Sunday, August 23, 2026

කතාව දිග්ගැසුනොත්...

2012/06/10

පුංචි කතා, ලොකු කතා කියා ස්‌වභාවයන් දෙකක්‌ ලෝකයේ පවතී. පුංචි වුවද ලොකු වුවද කතාව සකස්‌වන්නේ ඇති වී නැතිවී යන සිතක්‌ හේතුවෙන්ය. එම සිතට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මත කතාව පුංචි හෝ ලොකු බවට පත්වෙයි. එක සිතක්‌ නිසා මනුෂ්‍යයෙන් සිනාසෙයි, හඬයි, අපේක්‍ෂා සහගත වෙයි. සමහරවිට තමා විසින්ම තමාගේ ජීවිතය සියදිවි නසාගැනීම දක්‌වා, ඇති වූ සිත තන්හාවෙන් තෙත්වූ නිසා තව තව සිත් පරම්පරාවන් ඇති කරදෙයි. සිනාසීම පුංචි කතාවකි. දිවි නසාගැනීම ලොකු කතාවකි. දෙකටම මූලාරම්භය වූයේ ඇති වී නැතිව ගිය සිතකි. ඒ සිතට ඇලීම නිසා හටගත් සිත් පරම්පරාවකිනි. සකස්‌වුණ සිතට ඇති වුණ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවය මත කතාව ලොකු, කුඩා විය. මනුෂ්‍යයෙක්‌ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින්නේද, සුගතිවල සැප විඳින්නේද තෘෂ්ණාවෙන් තෙත්වුණු සිතක්‌ නිසාය.

බලන්න අවිද්‍යාවෙන් තෙත්වුණ එක සිතක්‌ කල්ප ගණන් ඔබට දුක උරුම කරන දිග කතාවක්‌, ලොකු කතාවක්‌ කියන්න ඔබව රැගෙන යන හැටි.

ඔය සතර අපායේ ජීවත්වන අනන්ත දුක්‌ විඳින සත්වයන් ඒ දුකට වැටුණේ කවදාහරි දවසක තමා තුළ ඇති වුණ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තෙත්වුණ සිතක්‌ නිසාය. එසේනම් මෙවැනි අතිභයංකර දුකක්‌ කල්ප ගණන් දිගට ඇදෙමින් ගෙවන්නේ තමන්ට අයත් නොමැති, ආගන්තුක, ඇතිව නැතිව ගිය රාග, ද්වේශ, මෝහයෙන් තෙත් වූ සිතක්‌ නිසා වීම අභාග්‍යයකි. පුංචි සිතක්‌ ඇති කළ දිග කතාවකි එය.

නමුත් ඔබ අතහැරීම, සිතේ අනිත්‍ය බව දකින්නට පුරුදු කර තිබී, ඇලීම ගැටීම සහිත සිත ඔබව දිගකතා ගොතන සංචාරකයෙක්‌ කරවන බවට ඔබ තු=ළ අවබෝධාත්මක සංඥාවක්‌ වඩාගෙන තිබුණා නම් හෝ ලෝකයෙන් දුකෙන් මිදෙනවා යන්න අවංක සහගත විශ්වාසයකින් ඔබ නිවීමේ මාර්ගයට අවතීර්ණව සිටියා නම් යම් තීරණාත්මක මොහොතක "ඥාන දර්ශනයන් සඵල කරමින්, ඇති වී නැති වී යන එක සිතක්‌ ඔබට නිවීමේ ආශ්චර්යමත් සැහැල්ලුවත්, නිදහසත් ඔබට උදාකරනු ඇත.

කතාව නිමාකොට ඔබව ලෝකයෙන් නිවාදමන්නේද සිතක්‌ සේම, ලෝකයාට විවෘත කොට ලොකු කතා ගොතන්නේ ද ඔය ඔබගේ ආගන්තුකයාමය. සිහි නුවණින් ධර්ම විනය දෙක තුළ ජීවත්වෙමින් සතිය සහ සිහිය ඇති කරගනිමින් මේ ආගන්තුකයා හඳුනාගෙන සැනසීම ලබන්න ඔබ උත්සාහගන්න. 

සමාජය දෙස බැලීමේදී අපි දකින සියල්ලම ද දිග කතාය. හැම කතාවක්‌ම දිග්ගැසීමට හේතුව අවිද්‍යාව ශක්‌තිමත්වීමය. තරුණයෙක්‌ තරුණියක්‌ දෙස බැලුවොත් එය අවසන් වන්නේ විවාහයකිනි. දරු මුණුබුරන්ගෙනි. පවුල නමැති බන්ධනයෙනි. ඒවා උපාදානය කරගෙන මියගිය පසු සතර අපායෙනි. එසේ නොවන්නේ නම් සුගතියෙනි.

කෙනෙක්‌ තවකෙනෙක්‌ දෙස ඔරවා බැලුවහොත්, ශරීරයේ හැපුනහොත්, අත්වැරැද්දක්‌ වුණොත් එය අවසන්වන්නේ මිනීමරුමට වසර ගණන් සිර දඬුවම් විඳීමෙනි. කල්ප ගණන් අපාදුක්‌ විඳීමෙනි. සිංහල පිංවතෙක්‌ ද්‍රවිඩ පිංවතකුගේ ඇඟේ හැපුනහොත්, නැතිනම් ද්‍රවිඩ පිංවතෙක්‌ සිංහල පිංවතකුගේ ඇඟේ හැපීම අවසන් වන්නේ ජාතිSන් දෙකක්‌ අතර මහා යුද්aධයකිනි. විනාශයකිනි. මගේ රට, මගේ ජාතිය කියන උපාදානය නිසා සකස්‌ වුණ මහා වෛරයකිනි.

රට නිසා හෝ ජාතිය නිසා හෝ ඇති වූයේ වෛරය නම් ප්‍රතිඵලය දුකක්‌මය. මියගියේ වෛර සිතකින්නම් උරුමය සතර අපායමය. 

යම් පිංවතෙක්‌ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිවුවොත්, එම පැවිද්ද අවසන් වන්නේ දැනුම, කීර්තිය, ලාභ සත්කාර, නිසාය. පන්සල, කැලය, කුටිය, ශීලය, සමාධිය, මාර්ගඵල, රේඩියෝව, රූපවාහිනිය, ධර්ම ප්‍රචාරය.... මේවා සියල්ල මගේ කරගෙනය. කොටින්ම ස්‌වභාවධර්මයේ ස්‌වභාවය අර්ථ කර, අවබෝධ කර වදාළ සම්බුද්ධ දේශනය ද ඔහු ඔහුගේ කොටගනී. මේ පොතේ සටහන් කර ඇති එකම කරුණක්‌වත් මේ සටහන් තබන භික්‍ෂුවට අයත් දෙයක්‌ නොවේ. භික්‌ෂුව අතින් සිදුවූයේa ලෝකයේ ස්‌වභාවය එම ස්‌වභාවය පිළිබඳ අවබෝධය ලබමින් ලත් අත්දැකීම් සටහන් තැබීම පමණක්‌මය.

භික්‍ෂුවට මේ කරුණු කිසිවක්‌ අයිති නැත. ඒවා අයිති ලෝකයටයි. ලෝකය අයිති දුකටය. අනිත්‍යයටය. මේ කරුණු මගේ කරගතහොත් ඒ ඔහු අයිතිකරගන්නේ ලෝකයයි. දුකයි. අනිත්‍යයි. 

බලන්නකෝ ඇති වී නැතිවී යන සිතක්‌ සකස්‌කර දුන් සිත් පරම්පරාවක දිග කතාවල ස්‌වභාවය. මේ හැම දිග කතාවක්‌ම පුංචි කතාවක්‌ බවට, නිවුණ කාතාවක්‌ බවට පත්කරගැනීමට හැකියාව තිබියදී ඇතිවන සිතට ඇලීම, ගැටීම හේතුවෙන් සිත තෘෂ්ණාවෙන් තෙත් කිරීම හේතුවෙන්, සිත මගේ කරගැනීම හේතුවෙන් අත්හැරීමෙන් නිවීම දෙසට යැම නොව, අල්ලාගැනීමෙන් දිගකතා බවට පරිවර්තනය කරගන්නවා. අවිද්‍යාවෙන් මිදී ලොක්‌යෙන් මිදීමට ඔබත් වීර්යය වඩන්න.

දුකට හේතු වන තෘෂ්ණාවේ බර සැහැල්ලු කර ගන්න

2026 අගෝස්තු 16

පින්වත, සුන්දර වස්සානයේ තුන්වන සතිය උදා වෙලා. පින්වත, මේ රාත්‍රියේ කැලැ රොදේ ගස් අතරින් එබිකම් කරන ඇසළ සඳවතියගේ නවයොවුන් ප්‍රභාස්වරභාවය හොඳටෝම හීන වෙලා. පින්වත, ඇය තව ටික දවසකින් කළුවර සඳක් ම වේවි. පින්වත, රූපයේ කෙටි ආස්වාදය සහ රූපයේ දීර්ඝ ආදීනවයෝ ගැන සඳවතිය මොනතරම් ලස්සන පාඩමක් අපිට කියලා දෙනවා ද? පින්වත, කළුවර දිශාවට වයසට යන සඳවතිය අපි හැමෝටම හරිම පූර්වාදර්ශීයි. පින්වත, ඇය කළුවර දිශාවට වයසට යද්දී, තම වයසට යන රූපයට කෘත්‍රිම රූපලාවණ්‍යයෝ දමාගෙන ලෝකයා රවටන්නේ නැහැ. පින්වත, ඇය වයසට යද්දී, තරුණ වෙන්න හදන්නෙත් නැහැ. පින්වත, ඇය වරෙක ප්‍රභාස්වර නවයොවුන් සඳක් වෙලා, ඉන් ඉක්බිති කළුවර සඳක් වෙලා, ‘රූපයේ මායාව’ ගැන අපිට කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය යැයි අපි දකින්නේ, සතර මහා ධාතුවෙන් සැදි රූපයෝ මයි. පින්වත, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා රූපයේ ස්වභාවය ජරා, ව්‍යාධි, මරණයෝ මයි. පින්වත, වස්සානයට පෙර අවසාන ධර්ම දේශනාවේ දී භික්ෂුවට දහස්කඩ සිවුරක් පූජා කළා. භික්ෂුව එම චීවරය සංඝයාට පූජා කළා. පින්වත, භික්ෂුව ධර්ම දේශනාවලට පොරවන සිවුර මාස තුනකින්වත් පඬු පොවලා නැහැ. පින්වත, ඒත් එම චීවරය පැහැයෙන් දුර්වල වුවත් චීවරයේ අරමුණු භික්ෂුවට සාක්ෂාත් කොට දෙනවා. පින්වත, අපි රූපයට රැවටෙන්න හෝ රවට්වන්න නරකයි. පින්වත, චීවරය වේවා රූපයට රැවටුණොත්, අපි වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන සියලු ධර්මයන්ට ම රැවටුණා වෙනවා. පින්වත, රූපයට, රූපයේ ස්වභාවයෙන් තිබෙන්නට දෙන්න, එවිට ඵස්සයට විවේකී නිදහසක් ලැබෙනවා. පින්වත, මේ රාත්‍රිය තුළ නිදහස නැහැ. පින්වත, මේ රාත්‍රියට නොබැඳුණ ඵස්සය තුළයි, ‘නිදහසේ උල්පත’ තිබෙන්නේ.


පින්වත, පින යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන්ට. පින්වත, පිනේ කෙටි ආස්වාදයක් තිබෙනවා වගේ ම, පිනේ දීර්ඝ ආදීනවයකුත් තිබෙනවා. පින්වත, පින උතුම් සම්මා දිට්ඨියෙන් ඔබ පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණා වූ පින, ඔබට සම්මා ඥාන, සම්මා විමුක්තිය දිශාවට ම උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “මනුෂ්‍යයාටත්, දෙවියාටත්, පැවිදි අපිටත් පින අවශ්‍යයි” කියලා. පින්වත, පිනට තවත් නමක් කිව්වොත් වර්ණය, සැපය, බලය යැයි කියන්න පුළුවන්. පින්වත, පින දුකෙන් පිරුණ පංච උපාදානස්කන්ධ ලෝකයේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලට යටත් මහා බලවතා වෙනවා. පින්වත, පින පංච උපාදානස්කන්ධ ලෝකයේ මහා බලවතා වුණත්, කරුණාකර පිනට රැවටෙන්න එපා. පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන් අපේ ජීවිත තුළින් දුර්වල වෙද්දී, අපි පිනට රැවටෙනවා. පින්වත, පින හේතුඵල ධර්මයක් හැටියට නොදකින පින්වතා, පින ‘මගේ’ කොට දකිනවා. පින ‘මම’ යැයි දකිනවා. පින්වත, පින මමත්වයේ දැඩිභාවයෙන් බර කොට ගත්තොත් පිනට නිවන් මඟේ පෙරට යන්න බැහැ. පින්වත, පැවිදි අපිත් පිනට රැවටෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. පින්වත, පැවිදි අපි පිනට රැවටුණොත් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ බල කණු දෙදරා යනවා. පින්වත, සම්මා ඥානයෝ මෝදු වෙනකම් පැවිදි අපි ඉහත අනතුරේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්.


පින්වත, මෙම රාත්‍රියේ පරිසරයේ සුළඟ ටිකක් වේගවත් වෙලා. පින්වත, සුළඟට ගස්කොළන් ඇඹරෙන හඬ, රාත්‍රී නිහඬභාවයට අහිංසක අභියෝගයක් කරනවා. පින්වත, සතර මහා ධාතුවේ කිපීම්, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් සංසිඳුවා ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, මේ උදා වෙන්නේ වස්සානයේ තුන්වැනි සතිය. පින්වත, භික්ෂුව වස් සමාදන්ව වැඩසිටින කැලෑ මායිමේ පිහිටි දුප්පත් ගම්මානයේ පුංචි කුටිය භික්ෂුවට මහා නිදහසක් ලබලා දෙනවා. පින්වත, ඵස්සය ළඟ තෘෂ්ණාවට නැවතීමක් මොහොතකට හෝ තැබුවා ම, නිදහස මහා නිදහසක් වෙනවා. පින්වත, විවේකය ආර්ය විවේකයක් වෙනවා. පින්වත, නිදහස උදෙසා සටන් කරන්න, අරගල කරන්න එපා. පින්වත, අරගල කොට ලබන නිදහස යළි මානසික සිර ගෙදරක් වෙනවා මයි. පින්වත, නිදහස අනුනගෙන් නොඉල්ලා, ඔබ තුළින් ඔබ මතු කොට ගන්න. පින්වත, භික්ෂුව මේ මොහොතේ ලබන විවේකී නිදහස මාරයාටවත් උදුරා ගන්න බැහැ. පින්වත, භික්ෂුවටත් අවශ්‍ය නම් තිබුණා, නගරයේ වඩාත් සුවපහසු, සිවුපසය බහුල තැනක වස් සමාදන් වෙන්න. පින්වත, එවැනි ආරාධනාවන් අඩුවකින් තොරව භික්ෂුවට ලැබුණා. පින්වත, භික්ෂුව, භික්ෂුවගේ පිනට රැවටෙන්නේ නැහැ. පින්වත, භික්ෂුව අනුනගේ පිනට රැවටෙන්නෙත් නැහැ. පින්වත, භික්ෂුව මෙතෙක් සෑම වස්සානයක් ම උපයෝගී කොට ගත්තේ භික්ෂුවගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කොට ගෙන, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වර්ණය, සැපය, බලය උදෙසා මයි. පින්වත, සුළඟේ රිද්මයට පරිසරය සින්දු කියන මේ යෞවන රාත්‍රියේ, භික්ෂුවගේ හෘද සාක්‍ෂිය විවෘත වෙලා තිබෙන්නේ භික්ෂුව උදෙසා නොව, බුදුරජාණන් වහන්සේගේ පූර්වාදර්ශී ශ්‍රාවකත්වය උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක අපි පිනේ ඇස්බැන්දුම් මායාවන්ට නොරැවටී, ගුණාත්මකභාවයට පත් වුණොත් පමණක් මයි, ගිහි පින්වත් ඔබට පින් සිදු කොට ගන්න, පුණ්‍ය කෙතක් බවට පැවිදි අපිට පත් විය හැක්කේ. පින්වත, පැවිදි අපි පිනේ ආස්වාදයට යට වුණොත්, පැවිදි අපේ පුණ්‍ය කෙත පෙරළා නිසරු කෙතක් බවට ම දුර්වල වෙලා යනවා.


පින්වත, උතුම් සංඝ සමාජයට, නිරාගමික පින්වතුන්ලා චෝදනා කරනවා, විවේචනය කරනවා යැයි ගැටෙන සිත් ඇති කොට ගන්නේ නැතිව, අපි සමාජය ඉදිරියේ දිගහැරෙන අසත්පුරුෂ ධර්මයන් නුවණින් තේරුම් අරගෙන, අකුසල් යටපත් කොට ගෙන කුසල් ධර්මයන්ගෙන් පැවිදි අපි නැගී සිටිමු. පින්වත, මේ උදා වූ වස්සානය ඊට සුදුසු ම කාලයයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයට අමතරව, පැවිදි අපේ චාරිකාවන් සීමා කොට පැනවූ වස් ශීලයේ අයෝමය කුසල් ශක්තිය ශාසන අභියෝගයන්ට ඔරොත්තු දෙන මහා ආරක්‍ෂිත වැටක් වෙනවා. පින්වත, පැවිදි අපි සමාජයට පිහිටක් වෙන්න නම්, කොටින්ම සමාජයට පුණ්‍ය කෙතක් වෙන්න නම්, අපි, අපේ උතුම් පැවිදි ජීවිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් කොට ගන්න ඕනේ. පින්වත, දුකට හේතු වෙන ‘තෘෂ්ණාවේ බර’ සැහැල්ලු කොට ගන්න ඕනේ. පින්වත, උතුම් සංඝ සමාජයේ තෘෂ්ණාවේ බර සැහැල්ලු වෙද්දී, පැවිදි අපේ ජීවිතවල ශෝක, පරිදේවයන්ට ශක්තිමත්ව පවතින්න බැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට අනුනගෙන් සිදු වන වැරදිවලට භික්ෂුව කවදාකවත් අනුනට චෝදනා කරන්නේ නැහැ. පින්වත, විපාකයට පැමිණෙන භික්ෂුවගේ අතීත අකුසල්වල හිඩැස්, භික්ෂුව විදර්ශනාමය කුසලයෙන් මයි පුරවා ගන්නේ. පින්වත, උදා වූ මෙම වස්සානය සංඝ සමාජයට අකුසල් මැඩලන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පාරාදීසයක් ම විය යුතුයි. පින්වත, විපාකයට පැමිණෙන අකුසලයේ හිඩැස් වසා දමන කුසලයේ බල පවුරක් ම විය යුතුයි. පින්වත, තවත් මාස තුනකින් වස් පවාරණය සිදු කොට සමාජයට විවෘත විය යුත්තේ, ඊට මාස තුනකට පෙරාතුව වස් අධිෂ්ඨානය කළ භික්ෂුව හෝ සංඝයා නොව, අයෝමය කුසලයේ බල පවුරක් මයි. පින්වත, උතුම් සංඝ සමාජයට එල්ල වෙන අසත්පුරුෂ අභියෝගයෝ ජය ගත යුත්තේ සත්පුරුෂ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් මයි.


පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් පින් කරනවා. පින්වත, භික්ෂුව පින පෙරළා ආයෝජනය කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසා මයි. පින්වත, එවිට පින සම්මා ඥානයෝ සහ සම්මා විමුක්තිය දිශාවට පාවඩ එළනවා. පින්වත, භික්ෂුව මේ තබන සටහනත් උතුම් ධර්ම දානමය පිනක්. භික්ෂුව එම ධර්ම දානමය පින තුළින් “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින ධම්මානුපස්සනාව මෝදු කොට ගන්නවා. පින්වත, එවිට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පත්තර පිටුවෙන් අඩක් පුරා සටහන තිබුණත් එහි ‘තෘෂ්ණාවේ ලාටු’ නැහැ. පින්වත, තෘෂ්ණාවේ ලාටු ඵස්සයේ තැවරුවොත්, විඳීමේ රස නහර අවදි වෙන්නේ ආයාසයකින් තොරව මයි. පින්වත, මෙම ධර්ම සටහනේ සැබෑ අයිතිය තිබෙන්නේ අවිද්‍යාව හේතුවෙන් පටිච්චසමුප්පන්නව භික්ෂුව පුහුණු කළ අතීත සංස්කාරයන්ටයි. පින්වත, එම අතීත සංස්කාරයෝයි, භික්ෂුවට මෙම සටහන් තබන්න ‘දැනීම්’ සකස් කොට දෙන්නේ. පින්වත, ඉහත ධර්මානුකූල හේතුව නිසා ම, මෙම සටහන්වලට තිබෙන්නේ මිලක් නොව, පිනක් පමණක් මයි. පින්වත, අපි දක්‍ෂ විය යුතුයි, එම වියදම් වෙන පින, වියදම් නොවන, දුක විනිවිද පෙනෙන ආර්ය ධනයක් බවට පත් කොට ගන්න. පින්වත, මෙම සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යැයි ආර්ය ධනයන් හතරක් තිබෙනවා. පින්වත, දිට්ඨි විශුද්ධිය මුල්කොටගත් ආර්ය ධනයෝ, අපිට මඟ සහ නොමඟ පටලවන්නේ නැහැ. පින්වත, ආර්ය ධනයෝ කෙලෙස් ලෝකයට බරක් වුණාට, ආර්ය ධනයෝ දිට්ඨි විශුද්ධිය විකසිත වන ජීවිතවලට බරක් නැහැ. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ පංච උපාදානස්කන්ධන්ගේ අනිත්‍ය දැක්ම ආර්ය ධනයේ හේතුඵල ධර්මයෝ වෙනවා.

Saturday, August 15, 2026

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න


2012/01/08

ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?


වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද? ධර්මයේ අර්ථයන් අත්නොදකින් තැනැත්තා රාත්‍රි 12 ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේදීම ඔහු ප්‍රමාදීභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිව, විවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්න, පෙර ජීවිතයේදී මොනතරම් දානමය, ශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙද? අතීත භවයන්හිදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවය, මහේශාඛ්‍යභාවය, සෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාර වූ දානයට, ශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේද? මේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන්බිහිරි කරවන හඬ. ශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුශ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට.


ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරු කරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබපැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවාවූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.


මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නේ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නමැති මාර ධර්මයන්ට භියෙන්. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇති කරගත් ජන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ භියෙන් ඔබේ කළ්‍යාණමිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතුකොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකරගැනීම තුළින්.

මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට. මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක. සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇති වූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවක, ජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියා වූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ.


එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන් විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාන සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබව එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා. රතිඤ්ඥාව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබට ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයන්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තුකරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ජන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ජන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවක්‌. මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ජන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.


තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. ‘සතිය සිහිය අඩුයි. තරගයට වැටීමටයි කැමති. තරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණුකෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණ වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝ මනසිකාරය නැතිවීම හේතුවෙන් භවආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ කියලා. අන්‍යයන්ටත්, තමන්ටත් පීඩා ගෙනදෙන නොකළයුතු දෙය, දුරුකළයුතු දෙය, මගහැරයායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැතිනම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥානවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා.


රතිඤ්ඤාවක ආලෝකයට, හඬට මුළාවී එය විඳීමට යැමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්, නිරයේ දිලිසෙන ගිනිජාලාවකට වැටුනහොත් කවදා කෙළෙසනම් ගොඩඑන්නද? එදාට ඔබේ කඳුළු පිසදැමීමට, දුක නැති කිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුනොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාද? එහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරට, අඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්, අඳුරත් නිවැරදිව හඳුනාගෙන, ගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම ශිල්පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකරගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන්කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිත වලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා.


වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයද, මරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කරගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කථාකරන්නේත්, ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වාගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුනහොත් එය සතියකින්, මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමුනොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනිජාලාවකට වැටුණහොත් කල්පගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත.


පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේ, නිවසේ, බුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සFවයන්ට මෛත්‍රිය කොට වසර ආරම්භ කරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයන් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේවත්, ඇස්‌ අන්ධවන්නේවත්, අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්මතෘප්තිය, සතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවි. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශවී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවම, ජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සාහගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි ‘ජීවිතය ජයගත්තා’ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද?


සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම් වලින් ජීවිතය ජයගත්තාය කියන සමහර නායකයන්. ප්‍රභූ පුද්ගලයන් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත්කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාඛ්‍යභාවය නමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නමැති මුදලත්, පොලියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇති කරගන්නේ. ඔහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ජාව සකස්‌ කරගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමානව සිටිනවා. අප්‍රමාන පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොටගැනීමයි.


උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන් වහන්සේලාගේම, අරිහත් භික්‍ෂූන්වහන්සේලාගේම, මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්, මැද අග දෘෂ්ටි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත්වන ඔබ තර්ක විතර්ක කරමින්, හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ටිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණ වූ ලෝකය ඉතාමත් සරලකොට දේශනාකර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, ශීලානුස්‌සතිය, ත්‍යාගානුස්‌සතිය, දේවතානුස්‌සතිය, කියන මහානාම ශාක්‍යකුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත් කරගන්නවා නම්, ඒ අනුව ජීවත්වෙනවා නම්, සක්‌කාය දිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපරිම ජීවිත 7ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්, එතෙක්‌ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් සශ්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත.


මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භවගමනින් දුකම උරුමකොටගෙන සක්‌කාය දිට්‌ඨියේ කුණු හැව, මමත්වයේ දැඩිභාවය, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහිකරමින්ම, ගලවාදමන්න. අතහැරීමම පුරුදුකරමින්, හැකිතාක්‌ දන්දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌, දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යායුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුමකොට දෙන සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්චා, ශීලබ්බත පරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශිලබ්බත පරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න.

ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇති කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයකි. අතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. ‘මම’ දෙවැනි තැනට දමා, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල්තැනට ගන්න. එවිට ‘මම’ ධර්මයේ හිමිකරු, අයිතිකරු කියන මමත්වයේ දඩිභාවයේ නොව, මමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි’ කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇති කරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමඟ වටහාගැනීමට.

හිංසාවේ රාත්‍රිය

2012/01/01

අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.

වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතරඅපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොටවදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

ජාති, ජරා, ව්‍යධි, මරණ වලට තව තව ළංවන මොහොතේ 'සුබ නව වසරක්‌ වේවා' කියනවා වෙනුවට 'ලැබුවාවූ නව වසර, සතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා' කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාති, ජරා, ව්‍යධි, මරණවලින් මිදීමට ඔබ ගන්නාවූ උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැඡ්ජයි. අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. 'බුදුසරණයි' 'තෙරුවන් සරණයි' කියලා කියනවා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනානාකොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැඡ්ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණගියා යෑයි කියන්නෙ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි.

පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලයේ පරිපූර්ණත්වය, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම කියන අර්ථයන් මහා සංඝ රත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතක, අපි මොනතරම් දුර්වලතාවයකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළවූ ශ්‍රෙෂ්ඨ ශාස්‌තෘන් වහන්සේනමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයක්‌. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියලදෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ. ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවයක්‌ දකීනම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂවිය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජය, මනුෂ්‍යයා, ව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ.

ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවයන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍යවූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘතිභාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්, හේතුව සකස්‌වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නමැති 'පුංචි ලෝකයේ' හේතුඵල ධර්මතාවයන් නිසාම නේද? ඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවීයාවී.

ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයත්, නාමරූප නමැති මම කියන 'පුංචි ලෝකයත්', අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌ වුණ දේවල්ය. අර්ථය අනිත්‍යවූ කල්හී යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයිනම් ඔහු සොයන දෙය කවදාවත් හමුනොවනු ඇත. ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌ථභාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව.

මෙන්න මේ 'අඩු වැඩි භාවයකින් තොරව' කියන ස්‌වභාවය සමජයේ හුඟ දෙනකුගෙන් ගිලිහී ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්aධා, වීර්යය, සති, සමාධි කියන කාරණා ජීවිතයට එකතු කරගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්, සිහියෙන් යුතුව ජීවිතයට ගලපා ගතයුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්,මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිදීමට පත්වූ වසරක්‌ වේවිද? අර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේද? පිංවත් ඔබ ගත්තාවූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේද? දුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේද? එසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.

ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැගෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති.මේ රතිඤ්ඤා පිපුරුම් හඬේ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්aන මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩි වුණා මිසක්‌ අඩුවුනේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩු වෙන්ණේ නැහැ, වැඩි වෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවයන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා. ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ නිහඬභාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශිලයක්‌,සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාවය අත්විදින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේa භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාවය අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොදින් දැනෙනවා, පෙනෙනවා. පුපුරන රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවයත් සක්‌සුදක්‌ සේ පැහැදිලි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌, සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුණාවූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.

පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබ වෙන්න කියලා. ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීලභාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම්හඬේ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීලභාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන්වහන්සේ හඳුනන්නේ නැහැ. ගෝලයා ගුරුවරයා හඳුනන්නේ නැහැ. දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහිමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක්‌ උදාවෙන්නේ.

දෙසැම්බර් 31 වෙනිදා රත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌, ගල්, මනුශ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද?මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විදින්නාවු පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නාවූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටුපඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌ දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ පලිදැරීමක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය,වෛරය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ නොසතුටු පඬුරක්‌මය. ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන්සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත්තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ අසතුටු පඬුරක්‌මය.

ඉහත කොටස්‌ අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නාවූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ ෙච්තනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොව, අසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතුවනවා නියතය. බියෙන්, වෛරී ෙච්තනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තුකළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යාසහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා, දුක කරා රැගෙන යනවාද කියලා.

පන්සලේ ගන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌, සංයමයක්‌ එම හඬේ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්, අකුසලයන් සිදුවෙනවාද? කුඩා කිරිදරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝාන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුණ නිසයි, රතිඤ්ඤා පත්තුකිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. සිල්පද ආරක්‍ෂා කරන්න උත්සාහගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුණේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තුකිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් ෙච්තනාවක්‌ සකස්‌වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කරගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුරගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.

අවසාන මෙහෙයුම

2011/11/27

නිවන් අවබෝධය ලබාගැනීම සඳහා සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින්, තුන් සිව්රත්- පාත්‍රයත් දරමින් හුදෙකලාව නිවන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව ලෝකයේ ස්‌වභාවය අවබෝධකර ගැනීම, එසේ නොමැතිනම් නිවීම, එක ක්‍ෂණයකින් ලබන අත්දැකීමක්‌ නොවේ.

එය මෙහෙයුමක අවසාන ප්‍රතිඵලයයි.

මෙම මෙහෙයුමට යන කාලය ඔබගේ දක්‍ෂතාව මත, ඔබගේ අතහැරීම මත තීරණය වන්නකි. ඔබ අවසාන නිවන් මෙහෙයුමට අවතීර්ණ වන්නේ අවසාන තීරණයක්‌ අරගෙනය. එම තීරණය “එක්‌කෝ නිවීම, නැතිනම් මරණය” යන්නයි. මෙම අධිෂ්ඨානය ඔබ ගතයුතු වන්නේ අවංකවමය. එම බලාපොරොත්තු දෙකෙන් තොර වෙන බලාපොරොත්තුවක්‌ භික්‍ෂුවට නොමැත. තම අරමුණ සහ සටන ලෝකයාට සඟවමින් ක්‍රියාත්මක විය යුතුය. තුන් සිව්රත්, පිණ්‌ඩපාතයෙන් ලබාගන්නා ආහාර වේලත් හැර, පැරසිටමෝල් පෙත්තක්‌වත් කුටිය සමීපයේ නොමැත. “එක්‌කෝ නිවීම, එක්‌කෝ මරණය” නැමැති අධිෂ්ඨානය පැහැදිලිය. අවසන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව යුද බිමේ සටන් කරන සෙන්පතියෙක්‌ වැනිය. ඔහු සෙන්පතියෙක්‌ වුවද පසුපස සැඟවී සටන මෙහෙයවන්නෙක්‌ නොව, මහා සංග්‍රාමයක, සටන් පෙරමුණේම සිටින්නෙකි.

ඔබ මෙසේ සිතන්න. උතුරු – නැගෙනහිර යුද මෙහෙයුම් ඔබට මතකයි නේද? විවිධ නම් වලින් මෙම මෙහෙයුම් පටන් ගැනීමට පෙර, සේනාවිධායකයා කරන්නේ අවශ්‍ය යුද ආම්පන්න සියල්ල රැස්‌කරගන්නා එකයි. ආයුධ, ගුවන් යානා, බෝම්බ, කාලතුවක්‌කු, පාබල හමුදා, මිසයිල, යුද නැව් මේ සියල්ල යුද්ධය පටන්ගත් සැනින්, සුදුසු තැන්වල සුදුසු ආකාරයෙන් යොදවලා සතුරු බලමුළු බිඳ දැමීමයි කළේ. යුද ගුවන්යානයෙන් ගහන්න අවශ්‍ය තැන්වලට, යුද ගුවන් යානයෙන් ගහනවා. මිසයිලයෙන් ගහන්න අවශ්‍ය තැනට මිසයිලයෙන් ගහනවා. බෝම්බ අවශ්‍ය තැනට බෝම්බ දමනවා.

මේ වගේම තමයි මෙහෙයුමත්. අවසන් නිවන් මෙහෙයුමට අවතීර්ණවූවාට පසු ඔබ හරියටම සෙන්පතියෙක්‌ වගෙයි. පරම සතුරා වන ඔබව සසරට බැඳ දමන සිත ගැන අවධානයෙන්මයි සිටින්නේ. සිතට එන සෑම සිතිවිල්ලක්‌ම ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා. ඇතිවන සෑම සිතකටම ඔබ පහරදෙනවා. මොන ආයුධයෙන් ද ඔබ පහරදෙන්නේ. “අනිත්‍යය” කියන ආයුධයෙන්. අනිත්‍යයෙන් පහරදෙන විට ඔබ තුළ වැඩෙන්නේ හා අවබෝධවන්නේ සතර සතිපට්‌ඨානයයි. පටිච්ජසමුප්පාදයයි. චතුරාර්ය සත්‍යයයි. පංච උපාදානස්‌කන්ධයමයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. මේ ආයුධ ඔබ අමුතුවෙන් රැස්‌කළ යුතු නැහැ. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ මෙම ආයුධ ඔබ තුළ රැස්‌වෙනවා. ඔබ සමාධියේ ඉහළම තලයකදී, ප්‍රඥාව විසින් ලබාදෙන ඥාන දර්ශනයන් නුවණින් යුතුව දකිමින් අවබෝධය ලබනවා. සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකිනවා. විවෘත කොට බලනවා. අවබෝධය ලබනවා. ප්‍රඥාවෙන් මුවහත් වෙමින් ඉදිරියට යනවා. මේ වන විට ආහාර, නින්ද, කයේ පහසුව ආදී මේ අවශ්‍යතා ඔබගෙන් ගිලිහිලා. ඔබ “එක්‌කෝ නිවීම. නැතිනම් මරණය” කියන අධිෂ්ඨානය කරාම යනවා. නිවන් මෙහෙයුම දැඩිව ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී, උදය කාලයට. නින්ද එන්නේ නැහැ. නින්දත්, නොනින්දත් අතර ස්‌වභාවයක්‌ තිබෙන්නේ. ඇවිදිමින්, හිඳගනිමින්, සැතපෙමින්… මේ ආදී සෑම ඉරියව්වකදීම සිත තම පාලනයෙන් ඉවතට යන්න දෙන්නේ නැහැ.

මේ වන විට මාරයා විවිධ උපක්‍රම යොදනවා. තමා ගිහි ජීවිතයේදී ආශා කළ රූප,රස,හැඩ රුව මවලා පෙන්නනවා. සුරුපී රූප කාය වල්, බ්‍රහ්ම සංඥා.. මහා රාත්‍රියේ සිතට ගේනවා. ඒත් දැන් ඔබ දක්‍ෂයි මාරයා හඳුනාගන්න. ඔබ මෙහිදී මාරයා රැගෙන එන රූප “අසුභය” නැමැති ආයුධයෙන් සුනුවිසුණු කර දමනවා.

අවසාන මෙහෙයුමේදී මාරයා ඔබට ඔබ ආසා කළ කාන්තා රුවක්‌ සිහිගන්වනවා යැයි සිතන්න. සමහරවිට ඇය සුරූපී නිළියක්‌ විය හැකියි. එවිට ඔබ එම රූපයට මෙහෙම කරනවා. මනසින් ඇයව නිරුවත් කරනවා. ඇයගේ ශරීරය කපාගෙන, විනිවිදයමින් මනසින් එය විවෘත කරනවා. ඇගේ ශරීරය තුළ තිබෙන සම්, මස්‌, බොකු, බඩවැල්, අසුචි, මුත්‍ර, රුධිරය, සෙම්, සොටු, වමනය, මනසින් පොලිතින් උරයක දමා ඇගේ ඇටසැකිල්ල මත එල්ලනවා. මෙසේ එල්ලා ඇයව මනසින් ඇවිද්දවනවා. පෘථග්ජන සිත කාමයට ගාල්කරන සුරුපී රූපයක යථාර්ථය හොඳින් දකිමින් ඇටසැකිල්ල තව තවත් මනසින් ඇවිද්දවනවා. මාරයාව කම්පා කරවනවා. මේ වන විට ඔබට අට්‌ඨික සංඥාව හොඳින් අවබෝධයෙන් වැටහෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඕනෑම රූපයක්‌ අට්‌ඨික සංඥාවෙන් දකින්න. එනිසා ලෝකයේ සුරුපීම රූපය සිතට අවාද, එය අත හරින ස්‌වභාවයේ ඔබ සිටිනවා. මේ වන විට මාරයා දන්නවා ඔහුට ඔබව අතහැරෙන්නයි යන්නේ කියලා.

ඔබ ගිහි ජීවිතය තුළ සිටියදී ඔබ ප්‍රිය කළ මනුෂ්‍ය ලෝකයේ ස්‌වභාවයන් පිළිබඳ රූප දැන් ඔබේ සිතට එනවා. ඔබ මේ සිතිවිලි විවෘතකර අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට මෙහෙම සිතක්‌ ඇතිවන්න පුළුවන්. මේ රටේ පාලකයා වුණොත් මහා සැපයක්‌ බව. ඔබ එසේ නොවන බව අනිත්‍ය වශයෙන් දකිනවා. හිටපු පාලකයන් මියගිය අසරණ ස්‌වභාවය, අවසාන කාලයේදී ඔවුන් පත්වූ රෝගී ස්‌වභාවය, බලය පිරීහී ගිය පසු ඔවුන් අත්විඳි මානසික වේදනාවන්, බලය අහිමිවූ පසු ජනතාව ඔවුන්ගෙන් ඈත්වූ අයුරු. බෝම්බවලට අසුවී විනාශවී ගිය පාලකයන්.

අනාගතයේ පාලකයන්ටද ඉහත ස්‌වභාවයන් පොදුය යන්න ප්‍රඥාවෙන් දකිනවා. ලෝකයේ බලවත්ම පාලකයා දක්‌වාද, ලෝකයේ විශාලම ධනපතියා දක්‌වාද, ලොව සුරූපීම කාන්තාව, පිරිමියා දක්‌වාද, අතීත-අනාගත-වර්තමාන වශයෙන් දකිමින් අවබෝධය ලබනවා. ඔබට වැඩෙන ප්‍රඥාව විසින් ඔබට මේ අනිත්‍යාවබෝධය ලබාදෙමින් නිවන් මෙහෙයුමේ පෙරට යවනවා. මෙහෙම ඔබ අවබෝධය ලබනකොට මනුෂ්‍ය ලෝකයට ඇති කැමැත්ත පිළිබඳ සංඥා ඔබෙන් බැහැර වෙනවා. ඔබ තුළ මේ අවබෝධාත්මකව වැඩුණේ ධම්මානුපස්‌සනාවයි. සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් වැඩීමෙන් මුවහත්වන ඔබේ ප්‍රඥාව විසින් ඔබට පෙනෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අනිත්‍ය වශයෙන් විනිවිද දකිනවා. මේ වන විට ඔහුට දෙවියෝද, බ්‍රහ්මයෝද වඳිනා බව ඔහු සමාධිය තුළින් දකිනවා. දෙවියන්ද, බ්‍රහ්මයන්ද ඔහුට වඳින්නේ ඔහු දෙවියන්ද බ්‍රහ්මයන්ද ඉක්‌මවා ගිය කෙනෙක්‌ නිසා බව ඔහු දැනගන්නවා. ඔහු එහිදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මනසින් පීරමින් එහි නිත්‍යවූ සැපයක්‌ ඇතැයිද යන්න සොයනවා. ඔහු පැහැදිළිවම දකිනවා දිව්‍ය, බ්‍රහ්ම සැපද අනිත්‍ය බව. ඔහු බොහොම සියුම්ව දිව්‍ය ලෝක නිරීක්‍ෂණය කරනවා. මනසින් ඔහු දකිනවා, කාම සම්පත් විඳින දෙවියන්, දිව්‍යාංගනාවන්. සැප පිරිහී, පිං පිරිහී අපාගාමී වන දෙවියන්, දිව්‍ය ලෝකයේ දිව්‍ය තලවල කළ පිං වල ස්‌වභාවය නිසා ඇති පංති පරතරය. දිව්‍ය සැපයට ගිජුවී, දිව්‍ය ලෝකවලින් චුතවීමට සිදුවූ විට දෙවියන් ශෝකවන, හඬා වැටෙන ස්‌වභාවය. එවිට දිව්‍ය ලෝකයට ඇති කැමැත්ත, ආශාව පිළිබඳ සංඥා ඔහුගෙන් බැහැරවෙනවා.

ඊළඟට ඔහු බ්‍රහ්ම ලෝකයට සිත මෙහෙයවමින් බලනවා. ඔහු දකිනවා ප්‍රභාශ්වර සුදු සිල් ඇඳුමෙන් සැරසුණ, උතුරු සළුවක්‌ පොරවාගත් බ්‍රහ්මයන් එකලාව සක්‌මනේ යෙදෙමින් එරමිනියා ගොතාගෙන සමාධිය වඩන ස්‌වභාවය. ඒ අයත් දුක තුළ සිටිමින් සැප සොයනවා. බ්‍රහ්මයින්ද සැපයි කියමින් විඳින්නේ අනිත්‍යභාවයට පත්වන සමාධි සැපය බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. බ්‍රහ්ම ලෝකයේ ඉහළම තලයක්‌ තිබෙනවා, එහි බ්‍රහ්මයින් කල්ප ගණන් එකම ස්‌වභාවයෙන්, එකම ඉරියව්වෙන් එරමිණිය ගොතාගෙන සමාධිය වඩනවා. ගල් රූප වගෙයි. ඉඳිකටු තුඩක්‌වත් ගැසීමට තරම් ඉඩක්‌ නොතබා බ්‍රහ්ම ලෝකය පීරා බලනවා එහි නිත්‍ය වූ කිනම් හෝ සැපයක්‌ පවතිනවාද කියා. බ්‍රහ්ම ලෝකයේ අනිත්‍ය ස්‌වභාවයද දැකීම නිසා එයට ඇති කැමැත්ත සහ සංඥා ඔහුගෙන් ඉවත් වෙනවා.

මේ සියල්ලම රූපවාහිනී තිරයක රූප ඇතිවෙමින් දිවෙන ආකාරයට පෙනි පෙනී ඔහුට අවබෝධය ලබාදෙනවා. දැන් ඔබ ආයාසයක්‌, වෙහෙසක්‌ ගතයුතු නැහැ. ප්‍රඥාවේ ත්‍රීව්රභාවය නිසා මේ සියල්ල සිද්ධවෙනවා. මෙය අත්විඳීමෙන්ම ඔබ දැකීම ආශ්චර්යයක්‌.මේ සියල්ලම ඔබට පහලවෙන ඥානයන් විය යුතුය. මෙම ඥානයන් විසින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ස්‌වභාවය ඔබට අවබෝධකොට දෙනු ඇත. නිවන් මෙහෙයුමේ ඔබ දැන් සිටින්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ලෝකවලට ඇති කැමැත්ත. ඒවායේ බැසගැනීමට ඇති තෘෂ්ණාව සහමුලින්ම ඔබෙන් ඉවත්වෙලාය. රූපවාහිනී තිරයක රූප පහලවන්නා සේ ඔහුට ඔහුගේ අතීත ජීවිතවල ස්‌වභාවයන් සතර අපායට වැටී විඳි දුක්‌ පීඩාවන්, තිරිසන් සතුන් ලෙස ඉපිද විඳි අනන්ත අප්‍රමාන දුක්‌, අතීත ජීවිතවලදී ලැබූ රාජරාජ මහාමාත්‍ය අනුභව කළ සැප සම්පත්, දිව්‍ය සැප…. මේවා ඔහුට දර්ශනය වනු ඇත. මේ ඔහු දකිමින් සිටින්නේ අවසාන දර්ශනපෙළයි. දැන් ඔබට මෙතෙක්‌ ජීවිතයේ නොලද දෙයක්‌ දැනෙනු ඇත. මහා වෙනසක ඉවක්‌ දැනෙනවාය. මේ හැම අදියරකදීම ඔබට සප්ත බොඡ්ජංග ධර්ම වැඩෙනවාය. ඉහත ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ඔබ තව තවත් ජව සම්පන්න වන්නේය. වීර්යයෙන් පෙරට යන්නේය. මෙලොව ජීවත්වන සත්වයෙක්‌ ඉලක්‌කය කරා හඹා යැමේ වීර්යය, වේගය, උපරිමයෙන් ක්‍රියාත්මකවන අවස්‌ථාව තමයි නිවන් මෙහෙයුමේදී නිවීම උදෙසා හඹා යැමේ ස්‌වභාවය. මරණයටවත් ඔහුව නවත්වන්න බැහැ. මොකද ඔහු මේ වන විට දන්නවා තමන් මේ මෙහෙයුමේදී මැරුණහොත් තමා මැරෙන්නේ ධර්මය අවබෝධ කරගත් අරිහත් උත්තමයෙක්‌ වශයෙන් බව. ඔහුට මේ සංඥාව නිවනේ අවසාන මෙහෙයුමට අවතීර්ණවීමේදීම දැනෙනවා. ඒකයි ඔහු “එක්‌කෝ නිවීම, නැති නම් මරණය” කියන අධිෂ්ඨානයට දැඩිව එන්නේ. ඔහු දන්නවා මේ දෙකෙන් කොයික සිදු වුණත් ඔහු සසර දුක නිවාගන්නා බව. එය ඔහු දකින්නේ ප්‍රඥාවේ ත්‍රීව්රභාවය නිසාය. හැබැයි ඔහු දෙස බලා බාහිර කිසිවෙකුටවත් ඒ ගැන සිතාගන්න බැහැ. හොඳයි, එම භික්‍ෂුව නිවන් මෙහෙයුමේදී හුදෙකලා කුටිය තුළදීම අපවත්වුවහොත් මිනිසුන් කියාවී එම භික්‍ෂුව මානසික රෝගියෙක්‌, ගුරුවරයෙක්‌-පන්සලක්‌-ආරණ්‍යයක්‌ නොමැති අනාථයෙක්‌, අහිගුණ්‌ඨකයෙක්‌… කියලා. ලෝකයේ ස්‌වභාවය මෙහෙමයි. ලෝකයා එහෙම කිව්වත් උන්වහන්සේ අපවත්වූයේ නැත. පිරිනිවන්පෑවාමය. පිරිනිවීගියාමය. එය දන්නේ පිරිනිවී ගිය උන්වහන්සේ පමණක්‌මය. ලෝකයා කුමන අදහසක්‌ දැරුවද උන්වහන්සේට ඉන් ඵලයක්‌ නොමැත. ලෝකයාගේ ස්‌වභාවය අදහස්‌ ප්‍රකාශ කිරීමයි. උන්වහන්සේ මරණය වන විට මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥා අනිත්‍ය වශයෙන් අවබෝධකර එම ලෝකවලට බැසීමට ඇති තෘෂ්ණාව නිරුද්ධ කරදමා තිබුණ නිසා නැවත උපාදානයක්‌ කරගැනීමට තෘෂ්ණාවක්‌ නොමැත. අවසාන සිතට අල්ලාගැනීමට, බැසගැනීමට තැනක්‌, කැමැත්තක්‌ නොමැති නම් එම සිත නිවී යැම ස්‌වභාවයයි. ආශ්චර්යමත් ධර්මයක අවසාන ඵලය ලෝකය අතහැරීමය. ලෝකයෙන් මිදීමය. ලෝකයෙන් එතෙරවීමය. ඔබට ලොව දරුණුතම යුධ බිමේ නිරායුධ සෙන්පතියෙක්‌ ලෙස ලෝකය ජයගන්න. ඔබ දිග්විජය කළ ලෝකය, ගෙල එතුන සර්පකුණක්‌ සේ විසිකර දමන්න. ලෝකය බදාගත් ලෝකයාට ඔබ පරමාදර්ශයක්‌ වන්න. බදාගත් තැන, රැස්‌ කළ තැන, ගොඩ ගසාගත් තැන ඇත්තේ සැපක්‌ නොව දුකක්‌ම බව දකින්න. එම දුකේ නිර්මාණකරු අනිකෙකු නොව, තමාගේ සිතම බව දකින්න. නිර්මාණකරු ඔබ නම් එහි ප්‍රදර්ශකයාද, ප්‍රතිචාර ලබන්නාද, ප්‍රතිලාභ ලබන්නාද ඔබම විය යුතුය. දුක නිර්වානය කරන සිත අවබෝධයෙන් හඳුනාගෙන තන්හාව නිරුද්ධකර දුකෙන් ඔබ අත්මිදෙන්න. නිවීමේ මෙහෙයුමේ යෙදෙන විට ඔබට දැනේවී මේ අතහැරීම නිසා ඔබව රෝගියෙක්‌ වන බව, ආහාර මද බව, ලේ අඩුවීම, ක්‌ලාන්තය, ඇස්‌ පෙනීම දුර්වල වීම, වළඳන කිවුල් ජලයේ හුණු මිශ්‍රවීම නිසා ඇති වන වකුගඩු මුත්‍රා රෝග, දත් මුල් දියවීම, සන්ධි වේදනා… ඔබ මේ හැම සිතක්‌ම අතහරින්න. මේවායින් තොරව ඔබට කවදාකවත් නිවීම ලබන්න බැහැ. කුණුවෙන, මැරෙන, ගඳගහන කය මරාදමා ඔබ නිවීයන්න. මැරෙන කය අයිති සතරමහා ධාතුන්ට නිසා එය කුණුවෙමින්, ගඳගසමින්, සතුන්ට අහරක්‌ වෙමින් සතරමහා ධාතූන්ටම එකතුවේවි.

කුලියට ගත් එළිය කුමට........?

2011/11/20

අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී, අඳුරට කැමතිවූ සිත ඇතිවෙනවා. කල්ප ගණන් අපි දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ ආලෝකයත් අඳුරත් අතර දෝලනය වෙමින් ගලාගෙන පැමිණි ගමනක්‌ මේක. මේ නිසා මේ දෙයාකාරයේ කැමැත්ත තවමත් අපට තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අඳුරට වඩා ආලෝකයට කැමතියි. ඒ නිසාමයි විදුලි බලාගාර, තාප බලාගාර ආදී බලශක්‌ති මූලයන් සොයමින් ප්‍රවර්ධනය කරන්නේ. මේ ස්‌වභාවයන්ගෙන් මිනිසා ලබාගන්නා ආලෝකය මිනිසා කුලියට ගත් දෙයක්‌. තමා අඳුරින් මිදෙන්න, තෙල් වලින් ජලයෙන්, ගල් අඟුරු වලින් නිපදවූ ආලෝකය කුලියට, මිලට ගන්නවා. ඒ කියන්නේ තෙල් වලින්, ජලයෙන්, තාපයෙන්, ආලෝකය ලබාගැනීමට මිනිසා මහත් අභිමානයෙන් උදම්අනන තාක්‍ෂණයෙන් මිනිසාට හැකියාව ලැබුණත් ඔබ තවම දක්‍ෂ නැහැ තම සිත තුළින් ආලෝකය නිපදවාගෙන, ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකය දකින්න.

ඔබ ආලෝකය “ආලෝකය” විදිහටත්, අඳුර “අඳුර” හැටියටත් විදුලිය “විදුලිය” හැටියටත්, ජලය “ජලය” හැටියටත් මිස හේතුඵල ධර්මතාවයන් අනුව මේවා දකින්න උත්සහ ගන්නේ නැහැ. ජලය නැමැති ආපෝධාතුව උපයෝගීකරගෙන, එහි ඇති පඨවි ධාතුවත්, වායෝ ධාතුවත් ආධාර කරගෙන විදුලිය නමැති තේජෝ ධාතුව නිපදවනවා. ආලෝකය වශයෙන් අපි දකින්නේ ජලය සහ විදුලිබලයේ අනිත්‍යතාවයයි. ඒ කියන්නේ රූපයේ අනිත්‍යතාවයයි. ගල් අඟුරු නමැති පඨවි ධාතුව උපයෝගී කරගෙන එහි ඇති වායෝ සහ තේජෝ ධාතුව ආධාර කරගෙන විදුලිය නිපදවනවා. විදුලිය තුළින් ආලෝකය නිපදවනවා. ගල් අඟුරු තාපය, විදුලිය, ආලෝකය වශයෙන් අපි දැක්‌කේ රූපයේ වෙනස්‌වීමයි. රූපය වෙනස්‌වීමේ ප්‍රවේගයයි. රූපය තුළ ඇති මස්‌ ඇසට නොපෙනෙන සතර මහා ධාතූන්ගේ වේගවත් ක්‍රියාකාරීත්වයයි. වෙනස්‌වීමයි. මේ ක්‍රියාකාරීත්වය වෙනස්‌වීම ඔබ ඔබේ ජීවිතයට ගලපාගන්න. මේ ශරීරය නමැති රූපය, ක්‍රියාකාරීත්වයට පත්කරන සිත නැමැති ශක්‌ති විශේෂයෙන් ප්‍රභාශ්වර ප්‍රඥාවේ ආලෝකය උපදවා ගැනීමට උත්සහවන්ත වන්න. ඔබ පිරිනිවී යනතෙක්‌ම අනිත්‍යභාවයට පත්නොවන ප්‍රඥාවේ ආලෝකය ඇතිකර ගැනීමට ඔබට තාප බලාගාර, විදුලි බලාගාර, ගොඩනැගීමට අවශ්‍ය නොමැත. කෝටි ප්‍රකෝටි ගණන් ධනස්‌කන්දය අවශ්‍ය නොමැත. සිමෙන්ති, ලෝහ, ගල් අඟුරු, ජලය, ඩීසල් ටොන් ගණනින් අවශ්‍ය නොමැත. ඉංජිනේරු උපාධි සහතිකයක්‌ අවශ්‍ය නොමැත. වෝල්ට්‌ 33000ට බිය විය යුතු නැත. අවශ්‍ය වන්නේ සිමෙන්ති, ගල් අඟුරු, ජලය ආදිය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන රූපයන් බව අවබෝධ කරගැනීමයි. මේ සියලු රූපයන්ට එකිනෙකට වෙනස්‌වූ ප්‍රතිශතයෙන් යුත් සතරමහා ධාතූන්ගෙන් නිර්මාණයවූ ස්‌වභාවයන් බව අවබෝධ කර ගැනීමය. එවිට ඔබට මමය, මගේය, අනුන්ය, අනුන්ගේය යන සත්ව පුද්ගල සංඥාවන් ඉවත්ව යනු ඇත. ඔබ තුළද, අනුන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති බව අවබෝධයෙන් දකිනවිට, රාගය ද්වේශය කුමක්‌ නිසා පවතින්නද? කවුරුන් නිසා පවතින්නද? මෝහය විසින් සංසාරයක්‌ පුරාවට කරන ලද මහා නොමඟ යැවීම අවසන්වුණු කල්හී, අවිද්‍යාවේ අඳුරයි. අවිද්‍යාවේ අඳුර පහවීමත් සමඟ ඔබ ලබන නිදහස, සැහැල්ලුව, නිවීම මෙතෙක්‌ ඔබ දරා සිsටි රාග, ද්වේශ, මෝහ බර සැහැල්ලු වීමේ, නිරෝධය වීමේ නිදහසහි. සලකුණකුදු නොතබා, රාග, ද්වේශ, මෝහ, ඇතිවන සිත සමඟ නිරෝධයවී යන්නේ රූපයේ අනිත්‍යභාවය මිස සත්ව පුද්ගල සංඥාවක්‌ තමන් තුළ හටනොගන්නා නිසාමය. සතිය සහ සිහියෙන් යුතුව රූපය දෙස බැලීමේදී ඔබ අවබෝධයෙන් ලබන ප්‍රඥාවේ ආලෝකය අනිත්‍ය වන දෙයක්‌ නම් නොවේ. තමා පිරිනිවීයනතෙක්‌ම ප්‍රඥාවේ ආලෝකය ඔබේ ඇතිවන නැතිවන සිතේ ආලෝකය වනු ඇත. ලෝකයේ පවතින අනිත්‍යභාවයට පත්නොවන ප්‍රඥාවේ ආලෝකය ගැන මේ සටහන භික්‍ෂුව තැබුවේ එක්‌ වනවාසී භික්‍ෂුවක්‌ දර්ශනීය ආලෝක සංදර්ශනයක්‌ ගැන ඔබව දැනුවත් කරන්නටය. ඒ තුළින් ඔබටත් මේ නිවන් මඟ වැඩීමට ශක්‌තිය, උනන්දුව තීව්‍ර කිරීමටය. මේ ආලෝක සංදර්ශනය ප්‍රඥාවේ ආලෝකයක්‌ නම් නොවේ. අනිත්‍යයට අයිති ආලෝක සංදර්ශනයකි. ප්‍රඥාවේ ආලෝකය වෙනුවෙන්, එයට උපහාර වශයෙන් දෙවියන් දක්‌වන්නට යෙදුණු අතිශය රමණීය ආලෝක පූජාවකි.

වේලාව එක්‌තරා හිමිදිරි උදෑසනක පහ පසුවී විනාඩි පහළොවක්‌ පමණය. භික්‍ෂූන් වහන්සේ නමක්‌ උතුරු ප්‍රදේශයට මුහුණලාගෙන තම කුටියේ සිට දානශාලාවට වඩිමින් සිටියහ. ක්‍ෂණයෙන් උතුරු දෙස ආකාසයෙන් සුදු පැහැති, කිරි පැහැති විශාල ආලෝක ධාරාවක්‌ භික්‍ෂුව ඉදිරියට පැමිණ එම ආලෝක ගුලි ඇතිවෙමින් නැතිවෙමින් විනාඩි දෙක තුනක පමණ කාලයක්‌ සංදර්ශනයක්‌ පැවැත්වීය. මෙම ආලෝක සංදර්ශනය ඉහත භික්‍ෂුව මුල්වරට දුටුවකි. සියල්ල සිදුවූයේ ආකාශය තුළදීය. ආලෝක ගුලි වශයෙන්, රේඛා වශයෙන් ඉතා වේගවත් සංදර්ශන විලාසයක්‌ භික්‍ෂුව දුටුවේය. මේ චමත්කාර, ආශ්චර්යය දෙස භික්‍ෂුව මොහොතක්‌ නැවතී බලා සිටියදී සංදර්ශනය තවත් ප්‍රවේගකාරී විය. එවිට භික්‍ෂුව නියත වශයෙන්ම මෙය දෙවියන්ගේ ආලෝක සංදර්ශනයක්‌ බව අවබෝධ කරගෙන දෙවියන්ට කෘතගුණ දැක්‌වීම පිණිස අනිත්‍ය සංඥාව ගැන ධර්ම දේශනයක්‌ ඉතා කෙටියෙන් කරන ලදී.

“මේ ආලෝකය අනිත්‍යයි. ඔය දිව්‍යශ්‍රීයන් අනිත්‍යයි. ඔය ඔබලා අතිවිඳින දිව්‍ය සතුටත් අනිත්‍යයි. ඔය දිව්‍ය ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි. ඔය ආශ්වාදයට ඇලෙන්න එපා. ඔබලාගේ ඔය අනිත්‍යවූ ආලෝකයෙන්, නිත්‍ය වූ ආලෝකයට පූජා පැවැත්වීම නෙවෙයි ඔබ කළයුත්තේ. ඒ නිත්‍ය වූ ආලෝකයේ උරුමක්‌කරුවන් වීමයි”

ඔය අත්දැකීම එතැනින් අහවර වුණා. සියල්ල සිදුවී අවසන්වීමට විනාඩි තුනක්‌ පමණ යන්න ඇති. දිව්‍ය ආලෝකය දෙවියාට ලැබෙන්නේ පින නිසා. ඔය පින අහවරවෙලා යද්දී ඔය ආලෝකය අහවරවෙලා යනවා. ඒ නිසා ඔබ ආලෝකයට ලොල්වෙන්න එපා. ආලෝකයට කියන්නේ රූපයක්‌මයි. තේජො ධාතුවේ ප්‍රතිශතය වැඩි ආලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. පිං අහවර වෙලා දෙවියන්ගේ දිව්‍ය ආලෝකය අවසන් වෙනකොට ඔය දෙවිවරුන්ද හඬනවා, ශෝකවෙනවා, දුක්‌වෙනවා. අනත්‍යවූ ආලෝකයට ලොල්වීමෙන් දුක පමණයි උරුමවන්නේ. ඒ නිසා ඔබ සතර මහා ධාතූන්ගෙන් සැදි ආලෝකය, රූපයේ අනිත්‍යබව දකිමින් අතහරින්න. ආලෝකයේ අනිත්‍යභාවය අඳුර බවත්, අඳුරේ අනිත්‍යභාවය ආලෝකය බවත් දකිමින්, අඳුරත් ආලෝකයත් අතහරිමින් පිරිනිවීයනතෙක්‌ම නිත්‍යභාවයේ පවතින ප්‍රඥාවේ ආලෝකය ඔබ තුළ ඇතිකරගන්න. ප්‍රඥාවේ ආලෝකයෙන් ප්‍රභාශ්වර වූ සිතෙන් ලෝකය දෙස බලන්න. එවිට ඔබට නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන රූපයන් මිස සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ හමුනොවනු ඇත. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති කල, රාගය ද්වේශය කුමක්‌ සඳහා, කා සඳහා පවතින්නක්‌ද? ඒවා නිරෝධයවී යනු ඇත. රාග, ද්වේශ, මෝහයන්ගෙන් නිරුද්ධවූ සිත හරියටම සුදු පිරුවටයක්‌ සේමය. කිසිදු කිලුටු බවක්‌ නොමැති සුදු පිරුවටය නිරතුරුව ප්‍රභාශ්වරය. ආලෝකමත්ය. රාග ද්වේශ මෝහයන්ගෙන් නිරෝධයවූ සුදු පිරුවටයක්‌ වැනි සිතක්‌ නැවත කිලිටිවන ස්‌වභාවයේ නොපවතී. මන්ද කිලුටු වීමට නිත්‍යවූ, ස්‌ථිර වූ, “මගේ” යැයි සිතක්‌ නොමැති හෙයිනි. ඒ බව තමා අවබෝධයෙන් හඳුනාගත් බැවින් මා තුළ මම නැතැයි ප්‍රත්‍යක්‍ෂකොට දක්‌නා ලද හෙයිනි.

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි

2011/11/13

මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්‌ද. එක වගේම අකුරු දෙකයි. ෙමි පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක්‌ ගොන්නක්‌ උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්‍ෂ වුවහොත් තව කොතෙක්‌ නම් දුක්‌ මතුවට ඔබට උරුමකොට දේවිද?

මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් ෙමි පැමිණි දුර කොපමණක්‌ද? මම කියන බීජයෙන් ලැබුණු අස්‌වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. මම වගා කරමින් අස්‌වැන්න නෙලනවා අපි. මේක මහා අසත් පුරුෂ වගාවක්‌. අලාභදායක වගාවක්‌. ලැබෙන අස්‌වැන්න ජාති,ජරා,ව්‍යධි,මරණමයි. ඒ කියන්නෙ දුකයි. මම කියන කෙනාට, මගේ කියන කෙනාට කවල, පොවල, පෝෂණය කරල, තාන්නමාන්න, කීර්ති ප්‍රශංසා ලබාදීලා. පුම්බල, ගරුගාම්භීර කරල…

මේවායෙන් ලැබෙන අස්‌වැන්න තමයි දුක. මේ දුක ඔබ පසුපසින් සෙවනැල්ලක්‌සේ පන්නනකොට ඔන්න රෝහල්, ඹෘෂධ, ජ්‍යෙතිෂය, දේවාල, බෝධි පුජා හොයාගෙන අපි යනවා. ඉවරයක්‌ නැහැ. මේවා දිනෙන් දින ජනප්‍රිය වෙනවා. පෝලිම් දිග වෙනවා. මම කියන බර පොදිය හිස මත තබා ගෙන ඒ බර නිසාම හෙම්බත්ව, බරෙන් නිදහස්‌ වෙන්න හදනවා. පුළුවන්ද එය ඔබට කරන්න? බැහැමයි. මොකද තමාමයි මේ බර පොදිය කරේ තබා ගෙන සිටින්නේ. තමාගේ කැමැත්තෙන්මයි. අනුන් බලෙන් පටවපු දෙයක්‌ නොවේ. මම කැමැත්තෙන් මම පටවාගත් බර පොදියයි. ගොනෙක්‌ මත, බූරුවෙක්‌ මත, බර පටවන්නේ අනුන්. ඒත් මේ බර ඔබම පටවාගත් බරක්‌. මගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මනස මගේ කරගත්තාට පසුව ඒවාට ස්‌පර්ශවන බාහිර රූපත් මගේ වෙනවාමයි. මට අයිති නැති අධ්‍යත්මික ආයතන හය මගේ කරගත්තා වෙනුවට මට අයිති නැති බාහිර රූපත් මගේ කරගන්නාව. මගේ අම්මා, තාත්තා, බිරිද, දරුවා, සහෝදරයා, මගේ නිවස, රැකියාව, ව්‍යාපාරය, වාහනය…. මොන බරක්‌ද මේ ඔබ දරාගෙන සිටින්නේ. තව තවත් වැඩිකරගන්න හදන්නේ.

මොකක්‌ද මේ ඇහැ කියන්නේ. ඔබ සිතාගෙන සිටින්නේ හරිම සුන්දර මටසිළුටු දෙයක්‌ය කියලා. ඒකයි ඔබ ඇස්‌දෙකට පණ වගේ ආදරය කරන්නේ. ඇස සැපයක්‌ කොට දකින්නේ. ඇස නිසා සැප ලැබෙතැයි සිතන්නේ. මොකක්‌ද මේ ඇහැ? ඔබ මනසින් ඔබේ එක ඇසක්‌, ඔබේම ඇඟිලි තුඩු වලින් ගලවා උගුල්ලා ඔබේ දෑතට ගන්න. ඇසේ සුන්දරත්වය, අසිරිය ඔබට දැන් පෙනෙනවාද? මස්‌ ගොඩක්‌, ලොඳ ගොඩක්‌, හරියට සුදු හම රඹුටන් මදයක්‌ වගේ රතුපාට මසට ඇලිලා ලේ නහර එල්ලෙනවා. ලේ, සැරව, කඳුලු ගලනවා. ඔබට මේ සුන්දර ඇස අතේ තබාගන්නවත් අපුලක්‌ දැනේවී. ඔබට ඔබේම ඇස දුගඳ බව වැටහේවී. පිළිකුළක්‌ බවට පත්වේවී. මොහොතින් මොහොත ඔබේ අත්ල මත තිබෙන ඇස ගඳ ගහනවා. කුණු වෙනවා, නිල මැස්‌සන් වහනවා. ඔබට දැන් දැනෙන්න ඕනි, අනේ මේ ඇස නම් මගේ නොවේය කියලා. මේ ඇස තුළ මම නැහැය කියලා. මේ ඇස තුළ ආත්මයක්‌ නැහැය කියලා. මේ ඇස අයිති කුණු මස්‌වලට, දුගඳට, නිලමැස්‌සන්ට, ලේ, නහර, කදුළු, කබ වලට කියල ඔබට තේරෙන්න ඔනේ ලෝකයේ ජනප්‍රියම නළුවෙක්‌ නිළියක්‌ තමන්ගේ මනස්‌කාන්ත ඇස්‌ දෙක නිසා ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රේක්‌ෂකයන් පිස්‌සු වට්‌ටනවා, කාමයෙන් රාගයෙන් මත්කරනවා. මේ ඇස්‌ වලට වශී වුණු ප්‍රේක්‍ෂකයන් එක සතියකදී කෝටි ගණනක්‌ මේ ඇස්‌වල රසය ලබන්න, ආශ්වාදය විඳින්න සිනමා ශාලාවලට, රූපවාහිනියට එකතු වෙනවා. ඒ සුරූපී නිළියකගේ, නළුවකුගේ ලස්‌සන ඇස්‌දෙකත් ඉහත ස්‌වභාවමයි. ඒ සුන්දර පිංවත් නළුවෙක්‌, නිළියක්‌ සංසාරික කුසලයක්‌ මතුවෙලා තුණුරුවන් සරණ ගිහිල්ලා, ධර්මය අවබෝධ වෙලා, මා නිසා මගේ රූපය නිසා රාගයෙන්, කාමයෙන් අන්ධ භාවයට පත්වුණ ඇස්‌ ඇති රසිකයන්ට මගේ රූපයේ සැබෑ ස්‌වභාවය ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියලා, තමාට ප්‍රියකළ රසිකයන් කෝටි ගණනක්‌ යම් ස්‌ථානයකට කැඳවලා, ඔබලා මේ තරම් කාලයක්‌ රාගයෙන්, කාමයෙන්, ආදරයෙන් බැඳුණ මේ ඇස්‌ දෙක මගේ නොවෙයි, එයි සැබෑ සුන්දරත්වය දැන් ඔබලා දැකගන්න කියලා ඒ ඇස්‌ දෙක තම ඇඟිලිතුඩු වලින් උගුල්ලා රසිකයන්ට දිගු කළොත් එකම රසිකයෙක්‌වත් ඔය මස්‌ ගුළිය, ලොඳ ගුලිය, ලේ, නහර, කඳුලු, කබ ගුලිය තම අතට තබා දකින්නවත් කැමති වෙන්නේ නම් නැහැමයි. කුණුවෙන මස්‌ ලොඳය තමයි අහවලාගේ ඇස්‌ දෙක කියලා අපි ආදරයේ කළේ කියන හැඟීමෙන් තමන්ම ලැඡ්ජාවට පත්වේවි. ඔබ ඔය එළවළු මාළු ගන්න වෙළඳ පොළේ තිබෙනවා හරක්‌ මස්‌ විකුණන මස්‌ කඩ. හරක්‌ මස්‌ විකුණන විට එම මස්‌ අයිති සතාගේ හිස මස්‌ කඩේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. වර්තමානයේ එය එසේ වෙනවාද කියන්න භික්‍ෂුව නිවැරදිවම දන්නේ නැහැ. ඒ මරණයට පත්කළ ගවයාගේ හිස කොටසේ තිබෙන ඇස්‌ දෙක ඔබ බලන්න. එය මහා අනුවේදනීය දර්ශනයක්‌. ඇස විශාල වෙලා, කළුඉංගිරියාව උඩ ගිහිල්ලා, ඇස ඉදිමිලා, කඳුලු පිරිලා, ඒ කඳුලු මිදිලා. ඔබ මේ සතාගේ ඇස්‌ දෙක උගුල්ලා ඔබේ අතට ගත්තත්, අර සුන්දර පින්වත් නළුවාගේ , නිළියගේ ස්‌වභාවයමයි. වෙනස තිබෙන්නේ ලොකු කුඩා බව පමණකි. දැන් ඔබට තේරෙනවාද ඇස කියන්නේ කුමක්‌ද කියලා. මේ ඇස තද භාවයෙන්, දියර ස්‌වභාවයෙන්, වායු ස්‌වභාවයෙන්, උණුසුම් ස්‌වභාවයෙන් සෑදුණු රූපයක්‌ පමණක්‌ම බවයි. තද ස්‌වභාවයෙන් තමයි මේ ඇස හැඩ ගන්වලා තිබෙන්නේ. දියර ස්‌වභාවයෙන් තමයි ඇසේ කාන්තිය, දීප්තිය ඇතිකරලා තිබෙන්නේ. වායු ස්‌වභාවයෙන් තමයි ඇස පුම්බලා තබා තිබෙන්නේ. උණුසුම තමයි ඇස ප්‍රකෘතිමත්ව තබා තිබෙන්නේ. උණුසුම අනිත්‍ය භාවයට පත්වෙන මොහොතේම ඇස විකෘති වෙනවා, කුණු වෙනවා, නරක්‌ වෙනවා, ලෙඩ වෙනවා, ඇසේ නගන එනවා, සුද එනවා, කබ කඳුළු එනවා, සැරව ලේ එනවා.

ඇස මැරි මැරී උපදින රූපයක්‌. එම රූපයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තමයි ඉහත සඳහන් කළේ. මේවා දකිනවිට අපි කම්පා වෙනවා. දුක්‌ වෙනවා. වෛද්‍යවරු සොයාගෙන යනවා. ඇයි? මේ ඇස්‌ දෙකේ දුකින් මිදෙන්න. ඇස උපදින තාක්‌කල්ම ඔබට ඇසේ ඇතිවන ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදෙන්න බැහැ. ඇස කියන්නේ මස්‌ ගොඩක්‌. ඒක කුණු වෙනවා. වැගිරෙනවා. ගඳ ගහනවා. එය මසේ ස්‌වභාවයයි. යමෙක්‌ මසට ආදරය කරනවා නම් ඔහු කුණුවීමට, දුර්ගන්ධයට, වැගිරීමට කැමතිවෙන්න ඕනේ. දැන් ඔබට තව තවත් වැටහෙන්න ඕනේ ඇස කියන්නේ මොකක්‌ද කියලා.

මස්‌ ගොඩක්‌, ලේ නහර ගොඩක්‌. මෙහි හැඩගන්වන්න, පරෙස්‌සම් කරන්න, නලවන්න දෙයක්‌ නැහැ. පඨවියේ සියුම් භාවය, වායෝ ධාතුවේ පිරුණුබව විසින් ආපෝ ධාතුවේ දිළිසෙන දිය ස්‌වභාවය විසින් තේජෝ ධාතුවේ උණුසුම, ප්‍රකෘතිමත්භාවය විසින් ලස්‌සනට හැඩගන්වලා දිගැටි, රවුම්, සියුම්ව ඉපදුනු රූපයක්‌ ඇස.

මේ කුණු ඇස නිසා ඔබ මොනතරම් රූප මගේ කරගත්තාද? ඔබ විවාහක නම් ඔබ සිතන්න යම් දවසක ඔබ ඔය ඇසෙන් රූපයක්‌ දැක්‌කා. ඔබම නිශ්චය කළා එය ලස්‌සනයි, සුන්දරයි කියලා. රූපය නිසා සකස්‌වුණු සිත් පරම්පරාව, එයා ලස්‌සනයි, එයා හැඩයි, එයා මට ගැලපෙනවා. එයා උසයි, කොණ්‌ඩෙ දිගයි….. අන්න ඔබ ඒ රූපයට බැඳෙනවා. ඔබ ඒ රූපය අයිති කරගන්න කැමති වෙනවා. ඇස නිසා හටගන්නාවූ කැමැත්තට ඔබ ඇලෙනවා. තන්හාවක්‌ ඇතිකරගන්නවා. ඇයගේ රූපය මගේ කරගන්න හදනවා. දැන් මොකක්‌ද මේ මගේ කරගන්න හදන්නේ. ඇස නිසා හටගත්තාවූ කැමැත්ත. දැන් ඇස කියන්නේ මොකක්‌ද? අර ඇඟිලි තුඩු වලින් උගුල්ලලා ඔබේ අත්ලට ගත් මස්‌ ගුලියයි. ඒ ඇස නිසා ඔබ දැන් අයිතිකරගන්න යන්නේ කාවද? තවත් රූපයක්‌. ඒ කියන්නේ තවත් කුණුවෙන මස්‌ ගොඩක්‌. ඇසේ ස්‌වභාවයත්, ඇස කැමතිවූ රූපයේ ස්‌වභාවයත් යන දෙකම කුණුවෙන මසට, කුණුවෙන ලෙයට, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට අයිති දෙයක්‌මයි. මෙහෙම දෙයක්‌ තමයි ඔබ නැකත් බලලා, පෝරුවට නැගලා, දෑඟිලි බැඳලා,ජයමංගල ගාථා කියලා භාරගන්නේ. මගේ කරගන්නේ. මගේ කරගැනීමේ තෘශ්ණාවේ බලවත් භාවය නිසා ඔබ සෑහිමකට පත්වුණේ නැහැ. ඉහත චාරිත්‍ර වලින් පමණක්‌ ඇය ඔබේ කරගැනීම ගැන. ඔබ තුළ බියක්‌ ඇතිවුණා, ඇය ඔබට අහිමිවේය කියලා. ඇයව ඔබගෙන් කවුරුහරි උදුරගනී කියලා. ඇය ඔබව අතහැරලා යාවී කියලා. ඒ නිසා ඔබ ඇයව රජයේ ලියාපදිංචි පොතේ ලියලා, සාක්‍ෂිකාරයෝ දෙදෙනෙක්‌ සමඟ අත්සන් කරලයි අරගෙන එන්නේ. ඇය අහිමිවේය කියන උපාදානයේ බලවත්කම නිසා ඇයගේ අයිතිය ශක්‌තිමත් කරන්න ඕනේ, නිත්‍යානුකූල කරගන්න ඕනේ, කව්රුහරි මෙයාව මගෙන් උදුරාගත්තොත් මට උසාවි ගිහින් හරි මෙයාව ලබාගන්න පුළුවන්, නීතිsය ඉදිරියේ බැඳුණු නිසා මෙයා මාව දාලා යන්නේ නැහැ……

කොහොම බැඳීමක්‌ද බැඳගත්තේ, අල්ලාගත්තේ, උපාදානයකර ගත්තේ?

මස්‌ ඇසක්‌ නිසා, තවත් මස්‌ ගොඩකට කරගත්ත බැඳීමක්‌……

ඇසේ කැමැත්ත නිසා තමන් තවත් බරක්‌ කරට ගත්තා. මේ බර වැඩී කියලා, මේ ඇතිය කියලා සෑහිමකට පත්වෙනවාද? නැහැ. සෑහීමක්‌ නැහැ. සංසාරයක්‌ පුරාවට ගොන්නු වෙලා, බූරුවෝ වෙලා, අලි ඇතුන් වෙලා ඇද්ද බරත් සමග ගනිද්දී, ප්‍රේතයො, නිරිසතුන්, තිරිසන් සතුන් වෙලා වින්ද දුක්‌ සමග ගනිද්දී, දෙවියෝ මනුෂ්‍යයො වෙලා මගේ කොටගත් රූප ජාති, ජරා, ව්‍යධි, මරණ සමග ගනිද්දි, අනේ මේ සහේට ගත්ත බිරිඳ, සැමියා මොන බරක්‌ද කියලයි ඔබට දැනෙන්නෙ. මේ රූපය ඔබට තවත් සතර අපායක, මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක දුක සහ බර දැරිමට උරුමයක්‌ සකස්‌කරදෙන කෙනෙක්‌ය කියල දකින්නෙ නැහැ. මේ අයට මේ බර මදි. මේ සැහැල්ලුව දරාගන්න බැහැ. සංසාරයේ ඇද්ද බර සමග සසදන කොට ඔන්න දෙන්නාට හිතෙනවා අනේ අපේ ජීවිතේ කිසි පිරිච්ච බවක්‌ නැහැ, පාළුයි වගේ. බලන්නකො අපේ ලොකු අක්‌කල, ලොකු අයියල දරුවො එක්‌ක කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නෙ කියලා. බර වැඩිවෙන වැඩිවෙන තරමටයි ඒගොල්ලෝ ජීවිතයේ පිරිච්ච බවක්‌ දකින්නෙ. දැන් මේ ජීවිතයේ පිරිච්ච බවක්‌ ඇති කරගන්න හදන්නේ. ඒ අය බරට කියන්නේ, දුකට කියන්නේ පිරුණු බව කියලා. බරක්‌ දුකක්‌ නැතිනම් පාළුයි කියලා. මොනතරම් සානුකම්පිත වචන පබැඳුම්ද. මේ මාරයාගේ ශබ්ද කෝෂයේ වචන හරිම සුන්දරයි. තාරුණ්‍යයේ හදවත් මේ වචන වලට හරිම ලෙන්ගතුයි. මේ වචන ලෝදියෙන් හින්දපු චතුමධුරක්‌ වගෙයි. පැහැය, රසය, ගුණය සියල්ලම තිබෙනවා. හැබැයි අනුභව කළොත් පිච්චෙනවාමයි. දුකටපත්වෙනවාමයි. මේ පිච්චිල්ල සත්වයාටනම් ගාණක්‌ නැහැ. මොකද මම හැදිලා තිබෙන්නේ තේජෝ ධාතුවක්‌ උපයෝගී වීමෙන් නිසා. ඔය ගින්න, ඔය පිච්චීම ජීවිතයේම කොටසක්‌, සාමාජිකයෙක්‌. අනවබෝධය නිසා ගින්නත්, උණුසුමත් මගේ කර ගන්නවා. මවකගේ උණුසුම, පියකුගේ උණුසුම, බිරිඳ, සැමියාගේ උණුසුම, දරුවාගේ උණසුම, පෙම්වතාගේ පෙම්වතියගේ උණුසුම මේ උණුසුමෙන් රත්වෙන්න මම හරිම රුසියෙක්‌. රූපය නිර්මාණය වෙන්න දායකවුණ තේජෝ ධාතුව මගේ කරගන්නවා. මගේ වසඟයේ පවත්වා ගතහැකි දෙයක්‌ හැටියට ගන්නවා. දකින්නේ නැහැ, දන්නේ නැහැ මේ රූපයේ විඥානය පහව ගියාට පස්‌සේ මේ මම මළකඳක්‌ වෙනවා කියලා. ඇතිවෙමින් නැතිවෙමින් ගලාගෙන පැමිණි රූපය මම තුළ බැසගත්තාවූ විඥානය පහව යනකොට තේජෝ ධාතුව පහව යනවා. ඒ කියන්නේ උණුසුම නැතිවෙලා යනවා. පරිප්පු ව්‍යාංජනයක්‌ රත් නොකළොත් පසුවදා උදයට එය පිළුණු වෙනවා වගේ රූපයෙන් තේජෝ ධාතුව තුනී වෙනකොට මේ රූපය කුණු වෙනවා, පිළුණු වෙනවා. උණුසුම නැති නිසා. පඨවි, ආපෝ, වායෝ ධාතූන් අධික්‍රියාකාරිත්වයට පත්වෙනවා. වායෝ ධාතුව විසින් පඨවිය ඉදිමීමට පත්කරනවා. ආපෝ ධාතුව විසින් පඨවිය කුණු කරනවා. මොන හිරිකිතියක්‌ද, මොන අපුලක්‌ද?

මේ ගාම්භීර මම කුණුවෙන, ඉදිමෙන මළකුණ ඔබමයි. ඔබේ මව, පියා, සැමියා, බිරිඳ, දරුවා, පෙම්වතා, පෙම්වතියමයි.

හැබැයි උණුසම දැන් නැහැ. තිබෙන්නේ සීතලක්‌, දුගඳක්‌ පමණයි. ඔබ ඔහුගේ ඇයගේ උණුසුමට ප්‍රියකළා සේ දැන් එම මළකුණේ සීතලට, දුගඳට ප්‍රියකරන, එය උපාදානය කරගත් පිරිසකුත් සිටිනවා. එම ස්‌වභාවයම මගේ කරගන්න පිරිසකුත් සිටිනවා. ඒ තමයි නිල මැස්‌සෝ. ඔබ උණුසුම් කය සැපයක්‌ කරගත්තා. නිලමැස්‌සෝ ශීතල කය සැපයක්‌ කරගෙන එයට ලොල්වෙනවා. ජීවත්ව සිටියදී ඔබ මගේ කරගත් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, පෙම්වතා, පෙම්වතියගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සැපයක්‌ කරගත්තා සේම එම රූපය මළකඳක්‌ බවට පත්වුණ මොහොතේ ඒ ඇස, කණ, නාසය, දිව, ශරීරයම කබරයින්, නරියන් වැනි කුණු මසට ලොල් සතුන් තළු මර මරා, වමාර වමාරා රස බලනවා. සැපයක්‌ කොට ගන්නවා. රූපය ඔබ නුවනින් දකින්න. ඔබ කර තිබෙන්නේ අර තිරිසන් සතුන් කළ දෙයම නේද?

තිරිසන් සතුන් කන මස්‌ කැබැල්ලක්‌ පාසා, හැපෙන මස්‌ කට්‌ටක්‌ පාසා, කුස පිරෙන මොහොතක්‌ පාසා, දුගඳ හමන මස්‌ කැබැල්ලක්‌ පාසා පිනවූයේ, පිනවුනේ තිරිසන් සතාගේ ඇස, දිව, කන, ශරීරය, නාසයමයි. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී ඔබත් කළේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔය ටික පිනවීම පමණමයි. බලනකොට ජීව මසට ලොල්වූ ඔබත්, අර කුණු මසට ලොල්වූ තිරිසන් සතාත් අතර ඇති වෙනස කුමක්‌ද? දැන් අපි හිතන්න ඕනේ අපි අර තිරිසන් සතාගේ, මසට ලොල් වූ සතාගේ ස්‌වභාවයෙන් ඉදිරියට යන්න ඕනෙ කියාලා. තේජෝ ධාතුවෙන් උණුසුම් කරපු මම – මගේ කියන මස අපි රස බලනවා. රූපය අපි රස බලනවා. ආපෝ ධාතුවෙන් සීතල කරපු මළකුණ තිරිසන් සතා රස බලනවා. වෙනස එපමණයි. රූපය අනිත්‍ය බව දකින්න. රූපය තුළ මම නැහැ කියලා දකින්න. ඇස නිසා දුකට පත් නොවන්න. ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න. ඇස නිසා, ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්‍ෂයෙක්‌ නොවෙන්න. මෝහයේ සළුපිලි වලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම බාහිර රූපයනුත් නිරතුරුව ප්‍රඥාවෙන් නිරුවත් කර බලන්න. ලැඡ්ජාවෙන්න එපා, බිය වෙන්න එපා. එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතන සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැමයි.