පින්වත, නොඉවසීමෙන් හට ගන්නා ආවේගශීලීභාවය අපේ ස්වාභාවික ශරීර ක්‍රියාවලිය අස්වාභාවිකභාවයට පත් කරනවා. පින්වත, කේන්තිය, පළිගැනීම, පරුෂ වචන, ප්‍රියයන්ගෙන් වෙන් වීම ආවේගශීලීභාවයේ ඥාති පිරිවර වෙනවා. පින්වත, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, රුධිරය විෂ වීමෙන් හටගන්නා පිළිකා වැනි රෝග ආවේගශීලීභාවයේ ප්‍රිය මිතුරන් වෙනවා. පින්වත, ඔබේ සැපය අහිමි කොට දමන සැබෑම සතුරා ඔබ තුළින් ම හඳුනා ගන්න දක්‍ෂ වෙන්න. ඔහු වෙන කවුරුවත් ම නොව, ඔබේ ම නොඉවසීම හේතුවෙන් හටගන්නා ආවේගශීලීභාවයයි.
No comments:
Post a Comment