Monday, March 30, 2026

හොඳ තැන් සොයමින් යනවා වෙනුවට

 2012/03/11 ලිපිය

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්‌, දඩයක්‌කරුවෙක්‌, සතෙක්‌ මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ තුළට ගන්නේ නැහැ. ඔබ නිවන් මඟවඩන විට මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ හෝ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයන්න යන්න එපා. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරයෙන් කැලය තුළ සිටියාට වැඩක්‌ ප්‍රතිඵලයක්‌ නැහැ. ඔබ දෙවැනියෙක්‌ගේ උපකාරය සොයයි නම් ඒ සොයන්නේ ඔබගේ ආරක්‍ෂාවට. ඒ කියන්නේ ඔබ තුළ ආරක්‍ෂා කරගන්න සත්වයෙක්‌ ඉන්නවා කියන එකයි.

සිත ඔබව මුලාකරන මෙවැනි සියුම් තැන් ඔබ පරාජය කරන්න. කොතරම් සතා සර්පයා සිටියද, මොනම අවස්‌ථාවකදීවත් දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ තනියම කැලයට ඇතුළු වෙන්න. කුටිය සොයාගෙන අඩිපාරේ ඔබම යන්න. බියක්‌ තැතිගැනීමක්‌ දැනුණහොත් ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට බිය ඉවත්වෙලා යාවී. කය, සිත අතහැරදා ඔබ යන මේ ගමනේ ඔබට බාධා කරන්න කාටවත්ම බැහැ. එය අතහැරීම තුළ ඔබ ලබන ප්‍රතිලාභයක්‌.

භික්‍ෂුවක්‌ කැලෑ මඟක්‌ ඔස්‌සේ කුටියක්‌ සොයාගෙන තනිවම වඩින විට එම කුඩා කුටියේ මාස තුනකින් පමණ භික්‍ෂුවක්‌ වැඩ සිටලා නැහැ. දුෂ්කර කුටියක්‌. මෙහි භික්‍ෂුව ගත කළේ දින හතක්‌ පමණයි. විදේශීය භික්‍ෂූන්වහන්සේ නමක්‌ වැඩිය නිසා ඉවත්ව ගියා. භික්‍ෂුව කුටියට වැඩිවිට කුටියේ ඇතුළත හතරෙන් පංගුවක්‌ පමණ කොටසක්‌ අඩියක්‌ පමණ උසට තුඹස්‌ බැඳලා. එහි ලෑලි ඇඳක්‌ තිබුණා. ඒ ඇඳේ කකුල් දෙකකුත් තුඹසට බැඳිලයි තිබුණේ. තුඹස තිබියදීම භික්‍ෂුව සුවසේ රැය පහන් කළා. පසුව දා ගමේ ගිහි දරුවන් තිදෙනෙක්‌ ඇවිත් තුඹස ඉවත් කළා.

මෙවැනි අභියෝග වලට කියන්නේ නිවන් මඟ කලමනා කියලයි. කය අතහැරීමේ ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මේවා හුඟාක්‌ ප්‍රයෝජනවත්. හැබැයි ඔබ තුඹස දැකලා ගැටුනානම්, නයයි බයයි දෙකම සිත ඔබේ ළඟට ගේනවා. තුඹස දුටු සිත භික්‍ෂුව අතහැරිය නිසා නයයි බයයි දෙකම ඔබට අතහැරුණා. ඔබ තුඹස දුටු සිට නිත්‍ය වශයෙන් ගත්තා නම් නැති සර්පයිනුත් සිටිනවා ඔබට පේනවා.

ඔබ නිවීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන විට සැලසුම් ඔස්‌සේ, පෙර සූදානම් වීම් ඔස්‌සේ පෙරට යන්න එපා. ඒ ඔබ රවටන මාර බලයක්‌. සැලැස්‌මක්‌ හදන්නේ යමක්‌ ගොඩනගන්නයි. ඔබ මේ යන්නේ ලෝකයේ හිස්‌ බව දකින්නයි. සැලසුම් අතහරින්න. ඉදිරියට හමුවන තත්ත්වයට, ස්‌වභාවයට මුහුණ දෙන්න.

භික්‍ෂුවකට දුෂ්කර ආරණ්‍යයකදී වයස අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ, ඉතා ගුණයහපත්, සත්පුරුෂ භික්‍ෂුවක්‌ මුණගැසුණා. උන්වහන්සේ භික්‍ෂු ජීවිතයෙන් වසර 40 ක්‌ ම ගතකරලා තිබෙන්නේ චාරිකාවේ වඩිමින්. වස්‌ කාලයේ පමණයි එක තැනක වැඩ ඉඳලා තිබෙන්නේ. උන්වහන්සේ ගතකර තිබූ ප්‍රතිපදාව නිසා භික්‍ෂුව සිතුවා උන්වහන්සේ හොඳ අවබෝධාත්මක භික්‍ෂුවක්‌ වෙන්න ඇතිය කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඇයි ඔබ වහන්සේ එක ස්‌ථානයක්‌ අල්ලාගෙන නොයිඳ මේ ආකාරයෙන් චාරිකාවේ හැසිරුණේ කියලා. එවිට උන්වහන්සේ කියනවා, මට අවශ්‍ය වුණා මම ආසා කළා මම ඉපදුන රට දැක බලාගන්න. ඒකයි මම චාරිකාවේ හැසිරුනේ කියලා. එම වචන ටික උන්වහන්සේගේ මුවින් පිටවෙනකොට භික්‍ෂුව උන්වහන්සේ තුළ දැක්‌කේ පුංචි සාමනේර හිමිනමක්‌. බලන්න... මොන අපරාධයක්‌ද කරගෙන තිබෙන්නේ, සංචාරකයෙක්‌ බවට පත්වෙලා.

අපේ සිත අපව නිරතුරුවම රවට්‌ටනවා. ඔබ අධිෂ්ඨානයක ඉන්න ඕනේ සිත වැඩෙන සුදුසුම හුදෙකලා ස්‌ථානයක්‌ අරමුණ ජයගන්නා තෙක්‌ ඇසුරු කරන්න. සිත ඔබව සංචාරකයෙක්‌ කරන්න උපදෙස්‌ දේවී. ඔබව ආරණ්‍යයෙන් ආරණ්‍යයට ඇවිද්දවාවී. ඔබ ප්‍රවේශම්වන්න. ඔබ යා යුතු ඊළඟ තැන සැලසුම් කරන්න යන්න එපා. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට තිබෙන්නේ හොඳින් නිවන් මඟ වැඩීමට සිත වැඩෙන ස්‌ථානයක රැඳෙන්නයි. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. කලබල වෙන්න, ආයාසයක්‌ ගන්න එපා. ඊට වඩා සුදුසු ඔබට යායුතු තැනක්‌ වේ නම්, සංඥා මඟින් නොසිතූ ආකාරයට ඔබට ඒවා දැනේවී. ඔබට තිබෙන්නේ අතහැරීම පමණයි. නිවීම දක්‌වා මඟ ඔබට ප්‍රඥාව විසින් මුණගස්‌වාවී. ඔබව රැගෙනයාවී. එසේ නොවුණ හොත් තෘෂ්ණාව විසින් ඔබව සංචාරකයෙක්‌ කරාවී.

ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න. ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න. ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස හොඳ පමණක්‌ ඔබට සොයාගත නොහැකි බව දකින්න. ඔබ හොඳ පමණක්‌ සොයන්නේ නම්, ඔබට සොයමින් සිටිනවා හැර ජීවිතයේ වෙන කාර්යයක්‌ නොමැති වනු ඇත. මන්ද ඔබ සොයන්නේ නොමැති දෙයක්‌ හෙයිනි. ඔබ අතහැරීමේ උපරිමය තුළ නිවන් මඟ වඩන්නෙක්‌ නම් ඔබ කොතැනකට ගියද ආරණ්‍යයක්‌ වේවා, පන්සලක්‌ වේවා එතැන කැළඹුන තැනක්‌ විය හැක. ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවට මාර බලවේග බියය. ඒ නිසා තම බලකොටුවට පැමිණි ධර්මයේ බලය පලවාහැරීමට පරිසරය ඇති කරයි. ලෝකය තුළ අධර්ම බලවේග වල ශක්‌තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කරගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, පරීක්‍ෂා කිරීම්, නොසලකා හැරීම්, පීඩන, බාධා වලින් පිරුණු ගමනකි. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක්‌ කරගත යුතුය. මන්ද මේ සියල්ලම ලෝකයේ පවතින ධර්මතාවයන් වීමය. ඕනෑම පරිසරයකදී ඔබ "හොඳින් ඉන්න" දක්‍ෂ වෙන්න....!!!


Friday, March 20, 2026

යක්‍ෂයා නොව ධර්මය දකින්න

 2012/03/04 ලිපිය

භව ගමනේ නවාතැන් පළවල ස්‌වභාවය විවිධත්වයෙන් පිරී පවතී. මේ විවිධත්වය ගොඩනැගී ඇත්තේ සත්වයා කරන ලද කුසල් අකුසල් මතය. දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත ලෝකයන් මෙන්ම, යක්‍ෂයන්ගේ ලෝකයද අපූරුය.

යක්‍ෂයන්ද මේ මනුෂ්‍ය ලෝකය තුළම ජීවත්වන පිරිසකි. යක්‌කු, යක්‍ෂණියන් වශයෙන් දෙකොටසක්‌ ඇති බව අසා ඇතත් භික්‍ෂුව දැක ඇත්තේ යකුන් පමණක්‌ය. යක්‍ෂණියන් දර්ශනය වී නොමැත.

යකුන්ගේ ලෝකය පැහැදිලිව කොටස්‌ දෙකකි. සම්‍යදෘෂ්ටික යකුන් සහ මිත්‍යාදෘෂ්ටික යකුන් වශයෙනි. සම්‍යදෘෂ්ටික යකුන් වැඩි වශයෙන් පන්සල්, ආරණ්‍ය, පැරණි පුදබිම්, කැලයේ හුදෙකලා භික්‍ෂූන් වසන ප්‍රදේශ අසලද, මිත්‍යාදෘෂ්ටික යකුන් සොහොන්, අඳුරු ගුහා, ගල්ලෙන්, කැලයේ අඳුරු ප්‍රදේශ, දිය අගල්, නාන තොටවල් ආදිය ආශ්‍රයේද ජීවත් වෙයි.

යකුන් අඳුරට ප්‍රියය. ඒ ඔවුන්ගේ පෙර කර්මය නිසාය. ඔවුන්ද ඕලාරික කයක්‌ සහිත, එම කය ඇසුරුකොට ආයතන හය පිහිටි සත්වයෙකි. යක්‍ෂයාද සතර මහා ධාතූන්ගෙන් සැදුන ඕලාරික කයක්‌ සහිත, නිරතුරුවම ඇතිවන නැතිවන සිතක්‌ සහිත සත්වයෙකි.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැලෑබද ආරණ්‍යයක කුටියක වැඩ සිටියදී රාත්‍රී දහයට පමණ සමාධිය තුළ පසුවන විට එකවරම එම භික්‍ෂුව ඉදිරියට අඩි 6ක්‌ පමණ උසැති සද්ධන්ත ශරීරයක්‌ සහිත මනුෂ්‍ය ශරීරයේ ස්‌වභාවයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. යකාගේ ස්‌වභාවය, හැඩය හරියටම කළු ජාතික බොක්‌සිං ශූරයකු වැනිය. තද කළු පැහැති ශරීරයකි. ශරීරයේ උඩ කොටස නිරාවරණය වී ඇත. යට කොටස දනහිස දක්‌වා ඇඳුමකින් වැසී ඇත. අත්වල ලොකු වළලු තිබිණි. කොණ්‌ඩය හිස පිරෙන්නට ගෙල තෙක්‌ වැඩී තිබුණේය. හැබැයි කටේ දළ එහෙම තිබුණේ නැත. භික්‍ෂුව එයට පෙර යකෙක්‌ දැක තිබුණේ නැත. යකා පිටුපස තව පිරිවරක්‌ද ඉන්නවා පෙනෙයි. සෙවනැලි වශයෙනුයි පිරිවර පෙනෙන්නේ. ඕලාරිකව. මහයකා හොඳට ප්‍රතාපවත් මනුෂ්‍යයෙක්‌ වගේ භික්‍ෂුව ඉදිරියේ සිටිනවා. විනාඩි 5ක්‌ පමණ භික්‍ෂුව යකා දෙස බලා සිටියේය. යකා සෙලවෙන්නේ නැහැ. එකම ඉරියව්වෙන් භික්‍ෂුව දෙස බලා සිටිනවා. භික්‍ෂුවට වඳින්නෙත් නැහැ. භික්‍ෂුව බියට පත්කිරීමේ වුවමනාවකුත් නැහැ. භික්‍ෂුවට අගෞරවයක්‌ කරන්නෙත් නැහැ. යකා භික්‍ෂුව දෙස අනිමිස ලෝචනයෙන් වගේ බලා සිටිනවා. භික්‍ෂුව එවිට යකාට පිං දුන්නේය. යක්‍ෂ රූපය දර්ශනයෙන් නොපෙනී ගියේය. ඒ යක්‍ෂ රූපය නැවත භික්‍ෂුවට දර්ශනය නොවිණි. ඔහු සම්‍යදෘෂ්ටික යකෙකි. ඔහුගේ ජීවිතය යකෙක්‌ වුවද එය අඳුරු නැත. දුකක්‌ද නැත. බොහොම තේජස්‌, ප්‍රතාපවත්, පෞරුෂවත් ස්‌වභාවයකුයි තිබෙන්නේ. ඒවා ලැබී තිබෙන්නේ පෙර ජාතියේ කරන ලද පිංකම් නිසාය. නමුත් පෙර මිනිස්‌ ආත්මයක ඉපිද මැරෙන මොහොතේ අවසන් චුති සිත වෛරයක්‌, ක්‍රොධයක්‌, යමක්‌ ආරක්‍ෂා කිරීමේ කැමැත්තක්‌ සමඟ ඇතිවූ නිසා යක්‍ෂ ආත්මයක ඉපැදිලා. ඒත් ඔහු දුකක්‌ නොවෙයි විඳින්නේ. ඔහු තේජස්‌ සහිතව යමක්‌ ආරක්‍ෂා කරන සම්‍යදෘෂ්ටික යකෙක්‌.

භික්‍ෂුවට පසුව දැනගන්න ලැබුණා මෙම ආරණ්‍යයේ වසර 40 කට පමණ පෙර අපවත් වූ නායක හිමිනම මෙම ආරණ්‍යයට ඉතාමත් ආදරය කළ, එය ආරක්‍ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ බවක්‌. එම නායක හිමිගේ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක්‌ නිසා තමා විසින්ම ආරණ්‍යයේ තම කුටියේදී ගෙල වැලලාගෙන අපවත් වූ බවක්‌. මෙන්න මේ නායක හිsමිනම තමයි මහා යක්‍ෂයෙක්‌ වෙලා මෙම ආරණ්‍ය කුටියේදී රාත්‍රියේ භික්‍ෂුවට දර්ශනය වූයේ. හැබැයි එම භික්‍ෂුව අපවත් වීමට පෙරාතුව හොඳින් සීලය ආරක්‍ෂා කර ගත් නිසා, අපවත්වීමෙන් පසු සම්‍යාදෘෂ්ටික ප්‍රතාපවත් යක්‍ෂ ආත්මයක්‌ ලැබුවේය. අපවත් වන මොහොතේ තමාගේ කැමැත්ත වූයේ ආරණ්‍යය ආරක්‍ෂා කර ගැනීමය. ඒ කැමැත්තට අනුරූපීවම ඊළඟ ප්‍රතිසන්ධිය නිර්මාණය විය. තමාගේ කැමැත්ත තමාට ලැබිණි. භික්‍ෂුව සමාධිය තුළින් එම යක්‍ෂයා දර්ශනය කර ගැනීමට උත්සාහ කළද මෙම යක්‍ෂයා එදායින් පසුව භික්‍ෂුවට දර්ශනය වීමට නොලැබුණේය. ඔහු නියත වශයෙන්ම භික්‍ෂුවගේ පින් අනුමෝදන්ව ඒ ක්‍ෂණයෙන්ම යක්‍ෂ ආත්මයෙන් මිදුන බව පසුව භික්‍ෂුව සාධක සහිතව ස්‌ථිරව දැනගත්තේය. එය භික්‍ෂුව විසින් කෙසේ දැනගත්තේ දැයි මේ මොහොතේ සටහන් නොකරමි. සැබැවින්ම මොහුට යක්‍ෂයෙක්‌ යෑයි කීම වැරදිය. මොහු යක්‍ෂ සේනාධිපතියෙකි. මොහු භික්‍ෂුව ඉදිරියට පැමිණ ඇත්තේ හේතු දෙකක්‌ සහිතවය. ගෞරව කිරීමට සහ පින් ගැනීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදී ඉතාමත් ලෙන්ගතුව ගෞරවනීය ලෙස භික්‍ෂුවට ගෞරව කළ සත්වයා මෙම යක්‍ෂ සේනාධිපතියාය. මෙම දර්ශනය වීම සහ එහිදී භික්‍ෂුව අත්දුටු දේ සම්බන්ධයෙන් නැවත මෙසේ කියමි.

ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ඉහතින් සදහන් කළේ සම්‍යදෘෂ්ටික යක්‌ෂ සේනාධිපතියෙක්‌ ගැනය. මේ මොහොතේ ඔහු යක්‍ෂ ආත්මයෙන් මිදී මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක හෝ එසේත් නැතිනම් සියදිවි නසාගැනීමට පෙර දුෂ්කර ආරණ්‍යක භික්‍ෂුවක්‌ ලෙස ප්‍රජාව යම් ප්‍රමාණයකට වඩා තිබීම හේතුවෙන්, භික්‍ෂුවගේ අතහැරීමේ ස්‌වභාවයද දුටු නිසා ප්‍රඥාව මතුවී බ්‍රහ්මලෝකයට ගියා වීමටද පුළුවන. මේ ගැන භික්‍ෂුව ස්‌ථිරවම නොදනී, අනුමාන කළා පමණි. කෙසේ හෝ ඔහු සුගතිගාමී විය.

මිථ්‍යාදෘෂ්ටික යකුන්ගේ ස්‌වභාවය ඉහත යක්‍ෂ සේනාධිපතියාගේ ශරීර ස්‌වභාවයට වඩා වෙනස්‌ය. එකම එක අවස්‌ථාවක මිත්‍යාදෘෂ්ටික යකෙක්‌ වෙනත් ආරණ්‍ය භූමියකදී දර්ශනය විය. එම යකා ඉහත යක්‍ෂ සේනාධිපතියාට වඩා උසය. ශරීරය කළු පැහැතිය. ඇස්‌ දෙක දොඩම් ගෙඩි දෙකක්‌ සේ විශාලය. ඇස්‌ රතුය. කොණ්‌ඩය අවුල්ව කැරළි ලෙස ගෙල දක්‌වා වැඩී ඇත. මහා රෞද්‍ර පෙනුමකින් යුක්‌තය. මෙම යකා තනිපංගලමේ භික්‍ෂුව ඉදිරියේ දර්ශනය විය. හේ තැතිගත් විලාසයෙන් නිසොල්මනේ භික්‍ෂුව දෙස බලා සිට අතුරුදන් විණි. ඔහුගේ රෞද්‍ර පෙනුම නිසා ඔහු මිත්‍යාදෘශ්ටික යක්‍ෂයෙක්‌ බව අනුමාන කරමි. මොහුද උඩුකය නිරාවරණය කරගෙන සිටියේය. දණහිස දක්‌වා රෙදිකඩකින් වැසී තිබිණි. මෙම යක්‍ෂයන් කළු පැහැයෙන් යුක්‌ත වන්නේ පෙර සසර ක්‍රෝධය, වෛරය වැඩූ නිසාමය. තමා වැඩූ දෙය, තමා කැමති කළ දෙය තමාටම ලැබේ. ලෝක ධර්මය එයයි.

ඉහත ආරණ්‍යයේදීම භික්‍ෂුවකට පැහැපත් වර්ණයෙන් යුත් යකෙක්‌ දර්ශනය විය. එම යකාට පැහැපත් සිරුරක්‌ තිබුණත් එය එල්ලාවැටෙන තරබාරු සිරුරකි. විශාල බඩගෙඩියක්‌ සහිත ශරීරයේ උඩකය නිරාවරණව තිබුණු අතර දණහිස දක්‌වා රෙදි කඩක්‌ තිබිණි. හිසකේ අවුල්ව වැඩී තිබුණු අතර අසරණ ස්‌වරූපයක්‌ ඔහුගෙන් පළවිය. ඔහු යක්‍ෂ ආත්මයක ඉපැදුනද පැහැපත් ශරීරයක්‌ ලැබුවේ කෙසේදැයි භික්‍ෂුව නොදනී. සමහර ආමිස පින්කම් කිරීම නිසා ප්‍රසන්න ශරීර පැහැයත්, අවසාන චුති සිත ක්‍රෝධය, වෛරය ඇතිවීම නිසා යක්‍ෂ ආත්මයත් ලැබුණා විය හැකිය.

යක්‍ෂයනුත් කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය පිරිසකි. ඒවායේ නායකයන් ඇත. මිත්‍යාදෘෂ්ටික යකුන්, ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂූන්ට දැඩි ලෙස පීඩා කිරීමට උත්සාහ කරයි. භික්‍ෂුව දක්‍ෂ වෙන්න ඕනේ අතහැරීමේ ශක්‌තිය තුළින් මේ පාපකාරී බලවේග පරාජය කරන්න. අදක්‍ෂ වුණොත් කුටිය අතහැර යන්න වෙන්නේය. භික්‍ෂුව බලවත් අවස්‌ථාවල, භික්‍ෂුවට සිව්පසය සපයන දායකයන් මෙම මිත්‍යාදෘෂ්ටික යකුන් ග්‍රහණයට ගන්නේය. ඔවුන්ව ලෙඩ කරන්නේය. බිය ගන්වන්නේය. මේ හැම දෙයටම නොවරදින ඖෂධය ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කර තිබේ. ඒ තමයි ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ යක්‍ෂයා නොව, ධර්මයයි.

භික්‍ෂුව මොනම අවස්‌ථාවකදීවත් දෙවියන්, බඹුන්, ප්‍රේතයන්, යක්‍ෂයන් දකින්නට ආස කළේ නැත. මෙම සියල්ලම අහම්බයෙන් දර්ශනය වූ දේවල්ය. මේ කිසිවක්‌ කෙරෙහි භික්‍ෂුව ඇලුනේද, ගැටුනේද නැත. මේ සටහන් කියවා ඔබ දෙවියන් ප්‍රේතයන් යක්‍ෂයන් දැකීමට ආසා නොකරන්න. මන්ද දැකීමට සත්වයෙක්‌ ලෝකයේ නොමැති නිසාය. ඉහත සියලුම සත්වයන්ට තිබුණේ සතර මහා ධාතූන්ගෙන් සැදුණු අනිත්‍යභාවයට පත්වන ඕලාරික කයක්‌ සහ අනිත්‍යභාවයට පත්වන සිතක්‌ පමණි. එහි ස්‌ථිර සත්වයෙක්‌ නොසිටියේය. මෙහි තිබුණේ පස්‌සය නිසා හටගන්නා වේදනාව පමණක්‌මය. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ හමු නොවේ. එනිසා ඔබ දිව්‍ය, බඹුන්, ප්‍රේත, යක්‍ෂයන් සොයා නොයන්න. එම රූප දකින්න ඇති ආශාව, දකින්න යෑයි කියන සිත අනිත්‍ය වශයෙන් දැක අතහරින්න. එවිට ඔබ සොයාගෙන ඔබ නොසිතූ අයුරින් ඒ අය ඔබ ඉදිරියට එනු ඇත.

ඔබ මේ සටහන තැබූ භික්‍ෂුව කවුරුන්ද යන්න සෙවීමට වෙහෙස නොවන්න. ඔබ ඔබ ගැන සොයන්න. මේ භික්‍ෂුවද කිසිදා අනුන් සොයා ගිය කෙනකු නොවන බව තරයේ සිහි තබාගන්න. භික්‍ෂුව සෙව්වේ තමාගේම ස්‌වභාවය බවත් තමාගේ ස්‌වභාවය ගැන සෙවීමේදී භික්‍ෂුවට අවබෝධ වූයේ ලෝකයේම ස්‌වභාවය බවත් ඔබද දකින්න. තමාත්, ලෝකයත් දෙකම නිර්මාණය කර දුන්නේ ඇතිවෙමින් නැතිවෙන සිත බවත්, සිත අනිත්‍ය වශයෙන් අවබෝධ කර නිරුද්ධ කළ මොහොතේ ලෝකයෙන් තමා නිවී යන බවත් දකින්න. මෙනෙහි කරන්න. අප්‍රමාදීව සුන්දර දහමක හිමිකරුවෙක්‌ වන්න.

නැවත නැවතත් කියමි. ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. ඔබට සියල්ලම ලැබෙන විට ඒ කිsසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. 

මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

 2012/02/26 ලිපිය


සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්ම වල ඉපැදෙනවාමය. මීට අමතරව, තන්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමකි.

දේපළ, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්‌හාව, ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ පිං කළද ප්‍රේත ආත්ම වලට වැටීමට අතිශයින්ම හේතුවේ. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥාවන් දැකිය හැක්‌කේ ප්‍රභාශ්වර ආලෝක සහිතවය. ඒ අය ආලෝකමත්ය. එහෙත් ප්‍රේත ලෝකයේ සංඥා නිරතුරුවම අඳුරුය. විකෘතිය. ගුප්තය. තැතිගත් ස්‌වභාවයෙන් යුක්‌තය. කිසිදු ප්‍රේතයකුගේ ස්‌වරූපයේ සතුටු ස්‌වභායක්‌ දැකිය නොහැකිය. මහා ප්‍රශ්නාර්ථයකට මැදිවී සිටින්නා සේ වික්‍ෂිප්ත ගුප්ත ස්‌වරූපයක්‌ දර්ශනය වේ. එකිනෙකාට වෙනස්‌වූ විකෘති ස්‌වභාවයන්ගේ මුහුණු ප්‍රේතයන්ට ඇත. මුහුණේ සෑම දශමයක්‌ම විකෘතිය. සමහර මුහුණු පැතැලිය. දිගය. රවුම්ය. ඇස, කණ, නාසය, නළල, හිස ඇත්තේ විකෘති ස්‌වභාවයන්ගෙන් යුතුවය. ප්‍රේතයා යනු විකෘති නිර්මාණයකි. ප්‍රේතයාට තිබෙන්නේ ඕලාරික කයකි. සමාධිය වඩන්නාට එම ඕලාරික කය සියුම් ඝණ ස්‌වභාවයෙන් දැකිය හැකිය. ප්‍රේතයාගේ ඕලාරික කය තුළ මනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට සේම ආයතන හය පිහිටා ඇත.

එහෙයින් ප්‍රේතයාටද සිත් ඇතිවේ. ප්‍රේතයා අනිත්‍යභාවයට පත්වෙන සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, ඕලාරික කයක්‌ද, ඇතිවෙමින් නැතිවෙන සිතක්‌ද ඇති සත්වයෙකි. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ දෙකොට්‌ඨාසයම සිටිති. මේ අය නිරතුරුවම අඳුර සහ ගුප්ත භාවය තුළ ජීවත්වන නිසා ඒ අයට නිතරම බය සහ ගැටීම තුළ ජීවත්වීමට සිදුවේ. එය අතීත කර්මයේ ප්‍රතිඵලයකි. බය සහ ගැටීම තුළ නිරතුරුවම ජීවත්වීම නිසා, ප්‍රේතයාගේ සිත වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වැනි අකුසල් ධර්මයෙන්ගන් පිරී පවතී. ප්‍රේත ලෝකයේ ජීවත්වන සෑම තත්පරයකදීම ඔහු රැස්‌කරන්නේ අකුසල්ය. කුසල් අකුසල් ගැන ප්‍රේතයාට හැඟීමක්‌ නොමැත. එය ඔහුගේ කර්මයයි. දිව්‍ය, මිනිsස්‌ ආත්මවල ඉපිද, කරගත් කර්මයන් හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගන්නා ප්‍රේතයෝ විවිධ ස්‌වභාවයන්ගෙන් යුක්‌තය.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය.

තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු ආලෝක දෙකක්‌ නිකුත් වේ. බල්බ දෙකක්‌ සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක්‌ සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක්‌ සහිත, සිවුරක්‌ දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක්‌ ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක්‌ විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක්‌ ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක්‌ හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක්‌ නොමැති ශරීරයක්‌ ඇති ප්‍රේතයෙක්‌ වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක්‌ හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක්‌ වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක්‌ ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.

ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක්‌ සේ දර්ශනය වේ.

ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක්‌ ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක්‌ දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක්‌ නොමැතිය. සාමාන්‍ය මීහරක්‌ ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක්‌ තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස්‌ සඳහා හොර හරක්‌ සහ මී හරක්‌ මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක්‌ මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක්‌ ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක්‌ එම භූත මීහරක්‌ නිරාහාරව දුක්‌ විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස්‌ ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්‌, මී හරක්‌, කුකුළන්, මුවන් මරා මස්‌ කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක්‌ උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.

ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක්‌ ප්‍රේතියක්‌ කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස්‌ ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක්‌ මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක්‌ ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක්‌ බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත. මිනිස්‌ ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යෑද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස්‌ ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක්‌ වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක්‌ නොව ඔබගේද කථාව විය හැකිය.

මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.

නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න.

තවත් අපූරු ප්‍රේතියක්‌ ගැන සටහනක්‌ තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක්‌ වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක්‌ විය. ඇය සිටියේ ඇඳුමක්‌ ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස්‌ එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට්‌ කේස්‌ එකක්‌ සහ සුවඳ විලවුන් බෝතල් දෙකක්‌ අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක්‌ අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට්‌ කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ රැකියාවකට මැද පෙරදිග ගොස්‌ පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස්‌ ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක්‌ ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යෑයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක්‌ සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.

ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවාගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි.

ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න.

භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ. අවබෝධය සඳහාය. මේ ඝෝර, කටුක, භයානක සංසාරය සත්වයා දුක සොයාගෙන යන ගමනේ කැඩපතකි. දයාබර පිංවත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේම මුහුණ නම් ඔබ සතුටුවෙන්න. ඔබට පෙනුණේ පෙරේතයකුගේ පෙරේතියකගේ මුහුණ නම් ඔබ වහාම අප්‍රමාදීවන්න. ප්‍රමාදය දුකට හේතුවනු ඇත. භික්‍ෂුවට වරක්‌ දර්ශනය වූ කිසියම් ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ නැවත දර්ශනය වී නොමැත. සමහර විට පිං ගැනීමට හැකි ප්‍රේතයන් මෙසේ දර්ශනය වී පිං අනුමෝදන්ව ප්‍රේත ලෝකයෙන් චුතවනවාදැයි භික්‍ෂුව නොදනී.

ප්‍රේතයින්ගේ ආධ්‍යාත්මය තුළ යටපත්වී ගිය කුසල ශක්‌තියක්‌ ඇත. එම යටපත්වූ කුසල් ශක්‌තිය යම් අවස්‌ථා වලදී මතුකර ගැනීමට ප්‍රේතයාටද හැකිය. තණ්‌හාවෙන්, රැස්‌කරමින්, ගොඩගසාගනිමින්, දිවා රාත්‍රී නිදි නොලබා ඔබ වෙහෙසෙන්නේද ඉහත නුවරට නෑගම් යැම සඳහාමය. ඔබට පුළුවන් ඔබ ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරගන්න. සමාජයේ හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි පිනක්‌ කරගන්න තිබෙන අවිවේකය. විවේකය නැති නිසා සමහරු පොහොය දවසට පන්සලට යන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. පෝයට සිල් සමාදන් වන අම්මලා තාත්තලා ගෙදර දරුවන්ගේ ප්‍රශ්න ලෙඩරෝග ඇතිවුණොත්, මුණුබුරා අසනීප වුණොත්, බලාගන්න කෙනෙක්‌ නැති වුණොත් සිල්ගන්න එන්නේ නැහැ. රජකාරී, වගකීම්, ව්‍යාපාර නිසා හටගත් අවිවේකයෙන් තමන්ගේ ගෙදර තිබෙන පිංකමට නොයන අයත් ඉන්නවා. තණ්‌හාව බදාගැනීම හැර වෙන මොකුත් මෙහි නැහැ. පිංකමෙන් ලැබෙන පිනට වඩා සැපයක්‌ ඔවුන් සොයනවා. මේ අය හදිසියේ මියගියහොත් ඔබ හිතනවාද විවේකයෙන් පණ යාවි කියලා. පණ යන්නේ අවිවේකයෙන්මයි. ඒ කියන්නේ ගැටෙන සිතෙන්මයි. ප්‍රතිඵලය ප්‍රතිසන්ධිය සතර අපායයි. ඔබට බැරිනම් දින කීපයක්‌ ඔබේ දේපළ, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුර බැහැරක, වන්දනාවක, හුදෙකලාවේ යන්න මේවායින් මිදිලා. මේවා අතහැරලා දින කිහිපයක්‌ හුදකෙලාවේ සිටින්න. ඔබ ස්‌ථිර වශයෙන් දැනගන්න ඔබ මියයන මොහොතේත් ඔබට බැරිවෙනවා මේවා අතහැරගන්න. මැරෙන මොහොත අති වේගවත්ම සිත් ඇතිවෙන නැතිවෙන මොහොතක්‌. ඔබව කම්පනය වන මොහොතක්‌. ඔබ සූදානම් නොවී සිටියොත් ගැටෙන සිත ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලා ගන්නේ ප්‍රේත ලෝකයමය. පිං කළා කියා වැඩක්‌ නැත. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවන තණ්‌හා සිතිවිලි අතහැරීමට අවබෝධය තිබෙන්නට ඕනෑය. භික්‍ෂුව දුටු ප්‍රේත ලෝකයේ භික්‍ෂුව එවැනි චරිතයකි. පිං කිරීම නිසා විකෘති නොවූ ප්‍රේත ශරීරයත්, තණ්‌හාව නිසා ප්‍රේත ජීවිතයත් ඔහුට ලැබී ඇත. ප්‍රේත ලෝකයට තණ්‌හාව බැසගත්තද කළ පිංකම් නිසා ලස්‌සන ශරීරයක්‌ ලැබීය.

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවට තමන් ගැන මෙසේ ප්‍රකාශයක්‌ කළේය. “ස්‌වාමීන් වහන්ස මම දැන් ව්‍යාපාර වලින් නිදහස්‌ වෙලා ගොඩක්‌ විවේකයෙන් ඉන්නේ. හැම සතියකම වන්දනාවේ යනවා. දඹදිව වන්දනා කිරීමට කිහිප වතාවක්‌ම ගියා. බුරුමය, තායිලන්තය යන රටවලටත් වන්දනාවේ ගියා. තව රටවල් හුඟකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි බෞද්ධ සිද්ධස්‌ථාන වඳින්න ස්‌වාමින් වහන්සේ මට ආශිර්වාද කරන්න. “එම රටවලට යන්න ලැබෙවා” කියලා” භික්‍ෂුවට ඔහු ප්‍රකාශ කළා. බලන්නකෝ එම මහත්මයා පිංකම් කරගැනීම සඳහා ව්‍යාපාර අතහැරලා කරන පිංකම් වල ස්‌වරූපය. ඔහු ව්‍යාපාරිකයෙක්‌ කියලා තැනින් මිදිලා ඔහු සංචාරකයෙක්‌ වෙලා. අපූරු තෝරාගැනීමක්‌. මේකට තමයි මෝහය කියන්නේ. ඔහු භික්‍ෂුවගෙන් විමසුවා මෙවැනි පිංකම් කිරීමෙන් ලැබෙන විපාක මොනවාද කියලා. භික්‍ෂුව මෙහෙම කිව්වා “ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තව හුඟක්‌ බෞද්ධ රටවලට සංචාරයේ යන්න. පිං කරගැනීම සඳහා. ඔබ මියයන විට මෙම බලාපොරොත්තුව සිහිවුනොත් ඔබ නියත වශයෙන්ම සංචාරක පක්‍ෂියෙක්‌ වෙනවා. මොකද ඔබ කැමති සංචාරයට නිසා. ඔබේ කැමැත්ත පරලොවදී ස්‌ථිරවම ඔබට ලැබෙනවා. ඔබ මියයන මොහොතේ ඔබ ඔය වන්දනාවේ ගොස්‌ කරගත්ත මහා පිංකමක්‌ ඔබේ මතකයට ආවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම සශ්‍රීක මිනිස්‌ හෝ දිව්‍ය ආත්මයක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැම සිතිවිල්ලකම අනිත්‍ය වශයෙන් දැක්‌කොත් ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන් ඔබ මාර්ගඵල ලාභී දෙවියන් බඹුන් අතර උපතක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔය ගිය වන්දනා ගමන්, කළ පිංකම් මතක්‌ නොවී ඔබට පෙර අතහැරදැමූ ව්‍යාපාර දේපළ, වස්‌තුව මතක්‌වුවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම ප්‍රේත ලෝකයේ උපතක්‌ ලබනව. භික්‍ෂුව ඔහුට අනුශාසනා කළා, ඔබ දක්‍ෂවෙන්න ඔබ කැමැති දෙය තෝරාගන්න කියලා. භික්‍ෂුව දන්නේ නැහැ ඔහු මොන දෙයට කැමැති වුණාද කියලා. හැබැයි එක දෙයක්‌ නම් දන්නවා. එදායින් පස්‌සේ ඔහු භික්‍ෂුව සමග අමනාප බව. මේක තමයි ලෝකයේ ස්‌වභාවය. හුඟක්‌ අය කැමැති බොරු කියලා හරි ඔහුව ඔසවා තබනවාට. ඔවුන් යන ගමනට ලකුණු දෙනවාට.

Thursday, February 26, 2026

දිව්‍ය ලෝකෙ සැපයි... ඒත්?

2012/02/19 ලිපිය

අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.

මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා... ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේa කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිsසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේa මුහුදේ දිය ඇල්ලේ රිද්aමය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. "මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න" භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. "ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න" කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

"පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්¨ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න" භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිsරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

ඉහත දිව්‍යාංගනාවත් අතීත බව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ» ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග.....

රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ටිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.


නාලාගිරි අදත් වඩියි

2012/02/12 ලිපිය

නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌ වෙන්න ඕනේ. ඒ කියන්නෙ සැබෑ මධ්‍යම ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌.

භික්‌ෂුවක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් රක්‍ෂිතයක ගොදුරු ගමෙන් කිලොමීටර් එකාහාමාරක්‌ පමණ ඈතින් වනයේ හුදකලා කුටියක වැඩසිටියා. කුටියට වඩින්ට තිබෙන්නේ අලිමංකඩ ඔස්‌සේය. භික්‌ෂුව වැඩසිටිය කුටිය ගෙමිදුලින් තමයි අලිමංකඩ වැටී තිබුනේ. භික්‌ෂුව මේ කුටියට පැමිණි ප්‍රථම දිනයේම රාත්‍රී දහය වෙනකොට අලි තුන්දෙනෙක්‌ කුටිය පිටිපස පැය භාගයක්‌ පමණ අතු බිඳිමින් ආහාර ගෙන අලිමංකඩ ඔස්‌සේ ගමට වැදුනා. පසුදා උදෑසන භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට භික්‍ෂුවට පේනවා ගමේ කුඹුරු කීපයක්‌ම අලි විනාශකර තිබීම නිසා මිනිසුන් පත්ව සිටි වේදනාව. භික්‍ෂුව මේ මොහොත වන විටත් කරණීය මෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් සඡ්ජායනා කිරීමට නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිතා නොකළේය. නිවීම උදෙසා යන ගමනේදී ඒවා අවශ්‍ය නොවන බව භික්‍ෂුව දැනසිටියේය. එහෙත් එක්‌තරා ආරණ්‍යයකදී හමුවූ ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට නාලාගිරි ගාථාව සහ අංගුලිමාල පිරිත ද, කඳ පිරිතද ලියා තබාගන්න යෑයි කීව නිසා භික්‍ෂුව තනිරූල් පිටුවක එම ගාථාව ලියා තබා තිබිණි.

එහි නාලාගිරි ගාථාව මෙලෙස සටහන් කොට තිබිණි.

”මා කුඤ්ජර නාග මාසදෝ – දුක්‌ඛං හි කුඤ්ජර නාග මාසදෝ

නහිනාග හතස්‌ස කුඤ්ජර සුගති හෝති – ඉතෝ පරං ගතෝ”

ඉහත ගාථාව නිවැරදි දැයි භික්‍ෂුව තවමත් ස්‌ථිරව නොදනී. එහෙත් භික්‍ෂුව භාවිතා කළේ ගාථාවේ ඉහත පද හතර පමණකි. භික්‍ෂුව ආශ්චර්යයක්‌ බලාපොරොත්තු නොවිණ. අවශ්‍යවූයේ තමා වෙනුවෙන් නොව, තමන්ට පිණ්‌ඩපාතය පූජා කරන දුප්පත් දායකයන් වෙනුවෙන් තාවකාලිකව හෝ යහපතක්‌ කිරීමටයි. ප්‍රතිඵලය කුමක්‌ වේදැයි භික්‍ෂුව නොසිතුවේය. නොදත්තේය. ඊට අමුතු ආයාසයක්‌ද, වෙහෙසක්‌ද නොගත්තේය. දිනකට ඉහත ගාථාව විසිපස්‌ වතාවක්‌ පමණ ශබ්ද නගමින් සඡ්ජායනා කළහ. දින දෙකක්‌ මෙසේ ගාථාව සඡ්ජායනය කිරීමේදී…. අරුමයකි. භික්‍ෂුව සමාධියෙන් පසුවෙද්දී කැළයෙන් මතුවන ඇත් රුවක්‌ පෙණිනි. ඇතෙක්‌ නොව ඔහු ප්‍රතාපවත් ඇත් රජෙකි. දිළිසෙන ප්‍රභාෂ්වර කලු පැහැයෙන් යුත් ශරීරය සමාන්‍ය ඇතෙකුට වඩා පලලින් යුක්‌තිය. එය හරියට පෙරහැරේ යන ඇතෙකුට ඇඳුම් ආයිත්තම් ඇන්දවූ පසු පලලට පෙනෙනවා සේය. දිග ඇත්දළ යුගළකි. එහි කෙළවර දෙකට රන්වන් කොපු දමා ඇත. හිසේ ඉදිරි කොටස ආභාරණවලින් සරසා ඇත. ඇත්රජුගේ ඇස්‌ දෙකෙන් ඉතා තියුණු දීප්තිමත් සුදුපැහැති ආලෝකධාරා දෙකක්‌ විහිදේ. එම ආලෝකය ඉතා තියුණුය. ඉහත ගාථාව සඡ්ජායනා කරන විට මෙම ඇත්රුව දිනකට හතර පස්‌ වතාවක්‌ භික්‍ෂුවට සමාධියේදී දිස්‌වේ. බලන්න ධර්මයේ ආශ්චර්යය. ඔබ දක්‍ෂ නම් මීට වසර 2500 කට පෙර ජීවත්වූ නාලාගිරි ඇත් රජුවද වර්තමානයේදී දැකිය හැකිය.

මේ ඇත් රජු දර්ශනය වීමත් සමඟම, භික්‍ෂුව එම කුටියේ වැඩ සිටි මාස දෙක පුරාවට ගමට පැමිණි අලි ගමට තබා, කුටිය අසලටවත් පැමිණියේ නැත. භික්‍ෂුව කුටිය අතහැර ගිය පසු කුමක්‌ වූවාද යන්න භික්‍ෂුව නොදනී. මෙය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව, ධර්මයේ ආශ්චර්යයකි. අතහැරීමේ ක්‍රියාවලියේ ආශ්චර්යයකි.

මෙහිදී සිදුවන දෙය පුදුමාකාරය. භික්‍ෂුවට මේ දිව්‍ය ඇත්රජු සමාධියේදී පෙනෙනවා සේම, අලින්ටද මේ ඇත්රජු දර්ශනය වේ. ඇත්රජුගේ තේජස්‌ දෑස්‌වලින් විහිදෙන ප්‍රභාශ්වර ආලෝක ධාරා දෙක නිසා කැලේ අලි බියට පත්වේ. සද්ධන්ත කුලයේ ඇතෙකු දැක පලායන අලින් සේ ඉහත ගාථාව භාවිතා කිරීමේදී, සඡ්ජායනා කිරීමේදී අලි මඟහැර යන්නේ නාලාගිරි ඇත්රජු දිව්‍ය ආත්මභාවයක සිට බුදු අණින් යුත් ඉහත ගාථාවෙන් කරන ආරාධනයත් සමඟ වඩින නිසාය. ලොව්තුරා බුදුසමිඳුන් අභියස දණගැසූ නාලාගිරි ඇත්රජු, බුද්ධ අණින් මේ මොහොතේද අර්ථවත්ව, නිවැරදිව නිවන් මඟ වඩනා බුදු පුතුන් ආරක්‍ෂා කිරීමට පෙනී සිටියි. බුදු පුතුන්ගේ අණට දර්ශනය වේ. හැබැයි ගාථාව සඡ්ජායනා කළ පමණින් එය කළ නොහැක. ගාථාව භාවිතා කරන්නා තුළ අතහැරීම උපරිමයෙන් තිබිය යුතුය. ඉහත කුටිය පරිහරණය කරන විට භික්‍ෂුවට තුන් සිවුරත් පාත්‍රයත් හැර අන්දෙයක්‌ එහි නොතිබිණි. අතහැරීමේ උපරිමය තුළ නාලාගිරි ගාථාවේ සාර්ථකත්වය ඔබත් අත්විඳින්න.

භික්‍ෂුව මේ ලියන මොහොතේද ඉහත ගාථාව නිවැරදි දැයි නොදත්තේය. ඒ එම ගාථාවද භික්‍ෂුව අතහැර දැමූ නිසාය. එහි නිවැරදිභාවය සෙවීමට, එහි පද අඩුදැයි සෙවීමට උන්වහන්සේට මේ මොහොතේද අවශ්‍ය නොවේ. එය අතහැරීමේ ස්‌වභාවයේ උපරිමයයි. භික්‍ෂුව මෙම ගාථාවේ නිවැරදිභාවය සෙවීමට ගියා නම් උන්වහන්සේට මේ ගාථාවෙන් ප්‍රාතිහාර්යයක්‌ දැකිය නොහැක. මන්ද එසේනම් උන්වහන්සේ ගාථාව තුළ නිත්‍යභාවයක්‌ දකින නිසාය. සමහරවිට මේ කියවන ඔබට ගාථාවේ පද අඩු බවට, වැරදි ඇති බවට විචිකිඡ්ජාවක්‌ ඇතිවිය හැකිය. එය අතහැරීමේ ස්‌වභාවය නොවේ. අල්ලාගැනීමේ ස්‌වභාවයයි.

ඔබ යමක්‌ සොයන්නේ නම් සෙවීමට නිත්‍ය යමක්‌ තිබිය යුතුය. වැරදි සොය සොයා සිටීම දුර්වලතාවයකි. ලැබුණ දේ ගලපාගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ගාථාව, පිරිත යනු අනිත්‍ය පද පෙළකි. එම අනිත්‍ය දකිමින් එය භාවිතා කිරීම ප්‍රථිඵලදායකය. භික්‍ෂුව දන්නා නිවීමේ ප්‍රතිපදාව මෙයයි. එහෙත් ඔබ ආමිසය තුළ බුදුරජාණන්වහන්සේට පූජා පවත්වන පිංවතෙකු නම් ගාථා පිරිත් වල අර්ථ වශයෙන් දැක සඡ්ජායනා කිරීම අත්‍යවශ්‍යය. ප්‍රතිඵලදායකය. ලෞකික ජීවිතය යහපත්ව හැඩගස්‌වාගැනීමට උපකාරී වේ. ඉහත මාර්ග දෙක ඔබ පටලවා නොගන්න.

ලොව්තුරා බුදුසමිඳුන් නාලාගිරි හස්‌තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්‌ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්‌ථාවක්‌ ලෙස භික්‍ෂුව ඉහත අවස්‌ථාව දකියි. බුදුරජාණන් වහන්සේ යම් අරමුණකින් ඉහත ගාථාව නාලාගිරි හස්‌තියාට දේශනා කළාද, ඉන් ප්‍රතිඵල ලැබුවාද, භික්‍ෂුවටත් එය එසේම සිදුවිය. බුදු වදනේ ආශ්චර්යය මෙයයි. සත්‍යතාවය මෙයයි. එය අත්විඳිය හැක්‌කේ අතහැරීම තුළම පමණි. භික්‍ෂුව ඔබට නැවතත් කියයි. ඔබේ අවබෝධය සඳහාම”….

භික්‍ෂුව ඉහත කුටියේ වැඩසිටින මාස දෙකක කාලය තුළදී හුණු මිශ්‍ර දොලේ ජලය පාවිච්චි කිරීම නිසා මුත්‍රමාර්ගයේ ආබාධ වලින්ද, ආහාර මදකම නිසා ලේ වල සීනි හිඟවීමේ ක්‌ලාන්තයෙන්ද පීඩා වින්දේය. එහෙත් ඒ සෑම පීඩාවක්‌ම ජයග්‍රහණයක්‌ කරගැනීමට භික්‍ෂුවට හැකිවිය. එම පීඩාවන් නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත්තේය. නාලාගිරි හස්‌තිරාජයා දර්ශනය කරගැනීමද එම ආශිර්වාදයේ ප්‍රතිඵලයකි. ඇතිවෙන්නාවූ ස්‌වභාවික තත්ත්වයන්ට මුහුණ දෙනවා විනා, නිවීම උදෙසා උවමනාවෙන් දුක්‌ විඳිය යුතුය යන වැරදි මතයට ඔබ නොඑන්න. මෙම අර්ථයන් ඔබ වැරදි අයුරින් ක්‍රියාත්මක කළොත් ඔබ මානසික රෝගියෙක්‌ වීමටද ඉඩකඩ ඇත. එහෙයින් ඔබ නිරතුරුවම මඟවැඩූ කල්‍යාණමිත්‍රයකුගෙන් ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න. ඔබ මෙය කියවා නාලාගිරි හස්‌තිරාජයා දකින්නට ආශාවෙන්, ඉහත ගාථාව කොතෙක්‌ සඡ්ජායනය කළද, ඔබට ප්‍රතිඵල නොලැබෙනු ඇත. ආශාවෙන් අල්ලාගත් තැන ධර්මයේ ප්‍රතිඵල ශූන්‍ය වේ. ආශාව අතහැරුණු කළ ධර්මයේ ප්‍රතිඵල උදාවේ. ආශාව අතහැරෙන්නේ ප්‍රඥාව වැඩීමෙන් පමණක්‌මය. ප්‍රඥාව වැඩීමේ ජලය වන්නේද, පොහොර වන්නේද සතර සතිපට්‌ඨානයයි. සතරසතිපට්‌ඨානයෙන් ඔබ ලබන ඵලය අනිත්‍යයයි. අනිත්‍යය අවබෝධයෙන් ඔබට ලොව්තුරා බුදුසමිඳුන්වද, නාලාගිරි හස්‌තිරාජයාවද, ඔබවද, සතර සතිපට්‌ඨානයද ලෝකයද අතහැරෙනු ඇත.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ගම්වැසියන් සිතුවේ භික්‍ෂුව මන්ත්‍ර ගුරුකම් දන්නවා කියාය. මන්ද භික්‍ෂුව ගමට වඩින්නට ගත් කාලයේ පටන් අලින් ගම් නොවැදුණු බැවිණි. මිනිසුන්ගේ මේ මතයන් නිවැරදි කිරීමට භික්‍ෂුවට අවශ්‍ය නොවීය. අනුන්ගේ සිත් තුළ ඇතිවන සිතිවිලි භික්‍ෂුවට අදාළ නොවේ. නමුත් මෙසේ ගතවෙද්දී එක්‌ තරුණයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණ තමා හමුදාවට බැඳීමට යන නිසා ආරක්‍ෂාවට යන්ත්‍රයක්‌ සකස්‌ කරදෙන මෙන් ඉල්ලා සිටියේය. එහිදී භික්‍ෂුව එම තරුණයාට මෙසේ ප්‍රකාශ කළේය. පුතේ, මා දන්නේ එකම ආරක්‍ෂාවයි. ඒ තමයි තුණුරුවන්ගේ ආරක්‍ෂාව. වෙන ආරක්‍ෂාවක්‌ කරන්න මම දන්නේ නැහැ”

ලෝකයේ ඔබව සුරැකෙන ශ්‍රේෂ්ඨම ආරක්‍ෂාව මොකක්‌ද කියලා ඔබ දන්නවාද..?

ඔබ සියල්ල අතහරින්න. ඔබට ආරක්‍ෂා කරන්න, ආරක්‍ෂාවෙන්න කිසිවක්‌ම නැහැ. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති තැනකට කුමන ආරක්‍ෂාවක්‌ද..? කාගෙන් ආරක්‍ෂාවක්‌ද.? කුමක්‌ ආරක්‍ෂාකිරීමක්‌ද..? මෙලොව සුරක්‍ෂිත එකම පුද්ගලයා ධර්මය අවබෝධකරගත් උත්තමයාය.

පිංවත් අයෙක්‌ වරක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ”ඇයි ඔබවහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක්‌ භාවිතා නොකරන්නේ?” කියලා. එවිට භික්‍ෂුව ලබාදුන් පිළිතුර තමයි, ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරිවානා පොත් වහන්සේය කියලා. පිරිත් තිබෙන්නේ සඡ්ජායනා කිරීමට, ශ්‍රවණය කිරීමට පමණක්‌ නොවේ. එහි හරය, සාරය, අර්ථය ජීවිතයට එකතු කරගැනීමටය. ඔබත් දක්‍ෂවෙන්න, ඔබගේ ජීවිතය පිරිත්පොතක්‌ කරගන්න. එවිට ඔබේ ආරක්‍ෂාවට යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් අවශ්‍ය නොවනු ඇත...!


Wednesday, February 25, 2026

ගමන ඉවරත් නොමැති යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

  2012/02/05 ලිපිය

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා.

මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.

අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස්‌ කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතAහැරිය යුතුය. වර්තමානය තුළ පමණක්‌ ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක්‌ ගැන බලාපොරොත්තුවක්‌, ඊයේ ගැන පසුතැවීමක්‌ ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස්‌ වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස්‌ විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.

ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස්‌ කළුකර ගන්නේද සුදු හිසකෙස්‌ නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ “මම, මගේ” යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක්‌ කන්දක විශාලත්වය.

හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක්‌ වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය. හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක්‌ මුලක්‌ මැදක්‌ හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ “අ”යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය. භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක්‌ ඉගෙනගැනීමට හැකි…. ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක්‌ භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක්‌ පමණැති ශරීර අවයවයක්‌ ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස්‌ රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක්‌ ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.

තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති. උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස්‌ සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට “පිස්‌සෙක්‌” යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය. මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක්‌ කලක්‌ සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක්‌ සේ නැති අනාගතයක්‌ පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක්‌ හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක්‌ අනාගතයට ගොස්‌ ඇත. නැති අනාගතයක්‌ ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.

අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස්‌ නොවන තැනක්‌ ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක්‌ නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක්‌ නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක්‌ තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක්‌ දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය…. කියලා මාරයා ඔබට ලොකු කැරට්‌ අලයක්‌ දික්‌කරනවා. දුක සැපක්‌ කරගත්ත, සැප බලාපොරොත්තුවක්‌ කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක්‌ සොයාගෙන.

අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.


x

Monday, February 23, 2026

අභියෝගය අවබෝධයක්‌ කරගන්න

 2012/01/29 ලිපිය

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය.

සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර අවස්‌ථාවල කැලය තුළ විකෘති, කලබලකාරී ලෙස හැසිරෙති.

මේවා පාලනය කිරීමට ධර්මයට නොහැකිය. මොකද මේවා ලෝකයේ ස්‌වභාවය හෙයිනි. එහෙත් අත්හැරීමේ තිබෙන මහානුභාවය නිසාම මෙවැනි විකෘති සතුන් පවා භික්‍ෂුවගෙන් මගහැරෙනවා.

දිනක්‌ භික්‍ෂුවක්‌ කැලෑබද ගුරුපාරක පිණ්‌ඩපාතයෙ වඩිනවා. මෙම කැලයේ නිතරම හැසිරෙන තනි අලියෙක්‌ සිටිනවා. මෙම තනියා මීට මාස කිහිපයකට පෙර ගොවියන් දෙදෙනෙක්‌ මරාදැමූ සතෙක්‌. වෙන අලින් මේ පෙදෙසේ නැහැ. මේ තනියා පමණයි කැලයේ සිටින්නේ. ඒ නිසා මෙයා සැරයි.

භික්‍ෂුව උදය කාලයේ කැලය මැදින් ගුරුපාරේ පිණ්‌ඩපාතේ වඩින විට පෙනෙනවා, පාර පුරා අතු කඩා දමලා, ගස්‌ පතුරු ගහලා පාරට දමලා හරියට වුවමනාවෙන්ම පාර අපවිත්‍ර කරලා වගේ. තනියා කේන්ති ගිය ස්‌වභාවයෙන්ම හැසිරී ඇතිබව හොඳටම පැහැදිලියි. භික්‍ෂුව හොඳින්ම දන්නවා දැන් ඉදිරියේ තනියා ඉන්නවා කියලා. වේලාව පෙරවරු 6.30ට ඇති. අලි ගඳත් දැනෙනවා. ගුරුපාර මඩකරලා. පෙරේදා රාත්‍රියේ වැස්‌ස තිබුණා. ඔබ දන්නවාද මේ වෙලාවේ භික්‍ෂුව මොකද කළේ කියලා. හැබැයි තවම භික්‍ෂුවට තනියා මුණගැසුනේ නැහැ. භික්‍ෂුවත් පැමිණි විලසින්ම ඉදිරියට වඩිනවා. ගමට යන්න එපැයි පිණ්‌ඩපාතය සොයාගන්න. ගමට යැමට කිලෝ මීටර 2ක්‌a පමණ දුරක්‌ තිබෙනවා. භික්‍ෂුව ඉදිරියටම වඩිනවා. තනියා මග දිගටම අතුකඩා දමලා, පොත්ත අනුභව කරන්න ගස්‌ පතුරුගහලා. භික්‍ෂුව මොහොතක්‌ නවතිනවා. කුමක්‌ සඳහාද? තමා ඉදිරියේ ඇති අභියෝගය ජයග්‍රහණයකට පරිවර්තනය කරගන්න. භික්‍ෂුව මනසින් දකිනවා, තනියා තමන් ඉදිරියට වියරුවෙන් එනවා. ඇවිත් හොඬවැලෙන් භික්‍ෂුව අඹරවලා ගන්නවා. අරගෙන තනියා වියරුවෙන්ම භික්‍ෂුවව පොලොවේ ගසනවා. භික්‍ෂුවගේ හිසට තනියා තම ඉදිරි පාදය තබා පාගනවා. හිස කුඩුවෙනවා. මේ සියල්ල භික්‍ෂුව මනසිනුයි දකින්නේ. භික්‍ෂුව දැනෙන දැනෙන වේදනාව තමාට අයත් දෙයක්‌ නොවන බව දකිනවා. කුඩුවෙන බිඳෙන කය තමාට අයත් නැති බව දකිනවා. භික්‍ෂුව දකිනවා තම අවසාන හුස්‌ම පොද ශරීරයෙන් පිටවෙනවා. භික්‍ෂුව නුවනින් බලනවා ඇතිවූ අවසාන සිත නැවත ප්‍රතිසන්ධියක්‌ සහිත සිතක්‌ද කියලා. භික්‍ෂුව දකිනවා අවසන් සිතේ කිසිම උපාදානයක්‌, තණ්‌හාවක්‌, කැමැත්තක්‌ නැතිය කියලා. භික්‍ෂුව අවබෝධ කරගන්නවා කැමැත්තක්‌, තණ්‌හාවක්‌ නොමැතිනම් නැවත උපාදානයක්‌, බැසගැනීමක්‌ නොමැති බව. බලන්න නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌ ජීවිතයට අභියෝගයක සෙවනැල්ල වැටුණු මොහොතකදී තමා විසින්ම ජීවිතය මරාදැමීමට සලස්‌වලා අවබෝධය ලබලා නැවැත ජීවිතයට සේන්දු වුණා. බලන්න ලොව්තුරු ධර්මයේ විශිෂ්ට බව. අතහැරීමේ ආශ්චර්යය.

දස දහස්‌ගණනින් මහ රහතන් වහන්සේලා අතීතයේ බිහිවූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි කමටහන් බුදු පුතුන්ට දුන් නිසාය. මෙම සිදුවීමේදී භික්‍ෂුව තුළ වැඩුනේ සතර සතිපට්‌ඨානයයි.

මෙවැනි සිදුවීම් භික්‍ෂුව ඉදිරියට එන ආශිර්වාදයන්ය. ඔබ දක්‍ෂ විය යුතුයි ඔබේ නිවීම උදෙසා මේවා ගලපාගැනීමට.

තනි අලියාට පමණක්‌ නොව අනිකුත් අභියෝගවලදීත්.....

භික්‍ෂුවගේ දක්‍ෂභාවය නිසාම අභියෝගය ඉදිරියේ ජීවිතය අතහැරෙනකොට, ඉදිරියේ අනිවාර්යෙන්ම ඇතැයි කියලා අනුමාන කළ තනියා දකින්න සිටියේ නැත. තනියාට භික්‍ෂුවගේ ඉව දැනෙන සීමාවේ ඉන්න බැහැ. එයාට දැනෙනවා භික්‍ෂුවගේ අතහැරීමෙන් කම්පාවන ලෝක ස්‌වභාවය. සියල්ල ඔබ අතහරින්න. ඔබට මේ සියල්ල ලැබෙනවා. එහෙත් මේ සියල්ල ඔබට ලැබෙනවිට මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය බව ඔබ අවබෝධයෙන් දකිනවා. ඔබද ඔබේ වාසනාවත් භික්‍ෂු ජීවිතය ඉදිරියට අභියෝග පතිත වන විට පලා නොයන්න, බිය නොවන්න. යටත් නොවන්න. පිරිත් පොත අතට නොගන්න. බුදු ගුණ නොසිතන්න. ඔබත් අභියෝගයත්, ප්‍රතිඵලයත් ඔබේ නොවේ යෑයි දකින්න. එවිට ඔබ දකින්නේ සැබෑම බුදුගුණයයි.

ඔබේ ජීවිතය ඔබම ලෙඩ කරන්න, අංශභාග රෝගියෙක්‌ කරන්න, පිළිකා, ලියුකේමියා, වකුගඩු රෝගියෙක්‌ කරන්න. මග තොටේදී ඔබව වාහනයකට යටවී ශරීරය කුඩුවෙනවා දකින්න. ඔබ වයසට ගිහින් ලෙඬ ඇඳේ අබ්බගාතයෙක්‌ ලෙස දුක්‌විඳිනවා දකින්න. ඔබට සලකන්නට කෙනෙක්‌ නොමැතිව අසූචි මළමුත්‍රා මත ඔබ වැටී සිටිනා හැටි දකින්න. ඔබ මනසින් මියයන්න.

ඔබේ සිතේ ස්‌වභාවය අධ්‍යයනය කරන්න. මේ සියලු කමටහන් තුළින් ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානය බව අවබෝධයෙන් දකින්න. මරණය මනසින් අත්දකිමින්, අත්විඳිමින් නැවත උපාදනයක්‌ නැති අවසානයක්‌ කරා යැමට සිත පුහුණු කරන්න. අභියෝගය- අවබෝධයක්‌ කරගන්න. ඔබද නිවන් මඟට අවතීර්ණ වන්න. නිර්වින්දන, අලිවෙඩි, ඇත්ගොව්වන්, හෙන්ඩුව නොමැතිව සද්ධන්ත කුළයේ අලි ඇතුන් දමනය වන ආශ්චර්යවත් ධර්මයේ උරුමක්‌කරුවෙක්‌ වෙන්න. හැබැයි ඒ අලි දමනය කිරීමට නම් නොවේ. අලි දමනය කිරීමට ඔබ තුළ ඇතිවන සිත හා කැමැත්ත දමනය කරගැනීමටය. කැමැත්ත අතහැර දැමීමටය. කැමැත්ත යනු ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන අනිත්‍යවූ නියෝගයක්‌ පමණක්‌ම ලෙසින් එය දකින්න. සිත අතහැරුණු කල, කැමැත්තද ඔබට අතහැරෙනු ඇත. මේ මොහොතේත් ඔබ යම් කැමැත්තකින් පසුවෙනවා නම් ඔබ සියුම්ව නිරීක්‍ෂණය කර බලන්න. ඔබේ අනිත්‍යභාවයට පත්වන, ඔබට අයිති නැත. සිත නේද ඒ කැමැත්තට ඔබව පොළඹවන්නේ. භවය කරා ඔබව කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන කැමැත්තෙන් මිදෙන්න.

Sunday, February 22, 2026

දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ

 2012/01/22 ලිපිය

මේ මොහොතේ සද්ධර්මය සුරක්‍ෂිත භූමියේ සුරක්‍ෂිතභාවය උදෙසා "අප ශ්‍රී ලංකා මාතා" කියලා ආශිර්වාද කරන දෙවිවරුන් සමඟ පිංවත් ඔබ අත්වැල් බැඳගන්න. දෙවියන් සමඟ පිංවත් ඔබ බැඳෙන අත්වැල බැඳෙන්නේ පූජා වට්‌ටියකින්, පඬුරකින්, භාරයකින් නොව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන මහේශාඛ්‍ය දෙවියන් පවා වන්දනා කරන කාරණාවලින්. පිංවත් ඔබ මිථ්‍යාදෘශ්ටික කාරණා වලින් බැහැරව ඉහත ආකාරයට සද්ධර්මයට හිතැති දෙවියන් සමඟ අත්වැලක්‌ බැඳගත්තොත් මුළුලෝකයම විනාශවී ගියත් පිංවතුන් සුරක්‍ෂිත යෑයි කියන කාරණය ගැන ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ ඇතිකර ගන්න. දෙවිවරුන්ට පිංවත් ඔබත් ශක්‌තියක්‌ වෙන්න, මේ සද්ධර්මය යම් පමණ කාලයක්‌ හෝ මේ ධර්මද්වීපයේ ආරක්‍ෂාකොට තැබීම පිණිස. ඒ ශක්‌තිය ඔබට ලබාදිය හැක්‌කේ ජීවිතයට ඉහත අර්ථයන් එකතුකර ගැනීමෙන්ය. ඔබ මේ ආකාරයට පෙළගැසුණොත් මිථ්‍යාදෘශ්ටික ලෝකයාට හේතු-ඵල ධර්මයන්ට අනුව කුමන විනාශයක්‌ සිදුවුවද, පිංවත් ඔබ සුරක්‍ෂිත වේවි. මේ උතුම් සද්ධර්මය තව කාලයක්‌ සුරක්‍ෂිතව පවතීවී. මේ උතුම් සද්ධර්මයෙන් මනුෂ්‍යයින් ධර්මාවබෝධය ලබාවි. තව තවත් සුගති භූමිවල ඉපදේවි. රූපී බ්‍රහ්ම තලවල, සුගතිභූමි වල තව තව මාර්ගඵල ලාභී දෙවියන් දිව්‍යාංගනාවන් බිහිවේවි. පිංවත් ඔබ ධර්මය සමග ජීවත්වෙන්න. ඕනෑම අභියෝගයක්‌ හමුවේ විනාශයක්‌ හමුවේ වුවද සුරක්‍ෂිතව සිහි මුළා නොවී ඊට මුහුණ දෙන්න. එසේ නොවී ඔබ මිථ්‍යාදෘශ්ටික ක්‍රමවේදයන්ට ගියොත්, ඔබ දුසිල්වත් වුවොත්, හේතුඵල ධර්මයන්ට අනුව වෙනත් දිශාවකට යන විනාශයක්‌ හෝ පැමිණ ඔබව විනාශ වී යාවි.

දුශ්ශීල භාවයේ හේතුඵල ධර්මයන් වළක්‌වන්නට දෙවියන්ට බැහැ. මේ මොහොත, මේ ධර්මද්වීපයේ උතුම් මොහොත බව සිතන්නට. එය රට ජාතියේ උතුම් මොහොත නොව, රට ජාතිය සමඟ බැඳෙන සද්ධර්මයේ උතුම් මොහොතයි. ඒ උතුම් මොහොතේ වැරැදි ඉලක්‌ක කරා නොගොස්‌ සද්ධර්මයම නිවැරැදි ඉලක්‌කය කරගන්න. එවිට රටත් ජාතියත් යම් පමණකට හෝ රැකේවි.

මේ සටහන කියවනවිට ශ්‍රද්ධාව අඩු පිංවතකුට සැකයක්‌ හිතෙන්න පුළුවන් දිව්‍යතල වල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ කියලා. සමහර පිංවතුන්ලා කියනවනේ දිව්‍යතලයත් අපායත් දෙකම තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේම කියලා. එහෙම සිතන ලෝකයට ඉහත සිද්ධිය විකාරයක්‌ වීමටද පුළුවන. නමුත් මේවා ඔබ දෙපා තබාගෙන ජීවත්වන ලෝකය තුළ සිදුවන සැබෑම ඇත්තය. හාස්‌කම් නොවේ. හේතුඵල ධර්මයන්ය.

වරක්‌ භික්‍ෂුවක්‌ මිනිස්‌ වාසයෙන් සැතපුම් 3 ක්‌ පමණ දුරින් කුටියක වැඩසිටියදී, උදේ පින්ඩපාතයට ගමට ගොස්‌ නැවත කුටියට වඩින අතරමග දරුණු අමනුෂ්‍යයකුගේ බියගැන්වීමක්‌ භික්‍ෂුවගේ කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අසාර්ථකභාවයට පත්විය . ඒ මොහොතේදීද එම භික්‍ෂුවට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ අපූරු සංගීත රාවයක්‌ ඇසිණ.

එම දිව්‍ය සංගීතය වූයේ "රණවිරුවකුගේ අවසන් ගමනට, යන මහ ජනතා පා දූවිල්ලෙන්, තැළී වෙළී සැනහී මියයන්නෙම් ... මගේ පරම පැතුම එයයි (උඬගු ලියන් ගොතා බඳින..... නමැති සම්පූර්ණ ගීතයම) යන ගී හඬ සංගීතය සමඟින්ම, භික්‍ෂුව එම කුටියෙන් ඉවත්ව යනතුරුම නිරතරුවම දිව්‍ය තලවලින් ඇසෙන්නට විය.

ස්‌ත්‍රී සහ පුරුෂ කටහඬවල් දෙකකින් යුග ගීතයක්‌ ගයන්නා සේ බොහොම මිහිරි සහ ගැඹුරු හඬින් ඇසෙන්නට විය. පිරිමි කටහඬ හරි ගැඹුරුය. සමාධිමත් හඬකින් යුක්‌තය. "තැළී, වෙළී පොඩිවී මියයන්නම්" කියන පද පෙළ ගායනා කරන්නේ දැඩි අධිෂ්ඨානශීලීවය.

මෙතැනදි සශ්‍රීක දිව්‍යතලවල දෙවියන් රණවිරුවා නමින් හැඳින් වූවේ තුවක්‌කු, යුද ටැංකි සමඟින් ඉදිරියට යන ඔබ දකින රණවිරුවා නොව. ගීතය රචනා කළ, ගායනා කළ පිංවත් ඔබ දුටු රණවිරුවා නොව. මේ මිහිතලය මත සිටින සැබෑම කෙළෙස්‌ සතුරා පරාජය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වීර්යය වඩන උපසම්පදා භික්‍ෂුව නැමැති රණවිරුවා උදෙසාය. බලන්න පිංවත්, ඔබ අපි මොනතරම් බොළඳ ද කියලා. අපි රණවිරුවා කියන්නේ කාටද? සශ්‍රික දිව්‍යතලවල දෙවියන් රණවිරුවා වශයෙන් සිංහනාද කරන්නේ මේ උතුම් අරිහත් ධජය දරාගෙන සැබෑම කෙළෙස්‌ යුද්ධය කරන මහාසංඝරත්නයමය. රණවිරුවා කියන වචනයට මේ සැබෑම අර්ථය දෙන්නට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්aධාව සහිත දෙවියන්ට, මනුෂ්‍යයකුට හැර වෙන කාට පුළුවන්ද?

සිල්පද 227කින් සන්නද්ධ ශීලයේ ශක්‌තියෙන් සකස්‌කොටගත්, සමාධියේ පළිහ උපයෝගී කරගෙන, පංච නීවරණ නමැති සතුරා පරාජයකොට ප්‍රඥාවේ ජයග්‍රහණය සොයාගෙන යන සැබෑම රණවිරුවා ලෙසින් උපසම්පදා භික්‍ෂුවට දෙවියන් දක්‌වන කෘතවේදීත්වය පිංවත් ස්‌වාමීන්වහන්ස  ඔබවහන්සේලා ශක්‌තියක්‌ කරගන්න.

දෙවියන්ට අනුව සැබෑම රණවිරුවා යනු සංස්‌කාර රැස්‌කරන රණවිරුවා නොව, සංස්‌කාරයන්ගේ නිරෝධය උදෙසා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන්කරනා රණවිරුවාය. එවැනි රණවිරුවාට එරෙහිව වන මනුෂ්‍ය, අමනුෂ්‍ය අභියෝගයන් හමුවේ, ඊට එරෙහිව සටන්කොට තැළී, පෑගී, පොඩිවී, මියයන්නට සූදානම් කියලයි දෙවියන් මේ මොහොතේ ඒ දිව්‍ය සංගීතයෙන් සිංහනාද කරන්නේ. ලෝකයේ මොනවාද වෙන්නේ. එහෙත් අපි මොනවාද දන්නේ. අපි නොදන්නවාය කියලා ලෝකයේ වෙන දේවල් අනුමාන කමින් බැහැර කළොත් එය අපිට තිබෙන අවස්‌ථාවක්‌ අපිම පැහැරහැරියා වෙනවා. පිංවත් දෙවිවරු මේ මොහොතේ සිංහනාද කරනවා, අර්ථවත් ධර්ම මාර්ගයේ ගමන්කරන පිංවතුන් උදෙසා. ඔබ ඉදිරියට එන අභියෝග හමුවේ දෙවියන් ඊට එරෙහිව සටන්කොට මියයන්න සූදානම් කියලා. දෙවියන් ශීලයෙන් පරිපූර්ණ පිරිසක්‌. ඒ අය බොරු කියන්නේ නැහැ. අදාළ භික්‍ෂුවට කැළය මැද සිදුවූ එම අමනුෂ්‍ය සිද්ධියේදී භික්‍ෂුව හොඳින් අත්දුටුවා එම අමනුෂ්‍යයා පරාජය කළ ආකාරය. ඒ කියන්නේ දෙවියන් ක්‍ෂණිකව ක්‍රියාත්මක වුණා. මීට වඩා මොන ශක්‌තියක්‌ද ගිහි පැවිදි ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාට. ශීලයෙන් පරිපූර්ණ ගිsහි පැවිදි උතුමන්ගේ පහසු විහරණය උදෙසා දෙවියන් තැළී මියයන්නට සූදානම්ව සිටියදී, අපේ උදවිය, කුණුවෙන පළතුරු වට්‌ටියක්‌ මත, පෙරේත ලෝකයට පාර පෙන්වන සල්ලි කොළයක්‌ හිසමත තබාගෙන ව්‍යාපාර, රැකියාව, විවාහය, තනතුරු ගැන කෙළ හල හලා දේවාල වන්දනාවේ යනවා. හිතන්න ඔය පූජා වට්‌ටිය බිම තබලා තෙරුවන් ගැන සිතන්න. එහෙම හිතන සැණින් සශ්‍රීක දෙවියන්, පිංවත් ඔබ ගැන සිතාවී. ආශිර්වාද කරාවී. සිංහනාද කරාවී. පිංවත් ඔබ සැබැවින්ම දෙවියන් අතරට යන කෙනෙක්‌ වේවි.

මේ මනුෂ්‍ය ලෝකයේ ශීලය, දානය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරමින් ජීවත්වන මනුෂ්‍යයන් සිටිනවා. මේ අය අර්ථවත් සංගීතයට කැමතියි. ඒ අය සංගීතය අත්විඳින්නේ විතර්ක, සිහින ලෝක ගොඩනගාගෙන මනෝ ලෝක වල ජීවත්වීමට නොවේ. ඔවුන් ගීතයේ අර්ථය, සංගීතය තුළින් නිරාමිස සතුටක්‌ ලබනවා. එම අහිංසක සතුට නිසා මොහුගේ ශීලයට බාධාවක්‌ වෙන්නේ නැහැ. ශීලයත් රැකගෙන අර්ථවත් සංගීතයත් උපාදානය කරනවා. එහෙම අය මැරෙන මොහොතේ දිව්‍ය සංඥා සකස්‌වී සශ්‍රීක දිව්‍යතලවල දිව්‍ය සිටින මහේශාඛ්‍ය දෙවිවරුන්ව සංගීතයෙන් පිනවන සහායක දෙවිවරු දිව්‍යාංගනාවන් ලෙස උපත ලබනවා. ඒ අයගේ මුළු දිව්‍ය ජීවිතයම සංගීතයයි. මෙන්න මෙවැනි දිව්‍ය දිව්‍යාංගනාවන් පෙර ජීවිතයේදී සකස්‌කරගත් සංගීත උපාදානයන්ට අනුව, ඒ මතකයන් දිවැස්‌ මඟින් මතුකරගෙන දිව්‍ය සෝත, දිව්‍ය චක්‌ඛු මඟින් මනුෂ්‍යලෝකයේ සංගීතයද අසමින් දකිමිනුයි, දිව්‍ය තල වල සංගීතයේ අසිරිය පතුරුවන්නේ. සිංහල ගීත ඇසෙන්නේ මනුෂ්‍ය ලෝකයේ පමණක්‌ නොවේ. සැබෑම අර්ථයන්ට ගළපමින් දෙවියන්ද සිංහල ගීත මියුරු හඬින් ගායනා කරනවා සංගීතය සමඟින්ම.

ඉහත සටහන කියවා ඔබට විශ්වාසයක්‌ සකස්‌ වූවා නම්, එම විශ්වාසය බුදුරජාණන් වහන්සේ කෙරෙහිම යොමු කරන්න. ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහිම යොමු කරන්න. ශීලය ආර්යකාන්ත ශීලයක්‌ වශයෙන් ජීවිතයට එකතුකර ගන්න. තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න. නිරතුරුවම අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් වඩන්න. මෙම ධර්මතාවයන් පිංවත් ඔබව මේ භව ගමනේදී අප්‍රමාදීභාවයට පත්කරාවි. හඬන දොඩන මිනිසුන් අතර ඔබ සමාධිමත් මිනිසෙකු කරාවි. ඒ සමාධිමත් සිතම ඔබට විදර්ශනා ඥානය සකස්‌කොට දේවි. දැන් පිංවත් ඔබ කල්ප විනාශයකදී වුවද සුරක්‍ෂිතය. මේ මොහොතේ දිව්‍යතලවලට අධිපති ශක්‍ර දෙවියන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අභිමුව සෝවාන් ඵල අවබෝaධ කරගත් දිව්‍ය නායකයෙකි. මනුෂ්‍ය ලෝකයේ වැඩ සිටින සියලුම සම්‍යදෘශ්ටික යක්‍ෂයන්ට, යක්‍ෂ සේනාධිපතියන්ට අණදෙන මහේශාඛ්‍ය සතරවරම් දෙවිවරු ආටානාටිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, අපි නෘත්‍ය සංගීතයෙන් පිනාගිය, ඒවායේ සිත්අලවා වාසය කරන්නේ කියලා. මේ සතරවරම් දෙවිවරු පිනවන දිව්‍ය බළමුළුවල හඬයි ඔය ආකාරයෙන් සංගීතය පතුරුවන්නේ. ආටානාටිය සූත්‍රයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතරවරම් දෙවිවරුන්ගේ ප්‍රකාශය අනුමතකොට වදාරනවා. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සිව්වනක්‌ පිරිසේ පහසු විහරණය උදෙසා සම්‍යදෘෂ්ටික දිව්‍ය, යක්‍ෂ බළමුළු නිරතුරුවම ආරක්‍ෂාව සපයනවා කියලා. ඉහත සටහන තුළින් මේ මොහොතේ ඒ යථාර්ථය සනාථ වෙනවා.

Saturday, February 21, 2026

දෙවියන්ද වඳින පින් බිමයි මේ

 2012/01/15 ලිපිය

පින්වත් භික්‍ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක් ගෙවී ඇති අද සිට ආපසු හැරී බැලීමේදී, එම ධර්ම කරුණුවල ගැලපීම පිළිබඳ පින්වත් ඔබට අදහසක් ගතහැකි සාධකයක් යැයි සිතමු.


භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටියට පැමිණි ආගන්තුක වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා වසර 2012දී ලෝකයේ සිදුවන යම් අසහනකාරී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් ලෝකයා කතාබහ කරන බව. පිංවත් උන්වහන්සේද ඒ ගැන රටේ ලෝකේ කතාකරන මතවාද කිහිපයක්‌ම ප්‍රකාශ කළා. භික්‍ෂුවට මේ ගැන කිසිදු දැනීමක්‌ නැහැ. ඔය වගේ කිහිපදෙනෙක්‌ කියපු දේවල් අසා තිබෙනවා පමණයි. මේ සිද්ධිය මෙතැනින් අහවර වුණා. එය හුදෙක්‌ පිළිසඳරක්‌ පමණක්‌ වුණා. එක්‌තරා භික්‍ෂුවක්‌ ඉහත සිතිවිල්ල සිතමින් සිට අරමුණු වලින් බැහැරව හුදෙකලා කුටියේ සමාධිමත්ව වැඩසිටින විට භික්‍ෂුවට ඇසෙනවා.


අප ශ්‍රී ලංකා මාතා… නමෝ නමෝ නමෝ නමෝ මාතා… ශ්‍රී ලංකා ජාතික ගීය (සම්පූර්ණයෙන්ම)


මෙය ගැයෙන්නේ පිරිමි සහ කාන්තා කටහඬින්. භික්‍ෂුව අරමුණු නොකරම, මේ ඇසෙන්නේ දිව්‍ය ශ්‍රොaත හඬ. ඒ කියන්නේ දෙවියන්ගේ හඬ.


එම ගීතයේ හඬ සමග සංගීත රාවය එකදිගට භික්‍ෂුවට ඇසෙන්නට පටන්ගත්තා. වේලාව අලුයම 1ට පමණ ඇති. වනගත මුළු ප්‍රදේශයම දැඩි නිහඬතාවක තිබුණා. භික්‍ෂුවට දැනුණේ භික්‍ෂුව මොහොතකට පෙර සිතමින් සිටි සිතිවිල්ල. 2012 වසර කෙරෙහි දෙවියන්ගේ ප්‍රතිචාරය තමයි දිව්‍ය ශ්‍රෝත තුළින් ඇසෙන්නේ. භික්‍ෂුව ලැබූ මේ අත්දැකීම පිංවත් ඔබට මෙහි සටහන් කරන්නේ ලෝකයා සමඟ සසඳා බලනකොට පිංවත් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා ඔබට දැනගන්නයි.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල වල වැඩසිටින දෙවියන් හැමවිටම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්නට බැරි නිසා. මෙතැනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ දහඩිය ගඳ නොවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්වත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න, දරන්න දෙවියන්ට බැරි නිසයි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින්නේ. නමුත් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරිසිදු පිංවත් මනුෂ්‍යයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම පිංවතුන්ට ආශිර්වාද කරනවා. පිංවත් ඔබට, මට මනුෂ්‍ය ලෝකයේ සිට සශ්‍රීක දිව්‍යතල වලට ඇති දුර යොදුන් ලක්‍ෂ ගණනක්‌ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුළ එම දිව්‍ය තලවල හඬ ගෙදර තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීපකොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් ආශ්චර්යයි. සමාධියේ ආශ්චර්යයෙන් අත්දකින ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක්‌ බෞද්ධ අපට උරුමකර දී තිබෙනවා.


මේ ආශ්චර්යය දකිද්දී, ඇසෙද්දී, කියවද්දී තෙරුවන් කෙරෙහිමයි පිංවත් ඔබ ශ්‍රද්ධාව සකස්‌කොට ගතයුත්තේ. පිංවත් ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුළ නිවැරැදිව ගමන්කළොත් මනුෂ්‍යයින්ට යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින දෙවියන්, දිව්‍යාංගනාවන් කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිත වල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, දානයේ, ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණුකසළ, අපුල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංශා, නිලතල වලට ඇති ජන්ද රාගයේ විෂ තාවකාලිකව මරාදැමූ උතුම් ශිල්වතුන්ගේ සුගති භූමියයි සශ්‍රීක දිව්‍ය තල කියන්නේ. මෙවන් සුගති භූමිවල වැඩසිටින දෙවියන් මේ පුණ්‍යදීපයට සෞභාග්‍යයක්‌ වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න පිංවත් ඔබ නොදකින, පිංවත් ඔබ නොසිතන, කහවණු, ඩොලර්, රියාල් පසුපස්‌සේ හඹායන බැංකු ගිණුමේ ඉලක්‌කම් පේළිය වැඩිකරගැනීම උදෙසාම වෙහෙසෙන පිංවත් ඔබ අමතක කළා වූ මතකයක්‌ දෙවියන්ට තිබෙනවා. දෙවිවරු දන්නවා තමන්ට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක්‌ ලබාගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම, විවෘතවම, තවමත් බබළන්නේ මේ ධර්මද්වීපයේය කියලා. නමුත් මේ ධර්මද්වීපයේ උතුම් මනුෂ්‍යයින් හැටියට ඉපදිලා පිංවත් අපි මුදලට, කීර්තියට, දේපළට වැඳවැටෙමින් ඒවා මත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ සශ්‍රික දෙවියන් සද්ධර්මය හේතුවෙන් ලබාගත් ඒ සශ්‍රීක දිව්‍යශ්‍රීය අත්විඳිමින්ම ඒ සද්ධර්මය තවමත් බැබළෙන මේ පිංබිමට, ශ්‍රී ලංකා මාතාවට ‘නමෝ නමෝ මාතා’ කියලා නමස්‌කාර කරනවා ගීතයෙන්. මේ උතුම් රට රැකේවා, චිරාත් කාලයක්‌ දිනේවා කියලා.


දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක්‌ දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප මෙන් කුණුකසළ ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් නොව මේ උතුම් සද්ධර්මයේ ආරක්‍ෂාව, මේ උතුම් ධර්මය එක දිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂාවී පවතීවා කියන සත්පුරුෂභාවයෙන්මයි. දෙවිවරු හොඳින් දන්නවා තමන් යම් දවසක දිව්‍ය සැප අහවර වී දිව්‍ය තල වලින් චුතවුවහොත් නැවත දෙවියෙක්‌ වීමටනම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනේය කියලා. ඒ වගේම පිංවත් දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්‌වා රැකෙන්නේ මේ උතුම් පින් බිමේමයි කියලා.


සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන්ගේ අම්මා කියන්නේ සද්ධර්මයට. සද්ධර්මය නැමැති අම්මාගෙන් තමයි, එහි ඵලයෙන් තමයි දිව්‍ය සම්පත් දෙවියන්ට ලැබෙන්නේ. බලන්න සද්ධර්මයට දෙවියන් මොනතරම් කෘතගුණ සලකනවාද කියලා. නමුත් උතුම් සුගතිභූමියක්‌ වන මේ මනුෂ්‍ය ලෝකයේ උරුමය ලැබූ ඔබ දවසකට එක පැයක්‌ සද්ධර්මය වෙනුවෙන් කැපවෙනවාද? ඔබ ලබන ආදායමෙන් අවම වශයෙන් සියයට දහයක්‌ වත් කර්මය, කරමඵල විශ්වාසයෙන්, තෘෂ්ණාවෙන් තොරව දන් දෙනවාද? අවම වශයෙන් පංචශීලය නිතිපතා ආරක්‍ෂා කරගන්න උත්සහ ගන්නවාද? ලෝකයාට නොවේ, අවම වශයෙන් තම සැමියා, බිරිඳට, එසේත් නැතිනම් අසල්වැසියාටවත් මෛත්‍රිය වඩනවාද? පිංවත් ඔබේම හදවතට තට්‌ටුකර ඔබම අසන්න. උත්තරය ‘නැහැ’ නම් පිංවත් ඔබ අසත්පුරුෂයෙක්‌ බව ඔබම දකින්න නිහතමානී වෙන්න. මොකද ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලබාගන්න උපකාරවූ උතුම් ධර්මයන්ට ඔබ කෘතවේදී නොවන නිසා. පිංවත් ඔබට දෙවියන් නොපෙනුණාට දෙවියන්ට ඔබව පෙනෙන බව සිතන්න. උපක්‍රමශීලීව එහෙම සිතාවත් වහ වහා නිවැරදි වෙන්න. ලෝකයාව රවට්‌ටන්න අපිට පුළුවන් වෙන්න පුළුවන්. එහෙත් ලෝක ධර්මතාවයන් රවට්‌ටන්න අපට බැහැ. ඒ වගේමයි. මනුෂ්‍යයින්ව රවට්‌ටන්න අපට පුළුවන්, නමුත් සශ්‍රික දිව්‍යතල වල දෙවියන් රවට්‌ටන්න අපට බැහැ. අප හොඳින් මතක තබාගන්න ඕනේ, සතුටින් සිනාසෙමින් ලෝකයාට වහන්වෙමින් අපි කොතෙක්‌ වැරදි කළත්, එම දුසිල්වත්භාවයේ විපාකයන් නිසා මරණින් මතු නිරයට වැටුණොත් නිරයේදී ඔබට මුණගැසෙන යම රජුත් සශ්‍රික දිව්‍ය තලයකට සිටින දෙවිකෙනෙක්‌ම බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මනුෂ්‍ය ලෝකයේදී සියල්ල ඔබ මුදලට ගත්තත් යමරජු ඉදිරියේ ඔබ නිරිසතෙක්‌ බව සිහිතබාගත යුතුය. උපරිම අවුරුදු 80ක ජීවිතයක්‌ උදෙසා, තාවකාලික තනතුරක්‌ උදෙසා ඇයි දෙයියනේ මේ උතුම් සද්ධර්මයෙන් බැහැරට ගොස්‌ නිරයට වැටෙන්නේ. මෙලොව පරලොව දෙකේදීම ඔබ අනාරක්‍ෂිත වෙනවා.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය අර්ථය තුළ මේ ජීවිතය දැකිය යුත්තේ නාසයෙන් ඉහළට ගත් ආශ්වාස පොද නාසයෙන් පිටවන මොහොතේ මේ ජීවිතයේ මරණය සිදුවේය කියන අර්ථයයි. නමුත් ලෝකය පවතිනවා, සංස්‌කාරකයන්ට නිජබිමක්‌ වෙමින්. ඒ නිසා කිසිවක්‌ අපට අවශ්‍ය විදිහට සිදුවන්නේ නැහැ. ලෝකයේ නිරතුරුවම අතුරු විනාශයන් සිදුවෙමින් පවතිනවා. සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන්, ආත්මීය භාවයෙන් ගැනීම නිසා දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ වියරුභාවය, තෘෂ්ණාධිකභාවය නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. මේ ආකාරයේ විනාශයක්‌ වළක්‌වන්න දෙවියන්ට බැහැ. මොකද විනාශය කියන්නේ ධර්මය. ඒ කියන්නේ අනිත්‍යය. මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මේ ධර්මථාවයන්ට යටයි. නමුත් සුගතිභූමි වල වැඩසිටින මහේශාඛ්‍ය දෙවියන්ට පුළුවන් පිංවතුන්ට උපකාර කරන්න. මොකද ඒ අය සුරක්‍ෂිත නිසා. ඒ සුරක්‍ෂිතභාවය දෙවියන් ලබාගන්නේ ධර්මය තුළින්. ඉරවල් හතක්‌ පායා කල්ප විනාශයක්‌ සිදුවන මොහොතේත් මාර්ගඵල ලැබූ දෙවියන්, දිව්‍යාංගනාවන් සුරක්‍ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මොහොතේ දිව්‍යතල වල වැඩසිටින දෙවිවරුන් ‘අප ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා’ කියලා මේ බොදු දේශයට ආශිර්වාද කරන්නේ ‘අප සුරක්‍ෂිතයි, පිංවත් මනුෂ්‍ය ඔබත් ශ්‍රී සද්ධර්මය තුළින් සුරක්‍ෂිත වෙන්න’ කියන කාරණය මතක්‌ කරන්නයි. බලන්න ධර්මයේ සුරක්‍ෂිතභාවයෙන් සිංහනාද කරන දෙවිවරු. ඒ දෙවියන් සිංහනාද කරන්නේ කල්ප විනාශයක්‌ පැමිණියත් අප සුරක්‍ෂිතයි කියලා. නමුත් මේ උතුම් සද්ධර්මය ජීවමානව පවතින මේ ධර්මද්වීපයේ මනුෂ්‍ය අපි සුනාමියක්‌ එයි, මිසයිලයක්‌ එයි, භූමිකම්පාවක්‌ එයි කියලා හැංගෙන්න බංකර් හදනවා. ශාන්තිකර්ම කරනවා. දේවාල පස්‌සේ දුවනවා. තවත් සරළව පැහැදිලි කරනවා නම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, දානයෙන් දුර්වලයි කියන කාරණයයි.


පිංවත් ඔබට බියක්‌ සකස්‌ වෙනවා නම් ඔබ කළ යුත්තේ බංකර් තැනීම, යන්ත්‍ර මත්‍ර, ශාන්තිකර්ම කිරීම නොව, සුරක්‍ෂිතභාවය සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, ශීලය, දානය කියන බංකර තුන ශක්‌තිමත්ව ජීවිතය තුළින් ගොඩනගා ගැනීමය. කල්ප විනාශයකදීවත් එම බංකර බිඳින්න බැරිබවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා

Thursday, February 19, 2026

ඇත් සවිය පරදන අතහැරීමේ අවිය

 2011/12/25 ලිපිය

නිවන් මඟ වඩනා භික්ෂුවකට හුදෙකලාවේ උපරිමය ලැබිය හැක්කේ වනය තුළදීය. ගොදුරු ගමෙන් කිලෝමීටර් එකක්, දෙකක් හෝ තුනක් ඈතින්, දිය අගලක් සමීපයේ ඇති කුටියකවන හුදෙකලාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙකලාවයි. රක්ෂිත තුළ ඇති හුදෙකලා කුටි වලට යන අඩිපාර අලි ඇතුන් ගමන් කරන අලිමංකඩයි. එහෙයින් මෙවැනි කුටි අසල රාත්‍රියට නිතර අලින් ගැවසේ. වනයේ අලි ඇතුනුත් නිවන් මඟ වඩන භික්ෂුවත් අතර ඇත්තේ පුදුමාකර සබඳතාවකි. අලි ඇතුන් භික්ෂුවගේ ඉව, සුවඳ හඳුනන්නාසේය. දෙගොල්ලෝම දෙගොල්ලන්ට හිංසා පීඩා කරනොගනිිිති. නිදහසට ගරු කරති. නමුත් කැලයේ ආධිපත්‍යය මෙන්ම අලිමංකඩවල ආධිපත්‍යය පෙන්වීම අලින්ගේ සිරිතය. මෙවැනි අවස්ථාවල වනගත භික්ෂූන් මෛත්‍රිය වඩමින්, බුදුගුණ වඩමින්, අංගුලිමාල පිරිත, නාලාගිරි ගාථාව වැනි ආරක්ෂක විධි අනුගමනය කරමින් ඇතිවිය හැකි උපද්‍රවයන්ගෙන් මිදෙයි. ඉහත භාවිතයන් එක් එක් භික්ෂුවගේ අවබෝධය මත වෙනස්ය. නිරතුරුවම කැලයට ඇතුළුවන විට අප කරන්නේ නපුරු සතුන් මුණනොගැසේවා යන්න තමාගේ ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගනිමින් අධිෂ්ඨානය කිරීමයි. ඔබ ඉහළ ආධ්‍යාත්මික ශක්තියකින් පරිපූර්ණනම් ඔබට අනිවාර්යයෙන්ම නපුරු සතුන් මඟහැරී යනු ඇත. මේවා හේතුඵල ධර්මයන්ය. ආශ්චර්යයන් නොවේ. හේතුව තමා තුළ ඇති ආධ්‍යාත්මික ශක්තියයි. සමහර විට ඔබ වඩින අඩිපාරේ ඒ මොහොතේ කඩා දැමූ අතු කොළ පාර පුරා වැටී ඇත. ඒ මොහොතේ දැමූ අලි බෙටි ඇත. අලි ගඳ තදින් නහයට දැනෙනු ඇත. එහෙත් ඔබට අලින් මඟහැරී ගොස් ඇත. ඔබ දක්ෂ විය යුත්තේ මෙවැනි ක්‍රමයකට නපුරු සතුන් මඟහැරයැමටය. අත්හැරීම තුළින් ඔබ ලබන්නාවූ ආධ්‍යාත්මික ශක්තිය අතිප්‍රබලය. එවැනි ශක්තියකින් ඔබ අධිෂ්ඨාන කළහොත් ඔබට නොතේරුණද පොළොවද, පරිසරයද, නපුරු සතුන්ද කම්පාවට පත්වෙයි. එය ධර්මයේ බලයයි. තිරිසන් ලෝකයේ සතුන්ගෙන් ධර්මයේ බලය හොඳින් දැනෙන සතුන් අලි ඇතුන්ය. ඒ අයට තෙරුවන්ගේ ඉව හොඳින් දැනේ. එය අනන්ත කාලයක් පාරම්පරිකව වනයේ වැඩ සිටින ධර්මය අවබෝධය ලැබූ භික්ෂූන් සමඟ ගැවසීමෙන් එම සතුන් ලැබූ ආභාසයයි. වනවාසී භික්ෂූන් දස දහස් ගණනින් අතීතයේ වනයේ වැඩසිටියේය. අලි ඇතුන්ද එම පරිසරයේම කොටසකි. එහෙයින් භික්ෂුවගේ ගුණ සුවඳ හොඳින් හඳුනයි.

ඇතුන්ගේ කුංච නාදය කුමන හේතුවක් නිසා කරන්නේ දැයි මේ භික්ෂුව නොදනී. නමුත් එය සුබ නිමිත්තකි. කුංච නාදය කරන ඇතුන් තුළ ඒ මොහොතේ ඇත්තේ ගාම්භීරත්වය, පෞරුෂත්වය, අදීනත්වය, නායකත්වය වැනි චේතනාය. භික්ෂුවක් වැඩ සිටි කුටිය සමීපයට රාත්‍රී යාමයේ පැමිණි තනි අලියෙක් කුටියේ පිටුපස එක් කොනක සිට මහා හඬින් කුංචනාද කළේය. තවත් මොහොතකින් එම අලියා කුටියේ අනික් කොනට ගොස් දෙවැනි වතාවටද මහා ශබ්දයකින් කුංචනාද කළේය. මීට පෙර අලි ඇතුන් කුංචනාද කරනවා භික්ෂුව අසා නොතිබුණු නිසා භික්ෂුව සිතුවේ අලියා කේන්තියෙන් වියරුවැටී කෑගසන බවයි. කුංචනාදය මහා හඬකින් හක් පිඹින්නා ස්වරූපයෙන් කෙරෙන්නකි. සිහින් පිඹීමකින් පටන් ගන්නා හඬ ක්‍රමයෙන් වැඩිවී මහා දෝංකාරයකින් අවසන්වේ. ප්‍රදේශයම දෝංකාර දෙයි. කුංචනාදය පටන්ගෙන අවසන්වීමට තප්පර ගණනාවක් ගතවේ. අවසන් වේගවත් හඬට ප්‍රදේශයම සලිතවෙයි. තවමත් කුංචනාදය යනු එය දැයි කියන්නට භික්ෂුව නොදනී. එහෙත් එය කුංචනාදය යැයි අනුමාන කරමි.

අලියා මහා රත්‍රියේ මෙලෙස දෙවරක් කුංචනාද පවත්වද්දී භික්ෂුව සිටියේ දොර ජනෙල් නොමැති, පරිසරයට නිරාවරණය වූ වනයේ කුටියකය. ඉදිරිපස බිත්තිය නොමැති නිසා ලණුවක එල්ලන ලද පරණ සිවුරකින් ඉදිරිපස ආවරණය කර තිබුණි. සැබැවින්ම භික්ෂුව සිතුවේ අලියා වියරු වැටී ඇති බවකි. අලියා වේගයෙන් කුටිය සමීපයේ සැරිසරන හඬ භික්ෂුවට හොඳින් ඇසේ. කොටින්ම අලියා කලබල ස්වභාවයක් දැක්වීය. රාත්‍රී ඝන අඳුර සහ නිහඬභාවය නිසා අලියාගේ හැසිරීමේ ස්වාභාවය හොඳින් භික්ෂුවට දැනේ. දැන් මේ ජවනිකාවට පැය භාගයක් පමණ ගොස්ය. මෙවැනි විටක දක්ෂ භික්ෂුවකට කළ හැක්කේ එකම එක දෙයකි. භික්ෂුවට මෙම සිදුවීම අභියෝගයකි. එහෙත් එම අභියෝගය ජයග්‍රහණයකට හරවාගැනීමට එය ආශිර්වාදයක් කරගැනීමට භික්ෂුව දක්ෂ විය යුතුය. භික්ෂුව කලබලවූ අලියා ගැන සිතීම අතහැර, මේ සිතත් මේ කයත් මගේ නොවේ යැයි අතහැරදමා කොට්ටයට හිසතබාගත්තේය. සිත අතහැරදැමූ නිසා කයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නොමැත. ලොව ශ්‍රේෂ්ඨම අතහැරීම භික්ෂුව අධිෂ්ඨාන කරන මොහොතේම පරිසරය මහ පොළොව කම්පාවනු ඇත. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලටද මේ අතහැරීම දැනෙනු ඇත. එහි දිව්‍ය, බ්‍රහ්ම වැසියන්ද සිදුවූයේ කුමක්දැයි බලනු ඇත.

‘ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවී’ කියන්නේ මේ නිසාය. ඔබ සියල්ල අත්හළ මොහොතේ ඔබට විශ්වය කම්පාකරවන්න පුළුවන්. එය ඔබට තවත් සිදුවීමක් පමණකි. හපන්කමක් හෝ ආඩම්බරකමක් නොවේ. ඔබ විශ්වාස කරන්න. භික්ෂුව තම සිත අතහැරදැමූ මොහොතේ එතෙක් පැය භාගයකට වැඩි කාලයක් කුටිය අසල කලබල ස්වරූපයෙන් හැසිරුණු තනි අලියා ආගිය අතක් සොයාගැනීමට නොහැකිවිය. තනි අලියා අතුරුදන්වී පැය දෙකකට පමණ පසුව නැවත එම අලිමංකඩ ඔස්සේම වනය තුළට නිහඬව යනවා ඇසිණි. භික්ෂුවගේ අතහැරීමේ ශක්තියේ බලය තනියාටද දැනිණ.

ඉහත සිද්ධිය වන විට භික්ෂුව කරණීයමෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක් කටපාඩමින් නොදැන සිටියේය. පිරිත් පොතක්ද භාවිත නොකළේය. සැබෑම මධ්‍යම ප්‍රතිපදාව අර්ථගන්වන තුන් සිවුරත්, පාත්‍රයත් පමණක් කුටියේ තිබුණි. බලන්න නිවන් මඟ වැඩිය යුතු භික්ෂුවක් මේ ජීවිතය තුළදීම නිවීම සාක්ෂාත් කරගැනීමට යායුතු මඟ. කැලය තුළට වඩිනවිටම ජීවිතය අතහැරලා. ‘කැලයේ අලි ඇතුළු නපුරු සතුන් සිටිනවා. ජීවිතයට අනතුරක් වෙයි. කැලයේ යක්කු යක්ෂණියෝ ඉන්නවා. ඒ අය බියගන්වාවී, කරදර කරාවී, ආරක්ෂාවකට පිරිත් පොතක් ගෙනියන්න ඕනි. කන්ද පිරිත දැනගන්න ඕනෙ.’ මෙවැනි සංඥා ඔබට තිබෙන්න බැහැ. මේ සංඥා ඔබට තිබෙනවා නම් ඔබ කැලයට හුදෙකලාවෙන්න යන්නත් එපා. ඔබ ශක්තිමත් වනතුරු ඉවසන්න. මඟවැඩු කල්‍යාණ මිත්‍රයන්ගෙන් උපදෙස් ගන්න. ඔබ කැලයට යායුත්තේ ‘මම අතහැරීමට’ මිස ‘මම’ ආරක්ෂා කරගැනීමට, නොවේ.

ඔබ තුළ අයෝමය ආත්ම ශක්තියක් තිබෙන්නෙ ඕනේ. එම ශක්තිය ඔබට දෙන්නේ ඔබේ පරිපූර්ණවූ ශීලය සහ සමාධිය තුළින්. නමුත් ඔබ මේ වන විට ශීලය, සමාධිය කරගසාගෙන සිටින්නේ නැහැ. ඒවත් බිමින් තබනවා. මොකද ඒවයේ ස්වභාවයත් අනිත්‍ය නිසා. දැන් ඔබට වැඩෙන්නේ ප්‍රඥාවයි. ඔබට වැඩෙන ප්‍රඥාව ඔබ දකින අලියාද, යක්ෂයෝද, යක්ෂණියෝද ඇසෙන ශබ්ද සහ දෝංකරද, ඔබට පෙනෙන දෙවියෝද, බ්‍රහ්මයෝද ඔබ දකිනුයේ රූපයක් පමණක්ම බවයි. රූපයේ ස්වභාවය අනිත්‍යයි. භික්ෂුවද, අලියාද, කැලයද නිරතුරුම වෙනස් වන සතර මහා ධාතූන්ගේ නිර්මාණයෝය. අපි භික්ෂුව, අලියා, කැලය වශයෙන් දකින්නේ එකිනෙකට වෙනස් සතර මහා ධාතූන්ය. මේ සියල්ල අනිත්‍යභාවයේ රූකඩයෝය. එහි යමෙක් හඳුන්වන සම්මුතියක් තිබුණද ඒ තුළ සත්වයෙක් පුද්ගලයෙක් නැතිබව ඔබ දනී. එහි ඇත්තේ අනිත්‍ය පමණකි. නැතිදෙයකට ඇලීම, ගැටීම උපේක්ෂාසහගතවීම දැන් ඔබෙන් ගිලිහීගොස්ය. ඔබ දුටු දේ දුටු බවත්, ඇසුණ දේ ඇසුණ බවත් පමණයි දකින්නේ. ඒවා ගැන සිතන්න දෙයක් නැහැ. මොකද ඒවා අනිත්‍යයට අයිති නිසා.

Wednesday, February 18, 2026

ආචාර වෙඩිමුර නැති යුද වීරයා වන්න

 2011/10/02 ලිපිය

වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක්‌ මැද, බැලුම් බෝලයක්‌ වැනි ආවරණයක්‌ මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක්‌ මගේ කොටගෙන එයට ඇලී, ඉන් මිදීමට අකමැතිව වාසය කරපු කෙනෙක්‌මයි. මෙවැනි ගර්භාෂ කෝටි කීයක්‌ අතීතයේදී අපි අපේ කරගෙන ඇතිද? අවාසනාව මෙය නොවේ. මෙතරම් ගර්භාෂවලට රිංගාගෙන මහා දුකක්‌, කැමැත්තෙන් වින්ද අපි වර්තමානයේදීද උත්සහ කරන්නේ ඔබේ ගර්භාෂයෙන් එවැනි දුක්‌ විඳින සත්වයෙක්‌ උපද්දවා ගැනීමටය. ඔය කැමැත්ත ඔබ තුළ තිබෙන තාක්‌කල් ගර්භාෂය මගේ කරගත් දරුවන් ද, දරුවන් මගේ කරගත් මවුවරුන්, පියවරුන්ද වීම මිස සසරින් මිදෙන්න නම් බැහැ.

ඔබේ මවුකුසින් දරුවකු ලෝකයට බිහිවුණ සැනින්, ඔබත් ඔබේ ස්‌වාමීපුරුෂයාත් මුළින්ම මොකද කරන්නේ. නමක්‌ හදනවා, වාසගම, මුලකුරු සමග උප්පැන්න සහතිකය සමගම… ඇයි මේ උප්පැන්න සහතිකය? බයයි මේ දරුවා අහිමි වේය කියලා. වෙන කෙනෙක්‌ අයිතිකරගනීය කියලා. ඒ නිසා රජයේ පොතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරනවා. ප්‍රශ්නයක්‌ වුණොත් උසාවියට ගිහින්හරි අයිතිකර ගන්නවා කියලා. නමුත් ඔබ සිතන්නේ නැහැ මේ දරුවා කොහේ සිටද ආවේ කියලා. සමහර විට ගිය ජීවිතයේදී මේ දරුවා අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්, යාචකයෙක්‌ වශයෙන් ජීවත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. කුල වශයෙන් සමාජයේ පීඩනයට පත්වුණ කෙනෙක්‌ වෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක්‌ වෙන්නත් පුළුවන්. ප්‍රේතයෙක්‌ වෙන්නත් පුළුවන්, යක්‍ෂයෙක්‌ වෙන්නත් පුළුවන්. දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක්‌ වෙන්නත් පුළුවන්. මෙසේ සිටි සත්වයෙක්‌ එතැනින් චුතව මව්කුසේ ප්‍රතිසන්ධිය ඇතිවූවා වෙන්න පුළුවන්. මේ දරුවා පෙර ආත්ම භවයේ ඔබේම අම්මා, තාත්තා, ඥාතියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒත් ඔබ දන්නේ නැහැ ඔබ මේ නළවන්නේ පෙර ආත්මයක ඔබේ අම්මා, තාත්තා, එහෙම නැතිනම් අන්‍ය ආගමක, අන්‍ය ජාතියක කෙනෙක්‌, ප්‍රේතයෙක්‌, දෙවියෙක්‌… කියන සම්මුතියෙන් හැඳින්වුණ සත්වයෙක්‌ය කියලා. මේ තමයි උපාදානයේ බලවත් බව. නිර්ලඡ්ජිත බව. උපාදානයේ සෙළුව, තන්හාවේ දුහුල් සළුවෙන් අපි වසාගන්නවා.

ඔබ මෙහෙම සිතන්න. ඔබ යුද කාලයේ ක්‍රියාන්විතයේ සේවය කරන හමුදා නිලධාරියෙක්‌ය කියලා. ඔබ රට, ජාතිය, ආගම, රැකියාව නාමයෙන් යුද්ධ කරනවා. ඔබේ අතින් මිනිසුන් මැරෙනවා. අපි හිතමු ඒ මිය යන මිනිසුන් ද්‍රවිඩ ජාතික නොමඟ ගිය අය කියලා. ඔබට ඒ අය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවෙනවා, වේදනාවක්‌ ඇතිවෙනවා. ඒ අයගේ දෙමාපියන් ඥාතියන් කෙරෙහි දුකක්‌ ඇතිවෙනවා. මෙවැනි සිත් පරම්පරාවක්‌ ඔබ තුළ ඇතිවෙමින් නැතිවෙන මොහොතක ඔබද යුද බිමේදී මියයනවා. මෙවැනි මියයැමකදී ඔබ නැවත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගැනීමට ඉඩකඩ ඕනෑතරම් තියෙනවා. ඒ ආකාරයකට ඔබ තුළ ඇති වූ උපාදානය නිසා, ඔබ ද්‍රවිඩ මවකගේ කුසේ ප්‍රතිසන්ධිය ලබනවා. දරුවකු ලෙස ලෝකයට බිහිවෙනවා. ඔබ දැන් අලුත් සම්මුතිය තුළ අභිශේක ලබන්නේ යාපනයේ ද්‍රවිඩ පවුලක ද්‍රවිඩ නමක්‌, වාසගමක්‌ සහිත ද්‍රවිඩ දරුවෙක්‌ ලෙසයි. එම දරුවා යාපනයේ ලොකු මහත්වී දසවැනි වියට පැමිණියහම ද්‍රවිඩ කණ්‌ඩායමේ ළමා සොල්දාදුවෙක්‌ වශයෙන් රාජ්‍ය හමුදාවට එරෙහිව සටන් වදිනවා. බලන්න මොනතරම් මුළාවක්‌ද? වසර 11ක කාලයක්‌ තුළ සිංහල හමුදා නිලධාරියෙක්‌ වශයෙනුත්, ද්‍රවිඩ සොල්දාදුවෙක්‌ ලෙසත් භූමිකා දෙකකට පණ දුන්නා. මේ භූමිකාව මෙතැනින් නවතින්නේ නැහැ. නැවත නැවත උපාදානයක්‌ නිසාම භවය කරා යනවා. ඔබ වර්තමාන ජීවිතයේදී මහත් අභිමානයෙන් යුතුව මම සිංහල බෞද්ධයෙක්‌ කියලා උදම් ඇනුවද ඔබ පෙර ආතමයේ අන්‍ය අගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්. මේ ජීවිතයෙන් පසු නැවත ඔබ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වන මවුකුසක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් අපි අල්ලාගත් දේ තුළ ‘මම’ ඉන්නවාය කියලා දකිනවා. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ කල්ප සියක්‌ කෝටි ගණනක ඈත පටන් අපි මැරෙමින් ඉපදෙමින් පැමිණීමේ ගමනේදී ඔබ මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, තිරිසන් සතෙකුටම, ප්‍රේතයෙකුටම, තිරිසනෙකුටම, බ්‍රහ්මයෙකුටම ලේ ඥාතියෙක්‌ වී සිටිය බව. සම්මුතිය තුළ වෙන් වශයෙන් හඳුනාගත්තත් සියලුදෙනාම ඔබේ ලේ ඥාතීන්මයි. නමුත් ලෝකය තවමත් වර්ගවාදීව යුද්ධ කරනවා. ඒ අය දන්නේ නැහැ යුද්ධය තිබෙන්නේ යුද බිමේ නොවේ කියලා. ඒත් ඒ අය හිතනවා යුද්ධය තිබෙන්නේ යුද බිමේය කියලා. නමුත් යුද්ධය තිබෙන්නේ, යුද්ධයේ මූල බීජයන් හටගන්නේ අවිද්‍යා සහගත මනුෂ්‍ය සිතේ. සිතේ තමයි යුද්ධය හටගන්නේ. කුමක්‌ නිසාද? තන්හාව නිසා හටගන්නා උපාදානය හේතුවෙන්. ඒක නිසා කවුරුහරි හිතනවානම් ලෝකයේ යුද්ධය නතර කළ හැකිය කියලා, එය මිත්‍යාවක්‌මයි. යුද්ධ නතර කරන්න බැහැ. ඉවරකරන්නත් බැහැ. හැබැයි තාවකාලිකව වැඩි බලයෙන් යටපත් කර තබන්න පුළුවන්. එයත් තාවකාලිකයි. යුද්ධය නතර කළ හැක්‌කේ මිනිසුන් මැරීමෙන්, දෘෂ්ටින් මැරීමෙන් නොවේ, මිනිසා තුළ අවිද්‍යාව මරාදැමීමෙන් පමණක්‌මයි. අවිද්‍යාව මියගිය තැන උපදින්නේ විද්‍යාවයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක්‌ මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක්‌ උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක්‌ යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු යුද්ධ භූමිය පමණක්‌ නොවේ. යුද ආයුධ, යුද ආයුධ කර්මාන්ත ශාලා සේම යුද සේනාවද සුණුවිසුණුකොට දමා අවසන්ය. ඔහු මේ සියල්ල විනාශකොට දැමුවේ ආයුධ පාවිච්චි කර නොවේ. සතිය සිහිය නැමැති ආයුධය පමණක්‌ පාවිච්චි කිරීමෙනි. ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ තව තව මායිම් අල්ලාගැනීමෙන් නොව, අතහැරීමෙන්ය. දැන් ඔබට වැටහෙන්න ඕනේ ගෙදර යුද්ධයත්, ගමේ යුද්ධයත්, රටේ යුද්ධයත් හටගන්නේ කුමක්‌ හෝ උපාදානය කරගත් නිසාය කියලා. උපාදානය කරගත් දෙය අතහරින්න. එවිට යුද්ධය නවතිනවා. ඒත් ඔබ එයට කැමති නැහැ. මොකද ඔබ උපාදානය කරගත් දෙය මගේය, එය නිත්‍යය කියලා දකින නිසා. ඔබ උපාදානය කරගත් දෙය රට වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ආත්මගරුත්වය, රැකියාව, තමාගේ පැවැත්ම, නායකත්වය, මේ අනිත්‍යවූ ධර්මතාවයන් තමයි ඔබේ සකස්‌වීමට හේතූන් වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්හාව නිසාය උපාදානය සකස්‌ වෙන්නේ කියලා. මේ උපාදානය තමයි ඔබව ජාති, ජරා, ව්‍යාධි මරණ කරා රැගෙන යන්නේ. ඒ නිසා ඔබ ඔය දිවීම, ව්‍යායාම කිරීම, ශරීරය හැදීම මොහොතකට නතර කරලා, එහෙම නැතිනම් ඒවා කරන ගමන් විවේකීව සිතන්න මොකක්‌ද මේ කය….. මස්‌, නහර, ඇට, රුධිරය, අසූචි, මුත්‍රා, බොකු බඩවැල්, සෙම්, සොටු… මෙහි හදන්න දෙයක්‌ තිබෙනවාද? මේවායේ මොනවා හදන්නද? ජරාවක්‌මයි. පිළිකුලක්‌මයි තිබෙන්නේ. මෙය හදන්න නොවේ තිබෙන්නේ, අතහරින්නයි. ඔබ උදේට කටේ තිබෙන කුණුකෙළ මගේ නොවේ කියලා ඉවතට දමනවා. ඇසේ තිබෙන කබ, ශරීරයේ පිරුණු අසූචී, මුත්‍රා මගේ නොවේ කියලා ඉවතට දමනවා. ශරීරයේ පිරුණු වාතය මගේ නොවේය කියලා එලියට දමනවා. ශරීරයේ පිටවන දහදිය මගේ නොවේය කියලා පිසදමනවා. අන්න ඒ වගේ ඔබ තුළ තිබෙන්නාවූ, ‘මා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාය. ඔහුව නිරෝගී කරන්න ඕනෑය. ඔහුගේ මස්‌පිඩු ක්‍රමවත් කරන්න ඕනෑය’ කියන අවිද්‍යා සහගත සිත ඔබ ඔබේ නොවේය කියලා ඉවතට දමන්න. මා තුළ ‘මම’ සිටියි. මා තුළ ආත්මයක්‌ තිබේය යන දෘෂ්ටීන්ගෙන් මිදෙන්න. ඔබට ලැඡ්ජා නැතිද, හිරිකිතයක්‌ අපුලක්‌ නැතිද මළ කුණකට, මළ කඳකට අතීතයේ ප්‍රේතයෙකු, තිරිසනකු, තිරිසන් සතකුව ඔබ ඔබේ කරගන්න. ‘මම’ කියලා හඳුන්වාගන්න. ඔබට ලැඡ්ජයි නේද?

තාමත් ඔබට ලැඡ්ජාවක්‌ නොදැනෙන්නේ නම් ඔබ මේ සටහන නැවත නැවත කියවන්න. මේ ඔබ කියවන්නේ ඔබේ රූපයෙන් නිදහස්‌වීමේ මාර්ගයයි. නිවීමේ මාර්ගයයි. මේ ගැන සිතලා සතුටු නොවී, ඇති වූ සතුටත් අනිත්‍ය බවම දකින්න. ඇතිවූ, නැතිවගිය සිත අනිත්‍ය වශයෙන් දැක නිවීමේ මඟට අවතීර්ණ වන්න.

කයේ ස්‌වභාවය හොඳින් දකින්න. ඔබ දැකලා තිබෙනවාද ලස්‌සන කුකුලෙක්‌ව. නා නා වර්ණ පිහාටු වලින් කුකුලා අලංකාරයි. දකින්න ප්‍රිය උපදවන රූපයක්‌ එයාට තිබෙනවා. මේ ලස්‌සන කුකුලාව මස්‌ කඩයට ගෙනිහින් පිහාටු සේරම ගලවලා, සුද්ද කරලා, යකඩ කොක්‌කක, එහෙත් නැතිනම් වීදුරු ශීතකරණයක විකිණීම සඳහා තබා තිබෙනවා ඔබ දැකලා ඇති. උගේ දැන් තිබෙන්නේ සම පමණයි. ලස්‌සන පිහාටු නැහැ.

දැන් ඔබ ඔබේ කය දෙස බලන්න. ඔබ හුදෙකලාව මනසින් හෝ හැබැහින් ඔබේ කය නිරුවත් කරන්න. කැඩපතක්‌ ඉදිරියේ සිට දකිනවා සේ ඔබේ කය දෙස බලන්න. අර කුකුල් මස්‌ කඩේ එල්ලලා තිබෙන හමගහපු කුකුළාගේ කයත් ඔබේ කයත් අතර වෙනසක්‌ තිබෙනවාද? ඔබේ කයත් හමගහපු කුකුලෙක්‌ වගේමයි. ඔබ මමත්වයෙන් පිරුණු ඔබේ සිත ලැඡ්ජාවට පත්කරන්න. සිත අපහසුවට පත්කරන්න. මාන්නය බිඳ දමන්න. කුකුලාව ලස්‌සන කළේ උගේ ලස්‌සන පිහාටු වගේම ඔබවත් ලස්‌සන කරලා පෙන්වනනේ ඔබේ ඇඳුම් පැළදුම්, ආභරණ, සුවඳ විලවුන්. අර කුකුල් කය බාහිර දේ විසින් අලංකාර කරනවා. ඔබ යථාර්ථයෙන් ඈත් කරනවා. අවිද්‍යාවෙන් අන්ධ කරනවා මේ වෙළෙඳපොළ කියන්නේ අවිද්‍යාව විකුණන තැනට. වෙළෙඳපොළේ මුදලාලිලා අවිද්‍යාව පැකට්‌ කරලා, බෝතල් කරලා, පෙට්‌ටි කරලා, ලස්‌සන ලේබල් අලවලා, රූපවාහිනී දැන්වීම් දමලා, ලොකු බෝඩ් ප්‍රදර්ශනය කරලා, විදුලි බුබුලු දමලා අලෙවි කරනවා. මේ මිනිස්‌සු උදේ ඉඳලා රෑ වෙනකම් කර්මාන්තශාලා වල, වැඩබිම් වල රැකියා කරන්නේ මේ අවිද්‍යාව මිලදී ගන්න සල්ලි සොයන්නයි. එක පැත්තකින් ඔවුන්ට අවිද්‍යාව නිෂ්පාදනය කරනවා. තව පැත්තකින් ඔවුන් අවිද්‍යාව මිලදී ගන්නවා. සමාජයේ ඇති නැති ස්‌වභාවය මත මේ නිෂ්පාදනයේ සහ මිලදී ගැනීමේ ගුණාත්මකභාවයන් අඩුවැඩි වෙනවා. ලෝකය භාණ්‌ඩ සහ සේවා අංශයෙන් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යා දියුණු වෙනවා කියන එකයි. අවිද්‍යා නිෂ්පාදනය සහ මිලදී ගැනීම ඉහළ යනවා කියන එකයි.

ඔබ දැන් නිවී සැනසිල්ලේ සිතන්න ඔබත් අවිද්‍යාවේ දාසයෙක්‌ද? පිංවත් ඔබ ශරීරයේ නිරෝගීබවට, දිවීමට, ව්‍යායාම කිරීමට වැයකරන කාලය මේ කය අවබෝධ කරගැනීමට වැයකරන්න. ඔබට අයිති නැති ආගන්තුක සිත, ඔබේ යටතට ගන්න. සතිය සිහිය උපද්දවාගන්න. දුවන්න, ව්‍යායාම කරන්න කියන සිත ඔබ අතහරින්න. එවිට දිවීම, ව්‍යායාම ඔබට අතහැරේවී. දිව සංවරව තබාගෙන නිරෝගී වන්න. නිරෝගී ශරීරයක්‌ ඇති අයෙක්‌ වන්න, එහි අනිත්‍යය දකිමින්ම.

නිරෝගී කය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොව, සසර ගමනින් එතෙරවීම සඳහා ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක්‌ කරගන්න. ඔබ නැවත වේගයෙන් දුවන චීටාවෙක්‌, සිරුරට බොහෝ ව්‍යායාම් දෙන වඳුරෙක්‌, ව්‍යායාම් සරඹ ආදිය උපාදානය කිරීමෙන් ඉපැදුණු අහසේ ජිම්නාස්‌ටික්‌ කරනා ප්‍රේතයෙක්‌ නොවීමට වගබලාගන්න.