Wednesday, February 18, 2026

ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න

 2011/10/02 ලිපිය

වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක්‌ මැද, බැලුම් බෝලයක්‌ වැනි ආවරණයක්‌ මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක්‌ මගේ කොටගෙන එයට ඇලී, ඉන් මිදීමට අකමැතිව වාසය කරපු කෙනෙක්‌මයි. මෙවැනි ගර්භාෂ කෝටි කීයක්‌ අතීතයේදී අපි අපේ කරගෙන ඇතිද? අවාසනාව මෙය නොවේ. මෙතරම් ගර්භාෂවලට රිංගාගෙන මහා දුකක්‌, කැමැත්තෙන් වින්ද අපි වර්තමානයේදීද උත්සහ කරන්නේ ඔබේ ගර්භාෂයෙන් එවැනි දුක්‌ විඳින සත්වයෙක්‌ උපද්දවා ගැනීමටය. ඔය කැමැත්ත ඔබ තුළ තිබෙන තාක්‌කල් ගර්භාෂය මගේ කරගත් දරුවන් ද, දරුවන් මගේ කරගත් මවුවරුන්, පියවරුන්ද වීම මිස සසරින් මිදෙන්න නම් බැහැ.

ඔබේ මවුකුසින් දරුවකු ලෝකයට බිහිවුණ සැනින්, ඔබත් ඔබේ ස්‌වාමීපුරුෂයාත් මුළින්ම මොකද කරන්නේ. නමක්‌ හදනවා, වාසගම, මුලකුරු සමග උප්පැන්න සහතිකය සමගම… ඇයි මේ උප්පැන්න සහතිකය? බයයි මේ දරුවා අහිමි වේය කියලා. වෙන කෙනෙක්‌ අයිතිකරගනීය කියලා. ඒ නිසා රජයේ පොතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරනවා. ප්‍රශ්නයක්‌ වුණොත් උසාවියට ගිහින්හරි අයිතිකර ගන්නවා කියලා. නමුත් ඔබ සිතන්නේ නැහැ මේ දරුවා කොහේ සිටද ආවේ කියලා. සමහර විට ගිය ජීවිතයේදී මේ දරුවා අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්, යාචකයෙක්‌ වශයෙන් ජීවත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. කුල වශයෙන් සමාජයේ පීඩනයට පත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක්‌ වෙන්නත් පුළුවන්. ප්‍රේතයෙක්‌ වෙන්නත් පුළුවන්, යක්‍ෂයෙක්‌ වෙන්නත් පුළුවන්. දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක්‌ වෙන්නත් පුළුවන්. මෙසේ සිටි සත්වයෙක්‌ එතැනින් චුතව මව්කුසේ ප්‍රතිසන්ධිය ඇතිවූවා වෙන්න පුළුවන්. මේ දරුවා පෙර ආත්ම භවයේ ඔබේම අම්මා, තාත්තා, ඥාතියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒත් ඔබ දන්නේ නැහැ ඔබ මේ නළවන්නේ පෙර ආත්මයක ඔබේ අම්මා, තාත්තා, එහෙම නැතිනම් අන්‍ය ආගමක, අන්‍ය ජාතියක කෙනෙක්‌, ප්‍රේතයෙක්‌, දෙවියෙක්‌… කියන සම්මුතියෙන් හැඳින්වුණ සත්වයෙක්‌ය කියලා. මේ තමයි උපාදානයේ බලවත් බව. නිර්ලඡ්ජිත බව. උපාදානයේ සෙළුව, තන්හාවේ දුහුල් සළුවෙන් අපි වසාගන්නවා.

ඔබ මෙහෙම සිතන්න. ඔබ යුද කාලයේ ක්‍රියාන්විතයේ සේවය කරන හමුදා නිලධාරියෙක්‌ය කියලා. ඔබ රට, ජාතිය, ආගම, රැකියාව නාමයෙන් යුද්ධ කරනවා. ඔබේ අතින් මිනිසුන් මැරෙනවා. අපි හිතමු ඒ මිය යන මිනිසුන් ද්‍රවිඩ ජාතික නොමඟ ගිය අය කියලා. ඔබට ඒ අය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවෙනවා, වේදනාවක්‌ ඇතිවෙනවා. ඒ අයගේ දෙමාපියන් ඥාතියන් කෙරෙහි දුකක්‌ ඇතිවෙනවා. මෙවැනි සිත් පරම්පරාවක්‌ ඔබ තුළ ඇතිවෙමින් නැතිවෙන මොහොතක ඔබද යුද බිමේදී මියයනවා. මෙවැනි මියයැමකදී ඔබ නැවත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගැනීමට ඉඩකඩ ඕනෑතරම් තියෙනවා. ඒ ආකාරයකට ඔබ තුළ ඇති වූ උපාදානය නිසා, ඔබ ද්‍රවිඩ මවකගේ කුසේ ප්‍රතිසන්ධිය ලබනවා. දරුවකු ලෙස ලෝකයට බිහිවෙනවා. ඔබ දැන් අලුත් සම්මුතිය තුළ අභිශේක ලබන්නේ යාපනයේ ද්‍රවිඩ පවුලක ද්‍රවිඩ නමක්‌, වාසගමක්‌ සහිත ද්‍රවිඩ දරුවෙක්‌ ලෙසයි. එම දරුවා යාපනයේ ලොකු මහත්වී දසවැනි වියට පැමිණියහම ද්‍රවිඩ කණ්‌ඩායමේ ළමා සොල්දාදුවෙක්‌ වශයෙන් රාජ්‍ය හමුදාවට එරෙහිව සටන් වදිනවා. බලන්න මොනතරම් මුළාවක්‌ද? වසර 11ක කාලයක්‌ තුළ සිංහල හමුදා නිලධාරියෙක්‌ වශයෙනුත්, ද්‍රවිඩ සොල්දාදුවෙක්‌ ලෙසත් භූමිකා දෙකකට පණ දුන්නා. මේ භූමිකාව මෙතැනින් නවතින්නේ නැහැ. නැවත නැවත උපාදානයක්‌ නිසාම භවය කරා යනවා. ඔබ වර්තමාන ජීවිතයේදී මහත් අභිමානයෙන් යුතුව මම සිංහල බෞද්ධයෙක්‌ කියලා උදම් ඇනුවද ඔබ පෙර ආතමයේ අන්‍ය අගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්. මේ ජීවිතයෙන් පසු නැවත ඔබ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වන මවුකුසක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් අපි අල්ලාගත් දේ තුළ ‘මම’ ඉන්නවාය කියලා දකිනවා. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ කල්ප සියක්‌ කෝටි ගණනක ඈත පටන් අපි මැරෙමින් ඉපදෙමින් පැමිණීමේ ගමනේදී ඔබ මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, තිරිසන් සතෙකුටම, ප්‍රේතයෙකුටම, තිරිසනෙකුටම, බ්‍රහ්මයෙකුටම ලේ ඥාතියෙක්‌ වී සිටිය බව. සම්මුතිය තුළ වෙන් වශයෙන් හඳුනාගත්තත් සියලුදෙනාම ඔබේ ලේ ඥාතීන්මයි. නමුත් ලෝකය තවමත් වර්ගවාදීව යුද්ධ කරනවා. ඒ අය දන්නේ නැහැ යුද්ධය තිබෙන්නේ යුද බිමේ නොවේ කියලා. ඒත් ඒ අය හිතනවා යුද්ධය තිබෙන්නේ යුද බිමේය කියලා. නමුත් යුද්ධය තිබෙන්නේ, යුද්ධයේ මූල බීජයන් හටගන්නේ අවිද්‍යා සහගත මනුෂ්‍ය සිතේ. සිතේ තමයි යුද්ධය හටගන්නේ. කුමක්‌ නිසාද? තන්හාව නිසා හටගන්නා උපාදානය හේතුවෙන්. ඒක නිසා කවුරුහරි හිතනවානම් ලෝකයේ යුද්ධය නතර කළ හැකිය කියලා, එය මිත්‍යාවක්‌මයි. යුද්ධ නතර කරන්න බැහැ. ඉවරකරන්නත් බැහැ. හැබැයි තාවකාලිකව වැඩි බලයෙන් යටපත් කර තබන්න පුළුවන්. එයත් තාවකාලිකයි. යුද්ධය නතර කළ හැක්‌කේ මිනිසුන් මැරීමෙන්, දෘෂ්ටින් මැරීමෙන් නොවේ, මිනිසා තුළ අවිද්‍යාව මරාදැමීමෙන් පමණක්‌මයි. අවිද්‍යාව මියගිය තැන උපදින්නේ විද්‍යාවයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු යුද්ධ භූමිය පමණක්‌ නොවේ. යුද ආයුධ, යුද ආයුධ කර්මාන්ත ශාලා සේම යුද සේනාවද සුණුවිසුණුකොට දමා අවසන්ය. ඔහු මේ සියල්ල විනාශකොට දැමුවේ ආයුධ පාවිච්චි කර නොවේ. සතිය සිහිය නැමැති ආයුධය පමණක්‌ පාවිච්චි කිරීමෙනි. ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ තව තව මායිම් අල්ලාගැනීමෙන් නොව, අතහැරීමෙන්ය. දැන් ඔබට වැටහෙන්න ඕනේ ගෙදර යුද්ධයත්, ගමේ යුද්ධයත්, රටේ යුද්ධයත් හටගන්නේ කුමක්‌ හෝ උපාදානය කරගත් නිසාය කියලා. උපාදානය කරගත් දෙය අතහරින්න. එවිට යුද්ධය නවතිනවා. ඒත් ඔබ එයට කැමති නැහැ. මොකද ඔබ උපාදානය කරගත් දෙය මගේය, එය නිත්‍යය කියලා දකින නිසා. ඔබ උපාදානය කරගත් දෙය රට වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ආත්මගරුත්වය, රැකියාව, තමාගේ පැවැත්ම, නායකත්වය, මේ අනිත්‍යවූ ධර්මතාවයන් තමයි ඔබේ සකස්‌වීමට හේතූන් වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්හාව නිසාය උපාදානය සකස්‌ වෙන්නේ කියලා. මේ උපාදානය තමයි ඔබව ජාති, ජරා, ව්‍යාධි මරණ කරා රැගෙන යන්නේ. ඒ නිසා ඔබ ඔය දිවීම, ව්‍යායාම කිරීම, ශරීරය හැදීම මොහොතකට නතර කරලා, එහෙම නැතිනම් ඒවා කරන ගමන් විවේකීව සිතන්න මොකක්‌ද මේ කය….. මස්‌, නහර, ඇට, රුධිරය, අසූචි, මුත්‍රා, බොකු බඩවැල්, සෙම්, සොටු… මෙහි හදන්න දෙයක්‌ තිබෙනවාද? මේවායේ මොනවා හදන්නද? ජරාවක්‌මයි. පිළිකුලක්‌මයි තිබෙන්නේ. මෙය හදන්න නොවේ තිබෙන්නේ, අතහරින්නයි. ඔබ උදේට කටේ තිබෙන කුණුකෙළ මගේ නොවේ කියලා ඉවතට දමනවා. ඇසේ තිබෙන කබ, ශරීරයේ පිරුණු අසූචී, මුත්‍රා මගේ නොවේ කියලා ඉවතට දමනවා. ශරීරයේ පිරුණු වාතය මගේ නොවේය කියලා එලියට දමනවා. ශරීරයේ පිටවන දහදිය මගේ නොවේය කියලා පිසදමනවා. අන්න ඒ වගේ ඔබ තුළ තිබෙන්නාවූ, ‘මා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාය. ඔහුව නිරෝගී කරන්න ඕනෑය. ඔහුගේ මස්‌පිඩු ක්‍රමවත් කරන්න ඕනෑය’ කියන අවිද්‍යා සහගත සිත ඔබ ඔබේ නොවේය කියලා ඉවතට දමන්න. මා තුළ ‘මම’ සිටියි. මා තුළ ආත්මයක්‌ තිබේය යන දෘෂ්ටීන්ගෙන් මිදෙන්න. ඔබට ලැඡ්ජා නැතිද, හිරිකිතයක්‌ අපුලක්‌ නැතිද මළ කුණකට, මළ කඳකට අතීතයේ ප්‍රේතයෙකු, තිරිසනකු, තිරිසන් සතකුව ඔබ ඔබේ කරගන්න. ‘මම’ කියලා හඳුන්වාගන්න. ඔබට ලැඡ්ජයි නේද?

තාමත් ඔබට ලැඡ්ජාවක්‌ නොදැනෙන්නේ නම් ඔබ මේ සටහන නැවත නැවත කියවන්න. මේ ඔබ කියවන්නේ ඔබේ රූපයෙන් නිදහස්‌වීමේ මාර්ගයයි. නිවීමේ මාර්ගයයි. මේ ගැන සිතලා සතුටු නොවී, ඇති වූ සතුටත් අනිත්‍ය බවම දකින්න. ඇතිවූ, නැතිවගිය සිත අනිත්‍ය වශයෙන් දැක නිවීමේ මඟට අවතීර්ණ වන්න.

කයේ ස්‌වභාවය හොඳින් දකින්න. ඔබ දැකලා තිබෙනවාද ලස්‌සන කුකුලෙක්‌ව. නා නා වර්ණ පිහාටු වලින් කුකුලා අලංකාරයි. දකින්න ප්‍රිය උපදවන රූපයක්‌ එයාට තිබෙනවා. මේ ලස්‌සන කුකුලාව මස්‌ කඩයට ගෙනිහින් පිහාටු සේරම ගලවලා, සුද්ද කරලා, යකඩ කොක්‌කක, එහෙත් නැතිනම් වීදුරු ශීතකරණයක විකිණීම සඳහා තබා තිබෙනවා ඔබ දැකලා ඇති. උගේ දැන් තිබෙන්නේ සම පමණයි. ලස්‌සන පිහාටු නැහැ.

දැන් ඔබ ඔබේ කය දෙස බලන්න. ඔබ හුදෙකලාව මනසින් හෝ හැබැහින් ඔබේ කය නිරුවත් කරන්න. කැඩපතක්‌ ඉදිරියේ සිට දකිනවා සේ ඔබේ කය දෙස බලන්න. අර කුකුල් මස්‌ කඩේ එල්ලලා තිබෙන හමගහපු කුකුළාගේ කයත් ඔබේ කයත් අතර වෙනසක්‌ තිබෙනවාද? ඔබේ කයත් හමගහපු කුකුලෙක්‌ වගේමයි. ඔබ මමත්වයෙන් පිරුණු ඔබේ සිත ලැඡ්ජාවට පත්කරන්න. සිත අපහසුවට පත්කරන්න. මාන්නය බිඳ දමන්න. කුකුලාව ලස්‌සන කළේ උගේ ලස්‌සන පිහාටු වගේම ඔබවත් ලස්‌සන කරලා පෙන්වනනේ ඔබේ ඇඳුම් පැළදුම්, ආභරණ, සුවඳ විලවුන්. අර කුකුල් කය බාහිර දේ විසින් අලංකාර කරනවා. ඔබ යථාර්ථයෙන් ඈත් කරනවා. අවිද්‍යාවෙන් අන්ධ කරනවා මේ වෙළෙඳපොළ කියන්නේ අවිද්‍යාව විකුණන තැනට. වෙළෙඳපොළේ මුදලාලිලා අවිද්‍යාව පැකට්‌ කරලා, බෝතල් කරලා, පෙට්‌ටි කරලා, ලස්‌සන ලේබල් අලවලා, රූපවාහිනී දැන්වීම් දමලා, ලොකු බෝඩ් ප්‍රදර්ශනය කරලා, විදුලි බුබුලු දමලා අලෙවි කරනවා. මේ මිනිස්‌සු උදේ ඉඳලා රෑ වෙනකම් කර්මාන්තශාලා වල, වැඩබිම් වල රැකියා කරන්නේ මේ අවිද්‍යාව මිලදී ගන්න සල්ලි සොයන්නයි. එක පැත්තකින් ඔවුන්ට අවිද්‍යාව නිෂ්පාදනය කරනවා. තව පැත්තකින් ඔවුන් අවිද්‍යාව මිලදී ගන්නවා. සමාජයේ ඇති නැති ස්‌වභාවය මත මේ නිෂ්පාදනයේ සහ මිලදී ගැනීමේ ගුණාත්මකභාවයන් අඩුවැඩි වෙනවා. ලෝකය භාණ්‌ඩ සහ සේවා අංශයෙන් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යා දියුණු වෙනවා කියන එකයි. අවිද්‍යා නිෂ්පාදනය සහ මිලදී ගැනීම ඉහළ යනවා කියන එකයි.

ඔබ දැන් නිවී සැනසිල්ලේ සිතන්න ඔබත් අවිද්‍යාවේ දාසයෙක්‌ද? පිංවත් ඔබ ශරීරයේ නිරෝගීබවට, දිවීමට, ව්‍යායාම කිරීමට වැයකරන කාලය මේ කය අවබෝධ කරගැනීමට වැයකරන්න. ඔබට අයිති නැති ආගන්තුක සිත, ඔබේ යටතට ගන්න. සතිය සිහිය උපද්දවාගන්න. දුවන්න, ව්‍යායාම කරන්න කියන සිත ඔබ අතහරින්න. එවිට දිවීම, ව්‍යායාම ඔබට අතහැරේවී. දිව සංවරව තබාගෙන නිරෝගී වන්න. නිරෝගී ශරීරයක්‌ ඇති අයෙක්‌ වන්න, එහි අනිත්‍යය දකිමින්ම.

නිරෝගී කය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොව, සසර ගමනින් එතෙරවීම සඳහා ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක්‌ කරගන්න. ඔබ නැවත වේගයෙන් දුවන චීටාවෙක්‌, සිරුරට බොහෝ ව්‍යායාම් දෙන වඳුරෙක්‌, ව්‍යායාම් සරඹ ආදිය උපාදානය කිරීමෙන් ඉපැදුණු අහසේ ජිම්නාස්‌ටික්‌ කරනා ප්‍රේතයෙක්‌ නොවීමට වගබලාගන්න. 

කය දුවවා වැඩක්‌ වේද සිත නතර කරනු බැරිනම්

 2011/09/25 ලිපිය

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක්‌ නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක්‌ ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක්‌ සඳහාද?

ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර.

මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්‌. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්‌. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක්‌ සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක්‌ හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද?

වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක්‌ අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක්‌ වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම…..

මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත, උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක්‌ දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක්‌ පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්‌, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික්‌ වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක්‌ නොමැතිව මීටර 200 ක්‌ පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක්‌ ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක්‌ වැනි දෙයක්‌ මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක්‌ නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්‌. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක්‌ හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක්‌ නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක්‌ ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්‌. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක්‌ උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක්‌ පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්…

නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක්‌ තමයි ශරීරයට දුක්‌ දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස්‌ ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක්‌ දුන්නා. කුමක්‌ උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක්‌ විඳින්නේ. ඔබ මේ දෙතිස්‌ කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්‌, උණක්‌, අසනීපයක්‌ හැදුනහොත් සතියක්‌ ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් ‘ජොල් වීමට’ පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක්‌ මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි.

මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්‌, ව්‍යායාම උපදෙස්‌ දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස්‌ දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක්‌ වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස්‌ ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යැපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක්‌ වූයේ දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක්‌ දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි.

ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක්‌ ආයුෂ විඳින්න නොවේ. හැකිතාක්‌ ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ.

හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක්‌ තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්‌. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්‌. නිවීම කියන්නේ අතහැරීමක්‌. අල්ලා ගැනීමක්‌ කෙළවර අතහැරීමක්‌ ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්‌. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක්‌ අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා.

මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම.

පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක්‌ වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක්‌ වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර…. මොනතරම් ජරා ගොඩක්‌ මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක්‌ මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක්‌ හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක්‌ ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක්‌ ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක්‌ විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක්‌ වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක්‌ විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක්‌ තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා ‘මගේ දරුවාය’ යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්තිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක්‌ හැටියට දකින්නේ.

දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැඟීම. මගේ තැන, නව මාසයක්‌ මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා.

අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක්‌ අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක්‌ අතහැරෙද්දී තව රූපයක්‌ සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා.

රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය

 2011/09/18 ලිපිය

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස්‌ කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස්‌ කළු කරන්න, කළු කෙස්‌ නා නා වර්ණ ගන්වන්න……

බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක්‌ මේක.

මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස්‌ භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය “රීකන්ඩිශන්” කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි.

වයස්‌ භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංඛේතයන්ය. සිහිවටනයන්ය.

යමෙක්‌ මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක්‌ ගොදුරක්‌ නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්‌. රූපය කියන්නේ ව්‍යාධියක්‌, රූපය කියන්නේ ඉපදීමක්‌. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්‌. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අවුරුදු 80ක්‌ ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට්‌ එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක්‌ තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි.

සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ,

රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්‌. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක්‌ පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක්‌ නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස්‌ පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න…

බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා.

මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා අපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමු යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. “මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න.” තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක්‌ උදෙසා දුක්‌ ගොඩක්‌ අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක්‌ නොවෙයි. දුකක්‌. දුකට අයිති දෙයක්‌.

මේ සියලු දුක්‌ කන්දරාව කුමක්‌ නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක්‌ නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක්‌ කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස්‌ කැබැල්ලක්‌ කඩලා ගත්තොත් එම මස්‌ කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව.

ඒ කියන්නේ මස්‌ කැබැල්ල තුළ ධාතු කොටස්‌ හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස්‌ කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස්‌ කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක්‌ නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස්‌ තුනත් තිබුණු බව.

ඔබ මුත්‍රා කෝප්පයක්‌ ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස්‌ හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක්‌ වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස්‌ හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස්‌ ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක්‌ ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස්‌ වේ.

රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක්‌ එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක්‌ බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක්‌ සුළඟ පාවී යන දුමක්‌ සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය.

ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක්‌ සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණක්‌මය. මස්‌ ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස්‌ සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි.

ඔබට සරළ උදාහරණයක්‌ පෙන්වන්නම්. ඔබ මේසයක්‌ ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක්‌ පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක්‌ දික්‌ කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස්‌ ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්.

එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යැයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක්‌ නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස්‌ වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා…. මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න.

ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට “හාමුදුරුවෝ” කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක්‌ මගේ කරගැනීම නිසා නේද.

මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්‌, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට්‌ සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක්‌ මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්‌, නිය, දත්, සම, මස්‌ කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස්‌ ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්‌, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක්‌ නිසා.

ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස්‌ කොළන් මේවායින් යැපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්‌, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක්‌ හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්‌, නැතිනම් තවත් සත්වයෙක්‌, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති.

ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය…. කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ.

ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්‌, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්‌, අවසානයක්‌ නොපෙනනෙන චක්‍රයක්‌ සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි.

අනිත්‍යවූ දෙයක්‌ කුමක්‌ නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.

බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න

 2011/09/11 ලිපිය

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.

පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක්‌ ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි.

සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක්‌ දැනෙන දෙයක්‌ විය නොහැක. එය ඔබව බරෙන් නිදහස්‌ කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව, ශාසනයේ සැහැල්ලුව දැරීමටය. ශාසන ප්‍රතිපදාවේ යෙදෙන විට ඔබට වෙහෙසක්‌ බරක්‌ දැනේ නම් ඔබ, ඔබ ඉදිරියේම ප්‍රශ්නාර්ථයක්‌ තබාගත යුතුය. මග නොමග ගැන සිතීමට ඔබ නිහතමානී විය යුතුය. එහෙත් ඔබ සොයන්නේ ඔබේ ජීවිතයට සැපයක්‌ නම්, සතුටක්‌ නම්, ඔබට වෙහෙස මෙන්ම බර දැනෙනු ඇත. මන්ද ඔබ නැති යමක්‌ සොයන නිසාය. අපි බෞද්ධයන් විය යුත්තේද, පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය. ශාසන ප්‍රතිපදාවේ යෙදීමේදී අපට බරක්‌, වෙහෙසක්‌ දැනේනම් එය අපට අවශ්‍ය නොමැත.

ගිහි පැවිදි අප නිවැරැදි ලෙස ආමිස ප්‍රතිපදාවේ යෙදෙන විට, ලොව්තුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජා පවත්වන විට, එහි ආනිසංශ වශයෙන් පූජා පවත්වන්නාට සිව්පසය ගලාගෙන එන්නේය. එය ආශ්චර්යයක්‌ නොවේ. බුදු බලය, සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ශ්‍රද්ධාව ඔබට ලැබෙන දිට්‌ඨධම්මවේදනීය කුසල විපාකයකි. මෙම සෞභාග්‍යය සමාජයේ අපට නිතර දකින්න පුළුවන්. නමුත් කුසල විපාකයක්‌ වශයෙන් සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා. ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ, ලොව්තුරා බුදු සමිඳුන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන උන්වහන්සේ දේශනා කළ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් වඩින්න. සෞභාග්‍යය තුළින් ඔබට විශ්වාසයක්‌ ලබාදෙන්නේ මේ දෙය කළොත් මේ දෙය ලැබෙනවා කීම පිණිසයි. එවිට ඔබ දක්‍ෂ විය යුතුයි. ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න. නමුත් අප සෞභාග්‍යය බදාගැනීමට ආමිසය තුළ සිරවෙනවා. එවිට තව තවත් සිව්පසය ගලාගෙන එනවා. අවසානයේ එම සිව්පසය විසින් අපව ග්‍රහනයකට ගන්නවා. එවිට ඔබ ශීල, සමාධි, ප්‍රඥා නිවන් මගේ ඉදිරියට නොයා, ඔබ සැපයි කියා සිතූ තැන නවාතැන් ගන්නවා. පදිංචි වෙනවා. මෙහි වැරැද්දක්‌ ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ දැන් සෞභාග්‍යය ලැබීමෙන් මත්වෙලා. ඔබට දුර පෙනෙන්නේ නැහැ. ඔබ දකින්නේ ළඟ පමණයි. ඈත තිබෙන ප්‍රඥා මාර්ගය ඔබට පෙනෙන්නේ නැහැ. මොකද ඔබ පසුපසටයි ගමන් කරන්නේ. අලෝකයට පිටුපාමින්, අඳුරේ අතපතගාමින් අපි මොනවද මේ සොයන්නේ. නැති සතුටක්‌, සෞභාග්‍යයක්‌ සොයනවා. ඔබ සොයමින් යන සතුට, සෞභාග්‍යයේ මිම්ම, සීමාව, සෑහීම, නොසැහීම තිබෙන්නේ ඔබ ළඟමය. මේවායේ තීරකයා, විනිශ්චයකරුවා ඔබේ ඇති වෙමින් නැතිවන සිතමය. එහෙත් ඔබ ලෝකය තුළ කිසිදා හමුනොවන සතුට සොයනවා. සැප සොයනවා.


ඔබට ලැබීමටත්, අතහැරීමටත් දෙකටම මඟ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි. ඔබ මෙහිදී දක්‍ෂ වෙන්න අවශ්‍යයි. කුමකටද? ලැබීම අතහැර ඔබට සිව්පසය ලාභසත්කාර ලබාදීමට මඟ පෙන්වූ ලොව්තුරා බුදු සමිඳුන් දැකීමට. ලොව්තුරා බුදුසමිඳුන් උන්වහන්සේව දකින්නට, ඔබට අවස්‌ථාව සලසාදී තිබියදී, ඔබ නැති සතුටක්‌ සොයමින්, නිදිමරා වෙහෙසෙනවා. විඩාවෙන් අවිවේකයෙන් සිටින ඔබ ඔබෙන් අසන්න, මේ මොහොතේ ඔබ සොයන්නේ එම නැති සතුටම නේද? කියලා.


සියලුම මනුෂ්‍යයන් විසි හතර පැයේම වෙහෙසෙන්නේ කුමක්‌ සඳහාද? ඔවුන් ඒ වෙහෙසෙන්නේ අයිති කරගැනීම සඳහාය. වැඩිකර ගැනීම සඳහාය. මොනවා අයිතිකර ගැනීම සඳහාද?


සැප, සතුට, වගකීම්, නායකත්වය වැඩිකර ගැනීමටය. අයිතිකර ගැනීමටය. මිනිසා පමණක්‌ නොව, තිරිසන් සතාද අරගල කරන්නේ, වෙහෙසෙන්නේ, සැරිසරන්නේ සැප සෙවීම සඳහාය. දෙවියෝද දිව්‍ය ලෝකවල බැසගෙන දිව්‍ය සැප, දිව්‍ය ඕජාව විඳින්නේ සැපයට ඇති කැමැත්ත නිසාය. සැපය නිත්‍ය යෑයි ගෙන සැප පසුපසම හඹායැම නිසා ඔවුන් නිරතුරුවම රැස්‌කරන්නේද තන්හාවමය. තන්හාව තුළින් ජනිතවන්නේද අකුසලයක්‌මය. සත්වයින්ට සැප සෙවීම සඳහා යන මේ අසාර්ථක ගමනේදී තමන් නොදැනුවත්වම සතර අපායට වැටී අනන්ත දුක්‌ විඳිමින් සැරි සැරීමට සිදුවනු ඇත. බ්‍රහ්ම ලෝකවල ජීවත්වන මිත්‍ය දෘශ්ඨික, තෙරුවන් සරණ නොගිය බ්‍රහ්මයෝද නැවත සතර අපායට වැටී දුක්‌විඳීමේ ස්‌වභාවය ඇත. බ්‍රහ්මලෝක වල සිටින සම්‍යක්‌දෘෂ්ඨික බ්‍රහ්මයන් හැර අන් සියලු සත්වයන්ට සැපය සොයායන ගමනේදී අත්වනුයේ එකම ඉරණමකි.


දිව්‍ය සැප කෙටිය. සතර අපායේ දුක ඉතා දීර්ඝය. දිව්‍ය ලෝකයේ දෙවියන් නිරතුරුවම අනන්ත කාම සම්පත් විඳිමින්, එම කාම සම්පත් වලට තව තවත් ලොල් වෙමින්, අධික ආශාවෙන් කාමය පසුපස හඹායැම නිසාත්, නිරතුරුව තන්හාව වැඩීම නිසාත් අකුසල රැස්‌කර ගනී. මේ හේතුවෙන් දිව්‍ය සැප ඉක්‌මනින් පිරිහී යයි. දෙවියන් නැවත සතර අපායට වැටීමේ ඉඩකට ඉතාම වැඩිය. එහෙයින් දිව්‍ය සැප කෙටිය. සතර අපායේ ජීවත්වන සත්ත්වයා, ඔහු විඳින දුක නිසාම නිරතුරුව වෛරය, ක්‍රෝධය සහිතව ජීවත් වේ. එතුළින් සෑම මොහොතකම එම සත්වයන් රැස්‌කරන්නේ අකුසලයක්‌මය. මේ හේතුවෙන් අකුසල් වැඩිවී, මේ සත්වයා දුකෙන් දුකටම පත්වේ. සතර අපායේ කොටස්‌කරුවන් බවටම පත්වේ. බ්‍රහ්ම ලෝකයේ ජීවත්වන බ්‍රහ්මයාද තමා විඳින සමාධි සැපය අනිත්‍ය යෑයි දකින මොහොතේම අරිහත්වයට පත්වීමට හැකියාව තිබියදී, සමාධි සැපය අනිත්‍ය යෑයි දකිමින් එහි සතුට සොයන නිසා, අරිහත්වයට තමා විසින්ම දොරගුළු දමාගනී.


බ්‍රහ්ම ලෝකයේ, බ්‍රහ්ම තලවල මිත්‍යදෘෂ්ඨික බ්‍රහ්මයන්ද ඇත. ඒ මිනිස්‌ ජීවිත වලදී ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීම නිසා බ්‍රහ්ම සැප ලබයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ නොගිය පිරිසකි. බෞද්ධයින් නොවේ. මේ බ්‍රහ්මයන් ප්‍රඥාව වඩවාගෙන නොමැත. ඔවුන් සිටින්නේ අවිද්‍යාව තුළය. එවැනි බ්‍රහ්මයන් නැවත සතර අපායට වැටේ. එහෙත් ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීමේ ආනිසංස නිසා ඒ අයට කල්ප ගණන් බ්‍රහ්ම සැප ලැබිය හැකිය. කවදාහෝ දවසක තෙරුවන් මුණගැසී, තෙරුවන් සරණ ගොස්‌, ප්‍රඥාව වැඩී, සෝවාන් ඵලයට පත්ව, බ්‍රහ්ම ලෝකය තුළම නිවීමේ මඟට පත්වීමට මේ අයට හැකියාව ඇත. එතෙක්‌ ඔවුනද නැති සතුටක්‌ ලෝකය තුළ සොයන පිරිසක්‌මය. ඒ අය මිනිස්‌ ජීවිතවලදී අතහැරීම පුරුදුකොට ඇත. එහෙත් ඔවුන් අතහැරීම පුරුදුකොට ඇත්තේ ප්‍රඥාව නිසා නොව සමාධි සැපයට ඇති ලොල්වීම, තෘෂ්ණාව නිසාය. සියලුම සැප අතහැරියත් සමාධි සැපය නිත්‍ය බවට ඇති විශ්වාසය නිසාය.


සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකය. ඔබේ කුටිය දෙස බලන්න. එහි සුවපහසු පුටු,මේස, ඇඳ, ඇතිරිලි, පාපිස්‌නා, පලස්‌, රේඩියෝ, ආහාර පාන, කිරිපිටි, බෙහෙත් තිබෙනවාද? මේ සියල්ල තිබෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, සැප සඳහාය.ඒ කියන්නේ නිරතුරුවම ඔබ සිටින්නේ දෙවැනියෙක්‌ සමඟමයි. හුදෙකලාව නම් නොවේ. ඔබම සිතන්න, තුන් සිවුරත් පාත්‍රයත් කියන සීමාවෙන් කොච්චර දුරස්‌වද ඔබ ඉන්නේ. එපමණටම තන්හාව ඔබේ හුදෙකලාව මකන හිතවතා වෙලා.


සක්‌විති රජ පදවියද, රාජ රාජ මහාමාත්‍ය පදවිද සංසාරයේ ලබා ඇති අපි , එම රජශ්‍රීය තළුමරමින් රසවිඳ ඇති අපි. වර්තමානයේදී අනවබෝධය නිසා නොවිඳපු රස, සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්‌විති රජ පදවිය ලද මොහොතේදීද එම සක්‌විති රජ පදවියෙන් චුතවන මොහොතේදීද, ඔබ එම සැපයෙන් සෑහීමකට පත්නොවුණි. ඒ නිසාම තන්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනටම වැටුණි. මේ ඔබ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතමය. මේ කෑදරකම නිසාම ඔබව රැගෙන පැමිණි දුර තව රැගෙන යැමට නියමිත දුර, ඉලක්‌කම් වලින් ප්‍රකාශ කළ නොහැක. ඔබ කව්රුන් වුවද ඔබ මේ වෙහෙසෙන්නේ සැප සෙවීම සඳහා නොවේද? ඔබ මේ පුවත්පත අතට ගත්තේද ඔය සිත ඔබට අණ කළ නිසා නේද? ඒ සිත දැන් තිබෙනවාද? එය අනිත්‍ය වී ගොසිනි. ඒ සිත ඔබට අයිති දෙයක්‌ නොවෙයි නේද? ඔබට ආගන්තුකයෙක්‌ නේද? එහෙත් අතීතයේ යම් මොහොතක එම සිත නිත්‍ය යෑයි සිතා, ඔබේ යෑයි සිතා, සිත ක්‍රියාත්මක කළා නේද? ඒ තුළින් ඔබ කුසලයක්‌ හෝ අකුසලයක්‌ රැස්‌ කළා නේද? මේ දෙකම ඔබට රැගෙන යන්නේ බවයට නේද? එසේ නම් අනිත්‍ය වශයෙන් නොදකින සෑම සිතක්‌ම ඔබව සංසාරයට රැගෙන යනවා නේද?


ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම් සන්ධිස්‌ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්‌ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මඟේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක්‌ දෙනවා. එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. ශාස්‌තෘන් වහන්සේ දෙන කමටහනක්‌ නිසා එය දැඩි ලෙස ඔබට දැනෙනවා. අවබෝධ වෙනවා. ඒ මොහොතේම ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකපු සිත අනිත්‍ය වශයෙන් දකිනවා. උන්වහන්සේගේ රූපකාය, උන්වහන්සේගේ කමටහන, මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ එය එසේ වනවාමයි. මෙහිදී ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ ඔබ තුළ වැඩෙන ප්‍රඥාවයි. ප්‍රඥාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් කියන්නේ දෙකක්‌ නොව එකක්‌ය යන්න ඔබට මෙහිදී හොඳින් අවබෝධ වනවා. අපි හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාවත් කියන්නේ එකක්‌ බව. එහෙත් ඔබ නිවීමේ මෙහෙයුමේ ක්‍රියාත්මක භාවයට පත්වීමේදී ඔබට මේ යථාර්ථය අවබෝධ වනවා. අද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවානම් ඔබට දෙන කමටහනත් ඔය කමටහනම විය යුතුය. zඇතිවුණ සිත අනිත්‍ය වශයෙන් දකින්නZ එය තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙතෙක්‌ කළේද, කරමින් සිටින්නේද ඇතිවන සිත තන්හාවෙන් තෙත්කර ක්‍රියාත්මකභාවයට පත්කිරීමය.


බලන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දෙදහස්‌ හයසියයක්‌ ඉක්‌මගියද, ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් කමටහන් ලබාගන්න. උන්වහන්සේව දකින්න. උන්වහන්සේගෙන් ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න.


අසූහාරදහසක්‌ පහන්ද, මල්ද, හඳුන්කූරුද, පිරිකරද පූජාකර ඔබ දකින්නේ දිව්‍ය, මනුෂ්‍ය සශ්‍රීක සංඥාවන්මය.


එම සංඥා භවගාමීය. එහෙත් ඔබ එම සිත අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඔබ දකින්නේ ධර්මයයි. ඔබ දකින්නේ ලෝකයේ සැබෑ ස්‌වභාවයයි. හැබැයි ඔබ තුළ තවම එම ශක්‌තිය මෝදුවී නැති නම්, ඔබ කළ යුත්තේ ඉහත පිංකම්වල යෙදෙමින්, ඔබ තුළ ඉහත ශක්‌තිය වර්ධනය කර ගැනීමය. එහෙත් ඔබ එකතැන පල්වෙන, එකතැන පදිංචිවෙන බෞද්ධයෙක්‌ නොවිය යුතුය. අත්විඳිමින්, අත්දකිමින්, අවබෝධය කරා යන බෞද්ධයෙක්‌ විය යුතුය. පෘථග්ජන සත්වයා කල්මැරීමට ඉතාමත් ප්‍රියය. අතීතය පුරාවට කළේද කල් මැරීමය. බහුතරයක්‌ බෞද්ධයෝ වර්තමානයේදීද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා, නිවන් දැකීමට බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. ඔබ ගිහි හෝ පැවිදි වුවද මෙසේ ප්‍රාර්ථනා කිරීමේදී ඔබ දකින්නේ මෛත්‍රී බුදුන් නොව, අවිද්‍යාවයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවයි. නමුත් මෛත්‍රී බුදුන්ගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා නිවන් දකින්න යෑයි ඔබට අණකරන ඔබේ සිත අනිත්‍ය බව දැකීමෙන් ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයමයි. බලන්න ධර්මයේ ආශ්චර්යය. අද මේ මොහොතේදී ඔබට පුළුවන් මෛත්‍රී බුදුසමිඳුන් විසින් දේශනා කරන ධර්මය දකින්න. අත්විඳින්න. එහෙත් ඔබ තුළ ඇති අවිද්‍යාව නිසා, ඔබ දුක්‌ විඳිමින් කල්ප ගණනක්‌ සසර ඈතට යන්න යනවා. අවිද්‍යාව විසින් සත්වයාව මොනතරම් මුලාකරනවාද බලන්න. මෛත්‍රී බුදුසමිඳුන්වත්, උන්වහන්සේ දේශනාකරන ධර්මයත් මේ මොහොතේ දකින්න අවස්‌ථාව තිබියදී, භවයට කෑදර අපේ සිත, අපිව දුකටම ඇදගෙන යනවා. මෛත්‍රී බුදුසමිඳුන්ව පෙන්වනම් කියා අපිට අවිද්‍යාව පෙන්වනවා.


ඔබ දක්‍ෂවෙන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. ඔබට ආගන්තුකයෙක්‌ බව දකින්න. සිත ඔබේ දුක්‌ දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානයයි. ඔබ අවබෝධ කරන්නේ පංචඋපාදානස්‌කන්ධයයි. පටිච්චසමුප්පාදයයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. ඔබ මේ කිසිවක්‌ සොයා යා යුතු නැත. හැදෑරිය යුතුද නැත. ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දැකීමේදී ඉහත ධර්මතාවන් ඔබ තුළ අයාසයෙන් තොරව වැඩෙනු ඇත. ඔබට අවබෝධවනු ඇත. සිතේ අනිත්‍යභාවය නොදකින්නා, මේ ධර්මථාවන් සොයාගෙන කමටහන් පංති දේශනා පසුපස යා යුතුය. ඔහු මේ සොයන්නේ තමා තුළ තිබෙන දෙයකි. සියල්ල සෙවීම අතහැර ඔබ මේ සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, දෙතිස්‌ කුණපය ක්‍රියාත්මකභාවයට පත්කරන, ඇතිවී නැතිවී යන සිත ගැන පමණක්‌ සොයන්න. දකින්න. ඒ ඔබ සොයන්නේද, දකින්නේද ධර්මයයි.


ඔබට කතරගමට යැමට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ බස්‌ නැවතුමට ගොස්‌ කතරගම බසයකට ගොඩවී, ටිකට්‌පතක්‌ ලබාගැනීමය. එවිට බසය ඔබව කතරගමට රැගෙනයනු ඇත. කතරගමට යන ගමනේදී ඔබ වටපිටාව හොඳින් නිරීක්‍ෂණය කරමින් ගියහොත් ඔබට කළුතර බෝ සමිඳුන්ද, ගාල්ල වරායද, හම්බන්තොට ලුණු ලේවායද, තිස්‌ස මහසෑ සමිඳුන්ද දැකිය හැකිය. ඔබ බස්‌ රථයට ගොඩ නොවී බස්‌ නැවතුමේ සිටින අයගෙන්, එහෙත් නැතිනම් මාර්ග සිතියමකින් කළුතර බෝ සමිඳුන් ගැන, ලුණු ලේවාය, වරාය, මුහුද ගැන විස්‌තර තොරතුරු ඒවායේ ස්‌වභාවය ඇසීමට ගියහොත්, සෙවීමට ගියහොත් ඔබට බසය වැරදී අතරමං වීමට සිදුවනු ඇත. මෙපරිද්දෙන් ඔබ සිත දෙස බලාසිටින්න. එවිට සතර සතිපට්‌ඨානයද පටිච්චසමුප්පාය, පංචඋපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජංග ධර්මයන් පෙණෙනු ඇත. දකිනු ඇත. අවබෝධය ලබනු ඇත.


මේවා සොයා ටියුෂන් නොයා යුතුය.


සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. ලෝකයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. මෛත්‍රයයි.ක්‍රෝධයයි.භවයයි. නිවීමයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි.


සිත යනු දුක්‌ ගොඩකි.එහෙත් ඔහු ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලිබස්‌ තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. එනිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලණ මිතුරා කරගන්න. එය කළ හැක්‌කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මඟහැරෙනු ඇත.


සැප අනිත්‍ය වන බව දුක දන්නා නිසා, සැප අසලම දුක ගැවසෙමින් සිටියි. සැපය දන්නා දෙයත්, දුක දන්නා දෙයත් ඔබ නොදන්නේ සැපත් දුකත් දෙකම ඇති කළේ ඔබට ආගන්තුක, ඔබට අයිති නැති සිතක්‌ නිසාය. ඔබ සිත ගැන දන්නේ නැහැ. සිත ගැන බලන්නේ නැහැ. දිනපතා කණ්‌ණාඩි මේසය ළඟට ගිහින් හිස, රැව්ල, ඇස, කන, දිව, දත්, මුහුණ, කුරුළෑ, සම බලනවා. අඩුපාඩු තිබුණොත් විටමින් බොනවා. ක්‍රීම් ගානවා. මා තුළ මා බලනවා. ලස්‌සන කරනවා. නමුත් සිත ගැන බලන්නේ නැහැ. ඔබ, සැප සෙයාන සිත, ලස්‌සන සොයන සිතදෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න. ඔබ දකින්නේ ඔබව නොව, මහා වේගයක්‌ පමණක්‌ය.


ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

මෙන්න ලොව සුන්දරම වචන පෙළ

 

  2011/12/18 ලිපිය

මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ. ඔබ තුළ දැන් කුතුහලයක්‌ තිබෙනවා නේද ඒ සුන්දර වචන පෙළ කුමක්‌ද කියලා දැනගන්න. ඒ මෙයයි.


"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී. ඔබට මේ සියල්ලම ලැබෙද්දී, මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසාය"


ඔබ මෙම වචන පෙළ නිතරනිතර සිහිකරන්න. එවිට ඔබට සිතේවී මේ මඟ ගමන් කරන්න. බලන්න ලෝකයේ සැබෑම යථාර්ථය තියෙන්නේ කොතැනද කියලා. සත්වයා යන්නේ මොන මුලාවක්‌ පසුපසද? සත්වයා සුන්දරයි කියලා දකින්නේ කුමක්‌ද?


පුළුවන් තරම් රැස්‌කරන්න. ගොඩගසාගන්න. අවසානයේ සියල්ලම දමා මැරිලා යන්න. දමලා යන දේවල් මමය, මගේය කියලා රැස්‌කරන්න ගිහිල්ලා රැස්‌කරපු අකුසල් නිසා සතර අපායේ බින්න බහින්න.


දරුවන්ට, බිරිඳට රැස්‌කරලා අකුසල් පුරවාගෙන මැරිලා අපාගතවන්න මිනිසා හරිම දක්‍ෂයි.


බලන්න.... අත්හැරීමත්, රැස්‌කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස්‌ සමීකරණ දෙකක්‌. එතරම් පරතරයක්‌ තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ. ඔබ තුළ තිබෙන අවිද්‍යාව, තන්හාව නිසා දරාගෙන සිටින බර කොපමණද යන්න ඔබට දැනෙන්නේ නැහැ. ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන් ඔබ නිදහස්‌ වන්න. එවිට ඔබ ලොව නිදහස්‌ම පුද්ලගයා වෙනවා. "මම, මගේ , අපි, අපේ" කියලා කල්ප කෝටි ගණනක සිට වපුරපු, පුරවපු බර කද ඔබ දරාගෙනයි සිටින්නේ. ඔබ තුළ "මම මගේ" කියලා කෙනෙක්‌ නොමැති බවට ඔබ ප්‍රඥාවෙන් දකින මොහොතේ, මේ බර කද ඔබෙන් ගිලිහෙනවා. මේ බර ඔබෙන් ගිලිහීයාමේදී එය ඔබට හොඳින් දැනෙනවා. ඔබට දැනෙනවා, තේරෙනවා මහා වෙනසක්‌ ජීවිතය තුළ සිදුවූ බව. ඔබ නුවනින් බලනවා, මෙනෙහි කරනවා, ඔබ අවබෝධය ලබනවා, ඔබ තුළින් රාගය, ද්වේෂය, මෝහය නැතිවීගිය බව. ඒ කෙළෙස්‌ ධර්මයන් නැතිවීගොස්‌ තිබුණේ ඒවා තිබූ බවට සලකුණකුදු නොතබාමය. එයයි ආශ්චර්යය ධර්මයේ.


ඔබ සිතන්න අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි ගසක්‌ තියෙනවා කියලා. ඔබ බුල්ඩෝසර කිහිපයක්‌ යොදලා ඒ ගස මුලින්ම උදුරනවා. ඔබ කොතරම් වෙහෙසගත්තත් ඔබට බෑ දශමයක ප්‍රමාණයේ හෝ මුල් කැබැල්ලක්‌ පොළොවේ නොසිටන ලෙස එම ගස ඉවත්කරන්න. මොන ආකාරයක්‌ යොදා ගස ඉවත් කළද පුංචි මුල් කැබැල්ලක්‌ හෝ පොළොවේ තිබෙනවා. නමුත් නිවන් මඟ අවසන් මෙහෙයුමේදී භික්‍ෂුව තුළින් රාගය, ද්වේෂය, මෝහය නිවීයන්නේ ඒවා කිසිකලෙකත් භික්‍ෂුව තුළ තිබූ බවට සලකුණකුදු නොතබාමය. ඉතිරි නොකරය.


එවිට ඔබට දැනෙනෙවා ඔබ මෙතෙක්‌ දරාගෙන සිටි බර ඔබට අයිති දෙයක්‌ නොව, ලෝකයට අයිති දෙයක්‌ බව. තමන්ට අයත් නැති බරක්‌ තමන්ගේ කරගනිමින්, කරගසාගෙන යන මෝහබරිත පෘතග්ජන තත්ත්වයෙන් මිදීමට හැකිවීම ගැන ඔබට සතුටක්‌ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ කළයුත්ත කරගත්තාය කියන හැඟීමයි. ඔබ මෙහිදී ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද ඔබ ජයග්‍රහණයක්‌ නොවේ ලැබුවේ. දිනුම් කණුවක්‌ නොවේ ඔබ පසු කළේ. තව කෙනෙක්‌ පරාජය කළා නොවේ. ඔබ පළවෙනියා වුනා නොවේ. මේ ලෝකයේ පවතින ස්‌වභාවය, යථාර්ථය හඳුනාගත්තා, අවබෝධකරගත්තා පමණක්‌මය.


ලෝකයේ මෙම විජයග්‍රහණය, ජයග්‍රහණය නොසමරනු ලබන, ලොව ශ්‍රේෂ්ඨම, නිහතමානීකම දෝරේ ගලායන ජයග්‍රහණයයි.


ඔබ මෙහිදී කිසිවක්‌ ලබා නැත. සියල්ල අතහැරුණා පමණමය. එය ජයග්‍රහණයක්‌ නොව නිදහස්‌වීමකි. එහෙත් ඔබ බර දරාගෙන සිටින ලෝකයා අතර, ඔවුන්ගේ සිව්පසය ලබමින්, යෑපෙමින් ලෝකයේ බරෙන් සැහැල්ලු වන නිදහස "නිදහසේ" අත්දකිනු ඇත. ඔබ ලබන ඒ උතුම් නිදහස ඔබට මිස වෙනත් බාහිර කෙනෙකුට නොදැනෙනු ඇත. මන්ද මනුෂ්‍යයා දරාගෙන සිටින බර නිසා, අනුන්ගේ සැහැල්ලුවද, නිදහසද ඔහු, ඔහුට බරක්‌ කරගන්නා බැවිනි. බර දරාගත් මිනිසුන් අනුන්ගේ සැහැල්ලුව, තමන්ට බරක්‌ කරගැනීම පෘතග්ජන සිරිතය. මේ ස්‌වභාවය නිසා සත්වයා නොදැනුවත්ව කරගන්නා අකුසල් ප්‍රමාණය අති විශාලය.


ලෝකයේ බරෙන් ඔබ නිදහස්‌වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියාදෙන්න. ලෝකයත්, සිතේ ස්‌වභාවයත් අනිත්‍ය පමණක්‌ම බව දකින්න. සිත අනිත්‍ය බව අවබෝධකර ගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්‌වභාවය ඔබට අවබෝධවේවී. සිත අතහරුණවිට, ඔබට ලෝකයද අතහැරෙනු ඇත. 

Tuesday, February 17, 2026

අනේ ඔබ එවන් පාලකයකු වේ නම්

 2011/12/11 ලිපිය

පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය. මෙවැනි අකුසල් රැස්‌කරමින් ඔබ මේ පාලනය කිරීමට යන්නේ කවුරුන්වද? අනුන්මය. අනුන්ව පාලනය කිරීමට යන ඔබ මොහොතක්‌වත් සිතුවාද තමාට තමාවත් පාලනය කර ගැනීමට නොහැකි ලෝකයක තමාට අනුන්ව පාලනය කිරීමට නොහැකි බව. කවුද ඔබට මේ අවබෝධය ලැබීම වලක්‌වන්නේ. තන්හාවයි. අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකරගනිමින්, විවිධ සටකපට උපක්‍රම යොදමින්, මුසාබස්‌ දොඩවමින්, නැතිගුණ පෙන්වමින් ඔබද පාලනය මුවහත් කරගන්නවා.

බලය උදෙසා මොනතරම් ගහමරා ගන්නවාද, පාවාදීම් කරනවාද, කුලල් කාගන්නවාද, අනුනට මඩ ගසනවාද? බලයට ඇති කෑදරකම, ගිජුබව නිසාම තළුමරමින් ඉහත චර්යාවන් සිදුකිරීම බලය ලබාගැනීමට කළයුතු චාරිත්‍රයක්‌ බවට පත්වෙලා. මේ හැම දෙයම මේ අය සතුටින්මයි කරන්නේ. තිබෙන සැප ආරක්‍ෂා කරගන්න, ඇති සැප වැඩිකරගන්න, නැති සැප ඇතිකරගන්න ලෝකය පස්‌සෙ දුවනවා. දුක්‌ විඳිමින් සැප සොයනවා. වර්තමානයේ සොයන සැප ලැබිලා නැහැ. ඒ නිසා අනාගතය තුළ සොයනවා. ඔවුන් දන්නෙ නැහැ අනාගතය කියල කියන්නෙ වර්තමානයටමයි කියලා. වර්තමානයමයි අතීතය වූවේත් කියලා. මේ අයට හති දැනෙන්නෙ නැහැ. විඩාවක්‌, නිදිමතක්‌ දැනෙන්නෙ නැහැ. සැප සෙවීමට, ආරක්‍ෂා කරගැනීමට, වැඩිකර ගැනීමට ඇති තන්හාව නිසා.

තන්හාව කියන්නේ හොඳ දක්‍ෂ මැහුම්කාරියක්‌. ඇය විසිහතර පැයේම ඉඳිකටුවයි, නූලයි අත තබාගෙනයි සිටිනුයේ. ඉන්ද්‍රියයන්ට පස්‌සයවන හැම කැමැත්තක්‌ම තද මැස්‌මකින් මසන්න. දක්‍ෂ මැහුම්කාරියගේ මේ වෙලීම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. කැමැත්තෙන්ම සසර බන්ධන වලට කොටුවෙන සත්වයාට, මේ තන්හාවේ මැහුම්කාරිය අතදිගහැර උදව්කරනවා. කුමක්‌ සඳහාද? ඔබව බවය සමඟ බන්දන්න, උපාදානය කරවන්න. අපිට හිතෙනවා ලෝකයේ දක්‍ෂම මැහුම්මහන දරුවෝ ඉන්නේ කටුනායක පැත්තේ කියලා. ඒත් ඒක මුලාවක්‌. ඒ අය මහන මැහුම් අවුරුද්දකින්, දෙකකින් නැතිනම් පහකින් දිරලා යනවා. ගැලවිලා යනවා. ඒත් තන්හාවේ මැහුම්කාරිය මහන මැහුම, ගසන වෙළුම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. ඇයට විඩාවක්‌, නිදිමතක්‌, වෙහෙසක්‌ නැහැ. හැම තත්පරයකම ඔබ ඉදිරියේ ඇය සීරුවෙන් සිටිනවා. ඔබට පස්‌සය වන සෑම රූපයක්‌ සමඟම ඔබව වේදනාව විඳීමට සලස්‌වනවා. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා වශයෙන්.

ඔබ කවදාහරි නිවීම ලබන්නේ තන්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන ඇයගෙන් මිදුනුදාටය. එතෙක්‌ ඔබ කුසල් අකුසල් පිsරුණු මඟක නායකයින්ද, පාලකයින්ද වීමේ දොළදුක සංසිඳුවාගැනීමට අකුසල්ම කරගසාගනිමින් ගමන් කරයි.

තිරිසන් ලෝකයේ සතුන් සහ පක්‍ෂීන් දෙස ඔබ හොඳින් බලන්න. ඔය තිරිසන් සතුන් කිසිවෙක්‌ රාත්‍රියට හෝa දවාලට එක දිගට පැයක්‌ නිදාගන්නේ නැහැ. ඒ සතුන්ට නිදාගන්න වාසනාවක්‌ නැහැ. පිනක්‌ නැහැ. ගසක අත්තක්‌ සෙලවුනොත්, කොළයක්‌ වැටුනොත්, තවත් සතෙකුගේ හඬක්‌ ඇසුනොත්….. මේ ආකාරයට නිරතුරුව බියට පත්වී නින්ද කැඩෙනවා. තිරිසන් සතුන් මුළු රැයම නිදාගන්නේ බයෙන්. මෙය අහම්බයක්‌ නොවේ. කර්ම විපාකයක්‌මයි. කර්මය තමයි පෙර ජාතිවල මිනිස්‌ ආත්ම වල ඉපැදිලා ලොකු කුඩා පාලකයෝ වෙන්න ගිහින් කරපු අකුසල්. මිනිස්‌සු බියගන්වලා, පීඩනයට පත්කරලා, මුලාකරලා, අතීත භවවල කරපු අකුසල් මරණින් මතු විපාක දෙන්නේ ඔය විදිහට. ලොකු කුඩා පාලකයන්, නායකයන් මියගිය පසු පාංශකූල පොලේදී අනුශාසනා, දේශනා, ගුණකථා, බැනර, ශෝක ප්‍රකාශ, සැරසිලි වලින් ඔවුන්ව නිවන් දැක්‌වුවද සැබෑ යථාර්ථය කටුකය. ඔබ හොඳින් නිරීක්‍ෂණය කර බලන්න. තිරිසන් සත්ව ප්‍රජාවේ නායකත්වය වෙනුවෙන් එම සතුන් වියරුවෙන් ගැටෙන හැටි. වියරුව මරාගනිමින් නායකත්වයට සටන්වදින විලාසය. මේ සියල්ල එම සතුන්ගේ සංසාරික හුරුපුරුදුය.

ශ්‍රී සද්ධර්මය පවතින අවස්‌ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය විලාසයක්‌ ලබා, නායකත්වයට ඇති ගිජුභාවය නිසා, අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් ආත්මයක්‌ ලැබූ පසු, නැවතනම් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක්‌ නම් ලැබිය නොහැකිය. මන්ද තිරිසන් සත්ව ප්‍රජාව තුළ ඇති වෛරය නිසා දුකෙන් දුක කරාම, තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදී යාම එම ස්‌වභාවය නිසාය. බලන්නකො මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක්‌ ලබපු ඔබ, අනුන්ව පාලනය කරන්න ගිහිල්ලා කල්ප ගණන් අපාදුක්‌ විඳින සත්වයන් බවට පත්වෙනවා. මොන තරම් අවාසනාවක්‌ද.

හැබැයි සමහරු ඉන්නවා, පෙර පිං නිසාම ආයාසයකින් තොරවම නායකත්වය, ප්‍රධානත්වය ලැබෙනා අය. ඒ අය බදාගැනීමකින්, තෘෂ්ණාවකින් තොරවම නායකත්වය දරනවා. බහුතරයේ අකමැත්තෙන් නායකත්වය අතහරිනවා. ඔහු තමන්ට ලැබූ අවස්‌ථාව නිසා කුසලයක්‌ රැස්‌කරගන්න දක්‍ෂ වෙනවා. ඔබම සිතන්න. ඔබ බදාගත්තොත් ඔබට උරුමවන්නේ සතර අපායමය. ඔබ අතහැරියොත්, මධ්‍යස්‌ථවූවොත් ඔබට සුගතිය උරුමවෙනවා.

මේ ලෝකයේ සැබෑම ශ්‍රේෂ්ඨම පාලකයා තමයි, මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක්‌ නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරිහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි දකිනවා. කුමක්‌ද එහෙනම් මෙතැන තිබෙන්නේ. වේගයක්‌. ඇතිවෙමින් නැතිවෙන රූපයක්‌ සහ සිතක්‌ පමණක්‌ බව දකිනවා. පස්‌සය නිසා හටගන්නා වේදනාව සත්වයාව ක්‍රියාකාරීත්වයට පත්කරනවා. ඇතිවුනාවූ පස්‌සයද, වේදනාවද අනිත්‍ය බව උනවහන්සේ අවබෝධයෙන් දකිනවා. පාලනය කිරීමට යමක්‌ නොමැති තැන පාලකයෙක්‌ අවශ්‍ය නැහැ. දැන් බලන්න පාලනය කිරීමට කිසිවක්‌ම නොමැති තැනක, පාලකයෝ වෙන්න ගිහිල්ලා මිනිස්‌සු මොන තරම් මෝහයකද වෙලී සිටින්නේ. අනේ දෙවියනේ අවිද්‍යාව මොනතරම් අසාධාරණයක්‌ද මේ සතවයාට කරන්නේ.

පාලකයන්. ප්‍රධානීන්, නායකයන් වෙන්න වෙරදරන ඔබට ලෝකයේ ශ්‍රේෂ්ඨම පාලකයා වෙන්න මඟක්‌ තියෙනවා. ඔබ මේ මඟ දිනාගත්තොත් එම ජයග්‍රහණය නැවැත උදුරාගන්න මේ තුන්ලෝකයේම කිසිවෙකුටත් බැහැ. ඔබට කරන්න තිබෙන්නේ සුළු දෙයයි.

“සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක්‌ ඔබේ පාලනයට යටත්කරගන්න”

මෙතෙක්‌ කල් ඔබ ක්‍රියාත්මක වූයේ ඔබට අයිති නැති සිත ඔබට අණකළ මග ඔස්‌සේය. ඔබ මේ මොහොතේම ඔබේ සිතට නියෝග කරන්න. “දැඩිව” නියෝග කරන්න.

“සිත ඔබ මෙතුවක්‌ කාලයක්‌ ඔබට අවශ්‍ය ආකාරයට මාව ක්‍රියාත්මක කළා. සතර අපායට, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල ගාල්කළා. කල්ප ගණන් සංසාරයේ ඇවිද්දුවා. මෙතුවක්‌ කල් මම අවිද්‍යාව නිසා ඔබට රැවටුණා. මින්මතු ඔබ කියන දේ කරන්නේ නැහැ. මම කියන දෙය ඔබ කළ යුතුයි”

ඔබට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරන්න, ඔබ තමයි මේ ලෝව ශ්‍රේෂ්ඨතම පාලකයා. ඔබට අයිති නැති, ආගන්තුක සිතක්‌, ඔබව බවයේ සිරකරුවෙක්‌ කරගෙන සිටින අසාධාරණයෙන් ඔබව මුදාගන්නා ශ්‍රේෂ්ඨම පාලකයා ඔබ වෙනවා.

ඔය ඇතිවන නැතිවන සිත ඔබේ පාලනයට ගතහොත්, ඔබට පුළුවන්කම ලැබෙනවා මුළු විශ්වයේම පාලනය ඔබ අතට ගන්න. රටක්‌, නරගයක්‌, ගමක්‌, ආයතනයක්‌, පන්සලක්‌, ආරණ්‍යයක්‌ නොවේ මුළු විශ්වයම. ඔබේ නිවන් මෙහෙයුමේදී සමාධියේ උපරිම තලයකට පැමිණෙන විටක, ප්‍රඥාව විසින් මුළු විශ්වයම අනිත්‍යභාවයේ වේගයෙන් සියුම්කොට ඔබ ඔබේ දෝතට ගන්නවා. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය තුළින් විශ්වය යනු තම දෑතට ගතහැකි හිස්‌දෙයක්‌ය යන්න ඔබ දකිනවා. ප්‍රඥාවෙන් ඔබ විශ්වය ඔබේ ග්‍රහණයට ගන්නවා. මෙතෙක්‌ විශ්වයේ පාලනයට යටත්වූ ඔබ, විශ්වය යනු අතිදැවැන්ත වේගයට හසුවන, සතරමහා ධාතූන්ගේ ස්‌වභාවයක්‌ බව අවබෝධයෙන් දකිනවා. මෙතෙක්‌ විශ්වය ලෙසින් ඔබ දකිමින් සිටියේ පස්‌සය නිසා හටගන්නා වේදනාවක්‌ බව දකිනවා. ඔබට දැනෙනවා ඔබ ලෝකයෙන් එතෙරවුනාය කියලා. සමාධියේ උපරිම තලයකදී ඔබට වැඩෙන ප්‍රඥාව තුළිනුයි විශ්වයේ පාලනය ඔබට ලබාදෙන්නේ. ඔබ කවදාවත් හිතන්න එපා මොන ධ්‍යානයේදීද ඔබට මේ ඥාණයන් ලැබනේනේ කියලා. එහෙම හිතුවොත් ඒවා කෙළෙස්‌ ධර්මයන්. එසේ වුවහොත් නිවීම ඔබෙන් ඈතට යනවා. මේවා ධර්මයේ ආශ්චර්යයන්. හේතුඵල ධර්මයන්. හේතුව තමයි සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මීම. තුන් සිවුරත් පාත්‍රයත් හැර ඉතිරි සියල්ල අතහැරීම. අත්හැරීමෙන් අර්ථවත්වූ නිවන් මඟ අවසන් මෙහෙයුමේදී, අතහැරීමේ උපරිමය නිසාම තීව්‍රර වන ප්‍රඥාව විසින් ඔබට මේ ගුණයන් ලබාදෙයි. ජීවිතයේ එක්‌වරක්‌ පමණක්‌ මේ ඥානදර්ශනයන් පහළවේ. ඔබට ඒවා නැවත නැවත ආවර්ජනය කර දැකිය හැකිය. එහෙත් දැන් ඔබට මේවා අවශ්‍ය නැත. එය තවත් සිදුවීමක්‌ පමණක්‌මය. සියල්ල අයිති අනිත්‍යයටය. සිදුවූ එකම දෙය ඔබ ප්‍රමාදයෙන් මිදීම පමණකි. අප්‍රමාදීව කළයුත්ත කරගත්තා පමණකි.

මනුෂ්‍ය ලෝකයේ අනුන්ගේ පාලකයෝ වෙන්න ගිහින්, සතර අපායට වැටෙන තමන්ගෙ සිත පාලනය කරගෙන ලෝකයෙන්ම එතෙරවෙන්න. ලෝකයම ප්‍රඥාවෙන් සියුම්කර ඔබේ දෑතට ගන්න. සැබෑ පාලකයෙක්‌ වන්න. නැවත ලෝකයට නොඑනා ලෙසින්ම ලෝකයෙන් සහමුලින්ම මිදීයන්න. සැනසිල්ලේ නිවීයන්න. සතියෙන් සිහියෙන් යුතුව, ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ධර්මයද, විනයද යන දෙකම ඔබ කෙරෙන් ආරක්‍ෂාවනු ඇත. ධර්මය සහ විනය පතපොතින් සොයා නොයන්න. නමුත් දැනුම ලැබීමටනම් ඔබ පතපොත නිරතුරුව පරිහරණය කරන්න.

Sunday, February 15, 2026

මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි

  2011/12/04 ලිපිය

තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා "තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා" යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ පිහිටෙන් ජීවත්වන ලෝකයා පත්වන්නේ මහා අර්බුදයකටය. තාක්‍ෂණය යනු අවිද්‍යාවයි. තාක්‍ෂණය යනු අස්‌වාභාවිකත්වයයි. එවන්වූ තාක්‍ෂණයෙන් පරිපූර්ණවන ලෝකය, ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම ලෝක ස්‌වාභාවයයි. තාක්‍ෂණයේ දියුණුව යනු අවිද්‍යාවේ දියුණුවයි. වර්තමානයේ ලෝකය දෙස බැලීමේදී අපි දකින්නේ අවිද්‍යාවෙන් ඉතිරීයන තාක්‍ෂණයෙන් දියුණු ලෝකයකි. ලෝකයේ ගුණාත්මක බව, දියුණුව මනින මිනුම් දණ්‌ඩ තාක්‍ෂණයයි. බලශක්‌තිය නැතිවුණු දවසක ඇනහිටින තාක්‍ෂණයක්‌, ස්‌වාභාවික කාලගුණික දේශගුණික තත්ත්වයකදී ඇනහිටින තාක්‍ෂණයක්‌, දේවත්වයෙන් සලකන ඊනියා දියුණුවකින් මුලාවූ ලෝකයාට, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර දේශනාකොට වදාළ ධර්මය විසින් අන්ධභාවයේ වෙලීසිටින ඔවුන්ගේ ළදරු බව හෙළිකරවනු ලබයි. ලෝකය තාක්‍ෂණයෙන් පිරීයාම යනු සතර අපායද පිරීයාමයි. තාක්‍ෂණ අවිද්‍යාවෙන් මුලාවන සත්වයා ගාල් කරන වෙබ් අඩවිය සතර අපායයි. 

ලෝකයේ සැබෑ තාක්‌ෂණය දකින්නනම්, ස්‌පර්ශ කරන්නනම් ඔබ දැකිය යුත්තේ ලොව්තුරා ධර්මයයි. එය බලශක්‌තිය නැතිවුණ දිනයක අතරමංවන, අක්‍රියවන තාක්‌ෂණයක්‌ නොවේ. පොඩ්ඩ වැරදුණු විට මහා විනාශයන් වන තාක්‍ෂණයක්‌ නොවේ. අතුරු ආබාධ ඇතිවන තාක්‍ෂණයක්‌ නොවේ. එය ඉතාම පිරිසිදු තාක්‍ෂණයයි.

ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණුම ආයතනය මොකද්ද කියා ඇසුවොත් ඔබ කියාවී ඇමරිකාවේ නාසා ආයතනය කියලා. නමුත් ඔබ වැරදියි. ලෝකයේ අවිද්‍යාවෙන් තොර, ස්‌වාභාවිකත්වයෙන් පිරිපුන්, දියුණුම තාක්‍ෂණය තිබෙන්නේ නිවන් මඟ වඩන භික්‍ෂුව තුළය. අරිහත් උතුමන් තුළය. එම භික්‍ෂුව එම තාක්‍ෂණයේ උපරිම ඵලය, උපරිම සීමාව දකින්නේ නිවන් අවසාන මෙහෙයුමේදීය. ඒ තාක්‍ෂණ පාරාදීසයකි. සැබෑම විශ්ව ගම්මානය ඔබ දකින්නේ මෙහිදීය. මෙම තාක්‍ෂණය බලශක්‌තියෙන් ක්‍රියාත්මක වන "රූකඩ තාක්‍ෂණයක්‌" නොවේ. එය ක්‍රියාත්මකවන්නේ ඔබගේ නිර්වාණ ප්‍රඥාව මගිනි. මෙහිදී ඔබ දකින ලෝකය ඇමරිකාවේ නාසා ආයතනයට කල්ප ගණනාවක්‌ සිය තාක්‍ෂණය දියුණු කරමින් ගියද දැකිය නොහැකිය. ඔවුන්ගේ ලෝකය ප්‍රාථමික ළදරු පන්තියකි. ඔබ නොදැනුවත්කම නිසා එහි සිරකරුවන්ව සිටියි. 

නිවන් මඟ වඩන භික්‍ෂුව අවසන් නිවීමේ මෙහෙයුමේදී සඳ, අඟහරු හෝ වෙනත් ග්‍රහලෝක නොව, දිව්‍යලෝකයද, බ්‍රහ්ම ලෝකයද ඇතුළුව මුළු තුන් ලෝකයම දකිමින් අවබෝධය ලබයි. මේවාට බලශක්‌තිය අවශ්‍ය නොවේ. නිවන් මඟ වඩනා භික්‍ෂුවට තම සමාධිය උපරිම මට්‌ටමකදී කිසිදු බලශක්‌තියකින් තොරව මහා ඝණ අන්ධකාර රාත්‍රියකදී තම කුටිය ආලෝකමත්කර දැකිය හැකිය. නිවන් මඟ අවසාන මෙහෙයුමේදී ඔබට ඔබගේම ප්‍රඥාව විසින්, ඔබ පැමිණි සංසාර ගමනේ ඈත දුරක්‌ දක්‌වා පෙන්වනු ඇත. මෙය හරියටම රූපවාහිනිය ඉදිරිපිට රූප දකිනවා සේය. එකක්‌ පසුපස එකක්‌ පැමිණේ. ඔබට ඇත්තේ දකින රූප ඔස්‌සේ සංසාරයේ භය දැකීම පමණකි. සංසාරයේ ස්‌වභාවය දැකීම පමණකි. එතැනදී දිව්‍ය ලෝකවල ඉපිද ඔබ විඳින ලද සැප සම්පත් ඔබ දකිනු ඇත. ප්‍රේත ලෝකවල ඉපිද සෙම් සොටු රස කර කර කමින් ගතකළ ස්‌වභාවයන් ඔබ දකිනු ඇත. මනුෂ්‍ය ලෝකයේ ඉපිද ඔබ විඳි කාම සම්පත්ද, දුක්‌ වේදනාවන්ද ඔබ දකිනු ඇත. ඔබ යුද්ධයෙන්, සතුරන්ගෙන් මැරුම්කනවා, වේදනා විඳිනවා, අබ්බගාතයන් වනවා, අන්ධයෙක්‌ බිහිරි පුද්ගලයෙක්‌ මෙන්ම අංගවිකලව ගතකළ ජීවිත පෙනෙනු ඇත. තිරිසන් ලෝකවල ඉපිද හරකුන්, ඌරන්, කුකුළන්, එළුවන්, මත්‍යසයින් ලෙස අනුන්ගේ අහරකට ඔබව මරාගෙන කනවා ඔබ දකිනු ඇත. මරණ වේදනාවෙන් ඔබ ළතෝනි දෙනවා ඔබට පෙනෙනු ඇත. මෙලෙස සංසාරයේ භය, සංසාරයේ දුර, සංසාරයේ ගැඹුර සිනමාපටයක්‌ ඔස්‌සේ මෙන් ඔබට දර්ශනය වනු ඇත.

මේවා ඔබට පහළවන ඥානයන්ය. ඔබට මේ ඥානයන් පහළවන්නේ, අවබෝධවන්නේ ජීවිතයේ එක්‌ අවස්‌ථාවක පමණකි. ඉන් පසුව ඔබට එම ඥානය ආවර්ජනය කළ හැක. එනම් නැවත නැවත මෙනෙහි කළ හැක. මන්ද ඔබ එම සසර ස්‌වභාවය අවබෝධකර ඇති නිසාය. බලන්න, ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ තාක්‍ෂණය. එකම එක බලශක්‌තියක්‌වත් නොමැතිව, එකම එක බොත්තමක්‌වත් තද නොකොට, කැමරාශිල්පීන් ශබ්දාගාර නොමැතිව, කල්ප ගණනක්‌ ඈත සසර ඔබට දකින්න පුළුවන්. ඒත් බලන්න අපි මොනතරම් දුර්වලද කියලා. මෙවැනි උතුම් ධර්මයක්‌ තියාගෙන අපි ධර්මය ඉගෙනගන්න වෙබ් අඩවියේ පිටු පෙරළනවා. ධර්මය සුරකින්න තාක්‍ෂණයේ පිහිට සොයනවා. ලොකුම අවාසනාව, ධර්මය පිළිගන්න තාක්‍ෂණය සමඟ ගලපා එමගින් ධර්මය සනාථ කිරීමට යැමයි. අවිද්‍යාවක මහත......

නවීන තාක්‍ෂණය මිනිසාගේ ආයුකාලය දීර්ඝකරගැනීමට, සෞඛ්‍ය තත්ත්වය නැංවීමට, අධ්‍යපනය ගුණාත්මකභාවයට පත්කිරීමට උපකාරවී ඇති බව ඔබට සිතෙන්න පුළුවන්. මෙම භික්‍ෂුවද එය අනුමත කරනවා. එහෙත් ඔබ තාක්‍ෂණික ලෝකයේ වැඩිපුර පැයක්‌ ජීවත්වෙනවා කියන්නේ, වැඩිපුර පැයක්‌ දුක්‌ විඳිනවා කියන එකයි. ඔබ වැඩිදුර යමක්‌ ඉගෙනගන්නවා කියන්නේ, වැඩිපුර අවිද්‍යාව ඉගෙනගන්නවා කියන එකයි. ඔබ මොන ආගමකට අයත්වුවද හිතට එකඟව දකින්න. ඔබව ලෙඩකරන රෝග කාරකයත්, ඔබේ ලෙඩේ සුවකරන ඖෂධයත්, ඔබව මරාදමන මරුවාත් යන තුන්දෙනාම නවීන තාක්‍ෂණයයි. ඔබ සැබෑ තාක්‍ෂණය හඳුනාගෙන රෝගයත්, රෝගකාරකයත්, මරුවාත් යන තිදෙනාම පරාජයකර ලොව්තුරා තාක්‍ෂණයේ සැබෑ හිමිකරුවෙක්‌ වන්න. බලශක්‌තියෙන් තොරව ලෝකය දිනන්න. දකින්න.

ලෝකය තාක්‍ෂණික අතින් දියුණුවෙන්න දියුණුවෙන්න ලෝකය ආධ්‍යාත්මික අතින් පිරිහෙනවා. ආධ්‍යාත්මික අතින් පිරිහෙන ලෝකය විසින් ලොව ස්‌වභාවය, ස්‌වභාවධර්මය තමන් යටතට, තමන්ගේ පාලනය යටතට ගන්න හදනවා. මේ තරගයෙන් කවදාහරි දවසක ලෝකයා අන්ත පරාජයකට පත්වෙනවා. එම පරාජය ලෝකයා ලබන්නේ මහා විනාශයකුත් සමඟමයි. එම මහා විනාශය වනතෙක්‌ නිරතුරුවම අතුරු විනාශයන් ලෝකයේ සිදුවනවා. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌ කළහැකි ජගතෙක්‌ මෙතෙක්‌ තුන්ලෝකයේම පහළවී නැහැ. අනාගතයේදීත් එය එසේමයි. අවිද්‍යාවෙන් පෙළෙන සත්වයා සිතනවා ලෝකයේ ස්‌වභාවය තමන්ට වෙනස්‌ කළ හැකිය, පාලනය කළ හැකිය කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාටවත් බැහැ ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කරන්න. උන්වහන්සේලාට පුළුවන් ලෝකයේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් එතෙරවන්න, පාලනය නොකළහැකි ලෝකයේ ස්‌වභාවය පාලනය කළ හැකි තම සිතෙන් අවබෝධ කරගන්නයි. කුමක්‌ද උන්වහන්සේලා අවබෝධ කරගත්තේ ? 

ආයාසයක්‌ ගෙන ලෝකයේ වෙනස්‌කළ යුතු කිසිම දෙයක්‌ නොමැති බවයි. මන්ද නිරන්තරයෙන්ම, ආයාසයකින් තොරවම ලෝකය වෙනස්‌වන හෙයිනි. මහපොළොවද, අවකාශයද, අභ්‍යාවකාශයද ඔබට ජයගතහැක්‌කේ ඒවා වෙනස්‌කිරීමෙන් නොව, නිරතුරුවම ඒවා වෙනස්‌වන බව අවබෝධ කරගැනීමෙන්ය. ලෝකයේ ස්‌වභාවය වෙනස්‌කිරීමට යන්නාට හමුවනුයේ අවිද්‍යාවය. ලෝකය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තබව අවබෝධයෙන් දකින්නාට හමුවනුයේ විද්‍යාවය.
ලෝකයේ සැබෑම විද්‍යාඥයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ සැබෑ ශ්‍රාවක පුතුනුවන්ය. උන්වහන්සේලා මොනතරම් තාක්‍ෂණයෙන් දියුණුද කියනවානම්, උන්වහන්සේලාට ඇස්‌ පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධකොට දැකිය හැකිය. විශ්වය යනු මහා වේගයකට හසුවුණ හිස්‌ අවකාශයක්‌ පමණක්‌ බව උන්වහන්සේලා දනියි. මෙම වේගය මොනතරම් ප්‍රවේගකාරීද කියනවානම්, එම වේගය තුළ දකින්නේ හිස්‌බව පමණක්‌මය. ඒ හිස්‌බව තුළ අයිතිකරගැනීමට, වෙනස්‌කිරීමට, දියුණුකිරීමට, සංවර්ධයන කිරීමට, අලුතින් සොයාගැනීමට කිසිවක්‌ම නැත. තාක්‍ෂණයෙන් ලෝකය ජයගන්නට වෙරදරන ලෝකයාද, එම වේගයේ රූකඩ පමණක්‌මය. ලොව ප්‍රවේගකාරීම වේගය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. එය අවිද්‍යාව සොයා යන විද්‍යාඥයින්ට දැකිය නොහැක්‌කකි. එහි දැකිය හැක්‌කේ විද්‍යාව සොයාගිය බුදු පුතුන්ට පමණක්‌මය. විද්‍යාඥයන්ද බුදු පුතකු වීමට දක්‍ෂ වුවහොත් ඔහුටද මේ සැබෑ විද්‍යාවේ හිමිකරුවෙක්‌ විය හැකිය. මෙය කාගේවත් බූදලයක්‌ නොවේ. මේ ලෝකයේ ස්‌වභාවයයි. ඔබටද මටද එහි හිමිකරුවන් විය හැකිය. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මේ මඟ හෙළිකළ ශාස්‌තෲන් වහන්සේය. තුන් සිව්රත්, පාත්‍රයත් දරමින්, කැලයේ හුදෙකලා කුටියක, ආරණ්‍යයක වැඩසිටින බුදුපුතුන් ලෝකය විනිවිද දකින, ලෝකය කම්පාකරවන, ලෝකයට නොගැටෙන ලෝකය ඉක්‌මවාගිය සැබෑම විද්‍යාඥයන්ය. බලශක්‌තියෙන් තොරව ලෝකය දකින උතුමන්ය. උන්වහන්සේලා සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස ප්‍රඥාවේ ඇසින් බලමින් ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගනිමින් අවබෝධය ලබන උතුමන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. සතිය සිහිය හේතුවෙන් විනය නැමැති ඵලයද, ස්‌වභාවධර්මයේ යථාස්‌වභාවය මෙන්ම එහි අනිත්‍යබවද දැකීමෙන් ධර්මය නැමැති ඵලයද ඔබට අවබෝධවනු ඇත. සතිය සිහිය නැතිවීමෙන් අවිචාරයද, ස්‌වභාවධර්මය නිත්‍යභාවයෙන් ගතහොත් අධර්මයද යන ඵලයන් ඔබට ලැබෙනු ඇත. ඔබේ දක්‍ෂතාවයන් මත කැමති මාවතක්‌ තෝරාගැනීමට ඔබට නිදහස ඇත.